Thursday, June 28, 2012

හඹා යාම 08

හඹා යාම - කලින් කොටස්





      දින දෙකකට පේරාතුව රාත්‍රියේ ඇසුණ ඇමතුම මාරු කිරීමේ සංගීත නාදය නැවතත් මට ඇසේ. මගේම හද ගැස්මද ඇසේ. එහෙත් ඒ එදා මෙන් චකිතයක් නොවේ. බලාපොරොත්තුවෙනි. අම්මාගේ රෝගී තත්වය පිළිබඳව ඇයට සැල කර සිතට හෝ පිළිසරණක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.


"හෙලෝ.. " ඇගේ ගීතවත් හඬ මට ඇසේ. මම අපහසුවෙන් වදන් ගොනුකර ගනිමි.


"ඩොක්ට මම දසුන්. මතකයි නේද?" තත්පර කිහිපයක නිහැඬියාවකි. ඈ හට මා අමතක වීමට නම් ඉඩක් නැත.


"ආ Mr දසුන්, කොහොමද?" ඇගේ වචන වල මහා දුරස්ථ බවක් මට දැනේ. රෝගියෙකුවත් ළඟ සිටිනවාද? නැති නම් ඇය මේ තරම් රාජකාරිමය බවක් ආරූඪ කර ගැනීමේ අරුත කුමක්ද.


"මම හොඳින් ඩොක්ටර්. මේ වෙලාවෙ කරදර කරනවට sorry."


"නෑ නෑ කමක් නෑ කියන්න" ඇගේ හඬෙහි නො ඉවසිලිමත් බවකි.


"ඩොක්ට අපේ අම්මට ටිකක් සනීප නෑ. මට කෝල් කළා. දැන් යන ගමන් මම ගෙදර. කළන්තෙ වගේ කිවුවා. කැරකිල්ල තියනවලු. මොකක් වෙන්න පුළුවන්ද? ප්‍රෙශර් වැඩි වෙලාද?"


"අම්මව බලන්නෙ නැතුව හේතුව කියන්න අමාරුයි Mr දසුන්. මෙහෙ එක්කන් එන්න පුළුවන්ද ඔයාට දැන්?"


"දුර වැඩියි ඩොක්ට. මම ගෙදර ගිහින් ආයෙ එනකොට තව පැයක් හමාරක්වත් යයි"


"එහෙනම් අම්මව ළඟ ඉන්න ඩොක්ට කෙනෙක් ළඟට පෙන්නන්න පුළුවන්ද? මොකද කියල කියන්න බෑනෙ නේද? බය වෙන්න එපා ලොකු අසනීපයක් නෙමේ වෙන්න ඇති. කෝකටත් ECG එකක් අරගෙන බ්ලඩ් ෂුගර් ත් චෙක් කරගන්න"


"මම එහෙම කරන්නම්, තැන්ක් යූ ඩොක්ට"


"ඔයා කලබල වෙන්න එපා,එතකොට අම්මත් බය වෙයි." 
ඇගේ ඒ උපදෙස මා හට මහමෙරක් සේ අගනේය.එහෙත් අද ඈ මා ඇමතූයේ තරමක ආඩම්බර ස්වරයකින් බවද මට සිතේ. මේ මොහොතේ හදිසියේම pride and prejudice හි එලිසබෙත් බෙනට්ව මා හට සිහිවන්නේ ඇයිදැයි මට නොදැනේ.




***************************************************************


ප්‍රෙෂර් නෝමල්. තරුණ වෛද්‍යවරයා පවසයි.ඔහුගේ ස්වරය එතරම් සුහද නැත.  රෝගීන් හමුවේදී ආදිත්‍යාගේ කරුණාබරිත ස්වරය මට සිහිවේ.

 "අපි ඊ සී ජී එකකුත් අරන් බලමු" 
එහිද අසාමාන්‍යතාවක් නැත.


"ඩොක්ට අම්මට දියවැඩියාව තියව. සීනි වැඩි වෙලා මෙහෙම වෙන්න පුළුවන්ද?"


"සීනි අඩු වෙලා වෙන්නත් පුළුවන්. අපි බලමු" ඔහු හෙදියකට සන් කරයි.


ග්ලූකෝමීටරයේ සටහන් වන අංකය දැක ගැනීමට සිත නො ඉවසිලිමත් වේ.


72


"සීනි අඩු වෙලානෙ" වෛද්‍යවරයා පවසයි. අම්මා මගේ මුහුණ දෙස බලන්නේ අසරණ විලාසයෙනි.


"බේත් බීලා කෑවෙ නැද්ද?"


අම්මා පිළිතුරු නොදී තරමක් ලත වේ.


"අම්මා කෑවෙ නැද්ද?" මම දැඩිව විමසමි.


"අද උදේ 10ට විතර තේ එකක් බිවුවා. උදේ කන්න බැරි වුණා. දවල්ට කෑවෙ නෑ තවම."


මගේ මුවින් වදනක් හෝ පිටවන්නට පළමුව වෛද්‍යවරයා ඉස්සර වේ. 


"එහෙමද දොස්තර කියල තියෙන්නෙ? තවත් සීනි අඩු වුණා නම් කෝමා වෙලා, මැරෙනව. කැමතිද එහෙම වෙනවට?"


වෙනත් අවස්ථාවක කිසිවෙකු මා ඉදිරියේ මෙසේ අම්මා හට  පැවසුවා නම් ඔහුගේ දත් ටික සෙවීමටවත් නොහැකිවනු ඇත. එහෙත් මේ අවස්ථාවේදී ඔහු සමග කෝප විය යුතු නැත. වගකීම් රහිත බව අම්මා කෙරෙන් පළවා හැරීමට හොඳම අවස්ථාව මෙය වේ.


*************************************************
අම්මා පැකට්‍ටුවේ ඇති ග්ලූකෝස්  හිමින් හිමින් අනුභව කරයි. මම මුවින් නොබැන වාහනය පදවමි.


loneliness has always been a friend of mine... Im leaving my life ..


නුපුරුදු දුරකතන අංකයක් තිරයේ දිස්වේ. රාජකාරී කටයුත්තක්ද?
"හෙලෝ" hands free එක කනෙහි රඳවා ගනිමින් මම පිළතුරු දෙමි.
ඇමතුම සම්බන්ධ වේ. එහෙත් කිසිවෙකුගේ කට හඬක් නම් නෑසේ.


"හෙලෝ" මම නැවතත් කතා කරමි.


"හෙලෝ මිස්ටර් දසුන්"
දෙවියනේ එය සුපුරුදු හඬකි. වාහනයේ වේගය ඉබේම බාල වේ.


"ඔව් දසුන් තමයි. කවුද මේ"? කිසිදු සැකයක් නැතත් මට ඉබේම කියැවේ.


"මම ඩොක්ටර් ආදිත්‍යා"


"ඩොක්ටර් ! " මම වාහනය පාරේ පසෙකට කර නවතමි. චංචල සිතකින් වාහන ධාවනය නුවණට හුරු නැත. අම්මා දුරකතන ඇමතුම පිළිබඳව විමසිලිමත් වන බව පෙනේ.


"කොහොමද?"


"අම්මට කොහොමද දැන් දසුන් අයියෙ? ඒක අහන්න කතා කළේ මම"


*දසුන් අයියෙ !!* මගෙ සිතෙහි රාව ප්‍රතිරාව නැංවේ. එහෙත් ඒ බවක් පෙන්වීම නුසුදුසුය.


"දැන් හොඳයි ඩොක්ටර්. ඔයා කිවුවා වගේ ඇඟේ සීනි අඩු වෙලා තිබුණෙ..........."


"ආනේ ඇත්තද?"


"ඔව් මෙයා පණ්ඩිත කමට උදේ බේත් බීලා උදේට කාලා නෑ, දවල්ට කාලාත් නෑ. ඉතින් සීනි 72 ට බැහැලා."


"ඉතින්?"


"මේ ඉන්නෙ දැන් ග්ලූකෝස් කකා......"
මගේ ස්වරයට ඇයට සිනහ නැගේ. අම්මා මා දෙස රවමින් බලයි.


"එහෙනම් මම තියන්නම්. ඒ ගැන අහන්නයි කතා කළේ"


"තැන්ක්යූ ඩොක්ටර්. මම පස්සෙ කෝල් එකක් දෙන්නම් මේ නම්බර් එකට. දැන් ඩ්‍රයිව් කරන ගමන්"


"හරි දසුන් අයියෙ. ඇන්ටිව මතක් කළා කියන්න. බුදු සරණයි" ඇය ඇමතුම විසන්ධි කරයි.
ඇගේ අවසන් වාක්‍යය මට ගෙන දුන්නේ මහත් විස්මයක්. අම්මා හැරුණ විට වෙනත් කිසිවෙකුගේ මුවින් මා වෙනුවෙන් නොනැගුණ ඒ වදන් දෙකෙන් ඈගේ කරුණාවන්ත සුහද බව පිළිබඳව තවත් මසිත පැහැදීමට පත් වේ.නැත. ඇය එලිසබෙත් බෙනට් ට වඩා බොහෝ වෙනස්ය. කලින් අවස්ථාවේදී නිසැකවම ඈ අසල රෝගියෙකු සිටින්නට ඇත. නැතහොත් මෙවන් වූ යුවතියක් එසේ ආඩම්බර ස්වරයකින් කෙසේවත් කතා නොකරනු ඇත.


"බේත් ගත්තු ඩොක්ටර්ද පුතා?" අම්මා නම් වෙලාවකට ටියුබ් ලයිට් සංකීර්ණයකි.


"මොන බේත් ගත්තු ඩොක්ටර්ද, ලෙඩා ගියාටත් පස්සෙ කොහොමද කියල කෝල් කර කර අහන්න ඇයි එයාගෙ අවුට් ගොයින් ‍ෆ්‍රී ද. අනික, මම එයාට මගෙ නම්බර් එක එහෙම දෙනවා එහෙම අම්මා දැක්කද?"


"කියන්න බෑනෙ. විසිටින් කාඩ් එකවත් දුන්නද දන්නෙ නෑනෙ"


මගේ මුහුණට ලේ පිරෙනු මට දැනේ. මම පිළිතුරු නොදෙමි.බේරෙ වැව වාං දමනවා බඳු මගේ කටට හොඳ පාඩමකි. අම්මා එසේ පැවසූයේ මා එදින ආදිත්‍යාට විසිටින් කාඩ් පත ලබා දුන් නිසා බව සිතා ගැනීමට මට අමුතු නුවණක් අවශ්‍ය නොවේ. මම අම්මා දෙස නොබලාම වාහනය පණ ගන්වමි.


