Tuesday, December 27, 2011

PERFUME


     පුංචි කාලෙ ඉඳන්ම දන්න කියන, ඒ වුනාට 10 වසරෙදි ‍ෆිට්වුන යාලුවෙක් එයාගෙ අලුත් මොබයිල් නම්බර් එක එවලා තිබුනා අද. ඒ එක්කම මතක් වුනේ 10 , 11 පන්ති වල ඉන්න කාලෙ අපි එකතු වෙලා කරපු පිස්සු  වැඩ. ඒ දවස් වල තිබුනු විද්‍යා ප්‍රදර්ශනයකට අපි එකතු වෙලා හදපු අඟහරු ජනාවාසයක් තිබුනා. දැන්නම් මතක් වෙද්දි හිනා යනවා.....ප්‍රදර්ශනේ තිබුනෙ අපේ පැත්තෙ mix school එකක. අපි ඉතින්පොරවල් වගේ ඒකත් තියාගෙන හිටියා. වැඩිපුරම හොඳට විස්තර අහන්න ආවෙ ලඟ ඉස්කෝල වල අයියලා තමයි. ඒ දවස් වල ඒ ගැන් කියපු බොරු කොහොම කටට ආවද කියලා තවමත් හිතාගන්න බෑ.... අඟහරු වල ඉන්න මිනිස්සුන්ට කන්න ඕනා කෑම හදන හැටි , ඔක්සිජන් හදන හැටි,  ...  අපි ඒවා කියපු විදියට කට්ටිය හිතුවෙ අපි ඊලඟ අවුරුද්දෙ අඟහරු වලට යයි කියලා...


ඒ දවස් වල එයාගෙ කොණ්ඩෙ අපිට එකම විහිලුවක් වෙලා තිබුනෙ. හරියටම මුරු (මතකනෙ, I''m Muru. I'm from Nigeria  ) ගෙ කොන්ඩෙ වගේ. ඒ තරම් curl. උදේ ‍රැස්වීම වෙලාවට අපි එයාගෙ පිටිපස්සට වෙලා කොන්ඩෙ අස්සෙ පුන්චි පුන්චි ගල් කැට, ගස් වල අතු කෑලි එහෙම හංගනවා............. ‍රැස්වීම ඉවර වෙලා පන්තියට යනකනුත් ඒවා බිම වැටෙන්නෙ නම් නෑ. අපි කරපු ඒ වගේ වැඩ වලට එයාට තරහ යන්නෙ නැත්තෙත් නෑ.ඒත් ඉතින් ඒ ටික වෙලාවකට විතරයි. ඊට පස්සෙ අපි අවුල් කරපු කොන්ඩෙ හොරෙන් ඉස්කෝලෙට ගෙනාව පනාවෙන් හොරෙන් ම පීරගෙන කිසි දෙයක් වුනේ නෑ වගේ ඉන්නවා. (පනාවක් හොරෙන් ගේන එක ලොකු අවුලක් වුනෙත් නෑ අපිට, මොකද මමයි එයයි දෙන්නම prefects ලා නිසා.. ;-) )


මමයි, මේ යාලුවායි ගියා 11 වසරෙදි පන්තියකට. පන්තියක් කිවුවට ඒක ගෙදරක තිබුන group class එකක්. හිටියෙ අපි දෙන්නයි, තව අපේ ඉස්කොලෙම ලමයි දෙන්නෙකුයි, අපේ සහෝදර පාසලේ කොලු පැටවු දෙන්නෙකුයි විතරයි. ඉස්කෝලෙ ඇරිලා ගිහින් දවල්ට කාලා එහෙම මමයි යාලුවා යි අමතක නොකරම කරපු දෙයක් තිබුනා. ඒ තමයි ඒ ගෙදර කාමරේක තිබුනු ක්ණ්ණාඩිය ඉස්සරහට ගිහින් කොන්ඩෙ පීරලා, පවුඩර් එහෙම දාලා පන්තියට ලෑස්ති වෙන එක. ඒ දවස් වල මගෙ කොන්ඩෙත් කොටට කපලා තිබුනෙ. උදේට baby cream ගාලා පීරගෙන ආවාට ඒ වෙනකොට කොන්ඩෙ අවුල වෙලා තියෙන්නෙ. (baby cream ගෑවෙ ඒ කාලෙ මට අම්මා hair cream / hair gel ල් අරන් දුන්නෙ නැති නිසා)  දැන් ඉතින් අහන්න එපා කාට පේන්නද හැඩ වෙලා ආවෙ කියලා.... මොකද මමත් හරියටම දන්නෙ නෑ ඒ ගැන නම්. හිටිය කොල්ලො දෙන්නගෙන් එකෙක් ඒ කාලෙත් sunsuit අඳින ජාතියෙ. අනිත් කොල්ලා අපේ බුද්ධාගම මිස්ගෙ පුතා... හතර පෝයටම සිල් ගත්ත කෙනෙක්. ඒ නිස ඒ කොල්ලො දෙන්නට පේන්න හැඩ වුණා වෙන්න නම් බෑ... 


