Friday, November 23, 2012

අපේම කතාව 02


මේ අපේ කතාවේ දෙවන කොටස. තවත් කොටස් තුනක් බොහෝ විට ලියවේවි මෙම ලිපි පෙළ අවසන් කරන්නට. එදිනට ඔබ සියලු දෙනාගේ අදහස් වලට පිළිතුරු දෙන්නම්. හැමදාමත් වගේ ‍රැඳී සිටිනවාට සහ අදහස් වලට තුති.

මේ පළමු කොටස


වසර බිලියන 4ක් පමණ වූ මේ අසම සම මහ පොළොවේ පුරාවත තුළ, ඔබ වසර 200000ක කුඩා පරිච්ඡේදයක් පමණයි.
නමුත්....
ඔබ දැනටමත්, මේ මහී කාන්තාවගේ සුන්දර මුහුණ විරූපී කරලා.... ඇය බලහත්කාරයෙන් දූෂණය කරලා...

අනෙක් සෑම ජීවියෙකුටම මේ මිහිතලය මත අයත් වන ඉරණමමයි ඔබටත් අයත්. එහෙත්, මින් පෙර කිසිදු ජීවියෙකු නොකළ පරිදි ,ඔබ සියලු ජීවීන්ගේ වාසස්ථාන, වාස සීමාවන් ඔබේ ග්‍රහණයට නතු කරගෙන අවසන්....

ආරම්භයේ පටන්ම මිනිසා දිනෙන් දිනම වෙනස් වනවා. උපතින් වසර 180000ක් ගත වූ තැන, සෞම්‍ය දේශගුණයට පින් සිදු වන්නට, ඔහු ගංගා ආශ්‍රිතව වාසස්ථාන ගොඩ නගා ගන්නවා.

වෙනත් වචන වලින් පවසනවා නම්, ජලය පොළොව හා ජීවය අතර පැවති අන්තර් සබඳතාවය මධ්‍යයට මානවයා පූර්ව දැනුම් දීමකින් තොරවම කඩා වදිනවා.

ගංගා ආශ්‍රිතව ස්ථානගත වන මිනිසා ඔරු පාරු ආදිය සාදාගන්නවා. නව ක්ෂිතිජයන් තමා ඉදිරියේ විවර කරගනිමින් ඔහු යාත්‍රිකයකු බවට පත් වෙනවා.

අදටත් මිනිසුන් වැඩි වශයෙන්ම ජීවත් වන්නේද වෙරළ , ගංගා, වැව් ඉවුරු ආදිය ආශ්‍රිතවයි.

මීට වසර 6000 කට පෙර මිනිසා මුල්ම නගර නිර්මාණය කරනවා. එය මානව ඉතිහාසයේ සැලකිය යුතු පිම්මක්.

මේ නගර කුමක් අරභයා ඉදි කරනු ලැබුවාද?

ඒ සඳහා ප්‍රධානම හේතුව වූයේ, එ මගින් එකිනෙකාට ආරක්ෂාව සලසා ගැනීමේ පහසුව.
මිනිසා යනු සමාජ සත්වයකු බව පසක් කරමින් ඔවුන් එකිනෙකා තම දැනුම, අත්දැකීම් එකිනෙකා හා බෙදාහදා ගැනීම සිදු වූ අතරම ඔවුන් අතර ඇති සමානතා මෙන්ම විෂමතාද මිශ්‍ර වීමක් මෙහිදී සිදු වනවා.

සරලව පැවසුවහොත්, මේ නගර නිර්මාණය වීමත් සමගම මිනිසා ශිෂ්ටත්වයට පත් වනවා.

මේ වන විටත් ඔහු සතුව පවතින එකම ශක්තිය නම්, ස්වකීය කාය ශක්තිය සහ සොබා දහම මගින් ඔහු වෙත ලබා දුන් ශක්තියයි. එදිනෙදා කාර්යයන් සියල්ල සඳහාද ඔහුට උදවු වූයේ එයම මිස අන් කිසිවක් නොවේ.

ඒ මීට වසර 1000 ගණනකට පෙර මිනිසා. එහෙත්, පුදුමයකට මෙන්, අදද, මිලියන 1.5කට වැඩි වූ මිනිස් ජනගහනයේ සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුම මේ කතන්දරයටම හිමිකම් කියනු ලබනවා. 

ඒ ඔවුන් තවමත් බලශක්තියට වඩා ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා. 

මේ සංඛ්‍යාවට, ලෝකයේ ධනවත් රටවල් සියල්ලේම ජනගහණ වල එකතුවට වඩා වැඩි ප්‍රමාණයක්.


තමාට ඇවසි දේ සොබා දහමෙන් ලබා ගැනීම බොහෝ කලක් ගත වන තුරු මිනිසා අතින් සිදු වෙනවා. සැබැවින්ම සොබා දහමේ සමබරතාවය උදෙසා එය අත්‍යවශ්‍ය සාධකයක් ද වූවා.
නමුත් මිනිසාගේ ආයු කාලය කෙටියි. ඔහුට සොබා දහම අභියෝගයක් වූ අවස්ථාද බොහොමයි. 

එහෙත් මිනිසා පෝෂණය කලේ ඇයමයි. ඔහුගේ නිරුවත වැසෙන්නට ඇඳුම් ඇන්දුවේද ඇයයි.එදිනදා දිවියට ඇවසි සෑම දෙයක්ම ඔහුට ලැබුණේ ඇයගෙන්.


