Wednesday, October 31, 2012

අඟහරු ගැන කතා - එදා සහ අද



සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් මිනිසාගෙ වැඩි අවධානයක් දිනාගත් අඟහරු ( Mars ) පිළිබඳ කතා බහ පසුගිය දින වල යළිත් වැඩි වුණා. ඒ " Mars scientific laboratory " හෙවත් curiosity රෝවර් යානය මාස 8ක් මුළුල්ලේ කිලෝ මීටර මිලියන 563ක් පමණ දුරක් ගෙවා අගෝස්තු මාසයේදී අඟහරු වෙතට පැමිණීම නිසා. 

එතැන් සිට මේ දක්වා ඒ මගින් පෘථිවිය වෙත එවූ තොරතුරු හා දත්ත අති විශාලයි. අඟහරු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවය පැවති බවට සාක්ෂි සෙවීම ඇතුළු කාර්යයන් ගණනාවක් මේ මගින් තවමත් ඉ‍ටු කරමින් පවතිනවා.

මේ curiosity රෝවර් යානය

ඒ මගින් පෘථිවිය වෙත එවූ  ඡායාරූප වලින් කිහිපයක් මේ.





අගහරු පිළිබඳව මිනිසාගේ අවධානය යොම වූයේ අද ඊයේ නොවේ. ආදි ඊජිප්තු වැසියන්ගේ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ටාචාරයේද විශේෂ අවධානයක් මේ වෙත යොමු වූ අතර රාත්‍රී අහසේ රතු පැහැයෙන් දිව් වූ අඟහරු ඔවුන් විසින් හඳුන්වනු ලැබුවේ "රතු තාරකාව", "මරණයේ තාරකාව" වැනි නම් වලින්. 

එහි වූ රතු පැහැය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ආදි ග්‍රීකයන් සහ රෝම වෑසියන් ද එය යුධයට අධිපති දෙවි වරුන් වශයෙන් සැලකූ "Ares" සහ "Mars" යන නම් වලින් හඳුන්වනු ලැබුවා.

පුරාතන මිථ්‍යා කතා ඇතුළු ප්‍රවාද බොහොමයකටද අඟහරු ග්‍රහයා පාදක වී තිබෙනවා.


රෝම මිත්‍යා කතන්දර වලට අනුව , අඟහරු ( Mars ) යුධයට සහ කෘෂිකර්මයට අධිපති දෙවියන් ලෙස සැලකෙනවා. රෝම යුධ සඳහා යුධ පිටියට පැමිණෙන බව විශ්වාස කළ ආදි රෝම වැසියන්, යුධ වලට ප්‍රථමයෙන් Mars සඳහා බිලි පූජා පැවැත්වූවා. 


Mars, 1st century, found in the Forum of Nerva (Capitoline Museums, Rome)

රෝම වැසියන් ගෞරවයෙන් පිදූ දෙවියන් අතර Mars හට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ රෝම නගරය ආරම්භ කළා යැයි සැලකෙන රෝමියස් සහ රේමස්  Mars ගේ දරුවන් වන බවට ඔවුන්ගේ විශ්වාසය නිසා.


She-wolf and twins from an altar to Venus and Mars


ග්‍රීක වැසියන්ට අනුවද, අඟහරු ( Ares ) යුධයට අධිපති දෙවියා වුණා. ඔහු සියුස් සහ හේරා දෙවඟනගේ දරුවෙක්

Ares  හට බිරිඳක් නොසිටි අතර, ආදරයට අධිපති දෙවඟන වන ඇප්‍රොඩයිට් / වීනස් ( Aphrodite / venus ) ඔහු නිසා  ෆෝබෝස් සහ ඩයිමෝස් යන නිවුන් පුතුන් දෙදෙනා ලද බව දැක්වෙනවා.

(කෙසේ වෙතත් ආදි රෝමානුවන් තරම්, ග්‍රීක් වැසියන් අඟහරු වලට වැඳුම් පිදුම් කළ බවක් නැහැ.ඒ ඔහු අනික් දෙවිවරුන් හා සසඳන කල, නිර්භීත නොවූ එහෙත් කලහකාරී දෙවියකු බවට ඔවුන් විසින් සැලකූ නිසා)

ඉන්දියානු පුරාණ වේද ග්‍රන්ථ වල අඟහරු  kuja සහ Mangal ලෙසින් නම් කර තිබෙනවා. ඒ පිළිබඳව රූප සටහන් වල කුජ ග්‍රහයා ඔවුන් දක්වා ඇත්තේ රතු පැහැයෙන්.


මේ ලෙසින් දුරාතීතයේ පටන්ම මානවයාගේ අවධානය දිනා ගත් අඟහරු පිළිබඳව පසු කාලීනව විසූ වියතුන් විවිධාකාර මත පල කොට තිබෙනවා. ඒ ඇතැම් අදහස් මේ යුගයේ ජීවත් වන අප හට ඇතැම් විටෙක් සිනා පහළ කරවන සුළුයි. එහෙත් ඒ මත මගින් දිගින් දිහටම අඟහරු පිළිබඳව අධ්‍යයනය කරන්නට ලැබුණු පිටිවහල සුලුප‍ටු නොවේ.

අඟහරු පිළිබඳව මුල්ම විද්‍යාත්මක අධයයනයක් සිදු කළ පුද්ගලයා ලෙස ඇරිස්ටෝටල් දැක්වෙනවා. ඒ ක්‍රි.පූ.356 දී. 

