Wednesday, December 31, 2014

චොක්ලට් සහ උළුඳු වඩේ

ලෝකයේ කොහෙත් ළමයි එක වගේ. පුංචි පුංචි වෙනස් කම් තිබුනට ළමයි ළමයිමයි. 
සරලව හිතල බැලුවොත් අපිට හිතෙන්නෙ එහෙමයි.



සීමා වාසික කාලෙ ළමා වාට්‍ටුවෙ වැඩ කරද්දි ඒ වගේ එක වගේ ඒත් එකිනෙකාට වෙනස් පුංචි ළමයි ගොඩක් ඇසුරු කරන්නට ලැබුණ. ජීවිතේ ක‍ටුකම කාල පරිච්ඡේදයක් වුණ සීමා වාසික කාල සීමාව තරමක් හෝ සරලව ගත කරන්නට ඒ ළමා වාට්‍ටුව උදවුවක් වුණා.

සීමා වාසික නිමා කළ පසුවත් ළමා වාට්‍ටුවක වැඩ කරන්නට තිබුණ ආසාව  හුදු ප්‍රාර්ථනාවකට පමණක් සීමා වෙලා, අන්තිමට ආයෙමත් නතර වෙන්න වුණේ (පොඩි වාසනාවකුත් ඉතුරු වෙලා තිබුණ නිසාද කොහෙද) ශල්‍ය වාට්‍ටුවක.

වැටෙන, තුවාල වෙන එක පොඩි දරුවටත් පොදු වුණ ධර්මතාවයක් නිසාම ඒ වාට්‍ටුවෙත් දවසකට පුංචි දරුවො දෙතුන් දෙනෙක් හෝ නවාතැන් ගන්නව. 
අන්න ඒ වෙලාවට නම් මම අර මුලින් කියපු, එක වගේ ඒත් වෙනස් දරුවො කීප දෙනෙක් දකිනව.

ඒත් මේ ප්‍රදේශයේ ළමයින්ගෙ මොකක්ද වෙනසක් වෙලාවකට මට දකින්න ලැබෙනව.
කතබහේ වුණත්  තරමක් අඩු බවක් තියෙනවද කියල හිතෙනව. 
එහෙමද, නැත්නම් අපි කතා කරන දෙමළ එයාලට "ග්‍රීක්"වගේ දැනෙනව වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම්, සීමා වාසික කාලෙ තරම් අපි වාට්‍ටු ‍රැ‍ඳෙන්නෙ නැති නිසා වෙන්නත් පුලුවන්.

ඒ වගේම ගොඩක් ළමයි වා‍ටුවෙ නවතින්නෙ අම්මලා එක්ක නෙමේ, ආච්චි අම්මල එක්ක. සමහරුන්ගෙ තාත්තලා නෑ. ආගිය අතක් නෑ. සමහරු වෙනත් පවුල් හදාගෙන. අපි හිතනවට වඩා වැඩි යමක් යුද්ධය විසින් ඔවුන්ට ඉතුරු කරල ගිහින්. වෙනත් වචන වලින් කියනව නම්, නැති කරල ගිහින්. 
(මොනව වුණත්, "Aftermath of war "කියල කියන්නෙ වෙනම දවසක වෙනම ලිපියකින් කතා කළ යුතු කාරණයක්.)

චොක්ලට්

වැඩියෙම අපිත් එක්ක කතා බහ කරන්නට පෙළඹෙන්නෙ නැති මේ කුඩා දරුවන් අතරෙ එක්තරා දරුවෙක් හිටිය මගේ විශේෂ අවධානයක් යොමු වුණ. ඊට හේතුව , වයස අවුරුදු 4ක් පමණ වූ ඔහු ඉතාම දඟකාර වීම. එක මොහොතක් වත් එක තැනක ‍රැ‍ඳෙන්න බැරි වුණ ඔහුව රෝහෙලේ රඳවා ගන්නට ඇතැම් විට ළමා වාට්‍ටුවේ ඔන්චිල්ලාව වෙත යවන්නටත් සිදු වුණා.

ඔහු වාට්‍ටුවේ නැවතී දින දෙකක් පමණ ගත වුණා. එදින සවස ward round සඳහා මම වාට්‍ටුවට ගියා. 
තවත් සම වයසේ ළමයින් දෙදෙනෙක් සමග ඔහු ලොකු සෙල්ලමක්. ඒ අතර අතේ පුංචි pop it පැකට්‍ටුවක්. අනිත් දෙදෙනාටත් එහින් එකක් හෝ ඔහු දී ඇති බව පෙනුණා

"මටත් එකක් දෙනවද? " මම ඔහුගෙන් ඉල්ලුවෙ සිංහලෙන්.

භාෂාව නොවැටහුනත්, මා පැවසූව වටහාගත් ඔහු
සිනා සී අත පි‍ටුඅපසට කරගත් ඔහු මා සමග කෙලිලො ලෙස සිනා සුනා.

"අනේ දෙන්නකො" මම ආයෙමත් ඉල්ලා සිටියා.

එක්වරම ආපසු හැරුණු ඔහු තමන්ගේ ඇඳ වෙතට දිව ගියා.හරියටම මා ඔහුගේ අතේ ඇති පොප් ඉට් පැක්ට්‍ටුව ඩැහැ ගැනීම වැලැක්වීමට වගේ.
එහෙත් ඇඳට නැගීම වෙනුවට ඇඳ අසල ඇති තන්ට අයත් ලොකරයේ ඇති සියලුම දෑ ඉන් අනතුරුව ඔහු විසින් බිමට ඇද දමන්නට වුණා.

ඔහුගේ අම්මා ඒ අසලට ගියේ කුමක් හෝ කඩා බිඳ දමාවි යැයි බියෙන් වන්නට ඇති. කුමකින් කුමක් වේදැයි මමත් බලා සිටිය. මොහොතකින් තමන් සෙවූ දෙය ඔහුට හමු වුණා.

ඒ නොකැඩූ විශාල චොක්ලට් එකක්. 

ඊලඟ මොහොතේ නැවතත් ඔහු මා වෙතට දිව ආවේ එම චොක්ලට් එකත් සමගින්.  "කැන්ඩොස්.... සාපඩින්ග"එය මා වෙතට දික් කරමින් ඔහු කියා සිටියා.
(සියලුම චොක්ලට් වර්ග හැඳින්වීමට මේ ප්‍රදේශයේ කැන්ඩොස් යන වචනය භාවිත වීම සුලභයි)

මට අදහා ගැනීමටත් බැරි වුණා. ඒ දඟකාර දරුවාගෙන් මා එවැනි ත්‍යාගශීලී බවක් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නෑ. කොතරම් එපා කිවුවත් ඔහු තම උත්සාහය කිසි ලෙසකින්වත් අත්හැරියේ නැ. කෙසේ හෝ එය ලබාගැනීමට මට සිදු වුණා. එය නැවත ඔහුගේ මවට මා ලබා දුන්නේ මා ward round අවසන් කර ආපසු යන විට ඒ පිළිබඳව ඔහුගේ අවසානය ගිලිහී ගිය පසුවයි.