නමුත් කාලයත් සමග මනුෂ්‍යත්වයේ ස්වභාවයත්, එහි දෛවයත් වෙනස් මුහුණුවරක් ගන්නවා. ගොවියා හා දඩයම්කරුවා, නිර්මාපකයකු යාත්‍රිකයකු හා නිර්මාපකයකු බවටද පත් වෙනවා. 

පොළොවේ සාරය උකහාගෙන දිනෙන් දින "දියුණුවට "පත් වන මිනිසාගේ අතීතයේ සිටම පැවති දුර්වලතාවක් මෙහිදීද මතු වෙනවා. ඒ සිය වාසභූමි පුළුල් කර ගැනීමේ නොහිම් ආශවයි. ඒ අනුව තව තවත් නව නගර නිර්මාණය වෙනවා. එහෙත්, පැවසිය යුතුයි, ඒ යුගයේ මිනිසා ස්වකීය සීමාවන් පැහැදිලිවම දැන සිටි බව. ඒ සීමාව ඉක්මවා ඔවුන් කටයුතු කළ අවස්ථා විරලයි. 

මේ සියල්ල සඳහා සිය ශරීර ශක්තිය ප්‍රමාණවත් නොවූ තැන, ඔහු හීලෑ කරගත් සතුන්ගේ ශක්තියද උපයෝගී කර ගන්නවා.

එහෙත්, කුස ගින්නේ ලෝකය දිනන්නේ කෙලෙසද? 
එය ඔහු ඉදිරියේ පැන නැගුණ විශාලම ප්‍රශ්නය. 

ඒ නිසයි කෘෂිකර්මාන්ත්යේ මුල් අත් පොත් තැබෙන්නේ....
මානව ඉතිහාසට වෙනස්ම මාවතකට ගෙන ගියේ මේ කෘෂිකාර්මික විප්ලවයයි. 
මිනිසා සහ සොබා දහම අතර තිබූ බන්ධනය වෙනස් කරන්නේ එය. 

සත්ව දඩයමෙහි, සුළු පරිමානයෙන් වගා කළ බෝග නිසා තිබූ අස්ථීර බව ඉන් වෙනස් වෙනවා. එතෙක් වසර ගණනක් පුරා පැවති ආහාර පිළිබඳ අර්බුධය නිමාවට පත් වෙනවා. 

මිනිසා බව භෝග තුළින් ජීවිතය පහසු කර ගැනීම ඉගෙනගන්නවා. ආහාරයට සුදුසු විවිධ භෝග ඔහු විසින් හඳුනා ගනු ලබනවා.



මිහිමත වසන ඕනෑම සත්වයෙකුගේ මෙන්ම මිනිසාගේද මූලිකම අරමුණ සිය පවුල පෝෂණය කිරීම. 
පස ක්‍රමයෙන් නිසරු වන්නට වන්නට, ජල ප්‍රමාණය අවම වන්නට වන්නට, මනාව හුරු කරගත් හැකියාවත්, කැපවීමත් තුළින් ඔහු සිය වගා බිම් තමන්ට ඇවසි ලෙසට මෙන්ම සොබා දහමේ අභියෝග වලට උචිත ලෙසද සකසා ගන්නවා.



තවමත් කෘෂිකර්මාන්තය ලොව බහුලම ‍රැකියාව. ලෝක ජනගහණයෙන් හරි අඩක් තවමත් මහ පොළොව සමග පොර බදිනවා ඒ සඳහා. ඔවුන්ගෙනුත් 3/4කට අධික පිරිසක් තවමත් ඒ සඳහා කැප වී සිටින්නේ මිනිස් ශක්තියේ ආධාරයෙන් පමණයි. 
ඔවුනට කෘෂිකර්මය එක් අතකින් පරපුරෙන් පරපුරට ගෙන ආ දායාදයක්. නැතහොත් සෂ්ස්කෘතියේම අංගයක්. 

වසර ගණනක් සිය දෑතේ ශක්තියෙන් මෙලෙස ජීවිතය ගොඩ නගා ගත් මිනිසා , සිය අවශ්‍යතා වැඩි වනවාත් සමගම නව ශක්ති ප්‍රභව සොයා යනවා. 

මේ ගිනි සිලු එහි ප්‍රතිඵලයක්. 

වසර මිලියන ගනණක් පුරාවට ශාක මිලියන ගණනක් මගින් මීට වසර මිලියන 100කටත් එපිටදී උකහා ගත් සූර්ය ශක්තියයි මෙසේ ගිනිගෙන දැවෙන්නේ. ඒ ගල අඟුරු හෝ  වායු විය හැකියි. ඊටත් වඩා ඛණිජ තෙල්  [ black gold :-) ] මේ අතරින් ප්‍රධානයි. 

මේ ශක්තිය, මිනිසාට බොහෝ පහසුවක්.

නමුත්,
මේ ඛණිජ තෙල් සොයා ගැනීම මානව ඉතිහාසයේ සිදු වූ විශාලතම අත් වැ‍රැද්ද. 
මිහි මව කෙරෙහි සිදු කළ මහා පාවා දීම.

මේ නිසා වසර 50ක් , එනම් එක් ජීවිත කාලයක් තුළ, මිහිකත අති විශාල පෙරලියකට බඳුන් වෙනවා. වසර මිලියන ගණනක් පුරා සිටි සියලුම මිනිසුන්ටත් කළ නොහැකි වූ කාර්යයක් ඒ.