ඇතැම් අවස්ථා වලදී අඟහරුගේ ගමන් මාර්ගය පෘථිවියේ චන්ද්‍රයාගෙන් වැසී යන බව ඔහු නිරීක්ෂණය කළා. ඒ අනුව ඔහුගේ නිගමනය  අඟහරු යනු චන්ද්‍රයාට එපිටින් ගමන් ගන්නා ග්‍රහ වස්තුවක් බවට ඔහු කරුණු දක්වා සිටියා.

එහෙත් දුරේක්ෂයක් මගින් අඟහරු මුලින්ම නිරීක්ෂණය කිරීමේ ගෞරවය ලැබෙන්නේ ගැලීලියෝ ගැලලි හටයි. ඒ 1609 දී.

අඟහරු යනු ගෝලාකාර නොවන වස්තුවක් බවයි ඔහු ප්‍රකාෂ කර සිටියේ.
( අඟහරු ග්‍රහයා  වසරේ වැඩි කාලයක් එහි අඩකට වඩා මදක් වැඩියෙන් පමණක් දිස් වන බව පසුව හෙළි කර ගත් කරුණක්)




1659
ක්‍රිස්ටියන් හයිජන්ස් (Christian Huygens) ,අඟහරු ග්‍රහයා මතුපිට දිස් වන ආකාරයේ රූප සටහනකට නැගූ පළමු පුද්ගලයා වුණා.
ඒ මත දිස් වන ආඳුරු පැහැති රතු ප්‍රදේශ වර්තමානයෙදී මාරියා (Maria)  ලෙසින් හඳුන්වනු ලබනවා. ක්‍රිස්ටෝපර් විසින් මෙවැනි විශාල මාරියාවක් දුරේක්ෂය හරහා නිරීක්ෂණය කළා.( එය වර්තමානයේදී " Syrtis Major " ලෙසින් හඳුන්වනු ලැබෙනවා.)

එය අඟහරුගේ භ්‍රමණයත් සමග ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කළ ඔහු හට, පසු දිනද එලෙසින්ම එය දක්නට ලැබුණා. ඒ අනුව, අඟහරුගේ භ්‍රමණ කාලය පැය 24ක් වන බවට ඔහු නිගමනය කළා.

එමෙන්ම අඟහරු මත බුද්ධිමත් ජීවීන් කොටසක් වාසය කරන බව ඔහු විශ්වාස කළා. ඒ මතය වසර ගණනාවක් ගත වන තුරු මිනිසුන් විශ්වාස කළා. 


(කොළ පැහැති අඟහරු අඟු‍ටුමිට්ටන් පිළිබඳව ගොඩ නැගුණු කතන්දර සඳහාද මෙය පාදක වන්නට ඇති.)

1666
ගියොවනි කැසිනි  (Giovanni Cassini) විසින් අඟහරුගේ භ්‍රමණ කාලය පැය 24ක් හා මිනිත්තු 40ක් බව ගණනය කළා.



එමෙන්ම මෙම ග්‍රහයාගේ ධ්‍රැවයන්හි සුදු පැහැයක් නිරීක්ෂණය කළ ඔහු ඒවා හිම සහ අයිස් බවට මත පළ කළා. ඉන් අනතුරුව වසර 300ක් පමණ ගත වන තුරුත් මේ මතය බිඳ දැමීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. 
(මෙම සුදු පැහැති ප්‍රදේශ වර්තමානයේදී "polar caps" ලෙසින් හඳුන්වනු ලබනවා)

කැසිනිගේ බෑණනුවන් වූ ගියාකොමො ‍ෆිලිපෝ මැරල්ඩි (Giacomo Filippo Maraldy) , 1719 දී අඟහරු නිරීක්ෂණය කරමින්, මාරියාවන් හි පිහිටීම කාලයෙන් කාලයට  වෙනස් වන බව පැවසුවා. ඒ අනුව ඔහුගේ නිගමනය වූයේ මේ තද රතු පැහැති ප්‍රදේශ වළාකුලු බවයි. අඟහරු ඝ්‍රීෂ්ම ඍතුවේදී ධ්‍රැවාසන්න අයිස් දෙය වී වාෂප වීමෙන් මේවා සෑදෙන බවත්, " ශීත ඍතුවේදී" නැවත මේවා මිදෙන බවත් ඔහුගේ මතය වුණා.

එහෙත් 1783 දී මේ පිළිබඳව අදහස් දැක්වූ විලියම් හර්ෂල් (William Herschel) මෙම ප්‍රදේශ හඳුන්වන්නට "මුහුදු" යන වචනය භාවිත කළ අතර, විටින් විට සිදු වන ජල ගැලීම් නිසා මාරියාවන්හි ස්වභාවය වෙනස් කම් වලට බඳුන්වන බව පැවසුවා.


1860 ගණන් වල ජීවත් වූ එම්මානුවෙල් ලයායිස් (Emmanuel Liais) දැරුවේ වෙනත් මතයක්. අඟහරු මත වූ ඒ තද රතු පැහැති ප්‍රදේශ, ඒ මත ඇති වගාවන් නිසා ඇති වන බවයි ඔහු පැවසූයේ.


ක්‍රි. ව. 1800 හි අග භාගය වන විට අඟහරු සතුව චන්ද්‍රයන් පැවතිය හැකි බවට විද්‍යාඥයින් මත පළ කළා. ඒ අනුව නිරීක්ෂණ වල නිරත වූ අසප් හෝල් ( Asaph Hall ) ඒවා සෙවීමට උත්සහ කළත් ඔහුගේ උත්සාහය සාර්ථක නොවූ තැන, සිය පරීක්ෂණ අත් හැර දැමීමට ඔහු තීරණය කළා. නමුත් , දිගින් දිගටම ඔහුගේ බිරිඳ ඔහුව දිරිමත් කළා. අඟහරු සතු වූ චන්ද්‍රයන් දෙදෙනෙකු සොයා ගැනීමට (1877) හෝල් හට හැකි වූයේ ඒ නිසයි.  ග්‍රීක මිත්‍යා කතා වල එන යුධයට අධිපති දෙවියාගේ නිවුන් දරුවන් වන ෆෝබෝස් ( Phobos ) සහ ඩයිමෝස් ( Deimos ) ගේ නම් වලින් ඔහු එම චන්ද්‍රයන් නම් කරනු ලැබුවා.

