Friday, April 27, 2012

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "තරු ලකුණ" - 02


රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "තරු ලකුණ" කාව්‍යය පිළිබඳව කලින් තැබූ සටහන සම්පූර්ණ කිරීමට සිතමි. එය අවසන් කළේ සුරත් ට නැවතත් උත්පලා හමු වීමෙනි.

සමාජ සම්මතයන්ට එරෙහිව ඔහු ගන්න එම තීරණය කවියාගේ වචන වලින් මෙසේ පැවසේ.

ගඟේ දියේ ‍රැලි සමග වෙලෙමින
නිනිසංසලයේ ගලා ගිය හැක
බොහෝ පහලට,
පරණ පොල් ලෙලි ලී කොටන් ලෙස
මැරුණු මාළුන් සේ උඩුකුරුව-
ඉන් පලක් වේද?


යන්න ඕනෑ උඩු අතටමය
ගඟ දියට එරෙහිව ඉහලටය


මඳ සුළඟක් වපුරමු අපි,
සුලි සුළඟක් අස්වැන්නට
ලැබෙනු පිණිස

පවතින ලාංකීය සමාජ රටාව තුළ කවරෙකු කවරාකාරයෙන් දු‍ටුවත් එම තීරණය පිළිබඳව සුරත් තුළ ඇත්තේ සතුටකි.තම පළමු පෙම්වතිය දුක් කඳුලු ගොඩකින් ඉවතට ගෙන ඇයට දුන් සතුට පිළිබඳව ඔහු ලබන්නේ තෘප්තියක්.


ගිනි ගැනුණු හිරු මඬල
මුදු මොළොක් සිය ළැමට තුරුළු  කර
නිවා සනහයි මුහුද
නිල් සිනාවෙන් පිරුණු මහ මුහුද

ඊළඟ පරිච්ඡෙදයේදී අපට හමු වන්නේ යම්කිසි උත්සව අවස්ථාවක්. ඒත් ඒ උත්සව ශ්‍රීයයෙන් ඇළලී ගොසින් නොව, සම්භාවනීය අමුත්තකු පිළිගැනීමට බලා සිටින පාසල් දරුවන්ගේ අසරණ බව සමගිනුයි.

සුදු ඇඳුම් ඇඳ ණයට
අතින් ගත් කොඩි ඇතිව
උදේ සිට ගිනි අවුව තපිනා
දරුවනේ කිම්ද මේ අරුමා?


නන් පිරිවරින් යුතුව
දැන් දැන් වඩියි සිතන
සම්භාවනීයයා නොදැකා
පුංචි උන් මග දෙපස හඬනා
**************************


ගත් ගත් පයත් පැකිළ
අත් පා ද අඩ පණව
කස්තිරම් අමතකව ගියෙනා
දුප්පත්කමට සිතින් බණිනා
**************************


හාමත්ව ආ බැවින්
යා නොහැකි වී තවත්
එක් දැරිවියක් පතිත දෙරණා
සිහිසුන්ව හිස ගලෙක වැදුණා
ළමා සාරිය ලිහී හිරුණා
මල් පොකුරු බිම වැටී මැරුණා

උත්සව සභාවට පැමිණ හරසුන් බස් පවසන ප්‍රභූ දේශපාලකයා පිළිබඳව සුරත් තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. ධනවාදී දේශපාලනය කොහොමත් ඔහුගේ රුචිකත්වයෙන් බැහැරය. ඒ පිළිබඳව කවියා පවසන අයුරු ඉතාම අපූර්වය.

ආයුබෝවන් කියන්නට
ඔහුගේ දෑත නොනැගිණ
දෑතම වමත් මෙන් විය


*******************
"මිත්‍රවරුනි
අද දවස
මේ මොහොත
මට මහත් සතුටක්ය"


රෝස පැහැ හිම කිරම
දිව ගානා ලෙසට
වචන ලෙව කන
තලුගසන හඬ ඇසිණ.


සත්තකින්ම ප්‍රභූවරය
ඔබේ ඒ එක් මොහොත
මේ පුංචි උන්ගේ
සිවු මසක දුක් කාලය !

රටෙහි තත්වය එන්න එන්නම ශෝකාකූල වෙයි. පාලකයන්ගේ මුසා බස් හමුවේ හෙම්බත් වී සිටින ජනතාව නැගී සිටියි. අරගලය ඇරඹේ. සුරත් හටද එහිදී නිහඬ පිළිවෙතක් අනුගමය කිරීමට සිත් නොදෙයි. ඔහුද ඒ නවමු පිබිදීමට උර දෙයි.

මදින් මද රට තොට
වායුගෝලය කැළඹිණ
උෂ්ණත්වය අධික විය
හුස්ම ගන්නට අපහසු විය.


අත්- අත්
අත්- අත්
සිත් ගත්
ව්‍යාජ මුහුණු වලට වඩා
සැබවින් වැදගත්.


*****************************


වකු‍ටු වී යහන් වැද
හකුළුවා අත් පා ද
දිනුයේ දු‍ටුගැමුණු පමණක්ය.


බලමින් ඈත් මැත්
නමාගෙන හිස දිගු කර දෑත්
නොවුණා ඔහුගෙ අත පාත්‍රය
ටින් එකක් මිස
කඩදාසි අලවන ලද
සැලුණා මඳින් මඳ
චීවරකක් සේම
දුර්වර්ණ කමිසය
කොළරය හැකිළ ගිය.

මෙම කාව්‍යයෙහි එක් තැනෙකදී සුරත් හා උත්පලා දරුවාද කැ‍ටුව පුරාණ නටබුන් බැලීමට යති. සිවු හෙළයේ අතීත ශ්‍රී විභූතිය අපූර්ව ලෙස කවියා විසින් සටහන් තබයි. එය අතීතය හා වර්තමානය සැසඳීමක්දැයි වරෙක සිතේ.

ගල් කණු වනන්තරේ
ලිය වැල් දළු දමන්නේ
පුන් කලස් සඳ එලියට
පොල් මල් ඉහිරවන්නේ
සහෝදරයින් වාගේ
මුර ගල් තනි රකින්නේ
වෑ තල පිස සුළං ‍රැළි
කන් පෙති සිඹ හමන්නේ


මේ පින් බිමේ අසිරිය
වෙන අන් කිසි දෙයක නොව
පාෂාණි භූත වූ ශ්‍රමයය
සුරත්ගේ සිත පැවසීය


"කියන්නකො තාත්තෙ
මේ සේරම අපේදැයි"
පුංචි දුව ඇසුවාය

********************************

ඉතිහාසය හා සබඳුන පුරා වත් කිහිපයක් පිළිබඳවද මෙහි දැක්වේ. එහෙත් ඒවා නිකම්ම නිකම් පුරා වෘත ලෙස නොව , සිතන්නටත් යමක් ඉතිරි කරමින් රත්න ශ්‍රී කිවිඳුන් විසින් ඉදිරිපත් කරයි.

පඬුවස්නුවර නටබුන් මැද
ඇවිදිනා අතරතුර
දුක සිතිනි උත්පලාට


අනේ අසරණ උන්මාද චිත්‍රා
අහිංසක රජ කුමරිය
මේ නුඹේ සිර කුටියද
එක්ටැමින් ඉදිවුණ?


මේ බිමේ හැමතැනම
නුඹ හෙලූ කඳුලු ඇති
මෙබිම උල්පත් ජලයෙහි
ඒ ලුණු රසත් ඇති
ප්‍රේමයේ උණුසුමත් ඇති

************************************


මහ නර දෙ‍ටු කාශ්‍යප
කලාකාමී ඔබ
මිය ගියා යැයි කෙසේ අදහමිද
සියතින්ම ගෙල සිඳගේන්
කලාකරුවන් ගෙල
සිඳින්නට අය බොහෝ ඇති ලොව.


සතුට හා දුක එක සමානවම ගැබ් වී ඇති මෙම කාව්‍යයෙහි වඩා දුක් බර මොහොතක් වන්නේ සුරත් ගේ මිතුරු සාහිත්‍ය ගුරුවරයා වන සුනෙත් ගේ මළගමයි.

අලෙවි දී සුවඳ සුසිනිඳු නා මලට
සිහිල් සුළං ගෙට ගොඩ රෑ කලට
අහිංසක සඳක් වූ හැටි නුඹ අපට
කියන්න ද කාට, එය කියනු ද කුමට?


නමුණු කුළ ගිරි සිරස ගල් වී
කම්මුලේ කැටි ගැසිණි මීදුම
උණු කඳුළු මෙන් වැහි වතුර
නොකඩවා සට සට ගගා වැගිරිණ


දෑත ළමැදේ ගසා ගනිමින්
කොඳුරමින් වැළපුණි බදුලු ඔය
තාරකාවක් කඩා වැ‍ටුණා
මළ ගෙයක් විය සීත වියළුව


සොහොන පාමුල දණ ගසාගෙන
සෙවූවද ඔබෙ සිතෙහි උණුසුම
මල් වඩම් වල පර මලින් එන
සුවඳ පමණය සිත පාරවන

කවියෙහි අවසාන භාගය වන විට නැවතත් වරක් සුරත් සමගින් උත්පලාව අපට හමුවේ. දුක සතුට සම සේ බෙදා ගනිමින් සුරත් ගේ දිවියට අත් වැල වන ඇය පිළිබඳව පාඨකයා තුළ ජනිත වන්නේ මහත් වූ ගෞරවයකි.

පොළට ගොස් හාල් පොල් බඩු මුට්‍ටු හිසින් ගෙන
සංසාරයේ ඈත තමා පසු පස ඇදෙන
නෑ පිරිස අතර අවලංගු වී ගොස් සිටින
වේදනාවෙන් පිරුණු උත්පලාගේ මුහුණ


දෙදරු සෝදා අන්දවා උනට කිරි පොවන
පැදුරු කබලක් එලා උන් දෙදෙන නිදි කරන
කෑම බීමක් නැතිව නිදි වරන ඇගෙ මුහුණ
මුල්වරට මෙන් සුරත්ගේ ඇසට මුණ ගැසිණ


සුරත් ගේ ගම පිළිබඳව තැබෙන සටහන මෙම පොතෙහි මගේ ප්‍රියතම කොටසයි.

ගමට යන ගුරු පාර
ගුරු පෑ ලැබූයේ
වහන් නොලා ඇවිද ගිය
නෑයින්ගේ පා වලිනි


පොසොන් මාසයේ 
ශුක්ල පක්ෂයේ තුදුස්වක් සඳේ මුහුණින්
තුරුපත් අගින් බේරී ගලන්නේ
අම්මාගේ ආදරයයි


මේ ලොව සුන්දරම
අහස ඇත්තේ ගමට ඉහලිනි
අම්මා නිදන තැන 
ඇගේ සොහොනට උඩිනි.