පසුගිය වසර 60 තුළදී ලෝක ජනගහණය ආසන්න වශයෙන් තුන් ගුණයකින් වැඩි වුණා. බිලියන 2කට ආසන්න ජනතාවක් නගර වලට සක්‍රමණය වුණා.

මේ චීනයේ ශැන්සෙන් නගරය. වසර 40කට පෙර මෙය කුඩා ධීවර ගම්මානයක් වූ එය දැන් අහස උසට නැගි ගොඩ නැගිලි දහස් ගණනක් හා මිලියන ගණනක ජනගහණයක් සිටින නගරයක්.

වසර 20ක් තුළ ශැoහයි හි 3000කට අධික ගොඩ නැගිලි ප්‍රමාණයක් ඉදි වුණා. තවමත් ඉදි වෙමින්ද පවතිනවා.


නිව්යොර්ක් ! 
පොළොවෙන් සැපයෙන භණිජ තෙල් සූරා කෑමේ ලොව අංක එකේ සඛේතය.  

ලොව 16 වන හොඳම ආර්ථිකය ඇති නගරය ලෙස සැලකෙන මෙහි මානව ශක්තිය ප්‍රයෝජනයට නොගන්නා තරම්. ඒ කාර්යයන් සියල්ල ඉ‍ටු කරන්නේ ඛණිජ තෙල් භාවිතයෙන්. මෙසේ ඛණිජ තෙල් ඉවක් බවක් නොමැතිව භාවිත කරන ප්‍රධානම රට වන අමෙරිකාව කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වන්නේ යන්ත්‍ර සූත්‍ර මගින්. 
 




වැඩ බිම් වල ගොවියන් ඉතා දුර්ලභ දසුනක් බවට පත් වෙලා.මිනිස් දෑත් 100ක් පැය 24ක් තුළ සිදු කරන කාර්යය ප්‍රමාණය එක් තෙල් ලීටරයකින් සිදු කිරීමේ හැකියාව පැවතීම මේ සඳහා ප්‍රධානම හේතුවයි. 

එහෙත් මුළු ලෝකය පිළිබඳවම සලකා බැලුවහොත් කිසිදිනෙක ට්‍රැක්ටරයක් හෝ භාවිතා නොකළ ගොවීන් 97%ක් තවමත් සිටිනවා.
ලෝකයේ ආහාර නිශ්පාදනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය නොසැලකිය හැකි තරම් කුඩායි. 

ඇමෙරිකාවේ ඉතිරිව ඇති මිලියන 3ක් වූ ගොවි ජනගහණයෙන් , බිලියන ගණනක් මිනිසුන් පෝෂණය කිරීමට හැකි තරම් ආහාර නිශ්පාදනයක් සිදු වෙනවා.නමුත් මේවායින් බොහොමයක් අතිරික්ත. ඒවා ජීව ඉන්ධන (bio fuel)  ලෙස දහනය කිරීම ඉතාම සුළභයි. 

(මගේ සටහන - ලෝකයේ ඇතැම් රටවල දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන බව හා දිනපතා කුසගින්නෙන් මිය යන බව මෙහිදී සඳහන් කිරීම වටිනේ යැයි සිතමි) 

ඇමරිකාවේ පමණක් නොවේ, කාර්මීකරණය වූ, දියුණු යැයි සම්මත බොහෝ රටවල තත්වය මෙයයි.

මා කලිනුත් කිහිප වරක සදහන් කළා සොබා දහම පුදුමාකාර ලෙසින් එකිනෙක හා බැඳී පවතින ආකාරය.මේ බැඳීමේ සිදු වන යම් යම් පළුදු වීම් වෙතොත්, වැඩි කල් නොගොසින්ම එහි ප්‍රථිපල අපට ලැබෙනවා, පල විපාක පෙන්නුම් කෙරෙනවා. 

වගාවන්හි දියුණුවත් සමගම, තනි බෝග වගාව බොහෝ සෙයින් ප්‍රචලිත් වූවක්. එය ආර්ථිකයට වාසි සහගතයි. නමුත්,  ඒවා පළිබෝධකයන්ගේ පාරාදීස බවට පත් වෙනවා. 


පළිබෝධ නාශක කරලියට පැමිණෙන්නේ එහිදීයි. නමුත් මේ විශ රසායන ද්‍රව්‍ය වාතයට, ජලයට, පසට මෙන්ම ජීවීන්ගේ සිරුරටද ඇතුළු වෙනවා. 



පළිබෝධ නාශක මිනිසාට අහිතකරද?

කහ පැහැති ආරක්ෂක ඇඳුම් වලින් සැරසී පළිබෝධ ඉසීමේ යෙදෙන මේ ගොවීන් සතුව නම් ඒ ප්‍රශ්ණයට පැගැදිලි පිළිතුරක් ඇති. :D








අඳුරින් අඳුරට  යන අපේ කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමු වෙමු

Monday, November 19, 2012

අපගේම කතාව


මේ ලිපිය මට තරමක් විශේෂයි. ඒ ලෝකයේ කොනක මා සටහන් තබන 100 වන වතාව නිසා

මෙය එක් ලිපියක් පමණක් නම් නොවේ. කොටස් කිහිපයකින් යුතු මෙම ලිපිය ඔබ කෙසේ පිළිගනීවිද මා දන්නේ නැහැ. ඇතැම් විට ඔබ මට බැන වදින්නටත් පුළුවන්. 