1892
එඩ්වඩ් එමර්සන් (Edward Emerson ) බර්නාඩ් යන විද්‍යාඥයා , තමන් අඟහරු මත ජලය ගලා යන සලකුණු (ඇළවල්) නිරීක්ෂණය කළ බව පවසා සිටියා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ශයාපරෙල් සහ ෆැමේරියන් යන දෙදෙනාද ඒ මතය තහවුරු කළා.

මෙම විද්‍යාඥයන්ගේ මතයෙන් පන්නරය ලද පර්සිවල් ලොවෙල් (Percival Lowell ), බොස්ටන් ආසන්නව නිරීක්ෂණාගාරයක් ඉදිකරගනිමින් අඟහරු නිරීක්ෂණයට පෙළඹුනා. 1906 දී එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහු " Mars and its canals " නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළා. අඟහරු මත දිස් වන ජල මාර්ග, බුද්ධිමත් ජීවීන් සිටින බවට සාක්ෂියක් ලෙසින් ඔහු දැක්වූවා.

මේ මතයට වෙනස් මතයක් පළ කළ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් (Alfred Russel Wallace ) නම් ප්‍රසිද්ධ ජීව් විද්‍යාඥයා 1907 දී ග්‍රන්ථයක් පළ කරමින් පවසා සිටියේ අඟහරු මත කිසිදු ආකාරයක ජනාවාස පැවතිය නොහැකි බවයි.



මෙවැනි විවිධ පුද්ගලයන් තනිව අඟහරු නිරීක්ෂණයේ යෙදෙමින්, ඒ පිළිබඳව විවිධ මත පළ කළත්, ඒ පිළිබඳ නිරීක්ෂණයට එක වර විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මුල්ම වරට " The association of Lunar and Planetary Observers" ඉදි කරනු ලැබුවා. ඒ 1947 දී.

එයින් ඇරඹි යුගය Mars වෙත යැවුණ Mariner ,viking, pathfinder, mars global surveyor, Odessy   යානා දක්වා විකාෂය වූ අතර , නවතම අඟහරු නිරීක්ෂකයා ලෙස මුලින් සඳහන් කළ curiosity යානය මේ වන විටද ක්‍රියාත්මකයි......



viking 1


mariner 6
pathfinder 











අනාගත අඟහරු නිරීක්ෂණයක්, පරීක්ෂණයන් කෙබඳු වේද? 
අපි බලා සිටිමු.

ඒ මත මිනිස් ජනාවාස ඉදිවන දිනය ද ඈතක නොවනු ඇත.




Daily News පුවත්පතෙහි අතිරේකයක් වන wisdom series ( 08th October 2012 ) හි අඟහරු පිළිබඳව ලිපියක් මේ ලිපියට මා මූලිකවම පාදක කර ගත්තා.
එමෙන්ම, තවත් තොරතුරු සහ ඡායාරූප ලබ ගත්තේ පහත වෙබ් අඩවි වලින්

http://en.wikipedia.org/wiki/Mars_(mythology)
http://www.dipity.com/tickr/Flickr_mex/
http://navagraharemedies.blogspot.com/2007/11/kuja-graha.html
http://idealab.talkingpointsmemo.com/2012/08/mars-curiosity-rover-prepares-to-travel-across-alien-landscape.php
http://en.wikipedia.org/wiki/Polar_ice_cap
http://www.beazley.ox.ac.uk/dictionary/Dict/ASP/dictionarybody.asp?name=Ares
http://www.utahskies.org/solarsystem/planets/mars/mythology.html


Monday, October 29, 2012

සන්නාලියක් ඇමතීම


නිදි වරා මසාලන 
ජීවිතේ ගෙත්තමට
නූල් එක්කාසු කළ

සෝබර වු කවියක්ය
නැගණියේ නුඹේ නෙත...

දිවා රෑ පුරාවට
ඔරලෝසු මුහුණතේ
ක‍ටු දුවන තුරාවට
කිසිදිනෙක හිරු නොබස්නා
කම්හලේ මැසිම ළඟ

කිසි දිනෙක හිරු නොපෑයුව
විල් තෙරකි
නුඹෙ නුවන් යුග

සැඳෑ අඳුරට හොරෙන්
නෙතු පියන්නට විඩාබර
සිහින සොයමින් දිවයත
නුඹෙ පසුපසම 
අඩි තබා ආ රාත්‍රිය

නුඹෙ දෙපා ළඟ නැවති
නුරා පිරි බැලුම් නම්
බොහොමයක් හෙළන්නැ'ති

පරව යන දෙපා පෙති,
ගිනියම් වු මාවතට
හසු වෙලා තව තවත්
මුකුලිතව මියෙන සඳ,

විඩා බර ඒ දෙපා
සෙනෙහසින් පිරිමදින
කිසිදු පෙම්වතෙක් නම්
මේ ලොවේ නැතිව ඇති......