මේ රසවත් කාව්‍යය අවසන් වන්නේ බොහෝ දෙනෙකුගේ නෙත් අරවමින්. ගමෙහි ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට ගොස් "පිටින් පාසලට පැමිණි" සුරත් හට දේශපාලන මැර ප්‍රහාරයක් එල්ල වෙයි. අවසන ඔහුට ස්ථාන මාරුවක් ලැබෙයි සිරිපා අඩෙවියෙහි ඇති දුෂ්කරම පාසලකට.

සිඳී ජීවය මහළු බවට පත්
පරඬලා තණ පත්හි
පිණි පොකුරු පල දරන උදෑසන
සැඟව යයි ගුරු තරුව
අරුණු රේඛා අතර


අවට තරු මඬුලු වල
එළිය වැගිරෙයි තවම
වන හිසට


බොහෝ නෙත් පහන් කොට
මග කියා 
නොකියාම බැස ගිය,
ඇතැම් තරුවක් දැනට මිය ගොසින් විය හැකිය
එහෙත් නොසිඳී ගලයි එහි එළිය.

********************************************

රණවරා ගහේ 
මල් වැරූ සාගතේ
කටපුරා හිනා වෙන
ඉඳුරු දිග පෙනේ
මගියෙකු වෙමින්
බර පොදි දරාගෙන උරේ
හිරු හෙට මුණ ගැහෙයි
යලි සමන් ගිරි හිසේ


සංසාරයේ බිය ‍රැඳි
කුරිරු වන ගැබේ
සිංහාසනේ සමනොළ ගලයි
සකි සඳේ
ගොර සප් වග වළස්
හමුවේවි මග තොටේ
භවයෙන් භවයකට
පැමිණියත් ජීවිතේ

Wednesday, April 25, 2012

හඹා යාම 02



(ප්‍රබන්ධයකි -  ප්‍රබන්ධය, සත්‍යය තරම් රසවත් නැති බවක් ද හැඟේ. නමුත්, මෙය අපේ කාලයේ සුලභ කතාවකි)


තරමක මතභේදයකට තුඩු දුන් පළමු කොටස මෙතනින්........


"This was just meant to be, you are coming back to me.. coz this is pure love.... coz this is pure love...."
මගේ දුරකතනය බෙරිහන් දෙන හඬ ඇසේ. ගීතය "කල් ඉකුත් වී" ඇතත් මම තවමත් එයට ඇලුම් කරමි.


"පුතා... කෝල් එකක්" අම්මාද දුරකතනයේ හඬට දෙවෙනි නැත.


"බලන්න අම්මා කවුද කියලා" කරාමය වසන ගමන්ම මම පිළිතුරු දෙමි.


"ඩංගෙටයා ද මොකද්ද මන්දා... මට කියවන්න බෑ පුතා ඔයාගෙ යාලුවන්ගෙ නම්"  අම්මා නාන කාමරය අසලටම පැමිණ ඇත.


"ආ... දං ගැටයා කියන්නෙ පසන් අම්මෙ. කෝල් එක කට් කරන්න, මම ඇවිත් ගන්නම්" මම පිළිතුරු දෙමි. ඔහුගේ දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීමට අම්මා ළඟ නොමැතිනම් වඩා යහපත්ය. එය මගේ මෙන්ම අම්මාගේද ශරීර සෞඛ්‍යයට හිතකරය.


දංගැටයා යනු පසන්ගේ විශ්ව විද්‍යාල කාඩ් එකය.හොඳ හෝ නරක, සම්මත හෝ අසම්මත ඕනෑම කරුණක් අරබයා සූක්ෂමව ක්‍රියා කිරීමට ඇති හැකියාව නිසා ඔහුට ලැබුණු "දහම් ගැටයා" ආරූඩ නාමය වැඩි කල් නොගොසින්ම "දංගැටයා" බවට පත් විය. කෙසේ වෙතත් එය "දහම්" ලෙසින් කෙටි නොවීම පිළිබඳව නම් මම උදක්ම සතු‍ටු වීමි. අවුරුදු හතරක් පුරාවට බොහෝ අයට ඔහු දංගැටයා වූවා විනා පසන් යන සැබෑ නම දන්නාවුන්ට වඩා නොදන්නාවුන් සංඛ්‍යාව වැඩි විය. එහෙත් පාසල් වියේ පටන්ම මගේ මිතුරා වූ ඔහු මට නම් තවමත් බොහෝ විට පසන් ය.


නාන කාමරයෙන් පිටතට පැමිණෙන මම පසන් අමතමි. ඔහුගේ හච් දුරකතන අංකයෙන් පරණ බොම්බයි මොටයි වෙළෙන්දෙකුගේ හඬක් වැනි පසුබිම් නාදයක් ඇසේ."මල් සිම් එක" ඔහු හච් කපල් පැකේජය හඳුන්වන්නේ එසේය.


"අඩෝව්" ඔහු පිළිතුරු දෙයි. "හලෝ කීමක්  හෝ වෙනත් ශිශ්ට ආමන්ත්‍රනයක් නැත. ඒ මා හමුවේ ඔහුගේ ස්වභාවයයි.


'මොකද්ද උඹ මේ පාර දාගත්තු ලෙඩේ" මම අසමි.


"මොකක්?"


"උඹට මාව මතක් වෙන්නෙ එහෙම එකකදිනෙ"


"ලෙඩකදි මතක් වෙන්න උඹ වෙද මහත්තයෙක් ද? මම කතා කළේ මනුස්ස කමට. කොහෙද ඉන්නෙ බලන්න"


"වෙන කොහෙ ඉන්නද, මම ඉන්නෙ ගෙදර"


"එතකොට අපේ ඔ‍ෆිස් එකේ මිස්ටර් සේකර කිවුවෙ උඹව ජාඇලදි දැක්කා කියලා පැයකට විතර කලින්. "මගේ මුව විවර වේ. ඉරට හඳට ගහකොලට කතා බැහැ කිවුවත් ඒවාද තව ටික කාලයකින් මා යන එන තැන් පිළිබඳව අම්මාටද පවසාවි.


"සේකර ලොක්කා කතා කරන්නත් දන්නවාද බන්?" ගනනකට නොගෙන මම විමසමි.


"මම ඇහුවෙ ඒක නෙමේ.එහා ගෙදරට යන්නත් කාර් එක ඕනා මිනිහා ජාඇල ඇවිදගෙන ගියා කිවුවම මම හිතුවෙ උඹේ බෙන්ස් එක වත් කැඩිලාද කියලා. ඒක හදාගන්න සල්ලි කීයක් හරි ඕනාද අහන්නයි කතා කළේ."


ඒ අතර අම්මාද බත් එක බෙදාගෙන පැමිණේ. 


"ඒක නම් යහපත් සෞඛ්‍යයෙන් තියනවා තවම. ඒ හින්දා ඔය සල්ලි ටික තියාගෙන උඹ මේ මාසෙවත් ඇඟේ ගාන සබන් කෑල්ලකුයි ටූත් පේස්ට් එකකුයි අරගනින්"වචන ‍තෝරා බේරාගෙන මම පිළිතුරු දෙමි.
අම්මා ද සිනාසේ.


 "පොඩි වැඩකට ගියා පසන්. අනිද්දාට එනවනෙ , එතකොට කියන්නම්කො..." මොහොතකින් මම ඇමතුම විසන්දි කරමි. පිදුරුතලාගල මෙන් උස බත් පිඟානක් දෙස බලමින් කුස ගින්නේ පසන් සමග මල් කැඩීමට තරම් මා පවු කර නැත. "නෝට්ස් ටික ගේන්න කියන්න අමතක වුණානෙ" මට සිහිපත් වන්නේ බත් පිඟානෙන් අඩකටත් වඩා අවසන් වූ පසුවය. "




*****************************************************


power point presentation එක දෙස බලාගත් මහාචාර්යවරයා කුමක්දෝ පැහැදිලි කරයි. මෙලෝ දෙයක් නොතේරේ. ඔහුගේ බුද්ධි මට්ටම සහ දැනුම සමග සසඳා බලන කලහි, ඉගැන්වීමේ හැකියාව නම අහසට පොළොව සේය. 


මම වේලාව බලමි. 10.05am. කල්පයක් ගත වූවා සේ දැනේ. නැවතත් මම අත් ඔරලෝසුව දෙස බලමි. 10.13am. 
මටත් නොදැනීම මගේ මුවින් සුසුමක් පිට වේ.


මම පසන් දෙස බලමි. සුපුරුදු පරිදි ඔහුගේ දැස් අඩවන්ය. උසස්පෙළ පන්ති ගිය වසර දෙක පුරාවටම මට සිදු වූයේ ඔහුව අවදි කිරීමටය. විශ්ව විද්‍යාලයේදී නම් එම ගැටලුව එතරම්ම බල නොපෑවේ දෙදෙනාම දේශන සඳහා සහභාගී වුයේ හා වා  හඳ දකින ලෙස නිසාය. එහෙත් නැවතත් උසස්පෙළදී මා මුහුණ දුන් ගැටලුව පශ්චාත් උපාධිය හදාරන මා  අබියසය. මම ඔහුට වැලමිටින් අනිමි. තිගැස්සී අවදි වන ඔහු කිසිවක් සිදු නොවූවා සේ ප්‍රොජෙක්ටර් තිරය දෙසට නෙත් යොමයි. ඒ තව කොපමණ වේලාවකටදැයි මම නොදනිමි.


*****************************************************



"කොහෙන්ද දවල්ට කන්නෙ?" පසන් විමසයි.


"වෙන කොහෙන්ද , කැන්ටිමේ ඇන්ටිගෙන් තමයි"


අවුරුදු හතරක් පුරාවට අපේ කුසගිනි නිවූ කැන්ටිම තවමත් එසේමය. වෙනසකට ඇත්තේ අලුතින් පු‍ටු කීපයක් , මේස කීපයක් එක් වී තිබීම හා කැන්ටිම පුරා ඇලවී ඇති විවිධ දැන්වීම් ප්‍රමාණය වැඩි වීම පමණි. 


ඇඟිල්ලක් තරම් කුඩා මාළු කෑල්ලක් සහිත බත් පිඟන් දෙකක් සුපුරුදු පරිදි කැන්ටිමෙන් ලැබේ. 


"ඇන්ටි මාළු කපන්නෙ බ්ලේඩ් එකෙන්ද?" පසන්ගේ කතාවට පේළියේ පි‍ටුපස සිටි අයද සිනා සේ. කැන්ටිමේ ඇන්ටිට උත්තර නැත. පසන්ට උත්තර අවශ්‍යද නැත.


හිස් මේසයක් බලා අප දෙදෙනා අසුන් ගනිමු. "මොකද්ද උඹ කියන්න ඕනා කිවුවෙ?"


