Friday, January 27, 2012

උදා වූ වසන්තේ- සදා මා නුඹේ නම්.....



සොඳුරු වස්සානයට - නැවුම් පිණි බිඳක් වී
මදහසින් පමුදිතව -  මා සමග සිනාසුන
මිහිරි ජීවන මගේ - සුපිපි සීනයම වී
සිත් අහසෙ පෑයූව- සරා සඳ නුඹම නම්......


තුනී මීදුමක් වී - ගතේ ඩා බිඳු නිවුව
විහඟ ගීයක් වෙලා - තුන් සිතම පුබුදු කළ
මා දිවිය සනසලා - හමන මඳ පවනක්ව
ගලා යන දිගන්තේ- රසෝඝය නුඹම නම්....


දු‍ටු සිහින දුන් පිළින - සොඳුරු සිත්තම් මැවුව
නුඹේ හඬ ගීයක්ව - සවන් සනසන තුරුම
කුමකට  මඟුල් බෙර- මඟුල් පෝරුව මතක
උදා වූ වසන්තේ- සදා මා නුඹේ නම්.....



Saturday, January 21, 2012

"ප්‍රමිලා වැලපෙයි"


එදා මෙදා තුර ලියවුන කවි ගීත වල වැඩිපුරම ලියවිලා තියෙන්නෙ ආදරය ගැන වෙන්න ඇති. 
ඒ හැම එකකම ආදරය විවිධාකාරයෙන් විස්තර කරනවා.එක එක්කෙනා එක එක විදියට දැක්කත්,ඒ හැම දෙයක්ම ඇත්ත. කවුරු වුණත් ආසයි ආදරේ ලබන්න. 
රාධා ක්‍රිෂ්නා , ජැක් රෝස් වගේ ලෝකයම හඳුනා ගත්තු පෙම්වතුන් නොවුනත්, අපේ ගම් වල හිටිය සිරිමල්, රන් මැණිකා දෙන්නත් ඒ තරමටම, සමහරවිට ඊටත් වඩා එකිනෙකාට ගොඩාක් ආදරේ කරන්න ඇති. 
සමහර වෙලාවට ආදරේ ට සීමා මායිම් නෑ. 


හරි වැ‍රැද්ද මොකක් වුනත් නුවර යුගයෙන් අපිට අහන්නට ලැබෙන දස්කොන් සහ ප්‍රමිලා ත් ඒ වගේ දෙදෙනෙක්. අසම්මත යැයි සම්මත ප්‍රේමයක් වුනත් මම පුංචි කාලෙ  ඉඳන්ම ආසා කතාවක් දස්කොන් - ප්‍රමිලා කතාව. ඒ ගැන ඇහෙන හැම සින්දුවක් ම මම ඇහුවෙ හරිම ආසාවෙන්.දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ කියලා ඩබ්. ඩී අමරදේවයන් සහ අමිතා වැදිසිංහ ගායනා කරද්දි , රූකාන්ත ගුනතිලකයන් චන්ද්‍රලේඛාවන් සමග "බිසවුනි ප්‍රමිලා" ගායනා කළා... ඒ ගීත දෙක එකිනෙකට වෙනස් වුණත්, මගේ හිත පැහැර ගන්න ගීත දෙකම සමත් වුණා. 
ඒත් මගෙ හිත ට ගොඩක්ම දැනුණු ගීතය ජානක වික්‍රමසිංහ සහ චම්පා කල්හාරි ගායනා කරන "මිහිරිම වසන්තය අරන්, බක් සඳ එබී කවුලුවෙන් සක්මන් මලුව සොයාගෙන මම ආවා" කියන ගීතය.  ඒක ගායනා කළේ මියුරුසර වසන්තයේ ගී වැඩසටහනට. තවමත් මම කල්පනා කරනවා ඒ ගීතය ඒ තරම් මට දෙනුනෙ ඇයි කියලා . යොවුන් ආදරය ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති ඒ කාලෙ වුනත් මම ඒ ගීතයත් එක්කම දැක්ක ඔවුන් දෙදෙනාගේ සරල රඟ පෑමට ගොඩාක්ම ආසා කළා වෙන්න ඇති . 


දස්කොන් ප්‍රමිලා දෙන්නා ගැන කියවන වෙලාවක ඒ ගැන ලියවුන කවි කීපයක් මට කියවන්න ලැබුණා. 


ඒත් එක්කම මටත් හිතුණා ඒ ගැනම කවියක් ලියන්න.............