"එහෙනම් කවුද දැන් කතා කළ ඩොක්ටර්?" අම්මා අසන්නේ උපහාසය මුසු හඬකිනි. බොරුවක් කීමට දිව නොනැමේ.ඒ පව් කිරීමට ඇති බිය නිසාම නොව අම්මාගේ සහජ ඉවෙන් මා පවසන්නේ මුසාවක් බව වටහාගනිතැයි ඇති බිය නිසාය. මා කර මුලින්ම අසු වී ඇත.


"ආදිත්‍යා"
මම හැකි පමණ තැම්පත් ස්වරයකින් පවසමි.


"ඒ ටිකට ඒකත් කිවුවද?"


"අම්මාට සනීප නෑ කිවුව ගමන් මට මතක් වුණේ කාට හරි ඩොක්ට කෙනෙක්ට කතා කරන්න ඕනා කියලා. ඒ නිසයි එයාට කතා කළේ , මගෙ වෙන යාළුවො නෑනෙ ඩොක්ටර්ස්ලා" මම බිඳුනු හඬින් පවසමි.අම්මා නිහඬ වේ. ඒ මා පිළිබඳව කණගා‍ටුවක් ඇති වූ නිසා වන්නට ඇත.
කල දු‍ටු කල වල ඉහ ගැනීම සුදුසුය. නැතහොත් අම්මාට උපදෙස් දීමට වෙනත් අවස්ථා වල මා හට එතරම් අවකාශ නැත.


"අම්ම  දන්නවද. ඒ වෙලාවෙ මම කොයි තරම් අසරණ වුණාද කියල. අම්මට මොනවහරි වුණොත් මම මොකද කරන්නෙ. මට කවුද ඉන්නෙ, මම මේ ලෝකෙ තනි වෙනව කියල තේරෙන්නෙ නැද්ද. ...." හැකි පමණ අවිහිංසක ස්වරයෙන් මම පවසමි. "අනිත් දවසෙ බේත් බොන එක වගේම කන එකත් පිළිවෙලට කරන්න"


අම්මා නිහඬය. ඇගේ නෙතෙහි කඳුලක සේයාවක් තිබෙනු මම දකිමි.


**********************************************


වේලාව ප.ව. 4ට ආසන්නය. නැවත සේවා ස්ථානයට යාමට වේලාවක් නැත. කාරය ගරාජයට දැමූ මම කාමරයට යමි. එහි වෙනසක් ඇත.
ඇ‍ඳෙහි අලුත් ඇඳ ඇතිරිලිය. මේසය මත වූ බඳුනේ අලුතින් දම් පැහැ crystal soil යෙදූ වීදුරු බඳුනක මල් පැළයක් දමා ඇත. මගේ සපත්තු පිළිවෙළට තබා ඇත. මම ඇඳුම් අල්මාරිය විවර කරමි. සියලුම ඇඳුම් අලුතින් නමා ඇත. කොටින්ම කිවහොත් මේ මගේ කාමරය බවට සලකුණක් හෝ නොමැත. අම්මා සියල්ල අස් කර පිරිසිදු කර ඇත. මසිත සොවින් බර වේ. ආහාර නොගෙන ඈ කර ඇත්තේ කුමක්දැයි මා හට දැන් පැහැදිලිය. මා හට මතක ඇති කාලයක සිටම මගේ කාමරය අස් කිරීමේ පටන් බොහෝ කටයුතු කරන්නේ අම්මාය. එහෙත් ඒ පිළිබඳව මේ වනතෙක් මා මෙතරම් සිතා නොතිබිණි.නමුත් අද මා හට මා කෙරෙහිම පශ්චත්තාපයක් දැනේ.


"පුතා, දවල්ට කැවා නේද? තේ එකක් හදන්නද?"
අම්මාගේ හඬට මම ආපසු හැරෙමි


"අම්ම ඉස්සරවෙලා කාලා ඉන්න පණ්ඩිත කම් නැතුව"මම දැඩි ස්වරයෙන් පවසමි.


"අම්ම , මම අනිත් ඩවසෙ කාමරේ අස් කරගන්නම්.අම්ම මහන්සි වෙනව වැඩියි දැන්."


"ආයෙ අමුතුවෙන් අස් කරන්න දේයක් එන්නෙ නෑ ඔයා මේක හැඩි නොකර තියනවනම්. මගෙ දණිස්ස උසට තිබුණා කොල කෑලි"


"අම්මා දන්නවනෙ මම කලාකාමී කොල්ලා කියල. ඒ මගෙ නිර්මාණ වල ඉතුරු කොටස්නෙ." මම අම්මාගේ කරවටා අතක් දමමි.හැකියාව කෙසේ වෙතත් නිතරම විවිධ කලාත්මක නිර්මාණ සෑදීමට, චිත්‍ර ඇඳීමට මම ප්‍රියතාවයක් දක්වමි. මගේ කාමරය අපිළිවෙල වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ එයයි


 "හරි හරි අම්ම බයවෙන්න එපා, මම ඉක්මනින්ම අම්මට ලේලි කෙනෙක් ගේන්නම් කාමරේ අස් කරගන්න......"


"ඔව් ඔව් මට පේනව ළඟදි ඉඳන් ඒකට තමයි ලෑස්ති වෙන්නෙ කියල."අම්මාගේ ස්වරයේ ඇත්තේ කෝපයක් නම් නොවේ. එහෙත් එවදන මා හට ගෙන දුන්නේ සැහැල්ලු බවක් නම් නොවේ.
එහෙත් මම සැහැල්ලුවෙන් හැසිරීමට වෙර දරමි.


"ඕකනෙ ඉතින් බැරි. මගෙම අම්ම මට කතා හදනවනෙ"
අම්මා සිනා සේ.


එහෙත් ඒ සිනහව මැකී ගොස් ඒ මුහුණට ඊලඟ මොහොතේ එක් වන්නේ බැරෑරුම් බවකි.
"පුතා, කවදාවත් හිතන්න එපා බඳින්නෙ වයිෆ් ට කියල ගෙදර වැඩ කරගන්න කියල. එහෙම හිතනව නම් නොබැඳ ඉන්න එක හොඳයි"


"ඔන්න ඔන්න ඉතින් අම්මා කාන්තා විමුක්ති සටන්කාමී චරිතයට බැස්සා. හරි හරි , මමම කාමරේ අස් කරගන්නම්.............. "


*********************************


loneliness has always been a friend of mine.....


නැවතත් දුරකතණය නාද වේ. ආදිත්‍යාද?
නැත ඒ පසන්ය.
ringing tones assign කළයුතු යැයි මා හට ජීවිතයේ ප්‍රථම වතාවට සිතේ.


"අඩෝ.. උඹ මටත් කොලේ වැහුවා නේ?"


මේ පිස්සා කුමක් පවසනේදැයි මා හට නොතේරේ.



"මොකද බං උඹේ අං දෙක ගැලවිලා වැ‍ටුනද කෑ ගහන්නෙ? ඒකට කෑ ගහන්න එපා බං සතු‍ටු වෙයන්."


"උඹට මෙච්චර උදවු කරපු මටවත් කිවුවෙ නෑ නේද?"


"මොකද්ද මම උඹට නොකිවුවෙ? ආ සොරි මචං. උඹට පිස්සු කියල උඹ දන්නව ඇති කියල හිතලයි මම උඹට ඒක නොකිවුවෙ..... ඉතින් කවුද ඒක අද උඹට කිවුවෙ? ක්‍රිෂාණි ද?"


"අඩෝ මේ මට පාටියක් ඕනා"


පසන්ගේ හතර බීරි කතා මට නොතේරේ.මේ ඔහුගේ ස්වභවයයි. හැකි තරම් වෙලාවක් වටේටම පහර දී අවසානයේදි ඉලක්කයට ඒම ඔහු හිතා මතාම කරන්නේ අනෙකා අපහසුතාවයට පත් කිරීමටයි.


"මචං, මම  කෝල් එක කට් කරන්නම්. උඹ ඔලුව කොහෙ හරි බිත්තියක දෙතුන් පාරක් හප්පගෙන සාමාන්‍ය තත්වෙට පත් වුණාම මට ආයෙ කතා කරපන්. මම එතකන් තේ එකක් බීලා එන්නම්"


"හෝව් හෝව්, ඔහොම ඉඳපන්, කට් කරන්න එපා"


"මොකද්ද කරත්ත කාරයෙක් වගේ හෝව් හෝව් කියන්නෙ?"


"වෙන මොකද උඹ හරකෙක් නිසානෙ. මේ දඟලන්නෙ නැතුව පොඩ්ඩක් අහපන්............
උඹේ දොස්තර නෝනාව හම්බුණා දැන් ටිකකට කලින්"


මගේ සිත ක්ෂණිකව ප්‍රබෝධමත් වේ. එහෙත් මම ගණනකට නොගෙන් පිළිතුරු දෙමි.
"ආ ඒකද මේ කියන්න දැඟලුවෙ?"


"sorry මචන්, මම හිතුවෙ උඹට ඒක වැදගත් කියල. උඹට වැඩක් නැත්නම් මම මොකටද දඟලන්නෙ, මම පස්සෙ කතා කරන්නම් උඹට."


ඒ නම් කලබල වීමට අවස්ථාවකි.


"පොඩ්ඩක් ඉඳපන්. මොනාද ආදිත්‍යා කිවුවෙ?"
පසන්ගේ උපහාසාත්මක සිනහව ඔහු අසලින් ගමන් ගත් වාහනයක නළා හඬින් මැකී යයි.


"වෙන මොනාද උඹ කෝල් කළා කිවුව"


"සිරාවටම උඹට ඒක කිවුවද බන්?"


"සිරාවටම තමයි. නැත්නම් මම කොහොමද දන්නෙ?"


"කොහොම මූඩ් එකකින්ද කිවුවෙ? මට චාටර් වගේද?"


"නෑ නෑ අම්මට සනීප නැති වුණා කිවුවා. පස්සෙ හොඳ වුණා කිවුව
දැන් ඇන්ටිට හොඳයි නේද ?"


"ඔව් ඔව් දැන් හොඳයි. තව මොනාද එයා කිවුවෙ?"


"වෙන මොකුත් කිවුවෙ නෑ....
මේ උඹ කොච්චර කල්ද ඔහොම මල් කඩන්න පටන් අරන් ෆෝන් එකෙන්?"


"කොච්චර කල්වත් නෑ ..... අදමයි කතා කළේ" මම ඔහුට සම්පූර්ණ විස්තරය පවසමි

Saturday, June 23, 2012

චුට්ටන්ගේ කතා


   
පිපෙන්න වෙර දරන පුංචි කුසුම් බඳු වූ කුඩා දරුවන් පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබට කිසි දිනෙක ඔවුන්ගේ බොලඳ අවිහිංසක බව සිතට දැනී තිබේද?


