Thursday, March 29, 2012

පන්ති ගිය ඒ කාලෙ


ඉස්කෝලෙ ඇරුණ ගමන් ගිනි ගහන අවුවෙ දාඩිය පෙරාගෙන  අමතර පන්ති ගිය කාලයක් අපි හැමෝටම තිබුණා මතකද? 


ඉස්කෝලෙ ඇරෙන වෙලාවට අපි පොත් ටික අස් කරන්න පටන් ගන්නෙ අපේ සහෝදර පාසලේ සීනුව වදිනවා ඇහෙනවාත් එක්කම. ඒ නිසා යන්තම් අපේ අන්තිම සීනුව වදිනකොටම පොත් ටික අස් කරගෙන එලියට පැනලා දුවන්න පුළුවන් වුණා. 


පාසල ඇරිලා යන පෝළිම හොඳටම පිළිවෙලට යන්නෙ විදුහල්පති කන්‍යාසොයුරියගෙ ඔ‍ෆිස් එක ඉස්සරහින්. එතනින් එහාට ටිකෙන් ටික ‍turbulent වෙන  පෝළිම කැඩී බිඳී විසිරිලා යන්නෙ හිතාගන්නවත් බැරි විදියට. 
ප්‍රිෆෙක්ට් අක්කලා බස් ස්ටෑන්ඩ් එකටම යනකම් ඉන්න නිසා පොඩි නංගිලා නම් පෝළිම් පනින්නෙ නැතිව ගියා. ඒත් ඉතින් අපිට මොන පෝළිම්ද... විනයක් නෑ ...... ගාල කඩා ගත්ත හරක් ටිකක් වගේ වෙලාවකට. 


6 වසරෙ 7 වසරෙ පොඩි උන් ගෙනුත් බැනුම් අහගෙන මෙහෙම දිවුවෙ වෙන මොනාටවත් නෙමේ.... 
පන්ති වලට යන්න බස් එකක් අල්ලගන්න. හලාවත ඉඳන්ම පාර දිගට තියන ඉස්කෝල වලින් බාගයක්ම පුරවාගෙන එන ඒ බස් වලට නගිනවා කියන එකත් වීර ක්‍රියා වලට ඇතුළත් කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි කළේ ගොඩාක් දුර ඉඳන් එන සීමිත නැවතුම්, අර්ධ සුඛෝපභෝගී බස් වලට නැගලා කොන්දොස්තරලාගෙන් බැනුම් අහගෙන  මීගමුවෙන් බහින එක


මේ තරම් ක‍ටු කාගෙන අපි දුවන්නෙ පන්ති වල ඉස්සරහ පේළිය අල්ලන්න. කොයි තරම් පිස්සු නැ‍ටුවත් පන්ති වල ඉස්සර පේළිය අල්ලන්න ට්‍රයි කරන එක නම් ගෑණු ළමයින්ගෙ හැටි ද කොහෙද.


අනිත් පන්ති වල තත්ත්වය එහෙම වුණත් එක පන්තියක් තිබුණා , ඒකට අපි දිවුවෙ අන්තිම පේළිය අල්ලා ගන්න.ඒකට මුල් වුණෙත් අපූරු සිදු වීමක්.ඒ පන්තියේ  අපි හැමදාමත් හිටිය පේළියක් තිබුණා. ඒකෙ ඉඳන් තමයි අපි මිස් ට හොරෙන් මයිලෝ බිවුවෙ, බිස්කට් කෑවෙ සහ සමහර වෙලාවට නිදි කිරා වැ‍ටුණෙත්. (කොහොම වුණත් බොහෝ දුරට අපේ අවධානය රඳවාගන්න පුළුවන් කමක් ඒ මිස් ට තිබුණා)


                                  http://imdocuk.com/content/2/7/8/12781/86510140carre-jpg.jpg


කාලයක් ඔහොම ගත වුණා... දැහැමෙන් සෙමෙන් අපි බිස්කට් එකක් කාලා, මයිලෝ එකක් එහෙම බීලා අපේ පාඩුවෙ හිටියා. 


දවසක් ඒ තීරණාත්මක මොහොත එළඹුණා. අපි සුපුරුදු විදියට පන්තියට දුවගෙන ගියා.මොකක්? අපේ පේළිය නෑ.... 
ආ.... නෑ නෙමෙයි, මෙන්න ඒකෙ "කොල්ලෙක්" ඉඳගෙන. ( ඒ කාලෙ පිරිමි ළමයින් ව හැඳින්වුවෙ එහෙමනෙ අපි) නිකම්ම නිකම් කොල්ලෙක් නෙමේ... කණ්ණාඩි දෙකකුත් දාලා, ඩොක්ටර් පෙණුමක් තියන අපේ සහෝදර පාසලේ කොල්ලෙක්. ඒ සහෝදර කම් කොහෙද අපිට ඒ වෙලාවට. 


සිඳු කොහොමත් ඒ කාලෙ ටිකක් වලියට බරයි ලු 
"එයාව එලවමු අපි"
" ඒක තමයි, අපේ බංකුවෙ කොහෙද එයා වාඩි වෙන්නෙ එහෙම" "අපි කතා කරලා කියමු යන්න කියලා" 
" එහෙම නැත්නම් අපිත් ගිහින් ඉඳගමු ඒකෙ" 


කොහොමද අපේ අදහස්. වචන වලින් ඒ ළමයාව ගහලා එළවලාත් ඉවරයි. 
(අසාධාරණයි තමයි ඒක, ඒ වුණත් ඒ කාලෙ අපිට ඒවා පෙනුනෙ නෑනෙ.)
ඔහොම කතාවෙලා අපි සෙට් එක ගියා "අපේ බංකුව" ගාවට. සිඳු පෙරමුණ ගත්තා... මරාගෙන මැරෙනවා වගෙ හිතාගෙන තමයි ගියෙ. 
ඒ වුණාට කටින් පිටවුණේ "ඔයාද අද මෙතන ඉන්නෙ? අපිනෙ අනේ වෙනදාට මේකෙ ඉන්නෙ" කියලා විතරයි.
"ඒත් අද මමනෙ මෙතන ඉන්නෙ.... "ස්ථීර සාර ස්වරයකින් කොල්ලා කිවුවා. 