උළුඳු වඩේ


අවුරුදු හයක් පමණ වයස ලියෝන් , වාට්‍ටුවෙ නවතින්නට ආවෙ අම්මයි, අවුරුදු එක හමාරක පුංචි මල්ලියි එක්ක. ලියෝන්ගෙ වගේම අම්මගෙයි මල්ලිගෙයි දෙන්නගෙයිත් දකින්න තිබුණෙ දරිද්‍රතාවයෙ උපරිමයට ගිය ලකුණු.....
ඔහුගෙ අතක තරමක් ලොකු සැරව ගෙඩියකින් පීඩා විඳිමිනුයි ඔහු හිටියෙ. එය පටන් අරන් දින දෙකක් පමණක් බව අම්මා පැවසුවත්, අඩුම තරමින් දින 5ක් වත් ගත වී තිබ්න්නට ඇති. එහි ස්වභාවය අනුව එය සැත්කමකට භාජනය කළ යුතුව තිබුණා.  

"බබා අන්තිමට කෑම කෑවෙ කීයටද?" ග්‍රීක හා සමාන වුණ මගේ දෙමළ භාශාව උදවුවෙන් මම ඇසුවා. (සිහි නැති කර සිදු කරන ශල්‍යකර්මයකට පෙර පැය 6ක් නිරාහාරව සිටීම අත්‍යවශ්‍යයි)

"ඊයෙ දවල්ට"

මවගේ පිලිතුරෙන් මා විමතියට පත් වුණා. ඒ වන විට වෙලාව උදේ දහයට ආසන්නයි. අඩුම තරමින් පැය විස්සක් හෝ ඊට ආසන්න කාලයක් මේ කුඩා දරුවා කුසගින්නේ සිටින්නට ඇති. 

එක් ආහාර වේලක් මග හැරුණත් දිනය පුරාවටම ඒ පිළිබඳව "නහයෙන් අඬන" අප සමග සසඳා බලන විට ඒ දරුවා ඒ ලෙසින් ඉවසා සිටීම පුදුමයක්. ඒ මව සමග අසාධාරණ කෝපයකුත් මගේ සිතෙහි ඇති වුණා. සැබෑ ලෙසින්ම ඒ දුප්පත් කම වන්නට ඇති. එතරම් දිනක් දරුවා ‍රැගෙන රෝහලට නොපැමිණ සිටියේද ඒ දිළිඳු කම නිසාම වෙන්නට ඇති.

මා එදින උදෑසන කෑමට ගෙනැවිත් තිබුණු උළුඳු වඩ දෙක ඒ වන විටත් තිබුණේ මේසය උඩ. 

දෙවරක් නොසිතාම මම එය ලියෝන් ට දුන්නා. 
ඔහු එය අරගත්තේ කිසිම පැකිලීමක් නොමැතිව. 
මා ඔහුව පරීක්ෂා කර අවසන් වූ පසුව ඔහු ඉක්මනින්ම රෝගීන් අසුන්ගන්නා බංකුව වෙත ගියා. 

තත්පර කිහිපයක හෝ ප්‍රමාදයකින් තොරව කෑම පාර්සලය දිග හැරිය ඔහුගේ මුහුණේ වුණේ මහත් සතුටක්. විශ්වාස කරන්න, කුස ගින්නේ සිට, ආහරයක් ලැබූ කිසිම කෙනෙක්ගේ මුහුනෙන් පළ නොවූ සතුටක් ඒ මොහොතේ මා ඔහු වෙතින් දු‍ටුවා. ඊ ළඟ ඒමොහොතේ ඔහු කළ ක්‍රියාව මගේ ඇස් වලට කඳුලු නංවන්නට සමත් වුණා.
වඩේ දෙකම අතට ගත් ඔහු ඉන් එකක් අම්මා අතට දුන්නා. ඉන් පසුව තමන් අතෙහි වූ වඩයෙන් කොටසක් කඩා මල්ලිගේ කටට ළං කළා.................

පුංචි දරුවන්ගෙ මනුස්ස කම අන් සෑම මනුෂ්‍ය ගුණාංගයකටම වඩා වටිනා බව එදා මට පැහැදිලි වුණා.

Saturday, October 25, 2014

දෙතොල් පෙති පියුමක්ව - විකසිතව හිනැහෙන්න

සිනහ මල් මගෙ නොවේ
එය මගෙන් නුඹ ගන්න
මට උරුම කඳුලු බිඳ
ආයෙමත් මට දෙන්න
නුඹේ දෙකොපුල් තෙමන
කඳුලු බිඳු බිම නොලා
ඒ කඳුලු එකතු කර
මගේ දෝතට දෙන්න

හද හඬන සිත දවන
සෙනෙහසේ චිතකයට
ඒ කඳුලු දිය දමා
සදහටම නිවන්නට

නෙතු විලේ උතුරනා
කඳුලු උල්පත වසා
එකම එක කඳුලකට
ආයෙමත් පණ දෙන්න

ඒ කඳුලු බිඳ නුඹේ
කොපුල් තෙමමින් ගලා
දෙතොල් ළඟ නැවති සඳ
විහ‍ඟෙකුට පවසන්න
විහඟ තෙම ත‍ටු සලා
එබැව් ගුවනේ ගයත
සෝ බරිත ගීතයක 
සොරය මට ඇසේවී

නෙත උපන් ඒ කඳුල
නුඹේ සුසුමන් සමග
මිය ඇදී වියැලිලා
දෙතොල් පෙති පියුමක්ව
විකසිතව හිනැහෙන්න
නුඹට ආසිරි දෙන්න 
මගේ හිත පතාවී


Monday, October 13, 2014

ඩේවිඩ් සහ සිමෙන්ති සිංහයා

Day 0

හම් වලින් හැදුවා වගේ පේන, ධූවිලි ගෑවුණ මගෙ සින්තටික් පටි සෙරෙප්පු දෙකයි, ඒ සෙරෙප්පු දෙකටම ගෙවුණු ඩෙනිමෙ අඩියයි දිහා මම බලන් හිටියා. ඇය බලන් හිටියෙ සිංහයා දිහා. සිංහයා කිවුවට සිමෙන්ති සිංහයෙක්. නිදහස් චතුරස්‍රෙ අලුතින් හදපු සිංහ රංචුවෙ සිංහයෙක්.
කිසිම අංගපුලාවක් නැති සිංහ ධේනුවව පෙනෙයි වගේ අනිත් පැත්ත බලන් ඉන්න වැහැරුණු සිංහයො තුන්දෙනාගෙන් කැතම සිංහයා.



ඒ සිමෙන්ති රූප වට කරගෙන ගලන වතුර ටිකක් මම අතගාලා බැලුවා. ටිකක් සීතලයි. ඒවගෙන් ටිකක් අරන් මම ඇය දිහාවට විසි කළා.කෙලිලොල් මුහුණ ටිකකට අඳුරු වෙලා ආයෙම හිනා වුණා. ලා නිල් පාට බ්ලවුස් එකේ ඊට වඩා ටිකක් තද පාට පැල්ලම් කීපයක් හදන ගමන් ඒ වතුර ඇගේ උරහිස හා බඳ සිප ගත්තා. 