නමුත් හැකිනම්, මේ ලිපි කිහිපය අවසානය දක්වා කියවන්න.

මේ 2009 වසරේදී EUROPACORP - ELZEVIR FILMS මගින් විකාශය කළ HOME නම් වාර්තාමය චිත්‍රපටයේ සිංහල පරිවර්තනයයි. 


















මෙහි ඇති ඡායාරූප සියල්ලම, එම වීඩියෝවේම දර්ශන. පැය දෙකක ධාවන කාලයකින් යුකත වූ එය නැවත නරඹමින්, මා සිංහලට නැගූ මෙය අපේම කතාවයි.

ඉතින් කියවන්න. කියවමින් සිතන්න.

******************************************************
මඳක් සවන් දෙන්න. ඔබත් මා වගේ. හෝමෝ සේපියන්ස් කෙනෙක්. බුද්ධිමත් මානව ජීවිතයක්. වසර බිලියන 4කට පෙර බිහිවූ පෘථිවිය මත වසර 200,000කට පෙර පහළ වූ
මානවයා නම් වූ ආශ්චර්යයේ පුරුකක්. 

ඉදින් සවන් දෙන්න මේ අපූර්ව කතන්දරයට. ඔබේම කතන්දරයට. එහි ලා ඔබගේ කාර්ය භාරය කුමක්දැයි ඉන් අනතුරුව ඔබම තීරණය කරන්න.

මේ අපේ ආරම්භයේ අතීත සලකුණු වල නශ්ඨාවශේෂ.


සිය තාරකාව වූ හිරුගේ උපතත් සමගම බිහි වූ පෘථිවිය , ආරම්භයේදී මෙවන් ස්ථාන සුලභ වූ ගින්නෙන් දැවුණ ග්‍රහ වස්තුවක්.
අවකාශය සිසාරා පාවෙමින් පැවති ඝණ වූ දුහුවිලි කැටිති වලින් වායුගෝලය ගහණ වුණා. බැලූ බැල්මට එය මිහිමත අපායක්. 

එවන් වූ තත්වයක් පැවති ග්‍රහවස්තුවක් මතයි, විශ්වයේ සිදු වූ ආශ්චර්යතම සිදුවීම වූ ජීවය පහළ වීම සිදු වන්නේ.......

එතැන් පටන් පහළ වූ ලක්ෂ සංඛ්‍යාත සියලුම ජීවින්ගෙන් සුසැදි දාමයේ එක් පුරුකකි අද අප දකින ජීවීන්.

අදත්, තවමත් නව ගිනි කඳු විදාරණය වෙමින් ආරම්භයේදී අපගේ මිහි මඬලේ මුහුණ පිළිබඳ සියුම් ඉඟි අප හට ලබා දෙනවා.
පොළෝ ඝර්භය තුළ ඇති ලාවා හැතැප්ම ගණන් පසු කරමින් පොළෝ මතු පිටට පැමිණ ඒ මත පැළීම් ඇති කරමින්, ලාවා තට්‍ටු ඒ මත අතුරමින් , ඒවා නිද්‍රාවට පත් වීමට පෙර කාලයෙන් කාලයට ක්‍රියා කාරී වේ. 


ගිණි කඳු විවර හරහා පොළොව තුලින් මතු වන මේ දුම් වළලු පෘථිවියේ අතීත වායු ගෝලය , ඔක්සිජන් රහිත , කාබන් ඩයොක්සයිඩ් වලින් පීඩිත, ජල වාෂ්ප වලින් ගහණ වූ වායු ගෝලයක් වූ බවට අද ද දෙස් දෙයි.
මදක් සිතන්න... එවැනි තත්වයක් අද වන තුරුත් පැවතුණා නම්.....?

නමුත් පෘථිවියේ දෛවය ඒ තරම් අවාසනාවන්ත වූයේ නැහැ.
සූර්යයාගේ සිට ප්‍රශෂ්ත දුරකින් පිහිටීම ජලය ද්‍රව වශයෙන් පවත්වාගැනීමට සුදුසුම උෂ්ණත්වයක් ලබා දුන්නා. 

පෙර සඳහන් කළ වායුගෝලයේ ගහන් වූ ජලවාෂ්ප ඝණීභවණය වී, වර්ෂාව ලෙස එක්තරා වාසනාවන්ත යුගයකදී පොළොවට ඇද හැලෙනවා.... ඒ ජලය ඇළ දොළ දිය ඇළි මවමින් ගලා යනවා. ගoගා , නිම්න ආදිය එමගින් නිර්මාණය වනවා..... ඒ ඔස්සේ ගලා ගිය ජලය පොළොවේ වූ පහත් බිම් වලට එක්වී මහා සාගර නිර්මාණය මුලකුරු කියවනවා.... ඒ ගලා ගිය ජලයත් සමග එක් වූ, ඛනිජ ලවණ , ආරම්භයේදී පැවති මිරිදිය, කරදිය බවට හරවණු ලබනවා....


වසර බිලියන 4ක කාලයකට පසුවද එසේ ජලය ගලා ගිය ඇතැම් ස්ථාන තවමත් ශේෂව පවතිනවා.මේ ගිනි කඳු වලින් පිටවූ අලු අතරින් ජලය ගලා ගිය ස්ථාන අලංකාර රටා මවා ඇති අයුරු.