මම මේසය මත ඇඟිල්ලෙන් ඉරි අඳිමි. කොහෙන් පටන් ගන්නදැයි නොතේරේ. 
ෆයිබර් ග්ලාස් වලින් තැනූ මෙම මේස සහ පු‍ටු වල ඇති අඩු පාඩුව නම් ලී මේස පු‍ටු මත මෙන් කිසිවක් ලිව නොහැකි වීමයි. එසේ නොවූවානම් මේ මේස මත කොතරම් සරසවි කුරු‍ටු ගී බිහි වනු ඇත්ද. 


"මොකද දසුන්?"


"පොඩි උදවුවක් ඕන මචන්" පසන්ගේ මෙවැනි දේට මම අනන්ත වතාවක් උපකාර කර ඇතත් , මෙවැනි උපකාරයක් මා ඔහුගෙන් ඉල්ලන ප්‍රථම වතාව මෙය වේ. 


"කෙල්ලෙක්වත් ද" පසන් සෝපහාසයෙන් මෙන් සිනා සේ. 


"උඹ හිතන විදියෙ එකක් නෙමේ, ඒත් මේ කෙල්ල ගැන මට දැනගන්න ඕනා."  මම සම්පූර්ණ කතාවම ඔහු හා පවසමි.


"නමක් ගමක්වත් නොදැන කොහොමද බන් හොයන්නෙ? ම  ඒ මෙඩිල් සෙන්ටර් එකට ගිහින් අහන්න කියලාද උඹ කියන්නෙ, පෙරේදා දවල් 1ට විතර ආව කලු පාට ටොප් එකයි, සුදු කලිසමයි ඇඳපු කෙල්ලගෙ නම දන්නවා ද කියලාද?" 


"සුදු පාට කරාඹු දෙකකුත් දාගෙන හිටියා බන්, සන් ග්ලාස් එකකුත් දාගෙන හිටියෙ. හයි හීල්ස් දාලා තිබුනෙ..." මම ඌන පූර්ණයක් සපයමි.


"උඹට පිස්සුද. මට පුළුවන්ද ඔහොම කියන්න එතෙන්ට ගිහින්? මම තව කාලයක් ජ ඇල ඔ‍ෆිස් එකේ වැඩ කරන්න ඕනා" පසන් ඔහුගේ විරෝධය දක්වයි. මෙවන් යහළුවකුගෙන් පලක් තිබේද.


"උඹට බැරි නම් මමම ගිහින් අහගන්නම්. " 


"පොඩ්ඩක් මම කියන දේ අහපන්.... උඹ ඒ කෙල්ලට  ක්‍රෂ්  එකකුත් නැත්නම් මොනවාටද ඒ කෙල්ල ගැන හොයන්නෙ? ඇත්තටම  ක්‍රෂ්  නම් මම බෙල්ල ගහලා ගියත් ඒ කෙල්ලව හොයලා දෙන්නම්. ඒත් ඔහොම කෙල්ලෙක් දැක්ක ගමන් වහ වැටෙන එකෙක් කියලා නම් මම උඹ ගැන හිතන්නෙ නෑ." ඒ පණ්ඩිතකම් වලින් මට පලක් නැත.


"හරි , මේක මගෙ ක්‍රෂ් එක කියලා හිතපන්" පසන් විමතියෙන් මගෙ මුහුණ දෙස බලා සිටියි. "අඩුම අතරමෙ ඒ කවුද කියලා හරි දැනගත්තා නම් හොඳයි...."


"ක‍ටුනායකින් නේද බස් එකට නැග්ගා කිවුවෙ" පසන් කල්පනාකාරීව විමසයි. 
"හ්ම්ම්" මගෙ බත් පිඟානෙන් කටවල් දෙකකට වඩා අවසන් නැත. පසන්ගේ නම් කරපිංචා කොලයක තරම් දෙයක් වත් ඉතිරි නැත.


"ගාමන්ට් කෙල්ලෙක් ද දන්නෙ නෑ..."


"පිස්සුද උඹට?"


"එහෙනම් එයා හොස්ටස් කෙනෙක්?"


"නෑ එච්චර පොශ් නෑ"


"TTI එක තියෙන්නෙත් එතන නේද? ඒකෙ කෙල්ලෙක් වෙන්න බැරිද...?" 


"වෙන්නත් පුළුවන්.... ඒත් අතේ පොතක් වත් තිබුණේ නෑනෙ."


"එහෙනම් TTI එකේ කොල්ලාව බලන්න ආව කෙල්ලෙක්ද දන්නෙ නෑ..........." පසන් මහ හඬින් සිනා සේ. අඩක් වත් අවසන් නොවූ බත් පිඟනත් ගෙන මම නැගිටිමි. 


"හරි හරි අපි හෙට යමු එහෙ, බලපන් උඹෙ මූණෙ හැටි, පැච් එකක් ගිය ට්‍රැක්ටර් රෝදයක් වගේ." 


"නෑ අපි අදම යමු. හවසට වැඩක් නෑනෙ..... මට දෙකෙන් එකක් විසඳාගන්න ඕනා." මම තරයේ කියා සිටිමි.



Friday, April 20, 2012

හඹා යාම


(ප්‍රබන්ධයකි -  ප්‍රබන්ධය, සත්‍යය තරම් රසවත් නැති බවක් ද හැඟේ. නමුත්, මෙය අපේ කාලයේ සුලභ කතාවකි)


දෑස විවර කර බැලීමටවත් නොහැකි තරමේ දාහයකින් අවට පරිසරයම පෙළෙයි. ඉදිරියෙන් ගමන් කරන තරමක් අබලන් වෑන් රථයෙන් නැගෙන කලු පැහැ ගත් දුමද නොතකමින්ම ඉදිරියට ඇදෙන බස් රථයේ ගුවන් විදුලි යන්ත්‍රයද සවනට මෙන්ම සිතටද කරදරයකි.


"මගේ පුංචි රෝස මලේ..... මමයි නුඹේ වියපත් බමරා.........." ඒ අමරසිරි පීරිස්ගේ හඬ නම් නොවේ. ගැහැණු හඬක් ඇති ගායකයකු මහ හඬින් බෙරිහන් දෙයි. ඒ රී මික්ස් කිරීමකි.
මා අසල වාඩි වී සිටින පුද්ගලයාගෙන් නික්මෙන අරක්කු ගඳ මිශ්‍රිත දහදිය ගඳ නැහැය පසාරු කරගෙන යමින්ම ගෙන දෙන්නේ අපුලක්. පැය දෙකක පමණ ගමනකින් විඩාපත් වී සිටිමි. එහෙත් තවමත් බස් රථය මගේ ගමනාන්තයට පැමිණ නැත.
ටයි පටිය සාක්කුවේ දමාගෙන , කමිසයේ ඉහලම බොත්තම මා විවර කරගත්තේ බසයට නැගීමටත් පෙරය.එහෙත් මේ දහදියට එයින් කිසිදු සහනයක් නැති සේය.
වෙනදා ගමන් වලට වඩා දුරත්, වැඩි වූ ඉන්ධන මිලත් පිළිබඳව සිතා නිවසේ දමා ආ මගේ ස්ප්‍රින්ටර් මෝටර් රථය පුත්තලමෙන් මේ බසයට නැගුණු මොහොතේ සිට මේ දක්වා මා හට අනේක වාරයක් සිහිපත් විය.


තරමක හෝ සහනයකට ඇත්තේ බස් රථය සෙනගගෙන් පිරී නොතිබීමයි.මීගමුවෙන් බසයට ගොඩවූ පෙම්වතුන් යුවලක් සහ මැදිවිය ඉක්මවා නොගිය පිරිමියෙකු හැරුණුකොට අන් සියල්ලන්ම පාහේ අසුන් ගෙන සිටිති.


ගුවන්තො‍ටුපල මංසන්ධිය පසුකළ බස් රථය ඊළඟ නැවතුමේද නවත්වන්නට මන්දනය වේ.
මම ආපසු හැරී වැඩ නිමවෙමින් තිබුණ අධිවේගී මාරගය දෙස බලමි.මගේ මෝටර් රථයේ යන විට ඒ  දෙස උනන්දුවෙන් බැලීමට ඉස්පාසුවක් ලැබෙන්නේ නැත.


මහා මාර්ගය අයිනේ සිටම ගුවන් තො‍ටුපල දෙසට දිවෙන තණ පිටියේ සුදු පැහැති තණකොළ මල් වල ගැබ් වූ අමුතුම සුන්දරත්වයද ගිනිගහන අවුවේ වුවත් අද මා දකිමි.


"මිස්, ටිකට් ගන්න"වෙනත් වෙලාවට වඩා තරමක සන්සුන් හා හික්මුණු බවකින් යුක්ත වූ කොන්දොස්තර  වරයාගේ හඬට මම නැවතත් ඉදිරිපස හැරෙමි.


අවුරුදු 28ක ජීවිතයේ මුල්ම වතාවට මම මේ මොහොතේ ඇය දකිමි. අත් රහිත කළු පැහැ හැට්ට්යත් සුදු පැහැති දිගු කලිසමත් ඇයට ගෙන දුන්නේ කැපී පෙනුණු රුවකි.සුදු යැයි කිව නොහැකි සම පැහැපත්ය. දෑත් හා ගෙල පාළුය. දෙකන සැරසී ඇත්තේ සුදු පැහැ ගල් අල්ලා ඇති කුඩා රිදී පැහැති  කරාඹු දෙකකිනි. අවු කණ්ණාඩිය බ්ලවුසයේ ඉදිරිපස රඳවා තිබේ. එහි මිල තීරණය කිරීමේ  උත්සාහයක මම යෙදෙමි.අසාර්ථකයි!!!






"ජා ඇලට කීයද?" ඇගේ හඬ මට පැහැදිලිව ඇසේ. අප දෙදෙනා අතර ඇත්තේ අඩි දෙකක පමණ පරතරයකි.
"27ක් දෙන්න" කොන්දොස්තර වරයා ඇගේ මුහුණ දෙසම බලාගෙන සිටියි.


ඉදිරියට  ඇදෙන බස් රථයේ ත්වරණය සහ මන්දනය වීම සමග ඇයට පසුම්බියෙන් මුදල් ලබා ගැනීම අපහසු සේය. නොසිතූ ලෙස රියදුරා තිරිංග තද කරයි.වාරු නැති වූ ඇය ඇද වැටෙන්නට තිබුණේ තත්පරයෙන් දහයෙන් එකකි.


 මටත් නොදැනීම තත්පරයකින් සියයෙන් එකක වේගයකින් අසුනින් නැගිට මම ඇගේ අතින් අල්ලා ගනිමි.ඇගේ බියපත් දෑස මා දෙස බලයි.ඒවා විඩාබරය. "තෑන්ක්ස්" මම සිනා මුසු මුහුණින් ස්තූතිය බාරගනිමි. නැවතත් බසයේ වීදිරුවෙන් එපිට දාහයෙන් දැවෙන  ලෝකය දෙස අනිමිස ලෝචනයට අවතීර්ණ වෙමි. ඇයත් එම කාර්යයටම අවතීර්ණ වී ඇති අයුරු ද ඒ සමගම හො‍රැහින් දකිමි.


