Saturday, September 29, 2012

නිදිකුම්බා මල්


අද ලිපිය තරමක් වෙනස්. ඒ වෙනසට හේතුව ලිපිය අවසානයෙදි කියන්නම්. කියවල එන්නකෝ.....

කුසලානි මහත්මිය එදින එම පාසලට ගියේ යම්කිසි රාජකාරී කටයුත්තක් සඳහාය. 
එම කටයුතු වලින් විරාමයක් ලද ඇය විදුහල්පති කාමරයෙන් පිටතට පැමිණ සැහැල්ලු මනසින් යුතුව පාසල වෙත නෙත් යොමු කළාය. 

සුලු වේලාවකින් ඇය ඉදිරියට දුව ආයේ කුඩා පිරිමි දරුවෙකි. කුසලානි මහත්මිය පිළිබඳව කිසිදු හැඳිනීමකින් තොරවම, ඔහු ඇගේ අතේ එල්ලී "එන්ඩකො බඩුවක් පෙන්නන්න" යැයි පවසමින් ඇයව ඇදගෙන ගියේ පාසලේ මිදුල කෙලවරටය. 
මේ සුරතල් දරුවාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ ඇය ද ඔහු පසුපස ගියේ තරමක් කුතුහලයෙන් යුක්තවය.

"මේ බලන්ඩකො. මේක හැදුවෙ මං. ලස්සනයි නේද?" මිදුලේ වැලි එක්කොට කුඩා ලියැදි කැබලි වල නියරවල් මෙන් සකස් කොට තිබූ අතර ඒ වැටි දිගේ රෝස පාට නිදිකුම්බා මල් ගසාහැඩ කොට තිබිණි. බැලූ බැල්මට එය සිත් ගන්නා නිර්මාණයකි. කුසලානි මහත්මියගේ මුව විවර වූයේ සතුටිනි.
"හරිම ලස්සනයි පුතා. කවුද මේක හදන්න කියල දුන්නෙ?"

"කවුරුත් නෑ. මං තනියම හැදුවෙ." මහත් උජාරුවෙන් පැවසූ පුංචි  තාරකගේ දෑස් දිලිසුණි.

"මේ මල් කොහෙන්ද ගේනාවෙ?" ඇයට තවත් ප්‍රශ්නයක් මතු විය. 

"අර පිට්ටනියේ එහා පැත්තෙන් කඩන් ආවෙ. තව ගොඩාක් තියෙනව" පිට්ටනිය තරමක් වල් බිහිවී තිබූ බැව්  ඇයට  පෙනිනි.

"පුතා කොයි පන්තියෙද ඉන්නෙ?"

"එකේ පන්තියෙ"

"ඇයි ඉතින් එළියෙ ඉන්නෙ පුතා?"

"ටීච මට එළියට යන්න කිවුවා, ළමයින්ට ගහනව කියල" ඇය ඔහුගේ හිස අතගා "යමු පුතා අපි පන්තිය බලන්න" යැයි පවසා ඔහුත් කැ‍ටුව පන්තියට ගියාය. 

තාරකට පන්තියේ ඉඳගන්නට සලස්වා ඇය ගුරුතුමිය හා මදක් දොඩමලු වූවාය. පන්තියේ එහා මෙහා දුව පනින පාසල් නොයන වයසේ කුඩා දරුවකුද එහි සිටියේය. ඔහු ගුරුතුමියගේ පුතා බව ඇය දැනගත්තාය. තාරක පිළිබඳව තොරතුරු  සහ ඔහු එළියේ රඳවා තැබීමට හේතු වූ කරුණු ගුරුතුමිය විසි ඈ හට පැහැදිලි කරන ලදී. තාරකගෙන් ගුටි කෑමට ලක් වූ එක් අයේකු වූයේ ගුරුතුමියගේ පුතාය. තාරකගේ මව ඔහුගේ පියා අත හැර ගොස් ඇති බවත්, පියා කුලී වැඩ කරමින් තාරක සහ සහෝදරිය ‍රැක බලා ගන්නා බවත් ගුරුතුමිය තාරකගේ තොරතුරු අතරට එක් කළ කරුණු  විය.

කුසලානි මහත්මිය පන්තියෙන් නික්ම ගියේ , තාරක පන්තිය තුළ රඳවා ගත යුතු බව ගුරුතුමියට අවධාරණය කරමිණි.




මේක වෙනස් කතාවක් කිවුවෙ ඇයි? 

වෙනදට වෛද්‍ය භූමිකාවේ විවිධ සිදුවීම් අත්දැකීම් පිළිබඳව ලියන සිඳු, ගුරු භූමිකාවේ සිදුවීමක් අකුරු කිරීම වෙනසක් තමයි.

ඇත්තම කියනව නම් මේක මම ඉල්ල ගත්තු ලිපියක්. වෙන කාගෙන්වත් නෙමේ. අම්මගෙන්. ගුරුවරුන් සඳහා කරපු සම්මන්ත්‍රණේක පැවරුමක් සඳහා අම්ම ලියූ ලිපියක්. 

මේ සිදු වීම ඇසුරින් තාරකගේ කුසලතා, ඔහුගේ ප්‍රචන්ඩකාරී හැසිරීම,ගුරුතුමියගේ ක්‍රියා කලාපය සහ, මෙම සිදුවීමේදී විදුහල්පති හා අනෙකුත් ගුරුවරුන්ගේ වගකීම පිළිබඳව විග්‍රහයක් එම සම්මන්ත්‍රනය සඳහා පැමිණි ගුරුවරුන්ගෙන් ඈ බලාපොරොත්තු වී තිබුණා. 

විශේෂත්වය එය නොවේ. මේ සිදුවීම අකුරක් නෑරම අම්මාගෙ අත්දැකීමක්. 
මෙහි සඳහන් වන "කුසලානි මහත්මිය" මගෙ අම්මා.
ඒ බව , එදින සම්මන්ත්‍රණයට සහභාගී වූ ගුරුවරුන් කිසිවෙකුත් දැන නොසිටින්නට ඇති.


තවත් සඳහන් කළ යුතු යමක් සිහිපත් වුණා. ලබන සතිය අවසානයේ මගේ අම්මා ඇයගේ තිස් වසරකට ආසන්න ගුරු සේවයෙන් විශ්‍රාම ගන්නට නියමිතයි. වසර 20ක පමණ ගුරු ජීවිතයත්, වසර 10ක පමණ ගුරු උපදේශක ජීවිතයත් ඈ හට ලබා දුන් අත්දැකීම් අපමණයි. ඒ පිළිබඳව අම්මා තැබූ තවත් සටහන් තිබෙනවා.  ඉඩ ලද විටක මගේ බ්ලොග් එකේ ඒවා නැවතත් අකුරු කෙරේවි.

තිස් තුන් වසක ගුරු ජීවිතය තුළ මගේ අප්පච්චිත්, තිස් වසක් තුළ මගේ අම්මාත් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවය මා හොඳාකාරවම දන්නවා. ඒ නිසාම ගුරුවරුන් වශයෙන් තවමත් ඔවුන් ලබන ගෞරවය මට ඇත්තෙන්ම ආඩම්බරයක්.

Wednesday, September 26, 2012

රාජා භවතු ධම්මිකෝ

ජය ගොස රණ බිමේ දෙසවන් වල වැකුණු
මිහිදන් වී ගියා නව යුගයෙහි පිපුණු
කෙසරිඳු විලස ඔද තෙද සිත ගත පිරුණු
නරනිඳු සිහසුනේ සුපසන් විද කුළුණු

දසරජ දහම නැත නරනිඳු වල් වැදුණු
කෙලෙසද මෙලෙස දම් රට දෑ ගොඩ නගණු
අට ලෝ දහම හා සම මෙත සිත දැරුණු
පස් කම් සැපත රජ හැර යාවිද දැමුණු

නව ලොව නව හැඟුම් නව අරුතක යෙදුණු
ඒ ලොව සොයා යන සඳ හදවත් තුරුණු
ආසිරි දෙවා ඔවුනට දී මග ලකුණු
රජතුම රජ වේද ජන හද මතින් දිනූ

නුපුරුදු වීද දෙරණත දහදිය හැලුණු
යුගතෙහි සිර වුණා වෙඩි සැර ගිනි හැඬුණු
සහසක් වසක් සිට හෙළ මෙදියත ‍රැකුණු
වල් වැදි දහම සොයනුව අඳුරේ ගිලුණු

දම් වැසි වසින්නට සැම පැතුමන් දිවුණු
සුසුමක දුක නිවන්නට සිත පණ පෙවුණු
උරුමය යළි ගෙනෙවු ලක් වැසි දනන් දිනූ
දම් කඳ පහස ලැබ සක්විති සුව විඳිණු



Monday, September 24, 2012

My Sis Rox - ක‍ටුස්සාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීම

එක්තරා යුගයකදි මමත් මගෙ අණසක පතුරුවගෙන හිටිය.ඒ කාලයෙන් වැඩි හරියක් ගෙවුණෙ අම්පාරෙ. මෙහාට ඇවිත් වැඩි දවසක් ගියෙ නෑ, හදිසියෙම හොඳට හිටිය අම්මව ඉස්පිරිතාලෙ එක්කන් ගියා.
"අම්ම ගියෙ නංගියෙක් ගේන්න" අප්පච්චිලා කිරි අම්මල කිවුවෙ එහෙමයි.
ඉස්පිරිතාලෙ නංගිලා විකුණනව ඇති. මට හිතුණෙ එහෙමයි.

