Thursday, May 31, 2012

බහිරවයන්ගේ මුර කිරීම



සාමාන්‍යයෙන් මගෙ කවි වලට මම යොදා ගන්නෙ කාව්‍යමය අලංකාරයක් සහිත භාෂාව. ඒත් , මේ කවිය ඊට වෙනස්. මොකද   මේ වගේ ක‍ටුක කාරණයක්, මේ වගේ ක‍ටුක භාෂාවකින් හැර වෙනත් කිව යුතු පිළිවෙලක් මට හිතෙන්නෙ නෑ

පද්ම බහිරව
සංඛ බහිරව 
නේක බහිරව 
රූප ප්‍රතිමා


නාග මුරගල්
නෙත් නොසොල්වා
සියක් වසරක්
බලා සිටිනා


සහස් වසරක
ආයු ගෙවමින්
මෙතෙක් ආ මග
නිමා වෙමිනා


පොරණ නිර්මල
රාජදහනම
‍රැයක් ගෙවනා
විටදි සැනිනා


කඩා බිඳලූ 
ථූප ප්‍රතිමා
හඬන සඳ 
කඳුලැලිද සඟවා


පද්ම බහිරව
සංඛ බහිරව
නාග මුරගල්
ඉවත බලනා


Wednesday, May 30, 2012

හඹා යාම - 06

හඹා යාම 01
හඹා යාම 02
හඹා යාම 03
හඹා යාම 04
හඹා යාම 05


ඇය පාර හරහා මාරු වී අවසන්ය.
"මොනව ගන්නද ගියෙ පුතා?"
'සිගනල් ලයිට් එකට බල්බ් එකක් බලන්න ගියා අම්මා"
අම්මා ඒ පිළිතුරින් සැනහේ. තවත් බොරු කීමට සිදු නොවීම පිළිබඳව මගේ සිතත් සැනහේ.


ඉදිරිපස කණ්ණාඩියෙන් මම පාරේ ඈත බලමි. බස් රථයක් ඈතින් එනු දිස් වේ. මම ඉක්මන් කරමි. ඉක්මන් කොටය. එක් වරම මෝටර් රථය පණ නොගැන්වේ.මගේ නොඉවසිල්ල වැඩි වේ. එහෙත් දෙවන වතාවේ මා අවාසනාවන්ත නොවෙමි.මෝටර් රථය පණගැන්වේ.



ගම්පහ - ජා ඇල බසයක පැමිණි අමතර පන්ති ගිය කෙල්ලෝ තිදෙනෙක් කොමල කරමින් අම්මා තාත්තාගේ  පාරක යන සේ පාර පනිති. ඒ කහ ඉර නොවූවත් මම අසාමාන්‍ය ලෙස ඉවසමි. තත්පර කිහිපයක ප්‍රමාදයෙන් මට ඈ මග හැරෙන්නට ඉඩක් නැත.


"මේ කෙල්ලන්ට තියන දාංගලේ" නාමලී ඇන්ටි පවසනු මට ඇසේ. අප පාසල් ගිය කාලයේ ඇය මා හා මගේ මිතුරන් දු‍ටුවා නම් කුමක් පවසනු ඇත්ද.......


ඇය හැරුණ විට බස් නැවතුමේ තවත් තිදෙනෙක් පමණ සිටිති. රෝස පැහැය මා අකමැතිම සීනි බෝල පැහැයකි. එහෙත් ඇයට රෝස පැහැය ඔබනේ යයි මට සිතේ. 


හරියටම ඇය ඉදිරියේ මම නවතිමි.තමා ඉදිරියේ නැවැත්වූ මෝටර් රථය දෙස ඇය කුතුහලයෙන් බලයි. කළු පැහැති වීදුරු නිසා ඇයට මා හඳුනා ගන්නට ඉඩක් නැත.
අම්මා ද කුතුහලයෙන් මා දෙස බලයි.


"මගෙ යාලුවෙක් අම්මා" අම්මා ද ඇය දෙස බලයි. මම අම්මා සිටින පැත්තේ වීදුරුව පහත් කරමි.


මා දෙස බලන ඇගේ මුහුණේ සිනහවක් මතු වේ. ඈ මා හඳුනාගෙන. ඒ සුපුරුදු සුහද සිනහව මට සුවිශේෂීය.


"ඩොක්ට කොහෙද යන්නෙ?" මම තරමක උස් හඬින් විමසමි.


තරමක චකිතයකින් එහෙත් ස්ථීර සාර බවකින් යුතුව ඇය කාරය අසලට පැමිණේ. "කොහොමද?" ඇය විමසයි. කොහෙද යන්නෙ මල්ලෙ පොල් ආකාරයේ පිළිතුරකි.


"අපිත් එක්ක යන්න පුළුවන් ඩොක්ට නගින්න" ඇය කැළඹීමට පත් වූ සෙයකි.


"නෑ කමක් නෑ, මම බස් එකේ එන්නම්" 


ඈතින් පොලිස් නළා හඬක් ඇසේ. 
ඒ මටද? කෙසේ වෙතත් ඒ දෙස නොබැලීම ඇඟට ගුණය.


"නගින්න දුව, මේ වෙලාවෙ බස් වල සෙනඟත් වැඩියි"
ඒ වාක්‍යයට නම් අද දිනයේ  දෙවන වරටත් අම්මාගේ දෙපා නැමදීමට මට සිතේ. එහෙත් ඇය තවමත් දෙගිඩියාවෙන් පසු වේ.කාරයට නැගීමට එතරම් සිතක් නැති සේය


කිසිවෙකු මගේ වීදුරුවට තට්‍ටු කරන හඬක් ඇසේ. මම එදෙස බලමි. කාකි සුට් එකකි.
ඔහු පවසන දෑ මට එතරම් පැහැදිලිව නෑසේ. එහෙත් බස් නැවතුම දෙසට අත දිගු කරමින් ඔහු පවසන්නේ  කුමක්දැයි මට වැටහේ. ඒ කරුණාවන්ත දෑස මට පවසන්නේ "අනේ මල්ලි ඇයි මෙතන කාර එක නැවැත්තුවෙ, හොඳ ළමයා වගේ දැන් යන්නකෝ... නැත්නම් පිටිපස්සෙ බස්වල එන ඩ්‍රයිවර් මාමලාට බස් නවත්තන්න අමාරුයිනෙ, කිවුවම අහලා යන්නකෝ ඉතින්........"


"ඉක්මණට නගින්න. " ඇය වෙතට හැරෙන මම දැඩි තිර හඬකින් පවසමි.පි‍ටුපස දොර හැරගන්නා ඇය කාරයට නගීයි. මගේ සිත අනපේක්ෂිත සතුටකින් පිරී යයි.


දැන් ඉතින් කතා කරන්නේ කුමක්ද? නම අසන්නද? යහළුවාගේ නම වත් දන්නෙ නැද්ද, අම්මා ප්‍රශ්න කරාවි.


"ඩොක්ට හැමදාම යන්නෙ මේ වෙලාවටද?" කණ්ණාඩියෙන් ඈ දෙස බලමින් මම විමසමි.
"ගොඩක් වෙලාවට මේ වෙලාවට තමයි, යාළුවාව නම් දවස් දෙක තුනක්ම හම්බුණා මට" ඇය නොපැකිල පිළිතුරු දෙයි.


නාමලී ඇන්ටි කුතුහලයෙන් ඈ දෙස බලනු මට කණ්ණාඩියෙන්ම දිස් වේ."ඒ පුතා යාළු වෙලා ඉන්න ගෑණු ළමයද?" ඇය පසු වේලාවක අම්මාගෙන් අසනු ඇත.
අපේ අම්මා ද ළඟක සිට "දොස්තර දුවලා" පිළිබඳව උනන්දුවක් ඇති වී තිබෙනු මට කිහිප විටකම දැනී තිබුණි.


"දුව කොහාටද යන්න ඕනා?" අම්මා විමසයි.


"මීගමුවෙ මාකට් පාරට ඇන්ටි"


"මීගමු? ක‍ටුනායක නෙමේද?" මගේ ප්‍රශ්නය ඈට විමතියක් ගෙන දුන්නා සේය.


"නෑ මීගමු යන්න ඕන "
මීගමුවට ගොස් නැවත අදම ආපසු පැමිණේවිද? එසේ නම් ඒ වන විට රෑ බෝවී තිබේවි. ඈ අඳුර වැටි පසුව නැවත තනිවම පැමිණීම පිළිබඳව මා හට ඇති වන්නේ නොසතුටකි. එහෙත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට අයිතියක් මා හට කොයින්ද?


ඈගේ මුහුණින් තරම විඩාබර ලෙසක් දිස් වේ. මම අම්මාට නොදැනෙන්නට එක් වායු සමීකරණ කවුළුවක් ඈ දෙසට හරවමි.


"ඩොක්ට කොහෙ ඉස්පිරිතාලෙද වැඩ කරන්නෙ?" එවර ප්‍රශ්නය නාමලී ඇන්ටිගෙනි. අද මා හට ඈ සමග කතා කිරීමට අවකාශයක් ලැබෙන පාටක් නැත.


"මම ප්‍රී ඉන්ටර්න් ඇන්ටි"


"ආ..." නාමලී ඇන්ටි ඒ පිළිබඳව තේරුණා සේ හිස සලයි. එහෙත් ඇයට කිසිවක් නොතේරුණු බව මා දනිමි. නැවතත් මගේ මුවට සිනහවක් එක් වේ.


එක් අතකින් සිදු වූ සියල්ල පුදුමාකාරය. ක්ෂණික තීරණ ගැනීම මා කුඩා කල සිටම ගෙන ගිය ඉතා නරක පුරුද්දකි. එහෙත් සෑම කලු වළාවකම රිදී රේඛාවක් ඇත යන්න පසක් කරමින් ඈ හමුවීමේ මගේ තීරණය අද පල දරා ඇත. මේ පිළිබඳව පසන් ට පැවසීමට සිතේ. එහෙත් ඒ සඳහා මගක් තවම නොමෑත.


අම්මා ද නිහඬය. කිසි දිනෙක දැන නොසිටි මගේ අලුත් මිතුරිය පිළිබඳව ඈය කල්පනා කරනවා වත් ද. නාමලී ඇන්ටී ඇගේ සර්වාංග රෝග පිළිබඳ දිග විස්තරයක් ඈ හට ඉදිරිපත් කරනු ඇසේ. මගෙ දෙනෙත් නැවතත් ඈ වෙත යොමු වේ. ඈ සාවදානව නාමලී ඇන්ටි හට ඇහුම් කන් දෙයි.ඒ දෙනෙත් දීප්තිමත්ය. දිගු ඇසිපිය හා කවාකාර ඇහි බැම මුහුණට අමුතුම සුන්දරත්වයක් එක් කර ඇත.


මාර්ගයේ රතු පැහැති විදුලි බුබුල දැල්වේ. මම තිරිංගයේ පය තබා ගනිමි. 


ඈ දු‍ටු මොහොතේ පටන්ම සැහැල්ලුවෙන් පා වෙන සිත , එක් වරම මහා බරක් ලෙස පොළොවටම කඩා වැටෙනුද ඇතැම් විට දැනේ. මුලදී අපැහැදිලි වූ ඈ පිළිබඳව මගේ සිතේ ඇති හැඟීම දැන් නම් මම වටහාගෙන සිටිමි. එහෙත් මම ඈ පිළිබඳව කිසිවක් නොදන්නවා නොවේද. 


මුහුණට වැ‍ටුණ කෙස් රොදක් කණ පි‍ටුපස රඳවාගත් ඇය, අත් බෑගයේ වූ කොණ්ඩ ක‍ටුවක් ගෙන එතෙක් වේලා උරහිස වසා ගත් විදාහල කොණ්ඩය එකතු කර රඳවා ගනියි.
එය පෙර තිබූ ලෙසම තියාගන්න යැයි පැවසීමට මට සිත් වේ.


කණ්ණාඩියෙන් මගේ මුහුණ බලන මම උපැස් යුවල නැවත සකසා ගනිමි. කන්ටැක්ට් ලෙන්සස් පැළඳිය යුතු යැයි සිතේ.