මම හිතපු මාතෘකාව "ප්‍රමිලා වැලපෙයි"


සක්මන් මළුවෙ වැලි තල අතරේ ‍රැඳුන
සිත්තම් වුණා පෙම් සිතුවම් සිත ඇඳුන
දස්කොන් මගේ හිමි සඳ හදවත බැඳුන
ගෙත්තම් වීද සදහට සුසුමන් සැදුන


සෙංකඩ ගල නුවර ගන අඳුරකි මැවුණ
නුඹ නැති සොවින් අහසත් කඳුලැලි සැලුණ
හිමියනි මගේ නුඹ රුහිරෙන් තෙමි දෙරණ
සෝ ගී පා කළා දුර ගිරි හිස සිඹිණ


රොන් කෙමි සොයා පිපි මල් වට පිය සලන
මී මැසි බමර කැල මල් නොතලා සිඹින
කවුරුන් සිඳ දමයිදෝ උන් රොන් උරන
මා කුසුමක් නොවෙද බමරුනි රස ඉසින


තුන් කල තුමුල තෙද ඇති ගිජි‍ඳෙකු ලෙසින
මන්දිර කවුළු දොර අබිමුව හිඳ සරන
මා හද එකලු කළ හිමියනි මා සරණ
මා හැර පියා ගියෙදෝ කෙලෙසින් මෙදින


කවියක් වුණා අවනත සවනත ‍රැඳුන
රස පද පෙලක් විය හද විල කළඹවන
පණවත් සිතුවමකි මන නන්දන කරන
හිමිය්නි කොයිද නුඹ සුසුමන් සුව දැනුන


නරනිඳු සීහ නිරිඳුනි ඔද තෙද පාන
ප්‍රමිලා නුඹෙයි රිසි ලෙස නුඹ රස විඳින
එනමුදු හදවතක් නැත ඔබ වෙත බැඳුන
හද මිය ගොස්ය සොහොනේ දස්කොන් නිදන

Wednesday, January 18, 2012

බෝඩිම සහ එහි සාමාජිකයින්


කැම්පස් එක කියන වචනෙත් එක්ක මතක් වෙන අනිත් වචනෙ මොකද්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මම නම් කියන්නෙ "බෝඩිම්" කියලා... මොකද ඒ තරම් සුන්දර මතකයන් ගොඩාක් බෝඩිම් වල තියන නිසා.....
කැම්පස් පටන් ගන්න ලං වෙනකොට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි කොහෙද නවතින්නෙ කියන එක. අපිට ඉතින් හොස්ටලුත් හම්බුනේ නෑනෙ...... (ඉල්ලුවෙ නැතුවාම කොහොම හම්බෙන්නද...)


කැම්පස් පටන් ගන්න සතියක් තියෙද්දිත් මට බෝඩිමක් නෑ. අන්තිමට අම්මයි මමයි මගෙ cousin අයියත් එක්ක කාර් එකේ නැගලා කැම්පස් එක වටේ තියන බෝඩින් බලන්න ගියා. ඒ හැම එකක්ම මට නම් අල්ලලා ගියා ඇඳක් තිබුණ නිසා....ඒත් තවත් 6 දෙනෙක් එක්ක අඩි 10 X 10 කාමරේක කැම්පස් යන කාලෙ හිටපු අම්මාටවත්, පොද වැස්සකටත් ඔරු පදින්න පුළුවන් කාමරයක බෝඩින් වෙලා  හිටපු අයියාටවත් ඒ එක බෝඩිමක්වත් හරි ගියෙ නෑ. 


කොහොම හරි අන්තිමට නවතින්න වුණේ අයියා ගෙ වයිෆ්ගෙ සීයාගෙ නංගිගෙ චූටි දුවගෙ ගෙදරට එහා ගෙදර හිටිය ඇන්ටිගෙ බාප්පාගෙ දුවගෙ ගෙදර. 
අපරාදෙ කියන්න බෑ ලක්ෂරි ගෙයක්.ෆුල් ඔප්ශන්.... රිවස් මිරර්, ඇලෝයි වීල්,පවර් ෂටර්ස් ඇතුලු සියලුම පහසුකම් තිබුණා. බෝඩිමේ අංකලුයි ඇන්ටියිත් හරී ආදරෙන් බාරගත්තා මාව...






