Tuesday, September 17, 2013

නල - දමයන්ති

සහසක් සුරවමියන් දිය කෙළින සඳ දසත විසිරුණ , තුෂාරයෙන් නැහැවුණ තණ පළස මවන්නේ දේදුනු පැහැයයි. 
හිරු කැණ් විසින් සිය සැඟවුණ වුවන සිප ගැනෙන තුරු දෙනෙත් නාරින්නට අදිටන් කරගත් මල් පොකුරුද තවම බෝමයි. 
ඒ අතර කල් මරණ භෘංග සේනාව නල කුමරුන් සිත ‍රැඳි සසල බවට නව'රුත් එක් කරයි. 
හිමිදිරි උදාසන අවදි වූ විහඟුන් එකා දෙන්නා ගයන්නට පටන් අරන්....

දිගන්තයේ සිට පියඹා ආ හංසයා ,එතෙක් පොකුණු දිය මත දඟ කළ පෙර දිග අහසේ රන් වන් ඡායාව බොඳ කරමින් දිය මතුයෙහි දිස් වේ.
ඈත පෙනෙන හිමාලය මතු හිම පරදවන  එම රුව ඔහුගේ ඇසට ගැටෙනුයේ නිතැතින්. දිවා හිරු සේ තෙදවත් නල කුමරිඳු ළදරුවෙකු සේ සොම්නස්ව, හස මුවගින් ගලන වදන් අසන්නේ නොහිම් ප්‍රීතියෙන්. 

       "මා නුඹ පිළිබඳව දමයන්තිය වෙත සැල කර සිටියෙමි... ඔබගේ රූප සෝභාව හා ගති සෝභාව අසා නුඹ වෙතම සිත් බැඳුනු ඈ දැන් පසු වන්නේ ඔබ දැකීමේ පරම අභිලාශයෙනි" 

දියෙන් කිරි වෙන් කරගන්නා සේ සියුම්ව ගැලපූ වදන්  , රන් රුවක් බඳු වූ දමයන්තියගේ රුව නල කුමරුන් මනසේ නිතැතින්ම මවන්නට සමත් වේ. 

බැලු බැලු අත දිස් වන්නේ ඇගේ රුවයි. දෙනෙත් හැර සිටීමට නොහැකිය. දෙනෙත් වැසීමටද නොහැකිය...  ඔහු සිත තුළ නුදු‍ටු දමයන්තියගේ රුව ,දුලබ වන මලක් සේ ඇඳේ.

මද මාරුතය සැලුණා පිණි පොකුරු මැදින්
හඳකුත් සවන් ‍රැඳුණා මිණි කිකිණි සරින්
මා දෑ නුවන් විවරව අරුණට රහසින්
සීනෙන් ඇසුණ ඒ සර සෙවුයෙමිය රිසින්

සසොබන දයාවත රුව නෙත ගැටෙන ලෙදින්
ගුවනේ සරන විහඟුන් සර දිගත දෙසින්
විකසිත පියුම් හිනැහී බැඳ නුඹට පෙමින්
බිඟු සර වැයුවේද නුඹ රුව බැඳුණු හදින්

හසඟන රඟයි සිල් බිඳ රන් රුවක් ලෙසින්
හස තුඩු දිලෙන'යුරු මැවි කිති කැවුණ හදින්
නා දලු දෙතොල් සැරසූ ඒ සිනා මලින්
පෙති රොන් සුණු සිඹිනු නොහැකිද තවම ඉතින්

සඳ දිය ඉසින රෑ යම මා වෙත අවුදින්
සඳ කුමරියේ සනසනු මා නුඹේ රුවින්
මා නෙතු විලේ පිපි පියුමක් විලස නිතින්
‍රැ‍ඳෙනුව නෙතු අසල සැමදා බැඳුණ පෙමින්

ඇත්තේ එක් බලාපොරොත්තුවකි. ඒ දමයන්තියගේ ස්වයංවරය පිළිබඳ පැතුම පමණකි.