"ඔයාට ඒවා අයින් කරන්න අමතක වෙලා ඇස් නරක් වෙයි පුතා" ඒ පිළිබඳව පවසන සෑම මොහොතේදීම අම්මා පවසනු මට සිහියට නැගේ.


"පුතා... මොකද මේ? "අම්මාගේ හඬින් මම තිගැස්සෙමි.
"සේරම වාහන යනවා. ඔයා විතරක් තවම නවත්තගෙන"
පොළොව පලාගෙන යන තරමේ ලජ්ජාවකින් සිත වෙලී යයි. පාරේ කොළ පැහැය දැල්වී ඇත.  සියලුම වාහන මා පසු කොට යයි. ඇතැමෙක් උපහාසයෙන්ද, තවකෙක් තරහෙන්ද මා දෙස බලමින් යති. මම කිසිවක් නොපවසමි. සැබැවින්ම මා හට පැවසීමට කිසිවක් ඉතිරි වී නැත.  දෙනෝ දාහක් දෙනා අබිමුව නිරුවත් වූ ලෙසක් මා හට දැනේ. කණ්ණාඩියෙන් හෝ ඈ දෙස බැලීමට මට නොසිතේ.


අම්මාගේ මුහුණේ මදහසකි. "පණ්ඩිතයට අද නම් වැරදුනා. වෙනදට කොහොමද අනිත් මිනිස්සුන්ට බනින හැටි , පාරෙ සිහියෙන් යන්නෙ නෑ කියලා." අම්මාගේ සිනහවෙන් පීඩාකාරී බව තරමක් සැහැල්ලු වේ. 


මම ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ තරමක් වැඩි කරමි. එහි ගීතයක් වාදනය වේ.
ඒ බොහෝ කලක පටන් මා ප්‍රිය කරන ගීතයකි. "කවි කාරියේ... සිංදු කියනා ළඳේ..................."


"අනේ දසුන් පුතේ.ඉස්සරහ සුපර් මාකට් එක ළඟින් ටිකක් නවත්තන්න්කො. මට බඩු වගයක් ගන්න තියනවා." නාමලි ඇන්ටි එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙක් මරා ගැනීමට සැරසේ.


"මමත් ගිහින් එන්නම් පුතා" අම්මාද කාරයෙන් බසීයි.


"අම්මෙ, මට අයිස් ක්‍රීම් එකක්. ඩොක්ට, අයිස් ක්‍රීම් කනවා නේද?"


"අනේ මට ඕනා නෑ" සාමාන්‍ය ගැහැණු ළමුන්ගේ බොරු ආචාරශීලී බව ඈ සතුවද පවතියි.


"අපි KFC, පීසා හට් එක්කන් යන්නෙ නෑ. මෙතනින් අරන් දෙන දෙයක් තමයි ඉතින්. ඒ නිසා එපා කියන එක එච්චර හොඳ නෑ... පස්සෙ හිතෙයි අපරාදෙ කියලා......" ඈ සිනා සේ.


"කමක් නෑ ඇන්ටි, කරදර වෙන්න එපා. මම තව ටිකෙන් බහිනවනෙ"


"ඔව් අම්මෙ, එහෙනම් ඩොක්ටට රට කජු මුලක් වත් ගෙනත් දෙන්න... බැහැලා පාරෙ යද්දි අයිස් ක්‍රීම් කකා යන්න බෑනෙ.දිය වෙනවනෙ"
අම්මා සිනා සී සුපිරි වෙළඳ සල දෙසට යයි.
**************************************


"මම ප්‍රී ඉන්ටර්න්" ඇය නාමලී ඇන්ටි සමග පැවසූ බව මට මතක් වේ. එසේ නම් ඇය මට වඩා වයසින් අඩු විය යුතුය. එම නිසාදෝ දැන් ඇය හා කතා කිරීමට මා තුළ කිසිදු පැකිලීමක් නැත


"ඩොක්ටගෙ නම මොකද්ද?"


".ආදිත්‍යා... ඔයා දසුන් නෙ?"


"නෑ නෑ.. මම දසුන් නෙමේ. ඒ මට ගෙදරට කියන නම"


"එහෙනම් මොක්ද්ද ඇත්ත නම?"


"සිරිපාල"


ඇය ඉවත් බලාගෙන සිනා සේ. ආපසු හැරී ඈ දෙස බලනු වස් සිත අයදියි.


"ඩොක්ට ඉන්නෙ ක‍ටුණායකනෙ.ඉතින් ඇයි මීගමු යන්නෙ?"


ඇගෙන් දිස් වන්නේ විස්මයට පත් වූ සෙයකි.
"කොහොමද ඔයා දන්නෙ මම ඉන්නෙ ක‍ටුණායක කියලා?"


අප දෙදෙන හමු වූ මුල් දිනය ඇයට අමතකද? එසේ නම් එය පසුවට මතක් වන්නට මම ඉඩ දෙමි.


"දැනගෙන නෙමේ, නිකම් කිවුවෙ"


ඈ මා දෙස සැකයෙන් මෙන් බලයි.


"මම මීගමුවෙ වැඩ කරනවා... මෙඩිකල් සෙන්ටර් එකක"


"රෑටත්?"


"ඔව්, උදේ වෙනකම්"


"ලේසි නෑ නේ? හවසත් වැඩ කරලා ‍රැත් වැඩ කරන එක?"


"ඒක නම් ඇත්ත තමයි."


"ඉතින් මොනාටද මේ තරම් හම්බ කරන්නෙ දැන්මම?"සිතට නැගෙන පැණය වදන් වලට නොපෙරලමි. එතරම් වේලාවක් එක දිගට වැඩ කිරීම ඇය වැනි සියුමැලි යුවතියකට කෙසේ වත් ඔරොත්තු නොදෙනු ඇත.


"ඔයා මොකද්ද කරන ජොබ් එක?"


"පොඩි පොඩි එලෙක්ට්‍රොනික් වැඩ තමයි. අපිට කොහෙද ඉතින් දොස්තර නෝනලාට වගේ හම්බ කරන්න පුළුවන් රස්සා......"


"පේනවා පේනවා........."


"මොකක්? මොනවද පේන්නෙ?"


"සල්ලි හම්බ කරන්නෙ නෑ කියලා පේනවා"


"ඒකනෙ කිවුවෙ මම, 
එකෙන් වැඩක් නෑ......ඩොක්ට කොයි අවුරුද්දෙද ඒ ලෙවල් කළේ?"


"2005" ඔයා?


"මම ඒ ලෙවල් කළේ නෑනෙ. මතක නැද්ද එදා මගෙ යාළුවා කිවුවා යන්තම් මේ පාර තමයි ඕ ලෙවල් ගොඩ දා ගන්න හදන්නෙ කියලා......"


ඇය නැවත සිනාසේ. ගැහැණු ළමුන් සමග  දිගින් දිගටම විහිළුවට යාම  මගේ පුරුද්දක් නොවේ. එහෙත් ඇගේ සිනහව දැකීමට සිතෙහි දැඩි ආශාවක් මතු වේ.


"අනේ බොරු කියන්නෙ නැතුව ඉන්න......"


"අපේ අම්මත් මට හැම වෙලාවෙම කියනවා බොරු කියන්න එපා කියලා. ඇත්තම කියන්නම්කො ඒ නිසා.මම 2002 ඒ ලෙවල් . ඒත් කළේ 2003 දි."


"ඔයා 1st  attempt එක අත ඇරියාද?" ඇය විමතියෙන් විමසයි.


"පිස්සුද, කවුද කියන්නෙ?"


"දැන් ඔයාමනෙ කිවුවෙ.... 2002 ඒ ලෙවල්, ඒත් කළේ 2003 දි කියලා"


"ඒ කිවුවෙ හරියට කලේ 2003 දි කියලා. ලැජ්ජා නැතුව කියන්න පුළුවන්යැ, 2002 දි ෆේල් වුණා, 2003 දි තමයි පාස් වුණේ කියලා........"
ඇගේ අපූරු සිනහව කණ්ණාඩිය අතරින් මම නැවත දකිමි.


බෑග් දෙකක් අතින් ගත් අම්මා සහ නාමලි ඇන්ටි ආපසු පැමිණේ.


"අපරාදෙ අන්න අම්මලා එනවා. අපේ අවබෝධාත්මක කතා බහට නැවතීමෙ තිත තියන්න වෙනවා නාමලි ඇන්ටි එයාගෙ රෝග වාර්තාව ආයෙ ඔයාට කියන්න ගත්තම........"


"පව් , එහෙම කියන්න එපා......."


අම්මා අත කාලීල්ස් කෝන් අයිස් ක්‍රීම් සහිත බෑගයක් ඇත.






"කෝ අම්මෙ ඩොක්ට ආදිත්‍යා ගෙ රට කජු ගොට්ට?"


"ඔයාට දැන් මම මොකුත් දෙන්නෙ නෑ .........මේක ගන්න දුව.... නාමලී මෙන්න ඔයාට...." අම්මා වෙස්සන්තර බිසව මෙන් සියල්ල බෙදා හරියි.


"ආදිත්‍යා, අයිස් ක්‍රීම් කෑවාම දත් පණුවො කනවා නේ? නාමලී ඇන්ටිගෙ ලෙඩ ලිස්ට් එකට තව එකක් එකතු වෙයි එහෙම වුණොත්...." ආදිත්‍යා පිළිතුරු නොදී සිනා සේ. 
කොතරම් සුහදව අප හා කතා කළත් තවත් ඇගේ සිතෙහි චකිතයක් පවතිනවා සේය. එහි කිසිදු වරදක් මා නොදකිමි. සැබැවින්ම ඒ ලජ්ජා ශීලී ගතියට මම ප්‍රිය කරමි..... එහෙත් ඇය මගේ ජීවිතයට පැමිණීම සදාකාලිකද.... නැතහොත් මේ තාවකාලික සතුටක් පමණද. කෙසේ වෙතත් මේ සතු‍ටු දායක මොහොතේ ගව්වක් දුර සිතීමට මගේ සිත ඉඩ නොදෙයි. ඒ අද මා අසලය. තවත් කුමක්ද මට අද අවැසි.......


"අම්මා.... රට කජු..."


"කට වහගෙන කන්න පුතා ඕක. මේ දරුවා ට එපා වෙලා ඇති දැන්"


"හා අම්මෙ. ඒත්  යිස් ක්‍රීම් ටික කටට ගන්න විතරක් කට අරින්නද?" මම අහින්සක ලෙස විමසමි.


ආදිත්‍යාගේ පුපුරා ගිය සිනහවෙන් විසිරුණ අයිස් ක්‍රීම් වලින්, ඇගේ අත් බෑගයද, මගේ අසුනේ පි‍ටුපසද, මගේ හිසකෙස්ද නැහැවී යයි.........





( වෙලාවක් තියනවා නම් මේ පැත්තෙත් ගිහින් එන්න. 
මේඝ මැද )


Friday, May 25, 2012

සරුංගල් හඹා ගිය කොල්ලෙකුගේ කතාව


ඇෆ්ගනිස්ථානය කියන වචනය මීට අවුරුදු කිහිපයකට කලින් මගෙ හිතට ගෙනාවෙ එක්තරා චිත්ත රූප සමූහයක්. එතනින් එහාට ඇෆ්ගනිස්ථානය දකින්න මට පුලුවන් කමක් තිබුණෙ නෑ අපේ කාලයේ ජීවත් වෙන ගොඩක් දෙනෙක්ට වගේම....


 දූවිල්ලෙන් වැසී ගිය නගර, කඩා දැමූ බාමියන් බුදු පිළිම, තලප්පා හිස බැඳගෙන, තුවක්කු අතින් අරගෙන, දිග ‍රැවුල් වවාගෙන යන මිනිස්සු ‍රැගත් ජීප් රථ....... ඒත් එක්කම වෙඩි උණ්ඩ වලින් සිදුරු වුණ කැඩී බිඳී ගිය ගොඩනැගිලි...


ඒත් අහම්බෙන් දවසක මේ චිත්ත රූප මැකිලා ගිහින් , අපි හැමෝම දන්න ඇෆ්ගනිථානයට කලින් තිබුණ ලස්සන ඇෆ්ගනිස්ථානයක් මා ඉදිරියෙ මැවුණා. ඒ අහම්බෙන් ඇස ගැ‍ටුන පොතක් නිසා....