Sunday, October 21, 2012

මගේ චිත්‍ර කතන්දරේ



අපේ තියෙන ආසාවන්  ගොඩක් වෙලාවට පුංචි කාලෙ ඉඳන්ම දකින්න ලැබෙනව. 
මගෙ නංගි වචන ගලපල වාක්‍ය හදන්නත් කලින් කිවුවෙ සින්දු. ගීත වලට නර්තන ඉදිරිපත් කළේ ඇවිදින්නත් කලින්ද කොහෙද.
ගීත ගායනයට, සහ නර්තනයට මගෙ තියෙන හැකියාව කොයි තරම්ද කියනව නම්, මම සින්දුවක් කියනව මටවත් ඇහිලා නැති තරම්. 

ඒත්,

චිත්‍ර කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම මගෙ හිත ඒකාත්මික කළ දෙයක්.අම්ම කියන්නෙ මම ඒ කාලෙ අහසෙත් චිත්‍ර අඳිනවලු ඇඟිල්ලෙන්. පොතක් කොළයක් අහු වුනොත් මම කළේ චිත්‍ර ඇඳපු එක. හැකියාව කෙසේ වෙතත් ඒ ගැන මගෙ හිතේ තිබුණෙ ලොකු ආසාවක්. 
මේ මම අවුරුදු 3යි මාස 5දි ඇඳපු 
"මගේ පාසල" 



මගේ පාසල කිවුවට ඒ අම්මගෙ පාසල. මාව තනියම තියල යන්න බැරි නිසා අම්ම මාව ඒ "පාසල"ට එක්කන් ගිය හැටි මම කලිනුත් කියල තියෙනවා. ඒ ඇඳල තියෙන්නෙ අම්මයි මමයි ඉස්කෝලෙ ගිය හැටි. මම ඒ කාලෙ හරි සතුටින් ඉන්න ඇති කියල හිතෙනව ඒක දැක්කම.

මේ ඉන්නෙ "ගුරුතුමී" මගේ පාසල ඇඳපු කොලේම එහා පැත්තෙ ඇඳල තියෙන්නෙ.




ඒ කාලෙ ඇන්දපු චිත්‍ර වලින් දැනට ඉතුරු මේක විතරයි. ඒකත් අප්පච්චි අරන් තියපු නිසා. නැත්නම් ඒවත් මමම කපලා විනාශ කරලා දාන්න තිබුණා.

ඕනම කෙනෙක්ගෙ ජීවිතේ තියෙනව එක එක සන්ධිස්ථාන. මේ තියෙන්නෙ මගෙ චිත්‍ර ජීවිතයෙ එක සන්ධිස්ථානයක්. 





පන්තිය 6 වසර. ස්ථානය පාසලේ චිත්‍ර කාමරය. චිත්‍ර කරන්න පටන් අරන් බොහොම ටික දවසයි. උදේම මේ චිත්‍රය දැකපු මගෙ චිත්‍ර ගුරුතුමිය ඒකෙ අඩු පාඩු වගයකුත් පෙන්නලා දීලා ඒකට ප්‍රශංසා කළා. විෂයක් විදියට චිත්‍ර කරන්න පටන් ගත්තු අලුතම අවුරුදු 10ක ළමයෙක් විදියට මට ඒක ලොකු දෙයක් වුණා.
ටික වෙලාවකින් පාසල් පරීක්ෂක වරු කිහිපදෙනෙක් ආවා. එක එක්කෙනාගෙ චිත්‍ර බලාගෙන ආව එක පරීක්ෂකයෙක් මගෙ ළඟ නැවතුණා. ඔහුගෙනුත් ප්‍රශසාවක් බලාපොරොත්තුවෙන් මම හිටිය.
"මේ ඔයා ඇඳපු එකක් නෙමේ" ඔහු මගෙන් අහන්නෙවත් නැතිව නිගමනයකට එළඹිලා. 
"නැ සර් මම ඇන්දෙ"
"බොරු කියන්න එපා.... මේකට කවුරු හරි උදවු කළා නේද?" 
"නෑ සර්...." ඒත් මගෙ කතාව අහන්න ඔහු නැවතුනේ නෑ, නිගමනෙත් එක්කම ඔහු එතනින් පිටවෙලත් ඉවරයි.
ඒ ගැන පසුව දැනගත්තු මගෙ චිත්‍ර ගුරුතුමිය මම වෙනුවෙන් ඔහු සමග පසුව කතා කර තිබුණා.

ඒත්,

මම මුලින් කිවුව වගේ ඒක මගෙ ජීවිතයෙ සන්ධිස්ථානයක් වුණා.  එතනින් එහාට කිසිම දවසක අදාල ස්ථානයේ සිටම අඳිනවා නම් මිස කිසිම චිත්‍ර තරඟයකට මා සහභාගි වී නැහැ. කුඩා ළමයෙකුගෙ සිහින බිඳ දැමීමේ ඒ ගෞරවය ඒ අදාල චිත්‍ර විෂය භාර අධ්‍යක්ෂක වරයාට හිමි වෙනවා.

පසු කාලයක වෙනත් රාජකාරී කටයුත්ත්කදී ඔහු හමු වූ මගෙ අම්මා එම සිද්ධිය පිළිබඳව ඔහුගෙන් විමසා තිබුණා. ඒ පිළිබඳව ඔහුට හොඳින් මතක තිබී ඇති අතර ඔහුගේ පිළිතුර වී තිබුණේ මෙවැන්නක්.

"ඒ චිත්‍ර මිස් ඕනවට වඩා තමන් ගැන ලොකුවට හිතාගෙන ඉන්නව. ඒ නිසයි මම එහෙම දෙයක් කිවුවෙ" මගෙ චිත්‍ර ගුරුතමිය පිළිබඳ තිබූ තරහක් , ඇගේ සිසුවියක වූ මා පිටින් යැවීම ඔහු සාධාරනීකටනය කර තිබුනේ එලෙසයි.