දිනකට පුංචි පැටවුන් කීප දෙනෙක් හෝ අඳුනගන්න ලැබෙන මා හට ඔවුන් එකිනෙකාගේ ඇති අපූර්වත්වය දැනෙන්නේ නිරන්තරයෙන්ම සිතට පහන් හැඟීමක් ගෙන දෙමින්. 


ඔවුන් එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. ඇතැමුන් පුංචි පූස් පැටවුන් වගේ දඟකාරයි. කොටි පැටවුන් වගේ කලහකාරීයි. ආක්‍රමණශීලියි. සමහර අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිණි බින්දු විසිරුවණ මල් වගේ. අඬන්න මූණ හදාගත්තු ගමන්.


දිනපතා හමුවන මෙවන් වූ දරුවන් පිළිබඳව සිදු වීමක් දෙකක් අකුරු කරන්නට සිතුනා, ඔවුන්ගේ සිත් තුළ ඇති අවිහිංසක, දූෂිත නොවූ බව පවසන්නම.


****************************************************
පවනිට වයස අවුරුදු 4යි. නැවතී සිටියේ පිළිකා රෝහලේ ළමා වාට්‍ටුවක. කාලයක් ලියුකේමියා තත්වයකින් පීඩා විඳි ඇය ඒ වන විට ප්‍රතිකාර වලට සම්පූර්ණයෙන්ම හොඳ ප්‍රතිචාර දක්වා තිබුණා. එවර වාට්‍ටුවේ නැවතී තිබුණේ උදරාබාධයක් හේතුවෙන්. ලියුකේමියාවට ප්‍රතිකාර කර සුව වූ පසුවත් ඔවුන් ව දැඩි ලෙස ප්‍රවේසම් කළයුතු වනවා. එම නිසා මෙම දරුවන් හට ඇති වන සුළු අසනීපයකදී වුවත් ඔවුන්ව එම වාට්‍ටුවටම ඇතුළත් කරනවා සියලුම පරීක්ෂණ සිදු කිරීමේ පහසුව උදෙසා.


වාට්‍ටුවේ දරුවන් කිහිප දෙනෙක්ම උණ තත්වයකින් පෙලුණා. පවනිගෙ අම්ම පවනිට ඇ‍ඳෙන් බහින්නවත් නොදුන්නෙ උදරාබාධය සුව වුණා පමණයි, උණත් වැළ‍ඳෙයි කියන බයටමයි. 


පවනිගෙ අම්ම වැරදි නෑ. ඒත් කිසිම දෙයක් නොතේරෙන පවනි හිටියෙ ඉඩ ලැබුණු හැටියෙම පැනලා දුවන්න බලාගෙන. වාට්‍ටුවෙ හිටිය අනික් දරුවන්ට සාපේක්ෂව ඇය නිරෝගීයි. ඉතින් දුවලා පැනලා ඉන්න ඉන්න හිතේන එක අහන්නත් දෙයක්ද. මේ නිසා ඇය අම්මාත් සමග දබර වුණ අවස්ථා අනන්තයි. 
ඇය දන්න සියලුම නපුරු වචන පාවිච්චි කළා අම්මාව පාලනය කරන්න.


බව්වා...... බව්වා......
පූසා.... පූසා.........


ඉන් අනතුරුව පරුෂ වචනයක්ද ඇය ඒ අගට එක් කළා. නැත්නම් අම්මව බය කරගන්න බැරි වෙයි.


සමණළයා..........සමණළයා.........සමණළයා



******************************************************


      සියුමි පිළිකා වාට්‍ටුවෙ සිටිය තවත් දැරියක්. ඇයත් ලියුකේමියාවෙන් පීඩා විඳිමින් අම්මාත් සමග වාට්‍ටුවේ නැවතී සිටියා. වාට්‍ටුවේ සිටි බොහෝ දෙනෙක් සාමාන්‍ය පවුල් වල දරුවන්. නමුත් සියුමිගෙත් ඇයගේ මවගේත් ඇඳුම් පැලඳුම් වලිනුත් බඩු භාණ්ඩ වලිනුත් ඔවුන් තරමක් දිළිඳු බව දිස් වුණා.


      ඒ වන විට සිදු කෙරෙමින් තිබූ ප්‍රතිකාර නිසා සියුමි හිටියේ තරමක අපහසුවෙන්. ඒ නිසාම අනෙක් දරුවන් කෙරෙන් පළ වූ කෙලිලොල් බව ඈ කෙරෙන් ප්‍රකට වුණේ නෑ. 


       නිතරම ඇඬූ කඳුලින් සිටි ඇගේ හැඬුම වැඩි වෙනවා දිවා ආහාරය වෙලාවට. කුඩා දරුවන්ට ආහාර දීම කොහොමත් අපහසු කටයුත්තක්. සියුමි සම්බන්ධව ඒ කරුණ ඉතා අපහසු බව අපට වැටහුණා. ආහාර ගන්නා වෙලාවට සියුමි සමගම අම්මාත් හඬා වැටෙන අවස්ථා තිබුණා. සියුමි දැඩි ලෙස බත් ප්‍රතික්ෂේප කළා.


"ඇයි බබා බත් කන්නෙ නැත්තෙ? " අන්තිමට අපට අහන්න සිද්ද වුණා.


"මෙයා කොස් ඉල්ලනව දුවේ" සියුමිගෙ අම්මා පැවසුවා.


"කොස්?"


"ඔව්, මෙයාට ගෙදරදි වැඩිපුරම දෙන්නෙ කොස්. බත් දුන්න්නෙ නෑ වැඩියෙ, ඒ නිසා දැනුත් කොස් ඉල්ලනව. මම කොහෙන් හොයන්නද මෙහෙ කොස්?"  


අම්මාගේ කඳුලු වැඩි වුණා. 
දිවා ආහාරයට කොස් පමණක් ආහාරයට ගන්නේ දිළිඳු කම නිසාද , නැතහොත් පුරුද්දක් නිසාදැයි එයි මා දන්නේ නැහැ. ඒත් මේ සිදුවීම මගෙ හිත බොහෝ සසල කළ සිදු වීමක්.
ගෙදරින් පැය 7ක 8ක දුරක ඇති මහරගම පිළිකා ආයතනයට සැමදාම කොස් ‍රැගෙන  ඒමට පියාට නොහැකි බව වටහා නොගත් ඇයගේ අහිංසක ඇස් වලින් දිගින් දිගටම කඳුලු එන්න ඇති.

******************************************************
ඒ අපේ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්‍ටුව. 


උදෑසනම මගේ සිත සසල කරන දසුනක්. යම්තම් බහ ‍තෝරන වියේ දරුවෙක්. මුහුණ ඉදිමිලා. Nephrotic Syndromeවකුගඩු වලට බලපාන රෝගී තත්වයක්) බැලූ බැල්මට මට පෙනුණා. 
ඒ එක්කම එයාගෙ ටී ෂර්ට් එකට මගෙ හිත ඇදිලා ගියා.


ග්ලෝරියා, ඇලෙක්ස්, ජුලියන්, සහ මාටි හිනා වේගන මා දිහා බලාගෙන ඉන්නවා. මැඩගස්කර් චිත්‍රපටයේ සියලු දසුන් මා ඉදිරියේ මැවී ගියා.


"අනේ ලස්සන ටී ෂර්ට් එකක්. කව්ද අරන් දුන්නෙ?"


ඔහු ලැජ්ජාවෙන් මුහුණ සඟවාගත්තා.


"කියන්නකො අනේ"


"ආච්චි" සුරතල් මොළකැටි හඬින් උත්තරයක් ඇහුණා හිමින්.


ඔහු සෙනෙර. 
       එතැන් පටන් ඇරඹුණ අපේ අපූරු යාළු කම දිනෙන් දිනම දලු ලා වැඩුනා. අසාමාන්‍ය ලෙස තිබූ පීඩනය නිසාම එපා වෙලා හිටිය ළමා වාට්‍ටුව මට ප්‍රිය තැනක් බවට පත් වුණා. 
විශ්වාස කරන්න, මම උවමනාවටත් වඩා වචන පාවිච්චි කිරීමත්, සෙනෙර ඒ වන විට දැන සිටියේ ඉතාම අඩු වචන ප්‍රමාණයක් වීමත් පුංචි බාධාවක්වත් වුණේ නෑ අපේ යාලු කමට.


       මගෙ වෙද නළාව සෙනෙර ට සෙල්ලම් බඩුවක් බවට පත් වෙද්දි දිනෙන් දිනම සෙනෙරගෙ තත්වය හොඳ අතට හැරුණා. කලින් ඉදිමුණ මුහුණින් හිටිය සෙනෙරගෙ සැබෑ ලස්සන මුහුණ මට දැක ගන්නට ලැබුණා. හැමදාම උදෑසන සෙනෙර එක්ක කතා කරලා තමයි මම දවසෙ වැඩ පටන් ගත්තෙ.


අපි ඒ වාට්‍ටුවෙන් යන දිනය එළඹුණා. කාර්ය මණ්ඩලයට අප විසින් දුන්න පුංචි සාදයෙන් පස්සෙ මා සෙනෙර සොයා ගියා.


"පැටියෝ, මම හෙට ඉඳන් මෙහෙ එන්නෙ නෑ." මම කිවුවා. 


නමුත් ඒ පිළිබඳව ඔහුට වැටහෙයි කියන බලාපොරොත්තුවකින් නොවේ. වඩාත්ම අවශ්‍ය වුණේ ඒ වන විට මා සමග බොහෝ හිතවත්ව සිටි සෙනෙරගේ ආච්චිට සමු දීමයි මගේ අරමුණ වුණේ.


ඒත් මම නොහිතුව විදියට පුංචි ඇස් දෙකට කඳුළු පිරුණා.
ඔහු මගෙ අතින් අල්ලා ගත්තෙ කවදාවත් යන්න දෙන්නෙ නෑ වගේ. හයක් හතරක් නොතේරෙන පුංචි දරුවාගෙ ඊළඟ වාක්‍යය මා පුදුමයට පත් කළා විතරක් නෙමේ, මගෙ ඇස් වලටත් කඳුලු ගෙනාවා.


"යන්න එපා. මම හෙට චුයින්ගම් අරන් දෙන්නම්" එක් වරම මා හට වැටහුනේ නැති ඒ වාක්‍යය මට තේරුම් කරලා දුන්නෙ ඔහුගෙ ආච්චි.


