Friday, December 13, 2013

මගෙ යාලුවා ඩෙනිස්

අවුරුද්දක් ගත වුණා දන්නෙම නැතුව. ඒ අවුරුද්ද පුරාම නිදි බර වෙලා ඇස් පියාන උන්න හිත හෙමින් හෙමින් නිදි ගැට කඩලා හිතන්න පටන් අරන් වගේ දැනෙනව. පොත් රාක්කෙ දූවිලි වැදි වැදී තිබුණ පොත් සේරම අද බිමට අරන් අස් කළා.

කාලයක් තිස්සෙ ඇහැ ගැ‍ටුනෙ නැති මේ පොත මතක් වුණේ ඒ වෙලාවෙ.















ගොඩක් දෙනෙක් කියවල ඇති.

රුසියානු සාහිත්‍යයේ එන ලස්සන පොතක්.Victor Dragunsky නම් ලේඛකයා විසින් රචනා කරන ලද මේ නව කතාව  (The Adventures of Denis) ළමා ලෝකයේ සිතුම් පැතුම්, හැසිරීම් රටාවන් පැහැදිලිව මවා පෙන්වනව.

 


කත්‍යානා අමරසිංහගේ පරිවතන හැකියාව මේ පොතට සර්ව සාධාරනත්වයක් ඉ‍ටු කරලා තිබෙනවා.

පොත ආරම්භ වෙන්නෙ ඩෙනිස් කැමති සහ අකමැති දේ පිළිබඳව හැඳින්වීමෙන්.

"තාත්තගෙ දණහිස උඩ දිගා වෙලා , රෙදි වැලක එල්ලෙන ඇඳුමක් වගේ නැමිලා, අත් දෙකයි කකුල් දෙකයි වන වනා ඉන්න මං හරි කැමතියි.චෙස් සෙල්ලං කරන්නත් මං කැමතියි. හැබැයි ඒ මං දිනනවනං විතරයි. පැරදෙන්න සෙල්ලං කරන්න මං කැමතිම නෑ.
පෙට්ටියක් ඇතුලෙ දාපු කුරුමිණියෙක් පහුරු ගාන සද්දෙ අහන්න මං කොච්චර කැමතිද? ඉරිදා දවස් වලට තාත්තා එක්ක ඇඳේ පෙරලිලා අපේ බල්ලා ගැන කතා කරන්නත් මං කැමතියි. මීට වඩා ලොකු ගෙදරකට ගියාම අපි බල්ලෙක් අරගන්න යන්නෙ....."

ඔන්න ඔය විඩියට ආරම්භ වෙන ඩෙනිස්ගේ දස්කම් වල ඊලඟ පරිච්ඡේදය ඩෙනිස් අකමැති දේවල් ගැන.

"මේ ලෝකෙ එපා කරපුම දෙයක් තියෙනව නම් ඒ තමයි දත් දොස්තර ලගට යන එක. දොස්තරගෙ පු‍ටුව දැක්ක ගමන් මට හිතෙනව ලෝකෙ අනිත් කොනට චුත වෙන්න. 
ඒ විතරක්යැ ! යාලුවො එක්ක ගොඩක් විනෝද වෙන්න පුළුවන්කොට, පු‍ටුවක් උඩට වෙලා පාඩම් කියවන එක තරම් එපා කරපු දෙයක් තියෙනවද?
අම්මයි තාත්තයි චිත්‍රපටි බලන්න යනවටත් මම කැමති නෑ.
බිත්තර බාගෙට තම්බලා පාන් කන්න වෙන එකත් එපා කරපු දෙයක්.
උපන්දින උත්සව වලදී " ගිනි ගිනි බෝලේ සෙල්ලම කරන්නත් මම කැමති නෑ, මොකද මම බබෙක්යැ...."

මේ නව කතාව පුරාවටම කුඩා දරුවකුගේ සිතුම් පැතුම් පිළිබඳව මනා විවරණයක් ලබා දෙනව. සෑම කුඩා දරුවෙකුම, ළමා කාලයක් තිබූ සෑම වැඩිහිටියෙකුම ඇළුම් කරන ලක්ෂණ මෙහි ගැබ් වෙනවා.

"දවසක් දා මම ඉඳගෙන කල්පනා කර කර හිටිය. එක පාරටම මට පුදුම හිතෙන දෙයක් කල්පනාවට ආව. මේ ලෝකේ තියෙන දේවල් සේරම අනිත් පැත්තට වෙන්න පටන් ගත්තොත් කොහොමට තියේවිද? උදාහරණයක් විදියට මුලු ලෝකෙම ළමයි පාලනය කරන්න පටන් ගත්තොත්!
එහෙම වුනොත් මට හිතාගන්න පුළුවන් අම්මයි තාත්තයි මං කියන දේවල් කරන්න කොච්චර අකමැති වෙනවද කියලා. 
ඔන්න හිතමු අපි රෑ කෑම කනව කියල.
මං අම්මට මෙහෙම කියයි.
"ඇයි ඔය කෑම ඉතුරු කරන්නෙ? බලන්න ඔයා දිහා. හරියට ඇටසැකිල්ලක් වගේ. දැන්මම කන්න පටන් ගන්න....! 
එතකොට අම්මා පිඟාන දිහා හරිම එපා වෙන තාලෙකට බලලා කන්න පටන් ගනියි. ඒත් මං තව ටිකක් අවවාද කරනව.
"ඉක්මන් කරන්න! අත ගගා ඉන්න එපා! හරියට හපලා කෑම ටික කන්න ඉගෙන ගන්න. අනික වාඩිවෙලා ඔහොම කකුල් පද්දන්න එපා...."

එතකොට තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා. එයා කබාය ගලවන්නත් කලින්ම මට බෙරිහන් දෙන්න පුලුවන්.

"හරි වෙලාවක නේ ආවෙ! හැම තිස්සෙම කෑමට පරක්කු වෙනවා! දැන්ම ගිහින් අත් හෝදාගන්න! ඔහොමද අත් හෝදන්නේ. ඔයා නිකම් අත් වල තියෙන ජරාව හැම තැනම ගානවා විතරයි. ඔහොම අත පිහ දැම්මම තුවායත් ජරා වෙනවා. කෝ බලන්න ඔයාගෙ නියපොතු. මේවා නියපොතුද? හරියට බළල් නිය වගේ......"