ඇගේ අත් බෑගය ඉල්ලා ගත යුතුයි මට සිතේ. මම ඇය දෙස බලමි. ඉදිරිපස අසුනේ කාන්තාව ඇගේ අත් බෑගය ඉල්ලාගනියි.




හදිසියේම මට යමක් සිහිපත් වේ.මගේ පශ්චාත් උපාධියේ සටහන් කිහිපයක් මගේ මිතුරා පසන් සතුව ඇත.ඒවා ජාඇල පිහිටි ඔහුගේ සේවා ස්ථානයේ තබා ඇති බව ඔහු මට පැවසූවේ සති දෙකකට පෙරදීය.මා ගොසින් ඒවා ලබා ගත යුතුය.


"ජාඇල පොලිසිය බහින්න" රී මික්ස් ගී තැටියේ හඬ පරයමින් කොන්දොස්තර වරයා කෑගසයි.තම අත් බෑගය ලබාගන්නා ඇය බසයේ ඉදිරිපස දොර‍ටුව වෙත ගමන් කරයි. මම පසුපස දොරින් බසයෙන් බසිමි. කොන්දොස්තර වරයා මා දෙස ප්‍රශ්නාර්තයක් ගැබ් වූ බැල්මෙන් බලයි. ඉතුරු සල්ලි ආපසු ලබාගැනීමේදී මා සමග වූ වචන හුවමාරුව නිසා ඔහුට මගේ ගමනාන්තය මහබාගෙ හන්දිය බව මතක තිබෙන්නට ඇති.


ඇගේ ගමන ඉක්මන්ය. මම දෙනෙතින් ඈ ලුහුබඳිමි. මගේ අරමුණ මටද නොතේරේ. නොදන්නා අරමුණක් උදෙසා මෙසේ උනන්දු වීමේ තේරුම කුමක්ද? අනිද්දාට විශ්ව විද්‍යාලයේදී හමුවන පසන්ගෙන් සටහන් ටික එදිනට ඉල්ලා ගැනීමට මා හට හොඳටම හැකියාවක් ඇත. ඉර පොළොවට බැස ඇති තරම් දැනෙන මොහොතක මා මේ කරන්නේ කුමක්ද? සැබැවින්ම මම ඇය හඹා යමින් සිටිමි.ඔව් මා බසයෙන් බැස ඇත්තේ ඈ නිසාය. මිතුරාගේ කාර්යාලය ඇති පැත්තට නොගොස් වෙනතකට ඇවිද යන්නේ ඈ නිසාය.


වේගවත් අඩි වලින් මම ඈ වෙතට ලං වෙමි. තව එක් වරක් ඇගේ මුහුණ බැලීමට සිත් වේ. එක් වරම අඩි උස සපත්තුව පෙරලී ඇය වැටෙන්නට යයි.එහෙත් බසයේදී මෙන් ඇයව අල්ලා ගැනීමට මට අවකාෂ නැත. ඇය මට වඩා අඩි ගණනක් ඉදිරියෙනි. ගැලවී ගිය සපත්තුව නැවත පයෙහි රුවා ගැනීමට ඇය මදා වේලාවක් ගනියි. දැන් නම් මා ඇය අසලම ඇයට ඉදිරියෙනි.


මම ඈ දෙස බලමි. ඇය මා දෙස බලන්නේදැයි පැහැදිලි නැත. අව් කණ්ණාඩියෙන් ඒ දෑස් වැසී ගොසිනි. මම සිනා සෙමි. ඇයද පෙරලා සිනාසෙන්නීය.


ඇය මාදෙස බලා ඇත.මසිත ප්‍රමුදිතය.තවත් වරක් ඇය දෙස බැලීමට මට අවශ්‍ය නැත. මම කෙල්ලන් දෙස ට නිකරුනේ ආකර්ෂණය වන අශ්ශීලයෙකු නොවෙමි.හැරත් ඒ සුහද සිනාව මට ප්‍රමාණවත්ය. එහෙත් නෙත් කොනින් මට ඈ පෙනෙනවා නම් එය මාගෙ වරද නොවේ. ඇය හැරී ගොස් වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළු වේ. සපත්තුව පෙරළුණු අවස්ථාවේදී කකුලට කුමක් හෝ සිදු වීද?


දැන් මා කුමක් කරම්ද? ඇය ආපසු පැමිණෙන තුරු සිටින්න හැකියාවක් නැත්තේ නොවේ. නමුත් , කුමකටද? තරමක් සිතා බැලීමේදී පසන් හමුවීමද එපා වන වැඩකි. ඔහු මගේ හොඳම මිතුරා බව සැබෑය. එහෙත් ඔහුගේ "අති පණ්ඩිත , මෙලෝ රහක් නැති, ප්‍රබුද්ධ" කාර්යාලීය සගයන්  හමුවීමට මගේ කිසිදු කැමැත්තක් නෑත. අනිද්දා දේශන සඳහා පැමිණෙන විට ඔහු මගේ සටහන් ගෙන ඒවි. එසේ හෙයින් ගෙදර යාමට මම ගුවන්තො‍ටුපල - කො‍ටුව බසයකට නගිමි.


මෙහිද මම කලින් පැමිණි බසයට ආවේණික ලක්ෂන එලෙසින්ම පවතියි.කණ පැලෙන සංගීතය, බෙරිහන් දෙන කොන්දොස්තර ඇතුලු හිසරදය සෑදීමට අවශ්‍ය සියල්ල ඇත. වෙනසකට ඇත්තේ බසය කරත්තයක වේගයෙන් ගමන් කිරීම සහ අසුන් ගෙන ඉන්න පිරිසට සමාන සංඛ්‍යාවක් සිටගෙනද සිටීමත්ය. මහබාගෙන් බසිනාතුරු මම තත්පර ගනන් කරමි. කොහෙන් හෝ අසා ඇති ගීතයක් මතක් වේ.


"දෙනෝ දාහක් දෙනා අතරේ මහා තනියක් මට දැනේ"


******************************************************************


"අම්මා........ පුතා ආවා" ටයි පටියත් සමගම කමිසය රෙදි කූඩයට ඔබමි.
"පුත්තලමට ගියෙ අවුව තපින්නද පුතා? .... මූණත් එක්ක කලු වෙලා, කුඩයක් වත් පාවිච්චි කරන එකක්යැ" අම්මා ඉස්සී මගේ මුහුණ පිරිමදියි. මම ඇයට සුර කුමාරයෙක්මි.


"ලැජ්ජා නැද්ද අම්ම කෙල්ලො වගේ කුඩ ගෙනියන්න"


හදිසියේ මට යමක් මතක් වේ. "එයාටත් කුඩයක් තිබුණෙ නෑ" මසිත මට කියයි.ඇය තවමත් මසිතේ හොල්මන් කරන සෙයකි.


"මොකද පුතා?" එ අම්මගේ හඬයි.


"බඩගිනියි අම්මා" දිනක් නොකැපූ ‍රැවුල් කොට වලින් පිරි මගේ මුහුණ ඇගේ මුහුණේ අතුල්ලා මම නාන කාමරයට දිව යමි. අම්මා බොරු තරහක් මවාගෙන බැණ වදිනයුරු මට ඇසේ. හිසට වැටෙන වතුරේ සිහිල විඳීමට මම දෑස් පියා ගනිමි.


ඉතිරිය ඉදිරියට................

Tuesday, April 17, 2012

චාරිකා සටහන් - පඬුවස්නුවර

සිංහල අලුත් අවුරුද්දට ලැබුණ කෙටි නිවාඩුව අවසන් වුණේ  පුංචි චාරිකාවකින්. ඒ වයඹ පළාතේ තියන තවත් පුරා විද්‍යාත්මක වටිනාකමකින්යුක්ත ප්‍රදේශයක් වන පඬුවස්නුවර ප්‍රදේශයට ගිය ගමන.


වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන පඬුවස්නුවර  කොළඹ සිට කි මී 122ක් පමණ ද, කුරුණෑගල සිට කිමී 27ක් පමණ ද දුරකින් හලාවත-කුරුණෑගල මාර්ගයේ පිහිටා තිබෙනවා.


වර්තමානයේදී පඬුවස්නුවරදී දක්නට ලැබෙන රාජධානිය අයත් වන්නේ ක්‍රි.ව. 12 වන සියවසට. 
පොළොන්නරුව රාජධානියේ පළමු රජතුමා වූ මහා විජයබාහු රජතුමාගේ කාලයේදී මායා රට පාළනය කළේ මානාභරන යුව රජ තුමා විසින්. ඔහුගෙන් පසුව මායා රට පාලනය ලබාගත් ඔහු පුත් පරාක්‍රමබාහු යුව රජතුමා ස්වකීය රාජධානිය බවට පත් කරගත්තේ පඬුවස්නුවරයි. ඒ අවධියේදී මෙම ප්‍රදේශය පරාක්‍රමපුරය නමින් හඳුන්වා තිබෙනවා.


( ජනප්‍රවාද වලට අනුව මෙම ප්‍රදේශය විජය රජුගෙන් පසුව රජ පැමිණි පණ්ඩුවාසදේව රජුගේ (ක්‍රි. පූ.5 වන සියවස)රාජධානිය බවට ද මතයක් පැවතුනද, ඒ බව තහවුරු කරගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් තවමත් හමුවී නැහැ)


හෙක්ටයාර 20ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින පඬුවස්නුවර රාජධානිය පුරාවට කැණීම් සිදු නොකරන ලද ප්‍රදේශ ද තවමත් ශේෂව පවතිනවා.


මෙම ප්‍රදේශයට ඇතුළු වීමත් සමගම දක්නට ලැබෙන්නේ පරාක්‍රමබාහු රජුගේ රජමාලිගාවේ නටබුන්. 


රජමාලිගයට අයත් ප්‍රදේශය පිටතින් මීටර් 6ක් පමණ පළල දිය අගලකින් (moat) වටකොට ආරක්ෂාව සපයාගත් බවට තිබූ බවට සාක්ෂි අදටත් ශේෂව පවතිනවා.


දිය අගලට ඇතුළතින් ඇති ශක්තිමත් පවුරෙන් ඒ ආරක්ෂාව වඩාත් තහවුරු වන්නට ඇති.




මැදමිදුලකින් ද සමන්විත වන රජ මාලිගය සර්ව සම්පූර්ණ මාලිගයක ආකාරයට සකසා තිබුණු බවට සාක්ෂි තවමත් දක්නට ලැබෙනවා. මෙහි භූමි සැලැස්ම,පොළොන්නරුවේ දක්නට ලැබෙන පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයෙහි සැලැස්මට බෙහෙවින් සමානයි.
රාජ සභාවේ රජුගේ සිංහාසනය පණවා තිබූ ස්ථානය ලෙසින් මෙය හඳුනාගෙන තියනවා.