ඊළඟට ඇගේ දෝතින්ම එන වතුර ගොඩකට නැහැවෙන්න වෙන බව දැන දැනම මම එහෙමම වාඩි වෙලා හිටිය.ඒත් වතුරට නිදහසේ ගලන්නට ඉඩ හැරලා ඇය තව ටිකක් මට ලං වෙලා ඉඳ ගත්තා. ලා රෝස පාට ගල් අල්ලපු රිදී පාට බ්‍රේස්ලට් එකත් එක්කම , කලින් මට අයිති වෙලා තිබුණ ඇගේ අත සිංහයගෙ පිට උඩින් තිබ්බ. හරියට හිතක් පපුවක් නැති ඒ සිමෙන්ති සිංහයා මටත් වඩා වටිනව වගේ

"මේ සිංහ පිළිම දක්කම මට මතක් වෙන්නෙ රෝමයෙන්ද කොහෙන්ද හොයා ගත්තු මූර්තියක්. ඔයාට මතකද, වෘක ධේනුවකගෙන් ළමයි දෙන්නෙක් කිරි බොන එකක්....."

"රොමියුලස් රේමස් දෙන්නගෙ රූපෙ.... මේක දැක්කම් ඔයාට ඒක මතක් වෙන එක අහන්න දෙයක් නෙමේනෙ. ඒකත් මේ වගේම කැතයිනෙ....."

"කොච්චර කැත වුණත් ඒක දැන් මෙතෙන්ට එන හැමෝම දකිනවනෙ. කැතයි කියල ඇස් වහගෙන යන්නයැ. 
ඇරත්, හැමෝටම, මයිකල් ආන්ජලෝගෙ ඩේවිඩ් වගේ ලස්සන මූර්ති හදන්නත් බෑනෙ....."

"ඩේවිඩ් ලස්සනද?"

"ලස්සනයිනෙ. බලන්න ලැජ්ජ හිතෙන තරමට ලස්සනයි"

"ලැජ්ජ හිතෙන තරමට....."

"ඔව්.... 
ඒ තරම් රියලිස්ටික් ඒක"

"වෙලාවකට ඔයා ගැන දුකත් හිතෙනව. ලස්සන ඩේවිඩ් ගැන හිත හිත, කැනහිලෙක් වගේ ඉන්න මේ සිමෙන්ති සිංහයා බදාගෙන ඉන්න හැටි දැක්කම"

බ්‍රේස්ලට් එකත් එක්කම ඇය වහාම අත ඉවතට අරන් පරිස්සමට තමන්ගෙ උකුල උඩින්ම තියා ගත්ත.
"ඔයාට මේ වෙලාවෙත් විහිලු. අපිට මෙච්චර ලොකු ප්‍රශ්නයක් කතා කරන්න තියෙද්දිත්......."

"ඉතින් ඔයානෙ පටන් ගත්තෙ."

"ඔයානෙ දිගට ඇදගෙන ගියෙ"

"හරි අපි කතා කරමු "

"එක අතකට කතා කළා කියල විසඳුමකුත් නෑ"

"නැත්තෙ නෑ, තියෙනව. ඒත් ඒක විස‍ඳෙන්නෙ අපිට අවාසිදායක විදියට"

"ඇයි ඔයා උත්සහ කරන්නෙ නැත්තෙ මාව අයිති කරගන්න?"

"උත්සාහ කළා. ඒත් ඔයාව මට අයිති නොවෙන්න ඔයාගෙ තාත්තා දරන උත්සාහය ලඟටවත් එන්න මගෙ අසරණ උත්සහයට ශක්තිය මදි..."

"ඔයාට දුක නැද්ද?"

"දුකයි"

"ඔයා මට ආදරේ නැද්ද? "

"ආදරෙයි"

"ඇයි ආදරෙයි කියන එකත් ඔය තරම් නොසැලකිල්ලෙන් කියන්නෙ? ඒකවත් ආදරෙන් කියන්න බැරිඩ ඔයාට?"

"පුළුවන්, මම දන්න ආදරණීයම වචන වලින් ඒක කියන්න මටත් පුලුවන්. දුකයි කියල කඳුලු පෙරාගෙන අඳන්නත් මට පුළුවන්.... ඒත් ඒ හැම දෙයක්ම ඔයාට ඒ විදියටම මතක තියෙයි. මම කැමති නෑ ඒ මතකයත් එක්ක ඔයා ජීවිත කාලෙම විඳවනවා කියල හිතන්න"

"දැන් ඔයා කිවුව දේ ඒ හැම දේකටම වඩා මගෙ හිතට යයි කියල ඔයාට හිතුණෙ නැද්ද? ඒ වචන ටිකම ඇති ජීවිත කාලෙම මට විඳවන්න කියල ඔයාට හිතුණෙ නැද්ද?"

"........................................."

"ඇයි මෙහෙම වුණේ?"

"මම දන්නෙ නෑ, ඔයා උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලුව දේ ඔයාට ලැබෙන්නෙ නෑ නේද?"

"දෙවියොත් තාත්තගෙ පැත්තෙ, මමම් පුංචියිනෙ තාත්තට වඩා.... ඒ හින්ද දෙවියන්ට පේනව ඇත්තෙ තාත්තව විතරයි"

"අර ග්‍රීක මිනිස්සුන්ට වගේ ආදරේට අධිපත් දෙවි කෙනෙක් ලංකාවෙත් හිටියනම් , මටත් ඔයාව ඉල්ලලා බලන්න තිබුණා....."

"ආයෙම විහිලු"

"ඒකනම් කිවුවෙ විහිලුවට නෙමේ...."

"මේ අපි හම්බෙන අන්තිම දවසද?"

"මම දන්නෙ නෑ. ඔයාගෙ යෝජිත සැමියා එන්නෙ කවද්ද?"

"ලබන සඳුදා, ඒ වචනෙ කියන්න එපා. මම කැමති නෑ"

"ඒ කියන්නෙ තව දවස් 4යි. අපි ආයෙ හම්බෙන එකක් නෑ............."

*******************************************************************************
Day 4

පාර පාට කාර් අස්සෙන් මගෙ බයිසිකලෙත් ටවුමට ඇවිත්.
අවුවට ඇස් පිච්චෙනව වගේ. පාරෙ තාර උණු වෙලා ටයර් වල ඇලෙන ගාන. 
බයිසිකලේ චේන් එක කර කර ගාන්නෙ හිතත් සූරන්න වගේ.
හුස්ම හිර වෙනව වගේ දැනෙනව. ඇයටත් ඒ විදියටම දැනෙනව කියල මම දන්නව. ඒ වගේම මට එහ්ම දැනෙනව කියල ඇය නොදන්න බවත් මම දන්නව.
එක දවසක් හරි ඒ හිතට දැනෙන  විදියට ආදරෙයි කියල කියන්න තිබුණ නේද කියල මට හිතෙනව.

 ඒ අතර දුරකතනය නාද වෙනව. 
ඇය!!

ඇමතුම විසන්ධි කරනවද..... 
ඒ මොකටද. අපි දෙන්න තරහ වුණේ නෑනෙ....

"ඇයි මේ?"

"දෙයක් කියන්න ගත්තෙ......
අරගොල්ලො ඊයෙ ආවනෙ....."

"............................"

"අද ඒ මනුස්සයගෙ අම්ම අපේ තාත්තට කෝල් කළා"

"ඉතින් මොනවද කියල තියෙනෙ?"

"ඒ කොල්ල...... නෑ... ඒ මනුස්සය සුදුයි......."