ටොම් සෝයර් , හකල්බරි ‍ෆින් ආදී ලෝක ප්‍රකට ළමා නවකතා සහ අපේ මඩොල් දූව වැනි ළමා නවකතා ආදී සියල්ලටම පොදු වූ ළමා ලෝකයේ අහිංසකත්වයත්, නිකලැල් බවත් මෙහි සෑම තැනකම දකින්නට ලැබෙනව.

ළමා ලෝකයේ සුන්දරත්වය පිළිබඳව මෙන්ම ,වැඩිහිටියන් විසින් දරුවන් තේරුම් නොගැනීම, මවුපියන් නිවසේ නැති අවස්ථා වල දරුවන්ගේ සිතට දැනෙන පාළුව වැනි ගැටලු පිළිබඳවත් මෙහි කතා කරනවා. 

“කෝ ඔයාගේ අලුත් ට‍්‍රක් එක.”

“මං ඒක වික්කා.”

“වික්කා! මොකටද?”

“මේ කණාමැදිරියා ගන්න! දැක්කද මේ ඉන්නෙ ඌ ගිනිපෙට්ටියෙ. හොඳට බලා ගන්න ලයිට් එක නිවන්න.”

අම්මා ලයිට් එක නිවුවා. කාමරේ හොඳට ම කරුවල වුණා. අපි දෙන්නම කණාමැදිරියගෙ කොළ එළිය දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ අම්මා කාමරේ ලයිට් එක දැම්මා.

“ඒක හරියට මැජික් එකක් වගේ. ඒත් ඇයි ඔයා ඔය පුංචි කණාමැදිරියෙක් ගන්න ඔයාගෙ අලුත් ම ට‍්‍රක් එක විකුණුවේ.”

“මං ඔයා එනකල් බලා හිටියා. හුඟාක් වෙලා බලාගෙන හිටියා. මට හොඳටම දුක හිතිලයි තිබුණෙ. ඉතින් ට‍්‍රක් එකට වඩා කණාමැදිරියා හොඳයි කියලා හිතුණා.

“ඒ ඇයි?”

“ඇයි අම්මෙ තේරෙන්නෙ නැද්ද? ඌ දිලිසෙනවා. අනික ඌට පණ තියෙනවා......


ඔබ තවම ඩෙනිස්ගේ දස්කම් කියවලා නැත්නම් කියවලා බලන්න. ඊට පස්සෙ අපි කතා කරමු


Thursday, October 24, 2013

HELP IMESH...........

පුංචි ඉමේශ් ඉපදෙන්න ඉන්නවා කියල දැනගත්තු වෙලාවෙ ඉඳලා හැම අම්ම කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම වගේ  , ඉමේශ්ගෙ අම්මගෙයි තාත්තගෙයි හිතෙත් දාහක් බලාපොරොත්තු ඇති වෙන්න ඇති..... තමන්ගෙ අනිත් දරුවො දෙන්න වගේම දුව පැන ඇවිදින , දඟලන, සෙල්ලම් කරන නිරෝගී පුංචි කොලු පැටියෙක් ගැන ඔවුන් හීන දකින්න ඇති......

ඒත් ඒ හීන හීන විදියටම හිත ඇතුලෙ මියැදෙන්න පටන් ගත්තෙ , ඉපදිලා ටික කාලෙකින්ම ඉමේශ්ගෙ යම් යම් වෙනස් වීම් ඔවුන්ට දකින්න ලැබුණ නිසා. 
ඒ ගැටලු වලට විසඳුම් හොයාගන්න ඔවුන් අන්තිමේදි වෛද්‍ය වරුන්ගෙ පිහිට පැතුවා. ඉමේශ්ගෙ රෝගී තත්වයට වෛද්‍යවරුන් නමක් දුන්නා

Biliary atresia 

පිත්ත නාල සිහින් වීමක් නිසා පිත ගැලීමට බාධා ඇති වීමයි එහිදී සිදු වන්නේ.............
ඒ සඳහා පිළිගන්න එකම විසඳුම ශල්‍යකර්මයක්. ඒත් දෛවය ඉමේශ් හට එතරම් කරුණාවන්ත වූයේ නැහැ. සැත්කම අසාර්ථක වුණා. 

එදා සිට මේ දක්වාම සිදු වුණේ දිනෙන් දිනම ඔහුගේ අක්මාව රෝගී වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ප්ලීහාවද දැන් විශාලනය වෙලා. 


දැන් ඉමේශ්ට වයස මාස 7යි. විශාල වූ රෝගී අක්මාව වෙනුවට වෙනත් අක්මාවක් බද්ධ කිරීම පමණයි දැනට ඇති එකම විකල්පය. නමුත් වයස මාස 7ක රෝගී දරුවකු වන ඔහු ඒ සැත්කම සඳහා සුදුසු තත්වයක නැහැ. හැරත් ඒසා විශාල මුදලක් ඔහුගේ දෙමවුපියනට සිහිනයක්.

ඉමේශ්ට තවත් වැඩිමල් සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිනවා. ඔවුන් දෙදෙනාගේ වියදමත් , සතියකට 6000ක් පමණ වන ඉමේශ්ගේ ඖෂධ වලට යන වියදමත් ඔහුගේ මවුපියන් දරාගන්නේ අපහසුවෙන්. ට්‍රෝලර් යාත්‍රාවක සේවය කරන ඔහුගේ පියා නිවසට පැමිණෙන්නේ මාසයකට එක වරයි. ‍රැකියාවක් නොකරන ඔහුගේ මව මාසයේ ඉතිරි දින වල ජීවිතය ගැටගසා ගන්නේ ඒ සිය සැමියා එලෙස උපයන මුදල කෙසේ හෝ පිරිමසා ගැනීමට උත්සාහ කිරීමෙන්. ඒත් එය ඉතාම අපහසු කාර්යයක්. 