රජතුමා සඳහා නිමවා තිබූ මෙම වැසිකිලියෙහි බොහෝ කොටස් වර්තමානයේදී දක්නට නොලැබෙන බවයි පැවසෙන්නේ.






12 වන සියවසට අයත් බොහෝ ස්ථාන වල මෙන්ම මෙහිද, මෙම ස්ථානයට වරක් පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා (ක්‍රි.ව.1187-1196) විසින් ස්ථාපනය කරන ලද ගල් ආසන සෙල්ලිපියක් දක්නට ලැබෙනවා.


නමුත් එහි සඳහන් වන කරුණු කුමක්දැයි යන්න දැනගැනීමට මගක් නම් සැලසුනේ නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදි කර තිබුණ පුවරුවෙහි අකුරු කිසිවක් පැහැදිලිව ඉතිරි නොවී තිබීමයි ඊට හේතුව.


ඇතුළු නුවර රජමාලිගයට උතුරින් හා දකුණින් සංඝාවාස කිහිපයකම නටබුන් දක්නට ලැබෙනවා. ඒවා සියල්ලක්ම පිළිමගෙවල්, ආවාස, උපෝසථාගාර,දාගැබ්,සහ බෝධිඝර යන පංචායතන වලින් පරිපූර්ණයි.


                                          දාගැබක නටබුන්


බෝධිඝරය


                                        පිළිමගෙවල්

මින් එක් සංඝාරාම භූමියක නිශ්ශංකමල්ල රජ සමයට අයත් වන දමිළ සෙල්ලිපියක් දක්නට ලැබෙනවා. මධ්‍යකාලීන දමිළ බසින් සටහන් තබා ඇති එහි සටහන්ව ඇත්තේ, නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍යකාලයේ 5 වන වර්ෂයේදී කුලන්දෛ මතිමාන පංජර නම් වූ සෙනෙවියා විසින් භික්ෂූන් සඳහා ආවාසයක්, දාන ශාලාවක්, චෛතයයක් සහ පරාක්‍රම අධිකාරී නමින් විද්‍යාතනයක් මෙම නගරයෙහි වූ බෝධියක් සමීපයෙහි කරවන ලද බවයි.







පඬුවස්නුවර නූතන විහාරය අසල නුවර යුගයට අයත් ටැම් පිට විහාරයක්ද දක්නට ලැබෙනවා.(ගල් කණු මත ඉදි කර ඇති විහාරයක්). 




එය නම් ගරාවැටීමට ඉතා ආසන්න ලෙසකිනුයි දිස් වන්නේ.


9 වන සියවසට අයත් ටැම් ලිපි කිහිපයක්ද විහාර භූමියේ තිබෙනවා. ඒවාහි සඳහන් වන්නේ 9 වන සියවසයේ විසූ උදය යුව රජතුමාගේ බිසව වූ ශ්‍රී සංඝා බිසව විසින් මුහුන්නරුව මිරිසපිටි විහාරයට පිරිවෙන් ‍රැසක් පූජා කළ බව සහ, ඒ සඳහා අයගම (පිරිවෙන් සඳහා වියදම් දරන ගම් ප්‍රදේශය) වශයෙන් ඒ ආසන්න කපුගම - නාලගම පූජා කළ බවත්ය. 


මෙම විහාර භූමියට ආසන්නයේම කවාකාර දිය අගලකින් වට වූ කවාකාර ගොඩනැගිල්ලක නටබුන් ශේෂව පවතින අතර ජනප්‍රවාද වලට අනුව එය උන්මාද චිත්‍රාවන් සිරකළ එක්ටැම් ගෙය බවට විශ්වාසයක් පවතිනවා. 


නමුත් එය තහවුරු කිරීම සඳහා කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක්  හමු වී නැහැ. ක්‍රි.ව. 1953 දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් , ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සමග එක්ව කරන ලද පර්යේශන වලට අනුව මෙය "චක්‍රාවාලය" ලෙසට හඳුන්වා දී තිබෙනවා. එනම්, පරාක්‍රමබාහු යුව රජතුමා ලක්දිවටම අධිපති අග රජු බවට පත් වූ විට, තමන් රටවල් 7 කට ( ප්‍රදේශ 7 කට???) අධිපති බවට දැනුම් දුන් ස්ථානය මෙය බවයි සඳහන් වන්නේ. 


මෙහි පසෙකට වන්නට 1980 දී ප්‍රතිසංස්කරණය කරන ලද දළදා මන්දිරය දකින්නට පුළුවන්.මහාවංශය වැනි ඉතිහාස පොත් වල සටහන්ව නැතත් රුහුණේ සිට  පොළොන්නරු රාජධානියට  වැඩම කරවීමට පෙර, පරාක්‍රම බාහු යුව රජතුමාගේ කාලයේදී පඬුවස්නුවර රාජධානියේ ,ශ්‍රී දළදා වහන්සේ තැම්පත් කර තැබූ බවට මත පළ වී තිබෙනවා.

මේ, පණ්ඩුවස්නුවර රාජධානියට ආසන්නවම දකින්නට තිබුණු පැරණි බෝධිඝරයක්. මහා මාරගය අයිනේම දක්නට ඇති මෙහි වූ සිත්ගන්නා සුළු බව නිසාම මේ ඡායා රූපද ඇතුළත් කරන්නට සිතුනා.








අනුරාධපුර, පොළොන්නරු ආදී රාජධානි තරමටම නටබුන් වලින් පොහොසත් නොවුණත්, ඉතිහාසය පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් විසින් පඬුවස්නුවර රාජධානිය ගැන අධ්‍යනය කිරීමට අකමැත්තක් දක්වන එකක් නම් නැහැ.

(මේ පෝස්ට් එකේ නිවැරදි විය යුතු තැන් කීපයක් හසිත පෙන්නලා දීලා තියනවා. ඒ නිසා හසිතගෙ කමෙන්ට් එකත් කියවලාම යන්න)


**********************************************

ප.ලි.


මගෙ යාළුවා සංඛ  (වෛද්‍ය සංඛ දශානන රන්දෙනිකුමාර) ඉතිහාසය ගැන ලොකු උනන්දුවක් තියන කෙනෙක්. ඒත් මම වගේ මෙතනින් නොනැවතී සංඛ මේ දින වල පුරාවිද්‍යාව පිළිබඳව පිළිබඳව පශ්චාත් උපාධියකුත් හදාරනවා. මේ ලිපිය කියවපු සංඛ මට ගොඩක් විස්තර කිවුවා පඬුවස්නුවර ගැන සහ පොළොන්නරුව රාජධානියේ තියන සමානකම් පිළිබඳව. 
ටිකක් බලන්න මේ රූප දිහා. පළවෙනි රූපෙ අපි හොඳින් දන්න පොළොන්නරුවෙ පොත්ගුල් විහාරය අසල තියන පිළිමය.




දෙවෙනි පිළිමෙ එතරම් අපි දැකලා නෑ. ඒක හමු වෙලා තියෙන්නෙ පඬුවස්නුවර රාජධානියෙන්. ප්‍රාදේශීය කලාකාරයෙක්ගෙ නිර්මාණයක් විදියට සැලකෙන මේ පිළිමෙ අත් වල පිහිටීම බොහෝ සෙයින් පොළොන්නරුවෙ පිළිමයට සමානකමක් තියෙන බව ලු විද්වත් මතය. 




පොළොන්නරුවෙ පිළිමෙන් පෙන්නුම් කරන්නෙ බොහෝදුරට මහා පරාක්‍රමබාහු රජතුමා නොවෙන්න පුළුවන්. ඒත් අනිවාර්යෙන්ම ඒ එතුමාට සම්බන්ධ කිසිවෙකු විය යුතුයි.(උදා : කපිල ඍශි වරයා. ) 


එම නිසා මෙම රාජධානි දෙකම පරාක්‍රමබාහු රජතුමාගෙ පාළනය යටතේ තිබූ බවට ඇති තවත් සාක්ෂියක් තමයි ඉහත පිළිම දෙකේ සමාන කම්.


රූප දෙක වගේම කරුණුත් කියලා දුන්න සංඛ ට මගෙ ස්තූතිය. පොළොන්නරුවෙ පොත්ගුල් විහාරයෙ පිළිමෙ ගැන ඔහු පැවසූ බොහෝ දේ වෙනත් ලිපියකින් ලියන්න හිතුවා

Monday, April 9, 2012

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "තරු ලකුණ"

        වසර කිහිපයක සිටම සඳැස් කවි වලටම බැඳි මගේ ප්‍රේමයේ හැරවුම් ලක්ෂය නම්, "ප්‍රබුද්ධ" කාව්‍යයයි. 9 ශ්‍රේණියේදී මගේ සිංහල ගුරුතුමිය වූ කුසුම් ගුරු මෑණියන් දිනක් "ප්‍රබුද්ධ" හි පිදුම පන්තියේදී කියවූ මොහොතේ සිටම මහගමසේකරයන් කෙරෙහි බැඳුණු මගේ සිත ඔහුගේ කවි සොයා පිපාසිත විය. 
හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, නොමියෙමි ආදී වූ ඔහුගේ සියලුම කවි කොහෙන් හෝ මම මේ වන විට කියවා ඇත්තෙමි. 


එකී කාව්‍ය ග්‍රන්ථයන් මා සතුවට නතු කර ගැනීමේ ආශාවෙන් සරසවි පොත් හලෙහි දෙවෙනි මහල පීරු මොහොතක මගේ ඇස ගැ‍ටුණ තවත් අපූර්ව පොතක් විය. 


ඒ මගේ අනෙක් ප්‍රියතම කවියා වන රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත "තරු ලකුණ" කවියයි. ඒ පිළිබඳව මේ සටහන තබන්නට සිතුනේ දින කිහිපයකට පෙරාතුව කියවූ සාතන්ගේ ලිපිය නිසාවෙනි.




1997 දී පළ කරනු ලැබ ඇති මෙය පාසල් ගුරුවරයකුගේ ජීවිතය පිළිබඳව පෙන්වන්නකි. "සුරත්" නමින් කවියා විසින් ඔහු හඳුන්වනු ලබයි.
කවිය ආරම්භයේදීම සුරත් පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් තබන්නේ ලස්සන සටහනක්.


සමනොල ගල වනන්තරේ මල් යහන
සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන
සිඹ සනහා එහි නිදනා කිරි සිහින
කිරි මවුදෝ නුඹ සුමිතුර කිරි පොවන


ඉස්කෝලේ මානා හෙවනට බැඳුන
මකුළු දැලේ උඩු වියනේ මුතු බඳින
සීතල හිරිකඩ දෙපතුල් ළඟ අඬන
සකි සඳුනේ සුව නැත දළ රළු යහන


රොනින් පිරී රොන්සුණි සඟවා තබන
මලක් නොවී වන ගැබ පරවී වැටෙන
කුරුල්ලෙකු වෙමින් නව යුගයට අඬන
ඉතින් නැගෙනු මැන මා පිය සකි සඳින


දුෂ්කර පාසලක දිළිඳු දරුවන්ට අකුරු කරවනා  සුරත්  ඒ ජීවිත්යේ දුෂ්කර බව සමගම උදෑසන අවදි වේ.