අමුතුම පිට කවරයත්, ඊටත් වඩා සුවිශේෂී ලෙසින් දැනුන පොතේ නමත් ඒ පොත මිලදී ගන්නට මගෙ හිත මට බල කළා.


" THE KITE RUNNER "
By Khaled Hosseini 


අතින් බිම නොතියාම එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් වුණ පොතක් ඒ. ඉතාම රසවත්, ඒ වගේම ඉතාම ප්‍රබල ලෙස හැඟීම් දනවන සුළුයි.


ඇෆ්ගනිස්ථානයෙ ඉපදිලා දැනට අමෙරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයෙ වාසය කරන වෛද්‍යවරයෙක් වන Khaled Hosseini ගෙ පළවෙනි නවකතාව The kite runner. නමුත්, මනා භාශා හැසිරවීම සහ ඉහල ලේඛන හැකියාව  නිසාම මේ ඔහුගෙ පළමු පොත කියා නම් සිතෙන්නෙ නැහැ.


මෙහි කතා නායකයා අමීර්.


පොත ආරම්භ වන්නේ මේ වන විට වැඩුණ මිනිසෙක්ව අමෙරිකාවේ වාසය කරන අමිර් ට ඔහුගේ පියාගෙ පැරණි මිතුරකු වන රහීම් ඛාන් ගෙන ලැබෙන දුරකතණ ඇමතුමක් සමගින්.
රහිම් මේ ඇමතුම නිමා කරන්නේ එක්තරා වාක්‍යයකින්. 


"there is a way to be good again"


මේ වාක්‍යය බොහෝ දුරක් යන තුරු පාඨකයා කුතුහලයෙන් තැබීමට සමත් වනවා.


එතැන් පටන් ඇරඹෙන්නේ අමීර්ගේ අතීත මතක ආවර්ජනයයි.


ඔහුගේ පියා කාබුල් නුවර වාසය කරන ධනවතෙක්. මවකගේ සෙනෙහසක් කිසි දිනෙක ඔහු ලබන්නේ නැහැ.


කුඩා අවදියේදී ඔහුගේ හොඳම මිතුරා වන්නේ හසන්. ඒ අමීර්ගේ පියාගේ සේවකයා වූ අලී ගෙ පුතණුවන්. අලී අතීතයේදී මෙමෙ ප්‍රදේශයට සංක්‍රමණය වූ මෝගල් වරුන්ගෙන් පැවත එන ශියා මුස්ලිම් වරුන් වන හසාරා ගෝත්‍රිකයෙක්. සෑම විටම අමීර් සමග සිටින හසන් ඉතා හොඳ මිතුරෙක්, එමෙන්ම විශ්වාසවන්ත සේවකයෙක්. 


" When we were children, Hassan and I used to climb the poplar trees in the driveway of my father's house and annoy our neighbors by reflecting sunlight into their homes with a shared mirror.  
..... Sometimes , up in those trees, I talked Hassan into firing walnuts with his slingshot at the neighbor's one eyed German shepherd. Hasan never wanted to, but if I asked, if I really asked, he wouldn't deny me. "


හසාරා ගෝත්‍රිකයන් හෙලා දු‍ටු සුන්නි මුස්ලිම් වරුන් බොහොමයක් සිටින කාබුල් සමාජයේ මිනිසුන්ගෙන් හසන් හා අලී හට ගැරහුම් එල්ල වන්නේ නිරන්තරයෙන්. එහෙත් අමීර්ගේ පියා අලී ට තම සොයොරෙකුට මෙන්ද හසන් හට තම දරුවා ට මෙන්ද ආදරය කරයි.


හසන් කෙරෙහි තම පියා දක්වන ආදරය බොහෝ අවස්ථා වලදී අමීර් ගෙ කුඩා සිත තරමක  ඊරිසියාවක් වැනි හැඟීමකින්ද පුරවා ලන්නට සමත් වේ.
උපතේ සිටම තම මව අහිමි වන අමීර් ව පෝෂණය කරන කිරි මවම , මව් සෙනෙහස අහිමි වන හසන්ව පෝෂණය කිරීමටද පියා විසින් කැඳවා ගනු ලබන්නේ හසන් කෙරෙහි වන ඔහුගේ විශේෂ ඇල්ම නිසාවෙන්. 


Hassan and I fed from same breasts. We took our first step on the same lawn in the same yard. 
And, under the same roof, we spoke our first words.
      Mine was baba (farther)
      His was Amir , my name


ඇතැම් අවස්ථා වලදී, අමීර්ගේ දුර්වල පෞර්ෂය පිළිබඳවා පියා කණගා‍ටු වේ. ඒ නිසා තමා පිළිබඳව පියාගේ සිතේ පැහැදීමක් ඇති කිරීමට ඔහු උත්සාහ දරයි.
සුන්දරව නිදහස්ව ගෙවී යන ඔවුන්ගේ ජීවිත කණපිට හැරෙන්නේද අමීර්ගේ මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් නිසාවෙනි.


ඒ ඇෆ්ගනිස්ථානයේ සරුංගල් සැනකෙලි සමයයි. විවිධාකාර සරුංගල් ‍රැගෙන සරුංගල් සටනට පිවිසෙන ඇෆ්ගන් ජාතිකයෝ එකිනෙකා පරයමින්, අනෙකාගේ සරුංගලයේ නූල තමන්ගේ සරුංගලයේ නූල මගින් කපා දමමින් ජය ගැනීමට උත්සාහ කරති. 


මේ තරඟය සඳහා ඉදිරිපත් වන අමීර් තම පියා තුළ තමන් පිළිබඳව ඇති ඍණාත්මක ආකල්ප බැහැර කිරීමට මෙය අවස්ථාවක් කරගනියි. ඒ සඳහා ඔහු පසුපස සැම විටම සිටින්නේ හසන්.


අවසානයේදී තරඟයේ ජයග්‍රහණය අමීර් සතු වේ. ඔහු විසින් කපා දැමූ අවසන් සරුංගලය ගන්නට හසන් දිව යයි. සරුංගලය දෙසවත් නොබලා එය වැටෙන නිශ්චිත ස්ථානය තීරණය කිරීමට හසන් සතුව පවතින්නේ අපූර්ව ඉවක්.




එහෙත් සිතුවන්නේ නොසිතූවක්. සරුංගලයත් සමගම හසන් අල්ලා ගන්න සුන්නි මුස්ලිම් තරුණයන් තිදෙනෙක් සරුංගලය ඔහුගෙන් ගැනීමට උත්සාහ කරයි. එහෙත් තම මිතුරාට දක්වන දැඩි ආදරය නිසාම එය ඔවුනට ලබා දීම ප්‍රතික්ෂේප කරන හසන් අවසන ඔවුන් අතින් අතවරයට ලක් වේ.


මේ සිදුවීම මුල සිටම සැඟවී  දු‍ටුවත් , හසන් බේරා ගැනීමට අමීර් ඉදිරිපත් නොවේ, ඒ ඔහු සතු දුර්වල ආත්ම විශ්වාසය නිස. ප්‍රතිවාදියාගේ සරුංගලය දකින පියාගෙන් අමීර් අපේක්ෂා කරන ආදරය එලෙසින්ම ඔහුට ලැබේ. 


එහෙත් දිනෙන් දිනම හසන් වෙනස් වේ. පෙරදී කෙලිදෙලෙන් පසු වූ ඔහු තම තුළටම හැරුණු චරිතයක් බවට කෙනෙක් කෙමෙන් පත් වෙ. ඒ සමගම අමීර්ගේ සිතෙහි ගොඩ නැගෙන්නේ වරදකාරී හැඟීමක්. එයින් අත් මිදිය නොහැකි තැන , බොරු සොරකමකට හසන් පටලවා ඔහුව තම නිවසෙන් යැවීමට උත්සාහ කරයි. සොරකම තමා සිදු කළ බව නිරපරාදේ පිළිගන්නා හසන් සමග අලී ඔවුන්ගේ නිවසෙන් පිටව යන්නේ, එසේ නොයන්නැයි හැඬූ කඳුලින් අමීර්ගේ පියා කරන ආයාචනද නොතකමින්.


පසු කාලයකදී මතුවන ඇෆ්ගනිථානයේ සෝවියට් ආක්‍රමණය නිසා අමීර්ගේ පියා තම සතු සියලු දේපල දමා අමීර් සමග ඇමරිකාවට සංක්‍රමණය වේ.


එහිදී වැඩුන තරුණයකු බවට පත් වන අමීර් හටයි පෙර සඳහන් කළ දුරකතණ ඇමතුම ලැබෙන්නේ.


" there is a way to be good again "


ඒ වන විට  පියා මිය ගොසින්. 


අනතුරුව රහිම් ඛාන් හමුවන අමීර් , තම අතීතය පිළිබඳ නොදන්න කරුණු ‍රැසක් ඔහුගෙන් දැනගනෛයි. ඒ අනුව හසන් අමීර්ගේ පියාගේම දරුවෙකි. 


අතීතයේදී තමන්ගේම සොයුරාට තමන් අතින් වූ වරද අමීර් නිවැරදි කරන්නේ , ඒ වන විට තලේබානු අන්තවාදීන් අතින් මරා දමා සිටි හසන් හා ඔහුගේ බිරින්දගේ දරුවා සොහරාබ් ගැටලු ‍රැසක් මැද තලේබානුවන්ගෙන් මුදා ගෙන අමෙරිකාවට ගෙන ඒමෙන්. 


ඒ වන විට බෙහෙවින් කලකිරීමට පත්වී, කිසිවෙකු සමග උනන්දුවෙන් කතා නොකරන තත්වයකට පත් වී සිටින සොහරාබ් වෙනුවෙන් , හසන් තමා වෙනුවෙන් දිවගිය ලෙසටම සරුංගලයක් පසුපස දිව යන අමීර්ගෙන් කතාව අවසන් වේ. 
 Hassan

     Amir



I looked down at Sohrab. One corner of his mouth had curled up just so.
A smile.
Lopsided.
Hardly there.
But there.


behind us, kids were scampering and a melee of scampering kite runners was chasing the loose kite drifting high above the trees. I blinked and the smile was gone. But it had been there. I had seen it.
"Do you want me to run that kite for you?"
His Adam's apple rose and fell as he swallowed. The wind lifted his hair. I thought I saw him nod.


"For you , a thousand times over" I heard myself say.


I ran. A grown man running with a swarm of screaming children. But I didn't care. I ran with the wind blowing in my face, and a smile as wide as the Valley of Panjsher on lips.
I ran. 


2003 දී මුලින්ම ප්‍රකාශයට පත් වූ මෙම නවකතාව රුපියල් 900ක් 1000ක් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ගංගා නිරෝශනී සුදුවැලිකන්ද මෙය සිංහලටද පරිවර්තනය කර තිබෙනවා. 


මේ නව කතාව අලලා චිත්‍රපටයක්ද විකාශය වුණා.මෙතනින් ඒක ලබා ගන්න පුළුවන්.






ඒත් මගේ මතය නම් , චිත්‍රපටය නරඹන්න පෙර පොත කියවන්න. නැතිනම් ඔබ පොත කියවන විට සිතේ මැවෙන්නේ, ඔබේ චිත්ත රූප නොව චිත්‍රපටයේ දර්ශනයි. 