 ඒත් ඉතින් මුල්ම දවසෙම මම වැඩ වරද්දා ගත්තා "මම වැඩියෙ කන්නෙ නෑ ඇන්ටි" කියලා. අනේ ඉතින් ඇන්ටිත් මගෙ වචන ඉස්මුදුනින්ම පිළිගෙන පහුවදා ඉඳන් කැම්පස් ගෙනියන්න බැඳලා දුන්න බත් එක මගෙ කටවල් දෙකකටත් මදි....


ගෙදර හිටියා ඇන්ටිගෙයි අන්කල්ගෙය් දූ පොඩ්ඩ. කියලා වැඩක් නෑ. මටයි එහෙ බෝඩින් වෙලා හිටිය අනිත් අක්කලා දෙන්නටයි හරි ආදරෙයි, කොයි වෙලාවෙත් අපි තුන් දෙනා පස්සෙන්මයි. කොච්චර ‍ෆිට් ද කියනවා නම් මම ඒ බෝඩිමෙන් යනකම් වචන 10ක් කතා කරලා නෑ එයා එක්ක. ‍ෆිට් එක වැඩි කමට එයා ගෙදර අනිත් බාත් රූම් එකෙන් මූන සේදීම ඇතුලු සියලුම ක්‍රියා නවත්තලා අපි තුන් දෙනා පාවිච්චි කරපු බාත් රූම් එකම පාවිච්චි කරන්න ගත්තා.... එයා වැඩ ඇරිලා එන වෙලාවට අපි කවුරු හරි බාත් රූම් එකේ හිටියොත් ආහල පහල ගෙවල් වල සේරටම ඇහෙන්න බෙරිහන් දෙන්න ත් එයා හරී ආසයි. මහන්සිත් ඇතිනෙ ඉතින් ඒ සී කරපු කාමරේ වැඩ කරලා ඒ සී කරපු ඔ‍ෆිස් වාහනෙන් ගෙදර ආවාම. අපි තුන්දෙනා ඉතින් එයාගෙ වීර ක්‍රියා වලට හිනා වෙවී (පේන්න නෙමේ) අපිට නෙමේ වගේ හිටියා. එක අතකට අපි මොනාට ගණන් ගන්නද.. අන්කලුයි ඇන්ටිය්ත් එයා කෑ ගහන වෙලාවට එයාලගෙ ගෙදර නෙමේ වගේ හිටියෙ. වැඩිම වුනොත් උනේ මගෙ දරා ගැනීමෙ සීමාව ඉක්මවා ගිහින් මම අඬපු එක විතරයි. 
(ඒත් ඒ කාටත් හොරෙන්. අම්මලාවත් දන්නෙ නෑ තත්වය ඒ තරම් සෝචනීයයි කියලා) පස්සෙ කාලෙක තමයි මම දැනගත්තෙ, මම ඉඳලා තියෙන්නෙ කලින් එයාට අයිති වෙලා තිබුණ කාමරේලු. ඉතින් මා එක්ක තද වෙන එකත් සධාරනයිනෙ දෙය්යයනේ




ඒ ගෙදර තව හිටියා මගෙ වයසෙ චූටි සුදු මල්ලියෙකුත්. කියන්න තරම් රහක් නෑ. සිංහලෙන් කිවුවොත් මෙලෝ රහක් නෑ... (ඒ වුණාට දවසක් මගෙ කාමරේට වඳුරෙක් පැනපු වෙලාවෙ මම ඌව එලවනකම් දොර ලඟටවත් වෙලා හිටියෙ එයා විතරයි. ඇන්ටියි අන්කලුයි කාමරේ හැංගිලා. අක්කා  කෙනෙක් බාත් රූම් එකේ හැංගිලා. අනිත් අක්කා වඳුරා යනකනුත් නිදි.... ) ඒ හින්දා ද මන්දා මගෙ ඉතින් කිසි අහිතක් නෑ ඒ අහිංසක කොල්ලා ගැන නම්.