පහුවදා අප්පච්චි මාවත් එක්කන් ගියා අම්මව බලන්න.කෝ නංගි, මම හොඳට බැලුව. මගෙ හිතේ මැවිල තිබුණෙ හිනා වෙන , දඟලන, පෙරලෙන සුදු බෝලයක් වගේ නංගි කෙනෙක්ව.ඒත් කෝ එයා?

"මේ ඉන්නෙ පුතාගෙ නංගි" අම්ම ඇඳේ පැත්තක තිබුණ කූඩයක් වගේ එකක් අයින් කළා. මට ඇඳට උස නෑ. ඇඳේ එල්ලිලා මම නංගි දිහා බැලුව. හිතාගන්නවත් බැරි තරම් චූටි නංගි බබෙක් නිදාගෙන හිටිය. අත පය ගුලි කරගෙන, ඇස් දෙකත් තද කරල වහගෙන.... 
නිදාගෙන හිටියෙ හරියට තවමත් එයා අම්මගෙ බඩේ ඉන්නෙ කියල හිතාගෙනද කොහෙද.

අම්ම ඉස්පිරිතාලෙන් සල්ලි දීල අරගත්තු නංගි ( සමහරු නම් කියන්නෙ ඉස්පිරිතාලෙ කාණුවෙන් ඇහිඳගෙන ආව කියල) ගෙදර ගෙනාවට පස්සෙ අම්මට හරි වැඩ.නංගි නාවන්න, ඇඳුම් මාරු කරන්න, ගුඩුස් යවන්න.... එකම යුද්ධයයි.


"මෙයා නම් පස්සෙ කාලෙක කළු වෙයි. මූණ සුදු වුණාට කන් දෙක කලුයි. කන් කලු ළමයි , ලොකු වෙද්දි කලු වෙනව" කවුදෝ එහෙම කියද්දි අම්මටයි අප්පච්චිටයි දුක හිතෙන්න ඇති. මමත් කොහොමවත් ඒ කතාවට කැමති වුණේ නෑ. කොහොම කැමති වෙන්නද. අප්පච්චි සුදුයි, අම්මත් සුදුයි. මමත් සුදූයි.... ඉතින් කොහොමද කලු නංගි කෙනෙක් එක්ක පාරෙ බැහැලා යන්නෙ. මට හිතුනෙ එහෙම.
(ඒත් ඉතින් ඒ "පස්සෙ කාලෙ" තවම නම් ඇවිත් නෑ වගේ. මම දැන් නම් බලන් ඉන්නෙ ඒ පස්සෙ කාලෙ එනකම්. :P)

අම්මට වැඩ වැඩි වෙලාවට නංගි තොටිල්ලෙ දාලා නිදි කරවලා අම්ම යනව වැඩ කරන්න. ඒ වෙලාවට නංගිව බලා ගන්න එක , තොටිල්ල පදවන එක මට කරන්න වුණ වෙලාවලුත් තිබුණා.

අම්මා උයනව බංකුවක වාඩි වෙලා. මමත් ඒ බංකුවෙ අනිත් පැත්තෙ වාඩි වෙලා අම්මගෙ පිටට පිට හේත්තු කරගෙන කැරට් කනවා.
ඔන්න නංගි අඬනවා
"අනේ පුතේ තොටිල්ල ටිකක් පද්දල එන්න"

"මට බෑ"

"අනේ හොඳ පුතානෙ"

"මට බෑ"

"ගණන් කරලා පස් පාරක් තල්ලු කරල එන්නකො"

 අකමැත්තෙන් නැගිටල යන මම තොටිල්ල පද්දනව "එකයි.... දෙකයි.... තුනයි..... හතරයි.......පහයි....."
මම ආපහු ඇවිත් අම්මට හේත්තු වෙලා ඉඳ ගන්නව. පොඩි එකා ඒ වෙද්දිත් බෙරිහන් දිදී අඬනව.


නංගි ටිකක් ලොකු වෙද්දි අම්මට ආයෙම ඉස්කෝලෙ යන්න වුණා. ඒ වැඩ එක්ක අම්මටවත් අප්පච්චිටවත් නංගි ඔඩොක්කුවට අරන් ළඟින් තියාගෙන ඉන්න වුණ අවස්ථා හරි අඩුයි. ඒ නිසා එයාව කො‍ටුවක දාලා තිබුණ. එයාට හිට ගන්න අල්ලන් ඇවිදින්න පුළුවන් කාලෙ වෙද්දි, නංගි හරියට මිරිස් ගල උස්සන් ගිය නන්දිමිත්‍ර යෝධයා වගේ කො‍ටුවත් ඇදගෙනම ගේ පුරා යන්න පුරුදු වුණා.


නංගි ටික ටික ලොකු වෙද්දි මට මේ ලෝකෙ හිටිය ලස්සනම බබා වුණේ නංගි. (මම වැඩියෙ පොඩි ළමයි දැකල තිබුණේ නැතිව ඇති ඒ කාලෙ. :ප්) ඒ නිසාමද කොහෙද මම එයාව ආදරෙන් බලා ගත්ත මතකයි.

ඉඳල හිටල පොඩි පොඩි හිංසා මගෙ අතින් නොවුණම නෙමේ. එක දවසක් ගිනි කූරක් පත්තු කරල "නංගි රස්නෙද බලන්න" කියල නිදාගෙන හිටිය නංගිගෙ බඩ උඩින් තිබ්බා වගේ වැඩත් මම කළා. එදා නම් අම්මගෙන් මට පාරක් වැදුනා වගේ තමයි මතක.

පුංචි කාලෙ මගෙ නංගි හරි අහිංසකයි. (එහෙම තමයි අපි ඒ කාලෙ හිතුවෙ)
කිරි බෝතලේ ළඟින් තිබ්බම ඒක කටේ ගහගෙන බීලා පැත්තකින් තියල තනියම නිදා ගන්නව.
තවත් සමහර වෙලාවට සාලෙ මැද්දෙ සෙල්ලම් කර කර හිටිය ළමය කෝ කියල බලද්දි අනේ එතනත් නිදි.

ඒත්, මෙයා ටිකින් ටික වයසින් වැඩෙද්දි තමයි අපි තේරුම් ගත්තෙ පොඩි කාලෙ , අත දරුව කාලෙ කරල තියෙන්නෙ තනිකරම රඟ පෑමක් කියල. ;-)

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනව වගේ අපිත් ටිකෙන් ටික නංගිගෙ අනාගත ස්වරූපය වටහ ගත්ත.

මෙන්න උදාහරණ.


අප්පච්චි පොඩි එකාව වඩාගෙන ගිහින් බිත්තියෙ ඉන්න ක‍ටුස්සෙක් පෙන්නනව. "අම්මෝ... කවුද පාට මාරු කරන අමුතු සතා,පිටේ උල් උල් ත් තියෙනව..."එහෙම හිතල නංගි බය වෙයි කියල අප්පච්චි හිතන්න ඇති. ඒත් මොකද වුනේ? 

නංගිගෙ හුරතල් චූටි දබර ඇඟිල්ල කටූස්සා පැත්තට දිගු වෙනව විදුලි වේගයෙන්. ඉලක්කය ක‍ටුස්සගෙ ඇහැ. චිකිස් කියල කටින් සද්දෙකුත් දාන ගමන් එයා ක‍ටුස්සගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනව. ළමයගෙ හැටි අප්පච්චිට වඩා හොඳට ක‍ටුස්ස අඳුනගෙන හිටිය නිසා අහකට පැනපු ක‍ටුස්සා ඇස බේරගන්නව.


තව දවසක් නංගි හොඳටම අසනීප වෙලා බේත් ගන්න එක්කන් යනව. හරිම හුරතල් ලස්සන බබෙක්. එහෙම හිතුව දොස්තර මහත්තයා නංගිට ආදරෙන් කතා කරනව හුරතල් විදියට.
"මොකද බකුස්සො?"  වචන දෙකයි නංගි කිවුවෙ. දොස්තර මහත්තය වැඩි වැඩ පැත්තකින් තියල බේත් දීලා නංගිව ආපහු එවනව.

පුංචි කාලෙ මම නංගිට ආදරෙයි වගේ තමයි, එයත් මට හරි ආදරෙයි. එහෙම වෙන්න ඕනනෙ. මම එයාගෙ අක්කනෙ, නේද?


දවසක් අම්ම අපි දෙන්නට කන්න චොක්ලට් කේක් කෑලි දෙකක් දෙනව. මම මගෙ එක ඉක්මනින් ඉවර කරල මදි වගේ බලාගෙන ඉද්දි මගෙ ළඟට එන මගෙ නංගි හරිම අහිංසක විදියට එයාගෙ කේක් කෑල්ලෙන් බාගයක් මගෙ අතේ තියනව. බලන්න ආදරේ තරම. මමත් ඒක එක කටකට ඉවර කරනවා.
ඊළඟ මොහොතේ නංගි ගැන තිබුණ මගෙ ආදරේ දෙගුණ තෙගුණ වෙනව හුරතල් විදියට වචන ගැට ගහ ගහ මෙහෙම කියද්දි.
"මම ඔයාත දුන්නෙ පාපිස්සෙ අතුල්ලපු කේක් කෑල්ලක්"

මේ අතරෙ ඇත්තම සහෝදර ප්‍රේමයෙන් නංගා ක්‍රියා කරපු වෙලාවලුත් තිබුණා. මොන්ටිසෝරි යන කාලෙ බිම වැටිල තිබුණ පෑණක් "අක්කට දෙන්න" කියල අහුලගෙන ඇවිත් අම්මගෙන් ඉර‍ටු පාරකුත් හම්බුණා එයාට. ඒක ගිහින් ටීචට දෙන්න කියල අම්ම කිවුව. (ලොකු දෙයක් නෙමේ, ඒත් තමන්ට අයිති නැති දේවල් ගන්න එක හොඳ නෑ කියල තේරෙන්නයි අම්ම එහෙම කළේ)
අපරාදෙ මට හම්බෙන්න තිබුණ පෑන !