                        http://www.thepowerofintroverts.com/wp-content/uploads/2011/06/intelligent-child.jpg


අපි ඉතින් අහිංසක විදියට ආපහු හැරිලා ඇවිත් අන්තිම පේළියේ ඉඳගත්තා. 
ඒ වෙලාවෙ තමයි තේරුණේ ඒකෙ අසිරිය!! මුළු පන්තියම පේනවා. ඒ මදිවට අපි පන්තියෙ පිරිමි ළමයින්ටත් පිටිපස්සෙ. එයාලාට වැරදෙන වෙලාවට මූණ පෙන්නන්නෙ නැතුව හිනා වෙන්නත් පුළුවන්. වෙනදා ට වඩා හොඳින් හොරෙන් බිස්කට් කන්නත් පුළුවන්...  මොන සැපක්ද... එදා ඉඳලා තමයි ඒ පන්තියෙ අපි අන්තිම පේළිය අල්ලාගන්න දුවන්න පටන් ගත්තෙ.
 (ඒ පිරිමි ළමයා දැන් නම් මගෙ හොඳ යාලුවෙක්.  එදා තිබුනෙ ඩොක්ටර් පෙනුම විතරයි, දැන් නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක්)

 ඔය විදියට පිටිපස්සෙ ඉන්න වෙලාවට ඉස්සරහ පේළි වල ඉන්න අපේ යාලුවෙක්ගෙන් (ජෙගරිගෙන්) චිට් එහෙම එනවා අපිට. 
මේ තියෙන්නෙ ඒ කීපයක්
මේවා කියවද්දී තවමත් හිනා යනවා


මේ තියෙන්නෙ අපේ "ජෙගරි" වෙනදාට වඩා සාන්ත දාන්ත විදියට හිටිය දවසක මම යවපු චිට් එකක්


මේ ඒකට ආව උත්තරේ


මේ තවත් දවසක ජෙගරි ට බඩගිනි වෙලා මටයි අනිත් යාළුවාටයි එවපු චිට් එකක්. එදා එයා හිටියෙ ඉස්සරහ පේළියක

බිස්කට් එක යවන්න ගිහින්, පැකට් එකම රෝල් වෙලා ඉස්සරහ බංකුවක් යටට ගියා.




දවසක් අපි දෙන්නා ඉස්කෝලෙ නොගිහින් පන්ති ආවා. වෙනදාට මාසෙට පෝයට ඉස්කෝලෙ එන ජෙගරි , එදා ඉස්කෝලෙ ගිහින් යුනිෆෝම් එකෙන් පන්ති ආවා ටිකක් පරක්කු වෙලා. ඒ දවස් වල තමයි නිවාසාන්තර ක්‍රීඩා තරඟ වල මූලික තරඟ තිබුනෙ.
ඉතින් මේ අපි යවපු චිට් එක ( පරක්කු වෙලා ඇවිත් ගැලරියෙ වාඩි වුන ජෙගරි ට)



මෙන්න උත්තරේ


මේ මම ආපහු යවපු එක


අපි දෙන්නා පිටිපස්සෙ පේළියට ගිහින් ජොලියෙ ඉද්දි, හැමදාමත් වගේ පරක්කු වෙලා ආව ජෙගරි, මිදි තිත්තයි කිවුව නරියා වගේ එවපු චිට් එකක්.

මේවා දකිද්දි කට්ටිය හිතනවා ඇති මෙහෙමද ඉගෙන ගත්තෙ කියලා. උත්තරේ නම් ඔව් තමයි. ඒත් ඉතින් අද ජෙගරි මොර‍ටුව තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිධාරී , මානව සම්පත් කළමණාකාරිණියක්. මාත් එක්ක චිට් ලියපු අනිත් යාළුවා ත් වෛද්‍යවරියක්. (ලොකු කමට කිවුවා නෙමේ ඕන්)

මේ පන්තිය ඉවර වෙලා අපි ආවෙත් බස් එකේ. දුක් විඳගෙන දවල් ට ආවා ට හවසට ආපහු යනකොට නම් සැපට ගියා. සැපට කියන්නෙ බස් එකේ වාඩි වෙලා ගියා කියන එක. ඒ වෙලාවට පන්ති ගොඩාක් ඉවර වෙන වෙලාව. බස් වල ඉන්නෙ වැඩිපුරම පන්ති යන ළමයි තමයි. විශේෂයෙන්ම "ජයනි" එකේ තියන පන්ති ටික ඇරෙනවා.ඒකෙ පන්ති වලට යන අපේ අනිත් යාලුවොත් ඒ වෙලවට බස් එකේදි හම්බෙනවා.අපි කොහොම හරි උත්සාහ කරන්නෙ බස් එකට නැගලා වාඩි වෙන්න. ඒ වුණාට මොකද්ද මන්දා හේතුවකට පිරිමි ළමයි නම් පුළුවන් තරම් උත්සාහ කරන්නෙ හිටගෙන යන්න. 
ඒ වෙලාවට වෙනකොට අපි ඉන්නෙ "පාන්"කියාගන්නත් අමාරු තත්වෙක.


 ඒ වගේම මහන්සි දවසක මමයි මගෙ යාළුවායි බස් එකට නැගලා හිටියා. වෙනදාට බස් එකේදි හම්බෙන ජයනි එකේ පන්ති යන යාළුවො ටිකව එදා කොහොම හරි අපිට මග ඇරුණා. කට්ටියම ඉන්න වෙලාවට නම් මුළු මීගමුවම රන් කරන්නෙ අපි වගේ හිටියා ට එදා හිටියෙ අපි දෙන්නා විතරක් නිසාද කොහෙද වැඩි සද්දයක් නැතුවයි දෙන්නාම බස් එකේදි ඉඳගෙන හිටියෙ. 



සුපුරුදු විදියට වසවර්ති මාරයො ටිකක් වගේ කොල්ලො ටිකකුත් නැග්ගා බස් එකට. එයාලාගෙ කොහොමත් තියෙන්නෙ ලොකු ලොකු කතානෙ.... කතාවෙන් තේරුණේ අපිට වඩා අවුරුද්දක් බාල ළමයි ටිකක් කියලා. එයාලාගෙ පිස්සු කතාවලට හොරෙන් හිනා වෙවී , ඒත් එයාලාට පේන්න රව රව අපි දෙන්නා හිටියා. 


