ගොඩක් ම පුංචි කාලේ ඉඳල ම මට තිබුණ ප්‍රශ්නයක් තමයි මාව අම්මට ලැබුණෙ කොහොම ද කියන එක. එක එක අය කිවුවෙ එක එක කතා.
පුංචි කාලෙ යාළුවෙක් මට කියල දීල තිබුණා අම්මලා ගොඩක් කට ඇරියාම තමයි බබාලා ඒ කටින් එළියට එන්නේ කියලා.
ඒ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න මට තවත් කල් ගියා. කොහොම වුණත් අම්මලාට ඇත්තට ම බබාලා ඉපදෙන හැටි දකින්න නම් පුළුවන් වුණේ, වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා අවුරුදු තුනකුත් ගෙවුණාට පස්සෙ.
ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ සූතිකාගාරයට යන්න අපි හැමෝ ම උනන්දුවෙන්, කුතුහලයෙන් හිටියෙ කිවුවොත් නිවැරැදියි. සූතිකාගාරයෙ පළමු දිනය මගේ ජීවිතේ කවදා වත් ම අමතක නො වන දිනයක්. දරු ප්‍රසූතියක් අතරමඟ දි කලන්තය සෑදුණ මිතුරන් දෙදෙනකු හැරෙන්නට අප සියලු දෙනා ම අවසානය දක්වා ම එහි රැඳී සිටියා.
පැය කිහිපයක් පුරාවට අම්මලා විඳින වේදනාව දැක්කම මගේ අම්ම ගැන ආදරය තවත් වැඩි වුණා. සූතිකාගාරයේ දොර අසල බලාපොරොත්තු සහගත, නො ඉවසිලිමත් ආදරයකින් පිරුණ ඇස්වලින් බලාගෙන ඉන්න තාත්තලා දැක්කම මගේ අප්පච්චි ගැන ආදරය තවත් වැඩි වුණා.
බබා එළියට එනකම් වරින් වර දැනෙන වේදනාවත් එක්ක පොර බදන අම්මලා දකිද්දි හිතට දැනෙන්නේ මාතෘත්වය පිළිබඳව ගෞරවයක්.
දරුවා එළියට එන්න උදව්වක් විදියට පුංචි කැපුමක් ඇති කරනවා. episiotomy කියලා හඳුන්වන්නෙ ඒ කැපුම. නමුත් ඒ වේදනාව ඒ මොහොතෙ දී නො දැනෙන්නේ දරුවා බිහි වන අවස්ථාවේ දී දැනෙන වේදනාව වඩා ප්‍රබල නිසා වන්නට ඇති. දරුවා ලැබුණාට පස්සෙ මේ කැපුම මහනවා දිය වෙන නූල් වලින්.
ඒ මොනව වුණත් දරු ප්‍රසූතියට උදව්වක් විදියට යොදන මේ පුංචි කැපුම මහන්න නම් ගොඩාක් කල් බලාගෙන ඉන්න වුණා.
"නංගි මහන්න පුළුවන්ද? HO අක්කා (house officer) ඇහුවෙ සාත්තු සේවිකාව, අලුත ඉපදුණ බබාව ඇතුළෙ කාමරයට අරන් ගියාට පස්සෙ. හිතට තිබුණ උනන්දුව නිසා හා කියලා කිව්වට අක්කා ගියාට පස්සේ නම් දැනුණේ කකුල් දෙක ම වෙව්ලනවා වගේ.

හිරි වට්ටන බෙහෙත් විදලා පටන් ගත්තා වුණත් හිතේ බයටත් එක්ක වෙන්න ඇති අම්මට වේදනාවක් දැනෙනවා. ඒ නිසා ඇය ගෙ සහයෝගයක් නැති තරම්.
"මේක ඉවර කරන්න උදවු කරන්න අම්මා" මම හැම වෙලාවෙ ම කිව්වේ එච්චරයි. ඒත් ඇගෙන් කිසි ම සහයෝගයක් නො ලැබෙන පාටයි. මගේ යාළුවෝ ටිකත් වට වෙලා බලාගෙන ඉන්නවා විතරයි.
ජීවිතයේ පළවෙනි වතාවට ඒ වගේ ලොකු episiotomy 1ක් මහන්න වෙන හැමෝටම දැනෙන "හොල්මන්" ගතිය මටත් ඒ විදියටම හෝ ඊට ටිකක් වැඩියෙන් දනෙමින් තිබුණ.
"තව තියනව ද?" අම්මා නිතර ම මගෙන් ඇසුවේ වේදනාවෙන්.
"තව චුට්ටයි" මගේ පිළිතුර නමුත් මා ඉවර කර තිබූ ප්‍රමාණය ඇය හැරෙන්නට එතැන සිටි සියලු දෙනා ම දැනගෙන සිටියා.
මේ විදියට ටිකක් වෙලා මම වක් වූ ඉඳිකටුව සහ නූල සමග පොර බැද්දා. අම්මා ගේ වේදනාත්මක හඬ මාව තවත් අපහසුතාවට පත් කළා. ඇගේ කෙඳිරිය වැඩි වනවා මිස අඩුවක් නම් වුණේ නෑ.
ඒත් තවත් සුළු මොහොතකින් සූතිකාගාරයේ සාත්තු සේවිකාවක් බබා රැගෙන ආවා. සිහින් ස්වරයකින් බබා අඬනවා "අම්ම ගේ ඇඩීමට බබා ගේ ඇඩීමත් එකතු වුණොත් නම් ඉවරයි." මට හිතුණා.
ඒත් අම්ම ගේ උණුහුම ලැබුණා විතරයි පුංචි පුතා නිහඬ වුණා. ඒ එක් කම අම්මත් නිහඬ වුණා. ලොකු හිනාවකින් පුතාව අතට ගත්තු අම්මා කිරි දෙන්න පටන් ගත්තා. දෙන්නම නිශ්ශබ්දයි. ඒ නිසා එතනින් පස්සේ මගේ කාර්යය වැඩි අපහසුවකින් තොර ව කරගෙන යන්න මට පුළුවන් වුණා.
"හරි අම්මා... මහලා ඉවරයි." අම්මා සැනසුම් සුසුමක් හෙළුවා.
"විනාඩි 45ක් ගියා" මිතුරියක් මගේ කණට කෙඳිරුවා, මගේ නෙත් ඔරලෝසුව දිහාට හැරුණෙ ඉබේම. "ඇත්තමයි" වෙනදාට HO අක්කා විනාඩි 15න් කරන දේට මට විනාඩි 45ක් ගිහින්. එච්චර වෙලාවක් අම්මා නිහඬ ව හිටියේ පුංචි පුතාව අතට දුන්න නිසා. මාතෘ ස්නේහයට කළ හැකි දේ බොහොමයි. මට ආයෙමත් හිතුණා.
(පරණ පත්තර ටිකක් පෙරලනකොට මම කාලෙකට ඉස්සර වෙලා විදුසරට ලියපු මේ ලිපිය හම්බුණේ. ලියන්න වෙන දේවල් ඕනා තරම් තිබුණත්,මේක මගෙ බ්ලොග් එකට යන්නම ඕනා දෙයක් කියලා හිතුණා.)