පස්සෙ කාලෙක තමයි නංගි කිවුවෙ.. "මම ඒක ටීච ට දුන්නෙ නෑ. මම ඒක ජනේලෙන් එලියට විසි කළා මොන්ටිසෝරියෙ"

කොහොම කොහොම හරි මගෙ පිහිටෙන් මගෙ චූටි නංගි අපේ ඉස්කෝලෙ එක වසරටත් ආව. එතකොට මම 5 වසරෙ ලොකු අක්කෙක්.
හැමදාම තුවාල කරගෙන , ගවුමෙ දූවිලි පාරවල්, මඩ පාරවල් එක්ක ගෙදර එද්දි අපි හැමෝටම අපේ අහිංසක දැරිය ගැන දැනුනෙ ලොකු දුකක්. "අනේ මේ ළමයට ළමයි ගහනව ඇති.... ළමයි මෙයාව තල්ලු කරනව ඇති සෙල්ලම් කරද්දි"
අපි එහෙම හිතුවෙ. නංගිව ඉස්කෝලෙදි බලාගන්නෙ නෑ කියල මට චෝදනා එල්ල වුණ වෙලාවලුත් තිබුණ.

ඒත් මීට අවුරුදු කීපයකට උඩදි නංගි හිනා වෙවී මට මෙහෙම කියද්දි තමයි මම යතාර්ථය තේරුම් ගත්තෙ.
"ඉස්සර ස්ටෙෆ්නි එක වසරෙදි ඉස්කෝලෙ යන්න බෑ කියල අඬනව කියල ටීචර්ට දවසක් එයාගෙ අම්ම ඇවිත් කිවුව"
"ඒ මොකද?" මම අහනව
"හේලි ඉන්නව කියල" (හේලි කියන්නෙ නංගි)

දෙක වසරෙදි දවසක් නංගි තුවාල කරගෙන , ලේ පෙරාගෙන ආව ගෙදර. බලද්දි යාළුවො එක්ක "දඬුබස්නාමානය" රඟපාන්න ගිහින්. 

තවත් දවසක් නංගිගෙ ඔටෝ එකේ යාළුවෙක් මෙහෙම ලියල තියෙනව මට හම්බෙනව.
"අනේ ඉතින් තුන වසරෙදි ඔයාව බෝවෙන රෝගියෙක් වගේ අනිත් ළමයිගෙන් ඈත් කරල , තනියම මේසෙකුයි පු‍ටුවකුයි දීල මිස්ගෙ මේසෙ ළඟම වාඩි කරවා ගත්තම මට දුකත් හිතුණ" ඒක කියවල මම නංගිගෙන් ඇහුවා ඇයි මිස් එහෙම කළේ කියල.
"මම දඟලනව වැඩියි කියල"

ඒ මොනව වුණත් දඟල දඟල හරි එයා ඉස්කෝලෙ වැඩ , විෂය බාහිර වැඩ හැම එකම ලස්සනට කළා. නැත්නම් කොහොමද අද මෙහෙම ඉන්නෙ.....

අද මගෙ ජීවිතේ හොඳම යාළුවා මගෙ නංගි. මගෙ හැම ප්‍රශ්නෙකදිම, හැම සතුටකදිම මාත් එක්ක ඉන්න නංගි නිසා මම වාසනාවන්තයි. කොටින්ම කියනව නම් මම වෙජිටේරියන් වුනෙත් නංගි නිසා. ඒ තරම් දක්ෂ, ප්‍රතිපත්ති ගරුක, අහිංසක , ඒ වගේම වස වෙන්න ඕනා වෙලාවට වස වෙන කිසිම කෙනෙක් මගෙ ජීවිතේ නෑ.


එයා නිසා මට අත් වෙන ආර්ථික වාසිත් බොහොමයි. මේ දැන් ටිකකට කලින් මට එයාගෙන් ආව මැසේජ් එකක්
"හෙට ගමනට, මෙමට අතට මිටට thousand වත් දෙනවද?" ලස්සනට ගලපලා ඉල්ලල තියෙන්නෙ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න සල්ලි....



ඔය විදියට අම්මගෙන් අප්පච්චිගෙන් එහෙම කඩාගත්තු සල්ලි 10000ක් වත් මේ වෙද්දි එකතු කරගෙන ඇති.....


එකම කෙනෙක් ගැන පෝස්ට් දෙකක් ලිවුව පළවෙනි වතාව මේ. මේ අනිත් එක


දළඹුවා මලට (නො)කියූ කව


පිණි සැලෙන සීතල ප්‍රභාතේ
බිළිඳු කුසුමක් සිනාසෙන්නී
නුඹේ වෙත නෙත් හෙළූ සඳ මා
නාඳුනන සේ අපුල බැල්මෙන්
ඉවතටම නෙත් යොමු කරන්නී..........

වසන්තය නුඹ වෙතට කැන්දා
හීන අරගෙන සපැමිණෙන්නෝ
මලින් මලකට හාදු පුදමින්
පාට විසිරෙන සමණලුන් වෙත
සුමුදු පෙති සළු දිග හරින්නී........

හිරු හැරෙන්නට පෑ ගනිද්දී
පාට පිය සළු වතෙහි  දවටා
මා ද රන් සමනළෙකු වන බව,
රූප - අන්තරනයේ වගතුග
අසරණී නුඹ තව නොදන්නී......



Friday, September 21, 2012

බැලුවට මදි..... අදහස් ඕනා.

මේ කැලෑ මලක්. නම දන්නෙ නෑ. මම කියන්නෙ නම් ලිලී කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න. කැලෑ මල් වලින් මම ආසම මල මේක


මේ තියෙන්නෙ ඒ මලේ සම්පූර්ණ ස්වරූපය. මේක දැම්මෙ අදහස් දක්වන්න නෙමේ. නම දැනගන්න


ශටර් ස්පීඩ් එකේ අවුලක් තිබුණට මම ආසා තව පින්තූරයක් මේක. මෙයා මේ කරන්නෙ මල් වල ලස්සන බලනව නෙමේ, මල කනවා.



කලුතර බෝධිය ගාවදි මෙයා පිටිපස්සෙන් දුවලා හොරෙන් ගත්තෙ. එයාගෙ අම්ම දැක්ක නම් බනියි කියල බයට.
මිනිස්සු ඉන්න තැන් වල ෆොටෝ ගන්න හිතෙද්දි ඒ එක්කම එන ලැජ්ජාව නිසා ගොඩක් අවස්ථා මග හැරෙනව. 
ෆොටෝ ගහන ගෑණු ළමයි ලංකාවට තවම එච්චර පුරුදු නැති නිසාද කොහෙද , මිනිස්සු අමුතු විදියට බලද්දි ෆොටෝ ගන්න හිතෙන්නෙ නෑ



Wednesday, September 19, 2012

කියවන්න - සැබෑ ආදරේ හඳුනා ගන්න ඕනෙම නම්


දේ හවස හැමදාමත් මම ඔහුව දකිනව. හිත් ඇද ගන්න සුළු හිනාවක් ඔහුට තිබුණත්, ඒ හිනාවට යටින් අනිත් අය දැකපු පොඩි ආඩම්බර කම මමත් දැක්කා.

ඉඳල හිටල පුංචි පුංචි ලෙඩ එක්ක ඔහු මාව හමු වෙන වෙලාවලුත් තියෙනව. හිස රදය, ඇඟට පණ නෑ..... මේ වයසට මොනවද මේ තියෙන ලෙඩ කියල මම ඔහුට විහිළු කළත්, ඒ ලෙඩ වලට හේතුව මම දන්නව.
උදේ ඉඳන් රෑ වෙනකම් කරන රස්සාව නිසා ඔහුගෙ ගතටත් සිතටත් විවේකයක් ඇත්තෙම නෑ. කලට වෙලාවට ආහාර නොගැනීමම පුරුද්දක් වෙලා. ඇතැම් දින වල රාත්‍රී ආහාරය ඔහු මහ හරින්නෙ කුස ගිනි නැති නිසාම නෙමේ.

"වෙන රස්සාවක් හොයාගන්න මල්ලි. ඔහොම මහන්සි වෙන්න පුළුවන්ද?"
මම අනන්තවත් ඔහුට කියල ඇති.

"වෙන රස්සාවක් හොයනව මෙතන ඉන්න ගමන්" එහෙම කිවුවට අවුරුද්දකුත් වෙන්න ආව,ඔහු තවමත් ඒ රස්සාවෙ.
තමන් හරියට කන්නෙ අඳින්නෙවත් නැතුව, කරන රස්සාවෙන් ලැබෙන මුදල ඔහු වියදම් කරන්නෙ ඉස්කෝලෙ යන නංගිටයි, වහලෙන් වැටිලා තවමත් සිංහල බේත් කරන තාත්තටයි.

ඒත් දාහක් ප්‍රශ්න හිතේ තියාගෙන ඒ කිසි දෙයක් පිටට පේන්නෙ නැතුව අභිමානයෙන් හිනා වෙන්න ඔහු හරිම දක්ෂයි.

"අපෝ මොකද අද මේ කොණ්ඩෙ හැටි?" කියන්න හිතෙන දේ ඔහු හැමදාම මට මූණටම කියනව. ඒ ඔහුගෙ හැටි. හැමදාම මොකක් හරි විහිළුවකට ඔහු මාව ගාවගන්නව.ඒත් මේ වෙනකම් ඒ ගැන මට තරහ ගිහින් නෑ.