පාසල් කාලයේ ඒ විදියට ඉතා අඩුවෙන් චිත්‍ර ඇඳපු මම. පාසල් කාලයෙන් පසුවත් ඒ තරම් චිත්‍ර අඳින්න පෙළඹුනේ නැහැ. ඒ වෙනුවට වෙනත් අය විසින් අඳින ලද සිතුවම් මම බොහෝ සෙයින් රස වින්දා.

ඒ අතර ආසාවට වගේ ඇන්ද සිතුවම් කීපයක් මේ.

ගෙදර දම් පාට කාමරයක තියන්න මම ඇඳ දිය සායම් චිත්‍රයක් මේ. පසුබිම ඊයම් පැහැති කොළයක්.



මේක නිකම් හිතේ මැවුණ දෙයක්. කා‍ටුන් එකක අවස්ථාවක් කියල හිතන්නකො.




ද්විමාන චිත්‍ර වලට මම ආසාවක් දක්වන නිසාමයි මේ චිත්‍රය අඳින්න පටන් ගත්තෙ. ඒත් අන්තිමේදි ඒක තරමක් දුරට ත්‍රිමාන වුණා.






මේ චිත්‍ර දෙක පැන්සලෙන් කළ නිර්මාණ.  ඇස් දෙක සහ මුහුණේ බැල්ම බලාගත්තෙ ඡායාරූපයකින්. 




නමක් ගමක් නොදන්න ළමයෙක් ගෙ චිත්‍රයක්. ඒක ඡායාරූපයක් බලාගෙන ඇඳීමක්.


මේ චිත්‍ර දෙකටම HB, 2B, 4B, 6B, 8B  සහ charcol පැන්සල් ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තා. 

මේ හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන්නෙ නිකම් කඩසි කොල වල. කවුරු හරි දන්නව නම් මට කියන්න පැන්සල් චිත්‍ර සහ දිය සායම් චිත්‍ර වලට වඩාම සුදුසු කොළ වර්ග මොනවද කියල සහ ඒවා මිලදී ගන්න පුළුවන් ස්ථාන. මොකද, මේ තියෙන අවසාන චිත්‍රයට පස්සෙ මට ආසාවක් ආවා චිත්‍ර ඇඳීම දිගටම කරගෙන යන්න.


මේ පෝස්ට් එකට අදහස ආවෙ සිතැඟි සිතුවම් ලියන අමා නංගි දිගටම පවත්වපු චිත්‍ර ප්‍රදර්ශන. කොපි කළා කියල නංගි තරහ වෙන එකක් නෑ මම හිතන්නෙ.

කුමක් හෝ හේතුවක් නිසා, මේ චිත්‍ර එකතු කරද්දි වෙන වෙන පැති වලට හැරෙනවා. කොයි තරම් උත්සහ කළත් ඒක නිවැරදි කරන්න බෑ. කාට හරි පුළුවන්නම් මට උදවු කරන්න

Wednesday, October 17, 2012

අහස් ගඟ දිගේ යමු


ඊයේ රාත්‍රී නින්දට යාමට පෙර මා ජනෙල් තිරය විවෘත කළා. එය එසේම තිබියදී සයනෙහි වැතිරුන කල්හි මා හට දිස් වූයේ එකම එක දර්ශනයකි. ඒ මුලු කවුළුව පුරාම පැතිරුණ තෙරක්, ගැඹුරක් නොමැති අහසයි. වැහි අන්ධකාරයද නොතකා ඒ අහස තරු වලින් හැඩ වී තිබුණා. ඒත් වෙනදාට වඩා ඒ තාරකා තරමක දීප්තියෙන් අඩුයි වගේ. හද්දින්නත් තරු පොකුරත්, මහ වලසා තරු රාශියත් පැහැදිලිව පෙනුනා. ඒ අතරට මැදි වී තවත් දීප්තිමත් තාරකාවක් මා වෙතට සිනා සුනා. ඒ ග්‍රහලෝකයක් වන්නත් පුළුවන්.

වැහි අඳුරත් එක්ක මුලු අහසම මට පෙනුණෙ නිසල ගංගාවක් වගේ. නිශ්චල ගං දියට තරු වල ඡායාව පතිත වුණාම දිස් වෙන්නෙ මේ ලෙසින් වෙන්න ඇති , මට සිතුනා. මේ සුන්දර දර්ශනය ඔහුටත් පෙන්නන්න මට ඇවැසි වුණා. එහෙත් ඒ තවමත් ඔහු මා අසල නැහැ. ඒ නිසාවෙන් සිතට පැමිණි අදහසක්, උදේ අවදි වූ සැනෙකින් මා මෙලෙස අකුරු කළා. 


අහස් ගංගා දියේ
සෙනෙහසින් කිමිදෙන්න
සීත තරු එළිය යට
නෙතු පියා සැනහෙන්න
ගං දියේ පාවෙනා
තරු පොකුරු අවුලන්න
මග බලා හිඳිමි මම
මා වෙතට නුඹ එන්න

තරු සිනා සී ඉසින

පිණි වැස්සෙ නැහැවෙන්න
හමන සිහිලැල් පවනෙ 
තුරුළුවී සැනහෙන්න
අතින් අත පටලලා
සඳ දියේ ඇවිදින්න
මුවග හස‍රැල් මවා
පිය නගා ඔබ එන්න.