"ඔයාට කොහෙන්ද පැටියෝ සල්ලි?"


"කැටේ තියනවා"


මැඩගස්කර් ටී ෂර්ට් එක ඇඳන් හිටිය ඒ අහිංසක පුංචි දරුවා තවමත් මගෙ හිතට ගේන්නෙ පුදුමාකාර ලෙංගතු හැඟීමක්.

******************************************************
දඟකාර පෙනුමක් තියන පොඩි දරුවෙක් ඔසවාගෙන තාත්තයි අම්මයි දුවගෙන ආවා. පු‍ටුවෙන් බිමට පනින්න ගිහින් නිකට තුවාල වෙලා. මැහුම් දාන්න වෙනවා. සුපුරුදු විදියට ශේප් න්‍යාය පාවිච්චි කරමින් හිරි වට්ටවා මැසීමට මා සූදානම් වුණා.


"බබා ගෙ නම මොකද්ද?"


"ශේන්"


"බබා මොන්ටිසෝරි යනවද?"


"නෑ ඩේ කෙයා" 


"කවුද එහෙ යාළුවෝ?"


"විහඟි"


"ශා ලස්සන නමක්නෙ යාළුවාට තියෙන්නෙ.  ආනේ තුවාල වෙලා නේද පැටියො, ඉන්නකො අපි බේත් දාමු"


"මහන්නද යන්නෙ?" ඔහු වයසට වඩා පැහිලා. එකත් එකටම පෙර අත්දැකීම් ඇති.  පුංචි එකා ඒ තරම්ම දඟකාරයි කියලා මට හිතුණා.


"අපි බලමුකො" 
(නෑ නෑ මහන්නෙ නෑ කියලා පොඩි දරුවන්ට බොරු නොකියන්න මම කලින් පාඩමක් ඉගෙනගෙන තිබුණනෙ.)


ඕනම චණ්ඩියෙක් වුණත් තුවාල වලට බේත් දාද්දි නම් අහල ගම් 7ටම ඇහෙන්න බෙරිහන් දෙන එක පුරුද්දක්.
හිරිවට්ටා මහන අතරතුර ශේනුත් ඒ රටාවටම අවතීර්ණ වුණා. ඔහු කැගසා හඬන අතර තුර මට අතරින් පතර අපැහැදිලිව වාක්‍යකුත් ඇහුණා. හිතට පුදුමාකාර හැඟීමක් ආවෙ ඒ වාක්‍යය අහිංසක ඉල්ලීමක් බව වැටහුණු විටයි. 


"ඩොක්ටර්.... මාව වඩාගන්න මාව වඩාගන්න. මාව මහන්න එපා වඩා ගන්න"


මැහුම් කීපය දමා අවසන් වූ පසුව බෙහෙත් ලිවීමී කාරයය මා සිදු කළේ ඔහුව වඩාගෙන ගොස් මගේ මේසය මත තබා හිඳවීමෙන් පසුවයි.



******************************************************


මේ වගේ සිදුවීම් නම් අප්‍රමාණයි. ඉඩ ලැබුණ විටදී අකුරු කරන්නම්

Tuesday, June 19, 2012

අන්න පුතේ කෝච්චිය


       වෙලාව උදෑසන 6.30 ට පමණය. දෙනෙත් තුළ ‍රැඳුණු නිදිබර ස්වභාවය තවමත් පහවගොස් නැහැ.බසයේ ඉදිරිපස අසුනේ සිටින යුවලක් ඔවුනගේ දරුවා සුරතල් කරයි. බස් රථය මදකට නැවතේ. ඒ දුම්රිය හරස් මාර්ගයයි. 
         "අන්න පුතේ කෝච්චිය" පියා තම උකුලේ හුන් දරුවා ඔසවා දුම්රිය පෙන්වයි.පොඩි එකාගේ මුහුණින් ප්‍රකට වන්නේ මහත් වූ ප්‍රීතියක්. දෑස් දල්වා ඒ දෙස බලා සිටි ඔහු බස් රථය තුළ සිටම කෝච්චියට අත වනන්නේ දෙමවුපියන්ගේ මුවෙහි සතු‍ටු සිනා නංවමින්.


මගේ හිත පුංචි කාලයට දිව ගිහින් නැවතුණා.මටත් මේ වගේම කෝච්චිය පෙනුනෙ හරිම අපූර්ව දෙයක් විදියට. කෝච්චියක් කොහෙදි දැක්කත් ඒක නොපෙනී යන තුරුම අත වැනීම නංගිගෙයි මගෙයි පුරුද්දක් වෙලා තිබුණා. 
ඒකෙ යන අය අපිට ආපහු අත වනද්දි අපිට දැනුණෙ පුදුම සතුටක්.මිනිස්සු ගොඩාක් අරගෙන , රේල් පීලි උඩ හූ කියාගෙන යන මේ අමුතුම වාහනේ ගැන අපිට තිබුණෙ ලොකු කුතුහලයක් කිවුවොත් නිවැරදියි.


       ගමනක් යන වෙලාවට කෝච්චිය නිසා වාහනය නවත්තාගෙන ඉන්න සිද්ධවෙන එක ගැන නම් අම්මාවත් අප්පච්චිවත් කැමැත්තක් දැක්වුවෙ නැති බව නම් මට හොඳටම විශ්වාසයි.ඒත් මම හැමදාමත් රේල් පාර ලඟින් යන වෙලාවට ප්‍රාර්ථනා කළේ කෝච්චියක් දකින්න.




කෝච්චිය ගැන තිබුණ ආසාව වැඩි වුණේ අප්පච්චි නිසා. අප්පච්චි ඉස්කෝලෙ ගිහින් තිබුණෙ  කෝච්චියෙ. සමහර වෙලාවට (ඉස්සර කරන්ට් කපන කාලෙ ලාම්පු පත්තු කරගෙන ඉන්න ගමන් එහෙම) අප්පච්චි අපිට කියනවා කෝච්චියෙ ගිය හැටි යාළුවො එක්ක. 
මාදම්පෙ ස්ටේශන් එකෙන් නැගලා ලුණුවිලට එන අතර, මැදක තියන ස්ටේශන් එකකින් බැහැලා ඉතුරු ටික පයින් ආව හැටි හරිම විනෝද ඇති. 
රේල් පීල්ල උඩ සතයක් තියලා, කෝච්චිය ගියාට පස්සෙ ඒක තැලිලා තියන හැටි බැලුව විදිය, පීල්ල උඩ ඉඳිකට්ටක් තියලා තිබ්බාම ඒක පීල්ල ඇතුළට ගිලා බහින හැටි එහෙම අහගෙන ඉද්දි මගෙ හිතේ ආසාව වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ.


ඒ වුණත් කෝච්චියෙ යන්න තිබුණ ආසාව නම් ඉශ්ට කර ගන්න මට පුළුවන් වුණේ ඊට ගොඩාක් කාලෙකට පස්සෙ.එතකොට මට වයස අවුරුදු 7ක් විතර වෙන්න ඇති. එළියෙන් පේන ලස්සන ඇතුළෙ නෑ කියල මගෙ පුංචි හිතටත් එදා වැටහුනා.
අපේ ආශාව ඉශ්ට කරන්න අපි දෙන්නාව එදා කෝච්චියෙ එක්කන් ගියත් ටික වෙලාවකින්ම අම්මටයි අප්පච්චිටයි ඒ ගමන එපා වෙලා තිබුණා. වෙන දෙයක් නිසා නෙමේ, එදා හිටිය සෙනග නිසා. නංගිව වඩාගෙන හිටිය නිසා අම්මාට නම් සීට් එකක් ලැබුණා. ඒත් අප්පච්චියි මමයි ගොඩාක් වෙලා ගියෙ හිටගෙන.සෙනග ක්‍රමයෙන් අඩු වෙලා යද්දි මටත් ජනේලයක් අයිනෙ සීට් එකක් ලැබුණා. 


අපි ඉස්සරහට යද්දි රේල් පාර අයිනෙ තිබුණු ගස් අපිව පහු කරන් යනවා එක්කම, අහසෙ වලාකුලු අපි එක්කම ඉස්සරහට යන හැටි මටත් දකින්න ලැබුණා මුල්ම වතාවට දුම්රියෙ ගිය හැම ළමෙක්ටම වගේ.
(මේ ඉන්නෙ මම පොඩි කාලෙ. ඒ කාලෙ මගෙ මූණ රෝස පාටයි. කොන්ඩෙ රතු මිශ්‍ර රත්තරන් පාටයි. බලන්නකො කෙල්ලගෙ ලස්සන)


       දුම්රිය නැවතුම්  වලදි කෝච්චියට ගොඩ වුණා රට කජු, වඩේ විකුණන වෙළෙන්දො. ඒ සෙරම හරියට නාට්‍යයක කොටස් වගේ. කොහොම වුණත් මටයි නංගිටයි වුණේ නම් ඒ රට කජු සහ වඩේ දිහා බලාගෙන ගෙදරින් අරන් ගිය ජෑම් සහ බටර් තැවරුව පාන් කන්න විතරයි. 
"ඒවගෙ දූවිලි" අප්පච්චි කිවුවෙ එහෙමයි.


පුංචි කාලෙ ගිය මේ වගේ ගමන් දෙක තුනකින් පස්සෙ ආයෙ කෝච්චියෙ යන්න ලැබුණෙ උසස්පෙළ පන්ති යන්න ගත්තට පස්සෙ.
ඒ වෙනකොට කෝච්චිය TRAIN එක බවට පත් වෙලා තිබුණෙ. :P


උදේ පාන්දටම ස්ටේශන් එකෙන් දුම්රියට නගින්නෙ උදේම ගිහින් පන්ති වල පළවෙනි පේළිය අල්ලගන්න. පළවෙනි පේළිය අල්ලන එක ඒ දවස් වල පුරුද්දනෙ. 
පුංචි කාලෙ මාව පහු කරගෙන ගිය ගස්  එහෙමම තියෙද්දි ඒවා පහු කරගෙන කෝච්චියත් එක්ක ඉස්සරහට යන්න ඒ වෙනකොට අපිට පුළුවන් වෙලා තිබුණා.මුල් දවස් කීපයේ නම් කෝච්චියෙන් බැහැලා ගියාට පස්සෙත් සෑහෙන වෙලා යන කම් කෝච්චියෙ යනවා වගේ දැනුනා. ඒත් ටිකක් කල් ගත වෙද්දි ඒ සේරම පුරුදු වෙලා අපිත් කෝච්චියෙම කොටසක් වගේ දැනෙන්න ගත්තා.