කොහොම කොහොම හරි අපි දෙන්න හැමදාම පවුඩර් දාලා කොණ්ඩෙ පීරන එක ඒ ගෙදර හිටිය මල්ලි ටත් මාට්‍ටු. එයා නම් නසරානි එකෙත් හොඳම නසරානියෙක්....!!!! කාට හරි ලණුවක් දෙන්න තියනවා නම් ඊට වඩා දෙයක් නෑ.... ඒත් ඉතින් අපිට මොකද..කවුද ඕවා ගනන් ගන්නෙ... අපි නම් කයි එයාගෙ ලණු!!!
මෙහෙම කාලය ගත වුණා... අපි දෙන්නා හැමදාම පවුඩර් දාලා කොන්ඩෙ පීරලා එහෙම ගිහින් සර් අහන ප්‍රශ්න වලින් කොර වෙවී හිටියා....  ඔන්න දවසක් ඒ කණ්ණාඩි මේසෙ උඩ තියනවා ලස්සන මල් මල් පින්තූරෙකුත් තියන perfume එකක්... ආසාවෙ බෑ. කොන්ඩෙ පීරලා, පවුඩර් එහෙම දාලා ඉවර වෙලා ... වට පිට කවුරුත් නෑ වගේ තෙරුන නිසා හිමීට perfume එක අරන් ස්ප්‍රේ කරගත්තා uniform එකට අපි දෙන්නම.... පුදුම සුවඳක්නෙ. කාමරෙන් එකයි සුවඳ!!!
තත්පර දෙක තුනක් වත් ගියෙ නෑ..... ගෙදර මල්ලිගෙ සුමිහිරි නාදය පැතිරුනා perfume සුවඳ අබිබවා ගේ පුරහම... "මෙන්න මුන් දෙන්නා air freshener  ගහලා"


ෆොටෝ දෙක ඉස්සුවෙ මෙතනින් - http://3.bp.blogspot.com/_xYh1EJfZ_0E/SwTZy_AZjDI/AAAAAAAAA2E/x9Aq3oFMtug/s1600/perfume-girl-cartoon.jpg , http://know.burrp.com/wp-content/uploads/2011/07/girl-with-curly-hair.jpg

Friday, December 23, 2011

මගේ සඳ


මිලාන පත් එකිනෙක වියැකුණු තුරු
ගිම්හානය ලඟ කඳුලු සලන විට
තුරු හිස මත නව ජීවය කැන්දූ
වස්සානය නුඹ.............


සීතල සුදු හිම පියවිලි අතරින්
දෙනෙත් හරින්නට නොහැකිව ලත වුණ
පුංචි මලක් වෙත මද හස ‍රැන්දූ
සරත් අරුණ නුඹ.....................


හීතල කඳුලක තනිකම විඳිමින්
බොඳ වූ මුව අග කඳුලැලි පිස ලූ
මා නෙතු අද්දර ජීවමාන වූ
මගේම සඳ නුඹ.................