සඳ එළියෙ මුතු සදන
වැලි තලෙහි වැතිරෙන්න
තුෂර පෙති මැද හොවා
නුඹෙ දෙපා දෝවන්න
කිරි සිනා විසිරෙනා
ඉද්ද මල් ඇහැරන්න
මා ලොවට අරුණ දී
ඉක්මනින් නුඹ එන්න






Monday, October 15, 2012

මිදුලට පැමිණි සුරංගනාවො


පුංචි කාලෙ මගෙ ලොකු ආසාවක් තිබුණ සැබැවින් සුරංගනාවො දකින්න. 
ඒ ආසාව අම්මලාටත් රහසක් වුණේ නෑ.
අහල දැකලා කියවලා තිබුණ දේ අනුව මගෙ හිතේ මැවිල තිබුණෙ ලස්සනම  ලස්සන, රෝස පාට දිග ගවුම් ඇඳලා දිලිසෙන ගල් අල්ලපු සපත්තු දාපු, විනිවිද පේන අත්ත‍ටු තියෙන පුංචි ගෑණු ළමයි. 



"කඩදාසි කපල මිදුලට දාන්න එපා, එතකොට සුරංගනාවො එන්නෙ නෑ ගෙවල් වලට. විසි කරන කොල කෑලි එක තැනකට එකතු කරල පස්සෙ විසි කරන්න."
හැම වෙලාවෙම තේරුමක් නැතිව කොල කෑලි , පත්තර කෑලි කප කප පොත් වල අලවන්න පුරුදු වෙලා හිටිය සිඳුට අම්ම කිවුව ඒ විදියට....

"පුතේ නැගිටින්න...අන්න සුරංගනාවියො ඇවිත් ඊයෙ රෑ." 
උදේ එළි වෙනකම් නිදාගන්න මාව දවසක් අප්පච්චි ඇහැරෙව්වුව.
වෙනදට 10 පාරක් ඇහැරෙව්වුවත් නැගිටින්නෙ නැති ළමයා එක පාරින් නැගිට්ටා.

"කෝ කොහෙද?"
අර කලින් කිවුව වගේ ලස්සන සුරන්ගනාවන් දකින්නයි මම බලාපොරොත්තු වුණේ. ඒත් තිබුණෙ එයාලගෙ අඩි සලකුණු විතරයි.
ලස්සන රටාවට අතුගාපු මිදුලෙ සුදු වැලි උඩ පුංචි අඩි සටහන් වැටිල තිබුණ. මට හොරෙන් ඇවිත්, අඩි විතරක් ඉතුරු කරල එයාළා යන්න ගිහින්.

"කෝ සුරංගනාවො?"

"මේ තියෙන්නෙ අඩි ලකුණු"

"ඇයි මෙච්චර පුංචි එයාලගෙ අඩි ලකුණු?" මගෙ කකුල් වලටත් වඩා පුංචි පා සටහන් දිහා බලාගෙන මම අහනව

"එයාල එන්නෙ හොරෙන්නෙ. ඉතින් උඩි උඩින් අඩිය තිය තිය යනකොට, පුංචියට තමයි අඩි ලකුණු තියෙන්නෙ."
අම්ම කියනව.

"එතකොට ඇයි මෙතනින් ඉවර වෙලා තියෙන්නෙ?" මට තව ප්‍රශ්නයක්

"ඊට පස්සෙ එයාල ඉගිලිලා ගිහින්" සුරංගනාවො ගැන ගොඩක් දේවල් දන්න අප්පච්චි කියනව.

"ඊයෙ මිදුලෙ කොල කෑලි එහෙම තිබුණෙ නෑනෙ.ඒක වෙන්න ඇති සුරංගනාවො ඇවිත් තියෙන්නෙ" අම්ම කියන්නෙ මට නෙමේ, අප්පච්චිට.

"අපේ පුතා හරි හොඳයිනෙ, ඒකයි එයාල ඇවිත් තියෙන්නෙ පුතාව බලලා යන්න" අප්පච්චි කියනවා.

එදා ඉඳන් හැමදාම උදේට මම මිදුලට ගියෙ කලින් දවසෙ සුරංගනාවො ඇවිත්ද බලන්න. ආයෙම එයාලා ඇවිත් තිබුණේ සතියකට විතර පස්සෙ. ඒත් එදා එයාලගෙ පා සටහන් එච්චර ලස්සනට තිබුණෙ නෑ. අප්පච්චිව අනුකරනය කරන්න හැදුව අම්මගෙ අසාර්ථක උත්සහයක ප්‍රතිඵල තමයි ඒ.

ඒ හැමදාම සුරංගනාවො එනකම් බලන් හිටිය මාව සතු‍ටු කරන්න අප්පච්චියි අම්මයි කළ දෙයක් වුණත්, මම තවමත් කැමතියි, එදා ඇත්තටම සුරංගනාවො ආවා කියල හිතන්න පුළුවන්නම්.

ඇත්තටම සුරංගනාවියෙ ඉන්නව කියල පුංචි කාලෙ විශ්වාස කරපු මම තවමත් හිතන්නෙ ඇත්තටම සුරංගනාවියො හිටියනම් කොයි තරම් හොඳද කියල.... ඒ නිසයි මම ටින්කර් බෙල් වගේ නිර්මාණ වලට ගොඩක් කැමති. 

මේ තියෙන්නෙ මගෙ සුරංගනා පිස්සුව ඉහවහා ගිය කාලෙක ලිවුව ළමා කතාවක්. අවුරුදු 10ක් විතර පරණ කතාවක් මේ.
මෙතනින් එහාට කියවන්න ඔහොම නම් බෑ. තව අවුරුදු ගාණක් ආපස්සට යන්න. තව ටිකක්. .... ආ දැන් හරි. දැන් ඔයාට අවුරුදු 5යි. ඉතින් කියවන්න පටන් ගන්න.