මාස කීපයක ඉඳන් මම දැක්ක ඔහුගෙ වෙනසක්. දුරකතනය කනේ තියෙන වෙලාව වැඩි වුණා. ලැබෙන පුංචි විවේකයෙදිත්, ටී ෂර්ට් එකකුයි, කැප් එකකුයි දාගෙන් බස් එකේ නගින්න පාර අයිනට වෙලා ඉන්න ඔහුගෙ දර්ශනය අපිට සුලභ වුණා.

"මෙයට කෙල්ලෙක් හම්බෙලාද කොහෙද" එයා එක්ක වැඩ කරන අනිත් අය කියද්දි ඔහු හැමදාම සුපුරුදු විදියට හිනා වුණා පිළිතුරක් නොදී.

******************************************
ඊයෙ ඔහු මාව මුණගැහෙන්න ආව. 

"ඔපරේෂ්න් කරපු තුවාලෙකට හොඳ මේ දෙකෙන් මොකද්ද?" බෙහෙත් ක්‍රීම් වර්ග දෙකක් පෙන්නල ඔහු  මගෙන් ඇහුවා. ඒ දෙකෙන් හොඳ එක මම ‍තෝරලා දුන්න. 

"කාවද ඔපරේෂන් කළේ?"

"මගේ ගෑණු ළමයව" මෙච්චර කල් හැංගිලා තිබුණ රහස, අපිට තිබුණ කුතුහලය පිළිතුරු ලැබුණ.

"මොකද්ද ඔපරේෂන් එක?"

"පිළිකාවක්" මට හීන් දාඩිය දැම්ම."මාස 6ක් ඇතුළත කරපු තුන් වෙනි ඔපරේෂන් එක....
සරලව, සැහැල්ලුවෙන් හැමදාම හිටිය මේ කොල්ලගෙ ඇස් වල කඳුලු දිලිසෙනව මම දැක්ක.

"අපි කරන්න පුළුවන් දෙයක් කරමු මල්ලි" උපදෙස්, අදහස් ගණනාවකින් පස්සෙ, මම කිවුව ඔහු යන්න හදද්දි. 
යන්තම් හිනාවකුත් එක්ක හිස සලල ඔහු යන්න ගියා.

අද උදේ මම ඇහැරෙද්දි මගෙ දුරකතනයෙ දිග කෙටි පණිවිඩයක් තිබුණ.

"මම බය නෑ, ඒත් මට බෑ එයා විඳවනව බලන් ඉන්න මේ විදියට. මම ඒ ගැන හිතල අඬනව හැමදාම.
මේ ගැන ගෙදර කවුරුත් දන්නෙ නෑ අම්මා ඇරෙන්න. අම්මා මේකට කැමති නෑ. ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. පිළිකාව ගැන දැනගද්දි අපි යාළු වෙලා මාස 3ක් වත් නෑ. එදා ඉඳන් මම එයා එක්ක හිටිය. මම හැමදාම එයාව බලාගන්නව මට පුළුවන් විදියට.
මගෙ අක්කගෙන් අහනව වගේ මම ඔයාගෙන් අහන්නෙ. මම වැරදි නෑ නේද......?

ඒ ආඩම්බර , දරදඬු කොල්ලගෙ අතින් සටහන් වෙලා තිබුණ.

*****************************************

True love is nothing about kisses and caresses.




It is all about caring , forgiving and sharing... mostly at her/his weakest, ugliest and at her/his worst.....
And it is about keeping them smiling thinking about your love.



Friday, September 14, 2012

උදුලා


පාසටහන් බ්ලොග් අඩවියට කොටස් තුනක් වශයෙන් ලියූ මේඝයන් මැද  දිගු කෙටිකතාව අදින් හමාර කළෙමි. 
එහි අඩුලුහුඬුකම් දැනගනු වස් එය ලෝකයෙ කොනකටද උදුලා නමින් ගෙන එන්නට අදහස් කළෙමි.

ඉතිහාසයේ අංශුමාත්‍රයක් පමණක් ගෙන, මසිතෙහි උපන් චරිත ‍රැසකින්, සිදුවීම් කිහිපයකින් ගොඩ නැගුණ මෙය, කිසිසේත්ම ඉතිහාසය විකෘති කිරීමක් නොවේ. හුදෙක් සිතෙහි උපන් දසුන් කිහිපයක් අකුරු කිරීම පමණකි.

****************************************************

ඇට්ටේරියා මල් සුවඳක් තුරුළු කරගත් මඳ පවන් රොදක් සිරියහන් ගබඩාවේ වරින් වර සක්මන් කරයි. කවුළුව අතරින් පෙරී එන සඳ එළියද සිහිලැල්ය.නිශාන්තයේ සුන්දර නිහඬතාවයේ ගිලී සිටින මට ඇසෙන්නේ ඔහුගේ සුසුම් වල රිද්මය පමණි. ඒ සවිමත් උරතලයේ උණුහුමින් රාත්‍රියේ හිරිගඩු පිපෙන සීතල මා කෙරෙන් පළා ගොස්ය. සෙමෙන් දෙනෙත විවර කර මම ඔහු දෙස බලමි. ඒ දෙනුවන් තවමත් විවරය.මුවග දැවටී ඇති මන්දස්මිතයේ ඡායාව සඳ එළියෙන් මා හට මනාව දිස් වේ.


"උදුලා, නිදි නැතිද?" ඒ හඬ මා සවනතට මිහිරකි.


"ඔබතුමාත් තවමත් අවදියෙන්"


"ඒ ඔබ නිසා, ඔබේ ආරක්ෂාවට." මා මුවගට හස‍රැල්ලක් එක් වේ.එවැනි වදන් මම හොඳින් හඳුනමි. ඒ සම්පූර්ණ සත්‍යය නොවේ. හුදෙක් මා සිත ප්‍රමුදිත කරනුවස් , ඔහුගේ සිතෙහි ඉපිද මුවින් ගිලිහෙන ප්‍රේමණීය වදන්ය.


"ආරක්ෂාවට රජ සෙබලුන් සතර දිශාවේම. ඉතින් ඔබතුමා අවදියෙන් සිට කුමක් කරන්නද?"


"ඔවුන් සිටින්නේ මගේ ආරක්ෂාවට. මා සිටින්නේ ඔබේ ආරක්ෂාවට........." ඔහුගේ දෑඟිලි මා සවන් පත් කිති කවයි. මම තවත් ඒ උණුසුමට තුරුල් වෙමි.


"එය නම් සැබෑවක්. නමුත් අද නම් ඔබ තුමා අවදියෙන් සිටින්නේ ඒ නිසාම පමණක් නොවේ."


"නො එසේනම්?"


"ඒ ඔබතුමා අද වෙනදාට වඩා සතුටින් නිසා"


"උදුලා ට හදිසියේම එසේ සිතුණේ?"


"හදිසියේම පහල වූ සිතිවිල්ලක් නොවේ මහරජතුමණි,මේ සිරියහන් ගබඩාවට පා තැබූ මොහොතේ පටන්මයි මා හට එය අවබෝධ වුණේ."


"ඒ කෙලෙසින්ද?" සයනයෙන් මදක් ඉහලට එසවුණු ඔහු මා දෙස බලා සිටියි.


"ඔබතුමාගේ සෑම සුසුම් පොදක්ම මා හොඳින් හඳුනනවා....... රාජකීය වීණා වාදකයා ලවා ඔබතුමා වාදනය කරවන සෑම ස්වරයක්ම මා හඳුනනවා.......... ඔබතුමාට ඇසෙනවාද, දැන් වාදනය වන රාගය? එය ඔබතුමා ප්‍රීතියෙන් පිනා ගොස් සිටින බවට හොඳම සාක්ෂියයි ඒ.


නැවතත් ඒ මුවග මදහසකි.දෙනෙත් කාන්තියෙන් දැල්වේ.
"ඔබ හරි උදුලා. ඔබට හිතන්නට පුළුවන්ද ඒ සඳහා හේතුව?"


"මා සිතන්නේ මා ඒ සඳහා හේතුවත් දන්නවා......"
සිරියහනෙන් බැස මම කවුළුව අසලට පිය මනිමි. සුදු සඳ එළිය දැල්වී ඈත අනන්තය තෙක් දිවෙන වන ගැබ රිදී පැහැයෙන් සුදිලේ. ලෝකය එක යායට ඇද හැලෙන රජත වන් ගංගාවක් සේය. තැනින් තැන දැල්වෙන පන්දම් ආලෝකයෙන් උද්‍යානය අලෝකමත් වී ඇත. අහසට විසිරෙන වතුර මල්, සිසි කිරණ හා එක් වී කෝල කරන්නේ අපූරු දසුනක් මවමිනි. 
ඔහුගේ සුසුමක පහස මට නැවතත් දැනෙයි. ඒ ඝණ ‍රැවුළ මගේ සවන් පත් නැවතත් කිති කවයි. 
සළුවෙහි කොණක් ගෙන මම හිස වසා ගනිමි.


"ඉතින් උදුලා, ඔබ තවමත් ඒ සඳහා හේතුව කීවේ නැහැ." ඔහු නැවතත් හිස වැසූ සළු පට ඉවත් කරයි.


"ඊට හේතුව ඇත්තේ රජතුමණි මේ මාලිගයට පහලින්...."


"රජ මාලිගයට පහළින්?"


"ඔව් රජතුමනි, මේ පර්වත මස්ථකයේ සිට බඹ ගණනාවක් පහළින්."