හැමදාම අපිට යන්න නියමිත කෝච්චි පෙට්ටියක් තිබුණා. ඒකෙ තිබුණෙ අමුතුම ලෝකයක්, අමුතුම සමාජයක්. නාටක සිය ගණනක එකතුවක්. අපි ඒ නාටක වල නරඹන්නො. ( අපේ රඟපෑම් බලන්නත් ඒ නළුවන්ට නිළියන්ට පුළුවන් වෙන්න ඇති). 
        වයස 40 පැන්නත් , තවමත් කුරුලු ජෝඩු වගේ ආදරෙන් හිටිය අය අපි දැක්කා. නමුත් , ඒත් අර නාටක වලම ජවනිකා කියලා වැටහුණේ ටික කාලෙකින්. මොකද, ගොඩක් වෙලාවට නළුවා එක ස්ටේශමකිනුත්, නිළිය තව ස්ටේශන් එකකිනුත් නැගපු නිසා. ඒ හැරුණාම, කාන්තා සංගම්, වෘතීය සමිති, සංගීත කණ්ඩායම්, මේ ආදී බොහෝ දේ කෝච්චියේ නාට්‍යයට එකතු වෙලා තිබුණා.


මේ අතර ඇත්තටම ආදරය කරපු තරුණ යුවල් ද හිටියා. "ලස්සනම කපල් එක තේරීමේ" තරඟ අපි හැමදාම පැවැත්වුවා ඒ හැමෝටම රහසින්.ඒ තරඟ පිළිබඳව තරඟකරුවන් දැනුවත් වී සිටියෙ නැති නිසා , තමන් ජයග්‍රාහකයන් බව නොදැනම , ජයග්‍රාහකයන් දුම්රියෙන් බැහැලා ගියා. අපිත් ඒ බව ඔවුන්ට නොකියාම තවත් ස්ටේශමකින් බැස්සා.


"බූට් එක වැදුණු අයියා" කියලා අපි හඳුන්වපු එක් තරුණයෙක් අපේ අවධානයට ලක් වුණා විශේශයෙන්ම. අසාමාන්‍ය ලෙස නිශ්චල, නිහඬ කිසිදා සිනා නොවුණ ඒ තරුණයාට ඒ නම ලැබුණෙ ඉබේම. විස්තර කළ නොහැකි තරම් දුක්බර සේයවකට හිමිකම් කිවුව ඒ කඩවසම් තරුණයාගේ දෙනෙත් වල නොකියවුණ ලොකු කතාවක් තියනවා කියලා මට හිතුණ වාර අනන්තය. (මගෙ යාළුවන්ට ඒවා කියන්න ගියා නම් ඉතින්.......)


මගෙ හොඳම මිතුරියන් තිදෙන්නගෙන් එක් අයෙක් ඒ වන විට නේවාසිකාගාරයක නැවතී සිටියා. ඒ නේවාසිකාගාරයෙ ජංගම දුරකතන තහනම්. ඉතින් සතියක් ගානෙ ලිපි හුවමාරු කර ගැනීම අපි දෙන්නා විනෝදාංශයක් කර ගත්තෙ ඒ කාළෙ.බොහෝ වෙලාවට මම ඒ ලිපි ලිවුවෙ දුම්රිය මැදිරියේදි. (මොකද, මහගමසේකරයන්ට වගේ කවි ලියන්න පුළුවන් වුණේ නෑ මට මගේ පෝරිසාද යාළුවො එක්ක). ඒ ලිපි සියල්ලම තවමත් ඈ සමග සු‍රැකිව තිබෙනවා.




"අත් වැල් බැඳගෙන් රේල් පාර දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද" කියලා මම දවසක් ලිවුවා මිතුරියකගෙ සමරු පොතේ. හරිම සුන්දර මතකයක්. සමහර දවස් වල පන්ති ඇරිලා රේල් පාර දිගේ එද්දි දැනුණෙ පුදුමාකාර නිදහස් හැඟීමක්. 


        ඒකෙ තියන භයානක කම දැනුණෙ එකම එක දවසක් විතරයි. ඉස්සරහින් තිබුණෙ වංගුවක්. හිතුවෙ නැති විදියට ආව කෝච්චියෙ නළාව ඇහුණෙ එදා නම් මාරයාගෙ (මාරයියා නෙමේ) කට හඬ වගේ.කොහොම හරි අත්තෙන් අත්තට පැනපු වඳුරු පැටවු ටික වගේ එහාට මෙහාට පැනලා කෝච්චියට හැප්පෙන්නෙ නැතුව බේරුණේ අනූ නමයෙන්. 


       අපිට ඉස්සරහින් ගිය පිරිමි ළමයි ටික ඒ වෙනකොට රේල් පාර පැනලා තාර පාරට ගිහින් තිබුණා. කෝච්චිය එනවා දැකපු එයාලා නැවතිලා අපි දිහා බලන් හිටිය හැටි මතක් වෙනවා තවමත්, කරන්න දෙයක් හිතා ගන්න බෑ වගේ. ඒ කාලෙ හැමදාම මාත් එක්ක රණ්ඩු වුණ, දැන් නම් නැතුවම බැරි යාළුවෙක් මේ ළඟදි නම් මට ඒ ගැන කිවුවෙ "එදා අපි ඔයාලා මැරෙන හැටි බලන් හිටියා" කියලා.


"ඔයා මට කැමති නැත්නම් මම අර කෝච්චියට පනිනවා" කියලා එක්කෙනෙක් කිවුවෙ දුම්රිය හරස් පාර ගාව බස් එක නවත්තලා තියපු වෙලාවෙ බස් එකේදි. "අනේ ඉකමනට දුවලා ගිහින් පනින්න, කෝච්චිය යයි" ඒ තමයි උත්තරේ. එතනින් එහාට එයාගෙ ඉරණම නම් අහෝ දුකකි.මොකද හතර වටේම හිටිය අයට ඇහුණ නිසා

       ශ්‍රී ලංකා දුම්රිය සේව එක්ක බැඳුණ ඔන්න ඔය විදියෙ ජීවිතයක් එක කාලෙක මටත් තිබුණා. උසස්පෙල පන්ති ඉවර වෙනවාත් එක්කම ඒ ගමනට නැවතීමෙ තිත වැ‍ටුණා. ඉන් පස්සෙ මේ වෙනකම් කවදාවත් ගියෙ නෑ කෝච්චියෙ. 


ලංකාවෙ දුම්රිය සේවය ගැන හොඳ විස්තරයක් බලන්න මෙතනින්. -විකිපීඩියාවෙන්



මේ තියෙන්නෙ ලෝකෙ එකම දුම්රිය වතුරෙ යන. 
එහෙමද හිතෙන්නෙ එක පාරටම?? හොඳට බලන්න.........:D







Friday, June 15, 2012

තැලිසීමියාවේ අතුරු කතාවක් සහ දොඩම් ගෙඩි දෙකක්

වාට්‌ටුව පුරා ම රෝගී දරුවන් උතුරා ගොස්‌ තිබිණි. ඩෙංගු රෝගය දිවයින පුරා ම පැතිරී ගොස්‌ තිබූ අතර එක ඇඳක්‌ පුංචි පැටවුන් දෙදෙනකුට බැගින් බෙදා දී තිබිණි. තනි ව සිටියා නම් සිටියේ තරමක්‌ වැඩුණු දරුවන් පමණකි.


තරමක විඩාබර පැය කිහිපයකින් පසුව මා අසල වූ ඇඳකට හේත්තු වුණේ කකියන දෙපාවලට මඳ විවේකයක්‌ දෙන්නට ය. 


"හේත්තු වෙන්න එපා මගෙ ඇඳට......"


විධානාත්මක ස්‌වරයක්‌ නිකුත් විය. එයින් මා තරමක්‌ තිගැස්‌සුණ ද ඒ නිසැකව ම ළමා කටහඬකි. එසේ හෙයින් කිසිදු චකිතයකින් තොරව මා ආපසු හැරී බැලුවේ මඳ සිනහවකිනි. 


අවුරුදු 8ක්‌ පමණ වයසැති පිරිමි ළමයෙක්‌ නොපහන් බැල්මකින් මා දෙස බලා සිටියේ ය. 


"අනේ.......මේ මොකද තරහ ගිහින්?" මම මෘදුව විමසුවෙමි. 


"හේත්තු වෙන්න එපා කියලා නේ ද කිව්වෙ?..." ඔහුගේ ස්‌වරය දැඩි වන්නට දැඩි වන්නට මගේ සිනහව පුළුල් විය. 


"හරි හරි.......එහෙනම් ඔන්න මම ඈත් වුණා. මොකද ඔය තරම් තරහ ගන්නේ? ගෙදරින් ද ඇඳ අරන් ආවෙ?" 


විහිළු ස්‌වරයකින් මම පැවසුවෙමි. එහෙත් පිළිතුරක්‌ දෙනවා වෙනුවට සිදු වූයේ ඔහු ගේ මුහුණේ තරහ ස්‌වරූපය තවත් වැඩි වීම ය. 


ඇත්තට ම තරහ ගිහින් වගේ........ඒත් ඇයි? සිතට ඇතුළු වූයේ විශාල ගැටලුවකි. 


ඒ සමග ම ඔහු ගේ මුහුණෙහි වූ ස්‌වභාවය මට තවත් යමක්‌ සිහිපත් කළේ ය. ඉදිරියට නෙරා ගිය නළල හා සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිටතට නෙරා ගිය දෙකම්මුල්වලින් තැලසීමියා රෝග ලක්‌ෂණයක්‌ ඔහු ගෙන් පෙන්නුම් කළේ ය. 


ශ්‍රී ලංකාවේ පවතින බරපතල සෞඛ්‍ය ගැටලුවක්‌ වන තැලසීමියා රෝගයේ තවත් එක්‌ ගොදුරක්‌ ද මේ? 


එහෙත් වැඩිදුර සිතා බැලීමට පෙරාතුව අපේ කණ්‌ඩායමේ මිතුරියක්‌ මා හට හිසින් සන් කළා ය..


"ඇයි?..." අසමින් මම ඈ අසලට ගියෙමි.


"ඒ මගේ patient" ඇය පිළිතුරු දුන්නා ය. 


"ආ....එයා ඔයා ගෙ ද? මම නිකම් ඇඳට හේත්තු වුණා. මට බැන්න නෙ එයා ඒකට."


"ඒක තමයි මම කියන්න හැදුවෙ. යන්න එපා ළඟට ඔයාට මොනව අහගන්න වෙයි ද දන්නෙ නෑ. මමත් හොඳට අහගත්තා......"


"හොඳට අහගත්තා? ඒ මොනවද...?"