කෙවින් පුංචි ළමයෙක්. එයා හිටියෙ අම්මයි තාත්තයි එක්ක එයාලගෙ ලස්සන ගෙදර. කෙවින්ලගෙ වත්තත් හරි ලස්සනයි. එක එක වර්ග වල මල් පිරිලා.
කෙවින්ගෙ හොඳම යාළුව එහා ගෙදර හිටිය පුංචි ට්‍රික්සි. රත්තරන් පාට හිස කෙස් තිබුණ ට්‍රික්සි හරිම ලස්සනයි. බෝනික්කෙක් වගේ රෝස පාට කම්මුල් දෙකක් එයාට තිබුණා. ඒ දෙන්න හැමදාම සෙලම් කළේ කෙවින්ලගෙ මල් වත්තෙ. 
"කෙවින් , ඔයාලගෙ මල් වත්තට රෑට සුරංගනාවියො එනව" දවසක් ට්‍රික්සි කෙවින්ට කිවුවෙ රහසෙන්.

"බොරු කියන්න එපා" කෙවින් එහෙම කිවුවත් එයා දැනගෙන හිටියා ට්‍රික්සි බොරු නොකියන හොඳ ළමයෙක් බව.

"බොරු නෙමේ. මම ඊයෙ රෑ අම්මල එක්ක ගමනක් ගිහින් එද්දි දැක්ක"

"එයාලා කොයි වගේද?"

"හරිම පුංචියි. පුංචි සමනල්ලු වගේ.....පාට පාට ඇඳුම් ඇඳලා එයාල හිටියෙ" ට්‍රික්සි කිවුවා.

"අද රෑටත් එයාල එයිද කියල අපි හොරෙන් බලන් ඉමුද?" කෙවින් ඇහුවා. එයාටත් සුරංගනාවො බලන්න ආසා හිතිලා.

ඉතින් එදා රාත්‍රියෙ පුංචි යාලුවො දෙන්න හැමෝටම හොරෙන් මල් පඳුරක් පිටිපස්සෙ හැංගිලා බලන් හිටියෙ සුරංගනාවො එනතුරු.

පැයක් ගත වුණා. පැය දෙකක් ගත වුණා.තවමත් සුරංගනාවියො නෑ.දන්නෙම නැතුව යාලුවො දෙන්නට ගහකට හේත්තු වෙලා නින්ද ගියා. මැදියම් රෑ පහු වෙද්දි හදිසියෙම කෙවින් ට ඇහැරුණා කවුදෝ කතා කරන සද්දෙකින්. එයා දෑස් පිසදාගෙන අවට බැලුවා. 
මල් පඳුර අස්සෙ පුංචි පුංචි ආලෝක ලප ඔහුට පෙනුණා. එයා හොඳින් බැලුවා. ලස්සනම ලස්සන පුංචි ගෑණු ළමයින් කිහිප දෙනෙක් සෙල්ලම් කරමින් සිටියා ත‍ටු සලමින්. ආලෝකය විහිදුනේ එයාලගෙන්.



"සුරංගනාවො" කෙවින්ට කියවුණා. එයාලා කෙවින් හිතාගෙන හිටියටත් වඩා ලස්සනයි. ඒ වෙනකොටත් නිදාගෙන හිටිය ට්‍රික්සි ට කෙවින් කතා කළා.

"අන්න සුරංගනාවියො ඇවිත්. කෙවින් ඔයා කිවුව මම බොරු කිවුව කියල. බොරුද මම කිවුවෙ? බොරුද?" නින්දෙන් අවදි වුණ ට්‍රික්සිගෙ හඬ එයා හිතුවටත් වඩා උස් වුණා.

සුරංගනාවො කලබල වුණා. තමන්ගෙ ආලෝකයත් නිවා ගත්තු එයාල අතුරුදහන් වුණේ යාලුවො දෙන්න හිතන්නත් කලින්.

"අනේ එයාලා ගියා" 

"ඔයා කෑගහල එයාල බය වුණා" කෙවින් කතා කළේ තරහින්. ට්‍රික්සි කතාවක් නැතිවම බිම බලාගත්තා.ඇත්තටම ඒක එයාගෙ වරද.

ඒ එක්කම එයාලට ඇහුණා කවුදෝ අඬන සද්දයක්. 

"කවුද ඒ අඬන්නෙ?" ට්‍රික්සි ඇහුවා.

"දැන්වත් කෑ නොගහ ඉන්න. ඒ සද්දෙ එන්නෙ සුරංගනාවියො හිටිය හරියෙන්"  කෙවින් ට්‍රික්සිට කිවුවෙ තරමක් සැරෙන්.

එයාලා මල් පඳුරු ළඟට ගියා.
අනේ ගොඩක් පුංචි සුරංගනාවක් බිම වාඩි වෙලා අඬනවා. ට්‍රික්සිවයි කෙවින්වයි දු‍ටුව එයා බයෙන් තවත් මල් පඳුරු අස්සෙ හැංගුණා.

"බය වෙන්න එපා, අපි යාළුවො" ට්‍රික්සි එහෙම කිවුවා.

"ඇයි සුරංගනාවි අඬන්නෙ?" කෙවින් ඇහුවා.

"ඔයාලගෙ සද්ද්දෙ ඇහුණ ගමන් මගෙ යාලුවො ටික ඉක්මනින් ගියා....මමත් යන්න හදද්දි මේ ග්ස් වල පැටලිලා මගෙ අත් ත‍ටු ඉ රුණා. දැන් මට සුරංගනා ලෝකෙට යන්න බෑ, අම්මලා බය වෙලා මාව හොයනවා ඇති." එයා කිවුවෙ ගොඩාක් අහිංසක විදියට.