"ඔබගේ ඇතැම් බස් මට වටහා ගැනීමට අපහසු තරමට ව්‍යක්තයි උදුලා"


"ඔබතුමාගේ සිතැඟි පරිදි බිතු සිතුවම් ගණනාවක් මේ රජ මාලිග පවුව වටා සිතුවම් කර අවසන් වූ අද දින ඔබතුමා සතුටින් සිටින බැව් පවසන්න වෙසෙස් නුවණක් අවශ්‍ය නැත මහ රජතුමණි."


"ඔබ හරි උදුලා... බොහෝ කාලයක සිට මගේ සිතේ තිබුණු ආශාවක් එය. ඔබ නම් ඒ සිතුවම් වලට එතරම් මනාපයක් නැති බවයි මුල සිටම මට හැඟී ගියේ..."


"නොමනාපය නොවේ රජතුමණි, එහෙත් කිසියම් ඊර්ශ්‍යාවක් වැනි හැඟීමකින් මගේ සිත පෙළුණු අවස්ථා නැතුවාම නොවේ. ඔබතුමා මටත් වඩා ඒ සිතුවම් වලට, ඒ ලලනාවන්ට ප්‍රේම කරනවදැයි හැගීමක් මා සිතෙහි උපදියි."


මගෙ පිළිතුර බොලඳ වැඩි යයිද නො එසේනම් නුසුදුසු යයිද මා හට හැඟීමක් නැත. එහි ගැබ් වූයේ හුදෙක් ඒ සිතුවම් පිළිබඳව මා සිත තුළ ඇති වූ සත්‍ය හැඟීමය. වරෙක රන් වන් පැහැයෙන්ද, තවත් වරෙක අඳුරු පැහැයෙන්ද වර්ණ ගන්වා ඇති ලඳුන් සැබැවින්ම අලංකාරය. රාජකීය සිත්තරුන් ලවා මාගේ මහ රජතුමා විසින් සිතුවම් කරවන ලද එම රූප මාලිගය පුරා බොහෝ කතා බහට ලක්වූ කරුණක් විය. අන්ත:පුරය පුරාම තරමක නොපහන් හැඟීම් ජනිත කළ එම සිතුවම් මා හට නම් සිහිපත් කරන්නේ මාගේ නිරිඳාගේ කලා කාමී ආදරණීය සිතය්.


"උදුලා, යමෙක් ස්ත්‍රියකට දක්වන ප්‍රේමය සහ කලා කෘතියකට දක්වන ඇල්ම සමාන යයි ඔබ සිතන්නේ කෙලෙසින් ද?" මේ තේජස් වී කටහඬට ද මම මේ රුවට ඇළුම් කරන්නාක් හා සමානවම ඇළුම් කරමි.


"ඔබ තුමා ඒ සිතුවම් වලින් පිළිබිඹු කළේ මාලිගය සැරසීමට මල් ‍රැගෙන එන ස්ත්‍රීන්ව ද?"


"ඔබට එවැනි අදහසක් පහළ වූයේ කෙලෙසද උදුලා?"


"ඔබතුමා ඒ මල් ගෙන එන ළඳුන් දෙස නොයෙක් වර බලා සිටිනවා මා දැක තිබෙනවා"


"මා බලා සිටින්නේ ඔවුන් දෙස නොවේ උදුලා. ඒ දැත් වලින් මැවෙන අලංකාර මල් රටා දෙසයි."


තව දුරටත් සිත්තම් වල සිටින්නේ කවරෙක් දැයි ඇසීමට මගේ සිතට ශක්තියක් නැත. ඔහු මගේ රටේ රජතුමා ය. මා පිළිබඳව කොතරම් ප්‍රේමයකින් වෙලී සිටියත්, මගෙන් පසුව කිසිදු යුවතියක අන්ත:පුරයට කැඳවාගෙන නාවත් , මා ඔහුගේ අන්ත:පුර මෙහෙසියක පමණක් වෙමි. 


එහෙත් අන් සියල්ලන්ටම වඩා ,ඇතැම් විටෙක අගමෙහෙසියට ද වඩා , ඔහු මා හට පානා සෙනෙහස මගේ හුස්ම වැටෙනා තුරු මට ප්‍රමාණවත්ය.
මේ උණුසුම් දෙඅත් මැද මම ජීවිතය විඳිමි.


පහන් තිර නිවී යාමට ආසන්නය. රාත්‍රිය තව දිගුය. එහෙත් සඳ එළියෙන් නැහැවුණු සිරියහන් ගැබට වෙනත් පහන් ඇවසි නැත. ඔහුගේ නෙත් පහන් දෙකෙහි කාන්තිය මා හට ප්‍රමාණවත්ය.



*************************************************************

බිඟු පහසින් මත් වූ කුසුමන් තුටින් හිනැහේ. දසතින් ඇසෙන විහඟුන්ගේ නාදයෙන් සවන් පිරී යයි. සුවඳ හමන විකසිත කුසුමක් ලෙසින් මසිත විකසිතය. හිමිදිරියේ සිහිලද නොතකමින් මම ස්නානයට සූදානම් වෙමි. ආභරණ හා සළුපිළි ‍රැගත් සේවිකාවෝ දෙදෙන සිකිපිත් පසු පස ඇදෙන, උගේ පිළි කළඹ ලෙසින්  මා පසු පස ඇදෙති. කොතරම් සැප සම්පතින් අනූන වුවත් මේ නිදහස් රහිත ස්වභාවය නම් මගේ සිතෙහි එතරම් සතුටක් ඇති නොකරයි. එහෙත් මේ මාගේ මහ රජතුමාගේ සතුටයි. ඉදින්, ඒ සඳහා මා විරුද්ධ වන්නේ කෙලෙසද.


පොකුණු දිය මස්තකයෙහි පාවෙන ඇහැළ මල් පෙති දෙකක් දිය මත තරංග සමග තරඟයට මෙන් දඟ කරයි. රෑ පිපුණ සේපාලිකා මල් සුවඳක්ද තවම කොහෙදෝ සිට හමා එනු දැනේ. 


"උදුලා කුමරිය, දිය ස්නානයට කටයුතු සූදානම්" 


මාගේ ප්‍රමාදය දැකීමෙන්දෝ සේවිකාවක් මා අසලට පැමිණ පවසයි. මගේ සළු පිළි පසෙක තබා ඔවුනට සිය කාර්යයකට නික්ම යන්නැයි පැවසීමටද සිතේ.තනිවම දිය පීරා ගොස් පොකුණ මැද පිපී හිනැහෙන තඹුරු නෙළා ගැනීමට මම ප්‍රිය කරමි.එහෙත් එවැන්නකට ඉඩක් නැත.


         පොකුණට බසින පඩිපෙළ මත හිඳගන්නා මම දෙපා සරසන නූපුර උණා දමමි. මේ නූපුර රටාව මගේ මහරජතුමා සැබැවින්ම ප්‍රිය කරන රටාවකි. ඒ පිළිබඳව ඔහුගේ ඇල්ම සිහි වීමෙන් මා මුවග මදහසක් මැවෙනු මට දැනේ.එය මාගේ සේවිකාවන් දෙදෙනාගෙන සැඟවීමට අමතර වෙහෙසක් දැරීමට මට සිදු වේ. 


එක්වරම ඇසුන ළමා සිනා හඬකින් මගේ දැහැන බිඳේ. ඒ විදීෂ කුමරුන් බව අවටහා ගැනීමට මා හට ඒ දෙස  බැලීමට අවශ්‍ය නොවේ.


"නවතින්න කුමරුණි" විදීශ කුමරුන් පසුපස ගත ‍රැඳි සළුපිළි දණක් දක්වා ඔසවා ගනිමින් දිව එන ඔහුගේ කිරි මව නන්දා දකින විට මගේ මුවට නැගෙන්නේ වලක්වා ගත නොහී සිනහවකි. ඇගෙන් මිදී මා වෙතට දිව එන විදීශ කුමරුන් මා ගතට තුරුල් වේ. ඔහුගේ සිඟිති මුවගින් තවමත් ගලන්නේ කිරි සුවඳය. ගෙල ‍රැඳි රාජාභරණ ඒ මොළකැටි වතට බර වැඩි යැයි මට සිතේ.


"උදුලා කුමරිය සැරසෙන්නේ දිය ස්නානයටයි කුමරුණි, ඒ සඳහා ඉඩ දී අපි ආපසු යමු කුමරුණි"


කුඩා විදීෂ තවත් මා වෙත තුරුළු වේ.


"නන්දා ආපසු යන්න. " සිඟිති මුව උල් කරමින් ඔහු පිළිතුරු දෙයි.


"විදීෂ කුමරුන් මා සමග උන්නාවේ නන්දා" මා පවසන්නේ කුඩා දරුවාගෙ මුවට ගලා එන කිරි සිනා තවත් වැඩි කරමිනි.


විදීෂ අගබිසවගෙ පුතණුවන්ය.මාලිගය පුරා නිරන්තරයෙන් දිව යන ඔහුගේ දෙපා වලට විවේකයක් නැත.සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඔහුගේ විශේෂ ඇල්මක් දිනා ගත් කිහිප දෙනා අතරින් මම එක් අයෙක් වෙමි. 
"ඔබ කෙරෙහි මගේ ඇති ආදරය කුමරුවන්ටද දැනෙනවා ඇති" මහ රජතුමා ද එසේ පැවසුවේ වරක් දෙවරක් නොවේ. 
දඟකාරකම් නිසා ඇති වන තුවාල පෙන්වීමට, සිය මව සමග වන ආරවුල් පිළිබඳව පැමිණිලි කිරීමට, අවේලාවේ කුස ගිනි සිදු වූ විට ආදී බොහෝ අවස්තා වලදී ඔහු මා සොයා පැමිණේ.