Khaled Hosseini ගේ දෙවන නවකතාව වන A thousand splendid suns   ද ආදායම් වාර්තා තැබූ විශිෂ්ට නවකතාවක්. ඒ පිළිබඳව සටහනක් පසුවට

Wednesday, May 23, 2012

නුඹ මලක්..... පරව ගිය


රුදුරු තුරු වන ගොහොල් අතරේ 
සදිසි මුදු කුසුමක්ම විය නුඹ
සිතට රහසෙම සිත් කොනක පිපි
සිනාසුන කොඳ මලම විය නුඹ
තුහින තැවරුණ නුවන් විවරව
සීත පිණි බිඳු විසිරවූ නුඹ
මුතු සිනාවෙන් සිතම සැනසුව
සුවඳ මඳ මුදු පවන් රළ නුඹ


සුවඳ සිර කර හදෙහි ගල්වා
හදේ දොරගුලු වසා දැමුවෙමි
පාට නුඹෙ මා නයනෙ තවරා 
දෙනෙත් ගුලිකර කර පියා ගත්තෙමි
ගිලිහි යන්නට නොදී ඉවතට 
දෑත් තද කොට වෙලා ගත්තෙමි
සුපිපි කුසුමක අරුත දුන් නුඹෙ 
සුවඳ අරණේ ලැගුම් ගත්තෙමි


නුඹට සෙනෙහෙන් දෑත් අතරේ 
නුඹව සිර කර තබා ගත්තෙමි
වියැකිලා යන සොඳුරු වත මල 
නොදු‍ටුවා සේ ඉවත බැලුවෙමි
පෙති එකින් එක ගිලිහිලා මා
දෙපා මුල නුඹ වැටෙනු නොදිටිමි
නුඹේ වත මුදු සුවඳ පමණක් 
කඳුලු අතරින් තවත් විඳිනෙමි



Tuesday, May 22, 2012

තිරිසන් වූ මිනිස්සු


(මේ මීට වසර දෙකකට කලින් විදුසරට ලියපු ලිපියක්. අහම්බෙන් මතක් වෙලා ආයෙමත් බ්ලොග් එකට ලියන්න ඕනා කියලා හිතුනෙ. මිනිස්සුන්ගෙ තිරිසන් කම් එන්න එන්නම් වැඩි වෙන මේ වගේ ලෝකෙක ඉස්සරහට කොහොමද ජීවත් වෙන්නෙ කියලා හිතෙනවා වෙලාවකට.)


මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්න ද කියල තේරෙන්නෙ නෑ..... ඒත් කියන්න ම ඕන කතාවක්‌.


පුංචි එවුන් ගේ සිනා හඬ, සෙල්ලම් බඩු හඬ, ඒ වගේම ඉඳලා හිටලා හරි ඇහෙන හැඬුම් හඬ නිසා ළමා වාට්‌ටුවෙ දි පුංචි පාළුවක්‌ වත් දැනුණෙ නෑ. පුංචි මල් පෙති වගේ පොඩි උන්ව උස්‌සගෙන පුංචි හෙම්බිරිස්‌සාවටත් ඉස්‌පිරිතාලෙ දුවගෙන එන අම්මල ගෙ මූණුවල තියන දුක, බය නම් මේ පුංචි මූණුවල ගෑවිලා වත් නැහැ. යන්තම් උණ බැහැගෙන එද්දි ළඟ ඉන්න යාළුවෙක්‌ එක්‌ක සෙල්ලමට යන්න මයි බලන්නේ. මේ දේවල් බලාගෙන මේ වාට්‌ටුවෙ ම ඉන්න හිතෙනවා හැම දා ම හරි. 




ඒත් මේ වගේ වාට්‌ටුවකින් ලබපු පුදුම විදිහට දුක හිතෙන මේ අත්දැකීම මගෙ හිතේ හැම දා ම හොල්මන් කරාවි.


උදරාබාධ වැළඳුණ දරුවන් හැම කෙනෙක්‌ ම හිටියෙ වාට්‌ටුවෙ ඈත ම කොනේ. අනිත් දරුවන්ටත් ඒවා පැතිරෙන එක වළක්‌වන්න ගත්තු පියවරක්‌ තමයි ඒක. වෛද්‍ය සිසුන් වැඩි දෙනෙක්‌ අතින් සුලබවම මඟහැරෙන ඇඳවල් කිහිපයක්‌ ඒ.


ඒත් කුමක්‌ දෝ හේතුවක්‌ නිසා මගේ පා ඒ දෙසට ඇදුණා. 


"කවුරු හරි බබෙක්‌ සෙල්ලම් බඩුවක්‌ වත් ඉල්ලුවොත් දෙන්න එකක්‌ වත් නෑ" හිත මට කිවුවා. ඇත්තමයි  මම ගෙනාව සෙල්ලම් බඩු සේරම එක එක බබාල ළඟ...... දැන් මට ඒවා එකක්‌ වත් අයිති නෑ වගේ... ඒයාල ගෙ පුංචි ලෝකෙ ඒවා හිර කරගෙන......"


රෝස මලක්‌ වගේ ලස්‌සන ම ලස්‌සන පුංචි බබෙක්‌ ඇඳක සැප නින්දක.


ඊළඟ ඇඳ........ මාව තිගැස්‌සුණා........ ඔහු හෝ ඇය හිසේ සිට දෙපතුල් දක්‌වා පෙරවාගෙන නිදි. ඒත් කකුලේ කොටසක්‌ පොරවනයෙන් මඳක්‌ එළියට පැනලා තිබුණා. මාව තිගැස්‌සුවෙ ඒ කකුල.


"පිච්චිල ද?" මට ලොකු ගැටලුවක්‌. ඒත් ඒක වෙනස්‌. සමහර තැන්වල හම ගැලවිලා යනවා. තවත් තැන් වල හම රළු වෙලා, ඝන වෙලා...... නියපොතුත් එහෙමයි. හම රළු වුණ තැන කෑලි කෑලි කැඩිලා යනවා.


මට කිසි ම දෙයක්‌ හිතා ගන්න බැරි වුණා. ළඟ ඉන්නෙ අම්මා වෙන්න ඇති. ඇය මා සමග මඳක්‌ හිනා වුණා.


"මේ බබා ගෙ අම්ම ද?" මම ඇහුවා.


"නෑ ඩොක්‌ට, මමයි මෙයාව බලාගන්නේ...... ළමා නිවාසෙ ඉන්නෙ මෙයා"


"ආ එහෙම ද? මොකද අම්මෙ බබා ගෙ කකුලට උණේ?


ඈ පිළිතුරක්‌ නො දී ම පොරවනය අයින් කළා.


වෛද්‍ය විද්‍යාලය තුළ ගත කළ අවුරුදු 4 තුළ තබා මුළු ජීවිත කාලයේ ම දැක නැති එම දර්ශනයෙන් මගේ හිත සසල වෙලා ගියා.


"මෝඩ විදිහට බලන්න එපා. medical student කෙනෙක්‌ වගේ හැසිරෙන්න." මගේ හිත හෙමින් මට විධාන කළා. ඇය ගේ දෙපා පමණක්‌ නො ව දෑත් ද අසාමාන්‍ය ලෙස සම ගැලවී යැමක්‌ පෙන්නුම් කළා. ඇතැම් තැන් පුපුරා ලේ ගැලීමට ආසන්න තත්ත්වයක්‌ තිබුණා. සිඟිති මුව වටා ද හම ගැලවී යමින් තිබුණ අතර ම හිස කෙස්‌ ද ඉතා තුනී, ඒ වගේ ම දුර්වලත් වෙලා. ඇය ගැන මෙහෙම නිරීක්‌ෂණයක යෙදුණත් රෝගී තත්ත්වය කුමක්‌ ද කියා මට කිසි ම අවබෝධයක්‌ තිබුණෙ නෑ.


"අම්මා මෙයා ගෙ විස්‌තර, රෝග වාර්තාව තියන file  එකක්‌ තියනව ද?"


"තියෙනවා."


එය ඉතා ම පිළිවෙළකට සකසා තිබුණා. සියලු ම රෝග විනිශ්චය කාඩ් පත් ලැමිනේට්‌ කර තිබුණ අතර අතින් අඳින ලද අලංකාර චිත්‍රයක්‌ ෆයිල් කවරයේ මුල් පිටුව හැඩ කළා.


"කවුද මේක මේ විදිහට හැදුවේ?"


"මෙයා ඉන්න ළමා නිවාසයේ සිස්‌ටර් තමයි මේවා කරන්නේ". ෆයිල් එකේ පිටු එකින් එක පෙරළමින් මම ඇය ගේ රෝග වාර්තා පිළිබඳව කරුණු සෙව්වේ, රෝග විනිශ්චය සොයා ගන්නයි.


"epidermolysis bullosa" රෝග විනිශ්චය එසේ සටහන් වී තිබුණා. එය දුර්වල සංජානීය රෝගී තත්ත්වයක්‌. හම ගැලවී යන ස්‌වභාවය සහ නැවත නැවතත් ඇති වන තුවාල තත්ත්වය මෙහි රෝග ලක්‌ෂණයයි. සමහර අවස්‌ථාවල මෙවැනි දරුවන් butterfly children (සමනළ දරුවන්) ලෙසින් හඳුන්වන්නේත් සමනළ තටු වගේම බිඳෙනසුලු ඔවුන් ගේ සම නිසයි.



නිකමට මේ පි‍ටුවට ගිහින් බලන්න. ගොඩක් දේ වැටහෙයි මේ රෝග තත්වය ගැන.



"බබා ගෙ අම්මයි තාත්තයි නෑදැයො ද?"


"මෙයා ගෙ අම්මයි තාත්තයි අයියයි, නංගියි නෙ"


මාව ටිකක්‌ විතර තිගැස්‌සුණා. ඒත්....


"ආ..... ඒ කියන්නෙ නෑනයි, මස්‌සිනයි?" ලේ නෑයින් අතර විවාහ සිදු කිරීමේ කිසිදු පිළිවෙතක්‌, වෛද්‍ය විද්‍යාවෙ දි අනුමත නො කරන්නේ මේ වගේ විකෘති, සංජානීය ආබාධ ඇති වීමේ අවදානමක්‌ පවතින නිසා.


"නෑ ඩොක්‌ට, අයියයි නංගියි"


මේක නම් හතර බීරි කතාවක්‌. අයියයි නංගියි? එහෙම දේවලුත් මේ ලෝකෙ වෙනව ද? සිංහබාහු කතාවේ එන සිංහබාහුයි සිංහසීවලියි ලාට රටට පැනලා ගියාට පස්‌සෙ විවාහ වුණා කියලා ජනප්‍රවාදවල නම් කියනවා. ඒත් ඊට පස්‌සෙ මේ වගේ කතාවක්‌ නම් අහලා නෑ.......


ශිෂ්ට මිනිස්‌සු ඉන්න සදාචාර සම්පන්න සමාජයක වෙන්න පුළුවන් ද මේ වගේ දේවල්? මට තාමත් විශ්වාස නැහැ.


"එක ම පවුලෙ අයියයි නංගියි...?"


"ඔවු එක්‌කුසේ උපන් අයියයි නංගියි."


"කොහොම ද එහෙම වුණේ..?"


"කොහොම වුණා ද කියල මට නම් හිතාගන්න බෑ.... ඒත් මට තේරෙනවා මේ නිසා මේ දරුවා විඳින්නේ ලොකු වේදනාවක්‌".. ඇය පවසයි.


අප පවසන දේ කිසිවක්‌ සිඟිත්තියට නෑසේ. ඇය තවමත් තද නින්දේ..... එය වාසනාවක්‌......මෙවන් වූ අකටයුතු කම් බහුල ලෝකයක අනුන් ගේ වැරැදිවලට දුක්‌ විඳින්නේ ඇයයි. 


මට සහෝදරයො නැහැ... ඒත් මගේ යාළුවන්ට ඉන්නවා..... ඒ හැම දෙනා ම තමන් ගෙ නංගිලට දක්‌වන ආදරය සහ සැලකිල්ල ගැන මම හොඳින් ම දන්නවා. ඒ වගේ අයියලා අතර මේ වගේ තිරිසනෙකුත් මේ ධර්මද්වීපය ඇතුළෙ කොහෙ හරි ඉඳල තියනවා....


"එතකොට දැන් මේ බබා ගෙ අම්මලා තාත්තලා ඉන්නේ කොහේ ද?"


"තාත්තා නම් ආගිය තැනක්‌ නැහැ ලු... දරුවා ඉපදිලා ටික කාලෙකින් මෙහෙම ලෙඩක්‌ තියනවා කියලා දැන ගත්තම අම්මත් මෙයාව අතඇරලා දාලා........ ඒත් ළමා නිවාසෙ සිස්‌ටර්ල මෙයාව හොඳින් බලා ගන්නවා......."


ඒ ගැන වෙනත් වචනයක්‌ වත් අහන්න මට ඕන වුණේ නෑ. කව දා වත් අමතක නො වන විදිහට ඒ අහිංසක දැරිය ගෙ රූපය මගේ හිතේ සටහන් වුණා. epidermolysis  bullosa  ගැන දැනගත්තට වඩා, කව දා වත් දැනගත්තේ නැත්නම් හොඳයි කියලත් මට වෙලාවකට හිතෙනවා.