 දවසක් හවස මම කාමරේට වෙලා හිටියා.(උඩ තට්‍ටුවෙ තියෙන්නෙ කාමරේ) ඔන්න එක පාරටම ජනේලෙට ගලක් වැදුනා... ටිකකින් දෙකයි... තුනයි... ජනේලෙ ලඟට ගිහින් බලන්නත් බයයි. කවුරුත් ගෙදර නෑ... මම යි නිදා ගන්න අක්කයි විතරයි. නිදා ගන්න අක්කා සුපුරුදු විදියට නිදි.... 
කරන්න දෙයක් නැති තැන නිදා ගන්න අක්කාගෙ කාමරේට ගිහින් එයාට කතා කළා  "අක්කෙ, කවුද ජනේලෙට ගල් ගහනවා... මට බයයි" "බය නම් ඔයා මගෙ කාමරේට වෙලා නිදා ගන්න නංගි" කියලා හීනෙන් වගේකියපු එයා අනිත් පැත්ත් හැරිලා ආයෙ නිදා ගත්තා.... මොනවා කරන්නද තමන් හිසට තම අතමය සෙවනැල්ල ලුනෙ. මම ඉතින් ආපහු ගිහින් හිමීට බැල්කනියෙන් එබිලා බැලුවා... හි හී................ මෙන්න ඉන්නවා ගෙදර කොල්ලා පූස් පැටියෙක් වගේ උඩ බලාගෙන... 
මෙන්න ඊලඟට කොල්ලා මට කියනවා "ඉස්සරහ දොර ටිකක් අරිනවද?" මමත් පහළට බැහැලා දොර ඇරියා. බලනකොට වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්... වෙනදාට කොල්ලා ගෙදර එනකොට හැමදාම දොර ඇරලානෙ තියෙන්නෙ.. එදා අපි දෙන්න විතරක් නිසා මම පහළ දොර ලොක් කරලා තිබුණෙ. පුරුද්දක් නැති නිසා කොල්ලා ට අමතක වෙලා ඩූර් බෙල්ල් එක ගහන්න පුලුවන් කියලා උඩ තට්‍ටුවට ගල් ගහන්නෙ නැතුව............




ඒ ගෙදර අන්කල් ගැනත් නොකියාම බෑ.බෝඩින් ෆීස් දෙන දවසෙ උදේට කාමරේ දොර ගාව කැරකුණාට මොකද එයා හරි ධාර්මිකයි. දර්මය වැඩි වෙලා එයා ගෙදරට ගේන්නෙ බිඳුනු බිත්තර විතරයයි. ඒවාගෙ "ජීවය" නෑ ලු. මාලු මස් කෑවාට කමක් නෑ ලු මොකද ඒවා අපිට හම්බෙන්නෙ මැරුවාට පස්සෙ නිසා.ඒක දැනගත්තාට පස්සෙ මට ඒ බෝඩිමේ බිත්තර කෑම එපා වුණා. 
ගෙදර ඇන්ටි ගැන වැරදි කියන්න මම වැඩියෙ කැමති නෑ, මොකද අවුරුදු 2ක් කන්න උයලා දුන්න මනුස්සයා නිසා. එයාගෙ සමහර වැඩ මට තේරෙන්නෙත් නැති තරමට මම මැටි ඒ කාලෙ. (දැන් කියලාත් වෙනසක් නෑ වැඩියෙම) සමහර දාට ‍රැට කන්න තියෙන්නෙ පාන්. අපි පාන් පෙති බෙදා ගන්නකම් ඉඳලා ඇන්ටි කියනවා "දැන් පාන් හරි ගනන්... බ්ලා බ්ලා බ්ලා" අනේ ඉතින් මමත් අහින්සකයා වගේ "ඒක තමයි ඇන්ටි" කියන ගමන් තව පාන් පෙති දෙකක් පිඟානට දා ගන්නවා. මට තේරෙන්නෙ නෑ වැඩියෙ කන්න එපා කියලායි මේ කියන්නෙ කියලා. ඒක දැකපු ඇන්ටි ගෙ මූණ ද්වාදසතලයක් වුණා කියලා කිවුවෙ අනිත් අක්කලා දෙන්නා. කොහොම කොහොම හරි මම ඒ බෝඩිමෙන් අයින් වෙලා වෙන බෝඩිමකට යන්න වුනෙත් ඇන්ටිගෙම වැඩක් තමයි. ඒ ගැන නම් මම කියන්නවත් කැමති නෑ මට මං ගැන දුක හිතෙනවා වැඩි නිසා.




ඊට පස්සෙ ගිය බෝඩිම නම් ගෙදර වගේ.... තවමත් හිතුණාම මම යනවා එහෙ . එහෙන් බැනුම් ඇහුවෙ එක්සෑම් කට උඩ තියාගෙන පාඩම් නොකර එයාලත් එක්ක "පබා" බලනවා කියලා විතරයි.