Wednesday, December 21, 2011

මගේ කැමරාව 2


ම කැමරාව ගත්තා ලු ඔන්න. ඒක නම් සිරාම සිරා..... අපේ නංගිගෙ ඉමහත් ඊරිසියාවට වගේම ඉමහත් ආසාවටත් හේතු වුන, "මේ මොකද්ද මේ අලි බෑග් එක?" කියලා ඒක දැකපු ගමන් ඇති වුන අම්මාගේ ප්‍රකාශයටත් හේතු වුන මගෙ අලුත් කැමරාව මට මේ දවස් වල තියෙන වටිනාම වස්තුව බවට පත් වෙලා ඉවරයි. අප්පච්චි නම් කිවුවෙ "ඕකත් මුහුදට දාගන්නකො" කියලා..මම හා කිවුවෙ නෑ.
මම කැමරාව ඉක්මනින් ගන්න මෙච්චරම දැඟලුවෙ අපේ පිස්සු සෙට් එක බණ්ඩාරවෙල යන්න දාගෙන තිබුන නිසා.... ඒත් ඒක යන්නෙ නැති හැඩක් තමයි තියෙන්නෙ... කෝච්චි පෙට්ටි බුක් කරන්න බෑලු මේ දවස් වල... වාහනයක් අරන් යන්න නම් තව කාලාන්තරයක් පොල් කඩන්න වෙයි.......... 


මම ඉතින් වත්ත වටේ ඇවිද ඇවිද, බිම බඩ ගාගෙන බිම වැ‍ටුන මල් වලයි,ගුල් වල ඉන්න කූඹින්ගෙයි,ගස් උඩ බඩ ගාගෙන ගස් උඩ ඉන්න දිමියන්ගෙයි, ඇරෙන්න මට තවමත් වෙන මොකුත් ෆොටෝ එකක් නම් ගන්න බැරි වුනා.... මොකද අපේ වත්තෙ කියලා අලි කොටි වලස්සු ඉන්න එකක්යැ.  හොඳ වෙලාවට අපේ වත්තෙ මල් ගස් නම් තියනවා.. ඔය උඩ හෙඩින් එකේ තියන රතු පාට මල මම අලුත් කැමරාවෙන් ගත්තු ෆොටෝ වලින් එකක්. ඒ ඇරෙන්න මම මගෙ නංගි ව නම් ෆොටෝ ගත්තා.... හොඳ වෙලාවට එයා ලස්සනයි, ෆොටෝ ජෙනික්....... බැරි වෙලා හරි එයත් මම වගේ වුනා නම් එහෙම ඒ ෆොටෝ ටිකත් හබක්...............!!! නව දැලි හේනෙ ඔරන් ඔටන් වගේ ඉන්න තිබුනා.

Monday, December 12, 2011

මගේ කැමරාව


      මොකද්ද ඔයාගෙ හොබි එක කියලා කවුරු හරි ඇහුවොත් මම මොනවා කියයි ද.. අනේ මන්දා.. ඉස්සර නම් මුද්දර එකතු කිරීම, පොත් කියවීම....
ඒත් දැන් ඒ ලිස්ට් එකට තව ගොඩාක් එකතු වෙලා.. මල් කැඩීම............ එතනින් ගියාම "ඡායාරූපකරණය" (ලොකු වචනයක් වගේ නේ?)


 ඒත් ඉතින් මට පහු ගිය දවස් වල සිදුරු කැමරාවක් වත් තිබුනෙ නෑ... ඇත්තම කිවුවොත් පොඩි කාලෙ ඉස්කෝලෙ ට්‍රිප් 1ක් යන්න අප්පච්චි අරන් දුන්න රුපියල් 1000 ක කොනිකා ද මොකද්ද කැමරාවෙන් පස්සෙ මට කවදාවත් කැමරාවක් තිබුනෙ නෑ... ඒත් ඉතින් මම කොහොම හරි ෆොටෝ ගැහුවා. දෙන්නටම කියලා නැන්දා අරන් දුන්න පොඩි fugifilm කැමරාව නංගි සින්නක්කරේටම ගත්තාට පස්සෙ, මම "යාලුවෙක්" ගෙ SONY cybershot කැමරාව පාවිච්චි කළා කාලයක්ම. "යාලුවා" නම් ඒකෙන් ෆොටෝස් 10ක් වත් ගහලා නැතුව ඇති. ඒක ඉතින් මගෙ වගේ තමයි තිබුනෙ. මේතියෙන්නෙ ඒකෙන් ගත්තු ෆොටෝස් දෙකක්.