"නරක වචන කතා කරන්නෙ ඒ ළමයා. මට නම් කියන්න බෑ. අහන්න එපා මොනව ද ඒ වචන කියලා........"


එහෙත් එම "නරක වචන" මොනවා දැයි දැන ගැනීමට වඩා මට අවශ්‍ය වූයේ එම දරුවා ගේ රෝග ඉතිහාසය කුමක්‌ දැයි දැන ගැනීමට ය. 


"එයාට මොකද්ද තියන අසනීපෙ? ඇයි එහෙම නරක වචන කියන්නෙ? කොහොම ද ඒවා ඉගෙනගෙන තියෙන්නෙ?" 


"එයාට තැලසීමියා මේජර් (මහා තැලිසීමියාව)


ඇගේ පිළිතුර මා හට සතුටක්‌ මෙන්ම ශෝකයක්‌ ද ගෙන දීමට හේතු විය. 


සතුටට හේතුව නම් මගේ නිගමනය නිවැරැදි වීම ය. 


ශෝකයට හේතුව නම් තැලසීමියා රෝගී දරුවන් ගේ ඉරණම බොහෝ විට විසඳෙන අන්දම මා දැන සිටීම ය.


ඇටමිදුලුවල සිදු වන අසීමිත සෛල බෙදීම නිසා මේ රෝගීන් ගේ අස්‌ථි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වේ. ඉදිරියට නෙරා ගිය නළල හා දෙකම්මුල්වලට හේතුව වන්නේ මුහුණේ අස්‌ථිවල සිදු වන එම විශාල වීමයි. ඊට අමතරව ඔවුන් ගේ අක්‌මාව හා ප්ලීහාව ද අසාමාන්‍ය විශාල වීමක්‌ පෙන්වයි. ඊට හේතුව වන්නේ තැලසීමියා රෝගීන් තුළ සිදු වන අසීමිතව රුධිර සෛල විනාශ වීමේ ක්‍රියාවලියයි. 


තැලසීමියා රෝගීන් සඳහා සිදු කරන ප්‍රතිකර්ම අතර නිරන්තර රුධිර පාරවිලයනය ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනියි. එහෙත් ඉන් ඇති වන අහිතකර ප්‍රතිඵලයක්‌ වන්නේ රුධිරයේ ඇති යකඩ විශාල වශයෙන් දේහයේ අවයවවල තැන්පත් වී එම අවයවවල ක්‍රියාවන්ට බාධා කිරීම ය. තැලසීමියා රෝගී දරුවන් ගේ මරණය සිදු වීමට ප්‍රධානතම හේතුව වන්නේ මේ අයුරින් ඔවුන් ගේ හෘදයේ යකඩ තැන්පත් වී හෘදය අකර්මණ්‍ය තත්ත්වයට පත් වීම ය. එම නිසා මහා තැලිසීමියාව රෝගීහු අවුරුදු 20ක්‌ 30ක්‌ වැනි කෙටි කාලසීමාවක්‌ තුළ මිය යැමේ අවදානමකට ලක්‌ වෙති. 



(මහා තැලසීමියාවෙන් පෙළෙන ,නිසි ලෙස රුධිර පාරවිලනයට ලක් නොවූ දරුවෙක්)

"අනේ පවු තැලසීමියා ද? ඔයා එයා ගෙ history එක ගත්ත ද? පවුලෙ විස්‌තර එහෙම ගත්ත ද? 


ඒ වගේ නරක වචන පාවිච්චි කරන්න හේතුවක්‌ තියෙන්න ඕන නෙ. අනිත් එක අම්මයි තාත්තයි නෑදැයො ද කියල ඇහුව ද... තැලසීමියා මේජර් නිසා?


"එයා ඉන්නෙ ළමා නිවාසෙක" මිතුරිය ගේ පළමු වාක්‍යයෙන් ම මගේ සිත දුකින් පිරී ගියේ ය.


"තාත්තා නෑ. හිරේ ලු. අම්මත් වෙන කොහෙ ද වැඩ කරන්නෙ. ඒ අම්මත් පොඩි කාලෙ ඉඳලා තියෙන්නෙ ළමා නිවාසෙක"


"පවු නේ ඒ ළමයා. ඉතින් එයා ඉස්‌කෝලෙ යන්නෙ නැද්ද?"


"ඒක නේ ප්‍රශ්නේ. එයාට ඉස්‌කෝලයක්‌ නැති නිසා අපේ සර් (වාට්‌ටුවේ විශේෂඥ වෛද්‍යතුමා) ඉස්‌කෝලෙකට දාලා දීල. ඒත් මාසෙකට විතර පස්‌සෙ ඒ ඉස්‌කෝලෙන් මෙයාව අස්‌ කරලා නරක වචන කියනවා කියලා." 


නොමඟ ගිය දරුවකු නිවැරැදි මාවතකට ගන්නවා වෙනුවට ඔහු එම මාවතෙහි ම යැමට ඉඩ හරින මෙවන් පාසල් ලංකාවේ තිබෙනවා ද? අදහා ගැනීමට වත් නොහැකි ය. එම දරුවා සමග යළි කතා කිරීමට මා සිතෙහි දැඩි අවශ්‍යතාවක්‌ පැනනැඟුණ ද ඒ සඳහා මට ඉඩක්‌ නො වූයේ කාලය හරස්‌ වූ බැවිනි. 


*********************************************
එහෙත් පසු දින උදෑසන ම යළිත් මගේ මතකය අවදි විය. අලුතින් වාට්‌ටුවට පැමිණි දරුවන් සොයමින් යන මගේ නෙත ගැටුණේ තරමක්‌ පුදුම දනවන දසුනකි. 


වාට්‌ටුවේ කොනක වන බංකුවක මගේ මිතුරිය පුෂ්පා වාඩි වී සිටියා ය. ඇය අසල ම වාඩි වී සිටියේ නරක වචන පවසනවා යෑයි අනෙකුත් වෛද්‍ය සිසුන් අතර නමක්‌ දරා සිටි කුඩා දරුවා ය. ඉතා අහිංසක අයුරින් ඔහු පුෂ්පා සමග දොඩමලු වී සිටියේ ය. ඔවුන් ගේ සතුටු සාමීචියට බාධා කිරීමට මගේ සිත කෙසේ වත් ඉඩ දුන්නේ නැත.
*********************************************
එදිනද පෙරවරු 10 ට පමණ අපි සුපුරුදු පරිදි වාට්‍ටුවෙන් අතුරුදහන් වී ආපන ශාලාවෙන් මතු වීමු. 


"කොහොම ද ඔයා අර මල්ලිව fit කරගත්තෙ? මාව ඊයේ එළෙව්ව නෙ.........." තේ කෝප්පයක්‌ තොල ගාන අතරතුර ලද මඳ ඉසිඹුවක දී මම පුෂ්පා ගෙන් විමසුවෙමි.


"විශේෂ දෙයක්‌ කළේ නැහැ. මට හිතුණා එයා එච්චර වස කවුරුත් එයාව බලන්න එන්නෙ නැති නිසා කියලා. මම දැක්‌කා ඊයෙ අනිත් ළමයින්ව අම්මලා හුරතල් කරනවා, කවනවා එහෙම මෙයා බලාගෙන හිටිය විදිහ. ළමා නිවාසෙ දී මෙයා තනිය ම ලු බෙහෙත් බොන්නෙත් වෙලාව මතක තියාගෙන. මම අද එද්දී එයාට පොඩි දොඩම් ගෙඩි දෙකක්‌ ගෙනත් දුන්නා.......එච්චරයි."


මට සිතීමට යමක්‌ ඉතිරි කරමින් ඇය පැවසුවාය.


(විදුසරට ලියූ කතාවකි)



මේ වීඩියෝව බලන්න. 
බදුල්ල මහ රෝහලේ තැලිසීමියා ඒකකය මගින් සම්පාදනය කළ එකක්. 






Wednesday, June 13, 2012

හඹා යාම 07

හඹා යාම 01                             හඹා යාම 04
හඹා යාම 02                             හඹා යාම 05
හඹා යාම 03                             හඹා යාම 06



ඇගේ අතෙහි ලේන්සුවක් හෝ නොවුන සේය. ඒ සිනාසීමට මට අවස්ථාවයි.
"දැන් ඉතින් කට වටේ ගෑවුණ ඒවගෙ කූඹි වහයි"


ඇය සිනාසෙමින් මුව අවට ‍රැඳි අයිස්ක්‍රීම් ඇඟිලි තුඩු වලින් පිස දැමීමට තැත් කරයි. අසාරථක උත්සාහයකි. ඒ අතර අතෙහි ඇති අයිස් ක්‍රීම් එක දිය වෙමින් පහතට පෙරී එයි.


ඇයව ඒ තරමට දිගින් දිගට අපහසුතාවයට පත් කිරීම නුසුදුසු යැයි මා හට හැඟේ. අම්මාගෙ මුවෙහි සිනහවකි. නාමලී ඇන්ටි නම් ඇගේ පූර්ණ අවධානය තම අයිස් ක්‍රීම් එක වෙත යොමු කර ඇති සේය


මෝටර් රථයෙහි වූ ටිෂූ කිහිපයක් ගෙන මම ආදිත්‍යා වෙත දිගු කරමි. "මේකෙන් පිහදා ගන්න"


"නෑ නෑ කමක් නෑ...." ඈ තම ඇඟිලි තුඩු වලින් අත් බෑගයද පිස දමයි. 


"මම කිවුවෙ මගේ කාර් එකේ හලපුවා පිහන්න කියලා නෙමේ....."


නොමනාපය මුසු බැල්මකින් ඇය ටිෂූ කොළ අතට ගනියි. මට නැවතත් සිනහ යයි.


******************************************


ඈ මෝටර් රථයෙන් බැස ගිය පසුව මගේ සිත මහත් පාළුවකින් වෙලී යයි.ඈ මගේ නෙත ගැ‍ටුණු පළමු දිනයේදී ඈ බසයෙන් බැස වෛද්‍ය මධ්‍යස්ථානයට ගියාට පසුව මගේ සිතේ ඇති වූ පාළුව මෙන් සිය දහස් ගුණයක පාළුවකින් මගේ සිත වෙලී යයි. නැවතත් අර ගීතය මගේ සිතට නැගේ.


නිම් වලල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ 
නිහඬතාවය තුලින් මතුවී ඔබේ පා මුදු හඬ අසේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ

අම්මා නිහඬය. නාමලී ඇන්ටීද නිහඬය.