"මම ඇහුවෙ මොනවද කිවුවෙ කියල"

"ඒක තමයි, ඒ මනුස්සය සුදුයි.... මම කලුයි.  පුතාට ගැලපෙන්නෙ එයා වගේ සුදු එක්කෙනෙක් කියල කියන්න කතා කරල තියෙන්නෙ....."

"ඉතින් ඔයාගෙ තාත්තට ඒ වෙලාවෙවත් හිතිල නැද්ද ඔයාට ගැලපෙන්නෙ මම වගේ කලු කොල්ලෙක් කියල.....?"

"විහිලු නෙමේ, මොකද කරන්නෙ අපි, තව මාස දෙක තුනකින් ආයෙ ප්‍රපෝසල් එකක් ගෙනෙයි......"

"ඒ කියන්නෙ අපිට මාස 3කට ආසන්න කාලයක් තියෙනව"

"මොනවටද?"

"ආදරේට අධිපති දෙවි කෙනෙක් ඉන්නවද කියල හොයන්න...... එහෙම කෙනෙක් නැත්නම් නිර්මාණය කරන්න..............."

විදේශ ‍රැකියා ඒජන්සිය පෙනි පෙනීම ,ආපසු යන්නට මම බයිසිකලය පාරෙන් අනිත් පැත්තට ගෙන යමි. අඩුම තරමේ මගේ අම්මා හෝ සතුටට පත් වේවි ! 




සැ.යු. - Independence Arcade හි ඉදි කර ඇති සිංහ රූප පිළිබඳව මෙහි සඳහන් මතය, මෙම කතා නායකයාගේ මතයක් මිස, මගේ පෞද්ගලික මතය නොවන බව සහ ඒ සඳහා මා වග නොකියන බව කරුණාවෙන් සලකන්න. ;-) 


Tuesday, September 23, 2014

වැදි රජ වලප

සරත් සමයෙහි සරතැසෙහි නෙත
ලෙදින් නුඹ නෙත මහද දැව් සඳ
නඳිත වී ඉපිලුණද හදවත
වීය බාධක විකුම් ධනුදර
පතා ලබනට නුඹෙන් සෙනෙහස
සටන් වැදුනෙමි එඩි බිඳින්නට
පොලොව සිඹි මුව දැනිණි ලේ රස
තෙදැති ධනුදර නැගී ජය ගොස

බියෙන් සලිතව නුඹේ නෙතු යුග
දිටිමි කඳුලැලි උතුරනා හැඩ
නුඹේ කුමරුන් එදෙස බැලු සඳ
මමයි ගත්තේ ඔහුගෙ අසිපත
සිදුරු වූ ඔහු පපු තුරෙන් ගැලු
රුහිරු නුඹ හද වසා ගන්නැ'ති
නුඹේ දෙනෙතෙහි තිබූ වෛරය
ශෝකයත් මම හැඳින ගත්තෙමි

සෙනෙහසක් නැති දෙනෙත් අබියස
සිතෙහි වූ වෙර හැඳිනුවෙමි මම
බියෙන් නැවතින මගේ හදවත
පලා වන ගැබ සැඟවුනෙමි මම
කිමෙක් වීදැයි පිරිස ඇසි සඳ
පැවසුවෙමි මම නුඹ චපල බව
ඇදහුවේ උන් සෑම වදනම
මාය වැදි රජ , මෙවන අරණට

තවම වැලපෙයි මගේ හදවත
වනේ සතුනට ගොදුරු විද නුඹ
ශෝකයෙන් ළය පැලී මියැදිද
මහ වනේ මං මුලා විද නුඹ?



Thursday, September 18, 2014

සෙවනැල්ලක් නැති දඟකාරයා

නාට්‍යය නිමා විය. තිරය වැසී ගියේය.
ප්‍රේක්ෂකාගාරය තවමත් තුෂ්ණිම්භූතය.සියල්ලන්ගේම දෙනත් වල ඇත්තේ විස්මයකි.
ක්ෂණයක් ගතවිය.
වේදිකාවේ දකුණු පස ප්‍රේක්ෂකාගාරයේ කොනකින් සිහින් අත්පොලසන් හඬක් නැගී ආවේය. මොහොතකින් එකා දෙන්නා සැබෑ ලොවට එළඹෙන්නට පටන් ගත්හ. එකින් එක එක් වූ අත්පොලසන් හඬ මහා ප්‍රීති ඝෝෂාවක්  බවට පත් විය. 
"නියමයි ජේම්ස්"
"ලස්සනයි"
"අලුත් වැඩක්"
හොඳ වැඩක් ජේම්ස්"
"පීටර් පෑන්... කොහෙන්ද ඒ නම හොයා ගත්තෙ? අපූරු නමක්නෙ"

සියල්ලන්ගේ උණුසුම් ප්‍රශංසා මැද ජේම්ස් මැතිව් බෙරී ගේ මුවට පුළුල් සිනාවක්ද, නෙත් වලට කඳුලක්ද නැගුනේ එක් වරමය. ඒ තු‍ටු කඳුලු යැයි බොහෝ දෙනා සිතා ගත්හ. ඔවුනට තරමක් වැරදී තිබිණි. ඒ සතුටෙහි හා විස්තර කරගත නොහැකි වූ දුකෙහි සම්මිශ්‍රණයක්ද විය.

බොහෝ සුබ පැතුම් ලැබුණ බව සැබෑය. එහෙත් තවමත් ඔහු බලාපොරොත්තු වූ සුබ පැතුම ලැබුණේ නැත. 

ඔහුගේ දෙනෙත් සිල්වියා සොයා ප්‍රේක්ෂකාගාරය සිසාරා ගියේය. ඇය ඒවන විටත් තම දරුවන් තුරුලු කරගත් වනම අසුනක වාඩි වී සිටියාය. තමාගේ නෙත්වල වන කඳුලක අර්ථය වටහා ගත හැකි එකම පුද්ගලයා ඇය පමණක් බව ඔහුට විශ්වාසය.

ඇය පිළිබඳව තම සිතෙහි ආදරයක් මුලිම වරට පිළිසිඳ ගත්තේ කෙදිනදැයි ඔහුට අමතකය.එහෙත්, ඒ ඇයගේ සැමියා මියගිය පසුව වන්නට හැකි වුණත්,තම විවාහක බිරිඳ මේරි තමා හැර දමා ගිල්බට් සමග යාමට පසුව නම් නොවන බව ඔහු දැන සිටියේය.

ඇගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ජෝර්ජ් සහ ජොන් ඔහු වෙත දිව ආහ.
"අන්කල් ජේම්ස්.... ඒ නාට්‍යය අපේ මල්ලි පීටර් ගැන නේද?"
ඒ සඳහා පිළිතුරු දෙනු වෙනුවට ඔහු පොඩි එකාගේ රන්වන් හිසකේ පිරිමැද්දේය. ඉන් අනතුරුව ජෝන්ගේ සුරත ‍රැගත් ඔහු ප්‍රේක්ෂකාගාරයේ හිස් වෙමින් තිබූ අසුන් අතරින් සිල්වියා වෙත පිය මැන්නේය.
අවට සිදු වන කිසිත් නොදත් පුංචි පීටර්, ඒ වන විටත් තද නින්දකට වැටී සිටියේය.