*********************************************



ප. ලි. 
පඬුවස්නුවර ගැන ලියපු මගෙ පරණ චාරිකා සටහනකට අලුතින් පොඩි කරුණක් එකතු කළා. කැමති නම් ගිහින් බලන්න.



Saturday, May 19, 2012

මෙවන් හෙදියක ලද ඇය.........


අපේ ඉන්නව නර්ස් කෙනෙක්. පොඩි කෙල්ලෙක්. නම මිනෝ. හරි කඩිසරයි. කොයි තරම් කඩිසරද කියනව නම් යමක් ගේන්න කියන්න කලින් ගේන්න දුවලා ඉවරයි. ඒ යන ගමන් වටේ තියන මල් පෝච්චි, දොරවල් , පු‍ටු වගේ මොකක් හරි එකක හැප්පෙන්නත් මිනෝ අමතක කරන්නෙ නෑ. එක්කො ඒවා තුවාල වෙනව, නැත්නම් මිනෝ තුවාල වෙනවා. කොයි තරම් කිවුවත් කලබල වෙන්න එපා කියලා, ඒක අහන්නෙ නැති නිසා ඩොක්ට එයාට ඒ ගැන කියන එක නවත්තලා ගොඩාක් කල්.


ඒ වගේම තමයි, තියන කලබලේ නිසාද කොහෙද පොඩි ටියුබ් ලයිට් ගතියකුත් තියනවා. ඉතින් හැමදාම බයිට්. 


එක දවසක් බබෙක් හම්බුණ අම්මා කෙනෙක් ආවා බේත් ගන්න. බබා හම්බ වෙලා දවස් 6යි. බඩේ කැක්කුමක් කියලා තමයි ආවෙ. ඉතින් ඩොක්ට මිනෝ ට කතා කරලා කිවුවා,
"මිනෝ, මෙයාව ඇඳට දාන්න මට බඩ බලන්න"
ඒ වෙනකොටත් අම්මාගෙ අතේ හිටියා අලුත හම්බුණු බබා. අම්මා ඒ බබාව එයාගෙ මහත්තයාගෙ අතට දීලා ඇඳට ගියා මිනෝ එක්ක.


ඉතින්, ටිකකින් ඩොක්ටට ඇහෙනවා  තිරෙන් වට වුණ ඇඳ ළඟින් එන දෙබසක්.






"නගින්නකො අම්මා ඇඳට." ඒ අපේ මිනෝ.


"බබා ට වයස කීයද?" ඒත් මිනෝ.


"දවස් 6 යි තවම" අම්මා අමාරුවෙන් උත්තර දුන්නා.


"බබා මහත්තයා වගේ නේද?" ඒ ප්‍රශ්නෙට අම්මා උත්තර දුන්නෙ නෑ. බබාගෙ මූණ අම්මාවත් ඒ තරම් හොඳට දැකලා තියෙන්න නැතුව ඇති ඒ වෙද්දි.


ඔන්න මිනෝගෙ ඊලඟ ප්‍රශ්නෙ නිකුත් වුණා. "බඩේ ඉන්න බබාට දැන් මාස කීයද?"


අම්මා නිරුත්තර වෙන්න ඇති. 


අමාරුවෙන් හිනාව නවත්ත ගත්තු ඩොක්ට එතෙන්ට ගිහින් අම්මාව පරීක්ෂා කළා , මිනෝ එයාගෙන් ගුටි කන්න කලින්. 


"මිනෝ....." අම්මයි තාත්තයි බබයි ගියාට පස්සෙ ඩොක්ට මිනෝ ට කතා කළා.


"ඇයි මැඩම්?" සුපුරුදු ගමනින් මිනෝ දුවගෙන ආවා.


"මොකද්ද අර අම්මගෙන් අන්තිමට ඇහුවෙ?"


"මොකද්ද මැඩම්?"


"මොකද්ද ඇහුවෙ බඩේ ඉන්න බබෙක් ගැන?"


"ඒකනෙ  මැඩම්, එයා මොකුත් කිවුවෙ නෑනෙ." 


ඔලුව හිල් වෙන්න ටොක්කක් අනින්න හිතුනත් ඩොක්ට ඉවසුවා.කෙල්ලගෙ හිත රිද්දන්නත් හොඳ නෑනෙ.ඊට පස්සෙ හිමීට ඇහුවා, මෙහෙම......
"අතේ හිටිය බබාට වයස දවස් 6යි නම්, බඩේ කොහොමද තව බබෙක් ඉන්නෙ? කලින් බබාව  ඩොක්ටර්ස් ලා එලියට ගන්න වෙලාවෙ ඔයා කියන බබා හැංගිලා ඉඳලද කොහෙ හරි?"




"අනේ මැඩම් එයාව මට පෙනුනෙ ප්‍රෙග්නන්ට් වගේනෙ........ "


*****************************************************


මේ තවත් මිනෝ කතාවක්.


(ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනා. මතකද අපි භෞතික විද්‍යාවට සරසුල ගැන ඉගෙන ගත්තා. ඉගෙන ගත්තෙ නැති අයටයි, ඉගෙන ගන්න ඉන්න අයටයි මම කියන්නම්. සරසුල කියන්නෙ පොඩි ලෝහ කොටස් දෙකක් එකතු කරලා හැදුව උපකරණයක්. ඒක කම්පණය කළාම නිශ්චිත සංඛ්‍යාතයකට අනුව කම්පණය වෙනවා. මේ තියෙන්නෙ වැඩි විස්තර.





http://en.wikipedia.org/wiki/Tuning_fork


කොහොම වුණත් උසස් පෙළ ඉවර වෙනවත් එක්කම මම සරසුල අමතක කළා. 


ඒත් කොහෙද , එහෙම අමතක කරන්න ලැබුණෙ නෑ.... ෆැකල්ටි ආවට පස්සෙත් සරසුලක් හම්බුණානෙ. ඒ ශ්‍රවණය පරීක්ෂා කරන පරීක්ෂණයට සරසුල අවශ්‍ය නිසා. 
පොඩි වෙනසයි තිබුණෙ, අපි "සරසුල" කියපු උපකරණෙට කැම්පස් එකේ කට්ටිය කිවුවෙ tuning fork කියලා.)


අ‍ටුවා ටීකා ඇති. ආයෙම කතාවට බහිමු.


දවසක් අවුරුදු 23ක පිරිමි ළමෙක් ආවා එක කණක් ඇහෙනවා මදි කියලා. සාමාන්‍ය පරීක්ෂා වලින් පස්සෙ ඩොක්ටට ඕනා වුණා සම්මත ශ්‍රවණ පරීක්ෂාව සිද්ධ කරන්න. 


ඉතින් ඩොක්ට මිනෝ ට කතා කළා.


"මිනෝ....... මට ටියුනින් ෆෝක් එකක් ගේන්න."


"මොකද්ද මැඩම්?"


"tuning fork මිනෝ"


"ඒ කිවුවෙ මැඩම්?"


"සරසුලක් ළමයො"


"ආ  හරි හරි...... !! ඒ මොකද්ද මැඩම්?"


"ඇයි මතක නැද්ද, මම hearing චෙක් කරන්න ඕනා වුණාම කම්පනය කරලා සද්දෙ අහන්න දෙන්නෙ"


"ආ හරි හරි මැඩම්, දන්නවා දන්නවා........." මොහොතකින් මිනෝ නොපෙනී ගියා. 


විනාඩියක් වත් යන්න කලින් ආපහු ආව මිනෝ "සරසුල" ඩොක්ට අතේ තිබ්බා. 






ඒ සරසුල ඩොක්ට එතෙක් දැකලා තිබුණ සියලුම සරසුල් වලට වඩා වෙනස්. ඒක ලස්සනයි. ලුමිනස් කහ , කොල සහ තැඹිලි පාට සරසුලක්. 


ඩොක්ට හොඳට බැලුවා. ඒකෙ හැඩෙත් වෙනස්. ලොකුයි, රවුම්...... ඒ මදිවට හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්. හෙල්ලෙනකොට පොඩි සිලිං බිලිං සද්දෙකුත් ඇහෙනවා.



කණ ඇහෙන්නෙ නෑ කියපු ලෙඩාත් බලාගෙන ඉන්නවා අඬන්න වගේ. එයා හොඳටම බය වෙලා............ කණේ අමාරුවට බේත් ගන්න ඇවිත් ,කොහොමද මාස 6, 7 බබාලාට සෙල්ලන් කරන්න දෙන ගෙජ්ජි වළල්ලකින් සෙල්ලම් කරන්න වුණාම.............!!!!!!!!


මිනෝගෙ සියලුම වැඩ හැමදාම උපේක්ෂාවෙන් දරාගන්න ඩොක්ට හිමීටම සද්ද නොනැගෙන්න ගෙජ්ජි වළල්ල පැත්තකින් තියලා ඉරේෂා ට කතා කළා. "ඉරේෂා මට ටියුනින් ෆෝක් එකක් ගේන්න"


ලෙඩා ගියාට පස්සෙ මිනෝ සුපුරුදු විදියට පටන් ගත්තා එයාගෙ ක්‍රියාව පැහැදිලි කරන්න.


"අනේ මැඩම් මට ඇහුනෙ "සලං සලං" එක ගේන්න කියනවා වගේ. "


"ඒ ගෙනාව එකට ඔයාලගෙ පැත්තෙ කියන්නෙ සලං සලං එක කියලාද?" ඩොක්ටගෙ ප්‍රශ්නෙන් මිනෝ නිහඬ වුණා.





ඩොක්ට කරන්න හැදුවෙ මේක






ඒත් තව ටිකෙන් බලන්න වෙන්නෙ මේක




ඒත් ඉතින් මෙහෙම පොඩි ළමයෙක්ව නෙමේ. අවුරුදු 23ක කොල්ලෙක්ව





*****************************************************


තව දවසක පුංචි ළමෙක් ආවා උණට බේත් ගන්න. වයසට වඩා උසින් මහතින් වැඩිලා හිටිය ළමයා ට පැරසිටමෝල් දෙන්න ඕනා ප්‍රමාණය ගැන ඩොක්ටට ලොකු අදහසක් ආවෙ නෑ. ඒ නිසා ඩොක්ට තීරණය කළා එයාගෙ බරට අනුව පැරසිටමෝල් දෙන්න.


"මිනෝ...........  මේ බබාව එක්කන් ගිහින් බර බලාගෙන එන්න"


"එන්න බබා....... " මිනෝ ආදරෙන් ඒ දරුවා ව එක්කන් ගියා. 


ටිකකින් ආපහු ආව මිනෝ දුන්නෙ අපූරු උත්තරයක්. "මොකුත් ප්‍රශ්නයක් නෑ මැඩම්, කොහෙවත් රිදෙන්නෙ එහෙම නෑලු"


"මොකක්?"


"ඔව් මැඩම්, උණ විතරලු තියෙන්නෙ, "


"මම කිවුව දේ ඇහුණද?"


"ඔව් මැඩම්"


"එහෙනම්, බර කීයද මෙයාගෙ?"


"ආනේ මැඩම් මම හිතුවෙ 'බඩ' බලාගෙන එන්න කිවුවා කියලා. 
එන්න බබා....... අපි ගිහින් බරත් බලාගෙන එමු"


(අපේ මිනෝගෙ වැඩ මේ වගේ වුණාට ඇත්තමයි මිනෝ හිත හොඳ ළමෙක්. කවදාවත් කිසිම දේකට තරහ නොයන , ලෙඩ්ඩුන්ට ගොඩක් කරුණාවෙන් සලකන කෙනෙක්)

සිනහව අතරින් මගෙ නෙතට කඳුලක් උපන් දා


        පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ කියලා අහලා තිබුණට ඒක කොච්චර නම් ඇත්ත ද කියලා හොඳින් ම වැටහුණේ, රෝහල් පරිසරයත් එක්‌ක ගැටෙන්න ගත්තාට පස්‌සෙ. 


උපතේ සිට මරණය දක්‌වා ම වැළඳෙන විවිධ රෝග නිසා රෝගීන් විඳින දුක, සමහර වෙලාවට කොහොමත් ම බලාගෙන ඉන්න බැරි තරම්. තදබල විදියට අසනීප වෙලා රෝහල්ගත කරල දින කීපයකින් පස්‌සෙ සිනා මුහුණින් පිට වෙලා යන රෝගීන් දකිද්දී නිරෝගීකම තරම් වාසනාවක්‌ තවත් තියෙනව ද කියලා හිතෙන වාර අනන්තයි.