Tuesday, January 10, 2012

රවුම් ගැසීම සහ උගත් පාඩම්


 රිදා දවසක්! ඉතින් අපිට නිවාඩු (අපිට කිවුවා ට මට විතරයි, අනිත් අයත් නිවාඩු දැම්ම නිසා නිවාඩු) පොඩි රවුමක් ගහන්න හිතුනා. 
පැය දෙකෙන් කො‍ටුවට එනවා කියපු එයා 7 ට බස් එකට නැගලා 9 ට කො‍ටුවෙන් බැහැලා තිබුණා. විනාඩි 45න් එනවා කියපු මම 8.30 ට බස් එකට නැගලා 9.45 ට වෙලාවට කලාවට කො‍ටුවෙන් බැස්සා.......එයාගෙ  මූණ නම් හොඳම නෑ. ඒත් ඉතින් චොක්ලට් එකට පින් සිද්ද වෙන්න කොහොම හරි මූඩ් එක ‍ෆික්ස් (වගේ) වුණා....
138 බස් එකකට නැග්ගෙ කැම්පස් එක පැත්තෙ යන්න වුණත්, මගදි බහින්න වුණා ටවුන් හෝල් එක පැත්තෙ තියන පාර්ක් එකක් ලඟින්.......
ඉරිදා දවසට ගෙදරට වෙලා ඉන්න බැරි හැටි මේ මිනිස්සුන්ට!!! අම්මලා තාත්තලා, දුවලා පුතාලා , ආච්චිලා සීයලා කොට්ට  මෙට්ට පැදුරුත් අරන් පාර්ක් ඇවිත්!!!!! ආසාවට ඉඳගන්න බංකුවක් නෑ. අවුව වැටෙන බංකු විතරක් ඉතුරු වෙලා.........කමක් නෑ, sun bathing කියලා හිතාගෙන පොඩි බංකුවක් උඩ වාඩි වුනේ මාස ගානක කතා/ විස්තර එක හුස්මට කියලා ඉවර කරන්න හිතාගෙන. අපරාදෙ කියන්න බෑ අවට ඉන්න ලස්සන සත්තු වගයක් ලස්සනට පසු බිම් සංගීතය සැපයුවා නොමිලේම. වෙන කවුරුත් නෙමේ ගස් වල හිටිය තඩි වවුල්ලු.......... සිංහලෙන් කිවුවොත් fake කුරුල්ලො..!!!  
"පුළුවන්නම් කියන්න පේරාදෙනිය ගාර්ඩ්න් එකෙයි, මේකෙයි තියන සමානකම" මගෙන් එයාට චැලෙන්ජ් එකක්. 
"මල් තියනවා" 
"මේවාත් මල් ද අනේ"
"එහෙනම් මොකද්ද?" 
"දෙකේම වවුල්ලු ඉන්නවා"
"බොරු කියන්න එපා, පේරාදෙනියෙ කොහෙද වවුල්ලු !!!!!"
"ඉන්නවා. ඔයා හරියට බලලා නෑ" අවුරුදු 15කට විතර කලින් දවසක දැක්ක  මතකයි මට. ඒ නිසා අද ඊයෙ දැක්කා වගේ sure පිට මම කිවුවා...
ඇත්ත කුරුල්ලො වර්ග දෙක තුනකුත් හිටියා park එකේ... white throated king fisher (ළය සුදු මැදි පිළිහුඩුවා).. little egret ( පුංචි ඇලි කොකා), rose ringed parakeet  (රෑන ගිරවා)... ඒත් වැඩියෙන්ම හිටියෙ නම් කාක්කො තමයි.

( තව නම්  දන්නෙ නැති එක එක වර්ග වල කුරුල්ලොත් හිටියා... කලිසම් ඇඳලා... ටී ෂර්ට් ඇඳලා... ගවුම් ඇඳලා........... ලස්සනයි ඇත්තටම!!!!)







කාක්කො නම් හැම තැනම කියලා හිතුනෙ මගෙ ප්‍රියතම කෑම ඉරිඟු කරලක් සල්ලි දීලා ගත්තා ට පස්සෙ. කන්න හිතන එකත් විහිලුවක් වුණා ඒක. මට තවමත් හිතෙන්නෙ ප්ලාස්ටික් වලින් හදපු සෙල්ලම් ඉරිඟු එකක්ද මම කන්න ගත්තෙ කියලා.......