"කොහොමද නාට්‍යය?"
ඔහුගේ පැනයට සිල්වියා තවමත් නිහඬය.
විස්මයානුකූල බැල්මක් ඇගේ දෙනෙත් වල ‍රැඳී තිබුණි. බෙරී අලුත් නාට්‍යයක් නිර්මාණය කරන බව ඈ දැන සිටියාය. නමුත් ඒ කවරක් පිළිබඳවදැයි ඈ දැන නොසිටියාය.
"කියන්න ජේම්ස් අන්කල්, ඒ අපේ මල්ලි පීටර් නේද?  ජෝර්ජ් ගේ පැනයට එවර ඔහු පිළිතුරු දුන්නේය."ඔව් ජෝන්, ඒ ඔයාගෙ මල්ලි තමයි....."

සිය සැමියාගෙ මරණයෙන් පසුව දරුවන් පස් දෙනෙකු සමග තනි වූ සිල්වියා සහ දරුවන් හට බෙරී දිනෙන් දිනම සමීප වූයේ ඔහුද නොදැනුවත්වමය. 
විවිධාකාර කතන්දර කීමෙහි රුසියෙකු වූ ඔහු සමග ඒ කතන්දර නිසාම දරුවන් අපූරු මිත්‍රත්වයක් ගොඩ නගාගෙන තිබුණි. 
ඇයගේ තෙවෙනි දරුවා වූ පීටර් හට පියෑඹීමට හැකි බවත්, ඔහු හා මිතුරු සුරංගනාවන් ඇති බවත් වැඩිමහල් දරු දෙදෙනාට ඔහු පැවසූ කතන්දර වලින් එකක් විය. 
තම නාට්‍ය නිර්මාණයට අවශ්‍ය ප්‍රස්තුතය වූ "පීටර් පෑන් නැමති, කිසිදා වියපත් නොවන සුරංගනා දරුවා"ඔහුගේ සිතෙහි හට ගත්තේ එලෙසිනි.

"හරිම ලස්සනයි" අවසානයේදී සිල්වියා ඇගේ හඬ අවදි කළේය. මුළු පේක්ෂක සමූහයාගෙන්ම ලැබූ ප්‍රශංසා වලට වඩා ඔහුට ඒ වදන් දෙක අගනේය.
කුඩා පීටර්ව සියතට ගත් ජේම්ස් ඈ අසල වාඩි විය. ඒ වන විට ප්‍රේක්ෂකාගාරය පාළුවට ගොස් තිබිණි.  සිලිවියාගේ මුහුණ තරමක් සුදු මැලි වී ගොස්ය. ඈ නැවතත් අසනීප වී ඇත්දැයි ඔහු ඔහුගේ සිතෙන්ම විමසුවේය. එහෙත්, ඒ පිළිබඳව ඇගෙන් නෑසීමට ඔහු ප්‍රවේසම් විය. ඉතා ඉක්මනින් ඇය හා විවාහ විය යුතු යැයි ඔහු තීරණය කළේය.
"අපි යමු" සුරතින් පීටර්ව වඩා ගත් ඔහු නැගී සිටියේය. ඔහුගේ වමතට මදක් බර වූ සිල්වියාද ඒ අනුව නැගී සිටියේය.

වැඩිමහල් දරුවන් ප්‍රීතියෙන් ප්‍රමුදිත වී සිටියහ. "අන්කල් ජේම්ස්... ඊ ළඟ නාට්‍යය ලියන්න පීටර් පැන් ගෙ යාලුවා ටිනක්ර් බෙල් ගැන..." ජෝර්ජ්ගේ යෝජනාව සැබැවින්ම ක්‍රියාත්මක ව්ය යුතු යැයි සිතමින් ඔහු නාට්‍ය ශාලාවෙන් පිටත් විය. ඔහුගේ අශ්ව කරත්තය පැමිණ තිබුණි. සිල්වියා සහ දරුවන්  ඊට නැංවූ ඔහු පීටර් අසලින් අසුන් ගත්තේය. 
හමා ආ සීතල සුළඟට සිල්වියා සුදු මැලි වී ඇතැයි ඔහුට සිතුණි.

***********************************************************

පීටර් පෑන් යනු කුඩා කල පටන් මා ආශා කළ චරිතයකි. ඒ චරිතය ගොඩ නැගුණු අයුරු මා මීට පෙර අසා තිබිණි. පසු ගිය දිනෙක නැරඹූ Finding Neverland  චිත්‍රපටය ඒ පිළිබඳ මතකය නැවත අලුත් කළේය. නමුත් මෙහි සටහන් කළේ චිතරපටයේ සිදු වීමක් නොවේ. මගේ මනසේ ඇඳුන සිතුවමක් පමණි.



ජොනී ඩෙප් විශිෂ්ට හැකියාවන්ගෙන් යුත් නළුවෙකි.ශ්‍රීමත් ජේම්ස් මැතිව් බෙරීගේ චරිතයට ඔහු මෙහි බොහෝ සෙයින් සාධාරනත්වයක් කර ඇත. 

පීටර් පෑන් යනු ජේම්ස් මැතිව් බෙරීගේ  සිතෙහි ඇඳුන චරිතයකි. ඔහුගේ මිතුරන් වූ සිල්වියා සහ ආතර්ගේ දරුවන් සමග බොහෝ වේලාවක් ගත කල ඔහු තම නිර්මාන සඳහා ඔවුන්ගෙන් බොහෝ දේ එකතු කර ගත්තේය.

පීටර් හට පියෑඹීට හැකි බව දනවමින් ඔහු ගෙතූ කතන්දරයක් තිබුණි. පියඹා යාමට හැකි, සෙවනැල්ලක් නොමැති කිසිදිනක වයසට නොයන පීටර් පැන් නැමැති 14 වියැති සුරංගනා දරුවා වන පීටර් පැන් කරලියට පැමිණියේ ඒ අයුරිනි. වයස අවුරුදු 14දී මිය ගිය තම සහෝදරයාගේ වියෝවද මේ චරිතය සඳහා ඔහු පාදක කර ගත්තේය. 

ආතර් මිය ගිය පසුව සිල්වියා සහ ඔහු අතර ආදරයක් ඇති වී තිබිණි. එහෙත් අසනීපයෙන් පසු වූ ඇය ඔවුන් විවාහ වීමට පෙර මිය ගියාය.

ඉන් අනතුරුව ආතර්ගේ සහ සිල්වියාගේ දරුවන් පස්දෙනා - ජෝජ්, ජෝන්,පීටර්, මයිකල් සහ නිකොලා ‍රැක බලා ගන්නේ ඔහු සහ සිල්වියාගේ මව විසිනි. 
ඒ අතරින් ජෝර්ජ් පළමුවන ලෝක යුද්ධයේදී මිය යෑම සහ මයිකල් දියෙහි ගිලී මිය යෑම ඔහුගේ සිත බොහෝ සෙයින් කම්පිත කළ සිදුවීම් බව සඳහන්.
පීටර් පැන් ගේ චරිතයට පදනම් වූ පීටර්ද වයස 63දී සිය දිවි නසා ගත්තේය.

ඒ කෙසේ වුවද, 
අපි තවමත් විවිධ මාධ්‍යයන් ඔස්සේ පීටර් පැන් චරිතය රස විඳිමින් සිටිමු.




