මේ බලන්න,ද්‍රව සහ ඝණ, ජලය සහ පදාර්ථය. මිහිමත සෑම ජීවයකම පදනම.... පැවැත්ම.





මේ මහීකාන්තාව සැදී ඇති ඇතැම් පදාර්ථ , ඛනිජ ලවණ ඇයටද වඩා පැරණියි. ඒවා විශ්වය ආරම්භයේදීම සෑදුණ තරු දුහුවිලි. ( star dust ) 
පොළොවේ වර්ණයන් ලබා දී ඇත්තේ ඒවා.
යකඩ රතු පැහැය
කාබන් කලු පැහැය
තඹ නිල් පැහැය
ගෙන්දගම් කහ පැහැය...














මොන තරම් ලස්සනද... 

මෙවන් වූ අපූර්ව ග්‍රහ වස්තුවකට අප පැමිණියේ කොහි සිටද....මිහි මතට ජීවයේ පළමු සුසුම් පොද එක් වූයේ කවදාද.... සදාකාලික ප්‍රශ්නයක්. සැබැවින්ම එය කාලය මගින් මැවූ ආශ්චර්යයක්......

මඳක් නැවතී බලන්න මේ දෙස. මේ මිහිමත ජීවයේ උල්පත්.


මේ පොළොව මතු පිට ඇති ඉතා උණුසුම් ස්ථාන. (hot spots)
(ඇතැම් විට උණු දිය උල්පත් ආදිය මතු වන ස්ථාන). පොළොව මතු පිට මුල්ම ජීවය ඇති වන්නේ මෙවන් ස්ථාන වල. 
ඒ ප්‍රාග් බැක්ටීරියාවන් ( archeobacteria ).
මේ වර්ණයන් ලබා දෙන්නේ ඔවුන්. මෙම hot spots  හි උෂ්ණත්වය ඔවුන්ගේ ජීවය ‍රැක දෙනවා. ඒ අතරින් සයනොබැක්ටීරියා නොහොත් නීල හරිත ඇල්ගී  සුවිශේෂයි.හිරු එළිය ශක්තිය වශයෙන් ගබඩා කරගෙන ස්වකීය පැවැත්මට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමේ හැකියාව ඔවුන් ලබනවා. අද මිහිමත ජීවත් වන සියලු හරිත ශාකයන්හි පූර්වජයන් ඔවුන්.

මේ ප්‍රාග් බැක්ටීරියා පරම්පරා ගණනාවක ලක්ෂ සංඛයාත ජීවීන් කාලයත් සමග පෘථිවියේ දෛවය වෙනස් කරනවා. 
ඒ වායුගෝලයේ සoයුතිය වෙනස් කිරීම මගින්. 

මේ වාසනාවන්ත යුගය පිළිබඳ පරිච්ඡේදය හොඳින්ම කියවිය හැකි ස්ථානයක් තවමත්. 

ඒ කොලරාඩෝහි ග්‍රැන්ඩ් කැනියොන්. වසර බිලියන 2ක පමණ අතීතයක් එය අප දෑස් ඉදිරියේ දිග හරිනවා,

මෙම ප්‍රදේශය, එක්තරා යුගයකදී මුහුදින් වැසී ගිය බිම් කඩක්.එහි වාසය කළ  ක්ෂුද්‍ර ජීවීන් මුහුදු ජලයේ දියවූ කාබන් අණු වලින් ඔවුන්ගේ කවච නිර්මාණය කරගන්නවා. ඔවුන් මිය ගිය පසු මේ කවච ලක්ෂ ගනණින් මුහුදු පතුලේ තැම්පත් වනවා.

ඔබට හඳුනා ගන්න පුළුවන්ද මේ සුදු ඉරි සහිත ප්‍රදේශ? ඒ එම ජීවීන්ගේ එකී ක්‍රියා කාරීත්වයේ ප්‍රතිඵල. 

සාගර වාසී මෙම ජීවීන් හට පින් සිදු වන්නට , වායුගෝලයේ වූ කාබන් සාගර ජලයේ දිය වීම ඒ තුළ මුල් වතාවට මීවන ශාක ඇති වීමට ඉවහල් වනවා.

ඒ වායුගෝලයේ දැවැන්ත විපර්යාසයක්. මීවන ශාක වලින් පිට කරන ඔකිජන් , වායු ගෝලයේ පොහොසත් වන්නේ ඉක්මනින්.

ජලය ජීවීන්ට අත්‍යවශ්‍ය සාධකයක්.
අපේ නහර වැල් වල දිවෙන රුධිරයේ පටන්, මහා වෘක්ෂ වල කුඩා අතු රිකිල්ලක් පාසා දිවෙන ජලය සියලු ජීවීන්ගේ ජීවන රුධිරයයි.


ජල චක්‍රය කිසි දා නොබි‍ඳෙන්නක්. සදාතනික වෙනස් කම් , අලුත් වීම් වලින් යුක්ත දිය ඇලි, ගංගා , ඇළ දොළ, මුහුදු ,සාගර යනාදී මේ සියල්ල එකම දාමයක පුරුක්. එක් එක් යුගයන්ගි පහළ වූ විවිධ ජීවීන් පානය කළේ එකම ජල අංශු. ද්‍රවාකාරව, වායුවක් ලෙසින්, අයිස් ලෙස , ජල වාෂ්ප ලෙසා ආදී මේ කවාකාරයෙන් පැවතියත්, මිහිමත ඇති ජල අණු සංඛ්‍යාව සදාතනිකයි, එය නියතයක්.