ඇත්ත තිත්තයි.... 
එහෙත් මෙය කිව යුතුමයි. මේ පුංචි හුරතලාගේ ජීවිත කාලය කොපමණදැයි කීමට නොහැකියි. එහෙත් ඔහු මේ ගෙවන ජීවිත කාලය පුරා ඔහුගේ ඖෂධ ඔහුට ලබා දිය යුතුමයි.... 
පුළුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. මහ ලොකු දේවල් නෙමේ. මේ පුංචි පැටියගෙ බේත් ටික ගන්න වත් උදවු කරන්න පුළුවන් නම් ඒක වටිනව. අනිත් දරුවො දෙන්නත් කාලා ඇඳලා හරි සිටිය යුතුයි නේද....

මේ ඉමේශ්ගෙ අම්මාගෙ බැංකු ගිනුම් අංකය
ලංකා බැංකුව තොඩුවාව ශාඛාව (544) 
74466714
M.H.A.N.H. Perera


Tuesday, September 17, 2013

නල - දමයන්ති

සහසක් සුරවමියන් දිය කෙළින සඳ දසත විසිරුණ , තුෂාරයෙන් නැහැවුණ තණ පළස මවන්නේ දේදුනු පැහැයයි. 
හිරු කැණ් විසින් සිය සැඟවුණ වුවන සිප ගැනෙන තුරු දෙනෙත් නාරින්නට අදිටන් කරගත් මල් පොකුරුද තවම බෝමයි. 
ඒ අතර කල් මරණ භෘංග සේනාව නල කුමරුන් සිත ‍රැඳි සසල බවට නව'රුත් එක් කරයි. 
හිමිදිරි උදාසන අවදි වූ විහඟුන් එකා දෙන්නා ගයන්නට පටන් අරන්....

දිගන්තයේ සිට පියඹා ආ හංසයා ,එතෙක් පොකුණු දිය මත දඟ කළ පෙර දිග අහසේ රන් වන් ඡායාව බොඳ කරමින් දිය මතුයෙහි දිස් වේ.
ඈත පෙනෙන හිමාලය මතු හිම පරදවන  එම රුව ඔහුගේ ඇසට ගැටෙනුයේ නිතැතින්. දිවා හිරු සේ තෙදවත් නල කුමරිඳු ළදරුවෙකු සේ සොම්නස්ව, හස මුවගින් ගලන වදන් අසන්නේ නොහිම් ප්‍රීතියෙන්. 

       "මා නුඹ පිළිබඳව දමයන්තිය වෙත සැල කර සිටියෙමි... ඔබගේ රූප සෝභාව හා ගති සෝභාව අසා නුඹ වෙතම සිත් බැඳුනු ඈ දැන් පසු වන්නේ ඔබ දැකීමේ පරම අභිලාශයෙනි" 

දියෙන් කිරි වෙන් කරගන්නා සේ සියුම්ව ගැලපූ වදන්  , රන් රුවක් බඳු වූ දමයන්තියගේ රුව නල කුමරුන් මනසේ නිතැතින්ම මවන්නට සමත් වේ. 

බැලු බැලු අත දිස් වන්නේ ඇගේ රුවයි. දෙනෙත් හැර සිටීමට නොහැකිය. දෙනෙත් වැසීමටද නොහැකිය...  ඔහු සිත තුළ නුදු‍ටු දමයන්තියගේ රුව ,දුලබ වන මලක් සේ ඇඳේ.

මද මාරුතය සැලුණා පිණි පොකුරු මැදින්
හඳකුත් සවන් ‍රැඳුණා මිණි කිකිණි සරින්
මා දෑ නුවන් විවරව අරුණට රහසින්
සීනෙන් ඇසුණ ඒ සර සෙවුයෙමිය රිසින්

සසොබන දයාවත රුව නෙත ගැටෙන ලෙදින්
ගුවනේ සරන විහඟුන් සර දිගත දෙසින්
විකසිත පියුම් හිනැහී බැඳ නුඹට පෙමින්
බිඟු සර වැයුවේද නුඹ රුව බැඳුණු හදින්

හසඟන රඟයි සිල් බිඳ රන් රුවක් ලෙසින්
හස තුඩු දිලෙන'යුරු මැවි කිති කැවුණ හදින්
නා දලු දෙතොල් සැරසූ ඒ සිනා මලින්
පෙති රොන් සුණු සිඹිනු නොහැකිද තවම ඉතින්

සඳ දිය ඉසින රෑ යම මා වෙත අවුදින්
සඳ කුමරියේ සනසනු මා නුඹේ රුවින්
මා නෙතු විලේ පිපි පියුමක් විලස නිතින්
‍රැ‍ඳෙනුව නෙතු අසල සැමදා බැඳුණ පෙමින්

ඇත්තේ එක් බලාපොරොත්තුවකි. ඒ දමයන්තියගේ ස්වයංවරය පිළිබඳ පැතුම පමණකි.


Tuesday, August 6, 2013

සදාකාලික කව

ඈත නිල් වන් 
අහස් කුළු මත
රහසෙ ඉපදුන
වැහි බිඳුව නුඹ

මෑත පොළොවෙහි 
පරව යන්නට
පණ ගැහුණ 
මල් පියල්ලෙකි මම

සා පිපාසෙන්
පීඩිතව ගිය
දුක් දැරූ 
මහ පොළොව
ළඟ මම

පණ ලැබූයෙමි 
මටත් රහසෙම
නුඹේ සිහිලට 
ලොබෙන් බැ‍ඳෙමින

සිහින ඇතිරූ
පවුරු සතකින්
ගලා ආ මුතු 
තුෂර බිඳ නුඹ

මගේ ජීවන
සුසුම් ගලපන
නොසි‍ඳෙනා දිය
උල්පතයි නුඹ....




Wednesday, June 5, 2013

දෛවය කළ සරදම්

අපේ වාට්‍ටුව ශල්‍ය වාට්‍ටුවක්. ඒත් පිටතින් බලන කෙනෙක්ට එය  ශල්‍ය වාට්‍ටුවක් ද නැතිනම් අනතුරු ඒකකයක්ද (trauma unit) කියල සැකයක් මතු වෙනව ඇති නො අනුමාවම.