"මේ කුමක්ද"? ඔහු අසන්නේ මා අතේ වූ නූපුර පෙන්වමිනි.


"ඒ නූපුර කුමරුණි"


"මට දෙනවාද?" මට සිනහ උපදින්නේ නිරායාසයෙනි.


"නූපුර පළඳින්නේ කාන්තාවන්. හැරත් කුඩා දරුවකු ඉන් කුමක් කරන්නද?"


නොපිට පෙරලුණු ඔහුගේ තොල්පෙති නොමනාපය කියා පායි.මම ඔහුගේ හිසකේ පිරිමදිමි.




"මට අර මල නෙලා දෙන්න"එවර නම් ඉ‍ටු කළ හැකි ඉලීමකි.මම සළුපිලි සමගින්ම පොකුණට බසිමි. නෙළුම් මල තව දුරය. දණට මදක් ඉහළට දිය පිරී ඇත.


"කුමරිය, මා මල නෙලා දෙන්නම්"සේවිකාව පවසන්නීය.


"නුඹ ගොඩට වී කුමරු පිළිබඳව විමසිල්ලෙන් සිටින්න" 


පොකුණු ගැට්ට මත ඇණ තබා ඉඳගත් විදීෂ කුමරුන් මා නෙළනා මල් දෙස ආශාවෙන් බලා සිටියි. සුදු ඕලු මල් දෙකක් සහ නිල්මහනෙල් මලක් මා නෙළා ගතිමි. කුමරුන් පෙන්වූ නෙළුම් මලට තව දුරය.පොකුණු පතුලේ සිටින මින් කැළ මා දෙපා කිති කවනු මට දැනේ. මම තවත් ඉදිරියට යමි.ගමේ ඇළ දොළ සියල්ලම පුරුදු මා හට මේ කුඩා පොකුණ බියජනක ස්ථානයක් නොවේ.


"විදීෂ........ " එක් වරම ඇසෙන හඬක් මා කලබලයට පත් කරයි.
නන්දාද කැ‍ටුව වහ වහා අප වෙත පැමිණෙමින් සිටින්නේ අග බිසවුන් වහන්සේය. ඇගේ මුහුණේ ස්වභාවය නම් එතරම් යහපත් නැත. මහත් වූ කෝපාග්නියකින් ඈ දැවෙන්නා සේය. 


"කුඩා දරුවා ත් ළඟ තබාගෙන නුඹ මේ කුමක් කරන්නේද උදුලා?" මා හට පහර දීමට බඳු පරුෂ බවක් ඇගේ හඬෙහි ඇත.


"මා සූදානම් වූයේ කුමරුන්ට මල් නෙළා දීමටයි බිසවුන්වහන්ස"


"යස මල් නෙලීම.... කුමරුනුත් පොකුණට බැස්සා නම්.........මගේ දරුවා මරා ගැනීමටද නුඹට අවශ්‍ය?"විදීෂ කුමරුන් අතින් ඇද ඇය තමා වෙතට ලං කර ගනීයි.


           ඔහුගේ දෙනෙතේ මතු වූ විශාල කඳුලු බිඳු දෙකක් සියුමැලි කම්මුල් ඔස්සේ ගලා යයි. රාජකීයත්වයටම ඔබින ගතිගුණ ඇති මේ සිවු හැවිරිදි දරුවා හඬ නගා හඬා වැලපෙනු මා දැක ඇත්තේ ඉතා අහම්බෙනි.මගේ දෑස්ද තෙත් වන්නේ ඉබේමය.මවකගෙන් දරුවකු උදුරා ගැනීමට මා හට අයිතියක් නැත. එසේ හෙයින් දෑස් වලට දුක් වන්නට ඉඩ දී මම හිස් බැල්මෙන් බලා සිටිමි. 


ආපසු හැරි හැරී මා දෙසත්, පොකුණ අසල වැටී ඇති මල් තුනත් දෙස බලමින් යන කුඩා කුමරුවන් පිළිබඳව මෙන්ම මා පිළිබඳවද සිතේ ඇති වන්නේ ශෝකයකි. නෙත් තුළ මතු වූ කඳුලු මටත් හොරෙන් ගලා යයි. සේවිකාවන් දෙදෙනා විමසිල්ලෙන් මා දෙස බලයි. මොහොතකට පෙර සිනා ඔවුන්ගෙන් වසන් කළ මම දැන් කඳුලු ඔවුනගෙන් වසන් කිරීමට උත්සාහ කරමි. 


දිය කෙළියට හෝ ස්නානයට දැන් සිතේ උනන්දුවක් නැත. යන්තම් මුව දොවාගන්නා මම ගොඩට පැමිණෙමි. 


       ආපසු පැමිණෙන පා ඔසවන මාගේ දෙනෙත් ඉබේම මාලිගය දෙසට යොමු වේ. මගේ නෙත ගැටෙනේ අනපේක්ෂිත දසුනකි. මහ රජතුමා සීමැදුරු කවුළුවෙන් මා දෙස බලාසිටියි.මැලවූ මුහුණින් යුතුව එත්මා දෙස කෙලින් බැලීමට අපහසුය. මම බිම බලා ගනිමින්ම එතැනින් පිය නගමි.සිදු වූ සියල්ල එතුමාද දකින්නට ඇත. එතුමාද මා පිළිබඳව උදහස් වේවිද.


අන්ත:පුර බිසවුන් දෙදෙනෙක් මා දෙස උනන්දුවෙන් බලා සිටිති. ඔවුන් සමග සුහද කතා බහක යෙදීමට තරම් සුදුසු මානසිකත්වයක් මා හට නැත.


"උදුලා බිසවට මහ රජතුමගෙන් පණිවුඩයක්" රජමාලිගයේ සේවිකාවක් කලබලයෙන් මා සොයා පැමිණේ. "හැකි ඉක්මනින් එහි පැමිණෙන්නට කීව"

        සිදුවන්නට යන්නේ කුමක්දැයි මා හට පැහැදිලිය. එහෙත් දැන් කිසිවක් වෙනස් කරලීමට නොහැකිය.විදීෂ කුමරුන්හට විස්තර කළ නොහැකි තරමේ ආදරයක් මිස ඔහුට හානියක් කිරීමට මගේ තුන් හිතකවත් අදහසක් නොතිබූ බව මම දනිමි. කුඩා විදීෂ ද ඒ බව දනියි. එහෙත් රාජ උදහසට සියල්ල යටය. රජතුමා මා හටා කොතරම් ආදරය කළත් සිය පුතණුවන් හමුවේ මා හිරු දු‍ටු පිණි බිඳක් පමණක් නොවේද.


    මටද අවසඟව පැකිලෙන දෙපා ඉක්මන් කරමින් මම මහරජතුමා කරා එළඹෙමි. 


     එතුමා පසෙකින් කෝපාග්නියෙන් දැවෙන දෙනෙතින් දෙනෙතින් යුතුව මදෙස බලා සිටින අගබිසවය. එතුමාගේ අතෙහි තවමත් මැලවුණු මුහුණින් යුතුව මදෙස බලාසිටින විදීෂ කුමරුන්ය. එතුමාගේ කාන්තිමත් තේජස් දෙනෙත් දෙස බලා සිටින්නට නොහැකිව මම බිම බලා ගනිමි.


"කුමක්ද සිදු වුණේ උදුලා...?"එතුමාගේ ස්වරය මා සිතූ තරම් ක‍ටුක නැත.


"සිදු වූ සියල්ල මා ඔබට පැවසුවා රජතුමනි" අගබිසවුන් මා මුව විවර කිරීමටත් පෙර පවසයි. ඇගේ වදන් වල , හඬෙහි ‍රැඳී ඇති හැඟීම් මා හට හොඳින් වටහා ගැනීමට හැකිය.


"නැවතත් එවැන්නක් සිදු වන්නට ඉඩ හරින්නට එපා උදුලා" එය රාජ අණකි.

"මේ දරුවව අප පණ සේ ‍රැක බලා ගත යුතුයි....."

මම බිමට නෙත යොමා සිටිමි. එතුමා මා හට බැන වැදුනා නම් සිතට දුකක් නැත. එහෙත් මා කෙරෙහි ඇති කරුණාව ආදරය සහ , මහත් වූ දරු සෙනෙහස ආදි සියල්ලක්ම කැටි වූ මෙම ස්වරය මා හට දරා ගැනීමට ඉතා අපහසුය. මා හට හැඬුම් එන්නට ආසන්නය. මම බිමට නෙත යොමා සිටිමි.


"රජතුමා කතා කරන විටත් පිළිතුරු නොදී සිටිනා අපූරුව.." අගබිසවගේ වදන් ඉතා රළුය.


"හොඳයි, දැන් ඉදුලා ට යන්න පුළුවන්" රජතුමා  ඔහුගේ ලයාන්විත ස්වරයෙන් එහෙත් තිර හඬකින් මා හට පවසයි. එතුමාටත් , බිසවටත් හිස නමා ආචාර කරන මම පියවර තුනක් ආපසු ගමන් කොට හැරී එතැනින් නික්ම යමි. මා දෑසින් කඳුලු වැගිරේ.බිසවගේ කෝපාවිශ්ට නෙත් මා ලුහුබඳිනවා විය යුතුය. කෙසේවත් මම ආපසු හැරී නොබලමි. ආපසු හැරී මහරජතුමා දෙස හෝ අගමිසව දෙස බැලීම අප වැන්නන් හට තරම් නොවේ. 