හිස කැක්කුමයි
සිතද කැක්කුමයි
ඇසට නිදි නො එයි
සිත ඇඹරෙමින් අවදි වෙයි
‍රැ පුරා නිදි වරා
‍රැස් කළා වූ සෞන්දර්ය ද
ප්‍රේමයද
පෙති වලට තුරුළු කර මල් නිදයි
-------------------------------------------
"සුරත් මේ උදැහැනයි
ඔබ අවදි විය යුතුයි"
වියලි හඬකින් හඬන කුරුල්ලෙක්
ජනේලය ලඟට ඇවිදින් කියයි


ඒ ජීවිතය දුෂ්කරයි, නමුත් සුරත් ඒ ජීවිතයට ආදරෙයි. ඒ ක‍ටුක බව තුළින් මතු වුන සුන්දරත්වය නොදකිනවා නම් ඔහුට ඒ ජීවිතය නීරස වන්නට තිබුණා. ඒ ගැන කවියාගෙ වචන වලින් කියන්නෙ මේ විදියට.


ක‍ටු වලට තුරුලු වුණ නිදි කුම්බා මල් අතර
ගල් බොරලු වැළඳගත් බිං තඹුරු වැල් වලට
ශුෂ්ක ගිරි දුර්ගයට ඇද හැලෙන නිල් පොදට
පෙම් නොකර මම තනිව කෙසේ මෙහි ඉන්නෙම්ද



පාසලට යන සුරත් දකින්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින දරුවන්. 
මිදුලේ කොහොඹ ගස වටේ රවුමට හිටගෙන ඉන්න මේ දරුවන් ඔහුගෙ නෙතට , නොව සිතට ගෙනෙන්නෙ කඳුලක්.
උදෑසන ආහාරයවත් නැති ඔවුන් හට පාසලෙන් ලබා දෙන විස්කෝතුව අමෘතයක්. ඒ විස්කෝතුව ‍රැගෙන එනතුරු තවත් කිහිපදෙනෙක් දොරකඩ බලාගෙන....


ඇහි පිය මලානික වුණු
නිම්පත් දූලි ගැවුණ
අඬනවාදෝ නුඹ
මිදුලේ නිල් කොහොඹ ගස?


නුඹේ බඳ වට කො
කෙට්‍ටු අත් වැල් බැඳගෙන
ළමයින් ගයන ගීතය
ඇහෙනවාදෝ සවනට?


මේ ගසේ බොහෝ සේ කොළ තිබෙන බව සැබැයි
ඒත් ගෙඩි කොහෙද ? කොළ නම් තිත්ත තිත්තමයි
එක රොටිය මදියි අම්මේ නංගිටයි මටයි
වැඩියෙ කන නරක ළමයින් අනේ අපි නොවෙයි
----------------------------------------
ගොමස්කඩ සාක්කු වල
පිරි සහෝදර ප්‍රේමය,
කඩුල්ල ලඟ බලා හිඳින පොඩි මල්ලිට
කුරහන් රොටි එපා කියන පොඩි නංගිට
මන්ද පෝෂණයට - රත්තරන් විස්කෝතුව!!


ඇස් බොඳ වී ගියත්
හඬනු මැලි විය සුරත්
චක්‍ර ලේඛන වල 
හඬන්නට අවසර නැත..


මෙහි දෙවන පරිච්ඡේදයට එන විට කවියා විසින් පාසලෙන් තරමක් දුරට මිදී සුරත්ගේ ප්‍රේමය කරා පාඨකයා ගෙන යයි. පාසල් ගුරුවරයෙකු වුවත් ජීවිතයේ යෞවනයේ සිටින ඔහුටද  පෙම් කිරීම සඳහා සම්පූර්ණ අයිතියක් ඇත.ඇතැම් විට ඇය ඔහුගේම සිසුවියක ලෙසින්ද කලක සිටින්නට ඇත.


ජීවිතේ යෞවන ඍඉතුවේ
එකෝමත් එක මිහිරි දවසක
වැසි වසින මීදුම ගලන
නිල් සිහින පැටලෙන අඳුරු දවසක


සුදු ඇඳුම් ඇඳි හංස මෙනෙවිය
පා වෙවී පාසලට ගිය
සිහින දොර සිට ඔහුට අත වැනු
එකම යුවතිය උත්පලා විය
-----------------------------------------------
එතැන් සිට ඔහු පෙම්වතෙක් විය
අඩු මිලට අබලන් සිහින ගෙන 
අලුත් වැඩියා කරන්නෙක් විය
දඹ රත්තරන් ණයට අරගේන
නව සංකල්ප නව රූප සාදන
එක්තරා කුස රජ කෙනෙක් විය
පාළු අඳුරු තනි තරුව ගැන
අමරදේවට දුක හිතෙන්නට
ගයන්නට විය


                               (by Mr. Francis Perera)
හිත කොතරම් ආදරයෙන් පොහොසත් වුණත් සුරත් යනු ධනවතෙකු නොවේ. උත්පලාගේ මවුපියන්ගේ කැමැත්තට අනුව ඇයට සිදුවන්නේ වෙනකෙකුගේ අත ගන්නටයි. 


මේ සුරත්ගේ වළපයි.


සුසුම් ලන වියරුවෙන් ‍රැල් නැග
අහස් ගංගා ජල කඳේ
කලා නොපිරුණු සඳක මළ කඳ
සෙමෙන් අවරට පාව යේ


ප්‍රේමයේ මල් පළ මැරී ගිය
වියළි ගංගා ධාරයේ
වැලපෙනා සක්වාලිහිණියනි
දිගු ‍රැයකි මුළු ජීවිතේ


වළාකුළු දෙතොලින් සිඹින
සුදු ගිරි මුදුන මත මාළිගේ
නිල් එලිය යට ඔබ නිදන තැන
පෙනේවා මට මහ ‍රැයේ....



එහෙත් නැවතත් වරක්, ඔහුට ඈ හමු වේ නොසිතූ , එහෙත් හැමදාම පැතූ ලෙසටම. මුලාවක් වූ විවාහයක් බිඳ වැටී සිටි ඇයට පෙර මෙන්ම ඔහු ආදරය කරයි. ඒ ආදරය ඇයව ඔහු වෙතට කැඳවා ගන්නටම ප්‍රබල වේ.


නටබුන් වී ගිය සිහින රටේ
ගන වනන්තරේ
ගල් පර්වත අතරේ,
ක‍ටු ගසක නිදා හුන් සෙවනැල්ලේ
ඈ හිඳගෙන සිටියා නිසොල්මනේ
---------------------------------
පර මලක් වැටී තිබුණා ඒ ගස යට
ඉතා සැදැහැවත් සමනළයෙක් 
හිටියා මල අත නැරම


තවමත් තමන්ට ආදරය කරන සුරත් ළඟ උත්පලා කඳුලු සලයි. සුරත් පවසන්නේ මෙපමණයි.


"නිකම් ගුරුවරයෙක් මිස
මිනින්දෝරුවෙකු නොවේ මම
ප්‍රේමයේ දිග පළල
මනින්නට බෑ මට
හඬන්නනට නම් එපා උත්පලා
කඳුලු නෑ මගෙ ඇස් වල"
-------------------------------------------
"නැගිටින්න උත්පලා
මුණ ගැසුණ දිනෙක අපි
දෙවියන්ට කියා දෙමු
එන්න මට අත දෙන්න
දැන් ඉතින් ඇවිද යමු


මෙලොව සැම ගැහැණුනට වඩා නුඹ
හොඳ නොවන්නට හැකියි.
එහෙත් ඔබ
ඒ කිසිවෙකුට වඩා නරක නෑ"



සුරත්ගේ කතාව මෙයින් අවසන් වන්නේ නැහැ. නමුත්  සිතුවාටත් වඩා දිගු වූ ලිපිය මෙය මෙතැනින් අවසන් කරන්නට මට ඉඟි කරයි...........................
ඉතිරිය වෙනත් දිනයකට........


Friday, April 6, 2012

මම වරද පිළිගතිමි


ඒ ගෙවී යමින් තිබුණේ පළමු වෛද්‍ය වාට්‌ටුවෙහි ගත කළ මාසයෙහි අවසන් දින කිහිපයයි. අවසන් සුසුම් පොද දක්‌වා ම ජීවිතය යදිමින් සටන් කරන දහසකුත් එකක්‌ රෝගීහු අප ගේ ජීවිතවලට නිරන්තරයෙන් දැනුම එක්‌ කරමින් සිටිය හ.


රෝග ඉතිහාසය සටහන් කර ගැනීම, රෝගීන් පරීක්‌ෂා කිරීම හැරුණු කොට, හෙදියන් විසින් සිදු කරන එන්නත් ලබා දීම, පරීක්‌ෂණ සඳහා රුධිරය ලබා ගැනීම ආදී කාර්යයන්ද අප විසින් සිදු කිරීම ඇතැම් විට ඔවුන් ගේ වැඩ කටයුතු පහසු කළා සේ ම, තවත් විටෙක "වැඩ වැඩි කළ අවස්‌ථා" ද නැතුවා ම නො වේ.


එදින ඇඳ 3 හි වූ රෝගියාගේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව තිබිණි.


මම ඇඳ 3 හි රෝගියා සොයා ගියෙමි. ඇගේ වයස අවුරුදු 60-65ක්‌ වන්නට ඇත. මම ඇඳ ඉහපත් වාර්තාව පරීක්‌ෂා කළෙමි. 




නම - කුසුමා.... වයස - 58යි


රුධිරය ලබා ගැනීමට එපමණක්‌ දැනගැනීම ප්‍රමාණවත් ය. "උණ වෙන්න ඇති" මම උපකල්පනය කළෙමි. එබැවින් ඇගේ රෝග ඉතිහාසය දැන ගැනීමට එතරම් උනන්දුවක්‌ මා තුළ නො වී ය.


"අම්මා කුසුමා......ද?.... ලේ එකක්‌ ගන්න තියෙනවා කොලෙස්‌ටරෝල් බලන්න."