ඒ තරමට හදිසි අනතු වලට මුහුණ දුන් රෝගීන් අපේ වාට්‍ටුවෙ ඉන්න නිසා...ඒ අගෙන් වැඩි හරියක්ම "බල්ලෙක් පැනල බයිසිකලය පෙරලුන
" අය. 
එහෙමත් නැත්නම් "පාරෙ යනකොට රණ්ඩුවක් බේරන්න ගිහින් ගුටි කාපු අය." 
බලද්දි රණ්ඩු කරන්න ගිහින් තුවාල වුණ කෙනෙක්වත් , කට ගොන්නක් බීගෙන ගිහින් බයිසිකල් වලින් පෙරලිලා තුවාල වුණ කෙනෙක්වත් කොහෙවත් නෑ....... :p

ඉතින් මේ වගේ අහිංසක රෝගීන් ඉන්න අපේ වාට්‍ටුවට පහුගිය දවසක රෝගියෙක් ඇතුළත් වුණා.... 
ඔහුට නිසියාකාරව ඇවිදින්න බැහැ.හේතුව ටික කලකට පෙර උකුල් ඇටයට හානි සිදු වීම. 
ඔහුගේ රෝග ඉතිහාසය නම් අන් අයට වඩා වෙනස් වූවක්. 
බල්ලෙකු පැන බයිසිකලය පෙරලීම හෝ රණ්ඩු බේරීමට ගොස් ගුටි කෑම නොවේ... 
දුර ප්‍රදේශයක පතලක වැඩට ගොස් , පස් කන්දකට යට වීමයි ඒ සඳහා හේතු වී තිබුණේ. එහි ප්‍රතිපලයක් ලෙස එතෙක් කෙරගෙන ආ ජීවිකාව තව දුරටත් කර ගෙන යාමට නොහැකි තත්වයකට ඔහු පත් වී තිබුණා....

මේ එදිනම හවස   රෝහලේදී මා දු‍ටු තවත් චරිතයක්...

වේලාව - අමුත්තන් සඳහා වෙන් වූ රෝහල් කාලය
ස්ථානය - රෝහලේ ආපන ශාලාව
චරිතය - නම නොදන්නා කාන්තාවක්

කිහිලි කරු දෙකක අධාරයෙනුයි ඇය පැමිණියේ.. ඇගේ එක් කකුලක් දණහිසට ඉහළින් කපා දමා තිබුණා.

"මට සිලි බෑග් එකකට තේ ටිකක් දාලා දෙන්න" ආපන ශාලා හිමියාගෙන් ඇය ඉල්ලා සිටියා.

උණු වතුර බෝතල් නොමැති බොහෝ රෝගීන් ආපන ශාලාවට පැමිණ තේ කෝප්පයකට දමා ‍රැගෙන යනු මා දැක තිබෙනවා. නමුත් කිහිලි කරුවලින් පැමිණි ඇයට ඒ සඳහා හැකියාවක් නැහැ...

ආපන ශාලා හිමියාගේ මොළයට පෙර කට ඉස්සර වුණා.
"මෙහෙ ශොපින් බෑග් වල තේ දාගෙන යන්න දෙන්නෙ නෑ. කෝප්පයක් අරන් එන්න"

"එයාට කෝප්පයක් අරන් යන්න බෑ..." මගේ වචනයට නිහඬ වූ ආපන ශාලා හිමියා ඇයට තේ ලබා දුන්නා. ඈ එය ‍රැගෙන යන අන්දම මා බලා සිටියේ සතුටින්, එමෙන්ම ශෝකයෙන්..

වතුරට වඩා තරමක් උකු වූ තේ කෝප්පය අවසන් කර මාද සුළු වේලාවකින් අපේ වාට්‍ටුව වෙත පැමිණියා. ඒ වන විට රෝගීන් බැලීමේ වේලාව අවසන් වන්නට ඉතිරිව තිබුණේ ඉතා සුළු වේලාවක් පමණයි. මා හට ආපන ශාලාවේදී හමුවූ කාන්තාව මගේ නෙත ගැ‍ටුණේ අහම්බයෙන්. රෝගියෙකු අසලට වී සිටි ඈ මා හට ලෙංගතු සිනහවක් පෑවා. මගේ සිත උත්සුක වුණේ ඇගේ රෝගියා කවරෙකුදැයි දැන ගැනීමට.

පුදුමයක්!
ඒ මා කලින් සඳහන් කළ පතලට යට වූ රෝගියා. 

ඔවුන්ගේ කතාව දුක්බරම කතාවක්.

ඇයගේ කකුල අහිමි වී තිබුණේ සුනාමියේදී තාප්පයකට යට වීමෙන්.  ඇඟලුම් කම්හලක සේවිකාවක වූ ඇයට එතැන් පටන් සිය ජීවිකාව අහිමි වී තිබුණා. ඉන් පසුව පවුලේ සියල බර කරට ගත් ඔහුද ඉන් වසර 5කට පසුව පස් කන්දකට යට වීම සැබැවින්ම හ්දෛවෝපගතයි. 
තවමත් පාසල් යන ඔවුනගේ දරුවා ජීවත් කරවන්නට ඔවුන් දෙදෙනා "කුලී වැඩ" කරන්නේ කෙලෙසකදැයි මට තවමත් සිතා ගැනීමට අසීරුයි.



Sunday, May 26, 2013

වස්සාන සඳ


වස්සාන හිරු 
නොපෑ යුගයක
හිරුට වඩා දුල 
සඳ සේ
නුඹ විත්

මතකය බොඳ කර
සිහින වසන්තෙට
නැවත පණ පෙවූ
අරුමය...

වසත් හිරු රුව 
මැකී යන ලෙද
මලක් සේ හිනැහුණා නුඹ
එමල සුවඳින් 
නැවත පණ ලද
පුංචි කොඳ මල් 
කැකුළ මම

වසත් හිරු යළි
හිනැහෙනා විට
නුඹ සඳක් බව 
පැවසුයෙමි මම
හිරුගෙ මුකුලිත 
වුවන දු‍ටුවද
තවත් නම් යළි
දුකක් නෑ මට.........