ඇය මෝටර් රථයෙන් බැස යන මොහොතේ මම ඈට මගේ විසිටින් කාඩ් පත දුනිමි.එය වරදක් ලෙස අම්මා සිතනවාද? නාමලී ඇන්ටී නම් එය වරදක් ලෙස සිතනු ඇති බව වටහා ගැනීමට  මට ඇගේ මුහුණ බැලීමටවත් අවශ්‍ය නැත. "දසුන් පුතා අද අපි ඉස්සරහම ගෑණු ළමෙක්ට එඩ්‍රස් එක දුන්නනෙ" ඇය නිවසට ගොස් තම දියණිය සමග පවසාවි. ඒ ඇගේ ස්වභාවයයි. ගතිගුණ වල විශේෂ නරකක් නැතත් අනුන්ගේ කුණු තමන්ගේ කර ගැනීමට ඈ තුළ ඇත්තේ විශාල කැමැත්තකි.


ගැහැණු ළමයින් ට විසිටින් කාඩ් පත්  දීම මගෙ පුරුද්දක් නොවූවත් ඈ හට එය දීම පිළිබඳව මගෙ සිතේ දෙගිඩියාවක් හෝ නොවීය.
"ඩොක්ට, කවුරුහරි ලෙඩෙක්ගෙ අසනීපෙ මොකද්ද කියල තේරෙන්නෙ නැත්නම් මට කෝල් එකක් දෙන්න...... දෙපාරක් හිතන්න එපා, ලැජ්ජා වෙන්නත් එපා" මම එයද විහිලුවට ගතිමි. 




ඈද සිනාමුසුව එය ගෙන අත් බෑගයේ වූ පොතක් ඇතුළේ දාගනු මම පැහැදිලිවම දිටිමි. අම්මාද ඒ අවස්ථාවේදී සිනාසුනාය. නමුත් දැන් ඇය කල්පනාකාරීය. අම්මා මේ දින වල මා හට මනමාලියන් සොයනා බවද මා හට සිහිපත් වේ. 
දැන් මගේ සිත අවුල් සහගත බවකින් පෙළේ. මා ඉක්මන් වූවා වැඩිද? එහෙත් ආදිත්‍යාගේ හැසිරීමෙන් මා වරදක් කළ බවක් මා හට වැටහුණේ නැත. ඒ වෛද්‍යවරුනගේ ස්වභාවයද? නිරන්තරයෙන් විවිධ සමාජතල වල සිටින පුද්ගලයන් හා ගැටීම නිසා ලද පන්නරය අනුවද ඈ මා සමග එසේ සුහදව ක්‍රියා කළේ... ?
එසේ නම් ඈ පිළිබඳව දිගින් දිගටම සිහින මැවීමෙන් මා හට පළක් තිබේද. 
මීට වඩා ඉවසිලිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. 


"වලක් දැක්කම ඒකට ජබොස් ගාල පනින්න කලින් හොයලා බලපන් ඒ වලේ ඉන්නෙ සමනල්ලුද, කිඹුල්ලුද කියලා" මගේ කලබල කාරී හදිසි තීරණ පිළිබඳව පසන් නිරතුරුවම එසේ පවසයි. 


***********************************************


මගේ විසිටින් කාඩ් පතෙහි ඇති අංකයට ඇය කුමන වේලවක හෝ ඇමතුමක් දේවි යැයි යන බලාපොරොත්තුව දිනෙන් දිනම දලු ලා වැඩේ. මටත් නොදැනීම උදෑසන අවදි වූ පසුවත් , රාත්‍රී නින්දට යාමට පෙරත්, ඒ අතර මැද කාල සීමාවේ සිය වතාවක් පමණත් ජංගම දුරකතණ තිරය දෙස බැලීම පුරුද්දක් බවට පත් වී ඇත.


මා හට ඇය ලබා දුන් බෙහෙත් ලයිස්තුවේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේ දුරකතණ අංකය සටහන්ව තිබුණි. එය මම මගේ දුරකතණයේ මතකයට ඇතුළත් කරගෙන සිටිමි. එහෙත් ඒ "සුවය මෙඩිකල් සෙන්ටර්" යන නමින් නොවේ. ඔව්, මම එය ඇතුළත් කරගත්තේ ආදිත්‍යා යන නමිනි. කිහිපවිටක්ම එයට ඇමතුමක් ලබා ගැනීමට මා හට සිත් වුවත් එය ක්‍රියාත්මක කිරීමට මා උත්සාහ නොකළේ "වලෙහි කිඹුලන් ඉන්නවාද බැලීමේ න්‍යායට " ගරු කරමින්ය.


දින 1 , 2 එක් වී සතියක් ගෙවී යයි. එහෙත් මගේ දුරකතණය පාළුය. ඊට වඩා සිතට  පාළුය. ඈ හමු වීමට ගොස් ඇගේ සිතේ මා පිළිබඳව වැරදි වැටහීමක් ඇති කර ගැනීමටද සිත ඉඩ නොදෙයි. පසන් හට නම් ඈ දින දෙකක්ම හමු වූ බව ඔහු මා සමග පැවසූයේ ඊයේය. මගෙ ජීවිතයේ ප්‍රථම වතාවට මම මගේ හොඳම මිතුරාට ඊර්ෂ්‍යා කරමි.


එසේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන මේ මොහොතේ මම ඔහුට ඇමතුමක් ගනිමි. එහෙත් එය "waiting" ය. ඔහු පෙම්වතිය ක්‍රිෂාණි සමග ඇමතුමක විය යුතුය. සිතට ඉමහත් පාළුවක් දැනේ. රාත්‍රී 11 ද පසු වී ඇත. එහෙත් නින්ද මා කරා නොඒ. පාරේ වාහන වල ශබ්දද වියැකී ගොස්ය. අම්මාද නිදි වන්නට ඇත. මිදුලේ අඹ ගසේ වසා සිටින බස්සකුගේ ශබ්දය ඇසේ. අඹ ගෙඩි කෑමට පොර කන වවුලන්ගේ නාදයටද වඩා ඒ හඬ ක‍ටුකය.


තවත් ඉවසීමට නොහැක. මම ඇගේ නම සඳහන් කර ඇති වෛද්‍ය මධයස්ථානයේ අංකයට ඇමතුමක් ලබා ගනිමි. 
දුරකතනය නාද වේ. මගේ හර්ද ස්පන්ධනය වේගවත් වේ.


"good evening.සුවය මෙඩි කෙයා....." අනික් පසින් නිදිබර හඬක් ඇසේ. ඒ කවුන්ටරයේ හෙදියක් විය යුතුය.


"හෙලෝ.... මට ඩොක්ටට කතා කරන්න පුළුවන්ද, බේතක් ගැන අහගන්න" මම බොරුවක්ද ඇද බෑවෙමි. තවත් කොපමණ බොරු කරන්නට වේදැයි කිව නොහැක.


"ඉන්න මම ඩොක්ටර් ට ට්‍රාන්සර් කරන්නම්"
සංගීත නාදයක් ඇසේ. මගේ හර්ද ස්පන්දනය නම් දැන් මටම ඇසෙන සේය. සංගීත නාදය අවසන් වේ.


"හෙලෝ....." 


          මම ඇමතුම විසන්ධි කරමි. ඒ මා බලාපොරොත්තු වූ හඬ නොවේ. නිදිබර රළු පිරිමි කටහඬකි.


          වරද මගේ අතේය. ඇය 5න් පසුව එතැන වැඩ නොකරන බව දැන දෑනම මා එම ඇමතුම ලබාගත්තෙමි. මා තරම් අනුවණ පුද්ගලයන් මෙලොව සිටීද යන්න පිළිබඳව මා නොදනිමි.


තවමත් විවෘත ලැප්ටොප් එකෙහි Movies ෆොල්ඩරය මම විවෘත කරමි. ගිගා බයිට 200කට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක් එහි ඇත.උපසි‍රැසි නොමැති නිසා නැරඹීම දෙතුන් වතාවක් නැවැත්වූ කොරියන් චිත්‍රපටයක් මම සොයා ගනිමි. 
"A moment to remember" (Nae meorisokui jiwoogae)
මින් පෙර මෙහි සිදු වීම් කිසිවක් නොවැටහුන් මට මෙය අද  අකුරක් නෑර වැටහේ........


"උඹ නිදිද? සොරි මචන්, ක්‍රිශ් කෝල් කළා" පසන්ගේ පණිවුඩයක් දුරකතණයේ දිස් වේ. මම එයට පිළිතුරක් නොයවමි. 


චිත්‍රපටය පැය දෙකකට වඩා දිවෙයි. එය මේ තරම් හිතට දැනෙන්නේ ඇයි දැය් නම් නොදනිමි. නිදිමත මා අහලකවත් නැත.




**************************************


එතරම් රාජකාරියක් නොවූ අද දිනය අලස දවසකි. මේ දිනවල හැකි තරම් කාර්ය බහුල වනවා නම් මම ඉතා ප්‍රිය කරමි. එසේ නොවූ විට කුමක්දෝ පාළුවකින් මගේ සිත වෙලී යයි. 
වෙනදා නම් මෙවැනි වැඩ අඩු දින වලදී NFS හෝ GTA හි බොහෝ දුරක් මම ගොස් සිටිනවාට සැක නැත.
එහෙත් මේ දින වල කිසිදු පරිගණක ක්‍රීඩාවක් සඳහා මා සිත යොමු නොවූ බව හදිසියේම සිහිපත් වේ. 
සිතේ වන ආලස්‍යයටම ගැලපෙන Angry Birds මම විවෘත කරමි.


කාර්යාල සහායක අශෝක කාමරය තුළට පැමිණේ.


"අයියෝ සර්....... මේ තේ එක බීලා නෑනෙ..."


"කෝ..... ආ අද වැඩ නිස මට අමතක වුණා අශෝක. ඕක දැන් බොන්න බෑ විසි කරන්න"

"සර්ට වෙන තේ එකක් හදලා දෙන්නද?" හතර ගා දමා ඇද වැටෙන ඇන්ග්‍රි බර්ඩ්ස්ලා සහ මෝඩ හිනාවක් මුවට නංවා සිටින කොළ පැහැති ඌරන් දෙස බලමින් අශෝක විමසයි. වැඩ අධික බව පැවසූ මා ගැනම මගේ සිතේ ලජ්ජාවක් උපදී.


"මට කෝපි එකක් ගෙනත් දෙන්න අශෝක" 


මුව විට පිරුණු තේ කෝප්පය ගෙන අශෝක කාමරයෙන් පිට වේ. "තේ එකෙන් උගුරක් වත් නොබී ගේම් ගහලා , දැන් එනවා මෙතන කෝපි ඉල්ලන්න" ඔහු සිතනවා විය යුතුය.