කොහොම කොහොම හරි ගල්කිස්ස බීච් එකේ යාලුවො එක්ක ගහපු ක්‍රිකට් මැච් එකකින් පස්සෙ ඒ කැමරාවත් අවසන් ගමන් ගියා කැමරාව පිටින්ම මාව ‍රැළ්ලකට වැටිලා (තල්ලු කළාම වැටෙනවනෙ).... ඉතින් ඔන්න ඔහොමයි මට සිදුරු කැමරාවක් වත් නැති තත්වෙකට පත් වුනේ.... 

ඒත් මම නම් සැලෙයි. අවුරුද්දක් විතර ප්ලෑන් ගැහුවා කැමරාවක් ගන්න. රුපියල් 40,000ක විතර එකකට තමයි ට්‍රයි කළේ... ඔහොම හීන බල බල ඉන්න්කොට මට ඉහලින් නියෝගයක් ආවා........... "එහාටත් නැති මෙහාටත් නැති කැමරාවක් ගන්නෙ නැතුව ගන්නවා හොඳ එකක්" ඔන්න ඔහොමයි සිඳු ට DSLR කැමරාවක් ගන්න අදහස පහල වුනේ....
ඒත් කෝ අප්පා ඕවට සල්ලි....? මම මගෙන් ඇහුවා
ඒව්ත් ප්‍රශ්නද... ඒකටනෙ ක්‍රෙඩිට් කාඩ් තියෙන්නෙ. මම ම මට උත්තර දුන්නා.....

කැමරාව ගේන dealer කොම්පැනියෙ තමයි මගෙ ‍ෆිට් එක නුවන් වැඩ කරන්නෙ... ‍ෆිට් එක වුනාට ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ දැකලා තිබුනෙත් නෑ.... "නුවෝ මට කැමරාවක් ගන්න ඕනා" ඔහොම තමයි මම පටන් ගත්තෙ.... ඔන්න සේරම හරි... 

මොන පිස්සුද.. සේරම වැරදෙන්න ගත්තෙ ඊට පස්සෙ. කැමරාව 95,000rs. ඒත් සේරම ගෙවලා ඉවර වෙද්දි ලස්සෙත් පනිනවා.. ඉතින් මොකද කරන්නෙ? credit limit එකම ලක්ෂයයි.බැංකුවට කෝල් කරලා බටර් පාරක් දාන්න හැදුවා... ම්ම්ම්හ්... හරි ගියෙ නෑ.... "දැන්මම ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්න විදියක් නෑ මිස්" බැංකුවෙ කෙල්ල ස්වීට් කටහඬකින් කිවුවා... නෑ නෑ මට වැඩි කරගන්න ඕනා කියලා අඬන්නයැ. ලක්ෂෙට වැඩියෙන් යන ටික අතින් දාගන්න තීරනය කළා... 1000ක් ක‍ටු කාලා ඒ සල්ලි ටිකත් හොයා ගත්තා......

ඔන්න ආයෙමත් නුවන් ට කෝල් එකක්
"නුවන් දැන් ඉතින් තියෙන්නෙ කැමරාව ගන්න විතරයි. හරි නේ ද?"

"හරි හරි... ඔයා හරි නම් අපිත් හරි..."

"කැමරාවෙ පාට මොකද්ද නුවන්?"

"කලු පාට.. ඇයි?"

"නෑ මම බැලුවෙ...ඒක ටිකක් girlish වුනා නම් හොඳයි වගේ..."

"එහෙනම් එන ගමන් කඩේකින් තරු ඉස්ටිකර් කොලේකුයි, බාබි ඩෝල්ස් ලා ඉන්න ඉස්ටිකර් කොලේකුයි අරන් එනවා කැමරාවෙ අලවලා දෙන්න" මම ඉතින් කට වහගත්තා...

"ඔයාට මේක අරන් දීලා මම හිතාගෙන ඉන්නෙ රස්සාවෙන් අස් වෙන්න" ඒ පාර නුවන් කියනවා..

"ඇයි ඒ?"