"ඔව් දුවේ ........දැන් නම් හොඳට ම බඩගිනියි... මම ඊයේ රෑ ඉඳලා නො කා ඉන්නේ.... ඇඟටත් පණ නෑ කෙළින් හිටගන්න වත්" 


"එහෙම තමයි අම්මා කොලෙස්‌ටරෝල් බලද්දි කන්නෙ නැතුව ඉන්න ඕනා. නැත්නම් ප්‍රතිඵල වෙනස්‌ වෙනවා"


"අනේ මම දන්නෙ නෑ.... එපා වෙලා දැන් නම් මට......... ලේ ගන්නවා ඉවරයක්‌ නෑ......තවත් කටු ගහන්න තැන් නෑ මගේ අත්වල"


"හරි හරි අම්මා...මේක අරන් ඉවර වුණා ම ආයෙ ගන්නෙ නෑ අද දවසට ම"


ඇගේ මුහුණේ කිසිදු සහනයක සේයාවක්‌ වත් නැත. වාට්‌ටුවේ බොහෝ රෝගීන් ගේ තත්ත්වය මෙයයි. ඒ නිසා දෝ ඇය සැනසීමට තවත් වචන සෙවීමට මම උත්සාහ නො කළෙමි.


මම ඇගේ අතෙහි වූ ශිරාවක්‌ (නහරයක්‌) සෙවීමි. ඈ පැවසුවා නිවැරැදි ය. අතෙහි බොහෝ තැන්වල ඉදිමුණ සලකුණු, කැනියුලා ඇතුළු කර තිබූ ස්‌ථාන සටහන් කළේ ය. ශිරාවක සේයාවක්‌ හෝ නැත. අවසානයේ දී උත්සාහ කිහිපයක ප්‍රතිඵලයක්‌ වශයෙන් ශිරාවක සලකුණක්‌ මතු විය. මම සිරින්ජයෙන් විද ලේ ලබා ගැනීමට උත්සාහ කළෙමි. දැඩි වේදනාව නිසා දෝ අත ආපස්‌සට ඇදීමෙන් මා හට බාධා කිරීම හැරුණු විට ඇගෙන් ද කිසිදු සහයෝගයක්‌ නැත. දෙවැනි වතාවට ද ඉඳිකටු තුඩ නහරය තුළට ඇතුළු කිරීමට තැත් කළෙමි. එහෙත් නිතර ම එය ඇතුළු වන්නේ නහරයෙන් පිටතට ය. මගේ නොඉවසිලිමත්කම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතියි. 


you must learn from your patients. විශේෂඥ වෛද්‍යතුමිය නිරන්තරයෙන් පවසන වැකියක්‌ මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබිණි.එහෙත් ඇගේ දෙවැනි වාක්‍යය මට ඒ මොහොතේ අමතක ව තිබිණි. you must feel pain, when they are in pain 


කිසිවක්‌ කිරීමට අන් මඟක්‌ නො වූ තැන මා හට අසල සිටි මිතුරකු ගේ උදවු පැතීමට සිදු විය. ස්‌වභාවයෙන් ම ඔහු මට වඩා හැකියාවන් අතින් ඉහළ ය. එහෙයින් මා හට කළ නොහැකි වූ කාර්යය නිම කරනු ඇතැයි මම ඔහු ගෙන් බලාපෙරොත්තු වීමි. එහෙත් බලාපොරොත්තු සුන් විය. 


"අනේ ළමයෝ රිදෙනවා දැන් නම්.... තුන් පාරක්‌ ම විද්ද නෙ.... දන්නේ නැත්නම් දන්න කෙනකුට කියන්න." ඇගේ ස්‌වරය වේදනාත්මක වුව ද දැඩි විය.ඒ කාලයේදී ස්‌වභාවයෙන් ම මට හිමි වී තිබූ (එහෙත් දැන් නම් මාස කීපයකට පමණක් වරක් මතුවන) වහා ඇවිළෙනසුලු ස්‌වභාවය ඒ මොහොතේ දී ද ක්‍රියාත්මක විය.


"ආන්ටි පුදුම කතාවක්‌ නේ කියන්නේ.....එතකොට අපි ඉගෙන ගන්න එපා ද?" මගේ ස්‌වරය හිතුවාටත් වඩා දැඩි විය. මගේ මිතුරා නො වන්නට මා තවත් කුමක්‌ හෝ කීමට බොහෝ ඉඩකඩ තිබිණි.


අප ගේ වාසනාවකට මෙන් වාට්‌ටුවේ හෙද සොයුරියක ඇඳ 3 අසලට පැමිණියේ ඒ මොහොතේ දී ය. මිතුරා ඉක්‌මන් විය. "මිස්‌ මේ ආන්ටි ගේ අතේ veins (ශිරා) හොයන්න අමාරුයි. blood අරන් දෙන්න පුළුවන් ද?" තුන්වන වසර වෛද්‍ය සිසුවෙකුට වඩා, වසර ගණනාවක පළපුරුද්ද ඇති හෙදියන් හට ඒ සඳහා කැපී පෙනෙන තරම් හැකියාවක් පැහැදිලිවම ඇත.


ඇය ද තරමක අපහසුවෙන්, එහෙත් අප දෙදෙනාට වඩා පහසුවෙන් අවශ්‍ය රුධිර ප්‍රමාණය ලබා ගත්තා ය. සිරින්ජයේ වූ රුධිරය ප්‍රමාණය පරීක්‌ෂණ නළයට දමාගත් මම එය ලේබල් කිරීම සඳහා ගෙන ගියෙමි. 


රුධිර නළය ලේබල් කළ මම තරමක විවේකයක්‌ ගැනීමට අසල සිටි මිතුරියන් අතරට ගියෙමි. මිතුරියක්‌ අනෙක්‌ අයට යමක්‌ විස්‌තර කරමින් සිටියා ය.


".........මාසෙන් මාසෙට වගේ එයාට ලේ දෙනවා ....... පවු.. වැඩි කාලයක්‌ නම් ජීවත් වෙන එකක්‌ නම් නෑ...."


මගේ කුතුහලය වැඩි විය.


"කවුරු ගැන ද ඔයා කියන්නේ?"


"මගේ patient ගැන ........bed 3 වල ඉන්නේ"


මගේ දෙනෙත් විවර විය. bed 3....?


"ඇයි.....එයාට මොකද වෙලා තියෙන්නෙ?... මම දැන් එයා ගෙන් blood ගන්න ගිහින් පුදුම දුකක්‌ වින්දෙ. පොඩ්ඩක්‌ වත් supportive නෑ නෙ. තරහත් ගියා මට..."


"එයාට myelo dysplasia......"


මා හට පිළිතුරක්‌ නැති විය.


"පවු නේ ද එයා?" නොදැනුවත් ව ම මගේ මුවින් පිට වූයේ සිත වරදකාරී හැඟීමකින් පිරී යන අතරතුර ය.


"ඔව් පුදුම කලකිරීමකින් ඉන්නෙ එයා.....මොකුත් test එකකට වත් ලේ ගන්නවාට කැමැති නෑ. එයා බයයි. අනුන් ගෙන් ගත්ත ලේ ටිකත් ඉවර වෙයි කියලා. තේරුම් කරන්නත් අමාරුයි එයා ඉන්න තත්වේ උඩ.......එක අතකට එයා සාධාරණයි එයාගෙ පැත්තෙන්......ඔය තරම් ලේ ගන්න එකත් ලේසි නැහැ නෙ"


මගේ සිත ඉමහත් දුකින් පිරී යන්නට විය. හිතක්‌ පපුවක්‌ නැති අන්දමේ පිළිතුරක්‌ මා ලබා දී ඇත්තේ එවන් අසරණ රෝගී කාන්තාවකට ය.


සෙමින් එතැනින් නැඟිටගත් මම ඇඳ 3 වෙතට පියමැන්නෙමි. ඇය ඒ වන විටත් හැඬූ කඳුළිනි. වදන් ගලපා ගත නොහැකි ව මම තරමක්‌ ළත වුණෙමි.


"අම්මා ඇයි අඬන්නේ?...."


"නෑ......දරුවෝ.... අර නර්ස්‌ අතින් ලේ ගද්දී ගොඩාක්‌ රිදුණා....." මගේ සිතිවිලි හඳුනාගෙන දෝ ඇය වෙන ම හේතුවක්‌ මවා පෑවා ය.


"මම ගද්දිත් ගොඩක්‌ රිදුණා නේ ද...?"


"ඊට වඩා එයා ගනිද්දි රිදුණා..."


"රිදුණ නිසා නෙමේ නේ ද අම්මා අඬන්නෙ?...


ඇය කඳුළු පිරී ගිය දෙනෙතෙහි රැඳුණ කුතුහලයෙන් මා දෙස බැලුවා ය.


"අතට වඩා හිත රිදුණා නේ ද?... මම කිවුව එකට හිත රිදුණා නේ ද ගොඩක්‌?...." 


"නෑ දුව... ඒක ලොකු දෙයක්‌ නෙමේ...... මගෙ හිතේ තියන දුක්‌වලට ඒක එකතු වුණා කියලා වෙනසක්‌ නෑ."


"ඒත් මට ඒ වෙලාවෙ එහෙම නො කියා ඉන්න තිබුණෙ.... හිතන්නේ නැතු ව ම මගේ කටින් පිට වුණා..."


ඇගේ දුර්වල දෑතින් ඇය මගේ සුරත අල්වා ගත්තා ය. "දුව ඒ ගැන හිතුවා කියන්නෙත් දුව හොඳ නිසා......ගොඩක්‌ මිනිස්‌සු එහෙම නෑ......" මගේ දෑසට ද කඳුළු උනනු මට දැනේ. එහෙත් නිහඬ ව ම ඇය පවසන දෑ මම අසා සිටියෙමි.


".......දුව කිව්වා වගේ මම ඔයාලා ඉගෙන ගන්නවට අකැමැත්තකින් එහෙම කිව්වා නෙමේ. මට දැනුණ වේදනාවටයි මටත් ඒ විදිහට කියවුණේ.....දුවලා වැඩ කරද්දි ටිකක්‌ හිතන්න.... මේ ලෙඩ්ඩුත් මිනිස්‌සු. සාමාන්‍ය අයටත් වඩා හැම වෙලාවෙ ම එයාලා ඉන්නේ වේදනාවෙන්..........ඒ නිසා තරහ යනවා. දුක හිතෙනවා වැඩියි. ඒ නිසා ඉස්‌සරහටත් ඒ ටික තේරුම් අරගෙන වැඩ කරන්න දුව...."


දිනපතා රෝගීන් හමුවේ  ලබන දැනුම අතර එදා උගත් වටිනා පාඩම ද සදාකාලිකව ම මගේ සිතෙහි රඳා පවතිනු ඇත.


( වචනයක් වත් වෙනස් නොවූ සත්‍ය සිදුවීමක් වන අතර වසරකට පමණ පෙර මෙය විදුසර පුවත්පතෙහිද පළ කළෙමි)

Myelo dyspiasia/ Myelodysplastic syndrome


මෙම රෝගීන්ගේ ඇට මිදුලුවලින් රුධිර සෛල නිපදවීම නිවැරැදිව සිදු නො වේ. එම නිසා රුධිරයේ ඇති රුධිර සෛල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයන්ට වඩා බොහෝ අඩු ය. මෙම රෝගීන්ට නිතර රුධිර පාරවිලයනය කළ යුතු ය. 