නොහිතුව වෙලාවක එක මල්ලි කෙනෙක් කෑ ගහන්න පටන් ගත්තෙ එක පාරටම. 


"අම්මෝ මගෙ කකුල.... කකුල මොකද්ද වෙනවා...." මුළු බස් එකටම ඇහෙන්න මේ ළමයා බෙරිහන් දෙන්න පටන් ගත්තා. 


"මගෙ දනිස්ස කැඩුනාද කොහෙද.... ඉන්න බෑ......" අපිට ඉස්සරහ හිටිය අන්කල් නැගිටලා සීට් එක දෙන්න හැදුවා. ඒ පාර ආයෙ කෑගහනවා 


"අනේ එපා අන්කල්... ඉඳගන්න බෑ, මට හෙල්ලෙන්නවත් බෑ"
මටයි මගෙ යාළුවාටයි හිතාගන්න බැරි වුණා මොකද වුනේ කියලා.ඒ වෙනකම් පිස්සු නට නට හිටිය ළමයා ට එක පාරටම මොකක් වුනා වුණත් මට නම් පොඩි දුකකුත් ආවා. මගෙ යාලුවාටත් ඒක එහෙමම වෙලා තිබුණා කියලා තේරුණේ එයා එක පාරටම නැගිටලා ඒ ළමයා ට සීට් එක දුන්න නිසා. 


අනේ ඉතින් අර කකුල කැඩුණ ළමයා ට මොකුත්ම ප්‍රශ්නයක් නෑ... ඉඳගන්න බැරි කමකුත් නෑ... කපටි හිනාවකුත් දාලා එතනින් ඉඳ ගත්තානෙ. කෑගැහිලි සේරම නැවතුනා............ වටේ ඉන්න ඇට්ටර කොල්ලො ටික හිනා වෙනවා... 


මගෙ යාළුවාගෙ මූණ හොඳටම රතු වෙල ලැජ්ජාවට. මට හොඳටම තරහයි, ඒත් හිනාත් යනවා. මොනවා කරන්නද , බොරුවක් කරලා සීට් එක ගත්තා කියලා බනින්නත් බෑ. මගෙ යාලුවා නම් ඒ තරම් අපහසුතාවයකට පත් වෙන්න නැතුව ඇති කවදාවත්ම.


ඒ සෙරමත් ඉවසාගෙන හිටියා කියමුකො, මගෙ රතු කට්ට පැන්නෙ හිටගෙන හිටිය ඒ කොල්ලො රංචුවෙ තව එක්කෙනෙක් කියපු කතාවකට...............


"අක්කෙ , යුනිෆෝම් එකත් ඇඳගෙන , මේ විදියට පිරිමි ළමෙක් ලඟ ඉඳගෙන යන එක හරි නෑ නෙද? ඒ නිසා ඔයාත් නැගිටින්න , අපි කවුරු හරි ඉඳගන්නම්"

                                           

Thursday, March 22, 2012

මතකද ඒ දින කිහිපය.......??

රටට ජාතියට ආදරේ කරන හැම කෙනෙක්ම දේශපාලන මති මතාන්තර, ආගම් කුල භේද පැත්තකින් තියලා 
දිවා රෑ නැතුව රූපවාහිනිය වටේට එකතු වෙලා  බලාගෙන හිටපු ඒ දවස් ටික මතකද? 

ඇවිද ගන්නවත් පණ නැති ඇටසැකිලි වගේ මිනිස්සු දහස් ගාණක් වෙඩි වරුසා මැද්දෙ මේ පැත්තට දුවගෙන ආව හැටි මතකද? 


අපේ ආරක්ෂක හමුදාව පාටක් සුවඳක් බලන්නෙ නැතිව ඒ මිනිස්සුන්ව ආවරණය කරගෙන වාහන වලට දාගනිද්දි, හමුදාවෙ සෞඛ්‍ය අංශ වලින් ඒ මිනිස්සුන්ට බේත්, සේලයින් දෙද්දි අපේ ඇස් වලට කඳුලු ආවා මතක ද?


ඊට බොහෝ කාලයකට කලින් අපේ ඈත ගම්මාන වල පුංචි දරුවන්ව , අම්මලාව කපල කොටලා මරලා දාලා තියෙන හැටි දැක්කා ම අපේ හිත් වලට ආව හැඟීම මතකද? 

මෙහෙම අතීතයක් තියන අපේ රටට දැන් වෙන්න යන දේ ගැන නිකම් වත් හිතුණා ද,

නැත්නම් චැනල් 4 බලලා ශ්‍රී ලාංකිකයන් වුණ එක ගැන ඔයාලාටත් ලැජ්ජා හිතුණාවත් ද? :D

රන් අසිපතක මුවහත් තුඩ අග පෑයේ
ඔද බිඳලන්න රුපු සේනා නැගූ ජයේ
විකුමන් පෑව සිවු හෙළ දූ පුතුන් දැයේ
ගත ‍රැඳි දහඩියෙහි සුදු මල් පිපී ගියේ

කිරුළක් හිමි වුණා රණ ගී ජය නැගුයේ
මිණි කැට මතු වුණා ‍රැවු දී ඒ ගීයේ
ආසිරි පැන් පුදා මේ මවු බිම දිනුයේ
රන් සියපත් නැගී විකසිත වී ආයේ

සහසක් දිවි පුදා මවුබිම පින් යුගයේ
රුහිරෙන් පෙඟී ගියමුත් මිහිමව පෙලුයේ
විරු දරු කැලක් විය නිබයව පෙරට ගියේ
සුපැතුම් මතිනි සිත නැගි බුදු පුතුන් දැයේ

විහඟුන් නැගූ සත්සර හඬ පැතිර ගියේ
රණ ගී ඇසුණ දෙසවන් පුබුදා ලූයේ
අවි අත දරා සුබ ජය පැන් දිනූ ‍රැයේ
ලක් දූ පුතුන් පැතුවේ නිදහසයි දැයේ