ඉරිඟු එකෙන් මට්‍ටු වෙලා හිටිය මට දවල් ට කන්න හිතුනා සයිවර් කඩේකින්...... අපරාදෙ සල්ලි කියලා හිතුනෙ හොදිත් එක්ක දුන්න රසම් හොද්දත් මම සම්පූර්ණයෙන්ම බත් එකට හැලුවාට පස්සෙ. බත් එකම වතුර බාල්දියක් වගේ වුණා. ඒක දෙනකොට වේටර් ට කියන්න තිබුනනෙ ඒක රසම් කියලා  :-( අන්තිමට Mcmeal 3ක  ගානට ටිකක් වැඩියෙන් ගෙවලා බඩගින්නෙම අපි එලියට බැස්සා (මම බඩගින්නෙ, එයා නම් හොඳ ‍ෆිට් එකේ)


ඊට පස්සෙ යන්නෙ කොහෙද!!!!! කල්පනා කරන්න ගත්තෙ පාරටත් බැස්සාට පස්සෙ.... ගෝවා, වම්බ‍ටු හිටවපු වට රවුම ඉස්සරහ ඉඳන් අපි කල්පනා කළා..........!!!!! ඔන්න ඒ වෙලාවෙ තමයි මගෙ දේශානුරාගී හැඟීම මතු වුණේ.
 "independent square 1 බලන්න ඕනා"
 "ඒ මොකද?"
 "හේතුවක් නෑ... නිකම් බලන්න ඕනා"
නිදහස් චතුරස්‍රයට යන පාර දැන්නම් බලන්න ලස්සනයි. ලංකාව මේ වගේ ලස්සන වෙනවා දකින්න ඇත්තටම ආසයි. සයිකල් ලේන් එකේ ඉඳලා හිටලා පොඩි උන් දෙතුන් දෙනෙක් බයිසිකල් පැද්දා. this is not a security barrier කියලා ගහලා තිබුණ barrier   එක මගෙ හිත තදින්ම පැහැර ගත්තා........ ("යුගයක වෙනස!!!  හැම වෙනසක් ම , හැම පනතක් ම මේ වගේ සුන්දර වෙනවා නම් කොච්චර හොඳද)
නිදහස් චතුරස්‍රයෙ කණු වල කැටයම්, ඒවගෙ වහලා හිටිය පරවියො දිහාට මගෙ කැමරාව යොමු වුණා.... ඔන්න එතකොට තමයි කොහෙදෝ ඉඳලා ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් දුවගෙන ආවෙ.... 
"ඇයි මිස් ෆොටෝ ගන්නෙ?" මාව හොල්මන් ..එතන හිටිය තවත් දෙන්නෙක් ෆෝන් එකෙනුයි, cyber shot කැමරාවකිනුයි ෆොටෝ ගන්නවා. ඇයි මගෙන් විතරක් අහන්නෙ
"නිකම් ගන්නෙ" මම උත්තර දුන්නා. වෙන මොනවා කියන්නද
"නිකම්?" ආරක්ෂක නිලධාරියා කැමරාව දිහාත් බලලා ආයෙම මං දිහා බැලුවා. කැමරාවෙ සයිස් එක මගෙ සයිස් එකට ගැලපෙන්නෙ නෑ වගේ....
"මීඩියා වලින් එන අයට, වෙඩින් වලට එහෙම මෙතන ෆොටෝ ගන්න දෙන්නෙ නෑ......." (ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් ආව මාව පේන්නෙ වෙඩින් එකකට ආවා වගේ ද, නැත්නම් මනමාලි වගේ ද..... මම කල්පනා කළා) 
"මම මීඩියා එකකින් නෙමේ... මම ###### කෙනෙක්. ෆොටෝ ගන්න එක මගෙ හොබි එක. ඒ නිසයි ගන්නෙ." 
ඊට වඩා මම පැහැදිලි කරන්න ගියෙත් නෑ...එයා මොකුත් කිවුවෙත් නෑ. 
ඊට විනාඩි දෙකකට විතර පස්සෙ ආව බස් එකකින් බැස්ස ඉන්දියන් වගේ පෙනුන සංචාරකයො වගයක් තඩි කැමරා, ට්‍රය්පොඩ් උස්සාගෙන කෑ ගහ ගහා ෆොටෝ ගහද්දි ආරක්ෂකයා පැත්තකට වෙලා බලන් ඉන්නවා මම දැක්කා.







ඉතින් මේ රවුම් ගැහිල්ලෙන් මම ඉගෙන ගත්තු පාඩම් අනිත් අයටත් කියලා දෙන 1 මගෙ යුතුකමනෙ.