"මට පුලුවන් ද ඊට පස්සෙ එන ප්‍රශ්න වලට උත්තර දෙන්න.... ඕකෙ මැස්සෙක් වැහුවත් මට කෝල් කරලා අහයි ඇයි නුවන් මේකෙ මැස්සො වහන්නෙ කියලා... උස්ස්සගෙන ඉන්න බර වැඩි වෙලා බිම වැ‍ටුනොත් අහයි ඇයි නුවන් මේක බිම වැටෙන්නෙ කියලා...." 
බොරුවට තරහා වෙලා මම ෆෝන් එක තිබ්බා. ඇත්තට තරහ වෙන්න පුළුවන්ද කැමරාව ගන්නත් කලින්..


ඔන්න මම ගිය සිකුරාදා රෙඩි පිට ඉන්නවා ඒක ගන්න යන්න. නුවන් කියනවා "ඒක අපේ ෂෝ රූම් එකට ගෙනාව ගමන් මම ඔයාට කියන්නම්කො"
 මමත් බලන් ඉන්නවා කියනකම්. කියන පාටක් නෑ. මමම කෝල් කළා. 3.30 යි වෙලාව. නුවන් කියනවා "මේ දැන් තමයි කොල්ලුපිටියෙන් පිටත් වෙලා තියෙන්නෙ... ඉන්නවකො ඉවසලා..." ආයෙමත් මම ඉවසුවා. ඉවසීම ඉක්මවා යනකොට වෙලාව 5 යි. ආයෙ කොල් කළා නුවන් ට.... "තවම කොල්ලුපිටියෙ ලු"  කැමරාව අරන්බිම බඩ ගාගෙන එනවා ඇති කියලා හිතලා මම හිත හදා ගත්තා. 
බඩගගෙන ගෙන්නාපු කැමරාව දැන්නම් නුවන් ගෙ ෂෝ රූම් එකේ තියනවා...
ඒත් ඉතින් මම තවමත් කැමරාව ගත්තෙ නෑ... ගන්න යන්න හිතනකොටම වහිනවා.... හෙට නම් ගන්නවාමයි පීනලා හරි ගිහින්

Wednesday, December 7, 2011

මගේ ඉස්කෝලෙ


මම මේ ලෝකෙට ඉපදුනා... ඉස්කෝලෙ ගියා.......අපේ රටේ ඉපදෙන ගොඩක් ළමයි වගේ කැම්පස් එකකට යන්නත් ආසා කලා.... ඉස්කෝලෙ යන කාලෙ පුදුම උණක් තිබුනෙ කොහොම හරි කැම්පස් යන්න.. "ඔලුවිල් කැම්පස් හරි කමක් නෑ... මට යන්න ඕනා.." අපේ සමහරු ඒ කාලෙ එහෙමත් කිවුවා.. (ඔලුවිල් වල තියනවා වෙන්න ඕනා මොකක් හරි කැම්පස් එකක මණ්ඩපයක් වත්..) මේ තරම් උනන්දුවෙන් හිටියෙ වෙන මොනවටවත් නෙමේ..කැම්පස් ජීවිතේ තියන ආතල් එක ගැන අහලා තිබුන නිසා... බනින්න කෙනෙක් නෑ.. කෑ ගහන්න එපා කියන්න කෙනෙක් නෑ..වද කාර ප්‍රිෆෙක්ට්ස්ලා නෑ. හෝම් වර්ක් නෑ... (එහෙම තමයි ඒ කාලෙ හිතුවෙ.. කැම්පස් ආවාම තමයි ඒකෙ රඟේ තේරුනේ)


කොහොම කොහොම හරි අපි කැම්පස් එකකටත් ගියා ලු ඉතින්...