Wednesday, April 4, 2012

මහ වැස්සයි, නුඹයි , මමයි

වියලි අවු ‍රැස් වලින්
ගිනි ගසන කැකෑරෙන
ගෙන්දගම් පොළොව මත
අඩි තබා දුවන විට


අහස දිය වී දැටෙන
කුරිරු වූ වැහි බින්දු
සිහින් ඉඳි ක‍ටු වගේ
මුහුණ ඉරි තලන විට


රටා හැඳි මඩ දියෙන්
තෙත බරිත සාරියේ
තව රටා සොයන විට
නොදම් නෙත් කොන් වලින්


එදා වැහි මතක් වී
සිත දුවයි ගම් දොරට


නිල් නිලන කඳු මුදුන
මීදුමෙන් වැසෙන විට
නැගෙන ධූවිලි පුසුඹ
තව ලඟයි මගෙ සිතට


වැහි බින්දු සෙමෙන් විත්
හිරි කඩින් මුව සිඹිත
හීතලෙන් ගුලි ගැසුණ
'යුරු නුඹේ උණුසුමට


හැමුව සීතල පවන
ඉපනැලිද සුවඳ පිස
පිච්ච මල් වැහි රේණු
පිබිදුවා තුන් සිතම


දෙවැට ළඟ මල් ඉහින
පොද වැස්සෙ දිව යන්ට
තවම සිත යදිනවා
සංසාර පුරුද්දට


වැහි කෝඩ සඳ මඬලෙ
සීත සඳ ‍රැස් අතරෙ
සරන වැහි ලිහිණියක
ලෙදින් නුඹ සොයාගෙන


වැහි ඉහිරි තණ පළසෙ
පිණි කුසුම් පිපෙන විට
පාට සෙවනැලි සොයා
දේදුනු ද ඇදෙන විට


වැහි වලාකුළු ඉරා
අරුණ හිනැහෙනා විට
රඟන සිකිපිත් දිහා
වරු ගණන් බලන්නට


ගලන ගංගා දියේ
පෙණ කැටිති ගනින්නට
පියාපත් වියලනා
විහඟ සෙන් බලන්නට


දිව එන්න හිතයි මට
මිදී කලු වැසි දියෙන්
වැහි පොදේ නුඹ ඉන්න
පාර ළඟ මග බලන්.......



Tuesday, April 3, 2012

මිනී මැරුමක් වැළැක්වීමි


ඇගේ තුරුණු විය ගෙවී යමින් තිබිණි.විඩාවට දෝ නිදි කිරා වැටෙන කුඩා දරුවා ද කරපින්නාගත් ඇය මා වෙත පැමිණ අසුන් ගත්තේ නළලින් රූරා වැටෙන ඩා බිඳු අත ‍රැඳි ලේන්සුවෙන් පිස දමමිනි.

"මොකද බබාට?" අසනීප වී ඇත්තේ කුඩා දරුවාට බවට වැරදි වැටහීමක් මා සිතේ ඇති වී තිබුණි.

"පුතාට නෙමේ... මට බේත් ගන්න ආවෙ"ඇය සෙමෙන් වදන් ගැලපුවාය.

"මගේ ශුද්ධ වීම පරක්කු වුණා. ඒ නිසා දරුවෙක් ලැබෙන්නද කියන සැකේට මම ගෙදරදි මුත්‍රා පරීක්ෂාව කළා. දෙපාරක්ම බැලුවා.ඒකෙ විදියට මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.

ඇගේ හඬෙහි වූ ව්‍යාකූල බව මගේ සිත ගැටලු ගොන්නකට ඇද දැමීමට සමත් විය. "දරුවෙක් ලැබෙන්න නම් ඇයි මේ දුකෙන්?" මගෙ සිතේ ඇතුලු වූ ප්‍රශ්නය වදන් වලට නොහරවාම මම ඇයට කතා කරන්නට ඉඩ දී බලා සිටියෙමි.

"මට ඒ දරුවා නැති කරගන්න ඕනා ඩොක්ටර්." ඒ ඉහින් කණින් දහඩිය දැමීමට  මගේ අවස්ථාව විය. මෙම වාක්‍යය මම මීට පෙරද අසා ඇත්තෙමි.එහේත් ඒ බොහෝ විට අවිවාක තරුණියකගේ හඬිනි. විවාහක කාන්තාවක් අරබයා මෙවැනි ගැටලුවක් මා හට පැණ නැගුණු ප්‍රථම අවස්ථාව මෙය විය.

"ඔයාගෙ මහත්තයා දන්නවා ද ඔයා අද මෙහෙම ආවා කියලා" ගත් කටටම නෑ බෑ නොකියා මම ඇගෙන් විමසා සිටියෙමි.

"ඔවු,එයාත් කැමතියි දරුවා ව නැති කරන්න."

"මොකද්ද මේ වගේ තීරණයක් ගන්න ඔයාල පෙළඹුණේ?"

"මේ අපේ හතර වෙනි දරුවා. ලොකු පුතාට අවුරුදු 15යි. අපි ඉන්නෙත් කුලී ගේක. ආර්ථික ප්‍රශ්න ගොඩයි. මේ තුන් දෙනා ට උගන්නන්නත් ඕනා. ගෙවල් වල අනිත් කට්ටිය, නෑදෑයො එහෙමත් බනිනවා ලොකු ළමෙකුත් ඉද්දි ඇයි මෙහෙම දෙයක් කර ගත්තෙ කියලා...." ඇය ගැටලු ගොන්නක් මා හමුවේ තැබුවාය.

මේ හා සමාන වෙනත් අවස්ථා වලදී මම බොහෝ විට කරන්නේ, ගබ්සාව පිළිබඳව ලංකාවේ පවතින නීතිය, එයින් ඇගේ ජීවිතයට ඇති විය හැකි අවධානම වැනි කරුණු පිළිබඳව දැනුවත් කිරීමයි. නමුත්, දරුවන් තිදෙනෙක්ම සිටින අම්මා කෙනෙකුට ආමන්ත්‍රනය කිරීමට ඊට වඩා හොඳ ක්‍රම වේදයක් මම සොයා ගතිමි.

"මම මුලින්ම කියන්නම්,එක දෙයක්. මේ වැඩේට මම ඔයාට උදවු කරන්නෙ නැ. හේතු කීපයක් උඩ. මම නීති විරෝධී දෙයක් කොහොමත් කරන්නෙ නෑ. ඊටත් වඩා මගෙ හිතට එකඟ නැති දේවල් මම කොහොමත් කරන්නෙ නෑ. ලංකාවෙ නීතිය අමතක කළත් මේ දරුවා නැති කරන්න ඔයාට මොකක් වත් හේතුවක් තියනවා කියලා මට පේන්නෙ නෑ......."

ඇය නිහඬවම මට සවන් දෙමින් සිටියාය.

"දරුවා ඔයාගෙයි මහත්තයාගෙයි... එයා හැදෙන්නෙ ඔයාගෙ ගර්භාශයෙ... ඉපදෙන්නෙ ඔයාගෙන්, ඉපදුනාම කිරි දෙන්නෙ ඔයා. ඊට පස්සෙ කන්න අඳින්න දෙන්නෙ, උගන්නන්නෙ වටේ පිටේ මිනිස්සුවත්, ගෙදර අනිත් අයවත් නෙමේ. ඉතින් මේ දරුවා කොහොමද ගෙදර ඔයාලගෙ නැදෑයන්ට ප්‍රශ්නයක් වෙන්නෙ? "

ඇය කල්පනාවට එළඹුනාය. "ඇත්ත ඩොක්ට... ඒත් අපිට තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක කොහොමද මේ දරුවාව හදාගන්නෙ? " ඊටත් පිළිතුරක් මා සතුව තිබුණි.

"ආර්ථික ප්‍රශ්න තියනවා අපි කාටත් අඩු වැඩි වශයෙන්. ඔයාලට මේ වෙනකමුත් ආර්ථික ප්‍රශ්න තිබුණානෙ. එහෙම කියලා අනිත් දරුවො තුන් දෙනා එක්ක ලස්සනට ජීවත් වුණෙ නැද්ද?" ඒ වන විට ඇගේ දෙනෙත් වල කඳුලු පිරී තිබිණි. එහෙත් කතාව නවත්ත්වන්නට මා හට සිත් දුන්නේ නැත.
"නිකම් හිතන්න, මේ අතේ ඉන්න පුතා ගැනත් ඒ විදියට ඒ කාලෙ හිතලා එයාව නැති කළා නම්... කොච්චර පවු ද.. එහෙම හිතෙන්නෙ නැද්ද ඔයාට?" ඇගේ දෙනෙතින් කඳුලු කඩා වැටෙන්නට විය. මවගේ දෙනෙතින් වැ‍ටුණ කඳුලු සිඟිත්තාගේ වුවන තෙත් කරමින් ගලා ගියේය. දෙනෙත් යම්තම් විවර කළ පොඩිත්තා නැවතත් දෙනෙත් පියා ගත්තේ , මවට තවත් තුරුළුවෙමිනි.

ඇගේ කඳුලු වලට මද වේලාවක් නිදහසේ ගලා යාමට මම ඉඩ දුනිමි.

"මොකද හිතන්නෙ ඔයා? අපි මේ දරුවාව ආරක්ෂා කර ගමු නේද? කවදා හරි දවසක ඔයාලාට ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වෙයි එයා. මුළුරටම ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙන්න පුළුවන් මේ. එහෙම නැත්නම් දක්ෂ ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්... ළමයි දාස් ගාණකගෙ ගෞරවයට පත් වෙන ගුරුවරයෙක් වෙන්න පුළුවන් මේ.එයා කවදා හරි මේ ලෝකෙ එයාට ඕනා තැන හොයා ගන්නකම් එයාට ටිකක් උදවු කරන්න. එයාව නැති කරන්න කියලා අද කියන අයත් එදාට සද්ද නැතුව ඉඳියි."

"ඔවු ඩොක්ට, මම මේ දරුවා හදා ගන්නවා මොන ප්‍රශ්න ආවත්"

ඉනික්බිතිව මට තවත් සිතන්නට යමක් නොවීය. ඉතිරිව තිබුණේ ෆොලික් අම්ලය පිළිබඳව, සායන පිළිබඳව, ඉක්මනින් ප්‍රසව හා නාරි වෛද්‍ය වරයකු හමුවීමේ වැදගත් කම පිළිබඳව දැනුවත් කිරීම පමණක් සහ මට ලබා දුන් හදවතට හා "කටට" අම්මාට හා අප්පච්චි ට පින් දීමත් පමණි.


(මාස කීපයකට ඉහතදී වූ මේ සිදු වීම අකුරු කරන්නට උත් ප්‍රේරනයක් ලැබුනේ මකුලු පැංචීගේ බ්ලොග් සටහන දැකීමෙනි
http://makulupanchi.blogspot.com/2012/04/blog-post.html)