Sunday, May 5, 2013

කරදහි ඔරු සහ ඉස්ගෙඩියෝ



වැහි කාලෙ පටන් අරන්. කොහේදෝ හංගාගෙන හිර කරගෙන තිබුණ පුංචි දිය බිංදු  කොහාට හරි හලලා දාන්නයි අහස බලන් ඉන්නෙ....රිදී පාට අහසෙ නළියන රත්තරන් පාට විදුලි රේඛාත් ඉස්සරහට එන වැහි කාලෙ ගැන අපිට මතක් කරනව. හවස් වෙද්දි අහසෙ එහා මෙහා පියාඹන වැහි ලිහිණියන් ප්‍රමාණයත් දැන් වැඩි වෙලා.

ඉර අවුවට වේලිලා තිබුණ තණකොල ආයෙමත් පණ ගහල නැගිටල ඒවි. උදේ නැගිටිනකොට වතුසුද්ද මල් අග  වීදුරු පබලු වගේ දිලිසෙන වැහි බිංදු  ආයෙමත්  ටික කාලෙකට අපිට දකින්න පුළුවන්වේවි...........

මතක් වෙනවා පුංචි කාලෙ වැහි දවස්..... 

මහ වැස්සක් වැ‍ටුනම මුළු මිදුලම වැවක් වගේ පිරෙනව.. 
සුදු පාට වැලි උඩ වැ‍ටුණ පැහැදිලි වතුර, ටික වෙලවකින්ම අලුත් පාරවල් හොයාගෙන  පුංචි පුංචි ඇළ පාරවල් හදන්න පටන් ගන්නව. ඒ වැලි අස්සෙන් තිරිවාන ගල කැට එකින් එක මතු වෙලා පෙනෙන්න ගන්නව.... 
ජනේලෙ ග්‍රීල් වලට මූණ තද කරගෙන මම ජනෙල් වීදුරුව අස්සෙන් වැස්ස දිහා බලන් ඉන්නව. හැම පැත්තෙන්ම වැටෙන වැහි බින්දු මිදුලෙ වතුර උඩ වැටිල මවන කවාකාර තරංග දිහා බලන් ඉන්න මම තවමත් ආසයි.

හයියෙන් වහින වෙලාවට දේදුනු පේන්නෙ නෑ කියල අම්මා කොයි තරම් කිවුවත්, මම හැමදාමත් වහින වෙලාවට අහසෙ දේදුනු හොයන්න ආසා කළා. තවමත් ආසා කරනව.

වැස්ස පටන් අරන් ටික වෙලාවකින්  අහක දාන කඩදාසි වලින් විතරක් නෙමේ, අප්පච්චිගෙ හාෆ් ශීට් වලිනුත් කඩදාසි බෝට්‍ටු හැදෙන්න පටන් ගන්නව. පීල්ලෙන් වැටෙන වතුරෙ නංගියි මමයි ඉස්තෝප්පුවෙ ඉඳන් කඩදාසි බෝට්‍ටු දියත් කරනව.
වැස්ස තරම තුරල් වුණාම අපි දෙන්න කැඩුණ කුඩයක් ඉහලගෙන බාගෙට තෙමී තෙමී ඒ වෙනකොටත් ගලාගෙන යන වතුරෙත් බෝට්‍ටු පා කරනව.....
අන්තිමට ටික වෙලාවකින් වතුර බැහැල යද්දි මිදුලෙ තැනින් තැන අපේ කඩදාසි බෝට්‍ටු වල නටබුන් ශේෂ වෙලා තියෙනව.....



වැස්සත් එක්ක රෑ වෙද්දි ගෙම්බන්ගෙ සද්දෙ කළුවරේම ඇහැන්න පටන් ගන්නෙ ගෙඹි ගමුදාවක් කෑ ගහනව වගේ. 
කොහෙ ඉඳන්ද මේ ගෙම්බො මෙහෙම කෑ ගහන්නෙ කියල හොයන්න යන්න හිතෙද්දිම වැස්සෙ සීතලට නංගිට තුරුල් වෙලා මට නින්ද යනවා..... 

පහුවදා ඇහැරිලා බලද්දි අප්පච්චි  කොට කලිසමකුයි,  sri lanka  කියල ගහපු සුදුපාට තොප්පියකුයි ,දනිස්ස ගාවට උස බූට් සපත්තුයි දාගෙන වත්ත වටේට කපලා තියෙන අගල් උදැල්ලෙන් පාදනවා.
මමත් හිරි පොදේම නණ කැඩුණ කුඩෙයි, මට වඩා ලොකු සෙරෙප්පු දෙකකුයි දාගෙන අගල් බලන්න යනවා..... 
"මඩේ එන්න එපා" අප්පච්චි කෑ ගහනව. මට ඒවා ඇහැන්නෙත් නෑ. 



වතුර පිරිලා තියෙන අගල් වල තැනින් තැන ගෙඹි බිත්තර කැටිති පා වෙනව. තවත් ටික දවසකින් ඒවා පුපුරලා පුංචි මාළු පැටවු වගේ ඉස්ගෙඩි පැටවු එලියට එනව. 
මම පරණ ජෑම් බෝතලයකුත් අරන් නංගිත් එක්ක ඉස්ගෙඩියො අල්ලන්න යනවා.... 
නැන්දලාගෙ අයියයි නංගියිත් තව ජෑම් බෝතලයක් ඒ වැඩේටම අපිට එකතු වෙනවා. 
වැහි වතුරත් එක්ක කොහෙ හරි වෙලකින් පාවෙලා ආව පුංචි මාලු පැටියෙකුත් ඉඳලා හිටලා අපිට හම්බෙනව.... 
මාළු රංචුවක් අල්ලගත්ත වගේ ජයග්‍රාහීව ඉස්ගෙඩියො පිරුණ ජෑම් බෝතලෙත් අරන් අපි ගෙදර යනව.... 
"ඊයා, ජරා සත්තු ගේ ඇතුළට ගේන්න එපා...."අම්ම කෑ ගහනව.
ඒවා නෑහුණා වගේ, කකුල් එනකම්ම ගේ ඇතුලෙ ඉන්න වරය මම ඉස්ගෙඩියන්ට ලබා දෙනවා..... 

කතන්දර පොත් වල තියෙනවා වගේ කෙහෙල් කොට වලින් පාරු හදාගෙන ගං වතුරෙ යන්න මම හීන දකිනව. ඒ හීනෙ නම් කවදවත් හැබෑ වෙන්නෙ නෑ. හැමදාමත් කඩදාසි බෝට්‍ටු වල කපිතන් වෙලා මම  සෑහීමට පත් වෙනව.....