ඒත් ......!!!! කැම්පස් එකට ඇවිත් සතියක් යන්නත් කලින් මට දැනුනෙ මගෙ ගෙදර ඇරුනම මේ ලෝකෙ තියන සුන්දරම තැන මගෙ ඉස්කෝලෙ කියලා..අපේ අම්මලා අප්පච්චිලා ඉස්කෝලෙ ගිය කාලෙ වගේ කට්ටි පැනලා කැලේ පැනලා සෙල්ලම් කළේ නැති වුනාට, ලොකු තාප්පෙකින් වට වෙලා පැය පහක් හිර වෙලා වගේ හිටියාට, මට මගෙ ඉස්කෝලෙ පාරාදීසයක්... කරපු පුංචි පුංචි දඟ වැඩත් එක්කම මට ඔලුව කෙලින් තියාගෙන  කැම්පස් එකෙත්, එතනින් එලියට ආවම ලෝකයෙත් ඉන්න පුළුවන් කමක් ලැබුනෙ මගෙ ඉස්කෝලෙන් මට ලැබුනු මොකක් හරි දෙයක් නිසා කියලා මම තවමත් විශ්වාස කරනවා..නෙමේ මම දන්නවා....... කැම්පස් එකේ  වැඩ වලින් දවල් වරුවෙ හෙම්බත් වෙලා,  යන්තම් ඇඳට වැටිලා ඇස් දෙක පියා ගත්තම රෑ හීනෙන් ඉස්කෝලෙ පේන්නෙ ඒකයි.


වැලි බත් වල සුවඳ උරා එහි රස හෙම නොවින්දාට
ඇළේ දොලේ පුසුඹ සමග යාළු වෙලා නොඋන්නාට
වන තුරු හිස පීරා ගොස් කරඹ ගාල් නොපීරුවට
පාසල් බිම සුවඳ තාම හදට ලඟයි දුර වුණාට


විදුහල් බිම තුරුලු වෙලා ලද සිප් කිරි යළි විඳින්න
සරසවි ගණ දෙවිඳු පහස ඇයගෙන් යළි ලබා ගන්න
මිදුල පුරා දුව පැන ගොස් පා සටහන් යළි අඳින්න
මම ආසයි හැමදාමත් සීනෙන් වත් ලඟ ‍රැ‍ඳෙන්න


හද සසැලෙයි නුවන් අරා උතුරන උණු කඳුලු වලට
යලි කෙදිනක පා තබම් ද ඒ පින්වත් සදෙව් ලොවට
ගුරු මව් පිය කැල සෙනෙහස මිහි බට දෙව් රුවන් ලෙසට
හැමදාමත් සිහි වෙයි මා මියෙන තුරුම මගේ සිතට


උපනත් මවු කුසින් වරක් පෙර දා මා පියවි ලොවට
නැවතත් ලැබ දුනි උපතක් මවුනි ඔබත් නොසිතු ලෙසට
සැමදාමත් තුරුලු කරන් අප සැම දෙන ඔබේ ළයට
පෙව් සිප් කිරි ගුණ දම් සැම ආසිරි දෙයි සදා අපට


මල් සුපිපුණු යාය දිගට අරලිය ගස් රන් පාටට
රතු පාටට කිරුළු දැරුව සුන්දර මැයි ගස් යායට
දිව ගිය හැටි විදුහල් බිම පුරාම අපි සැහැල්ලුවට
මතක ඇතිද තවමත් මගෙ ආදර විදුහල් මවුන්ට


සිනා කවට බස් තෙපලූ හඬ ආයෙත් නෑසුනාට
තරප්පු පෙළ නිහඬ බවක ගිලගෙන අද සැඟවුනාට
කලු ලෑල්ල , හුණු පෙට්ටිය මකුළු දැළක පැටලුණාට
හිතේ ‍රැඳුනු ලෙංගතු කම ‍රැකගන්නම් සදා කලට