මේ මහ පොළොවේ සෑම දෙයක්ම එකිනෙක හා බද්ධයි. ජලය හා වාතය අතර ඇති බැඳීමද එවැන්නක්. 
මිහිමත ජීවය උදෙසා මේ සබඳතාවය අත්‍යවශ්‍ය සාධකයක්. මේ නිසා සෑදෙන වලාකුළු , වර්ෂාව ලෙස නැවත පොළොවට පතිත වනවා. ඒවා ගලායන්නේ සාගරයට. 

සාගරයේ ඇති ඇල්ගී වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වෙනුවෙන් ඉ‍ටු කරන්නේ මහා මෙහෙවරක්. 

මිහිමත ජීවය සදාතනික සමබරතාවයකින් යුක්තයි. මේ සමබරතාවයේදී සෑම ජීවියෙකු සතුවම රඟ දෙන්නට චරිතයක් තිබෙනවා. සෑම ජීවියෙකුගේම පැවැත්ම, අනෙක් සෑම ජීවියෙකුගේම පැවැත්ම මත රඳාපවතින, පහසුවෙන් බිඳී යා හැකි ධර්මතාවයක්.

එක් උදාහරණයක් පවසන්නම්.

කොරල්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ගල්මල්... ඒ ඇල්ගී සහ කොරල් බුහුබාවාගේ අන්‍යෝන්‍ය සහයෝහීතාවයක ප්‍රතිඵලයක්. 

ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්නව වර්ග කිලෝ මීටර් 3500ක් පුරා පැතිරී ඇති මහා බාධක පරය මසුන් විශේෂ 1500ක් බෙල්ලන් විශේෂ 4000ක් කොරල් විශේෂ 400කට පමණ පාරාදීසයක්. සෑම මුහුදු පද්ධතියකම සමබරතාවයට, කොරල් මගින් සිදු කරන අති විශාල මෙහෙයට මේ එක් උදාහරණයක් පමණයි.

පෘථිවිය ආරම්භයේ සිට එතෙක් මෙතෙක් බිහිවූ ජීවමාන මූර්තීන් පවතීනම් ඒ ශාකයන්. 

ගුරුත්වයට එරෙහිව අහස් දෙසට වැඩෙන ජීවී වර්ගයා ඔවුන්.







හිරුට පෙම් බැඳ, ඔවුන් සිය මුතුන් මිත්තන් වූ සයනොබැක්ටීරියාවන්ගෙන් උරුම කරගත් ආභාශයෙන් ,හිරු එළියේ ගැබ් වූ ශක්තිය පත්‍ර , ඵල, ජලය ආදිය බවට පත් කරවන්නේ තමන්ගේ පමණක් නොව මිහිමත සියලු ජීවි වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසා. පොළොව ජීවයට ඉතා සුදුසු පරිසරයක් බවට පත් කිරීමෙහිලා වැඩිම දායකත්වය ඔවුන්ගෙන්.

පස...! ඒ ජෛව විවිධත්වයේ කම්හලයි. ඒ තුළ ජීවත් වන විවිධාකාර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා බිහි වූ පෝෂ්‍යදායී පස හෙවත් හ්‍යුමස් තට්‍ටුව, ශාක වල වර්ධනය උදෙසා ලබා දෙන්නේ මනා පිටිවහලක්.

පොලෝ මහී කාන්තාවගේ දරුවන් වූ මේ සැම, එකිනේකා සමග දක්වන අපූර්ව සබැඳියාව විස්තර කරන්නට මේ කරුණු ප්‍රමාණවත් නොවේද...


මිහිමත ජීවය පිළිබඳව අප දන්නේ මොනවාද... අප මෙහි වසන ජීවී විශේෂ කීයක් හඳුනනවාද?
1/100ක්?
සමහර විට 1/10ක්?

ඔවුන් එකිනෙකා අතර ඇති බැඳීම ගැන අප දන්නේ මොනවාද?

මේ මහ පොළොව ආශ්චර්යයක්. ඒ මත ජීවය සදාතනික අබිරහසක්. 


ජීවී කණ්ඩායක් , ඔවුන්ගේ පවුල් එකිනෙකා හා බැඳී පවතින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ හැසිරීම් රටා තුළින්.
ඇතමුන් සොබා දහමට අනුවර්තනය වෙලා. ඇතැම් විට සොබාදහම ඔවුන්ට අනුවර්තනය වෙලා.....
මිහිතලය මත ගෙවෙන මේ වීර කාව්‍යයේ සෑම ජීවියෙකුම වැදගත් චරිතයක්. ඔවුන් සෑම දෙනාටම මෙහි මත අයත් ස්ථානයක් පවතිනවා. 




කිසිවෙකුත් නොවැදගත් නැහැ
කිසිවෙකුත් විනාශකාරී නැහැ.
සියල්ලන්ම එකිනෙකා මත සමබරතාවයක් උසුලනවා. 

මෙවන් වූ සමබරතාවයකින්, සුන්දරතාවකින් යුක්ත වූ යුගයකයි, ඔබ, හොමෝ සේපියන්ස්, බුද්ධිමත් මානවයා මේ කතාන්දරයට එක් වන්නේ.........

*****************************************************
මෙයින් පසුව මිහි මඩලේ කතන්දරයට සිදු වුණේ කුමක්දැයි ඊළග සටහනෙන් බලමු..... 