Wednesday, April 10, 2013

~අහිමි ‍රැය~


රාත්‍රිය මැද
තුෂර බිඳු සිඹ
සඳ වතුර විසිරිලා 
වැගිරෙයි....
පිපෙන සේපාලිකා 
මල් වල
සිනිඳු පෙති
සිහිලසින් සැනහෙයි...
වසත් තරු කැට 
සිහින ඉසිමින්...
නිදන බිළිඳුන් 
තුටින් සනහයි.......
රාත්‍රිය හිමි නොවූ
මගෙ නෙත්,
අදත් නිදිබර
කඳුලු වගුරයි...
සැමට හිමි වූ
අපට හිමි නැති
තවත් එක් දිගු ‍රැයක්
ගතවෙයි............



Friday, March 22, 2013

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න


රෑ වැස්සට ගුරු පාරෙ වලවල් වල වතුර පිරිලා. 
ඒවා මග ඇරලා මම හිමීට ඇවිදගෙන යනව.....

උදේ පාන්දර මීදුමත් එක්ක නැවුම් හැඟීමක් හිතට දැනෙනව. පාර දෙපැත්තෙ තියෙන උස තණ කොළ වල අගිස්සෙ වතුර බින්දු එකතු වෙලා පාන්දර ඉර අවුවට මුතු පාටට දිලිසෙනව. 
ඒ අතරින් ඉහළට එසවුණ ලොකු තණකොළ මල් වල යම්තම් ලා රෝස පාට මිශ්‍ර වුණ කොළ පාටත් එක්ක ඒවගෙ ‍රැඳුන පිණි බින්දු වල පාට අපූරුවට කැපිලා යනව. 
තණකොළ පඳුරු අතරින් මතු වෙලා පෙනෙන නම අමතක කහ පාට පුංචි මල් මවන්නෙ තවත් ලස්සනක්. ඒවගෙ හීනි බූව උඩ තවත් පුංචිම පුංචි පිණි බින්දු ‍රැඳිලා..... 

මල් වලට වඩා ටිකක් ලොකු පුංචි සමනළයෙක් නොනැවතීම එහාට මෙහාට පියඹනවා....

හැල හොල්මනක් නැතිවම විදුලි කණුවක් උඩට වෙලා එක් පැත්තක් බලන් ඉන්න දුම්බොන්නෙක් මීදුම අතරින් මට යම්තමට පෙනෙනව.

මේ සැබෑ දර්ශන පෙළින් තවත් එහාට යන්න මගේ හිත වෙර දරනවා හැමදාමත් වගේ. 

සීතල වතුරත් එක්ක පහළට ඇද හැලෙන දිය ඇල්ලක සිහින් ස්වරයක් මට ඇහෙනව. ඒකෙන් විසිරෙන ජල දුමාරයෙන් මාව යන්තමට නැහැවෙනව. මුලු වට පිටාවම වසාගෙන නැගුණ රූස්ස ගස් මිතුරු යෝධයන් වගේ මා දිහා බලන් ඉන්නව...........

ඒ දර්ශන පෙළ මැකීගෙන යද්දි ලා දළු පාට අලුත් ගොයම් පැළ වලින් සැදුන වෙල යායක් මගේ හිතේ මැවෙනව. ඒ පැත්ත්කින් ගලාගෙනයන පුංචි ඇළ පාර දිහා මම බලන් ඉන්නව. පළිඟු කැටයක් වගේ පැහැදිලි වතුර......... මාළු පැටවු තරඟයට වගේ පීනනව... අසල ගහක හැංගිලා ඉන්න පොල් කිච්චෙක්ගෙ සුමිහිරි නාදය මට ඇහෙනවා......

ඒ එක්කම ඇහෙන ගිලන් රථයක සයිරන් නාදෙන් මගෙ හිත හීන වලින් මිදෙනවා.......... 
නවාතැනේ ඉඳන් මිනිත්තු දෙක තුනක් පයින් යන ගුරු පාර දෙපැත්තෙ තණකොළ උඩට පිණි වැටිලා තියෙන හැටි දකිද්දි මගෙ හිත හැමදාමත් මේ වගේ දර්ශන වලින් පිරෙනවා. 
පිරෙනවටත් වඩා මම පුරව ගන්නව මනසෙ විඩාවෙන් මිදෙන්න. 

ඒත්...........

ඊට සුලු මොහොතකට පස්සෙ නපුරු යෝධයෙක් වගේ නැගිලා ඉන්න රෝහලේ බිත්ති මම දිහා රවාගෙන ඉන්න හැටි මට පේනව. 
චිත්ත පීඩාවෙන්ම විතරක් පිරුණ තවත් දවසක් ඒ විදියට මම ආරම්භ කරනව.

Tuesday, March 5, 2013

බේත් කරන ක්‍රමේ වැරදියි


අම්ම පුංචි පුතාව උස්සගෙන දුවගෙන ආවෙ හැඬූ කඳුලෙන්. ඊටත් වඩා පුතා වේදනාවෙන් මොර දෙනවා.බිම තියල නටවපු උණු වතුර භාජනේට අවුරුදු 2ක ඒ පුංචි දරුවව පිච්චිලා දකුණු අතේ වැලමිට ලඟට එනකම්ම..... 
ළමයින්ව බලා ගැනීම පිළිබඳව කවුරුත් අම්මට උපදෙස් දෙන්න නොගියෙ ඒ ගෙදර තත්වය ගැන යම් වැටහීමක් දු‍ටු සැනින්ම ලැබුණ නිසා.... 
වතුර උණු කරන්න, කන්න බොන්න, නිදාගන්න හැම දේටම තියෙන්නෙ එකම කාමරයක බිම විතරක්ම වෙන්න පුළුවන්....

දරුවාට ප්‍රතිකාර කරන්නට කවුරුත් යුහුසුළු වුණා.... වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙවැනි අවස්ථා වල විශේෂ අවධානය යොමු වීම සාමාන්‍යයි.