මම එල්ලය බලා තවත් කුරුල්ලෙක් මුදා හරිමි. එවරද අසාර්ථකය. මෝඩ ඌරන්ගේ සිනහව මට පෙන්නන්නට බැරිය.


"loneliness has always been a friend of mine
Im leaving my life in your hands......."


ජංගම දුරකතණය නාද වේ. ඒ මගේ අලුත් දුරකතන ඇමතුම් නාදයයි



Amma


එහි තිරයේ සටහන් වේ. මගේ සිත විපිලිසර වේ.  සාමාන්‍යයෙන් මා සේවාස්ථානයේ සිටිනා අවස්ථා වලදී අම්මා කතා කරන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒද නොවැලැක්විය හැකි අවශ්‍යතාවන් නිසා පමණි. 


"අම්මා..... ඇයි හදිසියක්ද?"


"නෑ පුතා.. ඔයා වැඩද?" ඇය සාමාන්‍ය ලෙසින් කතා කිරීමට උත්සාහ කළද යම් කිසි වරදක් ඇති බව පෙනී යයි. 


"මට මොකුත් වැඩක් නෑ අම්මා. ඇයි මොකද මේ ?"


"කලබල වෙන්න එපා පුතා, මගෙ ඔලුව ටිකක් කැරකෙන්න වගේ ආවා. ඒ එක්කම කලන්තෙකුත් ආව. ප්‍රෙශර්වත් වැඩි වෙලාද දන්නෙනෑ....."


අම්මාගේ ස්වභාවය මසිත බියගන්වයි. සැබෑ ලෙසින්ම අපහසුතාවක් නොමැති නම් ඈ කිසිලෙසකවත් මෙසේ හැසිරෙන්නේ නැත. කළ යුතු යමක් සිතාගත නොහැක.


"අම්මා බය වෙන්න එපා, මම දැන්මම එනවා. පැය කාලෙන් මම ගෙදර. අපි ඩොක්ට ගාවට යමු. එතකම් එහා ගෙදර අක්කාට කතා කරන්න..." මම එසේ පැවසන්නේ කාමරයෙන් එලියට එන අතරතුරයි. අශෝක කෝපි කෝප්පයක් ‍රැගෙන එනු මම ඒ අතර දකිමි.


"ඇයි දසුන්?" මගේ කලබලය දකින  ශාන්ති අසනවා මට යන්තමට වාගේ ඇසේ.


"අම්මාට සනීප නෑ......" මා එසේ පැවසුවා විය යුතුය.




"කලබල වෙන්න එපා දසුන් " මම මටම කියා ගනිමි. මගේ කලබලය දකින ආරක්ෂක නිලධාරියාද ඉක්මනින් ගේට්‍ටුව විවෘත කරයි.


මගේ සිත මෙතරම් කලබලයට පත් වූ  ළඟදී දිනයක් මා හට මතක් කරගත නොහැකිය.
අම්මා ගෙන් තොර ජීවිතයක් මා හට සිතා ගත නොහැක. මේ අවස්ථාවේ උපදෙස් ලබාගත හැකි කිසිවෙක් මා හට සිහිපත් නොවේ.


මම පසන් ට ඇමතුමක් ගනිමි. සුපුරුදු පරිදි එය waiting ය.
ෂික් !!! මට කියැවේ.


දෙවියනේ !!! මට එය අමතක වූයේ කෙලෙසද? දිනකට සිය වතාවක් මතක් වන ඇයව මට මේ මොහොතේ අමතක වූයේ කෙලෙසද? 
දෙවරක් නොසිතා මම ඇගේ නම සඳහන් අංකය අමතමි. විශ්වාස කරන්න, මගේ සිතේ වූ එකම අරමුණ අම්මා පිළිබඳව උපදෙසක් ලබා ගැනීම පමණක්මය.


"good afternoon , සුවය මෙඩි කෙයා" හෙදියක් පිළිතුරු දෙයි.


"මිස් මට ඩොක්ට ආදිත්‍යා ට කතා කරන්න ඕනා. එයාට කෝල් එක ට්‍රාන්සර් කරන්න පුළුවන්ද?"


"කවුද කතා කරන්නෙ?"


"ලෙඩෙක් ගැන අහන්න කතා කරන්නෙ, මගෙ නම අනුදිත්" දසුන් නොකියා මගේ අනිත් නම වන අනුදිත් යන්න මා පැවසූයේ කුමක් නිසාදැයි මා හට නොතේරේ.







Saturday, June 9, 2012

සප්තස්වර හැඬූ දා



ස්වර්ණ කිරණක පටලවාලා දිවියෙ තානම හඬ නගන්නට
ලහිරු සැරසෙත මෙදිය තලයම පැහැදුනා තත් සර අසන්නට
සුසර කර තැබු මුව පොඩිති සියොතුන් තදින් මේ වසාගන්නට
කරුණු කිමදැයි සිත් වුණා විමසමින් කාරණ සොයා යන්නට

කවුළු දොරගුළු මුදාගෙන සුමිහිරි වු සංගීතයක් ඇසුණා
සිතාරයෙ තත් අතර සැඟවුණ මීරි තත් සර හෙමින් හැඬුණා
හීන් පැතුමක් හද රුවාගෙන සුසර කරවන නඳින් වීණා
ලොවට හෙමිහිට කියයි රහසක් ඇදුරු තුම ගීතයක අවුණා

එකුන් විසිවසකුත් ගෙවෙයි හෙට දිනට ඔහු සංගීත දිවියේ
බෙදා දෙනුවස් අනාගත පරපුරට අදිටන පුබුදු කෙරුයේ
ස රි ග ප ම ග රි දැනුම වපුරා හරින්නට නොවැ පැතුම් පැතුයේ
අපේ ඇදුරිඳු සිතාරය ගෙන පැතුම් පිපි මල් දාම තැනුයේ

ගතෙහි දැව‍ටුණ සුදෝ සුදුවන් කමිස කොන දණහිසෙහි ගැ‍ටුණා
කුළුණු බර වූ නෙතින් මියු‍රැති සප්ත ස්වරයක පහස පෙණුනා
පුළුල් උර තල සිතාරයෙ මුදු පහස විඳිමින් රහසෙ සැළුණා
ගීතයේ සිප් කිරි පොවන්නට ඇදුරුතුම මහ මගට හැරුණා

කුඩා කුටියක සිප් හලක් තුළ මියුරු සංගීතය විඳින්නට
සැදී පැහැදී සිටින දරු කැළ පිනැති සරසවි අසිරි ගන්නට
දු‍ටුව ඇදුරිඳු හදෙහි විකසිත සොඳුරු සොම්නස් පැතුම් ගොන්නට
අනාගත ලෝ පතල විසරද පරපුරක් හෙට බිහි කරන්නට

"දෙසේ බස සම අපේ උරුමය තවත් වෙද මේ දෙයින් එපිටට
වැළඳ ගන්නට පමා වනු ඇයි සිහල සංගීතයේ ඇසුරට"
සප්තස්වරයේ සුවඳ පතුරන මුවින් නැග එන වදන් පෙළකට
සිසුහි නෙත් කන් දල්වවා සිත් යොමා ඇත ඇඳුරිඳුගෙ වදනට

කුලුණු බර වූ වදන් අවුනා නගන ගී හඬ සිතාරයෙහී
තත් අතර පැටලෙනා දෑඟිලි හසුරුවන්නට  ඔවා හිනැහී
දෙවන ඇදුරිඳු  වදන් පෙළ විඳ් සැනින් ඔහුගේ සිසුහු සැනහී
දිරි වඩා තව ශිල්ප සැදුමට ඉටාගත්තෝ හොඳින් සැරහී

සාරි සරි ගරි ගම පමා ගරි ස්වර එකින් එක අවුනවන්නේ
කෝඩු අතැඟිලි මියුරු තත් තුළ කිමිදිලා මුදු හඬ නගන්නේ 
ගීත පි‍ටුවක අයනු ආයනු කියන සිසු කැළ දෙස බලන්නේ
ප්‍රීතියෙන් ප්‍රමුදිතව ඔහු සිත සැලෙනු කිම නෑ සැක දැනෙන්නේ

දිනත් සති මාසයට එක් වී ගෙවුණි කාලය තවත් දිගු වී
දස්කමින් විස් කම් මවන්නෝ සිසුහු ඇදුරිඳු සතුට රජ වී
"එළි දකින්නට දෙමාපිය පිරිවරම ඉදිරියෙ ස්වරත් හැඬ වී
සැරසෙමුද" අරුමැති බසක් දරුවනගෙ මුවගින් දිනක පිට වී

හැඩ වුණා සංගීත කුටියෙ නාද වා කවුළුවට ඉහලින්
සුසර වූවා වීණාව ඇදුරිඳු සිසුන් දෑතින්
ලහි ලහියෙ සැරසෙනා එළි දැකුමකට දස්කම් සිතෙහි සතොසින්
එළඹෙනා සත් වැනි දිනට වැඩුමට සිසුන් මේ පසන් දොරගින්

එළඹුනා නව දිනක් දියදම පුබුදු කරමින් සිතුම් කැටි කොට
ඇදුරු හනිකට පාද තැබුවා සිසුන් කළ එළි මගුල් මඩුවට
අරුමයකි කිසිවෙකුත් නැත ආසිරි පතන්නට ගුරුතුමන් හට
ගැටලු ගොන්නක පටලැවිනි ඔහු අවදි වුණි නුපුරුදු වු හඬකට

අපරදිග සංගීත නාදෙක ඔහු සවන් පත් හනික ගැ‍ටුණා
ගීත තැටියක් සවන් පාරා "අලුත් පන්තියෙ" අරුත සැදුණා
හිස යොමා මොහොතකට බැලු සඳ තම නුවන් අදහනුද සිතුණා
ඔහුගෙ සිසු කැළ තැටියෙ නාදයෙ සැකිලි රූ වන අයුරු පෙනුණා

නෙතින් ගිලිහුණ කඳුලු බිඳුවක් පයෙහි ධූවිලි සිප ගනිද්දී
හදෙහි සුන් තත් මතින් නැග ආ බොල් හඬින් සිත සසල වද්දී
මළානික හිරු ‍රැස් පොදත් වත කමල වැද මුකුළිත කරද්දී
ගැඹුරු සුසුමක් දොරට වැඩුණා අඳුරු කුටියට පා නගද්දී

(වසර 10 කට ඉහතදී ලියවුන කවියක්........ (කවි කතාවක්))

පින්තූරය ඉතාලි ජාතික Allessandro Andreuccetti  ශිල්පියාගේ "Sitar Player" සිතුවම
http://aandreuccetti.altervista.org/watercolours/acquerelliwatercolors/suonatoredisitar/