http://www.holyfamilywennappuwa.slt.lk/

Tuesday, December 6, 2011

අපේ කාලයේ කෙල්ලෙක් සහ කොල්ලෙක්


      ස්සන පුංචි කෙල්ලෙකුයි , අහිංසක පාට කොල්ලෙකුයි OPD එකට ආවා..... මමත් සුපුරුදු විදියල හිනා වෙලා ඒ දෙන්නව පිළිගත්තා.කොහොමත් මම කැමතියි මගෙ වයසට ගැලපෙන කට්ටිය එනවට බේත් ගන්න....‍ෆිට් එකේ කතා කරන්නවත් පුලුවන්නෙ.. (මගෙ වයසෙ කිවුවට මොකද ඒ දෙන්නගෙයි මගෙයි වයස පරතරය අවුරුදු පහක් හයක් විතර... )
 දෙන්නම ටිකක් ලැජ්ජාවෙන් වගේ....
 "මොකද මේ පැත්තේ...?" මම ඇහුවෙ නෑ.. ඒ වගේ බැලුවා. ඒත් තවමත් ඒ දෙන්නම නිශ්ශ්බ්දයි. 
මොනව කරන්නද..මම මගෙ හිතේ තිබුන ප්‍රශ්නය වචන වලට හැරෙවුවා......
 "මම ප්‍රෙග්නන්ට් ද කියල බලාගන්න ඕනා මට.." කෙල්ල බිම බලාගෙන උත්තර දුන්නා. ඒ වෙලාවෙයි මට තෙරුනේ මේ දෙන්නාගේ ලැජ්ජාවට හේතුව. කොහොමත් පළවෙනි බබා ගැන දැනගන්න එනකොට අම්මලා ටිකක් මේ වගේ ලැජ්ජා වෙනවා මට අමුතු දෙයක් නෙමෙයි... 
ඒත් ඉතින් අදාල පරීක්ෂණ වලින් කියවුනේ එයා ප්‍රෙග්නන්ට් නැහැ කියලා...මට ටිකක් විතර දුකත් හිතුනා.. බලපොරොත්තු වුන සතුට ඒ දෙන්නට දෙන්න නොලැබුන එක ගැන....
"ම්ම්ම්.... මේකෙ විදියට නම් පරීක්ෂනය නෙගෙටිව්...කමක් නෑ ඔයාලාට තව ඕනා තරම් කල් තියනවානෙ..." මම එහෙම කිවුවා.ඔන්න එතකොට තමයි අර කෙල්ලගෙ මූනට එලියක් වැ‍ටුනෙ.. ඇත්තමයි එලියක් වැ‍ටුනා. කොල්ලාත් සැනසුම් සුසුමක් හෙලුවා... මොකද මේ වෙන්නෙ.. මට හිතා ගන්නත් අමාරුයි වගේ..
"මේ ටෙස්ට් එක නෙගටිව් කියන්නෙ මම ප්‍රෙග්නන්ට් නෙමේ කියන එක ද?" කෙල්ල ආයෙමත් අහනවා සැකයෙන් වගේ.. ඔන්න ඒ වෙලාවෙ නම් මටත් පුංචි සැකයක් වගේ එකක් මතු වුණා.... 
"පොඩ්ඩක් ඉන්න.. ඔයාලා බැඳලා නැද්ද??? " 
එහෙම අහනකොටම මම දැක්කා කොල්ලා ගෙ කරේ එල්ලාගෙන හිටිය ක්ලාස් ගෙනියන බෑග් එකයි, අතේ තිබුනු ෆයිල් කවරෙ තිබුන ටියුට්ස් ටිකයි... ඉතින් තව වෙන මොන කතා ද... මට ඒ දෙනාට කියන්න දෙයක් හිතා ගන්න ටිකක් අමාරු වුනා... 
"ඔයාලා ආයෙ මේ වගේ වැඩ කරන්න එපා" කියන්නද? එහෙම කියන එක හරිද වැරදිද කියන එකටත් වඩා මට හිතුනෙ එහෙම කියලා වැඩක් තියනවාද කියන එකයි... 
කොහොම හරි මම අන්තිමට කිවුවෙ "ආයෙමත් මේ වගේ දෙයක් වෙනවා නම් පරිස්සම් වෙන්න.. ඒ වගේම පැය 72ක් ඇතුලත ගන්න බේත් පෙත්තක් තියනවා...ඒක ගන්න....."
ඒ දෙන්නා සතුටින් (?) ආපහු ගියා. 
මම තවමත් කල්පනා කරනවා මම දුන්න උපදෙස හරිද කියලා... ලංකාව වගේ රටකට මේ වගේ උපදෙසක් දෙන එක හොඳ මදි කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්
...ඒත් ලංකාව කියලා මේ වගේ දේවල් සිද්ද නොවී තියෙන්නෙත් නෑනෙ.. ඒ නිසා ආයෙත් වෙන වැරදීමකින් ඒ කෙල්ලගෙ ජීවිතේම අඳුරු වෙනවා ට වඩා,ඒකෙන් මොකක් හරි හොඳක් වෙයිනෙ..