      නමුත් ස්‌වභාව ධර්මයෙන් සිදු වන අවාසනාවත්ත ම අත්වැරැදීම නිසා, සුවයක්‌ නො ලබා ම ජීවිතයෙන් සමු ගැනීමට සිදු කරන රෝග ද තිබෙනවා. හඳුනා ගැනීමට ප්‍රමාද වූ පිළිකාව ද එවැන්නක්‌. 


පිළිකා රෝගීන් ම පමණක්‌ සිටින එම වාට්‌ටුව, ජීවිතයේ අනියත බව හොඳින් ම මා හට පසක්‌ කළ වාට්‌ටුවක්‌ වුණා. කෙනෙක්‌, වරක්‌ දුටුවොත් නැවත දකින්නට නො පතන තරම් දුක්‌බර මුහුණු අපි හැමෝ ගේ ම ඇස්‌වලට කඳුළු නංවන්න සමත් වුණා. බලාපොරොත්තු සුන් වී ගිය ඇස්‌ බැල්ම පිරි දෙනෙත්, අපි දිහා බලාගෙන හිටියෙ ජීවිතය යදිනවා ගේ.




ප්‍රතිකාර (chemotherapy)  නිසා ගොඩක්‌ අය ගෙ හිස කෙස්‌ ගැලවිලා ගිහින්. පිළිකාවල අතුරු ප්‍රතිඵළයක්‌ විදියට සහ ආහාර අරුචිය නිසා, බොහෝ දෙනෙක්‌ හිටියේ වැහැරුණ සිරුරුවලින්.


ඒත් සිනහව කියන්නේ මොකද්ද කියලා අමතක වුණා වගේ හිටිය බොහෝ රෝගීන් අතර අපි හැමෝ ගෙ ම විශේෂ අවධානයට ලක්‌ වුණ පුද්ගලයෙක්‌ හිටියා. 


ඔහු ගේ පාදය දණහිසට උඩින් කපා දමා තිබුණ නිසා ඔහු අස්‌ථි පිළිකාවකට ගොදුරු වන්නට ඇතැයි අපට හිතුණා.


නමුත් අපේ අවධානය වැඩිපුර ම යොමු කරන්නට සමත් වුණේ නිතර ම දකින්නට ලැබුණ ඔහු ගේ සුහද ආකර්ෂණීය සිනහව සහ ඔහු සතු වූ කඩවසම් පෙනුම.


පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන් ම ඔහු නිදහස්‌ වී ඇති බවයි ඒ සිනහව අප හට පැවසුවේ. ජීවිතයේ වසන්තය අබියස සිටිය ඔහු ගේ පාදයක්‌ අහිමි වීම අප සැම ගේ ම සිත්වලට කණගාටුවක්‌ රැගෙන ආවත්, ඒ පාදය ඉවත් කළේ ඔහු ගේ ජීවිතය උදෙසා ම බව සිතන විට අපට උපේක්‌ෂා සහගතව ඒ දෙස බලන්නට හැකි වුණා.


"එයා නම් ඉක්‌මනින් ගෙදර යයි......" ඒ විදිහටයි අපි ඒ ගැන කතා කළේ.


ඔහු සමග කතා කරන්නට ලැබුණේ වාට්‌ටුවේ ගත කළ තුන් වැනි දිනයත් ගෙවුණාට පස්‌සේ.


වෙනත් රෝගීන් සමග සිදු කරන කතා බහකට වඩා එය සුහදව සිදු කළ කතා බහක්‌ වුණා. වයස අවුරුදු 23 දී පාදයක්‌ අහිමි වීම සැබැවින් ම දෛවෝපගත ලෙසින් අපට සිතුණේ ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩකයකු බව ඇසූ විට දියි.


ජනප්‍රිය පිරිමි පාසලක ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පන්දු යවන්නකු වූ ඔහු අසනීප වන විට ක්‍රීඩා සමාජයකට සාර්ථකව ක්‍රීඩා කරමින් සිටියා. ඔහු ගේ එක ම බලාපොරොත්තුව වුණේ ජාතික කණ්‌ඩායමට ඇතුළත් වීමයි.


නමුත් දැන් ඔහුට ඔහු ගේ මුළු ක්‍රිකට්‌ ජීවිතයෙන් ම සමුගැනීමට සිදු වන බව අපට ප්‍රත්‍යක්‌ෂ වුණා. 


එහෙත් ඔහු ගේ කතාව අපේ නෙත්වලට කඳුළක්‌ එක්‌ කරද්දීත්, ඔහු ගෙන් නම් දුක්‌බර බවක්‌ පළ වුණේ නැහැ. එතරම් උපේක්‌ෂාවකින් ධෛර්යයකින් ජීවිතය දකින්නට හැකි දරුවෙක්‌ ලබපු ඒ මාපියනුත් සැනසෙනවා ඇති කියලයි අපට හිතුණේ.


එත් ward round අතරමැද අසන්නට ලැබුණේ අප හීනෙකින් වත් නො සිතූ කතාවක්‌. 


විශේෂඥ වෛද්‍යතුමා අපට පැවසූ ආකාරයට ඔහු ගේ අස්‌ථිවල වර්ධනය වූ පිළිකාව පෙනහළුවලටත් පැතිර ගිහින්... ඒ කියන්නේ පිළිකාව සුව කරන්න බැරි තරම් දුරදිග ගිහින්..... ඔහු හිනා වෙන්නේ ඒ සියලු ම දේ හිතේ තියාගෙන.


ඒ හිනාව දකින දකින වාරයක්‌ පාසා, ඇස්‌වලට කඳුළු ආවත් ප්‍රශ්න හමුවේ දී නො හඬා සිටින්නට පුළුවන් වුණ ඔහුව දැන් මතක්‌ වෙද්දී සිතට ඇති වෙන්නෙ ඒ ගැන ගෞරවයක්‌.




(විදුසරට ලියූ ලිපියක්)

Thursday, May 17, 2012

සිඳු බාල කාලේ ඉස්කෝලෙ ගිය හැටි


     මතකය පුළුවන් තරම් අතීතෙට ගෙනිච්චොත් සිඳුට මතක් වෙන්නෙ අවුරුදු 2ක් 3ක් තරම් පුංචි කාලෙ සිඳුව. පුංචි කාලෙ අම්මයි කිරිඅම්මයි එක්ක අම්පාර - උහන තිබුණු අම්මගෙ ඉස්කෝලෙ ලඟම  ගෙදරක තමයි සිඳු හිටියෙ.  ඒ මතකයෙ ගොඩාක් දේවල් අපැහැදිලියි. ගෙදර මිදුලෙ අඹ ගහක්, සියඹලා ගහක් සහ අරලිය ගහකුත් තිබුණා කියලා සිඳුට මතකයි. ඒ සියඹලා ගහෙන් වැටෙන සියඹලා මල්, දළු එහෙම අම්මගෙ ඇස් වහලා හොරෙන් කෑව හැටි නම් ඊටත් වඩා හොඳට මතකයි. (පාණ්ඩුව ද කොහෙද )


       එහා ගෙදර හිටපු චූලනීයි එයාගෙ අක්කා රංගනීයි තමයි සිඳුගෙ හොඳ යාළුවො ඒ කාලෙ. එයාලා එක්ක සෙල්ලම් කරන එකයි , අම්මා වටේ කැරකි කැරකි ඉන්න එකයි තමයි ඒ දවස් වල සිඳුට තිබුණ ලොකුම රාජකාරිය.


මුළු සතිය පුරාම දඟල දඟල ඉන්න සිඳු ට සමහර දවස් වලට අම්ම කියනවා "අද අප්පච්චි එනවා" කියලා. එදාට සිඳුට වෙන වැඩක් නෑ. මිදුලට යනවා, පාර බලනවා. ආයෙ මිදුලට යනවා, පාර බලනවා......... ඔහොම ඉඳලා ඉඳලා හවස කළුවර වැටීගෙන එන වෙලාවට අත් දිග ශර්ට් ඇඳලා දුඹුරු පාට බ්‍රීෆ් කේස් එකකුත් ගත්තු ලස්සන අප්පච්චි කෙනෙක් එනවා. ඒ තමයි සතු‍ටුම දවස්. අප්පච්චි ආපහු යන විදිය නම් මතක නෑ, ඒ වෙලාවට සිඳු නිදි නිසා වෙන්න ඇති. 


අම්පාරෙ හිටිය කාලෙ ගැන තියන මේ වගේ අපැහැදිලි මතක එක්කම හොඳින්ම පැහැදිලි එකම මතකය තමයි සිඳුගෙ ඉස්කෝලෙ


සිඳුගෙ ඉස්කෝලෙ කිවුවට ඒක අම්මා උගන්නපු ඉස්කෝලෙ. අම්මා සිඳුව අවුරුදු 2 ඉඳන් ඉස්කෝලෙ එක්කන් ගිහින්. අවුරුදු 3 දි තමයි සිඳුව අම්මගෙ ඉස්කෝලෙ 1 වසරට දැම්මෙ. 
(ඒ කාලෙ ඇඳපු අඩියක් වත් උස නැති පුංචි සුදු ගවුමක් තවමත් සිඳුලගෙ ගෙදර තියනවා. අනිත් සුදු ගවුම් සේරම අම්මා එක එක්කෙනාට දීලා වුණත් , ඒක අම්මා කාටවත් දීලා නෑ. මොකද ඒ තරම් චූටි සුදු ගවුම් අඳින ඉස්කෝලෙ යන  ළමයි නෑ.)


එහා ගෙදර සිඳුගෙ යාළුවා චූලනී හිටියෙත් ඒ පන්තියෙ. ඒ නිසා කවදාවත් සිඳු අම්මා ළඟට යන්න අඬලා නෑ. 
චූලනීලා එක්ක එකතු වෙලා අකුරු ලියලා, සෙල්ලම් කරලා හිටිය සිඳු 1 වසර ඇරෙන වෙලාවට ළමයි එක්කම ආපහු ගෙදර එනවා. අම්මා එන්න පරක්කු වෙනවනෙ. 






ඉස්කෝලෙ පිට්ටනිය හරහා ඇවිල්ලා කම්බි වැට ළඟට එනකොට කිරි අම්ම කම්බි වැට ළඟට ඇවිල්ලා. කිරි අම්මා එන්න පරක්කු වුණ එකම එක දවසක් සිඳු ට තවම මතකයි. එදා සිඳුගෙ 1 වසරෙ යාළුවො ටික සිඳුව හරහට උස්සලා කම්බි වැට අස්සෙන් එහා පැත්තට දැම්මා. වැටෙන් එහා පැත්තෙ හිටිය තවත් 1 වසරෙ ළමයි දෙන්නෙක් තමයි සිඳුව අල්ලා ගත්තෙ. දැන් තමයි හිතෙන්නෙ, ඒ පණ්ඩිත වැඩ වලට ගිහින් පොඩි එකාව කම්බි වැට උඩ වැ‍ටුණා නම් එහෙම කියලා..........


දවසක් දා සුපුරුදු විදියට සිඳුගෙ පන්තියෙ චන්ද්‍රා ටීච සිඳු ට අකුරු කියලා දිදී හිටියා. 


කවදාවත් නැතුව අම්මා අවේලාවෙ පන්තියට ආවා. ඇවිත් කිවුවා 
" පුතේ අපි හෙට අප්පච්චි ඉන්න දිහාට යනවා, සේරම යාළුවන්ට කියලා එන්න " කියලා. 


අවුරුදු ගාණක උත්සාහයක ප්‍රතිඵලයක් විදියට අම්මා ට මාරුවීමක් හදාගන්න පුළුවන් වෙලා. අප්පච්චි ළඟට යන නිසාද කොහෙද , සිඳුට පොඩි දුකක් වත් ආවෙ නෑ ඒ ඉස්කෝලෙ දාලා එන්න. අපි එහෙන් එන දවසෙ සිඳුගෙ සෙල්ලම් බඩු ගොඩකුයි, කතන්දර පොතුයි, විශේෂයෙන්ම චූලනි ආසා කරපු සිඳුගෙ පොඩි කතුරයි චූලනී ට දීලා ආව. 