# 8.30 ට විනාඩි 45ක් එකතු වුණාම 9.45 වන බව
# මූඩ් ‍ෆික්ස් කරන්න ඉඟුරු වලට විතරක් නොව, කොකෝවා වලටත් හැකි බව
# කොලඹම ඉන්නා වවුලන් දවල් ට ලැගුම් ගන්නේ විහාරමහා දේවී උද්‍යානයේ බව
# ජෛව තාක්ෂනයේ නවතම පෙරලියක් වන ප්ලාස්ටික් මිශ්‍ර ඉරිඟු අත්හදා බලන්නේ ශ්‍රී ලංකාවේ බව
#රසම් රස නැති බව
#ඩෙනිම් ගහගෙන වෙඩින් ගන්නා මනාලියන් සිටින බව
#අපේ නිදහස් චතුරස්‍රයේ ෆොටෝ එකක් ගන්න වත් අපිට නිදහස නැති උනාට විදේශීය සංචාරකයින් ට එය තුළට වී හූ කියන්නට අයිතිවාසිකමක් ඇති බව.
# 6.30 ට කො‍ටුවෙන් බස් එකට නැග්ගාම ගෙදර යන විට කලුවර වන බව





Monday, January 2, 2012

අලුත් අවුරුද්ද


   වුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දකුත් ආවා.......... මේ අවුරුද්දෙ ගොඩාක් දේවල් වෙන්න තියනවා ලු. මල් පිපෙන්න තියනවා... ළමයි දහස් ගානක් ඉපදෙන්න ඉන්නවා...අලුත් අලුත් නිර්මාණ ලෝකෙට බිහිවෙන්න තියනවා...කැලෑ අක්කර ගානක් කැපෙන්න තියනවා........ තවත් සිංහල බ්ලොග්ස් අපේ බ්ලොග් ලෝකෙට එකතු වෙන්න තියනවා....  ඒ විතරද... ලෝකෙත් විනාශ වෙන්න තියනවාලුනෙ. අනේ මන්දා....මේ විනාස වෙන්න තියන අවුරුද්ද මොනවාට මේ තරම් සැමරුවාද මන්දා..................
මට නිදා ගන්න දෙන්නෙත් නැතුව රෑ 12 වෙනකම් කොහොම හරි අම්මා මාව තියා ගත්තානෙ කිරි උතුරවනවා බලන්න. අපේ ගෙදර සිංහල අලුත් අවුරුද්දට වගේම ජුලියස් සීසර් ගෙ අලුත් අවුරුද්දටටත් කිරි උතුරවනවනෙ......................අපි එහෙමයි අවුරුදු උදාව සැමරුවෙ.





    ඒත් ලොකෙ එක එක රටවල් වල අවුරුදු උදාව සමරන විදිය වෙනස්!!! මෙන්න එක උදාහරණයක්. අවුරුද්ද ලබනකොට ජර්මනියෙ කරල තියෙන්නෙ බෝම්බ ගහපු එක.
ඔන්න ජනවාරි පළවෙනිදා උදේ පාන්දර 6ට විතර ගෙදර හොට් ලයින් එක වදිනවා... කවුද ඒක ගනන් ගන්නෙ. මාසෙකට සැරයක් වත් මට ඒකට කෝල් එකක් එන්නෙ නෑනෙ.
 ඒත් ඔන්න ඊලඟ මොහොතෙ අම්මා කෑගහනවා.... 
"පුතේ මෙන්න මල්ලි කතා කරනවා" 
මම නිදි මතේම හිතලා බැලුවා මට මල්ලි කෙනෙක් ඉන්නවා ද කියලා. නෑ එහෙම මතකයක් නම් නෑ. 
ඉන්නෙ එකා යකා වෙලා තියන නංගි කෙනෙක් විතරයි. කවුද මේ මල්ලි. ??? ආ බලනකොට මගෙ  cousin... ජර්මනියෙ ඉඳන් කතා කරනවා එයාලාට අවුරුද්ද ලබලා ටික වෙලාවකින්. උදේ පාන්දර ඇහැරෙව්වා කියලා බැනලා වැඩකුත් නෑනෙ.මොකද බැන්නා කියලා වැඩියෙ තේරෙන්නෙ නෑ..... ඒ තරමට මිනිහාගෙ සිංහල හොඳයි. 
"අක්කේ, සුබ නත්තලක් වේවා!!"
"නත්තල ඉවරයි කොල්ලො, මේක අවුරුද්ද"
"ආ සුබ අවුරුද්දක් වේවා අක්කේ!!!"
"අලුත් අවුරුද්දක් කියලා කියන්න මල්ලි"
"සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කෙ!!!"
"අනේ.. මගෙ සුදු මල්ලිටත් සුබ අලුත් අවුරුද්දක් වෙවා!!!" වයස අවුරුදු 17ක් වුණාට තවමත් එයා අපේ බටර් වලට ‍රැවටෙනවා. (or else, ‍රැවටෙනවා කියලා පෙන්නනවා) 
"ඉතින් මල්ලි මොනවා ද කලේ අවුරුද්ද ලබනකොට?"
"අපි බෝම්බ.....ම්ම්ම්...බෝම්බ කළා"
(බෝම්බ කළා? ඒ මොන කුණුහරුපයක්ද ඒ. බෝම්බ ගැහුවා, පිපිරෙව්වා කියලා කිවුවා නම් හරි. ඒත් කවුද බෝම්බ ගහන්නෙ අවුරුද්දට...නිදිමතේ මොන්ගල් වෙලා හිටිය මට තවත් මොන්ගල් වගේ. මූ දහයට ගනින්න බෑ වගේ හිටියට බෝම්බත් හදන්න ඉගෙන ගෙනවත්ද)
ඔන්න ඒ වෙලාවෙ තමයි නැන්දාගෙ කටහඬ ඇහුනෙ. "බෝම්බ නෙමේ කොල්ලො, ඒවා මල්වෙඩි"
"ආ ඔව් ඔව් අක්කෙ, අපි මල් වෙඩි තිබ්බා"
"තුවක්ක්වෙන් වෙඩි තියනවා වගේ මල් වෙඩි තියනවා කියන්නෙ නෑ මල්ලි, මල් වෙඩි පත්තු කරනවා කියලා කියන්නෙ"  මම උපහාසයක් ගෑවුනේවත් නැති හඬකින් හැමදාම වගේ මල්ලි ට පැහැදිලි කළා