මිලිනව නොයන්නට පැතුමන් දිනූ දැයේ
අප දිනු මෙබිම අප ‍රැකගත යුතුව තියේ
පිබිදෙවු හෙළ පුතුනි නැගිටිමු අපි ආයේ
අපටයි උරුම අප උරුමය තවම දැයේ





Tuesday, March 20, 2012

සමු දුන්නෙ මම ඇයිද මන්දා

ඉකිලමින් උන් කඳුලු සිතකට
සිනහ සිතුවම් රූ පළන්දා
වියැකෙමින් තුබු දිවි තලාවට
සෙනෙහෙ මල් දම් පෙති පළන්දා


නිවී යන්නට සැරසිලා හුන්
තු‍ටු පහන් සිළු දිලූ පෙරදා
ගොහොරුවක් වූ ම'දිවි විලවට
සුපිපි පියුමක සුවඳ  රන්දා


ගයන්නට නොහැකිවම ලත වුණු
මගේ ගීයේ තනුව සැමදා
සිහිනයෙන් සවනතට ගැයු ගී
යළි යළිත් ඇසුනාද මන්දා


සීන සතකින් එපිට සිතුවම්
සිතක් අද්දර ගලා ගිය දා
විරහ කඳුලක රස විඳින්නට
සමුදුන්නෙ කුමකටද මන්දා





Monday, March 19, 2012

චාරිකා සටහන් 02 - යටාල වෙහෙර

   රමාකන්ද ට ගිය ගමන ගැන කිවුවට පස්සෙ හිතට ලොකු ආසාවක් ආවා තවත් ඒ වගේ දකින්න ලැබුණු ස්ථාන ගැන ලියන්න. 
බ්ලොග් එක ඒකාකාරී නොවෙන්න, හිතෙන , ඉඩ ලැබෙන වෙලාවට ලියන්න හිතුනා.


මීට අවුරුදු 2කට  විතර කලින් අපිව කැම්පස් එකෙන් යැවුවා CBML (community based medical learning) කියලා වැඩසටහනකට සති 3කට. 
       කතරගම, හම්බන්තොට ආදී ප්‍රදේශ වල තමයි ඒක තිබුනෙ. පර්යන්ත ප්‍රදේශ වල රෝහල් වල වැඩ කටයුතු කෙරෙන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීම තමයි එහි මූලික අරමුණ වුණේ.
medical learning කොහොම වුණත් 12 ටත් කලින් රෝහල් වලින් පැන ගත්තු අපි මුළු ප්‍රදේශයම පීරුවා කිවුවොත් නිවැරදියි. 
කතරගම, කිරි වෙහෙර, සෙල්ලකතරගම, වැඩසිටි කන්ද, ලුණුගම්වෙහෙර, කිරින්ද, උස්සන්ගොඩ ආදී සියලුම ප්‍රදේශ ආවරණය කරන්නට අපිට පුළුවන් වුණා.


මේ කියන දවසෙ අපි ගියෙ තිස්ස දෙබරවැව මූලික රෝහලට. රෝහලේ වැඩ කටයුතු ඉවරවෙලා අපි පයින්ම ගියෙ යටාල චෛත්‍යය බලන්න. ඕනා එකකට ඔට්‍ටු අපේ කණ්ඩායමේ මගෙ පිස්සු යාලුවො සෙට් එකත් එක්ක පාර දිගට අයිස් ක්‍රීම් කකා, තිස්ස - කතරගම පාරදිගේ එදා ගිය හැටි මතක් වෙලා තවම හිනා යනවා.


    යටාල චෛත්‍යය පිහිටලා තියෙන්නෙ තිස්ස - කතරගම පාර අයිනෙමයි.






රෝහණ රාජ පරපුරේ පළමු රජතුමා විදියට සැලකෙන මහානාග රජතුමා විසින් මීට අවුරුදු 2300 කට පමණ කලින් ක්‍රි. පූ. 2 වන සියවසයේදී මෙම දාගැබ කරවූ බව සඳහන්. (දේවානම් පියතිස්ස රජතුමාගේ සොයුරු වූ මහානාග යුව රජු, දේවානම්පියතිස්ස රජුගේ ගේ අගමෙහෙසිය වූ  අගබිසව විසින් ඔහුව මැරීමට කළ කුමන්ත්‍රනයකට බිය වී අනුරාධපුරයෙන් රුහුණට  පළා යාමෙන් පසුවයි රුහුණු රාජධානිය බිහිවුණේ )


මහානාග රජතුමාගෙ අග බිසවට මේ ස්ථානයේ දී පුත් කුමරෙකු ඉපදුනු අතර , එම සිදුවීම සිහිපත් කරන්නටයි මෙය ඉදි කර ඇත්තේ. ස්වකීය පුත් කුමරා යටාල තිස්ස ලෙසින් නම් කළ මහා නාග රජතුමා, මෙම දාගැබ යටාල චෛත්‍යය නමින් හැඳින්වූව අතර ප්‍රථම සිංහල රහතන් වහන්සේ වූ ත්‍රිපිඨකාරිට්ට මහ තෙරුණ් වහන්සේට පූජා කළා.


      පුරා ව්ද්‍යා කැණීම් වලින් මතුකරගත් සෙල්ලිපි වල සඳහන් වන කරුණු අනුව තහවුරු වී ඇති තවත් කරුණක් වන්නේ සතුරු උවදුරු වලින් ආරක්ෂා කරගැනීම උදෙසා දන්ත ධාතූන් වහන්සේ රජරට සිට රුහුණට වඩම්මවා මෙහි නිධන් කර ඇති බවය. ඒඅනුව මෙම ස්ථූපය දළදා දාගැබ නමින් ද හඳුන්වා තිබෙනවා. 
       
         අනුරාධ පුර රාජධානිය තරමටම පැරණි රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය යටාල දාගැබ බව සඳහන්. 1980 ගණන් වලදී ප්‍රතිසංස්කරණය කරණු ලැබූ යටාල චෛත්‍යය දැනට දිස් වන්නේ මේ ආකාරයටයි.


       ඒ වටේට තියෙන ඇත්පවුර ලංකාවේ ඇති පැරණිතම ඇත්පවුර ලෙසින් සලකන්න පුළුවන්. 