"යාලුවො දෙන්නට හරි දුකයි. මොකද කරන්නෙ. ඒ දෙන්න කල්පනා කළා. ඒ වෙලාවෙ ට්‍රික්සි ට යමක් මතක් වුණා.

"ඔයා අඬන්න එපා. ඔයාව යවන්න ක්‍රමයක් මම දන්නව....." එහෙම කිවුව ට්‍රික්සි කළුවරේම ගෙදර දුවලා ගියා. සුරංගනාවිට උදවු කරන්න තියෙන ආසාව නිසා එයාට පුංචි බයක්වත් දැනුණෙ නෑ. ටිකකින් එයා ආවෙ ලස්සන කහ පාට අත්ත‍ටු දෙකක් අරගෙන.

"මේ කොහෙන්ද?"කෙවින්ටයි සුරංගනාවිටයි හරි පුදුමයි.

"මල් වත්තෙ වැටිල තිබිලා මට හම්බුනේ. ලස්සන නිසා මම අරන් තියාගත්තා. " ට්‍රික්සි පැවසුවෙ සතුටින් උඩ පනින ගමන්. "සමණළයෙක්ගෙ වෙන්න ඇති. ඔයා මේ දෙක ගන්න."

සුරංගනාවිගෙ කහ පාට ගවුමට ඒ අත් ත‍ටු දෙක ලස්සනට ගැලපුණා. එයාට හරිම සතු‍ටුයි.

"ඔයාල දෙන්න හරිම හොඳ ළමයි. මට කරපු උදවුව වෙනුවෙන් ඔයාල කැමති දෙයක් ඉල්ලන්න , ඔයාලට ලැබෙයි" එයා කිවුව.



ඒත් කෙව්න්ටයි ට්‍රික්සිටයි ඉල්ලන්න ලොකු දේවල් තිබුණෙ නෑ. "අපිට හැමදාම සතුටින්  ඉන්න ලැබෙන්න" ට්‍රික්සි එහෙම කියද්දෙ කෙවින් ඒක අනුමත කළා. ඉතින් එයාල හරිම සතුටින් ජීවත් වුණා.

ඔන්න මගේ පුංචි සුරංගනා කතාව ඉවරයි.
හරි මෝඩයි වගේද?

මොන තරම් සුරංගනා පිස්සුව තිබුණත්  මම මේ වගේ වැඩ නම් කළේ නෑ.ගිහින් බලන්න. අවුරුදු ගාණක් පුරාවට ලෝකයක් ‍රැවටූ සොයුරියන්ගේ කතාව.

Saturday, October 6, 2012

ක්ලික්......!

අදත් ඡායාරූප කීපයකින් බ්ලොග් එක හැඩ කරන්න හිතුවා. 
වෙනත් වචන වලින් කියනව නම්, අදත් දිග ලිපියක් නොලියා ශේප් වෙන්න හිතුවා.......... ;-)

ඉතින් වෙනදා වගේම අදහස් දක්වන්නකෝ.

(ටික දවසකින්, මේ විදියට මේ බ්ලොග් එක හරහා ඡායා රූප ගෙන එන එක නවත්තනවා. හේතු දැක්වීම පසුවට.)

අදත් වෙනද වගේම ෆොටෝස් උඩ ක්ලික් කරල බලන්න. නැත්නම් අපැහැදිලියි

මේ ගිය අවුරුද්දෙ ගත්තු ඡායාරූපයක්. සයිබර් ශොට් කැමරාවෙන්. 
සීගිරිය නැගලා, හැන්දෑ අඳුරත් එක්ක අපි බැහැලා එද්දි ඉරත් බහින්න ඔන්න මෙන්න කියල තිබුණ විදිය මට පෙනුණ හැටි මේ.
අහස තව ටිකක් අඩු වුණා නම් හොඳයිද මන්දා..........




මේ එක්තරා අහිංසකයකුගේ ඉරණම කැමරාවෙ සටහන් වුණ විදිය. බලන්න මෙයාගෙ නපුරු පෙනුම. ඒ විතරද, ඇඟේ තරමටද වැඩ....?



මේකට මම නම දැම්මෙ "" COLORS"කියලා. වෙන මොනව කියන්නද.
ඒත් ඒ මම කැමති ඡායාරූපයක්.




මේ ඡායාරූපය මගෙ වුණාට, ඒකට නංගි අයිතිවාසිකම් කියන්න ඉඩ තියෙනව. මොකද wind chyme එක එයාගෙ.


 


මේ සොබාදහමේ තවත් තීන්දුවක්. 
මරණයට කැප වුණ මී මැස්සෙක්, 
තමන්ගෙ ඝාතකයන්ගෙම කර මතින්අවසන් ගමන් යන හැටි........




Tuesday, October 2, 2012

හේමමාලා.......

කප්පරක් දුක් මග ගෙවාගෙන
ගුප්ත වූ මහ සයුරු සතකින්
මෙතෙර වී බැති බර සිතින්
නීල මුහුලත සඟවලා

කුරිරු රුදු විස ගොර සපුන්ගෙන්
අමන විස ගොර මනු සතුන්ගෙන්
වසං කොට සු‍රැකිව ගෙනා
දීප හිස මත සාධුකාරෙන්
බෝම බැතියෙන් පැළඳවූ

මහරු දළදා වන්දනාවට
කුටිය වෙත පියමනිනු නොහැකිව
තවම බැතියෙන් සාදු නාදෙන්
අත් මුදුන් දී කුටියෙ පිටතින්
වඳින්නී ඈ හේමමාලා.......

දන්ත සෝවුරු එන තුරා
සිත් පිරෙන්නට වන්දනා කර...