 මොනවා වුනත් මම සතු‍ටු වෙනවා "ඔයා ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න... ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න.. ඒ සේරටම කලින් ගෙවල් වලට කියලා බඳින්න" කියලා කියන්න සිද්ධ නොවුනු එක ගැන නම්..


ඒ මොනවා වුනත් ආදරේ එක්කම පැටලෙන මේ වගේ දේවල් වලින් අපේ පුංචි කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජීවිත බේරාගන්න මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා..


(උඩ තියෙන පින්තූරය ගත්තු ඉසවුව http://www.popartuk.com/g/l/lghr17469+blood-red-petals-gothic-rose-poster.jpg )

Monday, December 5, 2011

දැන් කවියක් වත් ලියා ගන්න බෑ

වසින් දවස පාඩම් වැඩ වලට හිත යොමු වෙනකොට, ඉස්සර වගේ කවියක්, නිසඳැසක් ලියන්න වෙලාවක් නැති වුණා. හිතන්නෙවත් නැතුව හිතට ආව කවි සිතුවිලි කොහේ හරි හිර වෙලා වගේ දැනෙන්න පටන් ගත්තා.... ඒ වගේ වෙලාවක ලියවුන කවියක් මේ.... අවුරුදු 2ක් 3ක් විතර පරණයි. ඒත්  ඒ කවිය අදටත් සාධාරනයි..... මොකද තවමත්, කවියක් ලියා ගන්න දහ දුක් විඳින්න ඕනා වචන ගලපාගන්න බැරුව..


පෑන් ඉරකින් කො‍ටු කළ..
තැනූ සිර ගෙයි පි‍ටු තුළ
දැහැන් ගත වෙත.. මනස කිමිදී....
දිය වෙලා ගිය කවි කම.......


තනි නොතනියට සිත ළඟ
පාළු කැපුවා පෙර සිට....
කෙලෙස යන්නද නුඹට සමු දී...
කවිය නුඹ නැති දිවි මග.........




(ෆොටෝ එක ගත්තෙ මෙතනින්  http://littlelakeview.wordpress.com/2011/11/09/studying-for-the-constitution-test-2/ )

Friday, December 2, 2011

මගේ බ්ලොග් එක...

  වැඩ කන්දරාවක් එක්ක හිර වෙලා ඉඳලා , එක පාරටම කරන්න කියලා එච්චර ලොකු වැඩක් නැති වුනාම, මුල්ම දවසෙ දැනෙන්නෙ,මිටින් අරගෙන අත ඇරපු කුරුල්ලෙක් වගේ. 
ඒත් ටික දවසක් යනකොට තමයි තේරෙන්නෙ මෙහෙම නිකම්ම ඉඳලාත් බෑ කියලා.
මොකද කරන්නෙ කියලා මමත් කල්පනා කළා... ප්ලෑන් එක එක හිතට එනවා අහස උසට. ඔන්න මමත් හැදුවා ලිස්ට් එකක්.
 "මගේ ප්ලෑන්"... චිත්‍ර අඳින්න, කතිර මැස්ම මහන්න, යාලුවො එක්ක ට්‍රිප්ස් යන්න,පොත් ගොඩාක් කියවන්න, 
ඒ විතරක් ද.... මගෙ බ්ලොග් එකක් හදන්න.... ඒක තමයි ලොකුම සැලසුම... 
ඒත් ඉතින් පහු වුන මාස ගානටම වැඩිම වුනොත් චිත්‍ර තුනක් අඳින්න ඇති... ගිය ට්‍රිප් එකකුත් නෑ.... බ්ලොග් එකත් එහෙමමයි. බ්ලොග් එක ට නමක්  කල්පනා කර කර හිටියා ටික දවසක්...ඒත් ඒක හරි ගියෙ නෑ... නිකම්ම නිකම් හිතට ආව නමක් දාලා ඔන්න ඔහෙ  පටන් ගන්නවා කියලා හිතලා පටන් ගත්තා..... හිතේ තියන හැම දේම ලියන්නත් බෑ... (නොලියාත් බෑ වගේ....)  කොහොම හරි මමත් බ්ලොග් එකක් කරනවාමයි කියලා හිතාගෙන ඔන්න පටන් ගත්තා...............