චෛත්‍ය මළුව වට වෙලා තියෙන්නෙ දිය අගලකින්. පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් ඉදි කර ඇති යකඩ පාලම නිසා චෛත්‍ය මළුවට ඇතුළු වන්නට අපිට පුළුවන් කම ලැබුණා. 






දාගැබ ප්‍රතිසංස්කරනයේදී එහි ඇතිම් ස්ථාන, පුරාණ චෛත්‍යයේ මතුපිට  පෙනෙන ලෙසට පිරියම් නොකර ශේෂ කර තිබෙනවා. 


දාගැබ් භූමිය පුරාම දකින්න ලැබෙන ගල් කණු එතෙනට ගෙන එනු ලැබ ඇත්තේ රාජකීය හස්තීන් මගින්.


මෙහි පසෙකින් වෙන්නට විහාර ගෙයක් / පිළිම ගෙයක්, භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා තැනුන ලැගුම් ගෙයක නටබුන් තවමත් ශේෂව පවතිනවා. 


මේ අවලෝකිතේෂ්වර බෝසත් රුව , එවකටත් මහායාන බුදු දහමේ ආභාෂය හෙළ කලාවන්ට ලැබූ  බවට වන සාක්ෂියක්ද???






යටාල චෛත්‍යය ට යාබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන කුඩා කෞතුකාගාරයක් පවතිනවා. නමුත්, එහි ඡායාරූප කිහිපයක් පමණයි ලබා ගැනීමට හැකි වුණේ. මන්ද යත් , ඇතුළත ඡායා රූප නොගන්නා ලෙසින් එහි ආරක්ෂාවට සිටි ගම් වැසියෙක්ගෙන් ඉල්ලීමක් ලැබුණ නිසා. 


ස්ඵටික ගලෙන් නිර්මිත බුදු රුවක්


බෝධි සත්ව ප්‍රථිමා




සිරිපතුල් ගලක්




භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදිවූ කැසිකිලි ගලක්




ලංකාවේ පුරා විද්‍යා ස්ථාන වලින් ලැබුණු විශාලම ගඩොල මෙය බවට සඳහනක් තිබුණා.




තවත් පුරා වස්තූන් කිහිපයක්.




මේ තමයි අපේ සෙට් එක. - Craazzzyy C





Friday, March 16, 2012

ප්ලාස්ටික් වලින් මිනී පෙට්ටිය සාදනු වස්...........!!!!

    ද හවස දැකපු දර්ශනයක් නිසා මට හදිසියෙම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ, අවුරුදු සිය ගාණක් පරයි කියලා හිතෙන මහා විසාල ගස් වගයක් කපලා , දෙනෝ දාහක් දෙනා යන එන පාරෙ මහ දවල් අරන් ගියා. කාගෙ හයියකටද මම දන්නෙ නෑ. අවාසනාවට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා මගෙ කබල් ෆෝන් එකෙන්..... මේ කවිය මම ලිවුවෙ ඒ ගස් ටික කපන්න තීරණය කරපු කවුරු හරි මනුස්සයා ගැන හිතලා...........





කියත් තල වල දත් විලිස්සන්
පළා ළය මිහි මණ්ඩලේ
උරා සාරය බොමින් සතුටින්
ලී මඩුව ළඟ මන්දිරේ.....

තුරු ලතා සිඳ බිම හෙලන්නට
දිරිය ලැබ ගෙන එඩි බලේ
පණ යදී මිහි මඬල සිපගෙන
තුරු රජුන් නුඹ පාමුලේ.............

මුරුගසන් වරුසා වසීයි
නියඟයෙන් ගම් බිම් පාලු වේ
සා පවස නොම නිවාගන්නට
දිය පොදක් නැති වී යතේ......

කාසි කඳුරක ගිලී මිය යයි
සුසුම් සිර වී නුඹ මලේ
එකම එක තනි ගසක් වත් මෙහි
ඉතුරු කරලනු මැන වනේ......

සදන්නට නුඹෙ මිනී පෙට්ටිය
ප්ලාස්ටික් ගෙන මතු දිනේ
නොහැකි වෙවිය ඒ නිසා 
තනි ගසක් වත් සුරකිනු මැනේ........



Tuesday, March 13, 2012

චාරිකා සටහන් 01 - පරමාකන්ද


         ට පහුගිය ටිකේ හොඳටම ඕනා වෙලා තිබුණා මේ ඒකාකාරී පරිසරයෙන් මිදෙන්න. ඇත්තම කිවුවොත් කොහෙ හරි යන්න.... ඒ නිසායි අම්මාගෙ ස්ටාෆ් එක සංවිධානය කරපු ට්‍රිප් එකකට බලෙන් එල්ලිලා ගියෙ.
        මම ජීවත් වෙන්නෙ වයඹ පළාතෙ. වාසනාවන්ත පළාතක්. ස්වභාවික විපත් අඩු, ස්වයංපෝෂිත ප්‍රදේශයක්. මේ පළාතෙ අපි නොදන්න හැංගිලා තියන වැඩි ප්‍රසිද්ධියක් නැති පුරාවිද්‍යාත්මක වටිනාකම් ‍රැසක් තියනවා.... 


ඊයෙ මට යන්න ලැබුණ "පරමාකන්ද රජමහා විහාරය" , "‍තෝනිගල සෙල්ලිපිය" "මුල්ලේගම රජමහා විහාරය" ඒ අතරින් සමහරක්


පරමාකන්ද රජමහා විහාරය


පිහිටලා තියෙන්නෙ පුත්තලම දිස්ත්‍රික්කයෙ.කොළඹ හලාවත පාරේ හලාවත, බංගදෙනිය, පල්ලම ආදී ප්‍රදේශ පහු කරගෙන ගියාම අපිට මුනගැසෙන ආණමඩුව තමයි පරමාකන්ද ට ආසන්නම නගරය. කොලඹ ඉඳලා පැය 3ක් පමණ ගත වෙනවා ආණමඩුව ට යන්න. දුර කි.මී.140ක් පමණ වෙනවා.