එහෙන් පිටත් වෙලා අප්පච්චිගෙ ගමට ආව සිඳුගෙ ඊළඟ ඉස්කෝලෙ වුණේ අම්මගෙ ඊළඟ ඉස්කෝලෙ. අම්ම ඒ ඉස්කෝලෙට ගිය පළවෙනි දවස සිඳුගෙත් ඒ ඉස්කෝලෙ පළවෙනි දවස. ඒ ඉස්කෝලෙ සිඳු හිටියෙ 2 වසරෙ. සිඳුට ඒ වෙනකොට අකුරු ලියන්න කියවන්න පුළුවන්. ඒ නිසා ඒ ළමයි එක්කත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. එහෙදි යාළුවො වුණේ නිසංසලායි හර්ෂණීයි. ආශා කියලා තව යාළුවෙකුත් හිටියා. 


අම්මා කියන්නෙ නම් ඒ කාලෙ සිඳු හරි පණ්ඩිතයි ලු. ඒත් සිඳු ඔය කතා විශ්වාස කරන්නෙ නෑ, මොකද සිඳුට මතක විදියට සිඳු ගොඩක්ම අහිංසක ළමයෙක් කාගෙවත් හිත නොරිදපු. 


ළමයි එක්ක තරහ වුණාම සිඳු ඒ දවස් වල බනින්නෙ " මම ඔයාට චොක්ලට් ඉස්ටිකර් ගෙනත් දෙන්න හිටියෙ, ඒ වුණාට දැන්නම් දෙන්නෙම නෑ" කියලා. 


ඔය අතරෙ තමයි දවසක් පන්තියෙ හිටිය ඇට්ටර කොල්ලෙක් හොයා ගත්තෙ සිඳු පුළුන් වලට බයයි කියලා. ඉතින් සිද්ද වුණ දේ හිතා ගන්න පුළුවන්නෙ. කොහෙ හරි තිබිළා පුළුන් කෑල්ලක් කාට හරි හම්බුනොත් සිඳුට වුණේ කෑ ගහ ගහ ඉස්කෝලෙ වටේ දුවන්න. 




එහෙමයි කියලා සිඳුත් නිකම් හිටියෙත් නෑ, දවසක් පන්තියෙ හිටපු එක නාහෙට අහන්නෙ නැති කොල්ලෙක්ව දොරක්ට තියලා තද කරලා අඬනකම්ම එයාගෙ කහ පාට කුඩෙන් ගැහුවා. එදා නම් ගෙදර ඇවිල්ලත් අම්මා නඩු ඇහුවා. අහලා නඩු තීන්දුව දුන්නා, ආයෙ කවදාවත් කුඩේ ඉස්කෝලෙ ගෙනියන්න තහනම්.


සිඳුගෙ පන්ති බාර ටීච සිඳු ට හරි ආදරෙයි. ඒ නිසා සිඳුත් එයාට ටිකක් වත් බය නෑ. ( එහා පන්තියෙ එක වසරෙ හිටිය ලොකු බඩක් තිබුණ කළු ටීච ට නම් සිඳු බයයි). පන්ති බාර ටීචගෙ "ත" යන්න "න" යන්න වගේ කියලායි, ලමයා කියලා ලියපු විදිය වැරදියි, ළමයා කියලා ලියන්න "ළ" යන්න ඕනා කියලායි, මුළු පන්තියම මැද්දෙ ටීචගෙ මූණටම කිවුවා කියලා ඒ ටීච අම්මා එක්ක ඇවිල්ල කිවුවා දවසක් සිඳු ඉන්න තැනම. අම්මා සිඳුට ගෙදර ඇවිත් කිවුවා ඒ වගේ දේවල් කියන්න එපා කියලා. සිඳු හිතුවෙ එදා සිඳු කළේ ලොකු වැ‍රැද්දක් කියලා. දැන්නෙ තේරෙන්නෙ, පොඩි එකා හරියටම හරි.


කොයි තරම් සතුටින් ඉස්කෝලෙ හිටියත් සිඳුට ප්‍රශ්නයක් තිබුණා. පන්තියෙ නාම ලේඛනය ලකුණු කරන වෙලාවට කවදාවත් ටීච සිඳුගෙ නම කියන්නෙ නෑ. කොයි තරම් අසාධාරණයක්ද. සිඳු කියන්නේ හැමදාම ඉස්කෝලෙ ගිය ළමෙක්.


බලන් ඉඳලා බැරිම තැන සිඳු අම්මා ට කිවුවා සිද්ධ වෙමින් තිබුණ අසාධාරනේ ගැන. අම්මා ඒ අසාධාරනේ වෙනුවෙන් හඬක් නගන්න ඇති, පහුවදා ඉඳලාම ටීච සිඳුගෙ නමත් ලකුණු කලා අන්තිමටම. අන්තිමට වුණත් නම ලකුණු වුණානෙ, ඒ නිසා ආයෙ කවදාවත් එහෙම ප්‍රශ්න ආවෙ නෑ. 


අවුරුද්ද අන්තිමේදි විභාගෙ තිබුණා. සිඳු විභාගෙ කරලා 3 වසරට පාස් වුණා. 3 වසරට අලුතින් ගිය දවසෙ ළමයින් ට අලුත් පොත් හම්බුණා. සිඳු බලන් හිටියා සිඳුට පොත් හම්බෙනකම්. ඒත් හම්බුණේ නෑ. සමහර ළමයින්ට අලුත් පොත්, තව සමහර ළමයින්ට අනිත් අය පාවිච්චි කරපු පරණ පොතුත් හම්බුණා. සිඳුට අලුත් පොත් තියා පරණ පොතක් වත් නෑ. සිඳු ගියා ටීච ලඟට. "ටීච, මට පොත් හම්බුණේ නැ"
ටිකක් වෙලා සිඳු දිහා බලන් හිටපු ටීච කොහෙන්ද මන්දා පොත් වගයක් සිඳු ට ගෙනත් දුන්නා. ඒ ප්‍රශ්නෙත් විසඳුනා. අලුත් පාඩම් පොතට සිඳු ගොඩක් ආසා වුණා. "පුන්චි අපට සිරි සැප දෙයි සිරි ලංකා දීපේ....." තමයි සිඳු ආසාම පාඩම. ඒක කවියක්. 


ඒත් ඉස්කෝලෙ ඇරිලා අම්මා ළඟට ගිය සිඳුට වුණේ හිතුවෙවත් නැති දෙයක්
"ඔයා තව ටික දවසකින් අප්පච්චිලාගෙ ඉස්කෝලෙට යනවනෙ පුතේ. ඒ හින්දා ඔය පොත් ටික ආයෙ ටීචටම දෙන්න වෙන ළමයින්ට දෙන්න කියලා" අම්මා කිවුවා. සිඳු ගොඩාක් දුකෙන් ආපහු ටීචට පොත් ටික දුන්නා. 


ටික දවසකින් සිඳු අප්පච්චිගෙ ඉස්කෝලෙට යන දවස ආව. වෙන කවදාවත් අලුත් ඉස්කෝලෙකට යද්දි නොකරපු විදියට අම්මා එදා කිරි බතුත් හදලා තිබුණා.
ඒ වතාවෙත් සිඳුව අම්මලා දැම්මෙ 2 වසරට.  එදා ඉඳන් නම් නාම ලේඛනය ලකුණු කරන වෙලාවට සිඳුගෙ නම ලකුණු වුණා. හැබැයි ඒ සිඳුගෙ පන්තියෙ ටීච අතින් නෙමේ. එහා පැත්තෙ 1 වසරෙ පන්තියෙ ටීච අතින්. 
උදේට එයා සිඳුගෙ පන්තියට  එබිලා අහනවා "සිඳු ඉන්නවද?"
"මේ ඉන්නෙ" උත්තර දෙන්නෙ සිඳුගෙ පන්තියෙ ටීචර්. 


ටික කාලයක් යනකොට තමයි වැඩේ තේරුණේ. සිඳුව තියලා තිබුණෙ අවුරුද්දක් වැඩිමල් ළමයි ඉන්න පන්තියෙ. ඇත්තනෙ, ඒ වතාවෙත් එක වසරට යන්න වුණා නම්, ඒ වැඩ කරන්න වුණා නම් ඇත්තමයි සිඳු ඉස්කෝලෙ පැත්තකින් තියලා ගෙදර නවතිනවා.


ඒ ඉස්කෝලෙදිත් අප්පච්චිට ඉස්කෝලෙ ඇරෙනකම් සිඳුට ඉන්න වුණා ගෙදර එන්න. අම්මලාට ඉස්කෝලෙ ඇරෙනකම් හිටිය ලක්මාලියි, චරිතුයු, ප්‍රභාතුයි එක්ක සිඳු සෙල්ලම් කර කර හිටියා අප්පච්චි එනකම්. 


දවසක් එයාලා එක්ක බංකුවක් උඩ හරහට තව බංකුවක් දාලා සීසෝ පදින්න ගිහින් වැටිලා වුණ තුවාලයක කැලලක් තවමත් තියනවා සිඳුගෙ මූණෙ. 


ඔහොම කාලය ගත වුණා. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ අප්පච්චි විදුහල්පති කෙනෙක් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා.  ඉන් පස්සෙ සිඳු දඟලපු දැඟලිල්ල බලන්න කවුරුත් හිටියෙ නෑ. 


ඒ කාලේ හරියට නිකම් paradise gained වගේ වුණා සිඳු ට. ඉන්ටවල් එකට කලින් ,ගේන කැම ඉවර කරන සිඳු ඇතුළු යාළුවො, ඉන්ටවල් එකට බෙල් එක ගහපු ගමන්ම දුවලා එහා පැත්තෙ පල්ලිය වත්තට යනවා සෙල්ලම් කරන්න. ඉන්ටවල් එක ඉවර වුණාමත් පන්තියට එන්න ඕනා කියලා ලොකු උවමනාවක් තිබුණෙ නෑ පන්තියෙ කාටවත්. අන්තිමට කට්ටියම ආපහු පන්තියට එන්නෙ, පන්ති කාමරයෙ කවුරුත් නෑ කියලා දකින පන්ති බාර මිස් කෝ‍ටුවකුත් අරන් පල්ලිය වත්තට එනකොට. 


ඔහොම හිටය සිඳුට paradise lost  වුණේ ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න වුණාට පස්සෙ. ඒ වෙනකොට සිඳු හිටියෙ 5 වසරෙ. ජීවිතේ මුල්ම වතාවට තමන්ගෙ වයසෙ ළමයි ඉන්න පන්තියකට යන්න සිඳුට පුළුවන් වුණා ඒ වතාවෙ නම්. ඒ අලුත් ඉස්කෝලෙ 4 වසරට යන්න වුණ එක. ඒ වෙනකොට සිඳු ගෙ හොඳම යාලුවා වෙලා හිටිය දිලිනි එදා හොඳටම ඇඬුවා. සිඳුත් ඇඬුවා. 


ඒත් ඊට අවුරුද්දකට විතර පස්සෙ දිලිනි ශිෂ්‍යත්වෙ පාස් වෙලා සිඳුගෙ අලුත් ඉස්කෝලෙටම ආව. ඒ ආවෙ 6 වසරට. ඒත් ඒ වෙනකොට සිඳු හිටියෙ 5 වසරෙ.

Tuesday, May 15, 2012

හඹා යාම - 05


හඹා යාම - 01




දෙනෙත් විඩා බරය. සිතද විඩා බරය. ඒ ඇය දැකීමෙන් ඇති වූ කම්පණය තවමත් සිතෙන් පහව නොගිය බවට සලකුණුය.