වතුර කරාමයක ගලාගෙන යන ජලයට දරුවාගෙ අත මිනිත්තු 30 ක් පුරාවට අල්ලාගෙන ඉන්න අම්මව යොමු කළාට පස්සෙ ඉතාම අත්‍යවශ්‍ය මොහොතක පමණක් භාවිතයට ගන්න ප්‍රබල වේදනා නාශකත් භාවිතයට ගත්තෙ කුඩා දරුවගෙ හැඬුම අසාගෙන ඉන්න බැරිම තැන. පිළිස්සුම් තුවාල වල ආලේප කරන්න අත්‍යවශ්‍ය ඖෂධය වෙනත් වාට්‍ටුවකින් "ණයට" ලබාගත්තෙ එය ඇනවුම් කර ලබාගැනීමට තරමක් වේලා ගත වෙන නිසා.......

පසුවදාම භෞත චිකිත්සක වරියකගේද මැදිහත් වීම සිදු වුණා. ඒ පිළිස්සුම් තුවාල නිසා ඇඟිලි එකට ඇලීම වලක්වන්නට ව්‍යායාම වලට දරුවාව යොමු කරන්න.
ඒ අවස්ථාවත්, තුවාල වලට බෙහෙත් දමන අවස්ථාවත් පුංචි පැටියාට දරා ගන්න අමාරු තරම් වේදනාවක් ගෙනදුන්නා. අම්මගෙ වේදනාව ඊටත් වැඩියි දරුවගෙ හැඬුම් දකිද්දි.... ඒ මවු සෙනෙහස! ඒත් කළ යුතු යමක් වේ නම් එය සිදු කළ යුතුමයි.....ඒ නිසා එම ප්‍රතිකාර නොකඩවා සිදු වුණා.. දරුවාගේ තත්වය බොහෝ දුරට යහපත් අතට හැරෙමින් තිබුණා........

ඒත් අනපේක්ෂිත යමක් සිදු වුණා.....

තුන් වන දිනයේදී දරුවාගේ පියා මා ඉදිරියේ පෙනී සිටියා. 
"ඩොක්ටර්... ළමයගෙ ටිකට් කපල දෙන්න..."සිතා ගත නොහැකි ඉල්ලීමෙන් මා විමතියට පත් වුණා...

"ඒ මොකද?"

"තම තුවාල වේලිලත් නෑ.... අනිත් එක මෙහෙ බේත් කරන විදියට ළමයට රිදෙනවා වැඩියි... අපි සිංහල බේත් කරන්න තමයි බැලුවෙ...."

ඔහුගේ තිර ස්වරය වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි වුණා.... පිලිස්සුම් වලට ප්‍රතිකාර කිරීමේ මූල ධර්ම ඔහුට පැහැදිලි කරන්නටත් කිසිවෙකුට නොහැකි වුණා....

"වෛද්‍ය අවවාද වලට විරුද්ධව මගේ කැමැත්තෙන් දරුවා රෝහලෙන් ‍රැගෙන යමි....." තවත් ඇඳ ඉහපතක අපැහැදිලි, කැඩුණු අකුරෙන් ලියැවුණා........

දිනෙන් දින මගේ සිතේ ගොනු වන කලකිරීම් ගොන්නට , අසාධාරණ ලෙසින් සේවය හෑල්ලු වීමෙන්, තවත් කලකිරීමක් එකතු වුණා...........



Sunday, February 17, 2013

කාණුවෙන් එහා මගේ ලෝකය


අද රෝගීන් අඩුයි. පුංචි නිදහසක් හිතට දැනෙනවා. 

මම වාට්‍ටුවේ කොරිඩෝවෙ කෙටි බිත්තිය අයිනට යනව. 
නම නොදන්න කහපාට මල් පිපෙන උස ගහ මලින් වැහීගෙන එනවා. තව ටික දවසකින් එක කොලයක්වත් නැතිව මල් වලින් විතරක් ගහ පිරෙයි.... 

කුණු වතුර ගලාගෙන යන ( නොයන) පළල කාණුවෙන් එහා ලෝකය මට පේනව. අයිති කාරයෙක් ඇතත්, පදිංචි කාරයෙක් නැති එහා වත්තෙ එක එක වර්ග වල වල් පැළෑටි ක‍ටු පඳුරු පිරිල....... සමනලුන්ට හොඳ වාසස්ථානයක්.

bush hopper කෙනෙක් පාම් ගහක් උඩ අවුව තපිනවා. common Indian crow කෙනෙක් සුදු තිත් වැ‍ටුන දුඹුරු පාට අත් ත‍ටු වලින් කාණුවට උඩින් පාවෙලා වගේ යනව. අලුතෙන්ම ඉපදුනා වගේ පේන ලස්සන blue tiger සමනලයෙක් රෝහලේ මල් පඳුරු අතර සැරිසරනවා. තනි වුණ red pierrot කෙනෙක් මගෙ ඇස් ඉස්සරහින් ඉගිලිලා යද්දි, ගිනි ගහන අවුවෙ lemon emigrant කෙනෙකුත් common emigrant දෙන්නෙකුත් එකා පස්සෙ එකා රවුමට පියඹනවා මට පේනවා..... 

උදේ ඇහැරුණ ගමන් කැමරාවත් එල්ලගෙන එහා වත්තට පැනලා සමනල්ලු පස්සෙන් ගිය ඒ නිදහස් කාලය මට ආයෙ මතක් වෙනවා. 

අප්පච්චිට කියල කැමරාව මෙහෙ ගෙන්නගන්න ඕනා.... මට හිතෙනවා. 
කුණු වතුර ගලන කාණුව අවටත් ලස්සන ලෝකයක් තියෙනවා 

දන්න හඳුනන කුරුලු නාදයක් මට ඇහෙනව. මම හිතුවා හරි. පයිනස් ගහක් මුදුනෙ ඉඳගෙන bee eater කෙනෙක් තමන්ගෙ ප්‍රියම්බිකාව අමතනවා. 

සරසවි ජීවිතය ආයෙමත් මට මතක් වෙනවා. කැලෑ අස්සෙ බඩ ගාගෙන ගස් මුදුන් වල කුරුල්ලො හොයපු හැටි , WUZ  කැන්ටිමේ පාඩක් කර කර ඉන්න වෙලාවට හදිසියෙ ඇහැ ගැටෙන කහ කුරුල්ලෙක් පස්සෙන් පොඩි කැමරාවත් අරන් පාඩම් කිරිල්ල පැත්තක තියලා දුවපු හැටි මතක් වෙනවා. 