පන්සලේ හිටිය පොඩි හාමුදුරුවන්ට අනුව නම් පරමාකන්ද කියන නම ලැබිලා තියෙන්නෙ පරම + කන්ද (උතුම් කන්ද) කියන තේරුම සහිතවයි . 
ක්‍රි.පූ 89-77 කාල සීමාව තුළදී වලගම්බා රජතුමා විසින් මේ ගල් විහාරය කරවන ලද බවයි පුරා විද්‍යාත්මක තොරතුරු වල සඳහන් වෙන්නෙ. ලංකා ඉතිහාසයේ හිටිය රජවරුන් අතරින් ගරිල්ලා සටන් ක්‍රම වැඩිවශයෙන්ම සොලීන් ට විරුද්ධව යොදා ගත්තු පාලකයා ලෙසට එතුමා ප්‍රසිද්ධයි.පොළොව මට්ටමේ ඉඳන් අඩි සිය ගාණක් උසින් පිහිටලා තියන ගල් ලෙන් සහ පර්වත විශාල සංඛ්‍යාවකින් ගහන වුන පරමාකන්ද ආශ්‍රිත මේ ප්‍රදේශය ඒ සඳහා මනා පිටිවහලක් වන්නට අති. 
(නමුත් තවත් මූලාශ්‍ර කීපයක සඳහන් වෙන තවත් කරුණක් වන්නේ ඇතැම් විට මෙය දු‍ටු ගැමුණු රජතුමාගෙ යුගයේදී හෝ සද්ධාතිස්ස රජුගේ යුගයට අයත් විය හැකි බවයි. ඒ සඳහා හේතු පාදක වන කතාවට අනුව මෙම විහාරය බොහෝ දුරට දු‍ටුගැමුණු රජුගේ නන්දිමිත්‍ර සෙන්පතියාගේ මූලිකත්වයෙන් ඉති කරන ලද්දක් වීමට ද ඉඩ කඩ ඇති බව සඳහන්. දු‍ටුගැමුණු රජුගේ අන්තපුර බිසවක් වූ රජිතා නමැත්තියගේ දියණියක් වූ අබිතිකිස්සා කුමරිය හා විවාහ වූ නන්දිමිත්‍ර සෙන්පතියාගේ පුත්‍රයා වූ දූතශ්‍රමණ ද මේ සඳහා දායක වී ඇති බවට සඳහන් වෙනවා.)


පරමා කන්ද ගල් විහාරයෙ බිතු සිතුවම් විශේෂයි. මීට අවුරුදු 150 කට පමණ පෙර ප්‍රතිසංස්කරණය කළ බවට සාක්ෂි තියන බිත්තියේ බදාමයේ තැනින් තැන ගැලවිලා ගිහින්. ඒ ගැලවුණ තැන් වලින් අපූරුවට පුරාණ විහාරගෙයි තිබුණු නුවර යුගයට අයිති සිතුවම් මතු වෙලා තියනවා. මේ තියෙන්නෙ ඒ විදියට මතු කරගත්තු "සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය" පෙන්නුම් කෙරෙන සිතුවමක්.






දැව රාමුවක් වටේට මැටි බදාම වලින් හදලා තියන මේ පිළිමය සැතපෙන පිළිමයක්. 




මේ තියෙන්නෙ වලගම්බා රජ්ජුරුවො සටන් වලට භාවිතා කරපු උමගක ආරම්භය. ඒක සැතපුම් 16ක් දිග බවයි සඳහන් වෙන්නෙ. වර්තමානයේදි ඒ උමගෙ යම් දුරකින් හරස් අතට බිත්තියක් නිරමාණය කරලා තියෙන බවත් දැනගන්න ලැබුණා. මේ උමග අවසන් වෙන්නෙ මුල්ලේගම - මුල්ගිරිගල රජමහා විහාර භූමියෙන් ලු.










තවත් බිතු සිතුවම් කීපයක් සහ , පිළිම කීපයක් මේ.






පරමාකන්ද විහාරයෙ බෝධිය අසල තිබුණු සෙල්ලිපියක් මේ. අවාසනාවට එහි පරිවර්තනයක් සොයාගන්නට මට පුළුවන් වුණේ නෑ.










පරමාකන්ද විහාරය සතුව නරඹන්නන් ගේ දැනුම උදෙසා මුද්‍රනය කෙරුණු පුංචි අත් පත්‍රිකාවක් වත් නැති එක නම් ඇත්තටම පාඩුවක්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා උනන්දුවක් දක්වනවා නම් ඇත්තටම වටිනවා.


තෝනිගල සෙල්ලිපි 





පරමාකන්දෙන් පිට වෙලා අපි ගියෙ ‍තෝනිගල සෙල්ලිපි බලන්න. ඒ ගිනිගහන අවුවෙ. 
එක් සෙල්ලිපියක් අඩි 100ක පමණ දිගකින් යුක්තයි.
වලගම්බා රජ පුත් මහකුලි මහතිස්ස රජ සමයට අයත් බවට සැලකෙන මේ සෙල්ලිපි ලංකාවෙ දිගම සෙල්ලිපි ලෙසටද පිළිගැනීමක් තියනවා. ‍තෝනිගල ආශ්‍රිතව පවතින ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් ද පවතිනවා. ‍තෝනිගල පිහිටි මෙම ප්‍රදේශය කුවේණියගේ වාස භූමිය බව ඇතැම් ජනප්‍රවාද වල දැක්වෙනවා.විජය විසින් පළවා හැරීමෙන් පසුව කුවේණිය ‍තෝනිගල ආසන්නයේම පිහිටි ල‍තෝනිගල ට නැග විජය ඇතුළු සියල්ලන්ටම සාප කළ බව පැවසෙන ජනප්‍රවාදයක් සහ, කුවේණිය ල‍තෝනිගල මුදුනින් පැන සිය දිවි නසාගත් බවට දැක්වෙන ජනප්‍රවාදයක් ද පවතිනවා. එහි සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුණත්, මේ වගේ ජනශෘති අපේ ඉතිහාසයට එක් කරන්නෙ අලංකාරයක්.


 සෙල්ලිපිය පිළිබඳව විස්තර තියන ඵලකය අවුවට වැස්ස්ට අපැහැදිලි වෙලා ගිහින්. නමුත් මේ සෙල්ලිපියෙ සඳහන් වෙන්නෙ එතැන ඉදිකරලා තියන ‍තෝනිගල වැව පරමාකන්ද රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට පූජා කරණු ලැබූ බව කියලායි මූලාශ්‍ර වල සඳහන් වෙලා තියෙන්නෙ. 


පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ තවත් නොසැලකිලිමත් ක්‍රියාවක් මෙහෙදිත් ඩැක ගන්නට ලැබුණා. සෙල්ලිපිය වටේ ඉදි කරලා තියන යකඩ වැටට් ගලට සවි කරන්නට යොදා ගත්තු සිමෙන්ති නිසා සෙල්ලිපියේ බොහෝ ස්ථාන විනාශ වෙලා ගිහින් තිබුණා. එහි පරමාකන්ද විහාරය හැඳිවෙන්නෙ "අවගිරිනතිශ" නමින්









පළවෙනි සෙල්ලිපියෙ ඉඳලා දෙවෙනි සෙල්ලිපිය ට යන්න තියෙන්නෙ වැව් බැම්ම දිගේ. ඒ යන පාරෙ තිබුණා "සංහිඳක්". සංහිඳ කියලා කියන්නෙ "ගම් බාර දෙවියන් උදෙසා ගමේ මිනිස්සු විසින් අතීතයේ ඉඳන් පුද පූජා පවත්වන ස්ථානයකට. වැව, ගම සහ කැලෑවට මැදි වෙලා පිහිටලා තිබුණු මේ සංහිඳ කැප කරලා තිබුණෙ "අයියනායක දෙවියන් ට" (විමලරත්න කුමාරගම කවියා ඔහුගේ "අයියනායක" කියන කවි පන්තියේ කියලා තියෙන්නෙත් මේ ප්‍රදේශයේම තියන තවත් සංහිඳක් ගැන.) 




මුල්ලේගම - මුල්ගිරිගල රජමහා විහාරය 

මුල්ලේගම රජමහා විහාරයට ගියෙ අපි තරමක් හවස් වෙලා. ඉර අවුවත් අඩු වෙලා තිබුන නිසා කන්ද නගින එක පහසුවක් වුණා. ඈත අනන්තයට යනකම් පෙනුන අවට පරිසරය හිතට එකතු කළේ ඇත්තටම චමත්කාර ජනක හැඟීමක්. කන්ද උඩ තිබුණු පිළිමගෙය නම් ඒ වෙනකොට වහලා දාලා තිබුණෙ, වෙන මොකුත් නිසා නෙමේ, නිධන් හොරුන්ගේ තර්ජනයට ලක් වෙලා තිබුණු නිසා. (කමකට  නැති හිස් මිනිසුන් පිරිසක් නිසා, තවත් ඓතිහාසික වටිනාකමක් හඳුනා ගැනීමේ අවස්ථාව එදා අපෙන් ගිලිහිලා ගියා)




මුල්ලේගම විහාරය ගැන අහගන්නට කවුරුත් එදා හිටියෙ නෑ. අන්තර්ජාලයෙනුත් වැඩි උදවුවක් ලැබුණෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරන්න.



ප.ලි. මුල්ලෙගම මුල්කිරිගල රජමහා විහාරය ගැනත් අලුත් කරුණු කීපයක් දැනගන්න ලැබුණා.මේ විහාරය කරවනු ලැබ ඇත්තේ සද්දාතිස්ස රජතුමා විසින්. මේ පිළිබඳව එඩ්වඩ් මුලර් මහතා විසින් තබා ඇති සටහනක මේ විහාරය හඳුන්වා ඇත්තේ මූලගාම නමින්. 


නමුත් ප්‍රදේශ වාසීන් විසින් මෙම විහාරය හඳුන්වනු ලබන්නේ මුල්ගිරිගල (ප්‍රමුඛ පර්වතය) යන නමින්. ඒ සඳහා හේතුව වන්නේ මේ විහාරය පිහිටා ඇති පර්වතය ඒ අවට ඇති අනෙකුත් පර්වත වලට වඩා උසින් වැඩි නිසා බව සඳහන්.


මුල්ගිරිගල රජමහා විහාරය පිළිබඳව පවතින තවත් කතාවක් වන්නේ පාණ්ඩ්‍ය රජු පරාජය කළ 6 වන දප්පුල රජු විසින් ඔහුව මෙම ස්ථානයේ වූ ගල් ලෙනක රඳවා තැබූ අතර එය සිහි වීම සඳහා පසුව මෙම විහාරය ඉදි කළ බවයි. 
මේ විහාරයේ සෙල්ලිපි කිහිපයක් පිහිටා ඇති අතර එම සෙල්ලිපි ද මෙම ප්‍රදේශයේ හමුවන අනෙකුත් සෙල්ලිපි වන පරමාකන්ද, ‍තෝනිගල ආදී සෙල්ලිපි වලට සමාන වන බවයි විද්වත් මතය.


මෙම කන්ද මුදුනේ පිහිටි පිළිමගෙය හැරෙන විට, ගඩොලින් කල චෛත්‍යයක් ද, පොකුණු දෙකක් ද තිබෙනවා.


ආනමඩුවට ආසන්නව පිහිටි ඉඟිනිමිටිය ජලාශයෙ සිසිලසෙන් අපි දවසේ විඩාව නිවා ගත්තා.




මේ ප්‍රදේශය, පුරා විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන අයට වගේම පරිසර ලෝලීන්ටත් ‍තෝතැන්නක්. 


පරමාකන්ද නගින්නට නම් පෙ.ව. 9.30 ට කලින් යනවා නම් වඩාත් සුදුසුයි, මන්ද යත්, අවුවෙන් පිච්චෙන විට ගමනේ වටිනාකම් ද අපිට අමතක වන නිසා. ඒ වගේම තමන් ට ප්‍රමාණවත් පරිදි පානීය ජලය ‍රැගෙන යන්නත් අමතක කරන්න එපා. කුඩ, තොප්පි ආදියත් ප්‍රයෝජනවත්. ඒ සේරමත් එක්කම හොඳ කැමරාවකුත් ගෙනියන්න පුළුවන්නම් ඒකත් ගොඩාක් වටිනවා....