"උදුලා නැන්දා....." එහෙත් යන ඒ දයාබර හඬට මා ආපසු හැරී නොබලන්නේ කෙසේද? "අඬන්න එපා" 

එහෙත් මගේ කුඩා විදීශ කුමරුන් සැනසීමට මා හට ඒ මොහොතේ නොහැකිය. මගේ කොපුල් තව තවත් කඳුලින් සේදී යන අතරම මම එතැනින් හැකි ඉක්මනින් නික්ම යමි.

මා ආපසු හැරුණා පමණය. ඔහුගේ සිරුරේ මා හැපී බිමට ඇද නොවැ‍ටුණේ අනූ නවයෙනි. ඒ මහ සෙනෙවිතුමාය. කලබලය නිසා මා ගතෙහි හැපීම පිළිබඳව රජතුමා උරණ වේවිද... එහෙත් සෙනෙවිතුමාට ඒ පිළිබඳව වගේ වගක් නැත. වෙනදාට මා දු‍ටු වහා සුහදව සිනාසෙන ඔහු අද මා පෙරලීමට තරම් මා සිරුරේ ගැටී, නොදු‍ටුවා සේ යන අයුරු ! හැරත් මහ රජතුමා ඉදිරිපිට !


කුමක් හෝ ගැටලුවක් මතු වී ඇති ආකාරයක් ඔහුගේ හැසිරීමේ ඇත. ඔහු පසුපසින් ඇදෙන වියවුල් වූ පෙනුමැති මිනිසුන් දෙදෙනා නිසා මගේ සිතෙහි උපන් එම සැකය තහවුරු වේ.

බැලූ බැල්මට ඔවුන් රජ වාසල සේවකයන් විය නොහැකිය. එහෙත් සාමාන්‍ය ගම් වැසියන් නම්, කිසියම් උවමනාවකට පැමිණියවුන් නම් සෙනෙවිතුමා මාර්ගයෙන් ඔවුන් මහරජතුමා හමුවන්නේ ඇයි? ඔවුන් වරදකරුවන් ද විය නොහැක. එසේ වූවානම් මෙසේ නිදහසේ ඔවුන් හට පැමිණීමට අවකාශ නැත්තේය. ඔවුන් දෙදෙනා කවුරුන්ද. රජවාසල සේවකයන් නිතර දැක පුරුදු මට , ඔවුන් දෙදෙනාගේ දසුන නෙතට මෙන්ම සිතට ගෙන දෙන්නේ අමුත්තකි. සෙනෙවිතුමා අත තල්පතක් වැනි යමකි.

මෙය කිනම් පනිවුඩයක්ද. ඒ යහපත්, සුබදායී යමක් නම් විය නොහැක. මගේ නිරිඳානන් හට කරදරයක්ද. මෙහිම ‍රැඳී සිට සිදුවන සියල්ල බලා විමසීමට මා හට සිත් වේ. එහෙත් මා හට ඒ සඳහා ඉඩක් කොහිද. මම සෙමෙන් මගේ යහන් ගබඩාව වෙත පිය මනිමි. අගබිසවුන් වහන්සේ ද රජතුමානන් අත වූ විදීශ කුමරුන් ගෙන වෙනතකට යනු දිස් වේ.


සිත එකලාසයක් කරගත නොහැකිය. අගබිසවගේ කෝපය මා වෙත එල්ල වීමත්, ඊටත් වඩා මහසෙනෙවිතුමන්ගේ ස්වරූපයේ වූ බැරෑරුම් සහගත බව මගේ සිත චංචල කොට ඇත.


කුරුල්ලන් දෙදෙනෙකුගේ කලබලකාරී නාදයක් මා සවනට ගැටේ. මම කවුලුවෙන් එපිටට නෙත් යොමමි. වී කුරුල්ලන් දෙදෙනෙකු අතර ගැ‍ටුමකි. සාමාන්‍යයෙන් වී කුරුල්ලන් මෙසේ ගැ‍ටුම් ඇති කරගන්නවා මා දැක නැත්තෙමි... කියාගත නොහැකි තරමේ අනියත බියකින් මා සිත වෙලී යයි. අසල ගසක සිටින වඳුරන්ගේ කඨෝර නාදය ගෙන දෙන්නේ කනට යවුලෙන් අනිනවා බඳු හැඟීමකි.


***************************************************


මා පර්වතය මුදුනේය. යා යුතු මගක් නොපෙනේ. අසරුවන් සමූහයකගේ හඬ ඇසේ. දසතින් ඇසෙන්නේ මිනිසුන්ගේ විලාප නාදයයි. කිසිවෙකු මා අතින් අදිනවා මට දැනේ. මම ආපසු හැරී බලමි. ඒ මගේ මහරජතුමාය. පෙරදා සෙනෙහසින් බබලන දෙනෙත අද අඳුරුය. 
"එන්න උදුලා, පමා වන්නට වෙලාවක් නැහැ... අප මෙහෙන් පලා යමු............."
ඔහුගේ වදන් මට ඇසෙන්නේ බොහෝ ඈත සිට ඇසෙන්නාක් මෙනි. 
මගේ අතට සීතලක් දැනේ...... මම අත දෙස බලමි. එය ලෙයින් වැකී ගොස්ය. මා කෑ ගැසීමට උත්සහ කරමි. එහෙත් හඬ පිට නොවේ. 

"උදුලා අපි යමු..." රජතුමා මා සුරතින් අල්වා ගනීයි. ඔහුගේ අතෙහිද ලේ තැවරේ...


මා හට මගෙ අත ඔහුගෙන් මුදා ගැනීමට අවශ්‍යය.  එහෙත් මම ඔහු සමග දිව යන්නට සැරසෙමි.  එහෙත් ඒ සඳහා අවකාශ නොලැබේ. නොපෙනෙන හස්තයක් විසින් මා තල්ලු කරනවා මට දැනේ. ආපසු හැරීමට මා හට ඉඩක් නොලැබේ. රජතුමා සමගම මා පව්වෙන් පහලට ඇද වැටෙමි. මම හැකි වෙර යොදා කෑ ගසමි. එහෙත් විලාප හඬ මැද මගේ හඬ වියැකී යනු මට දැනේ..........


***************************************************

"උදුලා........ උදුලා....... කිමෙක්ද මේ විලාපය?"
මා දෙනෙත් විවර කර බලමි.

මේධා මදෙස බලා සිටියි.ඈ අන්ත:පුරයේ බිසවුන් අතරින් මගේ හිතවතියයි.

"මා නපුරු සිහිනයක් දු‍ටුවා"

"අවේලාවේ නිදාගත්තාම ඔවැනි දේ පෙනෙනවා"
මගේ සියොළඟ ඩහදියෙන් පෙඟී ඇත.


"මගේ සිතට මහත් බියක් දැනෙනවා මේධා?"

"හේතුවක් නැතිවම?"


"හේතුවක් නැතිවම නොවේ......" ඒ හැර යමක් ඈ හට පැවසීමට මා හට සිත් නොදේ


"එසේනම්?"


"නැත මේධා... කිසිවක් නැත.."


"කිමෙක්ද? නුඹේ සුපෙම්වතා අමනාපයෙන්වත්ද?" 

මගේ රජතුමා කෙරෙහි මා සිතෙහි ඇති ප්‍රේමය ඈ හට විහිළුවකි. රාජ අණින් මෙහි පැමිණියා මිස, එතුමා කෙරෙහි ප්‍රේමයක් මෙහි සිටින වෙනත් කිසිවෙකුට ඇති නොවන්නේ මන්දැයි මා හට නොවැටහේ. එතුමාගේ සංවේදී ආදරණීය සිත වටහාගෙන ඇත්තේ මා පමණක්මද?

අද රාත්‍රිය උදා වන තුරු මගේ සිත නො ඉවසිල්ලෙනි. මෙතුවක් මා සියල්ලන්ගෙන් වසන් කොට සිටි රහසක් එතුමා හට අද පැවසීම මගේ ආශාවයි. ඔහු ඉන් ඉතා තු‍ටු වන බැව් මා දනිමි. 


"සිහිනෙන් බිය වී කෑ ගැසූ නුඹේ මුවෙහි දැන් සිනහවක්........" මේධා පවසන්නේ නෝක්කාඩුවෙන්. "නුඹේ සිහි විකල් වී ඇති නම් රාජකීය වෙදා ලවා හිස කුඩිච්චියක් හෝ දමා ගනු වටීයි."

මම තවත් සිනහවෙමින් ඈ හට සෙමෙන් පහරක් ගසමි. සියල්ල මොහොතකට අමතක කර දැන් මා සිනා සෙමි.

මේධාගෙන් සිනහවක් නැත. ඒ වෙනුවට ඈ තුශ්නිම්භූතව ලෙසින් කවුලුවෙන් එපිටට නෙත් යොමා සිටියි. ඈ අනුව යමින් මමද එදෙස බලමි.


සිහි විකල්ව හිස කුඩිච්ච්චියක් ඇවසි වී අත්තේ මා හට නොවන බව අපේ දෑස් ඉදිරිපිටම දිග හැරෙමින් පවතීයි. අන්තපුර මාලිගය දෙසට සිහි විකල් වූ ලෙසින් දිව එන්නේ නන්දාය. මා හට තවත් පණිවුඩයක්ද? එසේ විය නොහැකිය. ඇගේ මුහුණින් ප්‍රකට වන්නේ බියට පත් වූ විලාසයකි.


"පණ බේරාගෙන පලයල්ලා......" ඒ ඇගේ හඬයි. සියලෝම ඈ වටා රොක් වෙති. මගේ දෙපා මා හට අවසඟව ඇති සෙයක් දැනේ.