ඉස්තෝප්පුවට වී අම්මා පෙර මග බලා සිටින්නීය. 
"ටිකක් පරක්කු වුණා අම්මා" 
මගේ අතෙහි වූ ෆයිල් කවරයත්, ලැප්ටොප් බෑගයත් ඇය අතට ගනියි. 
"මම ගන්නම් අම්මා"
තවමත් අම්මාගෙන් වදනක් හෝ නැත. මා ප්‍රමාද වීම පිළිබඳව ඇය අසතුටෙන්ද? නිවසට පැමිණි වහා බැණ වැදීම ඇගේ පුරුද්ද නොවේ. මම ඇය දෙස බලමි. මුහුණ දුක් බරය. දෙනෙත් වසා තුනී කඳුලු පටලයක් ‍රැඳී පවතියි. මසිත දුකින් බර වේ.
"අනේ ඇයි අම්මා?"
"ඇයි පුතා ෆෝන් එක ආන්සර් කළේ නැත්තෙ? මම කී සැරයක් කෝල් කළාද. වෙනදාට වඩා අද කොච්චර පරක්කුද බලන්න." ඇය තරහින් නම් නොවේ. මම ජංගම දුරකතනය ගෙන බලමි. 


23 missed calls. 
Amma 21 
damgetaya 2
පසන් කතා කර ඇත්තේ ඔහු නිවසට ගිය පසුව වන්නට ඇත. 


අම්මා පිළිබඳව මසිත ඉමහත් දුකකින් පිරී යයි. අඩුම තරමේ ඇමතුමක් දී මා නිවසට පැමිණීමට ප්‍රමාද වන බව දැන්වීමට හෝ මට තිබිණි. ඇය මට බැණ වදිනවා නම් හිත හදාගන්නට තිබිණි. එහෙත් එසේ වන්නේ කලාතුරකිනි.අප දෙදෙනාට සිටින්නේ අප දෙදෙනා පමණි. මා ඇගේ ජීවිතයයි. 


"අනේ ෆෝන් එක සයිලන්ට් දාලා තිබිලා අම්මා." ඊට වඩා මම කුමක් පවසන්නද.


"අසනීපෙන් ද පුතා? මූණ වෙනස් වෙලා" මගේ වෙනසක් ඈට පෙනෙනවාද. 


"මහන්සි නිසා වෙන්න ඇති අම්මා. නාගෙන එන්නම් මම. එතකොට හරි යයි"


"මේ හවස් වෙලා ඇල් වතුරෙන් නාන්න එපා. මම වතුර උණු කරනකම් ඔහොම ඉන්න"


ඇඳ සිටි ඇඳුම පිටින්ම මම ඇඳේ මුණින් තලා පෙරලෙමි. මටත් නොදැනීම මට නින්ද ගොස් ය. 
කිසිවෙකු මගේ හිස පිරිමදිනු මට දැනේ. දෙනෙත් හැරීමට අවශ්‍ය නැත. ඒ අම්මාගේ උණුසුමය. 
"අසනීපයක් නෑ නේද පුතා?"
"නෑ අම්මා." දෑස් නොහැරම මම පිළිතුරු දෙමි.
එහෙත් යම්කිසි අසාමාන්‍ය අවිනිශ්චිත ස්වභාවයක් නම් සිතෙහි පවතින බව දැනේ. නමක් ගමක් නොදන්නා සිනහවක් හා කටහඬක් තවමත් සිතේ හොල්මන් කරයි.
"දැන් නාන්න කම්මැලියි අම්මා."
"දැන් ‍රැ වෙලා කොහෙ නාන්නද, ඔයා පැය 3ක් විතර නිදාගත්තානෙ. ඇඟවත් හෝදාගෙන එන්න ගිහින්"


මම නිදිබරවම ඇ‍ඳෙන් බසිමි.


*******************************************


සිතේ ඇති ප්‍රබෝධමත් නොවූ ස්වභාවයෙන් දින කිහිපයක් ගෙවී යයි. සැලසුමක් නැති ජීවිත්යේ අවිනිශ්චිත බවින් සිත වෙලාගෙන ඇත. පශ්චාත් උපාධියේ නිබන්ධන සටහන් මේසය මත ගොඩ ගැසී ඇත.ලැප්ටොප් එක විවෘත නොකළ දෙවන දිනත් ගෙවී යයි. 
සිතේ ඇති මේ කුසීත ස්වභාවය අම්මාට වැටහෙනවා සේය. මා ආශා ආහාර වර්ග ආදිය සාදාදෙමින් ඇය මා යථා තත්වයට ගැනීමට උත්සාහ දරයි. සියල්ල ඈ සමග පවසා සිත නිදහස් කර ගැනීමටද මට සිතේ. එහෙත් පවසන්නේ කුමක්ද කියා එතරම් අදහසක්ද මා හට නැත. 




මම මිදුලට බසිමි. කිසිදිනෙක නොවූ ලෙස මෝටර් රථයේ ධූවිලි බැඳී ඇත. එහි වීදුරු ඇස් මා දෙස විමතියෙන් බලා සිටිනවා බඳුය. 


"This was just meant to be......you re coming back  to me...... coz this is pure love , coz this is pure love" දුරකථනය ගායනා කරණු ඇසේ.  ඒ පසන් ය.
"හලෝ මචං"
"උඹ කොහෙද ඉන්නෙ?"
"ගෙදර මචන්, ඇයි?"
"මට උඹේ මැඩගස්කර් දොස්තර නෝනාව හම්බුනා"
සිතේ උදාසීන බව ක්ෂණිකව පහවී ගොස් සිතට නව පණක් ලැබේ.
"මොකක්? කොහෙද?"
"දැන් විනාඩි 10කට විතර කලින්, මම ඔ‍ෆිස් ඉඳන් එනකොට බස් එකට හිටියා. ඉතින් මම කතා කළා"
"බොරු කියන්න එපා බන්"
"බොරු නෙමේ. ගෙදර යනවා කිවුවා, හැමදාම යන්නෙ මේ වෙලාවට කියලත් කිවුවා"
මම වෙලාව බලමි. 
5.15pm
"තව මොනවද කිවුවෙ? මම ගැන ඇහුවෙ නැද්ද?" මමත් නොදැනීම  මගේ මුවින් පිට වේ.


"නැ බන්.... එච්චර කතා කරන්න හම්බුනේ නෑ. බස් එකක් ඇවිල්ලා එයා ගියා"


ඇයට මා අමතකය. මම නිහඬ වෙමි. 
පසන් අනෙක් අන්තයේ සිට සිනහ වේ.
"උඹව කලන්තේ දාලා වැ‍ටුණාද සද්ද නැති වුණේ? ඇහුවා ඇහුවා. දැන් යාළුවාට හොඳද ඇහුවා"
මගෙ මුහුණම සිනහවෙන් පිරෙනු මට දැනේ.


 ***************************
ඇය නිවසට යන වෙලා ගොස් ඇය හමුවීමටද සිතේ. නමුත් කුමක් අරභයාද. ගොස් ඇයට කුමක් පවසන්නද. පසන් හමුවීමට යන්නට නම් නම් පුළුවන. එහෙත් මේ දින කිහිපයේ තරමක වැඩ අධිකය. 


*******************


මම සිවිලිමේ කැරකෙන විදුලු පංකාව දෙස බලා සිටිමි. හිසද භ්‍රමණය වන ලෙසක් මට දැනේ. මම නැගී සිට ඇ‍ඳෙන් බිමට බසිමි. සාලයේ තවමත් කතා බහ ඇසේ. අම්මා හා ඇගේ මිතුරිය නාමලී ඇන්ටි ගේ කතාව තවමත් අවසන්ව නැත. 
හවස තේ එකද මට නොලැබෙන සේය. මම සාලය දෙසට යමි.


"තවම ඉවර නැද්ද පොළ?" අම්මා මා දෙස රවා බලයි. 
"නෑ අම්මෙ මම ඇහුවෙ හන්දියෙ පොල ඉවර නැද්ද කියලා. ඉවර නැත්නම් ගිහින් අම්මට උයන්න එළවළු මොනා හරි ගෙනත් දෙන්න මම කල්පනා කළේ. "


"වෙන්දාටත් පොළට යන්නෙ ඔයාද?"


මම අම්මා අසලින් අසුන් ගනිමි.


"මෙයාව මෙහෙම හුරතල් කර කර ඉඳලා හරියන්නෙ නෑ හැමදාම. කාව හරි හොයලා බන්දලා දෙන්න" එවර නාමලි ඇන්ටිගේ පාණ්ඩිත්‍ය මතුවේ. ඇයට මා අරභයා ඇත්තේ එවැනි මාතෘකාමය.


"ඒක තම ඇන්ටි මමත් මේ අම්මාට කියන්නෙ හැමදාම. කෝ කොච්චර කිවුවත් අපේ අම්මගෙ උනන්දුවක් නෑනෙ." අම්මා සිනාසෙයි. නාමලි ඇන්ටි ඒ පිළිබඳව වැඩිදුර කතාව නවත්තයි. ඇය යාමට සූදානම් වේ. 


"පුතා අපි ඇන්ටිව ගෙදරට ගිහින් දාමුද?"
අම්මාගෙන් යෝජනවකි


"අනේ මගෙ විවෙකී සන්ධ්‍යාව" කීමට මට සිතේ. මහබාගේ , කඳාන, ජාඇල , සීදුව හා ක‍ටුනායකද පසු කරමින් මීගමුවට යාමට මට සිදු වන ලකුණු දුග හැරේ.  
** ජාඇල **? මගේ මතකයේ විදුලි රේඛාවක් ලෙළ දේ. මම ඔරලෝසුව දෙස බලමි. 
3.55 pm
පසන් පැවසූ පරිදි ඇය පිටත් වන්නේ 5.00ටය. එසේ නම් මා හට පැයක් පමණ ඇත. එම කාලය ජා ඇලට යාමට ප්‍රමාණවත්ය. මාර්ග තදබදයක් නොපවතීවා මම පතමි.


"හරි අම්මෙ යමු." මම නැගී සිටිමි.


****************************************************


අවිනීත බස් රථ රියදුරෙක් මා ඉදිරියෙන් ගමන් කරයි. මම ඉවසා සිටිමි. ත්‍රී රෝද රථයක්ද වැරදි පැත්තෙන් මට ඉස්සර කරයි. කෑ ගසා බැණ වැදීමට මට සිතේ. පලක් නැත. ඔහු බොහෝ දුර ගොස්ය. මගේ සිත නොඉවසිලිමත්ය. ප්‍රමාද වේදැය සිතෙහි චකිතයකි.


"බලන්න අම්මා අර බූරුවා ත්‍රී වීලර් එක දාපු විදිය"


මම කෝපයෙන් පවසමි. අම්මා නිරුත්තරය. "බූරුවා" යන වදන ඇය කෝපයට පත් කළ සේය. එය නාමලි ඇන්ටි ඉදිරියේ පැවසීම ඇය කිසිලෙසකින්වත් අනුමත නොකරනු ඇත.
එහෙත් නාමලී ඇන්ටි ට නම් ඒ පිළිබඳව වගක්වත් නැත. "එහා ගෙදර නංගිගෙ පුතා"ගෙ මෝටර් සයිකලය හප්පන ලද ත්‍රී වීලර් කරුවකු පිළිබඳව ඇය කතාවක් පටන් ගනීයි.


වෛද්‍ය මධ්‍යස්ථානය පෙනෙන දුරින් මම කාරය නවත්තමි. 5.00ට විනාඩි 10ක් ඇත. 


"ඇයි පුතා?"


මම විනාඩි 10න් එන්නම් අම්ම අර කඩේට ගිහින්"


එය මෝටර් රථ අමතර කොටස් කඩයකි. ඒවා පිළිබඳව අම්මා නොදනියි. "මොනාද ගත්තෙ, මොනාද බැලුවෙ " කියා ඉතින් ඇය නාසනු ඇත. එසේ හෙයින් ඇයට බොරු කියන්නටද මට සිදුවන්නේ නැත.


මගේ දෙනෙත් ඇත්තේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දොර‍ටුව දෙසටය. ඔරලෝසුවේ පැය කට්ට 5 ඉලක්කම ලඟ නැවතී ඇත. විනාඩි කට්ට 12 පසු කරගෙන ඇදේ. 
සිත අපේක්ෂාවෙන් ගැහෙයි. 




මම මගේ උපැස් යුවල හොඳින් සකසා ගනිමි. ඒ දෘශ්ටි මායාවක්ද? නැත ඒ ඇයයි. 
ඇය පාර හරහා මාරු වේ. 
කඩයේ තරුණයා මම ඉල්ලූ විදුලි බල්බය ගෙන කවුන්ටරය අසලට පැමිණේ.
මම ගොස්  මෝටර් රථයට නගිමි.