ඊට පස්සෙ තමයි මගේ ෆෝන් එක අරන් ඒකෙ තිබුන මැසේජස් චෙක් කළේ. එක එක විදියෙ ඒවා තියනවා. සමහර ඒවා මටත් කට පාඩම්. අවුරුදු ගානක් එක දිගට ඇවිත්.තවත් සමහර ඒව දැක්කාම මොලේ හොල්මන් වෙනවා. 

අරෝශ් ගෙ නොම්මරෙන්  ඇවිත් තියෙන මැසේජ්  එක තමයි මේ.


Like birds,let us,
leave behind what we dont need to carry...
grudges sadness pain fear and regrets..
life is beautiful,enjoy it
happy new year 2012
~ * Lakmi * ~

 අනේ මන්දා...අරොශ් ගෙ ෆෝන් එකෙන් ලක්මි මට මැසේජ් එවලා ද කොහෙද. ඒත් මට ලක්මි කියලා යාලුවෙක් නෑනෙ, අරෝශ් නිකම් ජොලියට වගේ ලක්මි කියලා ටයිප් කරලා එවන්න ඇති, අකුරු 160න් තව ඉතුරු වෙලා තිබුණ නිසා. 
අපේ ජනාධිපති තුමාත් මාව අමතක කරලා නෑ මේ පාරත්. ගෙදර තියන හැම සිම් කාඩ් එකකටම මැසේජ් එවලා තියෙන්නෙ අලුත් අවුරුදු දවසෙ එයාටත් නිවාඩු  වෙන්න ඇති. 


කාගෙ මැසේජස් තිබුනත් මගෙ හොඳම යාලුවා ට මාව අමතක වෙලා. සේරටම කලින් කෝල් එකක් අරගෙන බැනලා තමයි පටන් ගත්තෙ. ඒත් එයා කියනවා එවුවා ලු මැසේජ් එකක්. ඒකත් හිර වෙලා වෙන්න ඇති. මම යවපු sms එකත් එයාට ගිහින් නෑ.... ඒ නිසා මම ඒ කතන්දරේ අමතක කරලා දැම්මා. ලබන අවුරුද්දෙ නම් 31ස්ට් රෑ ඉවර වෙනකොට කාටවත් sms යවන්නෙ නෑමයි..නෑමයි.!!!


අවුරුද්දෙ පළවෙනිම දවසෙ උදේ ම ලස්සන රෝස මලක් පිපිලා  මිදුලෙ.මේ තියෙන්නෙ ඒක. ඒකත් එක්කම මුළු ලෝකෙටම සුබ නව වසරක් සිඳු ත් ප්‍රාර්තනා කරනවා.