Sunday, November 11, 2012

හති කෝප්පෙ


රැකියා ස්ථානයේ, පාසලේ , සරසවියේ සිදුවන හාස්‍යෝත්පාදක සිදුවීම් බ්ලොග් ලෝකයේ  මෙන්ම මුද්‍රිත මාධ්‍යයේද ජනප්‍රිය අංගයක්. දිනපතාම ඒ වගේ ලිපි කියවන්න ලැබෙනවා. මේ ලිපියත් අපේ තොටියා අයියගෙ ලිපිය නිසා ආව අදහසක්. පුද්ගල නාම සඳහන් නොකරන නිසා මෙයින් කාගෙවත් හිත රිදීමක් හෝ අපහාසයක් වෙන එකක් නෑ කියල මම හිතනව.

(1)
ඔහු සාපේක්ෂව batch එකේ අහිංසක ළමයෙක්. ඒ දිනවල ඔහු හිටියෙ ශල්‍ය වාට්‍ටුවක. ඔහුගේ ඥාතියෙකුගෙ අසල්වැසියෙකුගෙ ඥාතියෙකුගේ දරුවෙක් අසනීප වෙලා ළමා වාට්‍ටුවේ නවත්තලා. ඒ වගේ අවස්ථා වල බොහෝ වෛද්‍ය සිසුන්ට අත් වෙන ඉරණම ඔහුටත් අත් වුණා. 
ඥාතියා දුරකතනයෙන් ඔහු ඇමතුවා. 
"අනේ පුතේ අපේ එහා ගෙදර නංගිගෙ අයියගෙ දුව ඔයාලගෙ වාට්‍ටුවක නවත්තලා. පොඩ්ඩ්ක් ගිහින් බලන්න පුතේ... මම එවුවෙ කියන්නකො"
ඥාතියා තමන්ට ලකුණු ‍රැස් කරන්න අපේ යාලුවගෙ සහය පැතුව.

එයා විවේක වෙලාවක් බලල අදාල වාට්‍ටුවට ගියා. වෛද්‍යවරුන්ගේ මේසය අසල වාඩි වී සිටි එක් පුද්ගලයකු හැරෙන්නට වාට්‍ටුවේ වෙනත් හෙදියක හෝ වෛද්‍යවරයකු සිටියේ නැහැ.

අපේ කතා නායකයා ඔහු අසලට ගියා.
"ඇයි?" ඔහු ඇසුවා.
"සර් , මේ වෝඩ් එකේ සඳලි කියල බබෙක් ඉන්නවද ඩෙංගු හැදිල ඇඩ්මිට් කරල?" ඔහු විමසා සිටියේ ගෞරවාන්වෛත ස්වරයෙන්. අලුත් කන්සල්ටන්ට් කෙනෙක්ද දන්නෙත් නෑනෙ.

"ආ.. එයාව අද උදේ ගෙදර යැවුවා" අපේ යාලුව පුදුමයට පත් වුණා. මොකද කියනව නම් සඳලිව ඇතුළත් කරල තිබුනෙ එදා උදේ. 

"නෑ සර්, එයාව අදයි ඇඩ්මිට් කළේ"

"එයාව යැවුව කියල කිවුව නේද?" සර් පැවසුවේ දැඩි ස්වරයෙන්.

බලාපොරොත්තු කඩ කරගත්තු අපේ යාලුවා ආපහු යන්න හැරුණා. ඒත් ඔහුට වාට්‍ටුවෙන් එළියට යන්න ලැබුණෙ නෑ, පොලිසියෙන් කඩා පැන්නා වගේ සාත්තු සේවකයන් කිහිපදෙනෙක් වාට්‍ටුවට කඩා වැදුණා.

"ආ මේ ඉන්නෙ... යමු යමු වාට්‍ටුවට....." සර් අසලට පැමිණි ඔවුන් ඔහුව අල්ලගත්තා. ඔහු දැඟලුවෙ ඔවුන්ගෙන් ගැලවෙන්න.
මේක පුදුම ලෝකයක්නෙ, මෙහෙමත් බලෙන් ඩොක්ටර්ස්ලාව වට්‍ටුවට අරන් යනවද
කොහොම වුණත් ඊළඟ මොහොතෙ ඔහු දැක්කා සර් ගෙ සම්පූර්ණ ඇඳුම. ඒ ෂර්ට් එකක් සහ කොට කලිසමක්.....

ඒ මානසික වාට්‍ටුවෙන් පළා විත් ළමා වාට්‍ටුවේ සැඟවී සිටි නේවාසික රෝගියෙක්.
*******************************************************************************************************************************

(2)


උදෑසන එක් එක් සිසුන් අතර රෝගීන් බෙදීමේදී ඇයට ලැබුණ රෝගියා හාමුදුරු නමක්. ස්වභාවයෙන්ම ඉතා කලබල සිසුවියක් වූ ඇය එයින්  වඩාත් කලබල වුණා. ප්‍රධානම හේතුව ඇය බෞද්ධ නොවීම.

"අනේ මම මොකද කරන්නෙ...මම හාමුදුරුවො එක්ක කතා කරන්න දන්නෙ නෑ.... මම කොහොමද හාමුදුරුවන්ව examine කරන්නෙ?...."

අනිත් යාළුවො ටික ඒ එක් එක් ගැටලු වලට පිළිතුරු දුන්නා.
 "examine කරද්දි පිරිමි ළමෙක් එක්ක යන්න."