                                                                                                         සර් ජේම්ස් මැතිව් බෙරී

Thursday, September 11, 2014

නොගැලපෙන කතා දෙකක්


එක්තරා යුගයකදී මා අසාමාන්‍ය ලෙසින් ලිවීමට ප්‍රිය කළා. විදුසර ට "රෝහලේ විත්ති" ලිවුවේත් ඒ කාලයේදීමයි. මේ එසේ විදුසරට ලියූ එක් ලිපියක්. එය රෝහලේ විත්තියක් ම නොවූවත්, මගේ සරසවි ජීවිතයට බොහෝ සෙයින් අදාල වූවක්.

ලෝකයේ කොනට ලිපි හිඟ වෙමින් තිබෙන කාලයක , ඒ පි‍ටුව ටිකකට පුරවන්න මේ ලිපිය ආයෙමත් ලියන්න හිතුණා....


එපමණක් නොවේ.... 
මගේ රස්සාවට මම ආදරෙයි. ඒය මට දැනෙන්නේ ‍රැකියාවක් ලෙස නොවේ. 
එය බොහෝ වෙලාවට මගෙ හිතට සතුටක් ගෙන දෙනවා. අසනීපයකින් සිටි රෝගියෙක් ආයෙමත් හිනා වෙනව දකිද්දි එන සතුට හිතට දැනෙන්නත් එක්තරා විදියක වාසනාවක් තියෙන්න ඕනා. 

මේ විදියටම සිතන තවත් බොහෝ දෙනා සිටිනවා. ඒත්, අතලොස්සක් දෙනා සිදුකරන විවිධ නොහොබිනා කම් නිසා, මේ සේවයේ වටිනා කම නොදැනෙන ලෙස හැසිරෙන ඇතැමුන් නිසා, පහු ගිය දින වල වෛද්‍ය සේවය හෑල්ලුවට ලක් කෙරෙන අන්දමේ කතා බස් බොහොමයක් සිදු වුණා... 
මේ ලිපිය නැවත පළ කරන්න, එයත් එක හේතුවක්

******************************************************
1.
අවුරුදු පහක්‌ පුරාවට අකුරු කළ සරසවිය, අත්දැකීම් සම්භාරයක්‌ තුළින් බොහෝ දේ ඉගැන්වූ ශික්‌ෂණ රෝහල යන දෙකට ම සමු දෙන්නට කාලය ඇවිත් කියන කණාගාටුදායක සිතිවිල්ලත් එක්‌ක ම පසුගිය දිනෙක සිදු වුණු පුංචි සිදුවීමකින් හිතට ඇති වුණු කම්පනයකින් තවමත් හිත දෙදරුම් කනවා. ඒත් එක්‌ක ම තවත් කතා ගොන්නකුත් හිතට ගලාගෙන එනවා. ඒ හැම එකක්‌ ම පෙළින් පෙළ ගැසෙන අතරතුර කලින් සඳහන් කළ සිදුවීම ඔබට කියන්නට හිත වෙර දරනවා. 

කාලෙකින් හමු නො වුණු මිතුරියන් දෙදෙනෙක්‌ හමු වෙන්න මගේ සිත පෙරුම් පුරාගෙන හිටියා කාලයක්‌ තිස්‌සෙම... හමු වෙලා කතා කරන්න අපි තෝරා ගත්තේ විහාරමහා දේවී උද්‍යානය.

මම එහි යන විටත් ඔවුන් දෙදෙනා පැමිණ තිබුණා. 
ඇතුළට යන්න හැඳුනුම්පත පෙන්වන්න අවශ්‍ය වන බව පිළිබඳව මා හට එතරම් අවබෝධයක්‌ තිබුණේ නැහැ. කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ජාතික හැඳුනුම්පත එදින මා අතින් ගිලිහී තිබුණා. 

එම උද්‍යානයේ ගේට්‌ටුව භාර ව සිටි ආරක්‌ෂක නිලධාරියාට පෙන්වන්නට මා අතේ තිබුණේ විශ්වවිද්‍යාල හැඳුනුම්පත පමණයි. 
යුද්ධය පවතින කාලයේ පොලිස්‌ හමුදා මුර කපොලුවලින් පවා පිළිගත් සරසවි හැඳුනුම්පත කිසිදු පැකිළීමකින් තොර ව මම ආරක්‌ෂක නිලධාරියාට පෙන්වා සිටියා. 

"මේ මොකද්ද මේ? කිසිදු විමසීමකින් තොර ව ම ඔහු එය නැවත මා දෙසට දිගු කළා. 

"ඔය මගෙ කැම්පස්‌ අයිඩින්ටිය අන්කල්, අනිත් එක ගෙනත් නෑ...."

"මේවාට ඇතුළට යන්න දෙන්න අපිට පිස්‌සු කියලා හිතුව ද?

අනපේක්‌ෂිත පිළිතුරෙන් මා මොහොතකට ගොලු වුණා. 
එහෙත් ඉතා ඉක්‌මනින් තරහ ගැනීමේ මගේ දුර්වලතාව ඊළඟ මොහොත් මතු වුණා. 

"ඔයාට මේක පිළිගන්න බැරි වුණාට මේක වෙන ඕනෑ තැනක පිළිගන්නවා" නොපහන් ස්‌වරයකින් මගේ මුවින් පිට වුණා. 

ඔහු ගේ ඊළඟ පිළිතුර මම කිසි සේත් ම අපේක්‌ෂා කළ පිළිතුරක්‌ වූයේ නැහැ. 

"ඔව් ඔව්... මේ රටේ කැම්පස්‌ පිළිගන්න හැටි අපි දන්නව හොඳට... පත්තරවල ටීවීවල අපි දකිනව නේ..." 

ඔහු ගේ පිළිතුරේ ගැබ් වූ උපහාසයට ඔහු ගේ මුවින් සහ හඬින් නික්‌මුණු සිනහව ඌන පූරණයක්‌ එක්‌ කළා. කොණ්‌ඩය අමුතු ම විලාසිතාවකින් හැඩ ගන්වා, රිදී පැහැති මහත දම්වැල් කර වටා දමාගෙන අපේ සංවාදයට කන් දෙමින් එතැන සිටි කවුදෝ දෙදෙනෙක්‌ ද මහා හඬින් නැතත් ඒ සිනාවට දායක වුණා. 

තවත් එතැන සිටීමට මට සිත් වුණේ නැහැ. මිතුරියන්ට දුරකථන ඇමතුමක්‌ දුන් මම ඔවුන් සමග පිට වුණේ නැවත කිසි දිනෙක එහි පස්‌ වත් නො පාගන බව සිතා ගනිමින්. 

සරසවි සිසුන් පිළිබඳව ඇතැම් දෙනා දරන මේ ආකල්පය ගැන සිතන විට ඇති වන්නේ විශාල කලකිරීමක්‌. සරසවි සිසුන් අතින් සිදු වන වැරැදි පමණක්‌ ම දකින සමාජය, ඔවුන් අතින් සිදු වන දහසකුත් එකක්‌ යහපත් ක්‍රියා හමුවේ ඇස්‌ කන් වසා සිටින්නේ කෙසේ ද යන්න සැබැවින් ම ගැටලුවක්‌.

එම නිසා ම මගේ සරසවි දිවිය තුළ අත්දැකීමට ලැබුණු සංවේදී සිදුවීමක්‌ මෙසේ දිග හරින්නට සිතුණා. 