එහෙම ජීවිතයක් තිබුණ මම අද මේ විදියට කො‍ටු වෙලා.....

"ඩොක්ටර් admission එකක්" හෙදියගෙ හඬ  හීනෙන් වගේ මට ඇහෙනවා.............

මූණ බෙරි කරගන්න මම ආපහු මගෙ පු‍ටුවට යනවා. මටත් වඩා මූණ බෙරි කරගත්තු රෝගියෙක් එහා පැත්තෙ පු‍ටුවෙ ඉඳගෙන ඉන්නවා.....

"මොකද අනේ කළේ? " කවදත් හිතවත් හෙදිය මගෙන් අහනවා.....

"සමනල්ලු බැලුවා" මම උත්තර දෙනවා..........

"මෙච්චර කල් හොඳට හිටිය ඩොක්ටටත් මොලේ හොඳ නැති වේගන එනවා වගේ........... නැත්නම් මෙච්චර වැඩ තියෙද්දි සමනල්ලු බල බල ඉඳියිද....." තවත් කෙනෙක් උත්තර දෙනවා.

"මොලේ හොඳ නැති වෙයි කියලා බයට තමයි මම සමනල්ලු දිහා බලන්නෙ" කියන්න මගෙ දිව නැමෙන්නෙ නෑ...... 

ඒත් කැමරාව ගෙන්න ගන්න අදහස නම් මම අමතක කරනවා..............


Thursday, January 31, 2013

උල්කාපාත.........


"වෙඩින් එකට දවස් දෙකයි මට නිවාඩු ලැබුණෙ, රිලීස් වෙන්නෙ වෙඩින් එක දවසෙ පාන්දර 4ට" 

ආයෙම මතක් වුණ එයාගෙ වචනත් එක්ක ඇස් වලට පිරෙන්න පටන් ගත්තු කඳුලු නවත්ත ගන්න බැරුව මම වාට්‍ටුවෙන් එළියට ආව. 
මොකද්ද මේ ජීවිතේ... මේ දවස් වල හැමදාම වගේ හිතට එන ඒ සිතිවිල්ල ආයෙමත් හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත. 
කොරිඩෝවෙ කෙටි බිත්තියට හේත්තු වෙලා අහස දිහා බලාගෙන මම ජීවිතේ හෙවුව...... ජීවිතේ ප්‍රශ්න පත්තරේ උත්තර නැති ප්‍රශ්න ගණනාවක් මම වටේ කැරකුණා.  කඳුලු වලින් ඒවට උත්තර ලැබෙන්නෙ නෑ කියල දැන දැනම ඒ කඳුලු නිදහසේ ගලාගෙන ගියා. අහසෙ මැද හිටගෙන හිටිය මහ වලසා තරු රාශියත් මා දිහා බලාගෙන හිටිය මමවත් නොදන්න උත්තරයක් කොහෙන් හරි ලැබෙනකම්. 

දිගින් දිගටම පර තෙරක් නොපෙනෙන අහස දිහා බලාගෙන මම හිටිය ගොඩක් වෙලා. හිතේ දුක කියාගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. තරු පිරුණ අහසට විතරක් එදා මගෙ දුක දැනෙන්න ඇති. 

අවුරුදු හයක් පුරාවට පෙරුම් පුරාගෙන හිටිය ඒ දවසට මේ තරම් බාධා එයි කියල හීනෙකින්වත් හිතල තිබුණෙ නෑ......
විවාහය වෙනුවෙන් මට සතියක නිවාඩුවක් ලැබෙද්දි, එයාට දවස් දෙකක් විතරක් ලැබීම එයාටත් ලොකු දුකක් කියල මට හොඳටම දැනුණ. කඳුලු සලලා අඬන්න බැරුව ඒ හිතේ හිරවුණ කඳුලුත් ඇද හැලුනෙ මගෙ ඇස් හරහා.....

ඒත් , මමවත් නොහිතුව මොහොතක, අහසටත් හොරෙන් උල්කාපාත දෙකක් එක පාරටම අහස හරහා ඇදිලා ගියා. හරියට හින්දි චිත්‍රපටයක වගේ ඒ උල්කාපාත දිහා බලාගෙන මම ප්‍රාර්ථනා කළා අපි දෙන්නගෙ හිතේ සතුට..... හාස්කමකින් වගේ ඇද වැ‍ටුන උල්කාපාත දෙක ඒ ප්‍රාර්ථනාව ඉශ්ට කරයි කියලා මම විශ්වාස කළා. 

ඇත්ත.... දහසක් බාධා මැද්දෙ, අම්මගෙයි අප්පච්චිගෙයි නංගිගෙයි නැන්දාගෙයි හිතාගන්න බැරි තරමෙ කැප කිරීම් එක්ක, මගෙ හිතේ ඇඳිලා තිබුණ විවාහ උත්සවය ඒ විදියටම ලස්සනට සිදු වුණා.... 

මම දැකපු උල්කාපාත මතක් වුණා මට ආයෙමත්.

පහුවදාම අපි දෙවෙනි ගමනට පිටත් වුණා. විශ්වාස කරන්න.... එදාත් මගෙ ඇස් අහසට යොමු වුණේ ඉබේම. තවත් උල්කාපාතයක් අහස හරහා ඇදිලා ගියා. ඒ අපි දෙන්නගෙ වාසනාවේ අනිත් උල්කාපාතය වෙන්න ඇති.... 

මම දන්නවා, එයා නිසා මම වාසනාවන්තයි. ඒ වගේ ආදරයක් මේ ලෝකෙ කොහෙවත් තියෙනවා කියල මම දැනගෙන හිටිය නෑ මේ වෙනකම්ම.... 

මම අපේ අලුත් නවාතැනේ හුදෙකලාවම පරිගනකය ඉස්සරහ වාඩි වෙලා ඉද්දි, එයා නිදි නැතුව වාට්‍ටුවේ වැඩ වුණත්, අපි වාසනාවනතයි කියල මම අදහනවා.........