Saturday, March 10, 2012

කවි සිතක ප්‍රේමය

{කවියෙක් ආදරේ කරන්න පටන් ගන්නෙ, ආදරේ කරන්නෙ කවියෙන්........... ඒ වගේම ඒ ආදරේ නැති වෙලා ගිය දවසක වුණත්.... ආයෙම අතට එන්නෙත් පෑනක් මයි.... කඩු කිණිසි නෙමෙයි.}





සිත් අහස බොඳ කරන් ඈ ඇන්ද සිත්තමට
පණ පොවන බිඟු සරින් වල්මත්ව පෙම් බැන්ද
විහඟ ගී මියුරු සර සවන් පත් තුර ‍රැ‍ඳෙන
නිදි නොමැති කවි සිතම පිබිදුනා ඈ අසල


සිත් පුරා උපන් පෙම උතුර උතුරා ගලන
තුරුම හිඳ පෙම් කවිය මලක් වී පුද කරත
දුලන සෙනෙහස  සිතේ සදා සක්විති වන්ට
කවි පේළි රොන් ඉසියි බමරින්දු කවි සිතක


තු‍ටු කඳුලු බිඳු වලින් ගෙත්තමක් වූ කවිය
සහස් කවි ගී පේළි ලියවිලා පන්හිඳක
දුක් කඳුලු බිඳු සෙමින් දෙනෙත් තුල ගුලි ගැසෙත
පත් iru ද  ඉරී යයි විරහ කවි ලියවෙන්ට


දෑත් බැඳ දිව යන්ට සංසාරෙ පුරාවට
පැතූ සුපැතුම් බිඳී සීතලයි මුළු හිතට
දසත ගොම්මං අඳුර සිතට එබිකම් කරන
ඒ පාළු අඳුර යලි ඉපැදුනා කවියක්ව


Wednesday, March 7, 2012

කුස ට හිතෙන හැටි


පුංචි කාලෙ ඉඳන්ම අහලා හිතේ ‍රැඳිලා  තිබුණ කලු සුදු කුස ජාතකයට පාට ලැබුණා මේ ලඟදි දවසක.
මගෙ ප්‍රියතම ගීත රචකයා, සහ ජ'පුරෙ අනිත් පීඨ වල මහාචාර්ය වරුන්ගෙන් මම වඩාත් ගරු කළ මහාචාර්ය වරයා හදිසියේම මගෙ ප්‍රියතම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂ වරයා බවට පත් වුණා.... 






එක එක විචාරකයන් එක එක විදියට "කුස - පබා" අර්ථකතනය කරනවා ඇති..... මගෙ වාසනාවට මම ඒ චිත්‍රපට විචාර එකක් වත් කියවන්නෙ නෑ..මොකද, එක පුද්ගලයෙක්ගෙ මතයක් කියවලා හෝ අහලා, මගෙ හිතේ ඇති වෙලා තියන පහන් හැඟීම නැති කරගන්න මම කැමති නෑ.  චිත්‍රපටය ගලාගෙන යනකොට දැකපු පුංචිම පුංචි දුර්වලතා එකක් හෝ දෙකක් තිබුණා. ඒත් ඒ ගැන මම හිතන්නෙවත් නැත්තෙ සුනිල් ආරියරත්න සර් එක්ක බලනකොට මම දන්න මෙලෝ හසරක් නැති නිසා සහ, මගෙ හිතම වශී කරගත්ත කුස පබා කාලෙකින් බලපු සර්ව පරිපූර්ණත්වයට ආසන්න වූ නිර්මාණයක් නිසා.................




සියලුම නළු නිළියන් පැහැදිලිවම ඒ චරිත වලට සාධාරණයක් කරලා තිබුණා. හිමාලි සයුරංගිගෙ හඬ, පූජා උමාශංකර් ට සාධාරණයක් කරලා තිබුණා. වෙන එකක් තියා මගෙ හිතේ ප්‍රසන්න හැඟීමක් නොතිබුණ රොශාන් රණවන දිහාත් වෙනස් විදියකට බලන්න මට පුළුවන් වුණා මේ චිත්‍රපටය නිසා... සංගීතය ගැන කතා කරන්නවත් හිතෙන්නෙ නෑ මට, මොකද ආපහු ආපහු චිත්‍රපටය බලන්න හිතෙනවා ඒ ගැන මතක් වෙද්දි. 


කතාව ගොඩ නැගීගෙන යනකොට මගෙ හිතට තදින්ම දැනුනු දෙයක් තමයි පබා ව බොරුවෙන් මුලා කිරීම ගැන කුස තැවෙන විදිය. ඇත්තටම ඒ ප්‍රයෝගය නම් සැර වැඩියි... ඒ ගැන හිතලා කුස කොයි තරම් නම් විඳවන්න ඇතිද....
ඒ ගැන හිතද්දීයි මේ කවිය ලියවුනේ..


මඳ මාරුතය සැලිලා පිණි පොකුරු මැදින්
සුවඳත් විසිරිලා නා මල් සුවඳ මුවින්
‍රැ තුන් යාමයේ මා වෙත බැඳී පෙමින්
මන මත් වුණා නුඹෙ රූ සිරි දකිනු රිසින්


රන් වන් තුනු සපුව නෙත නොගැටෙනා නිසා
දෑඟිලි තුඩග පමණක් දිටි රුසිරු සොබා
මුව මත සුවඳ රඳවා නුඹ  ‍රැයක් පුරා
අරුණට කළින් රහසෙම මා  දමා ගියා

සිත ළඟ තුරුලු වුණ නා මල් සුවඳ පුරා
නුඹ පෑ සෙනෙහසට නෙත් විල පිරී ගියා
කිංකිණි සිනා ඇසුනා හදවතම දවා
කුමරිය බලා හිඳිනෙමි තරු නැගෙන තුරා

පුන් සඳ මැකී යන විට අරුණට ඉඩ දී
සඳ බැස ගොසිනි යහනත හැඩ කළ ලං වී
නුඹෙ මුදු සුවඳ පමණක් සිත තුළ පැටලී
දහවල කළුවරයි නුඹ ලඟ නැති විටදී

ජයපති කුමරුවන් රුව සිහි තබාගෙන
නුඹෙ දෙනෙතින් ගලන සෙනෙහස් සිනා පොද
සිතුවම් මවන සඳ මා සිත වෙලාගෙන
මුවගින් සිනාසෙමි හදවත හඬන සඳ