2.
ඒ තවත් විඩා බර දවසක දහවලක්‌... ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා... දිවා ආහාරය ඉක්‌මනින් නිමා කර දේශන සඳහා යැමට සූදානම් වන සිසුන් සහ අනිකුත් කාර්ය මණ්‌ඩලය ඇතැම් අයත් යුහුසුලුව ම ආහාර ගත්තා... 
ඒ අතර ඉතිරි වී විසි කරන ආහාර වෙනුවෙන් බලා සිටින තවත් පිරිසක්‌ ද එතැන සිටියා. ඒ ඔබ මොබ ඇවිදිමින් සිටි සුනඛයන් පිරිසක්‌. ප්‍රදේශයට ම අණසක පතුරුවමින් සිටි ඔවුන් කිසිදු පිටස්‌තර සුනඛයකු හට ඒ ප්‍රදේශයට වත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. 

ඒ අතරතුර බැලීමට වත් ප්‍රසන්න නො වූ ලොම් හැළී ගිය බැල්ලියක්‌ හෙමින් හෙමින් ආපන ශාලාව වටා ඉව කරන අයුරු බොහෝ දෙනා දුටුවා. ඇය සිටියේ පැටවුන් ලැබීමට ඉතා ආසන්නවයි. එහෙත් ඇය වෙත වූ දුර්ගන්ධය සහ ලොම් හැළී තුවාල වී තිබූ ශරිරය නිසා කිසිවකු ගේ අනුකම්පාවක්‌ ඇය හට ලැබුණේ නැහැ. වෙනෙකක්‌ තබා ආපන ශාලාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සුනඛ රැළ පවා ඇය කෙරෙහි පෑවේ රැවුම් ගෙරැවුම් පමණයි. බොහෝ දෙනා ඇය පළවා හරින්නට තැත් කළා. ඇය ගොස්‌ මිදුල කොනක ගුලි ගැසුනා. 

එතරම් දැක පුරුදු නො වූ වෛද්‍ය සිසුවකු බත් පාර්සලයකුත් රැගෙන ඇය අසලට යනු මා දුටුවේ ඒ අතරතුර දීයි. කුමක්‌ සිදු වන්නේ දොඅ සිතාගත නොහැකි ව ම මා ඒ දෙස බලා සිටියා. 

ඔහු බත් පාර්සලය දිගහැර ඇය අසලින් තැබුවේ කිසිදු පැකිළීමකින් තොරවයි. 
එතෙක්‌ වේලා ඇයට රැවුම් ගෙරැවුම් පාමින් ආපන ශාලාව අවට සිටි අනෙකුත් සුනඛයන් ද ටිකෙන් ටික ඒ දෙසට ළං වනු දැනීම තරමක සිනහ උපදවන්නක්‌ වුණා. එහෙත් උන් හට ඒ දෙසට වත් ළං වන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඇය බත් කා අවසන් කරන තුරු ළං වන අනෙකුත් සියලු ම සුනඛයන් පලවා හරිමින් ඔහු ළඟට ම වී සිටියා. ඔහු එතැනින් නික්‌මුණේ ඇය අවසන් කළ බත් පාර්සලය ඔතා තිබුණු කොළය ද රැගෙනයි. 

මා පසුව දැනගත් පරිදි ඔහු අප ගේ තුන් වැනි වසරේ වෛද්‍ය සිසුවෙක්‌. දෙනෝ දාහක්‌ දෙනා බලා සිටින මෙහොතක, කිසිවෙකුත් පිළිබඳව තැකීමක්‌ නො කර, අසරණ සතකු ගේ කුසගිනි නිවන්නට වෙර දැරූ ඔහු පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. සතෙකු පිළිබඳ ඔහු ගේ ආකල්පය මෙය නම්, අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද? 

ඔහු පිළිබඳව තවත් මා කිසිවක් පවසන්නේ නැහැ. නමුත්, මම මෙසේ පවසන්නම්.

අත්වැරැදීම්, මායාකාරී වූ වැරැදි ආකල්ප නිසා ගැරැහීම් ලබන වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි බුද්ධියෙන් සිතා දෑස්‌ විවර කර බලන්නේ නම් නො දුටු විරූ අපූර්වත්වයන් ඔබට දකින්නට හැකි වේවි.

Image -  http://www.montrealdogblog.com/10075/survivor-dog-weak-emaciated-mercier/ , http://www.panoramio.com/photo/65981565 By Rajitha Lakmal

Sunday, August 24, 2014

හීනයක් , යතාර්ථයක්, කවියක්, ජීවිතයක්

සිහිනය

නැවුම් සුවඳින් පුරවමින් හද
නැවුම් මල් වැසි වස්සනා
නෙතෙහි ගැලු රන් රසඳුනක් විය
නෙතෙහි පිණි බිඳු තවරණා
අඳුර බිඳ ලන විදුලියක් ලෙද
අඳුරු දිවි මග හැඩ ලනා
සිනහ වපුරා සිත් කෙතෙහි නුඹ
සිනහ මල් පෙති පුබුදනා

තරු නෙතින් නිති වදන් ගොනු විය
තරු දෙනෙත් යුග බබලනා
 සුවඳ මුව රද ගලන මුව අග
සොඳුරු කවියක සුව දෙනා
සැලෙන සිතිවිලි දැහැන බිඳ ලන
සැලෙන හදවත සනසනා
විපුල තුනු සිරි නෙතග පායා
විපුල හැඟුමන් පුබුදිනා

යතාර්ථය

පිපුණ සඳ කත් දියෙහි පිණි ලෙද
පිපුණු පැතුමන් බොඳ වෙනා
මිරිඟු කුසුමක සුවඳ රොන් ලෙද
මිරිඟුවකි නුඹ සැඟවෙනා
පැතුම් පොදි බැඳ අහස් දුර හිඳ 
සිතුම් කැටි වී නවතිනා
තැලී පොඩි වුණ දැහැන බොඳ විය
තැලී සිත් මල පර වුණා......

Friday, August 15, 2014

මන්නාරම් පාළම මත හිඳ ලොබ්ටූලියාව දුටිමි

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය මෙසේ කියයි. 

"සඳ මුදුන් වීගෙන ආවේය. එය කොතරම් අපූරු සඳ එළියක්ද ! ඒ රාත්‍රිය කොතරම් සොඳුරු වීද ! එක් පසෙකින් තෙත පඳුරුය. අනෙක් පස ඇති පාළු වැලි තලාවට සඳ එළිය වැටී ඇත. 
මෙවැනි පරිසරයකට සඳ එළිය වැටී  ඇති අයුරු දැක නැති කෙනෙකුට එය කෙබඳු එකක්දැයි වටහා දීම අසීරුය. "

ඒ භාරතයෙහි ලොබ්ටූලියා ප්‍රදේශය පිළිබඳවය.

මා කෙතරම් නම් නොයෙක් වර අරණකට පෙම් බැඳ කියවමින් ඒ සොඳුරු පරිසරය සිතෙහි මවා ගැනීමට උත්සාහ කළාද ! එහෙත් එය පහසු වූයේ නැත. ඒ මා කිසිදු දිනෙක එවන් වූවක් දැක නොමැති හෙයිනි. 