"හාමුදුරුවො කනවා නෙමේ වළඳනවා"

"නිදාගන්නව නෙමේ, සැතපෙනවා"

"යනව , එනව කියලවත් කියන්න එපා... වඩිනවා කියලයි කියන්නෙ"

ඒ උපදෙස් ටික හිස් මුදුනින් පිළිගත්තු මේ ගෑණු දරුවා හාමුදුරුවන්ගේ රෝග ඉතිහාසය ලබා ගත්තා. උන්වහන්සේ ඇතුළත් වෙලා තිබුණෙ පපුවෙ වේදනාවක් නිසා. 
කොතනද රිදෙන්නෙ? , කොයි වගේ වේදනාවක්ද? ඒ වෙලාවෙ මොනවද කර කර හිටියෙ? .... ආදී සුපුරුදු ප්‍රශ්න වලට ඇය උන්වහන්සේගෙන් පිළිතුරු ලබාගත්තා...

ඒත් ඒ පිළිබඳව තවත් තිරතුරු දැනගන්නට ඇයට උවමනා වුණා. ඒ නිසයි තවත් ප්‍රශ්නයක් ඇය උන්වහන්සේට යොමු කළේ.

"හාමුදුරුවනේ , ඔබවහන්සේගෙ පපුවෙ කැක්කුම අත දිගෙත් වඩිනවද?"


**********************************************************************************************************************************
(3)
ඇය විවාදයකින් තොරවම අති දක්ෂ සිසුවියක්. සිංහල භාවිතය බොහෝ දුරට සීමා සහිතයි. 



ආහාර මාර්ගය ආශ්‍රිත හැටලුවක් තිබූ රෝගියෙකුගෙන් ඇය  ඉතිහාසය ලබා ගනිමින් සිටියා.

"වමනෙ යනවද?"

"ඔව් නෝන"

"ඩයරියා ත් තියෙනව?" (diarrhoea)

"ඔව් නෝනා. ඒත් ඒක ගෙදර...."

අපේ යාලුව තරමක් දුරට වියවුල් වුණා.

"මම ඇහුවෙ ඩයරියා තියෙනවද කියල"

"ඔව් නෝනා... ඒක තමයි කිවුවෙ. ඩයරියක් තියෙනවා. ඒත් ඒක ගෙදර. ඒකෙ ඒ හැටි දෙයක් නම් ලියල නෑ...ඒත් දවල්ට දුව එනකොට ඒක ගේන්න කියන්නම් නෝනාට ඕන නිසා..."

"මම ඇහුවෙ බඩ බුරුලට යනවද කියල....."

"ආ....අනේ නෑ නෝනා....."

********************************************************************************************************************************

(4)
පසු ගිය දිනෙක මගේ මිතුරෙකු හමුවට රෝගී වයස්ගත කාන්තාවක් පැමිණ තිබුණා. ඇය තදබල ලෙස ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටියා. ප්‍රතිකාර කිරීමට පළමුව කෙටි රෝග ඉතිහාසයක් ලබා ගැනීමට ඔහු උත්සුක වුණා.

"මීට කලිනුත් මෙහෙම ඇදුම ඇවිත් අමාරු වෙලා තියෙනවද?"

"නෑ මහත්තයො මට කවදාවත් ඇදුම ඇවිත් නෑ. 
මේ වගේ පපුවෙ මහන්සිය නම් එනව." (තමන්ට ඇදුම රෝගය පවතිනවා යැයි පිළිගැනීමට බොහෝ රෝගීන් කැමැත්තක් දක්වන්නේ නැහැ)

"හරි, ආච්චිට මේ වගේ පපුවෙ මහන්සිය ඇවිල්ලා අමාරු වෙලා තියෙනවද?"

"ඔව් මහත්තයො. ගිය පාරත් අමාරු වෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවනෙ.... හොඳ වුණේ කෝප්පෙ ඇල්ලුවට පස්සෙ"

"කෝප්පෙ?" මගෙ යහලුවා ඇල්ලුවෙ පුදුමයෙන්. තමන් අසා නැති නවීන වෛද්‍ය උපකරණයක්දැයි ඔහුට මොහොතකට හිතෙන්නට ඇති.

"ඇයි දොස්තර මහත්තයො කෝප්පෙ. නහයට අල්ලන කෝප්පෙ" දොස්තර මහත්තයගෙ වෛද්‍ය විද්‍යාත්මක දැනුම ගැන ආච්චිට සැකයක් මතු වෙන්නට ඇති.

"ඒ මොකද්ද ආච්චි....?" කරන්නම දෙයක් නැති තැන ඔහු ආයෙම ඇසුවා.

"හති කෝප්පෙ මහත්තයො, හති කෝප්පෙ..." 
ඇයගේ ඒ ප්‍රකාශය වටහා ගන්නත් ඔහුට තවත් වේලාවක් ගත වුණා.

මේ තියෙන්නෙ ආච්චි කිවුව ජාතියෙ හති කෝප්පයක් අල්ලන හැටි. නෙබියුලස් කරනවා කියල තමයි දන්න භාශාවෙන් කියන්නෙ.



ඒක නෙමේ, මේ තියෙන්නෙ අපේ (මගෙයි ඩයිනමයික්ගෙයි) අලුත් photography බ්ලොග් එක. ගිහින් බලන්න පුලුවන් වෙලාවක.
LENSETWAIN