"රජ මාලිගාවට සතුරු ආක්‍රමණයක්......." ඈ හට පවසන්නට ලැබුණේ එපමණකි. කිහිපදෙනෙකුම විලාප තබමින් එතැනින් දිව යති. ඒ පිළිබඳව තතු දැනගන්නට අන්‍යයන් යුහුසුළු වෙති. රාජකාරියද අමතක වූ මුර සෙබලුන් දෙදෙනෙකුද ඈ හට කන් දෙති. 

මා හට ඒ කිසිවක් ඇවසි නැත. මම මහරජතුමා බැහැදැකිය යුතුමය. මගේ දෙපා මටත් වඩා යුහුසුළු වේ.

සියල්ලෝම කලබලයට පත් වී ඇත. කඩි ගුලක් ඇවිස්සුනා බඳුය. වෙනදා බඳු ආචාරශීලී බවක් ඔවුන් කිසිවෙක් තුළ නැත. එකිනෙකාගේ ඇඟේ හැපෙමින් විවිධ දෙසට ඔවුහු දිව යති. මුර හේවායෝ ඔවුන් පාලනය කිරීම උදෙසා අසාර්ථක වෙහෙසක් දරති. මහ රජතුමා කොහෙද. එතුමාගේ කුටිය දෙසට මගේ පා ඉක්මන් වේ.

එතුමාගේ කුටිය අසල සිටින සෙබලුන් මාගේ ගමන වලක්වාලීමට වෙර දරයි. 
"මා හට එතුමා හමුවිය යුතුයි" මම උපරිම දැඩි ස්වරයෙන් පවසමි.

"ඈ හට පැමිණීමට ඉඩ හරින්න" එතුමා හට ගැ‍ටුම්කාරී සංවාදය ඇසී ඇත. මා කුටිය තුළට පිවිසෙත්ම මා නොසිතූ ලෙස එහි සිටි අග බිසව කුටිය හැර යයි. ඈ දෙස එක එල්ලේ බැලීමට මා හට ශක්තියක් නොමැත. එහෙත් වෙනදා මෙන් ඒ දෙනෙත් වල මා කෙරෙහි අකරුණාවන්ත බවක් නම් නොවේ. මතු වී ඇති සතුරු උවදුර ඇගේ දැඩි සිතද මුදු කොට ඇති සේය.

යහන්ගැබ කෙළවර වාඩි වී සිටින මහරජ තුමා මා දෙස බලා සිටියි. මා හට මගේ දෙනෙත් අදහා ගත නොහැකිය. ඒ කඩවසම් ලස්සන මුහුණ මා මින් පෙර කිසිදා නොදැන සිටි ලෙස අඳුරු වී ඇත. වෙනදාට මෙතැනම සිට මා වෙත යොමන නුරා බැලුම් අද ඔහු අසලකවත් නැත. මගේ මුව ගොලුවී දෙනෙතට කඳුලු පුරනු මා හට දැනේ.

"උදුලා......."

"රජතුමනි, කුමක්ද මේ සිදු වන්නේ?"

"මගේ පෙම්බර උදුලා.... මා බලාපොරොත්තුවෙන් සිටි සතුරු ප්‍රහාරයක්, බලාපොරොත්තු නොවූ අවස්ථාවක පැමිණෙමින් තිබෙනවා."

"අපි පලායමු රජතුමනි"
මා හට පැවසිය යුතු වෙනත් කිසිවක් සිතා ගත නොහැකිය.

"ඔව් උදුලා... එහෙත් මා නොවේ, ඔබ පලා යා යුතුයි.... ඉර හැරුණු පසුව ඔබ කිසිවෙකුගේ දෑසට නොපෙනී පලා යා යුතුයි. අනෙක් අන්තපුර ස්ත්‍රීන් ඔවුන්ගේ ගම්මාන වලට හැරලීමට මා මේ වන විටත් උපදෙස් දී හමාරයි.."

"කුමක්ද මේ සියල්ලෙහිම අරුත රජතුමනි? ඔබ තුමා සියල්ල අතහැර දමා දිවි පුදන්නටද සැරසෙන්නේ?" මගේ කඳුලු හැකි පමණ පාලනය කොටගෙන මා විමසා සිටිමි.

"නෑ උදුලා. මා දිවි පුදන්නේ නෑ. මා සටන් කරනවා. එහෙත් සතුරු සෙබලුන් අතින්, ඒ අහිංසක ස්ත්‍රීන් හට හානි වන්නට මා ඉඩ තබන්නේ නෑ. ඒ නිසයි අද ඉර හැරෙන්නට කලින් ඔවුන් පිටමන් කිරීමට මා කටයුතු යෙදුවේ......."

"එහෙත් මා හට ඔබ තනි කොට යා නොහැකීයි රජතුමනි. ඔවුන් ගියාවේ. මට ඔබතුමා සමග ‍රැ‍ඳෙන්න ඉඩ දෙන්න" මම ඔහුගේ දෙපා මුළ වැඳ වැටෙමි.

"නැගී සිටින්න උදුලා" මා නැගිටවා ගන්නා ඔහු මෘදුව මා වැළඳගනියි. "මේ මාලිගයෙහි මා හට වටිනාම වස්තූන් දෙකක් ඇත උදුලා. එකක් විදීශ කුමරුන්. අනෙක ඔබ. ඔබ දෙදෙනාටම කිසිවෙකුගේ අබමල් රේණුවක තරම් හෝ හානියක් වනවා දකින්නට මා හට නොහැකියි උදුලා. එසේ වුවහොත් සතුරන් අතින් මා මිය යන්නට පෙර මා ළය පැලී මිය යාවි...."

මගේ වදන් මා හට අවනත නැත. වදන් ගලා එන්නට නොහැකිවම මුවට වැට කඩුලු බඳ ඇත. දෙනෙත් උතුරා ගලා හැලෙන කැඳුලැලි නිසාදෝ  මගේ පණවත් බව කිසිවෙකු හෝ මගෙන් සොරාගෙන ගොස් ඇති බවක් දැනේ. මා හට මේ තරම් හඬන්නට හැකියාවක් ඇති බව මා මින් පෙර දැන නොසිටියෙමි. 
"මෙසේ නොහඬන්න උදුලා.... ඔබ ශක්තිමත් වී සිටීමයි මා හට ඇති එකම සැනසීම. හොඳින් සවන් දෙන්න උදුලා. තව නොබෝ වේලවකින් රාජසභාව ‍රැස්වෙනු ඇත. ඊට පෙර මා පවසන සියල්ලට හොඳින් සවන් දෙන්න. ඒ අනුව යමින් විදීශ කුමරුත් ‍රැගෙන මාලිගයෙන් පිටවන්න. මගේ උදුලා, මගේ විදීශව පණ මෙන් රකින්න......" මම අපහසුවෙන් කඳුලු වලකා ගනිමි.

"එහත් රජතුමණි අග බිසවුන් වහන්සේ...?"

"මේ ඇගේ තීරණය උදුලා. මා ඔබ විශ්වාස කරන්නේ යම් සේද, ඒ තරමටම ඈ විශ්වාස කරනව ඔබ විදීශ කුමරුන් ආදරයෙන් ‍රැක බලා ගන්න බවට. යම් හෙයකින් අපට අනතුරක් සිදු වුවහොත් ඔබ පණ මෙන් ඔහු රකින බව ඈ අදහනවා....."

"ඔබට එසේ වන්නේ නෑ රජතුමනි"

"අපි එසේ පතමු උදුලා. නමුත් මේ අවස්ථාවේ කළ හැකි වෙනත් කිසිවක් නැහැ..."

"මම ඔහුගේ දෙපා නමදිමි. මා හට නැවත් නැගී සිටීමට වාරු නොමැත.

"මගේ පෙම්බර උදුලා.... ඔබ මා හට දැක්වූ ප්‍රේමයේ නාමයෙන්, මා ඔබට දක්වන ප්‍රේමයේ නාමයෙන් , අප නැවත හමු වේවි. මතු සසරේදී හෝ අප නැවත හමු වේවි...."

******************************************************************

ඝණ වනාන්තරයේ මෙසේ ගමන් කිරීම අපහසුය. හමන් වෙහෙස නිසා කුඩා විදීශ නින්දට වැටී ඇත. මා ගතින් ඩහදිය බේරේ. දෙනෙතින් ගැලූ කඳුලැලි දැන් වියලී ඇත. ගම්මානයට තව බෝ දුරය. 

වනාන්තරය අතරින් මාහට දිස් වන මහා දුම් කඳ පෙනෙන්නේ කුමණ දිශාවෙන්දැයි මා දනිමි. මේ සා විසල් මාලිගයක් ගිනි තබන්නට සිත් දැඩි කරගත් සතුරන් කවරෙක්ද. ඔවුන් සිත් පිත් නොමැති අධමයන් විය යුතුය.

විදීශ කුමරුගේ සුසුමක් මගේ ගෙලට දැනේ. සිදුවන සියල්ලක නිනවුවක් නොමැති ඔහු තවමත් තද නින්දේය. 

එතුමාට සදා රහසක් වූ ලොවේ සියල්ලන්ටම හොරෙන් මා වෙතට පැමිණි තවත් ප්‍රාණියෙකු මගේ කුස තුළ සුව නින්දේ බව මා හට දැනේ. ඔහුගේ මොලකැටි හද ගැස්ම මට දැනේ. මා මගේ දිවි දෙවන කොට උතුම් ලෙස සු‍රැකි අප දෙදෙනාගේ ආදරයේ  ඒ ප්‍රතිඵලය , විදීශ කුමරුන් සේම මම දිවි දෙවන කොට සුරකිමි. මගේ හිමිසඳුන්  කොහේ හෝ සිට අප තිදෙන දෙස බලා සැනසෙනු ඇත.