"ජීවිතේ එක් වරක් හෝ එවැනි සඳ පහන් ‍රැයක් දැකිය යුතුමය. එවැන්නක් නොදු‍ටු අය දෙවියන්ගේ නිර්මාණ අතර වූ අපූරු දෙයක් දැක හඳුනා ගැනීමට අසමත් වූවෝ වෙති"  
විභූතිභූෂණ පවසන්නේ එහෙයිනි.

මම මෙහි නොයෙක් වර තරු පිරි අහස පිළිබඳව ලියා ඇත්තෙමි. එහෙත් , අනන්තය තෙක් දිවෙන සඳ එළිය වැටී ඇති සොඳුරු දසුනක් මෙතුවක් කල් මා නෙත ගැටී තිබුණේ නැත. 
මන්ද යත්, නිරන්තරයෙන් සඳ එළිය විදුලි ආලෝකයෙන් යටපත්ව තිබූ නිසාවෙනි.  
එහෙයින් කිසි දිනෙක විභූතිභූෂණ පවසන අන්තමේ අත්දැකීමක් ලබන්නට ලැබේ යැයි මා සිතුවේ නැත. 

විභූතිභූෂණ තරමට හෝ ඒ අසලකටවත් සම වූ පරිකල්පන ශක්තියක් මා තුළ නොමැත. 

නමුත් අදහන්න.....

දහවලදී දුම් දමන තරම් ගිනි ගහන මන්නාරම් දූපත සඳ ඇති රාත්‍රියක එබඳු වූ සොඳුරු ලොවකට මා ගෙන යාමට සමත් විය. එය හදවත සසල කරවන අන්දමේ දසුනකි. 

සඳ එළිය හෙවිලි කරගත් රාත්‍රී අහස , කලපු දියට ,ඒ අසල වන ලැහැබට , පතිත වී අනන්තය තෙක් දිව යන රිදී වන් එකම යායක් මවයි. 
නිශාන්තයේ සුන්දරත්වය උකහා ගත් සුළඟ දූපත හරහා හමා යන්නේ, කලපු දියට වැ‍ටුණ ස‍ඳෙහි ඡායාව කලඹවමින්. 
දුර තෙක් දිව යන හිස් වැලි තලා මත මිදුණු සියුම් ලුණු තට්‍ටු මතට සඳ එළිය වැටී දිලිසෙන්නේ රාත්‍රී අඳුර මැද  සුදු හිම කැටිති දිදුලන ලෙසිනි.



කෙලෙසද මා මේ දසුන විස්තර කරන්නේ? සඳ පහන් වූ මුළු පරිසරයම ඡායා රූපයකට ගන්නද ! මෙලොව කිසිදු ඡායාරූප ශිල්පියෙකුට හෝ කිසිදු කැමරාවකට එය කළ නොහැකි වේවි. 

එය ඔබේ දෑසින්ම බලා ගත යුතුයි.

දහවලෙහි ගිනි ගෙන දැවෙන මන්නාරම් දූපත රාත්‍රියට හැඩ වන අයුරු බලන්නට, 
ඒ සුළඟේ ඇති මිහිර විඳින්නට, 
මන්නාරම් පාළම උඩට වී  ගසාගෙන යන තරමේ සුළඟට හසු වන්නට වාසනාවක් තිබුය යුතුමය. 
ඒ අතින් මම වාසනාවන්ත වීමි.

විභූතිභූෂණ නැවත මෙසේ කියයි. 

"හිරු ‍රැසින් අඩක් වියැලුණ ඉලුක් වනයට සඳ ‍රැස් වැටී සිතේ ගැස්මක් ඇති කරවන තරම් වූ මායාකාරී සෞන්දර්යයක් නිර්මාණය කර තිබිණි. කිසියම් උදාසීන, බන්ධන හීන, නිදහස් හැඟීමක් ඇති වී මගේ හදවත සැලෙන්නට විය.  ඒ නිහඬ රාත්‍රියේ සඳ ‍රැසින් ආලෝකමත් වූ අහස් තලය යට හිඳ  අවට බැලූ මට සුර ලොවකට ඇතුළු වූවාක් බඳු හැඟීමක් ඇති විය. මධ්‍යම රාත්‍රියේ ජන ශුන්‍ය පෙදෙසකට පතිත වූ සඳ එළිය නිසා එය සුරඟනන් සැරිසරන තැනක් බවට පත් විය...."

භරතයේ ලොබ්ටූලියා පෙදෙස පිළිබඳව සෑම වදනක්ම යථාර්තයක් ලෙස මන්නාරම් දූපතේදී ඔබේ දෑස් ඉදිරියේ දිග හැරේවි.  ඒ ඔබ සොබා දහමේ රිද්මය සහ භාශාව වටහා ගැනීමට සමත් වන තාක් කල්ය. 

එහෙත් ඔබ ඉදිරියේ, මා ඉදිරියේ ඇත්තේ තව ටික කලකි.... මේ ඒ සඳහා සාක්ෂිය. 









දෙස් විදෙස් කුරුලු විශේෂ සිය ගනනකට නවාතැන් සපයන මන්නාරම් දූපතේ අනාගතයයි මේ.









මන්නාරමේ සිට තලෙයිමනාරම දක්වා ඇති මාර්ගය දෙපස ඇති ළඳු කැලෑ තැනින් තැන මෙසේ එළි කරමින් පවතියි.  කම්බි කණු යොදා මේ භූමිය සිය කඩකට  කපා වෙන් කරන්නට පිඹුරු පත් තනා ඇති බවට සාක්ෂියි මේ. 









රටම කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්ව ඇති කල්හි ඊට තවත් කොටසක් එක් වීම අපට නම් මහා ලොකු වෙනසක් නොවනු ඇත. 

එහෙත් මන්නාරම් දූපත තමන්ගේ පාරාදීසය බවට සිතා සිටින මේ අහිංසකයන්ගේ හෙට දවස කෙබඳු වේවිද.... 



























ඔවුන් සියල්ලන්ටම යන එන මං නැති වේවි. වටිනා ජෛව විවිධත්වයක් රටට , ලෝකයට අහිමි වේවි. 


































අති ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින මෙම අරණෙහි අවමංගල්‍යය අවසානයේ චිතකය දැල්වීම වැඩි ඈතක නොවේ. එය පැහැදිලියි. 

මන්නාරම් දූපතේ අවසන් ළඳු කැලෑවත් මුඩු බිමක් බවට පත් වූ කල්හි, අවසන් කුරුලු බිත්තරයත් බිඳී වැනසුන කල්හි, කලපුවේ අවසන් දිය බිඳුවත් සිඳී ගිය කල්හි, ශේෂ වන සියල්ල මිදුණ ලුණු කුඩුත්, මුඩු වැලි තලාත්, වැට කඩුලු සීමා වලින් වෙන්වී ගිය කෙන්ක්‍රීට් කුටිත් පමණක් වේවි.

අරනකට පෙම් බැඳ අවසාන හාගයේ විභූතිභූෂණ මෙසේ පවසයි. 

"නාඪා බයිහාරය සහ ලොබ්ටූලියාව වගා බිම් බවට පත් විය. පෙර මෙන් දැන් එය වනාන්තරයක් නොවේ. සොබාදම් දිනිතිය වසර ගණනාවක් සිට පාලුවේ තනිව හිඳ නිර්මාණය කළ ලතා මණ්ඩප හා තුරු පඳුරු වලින් යුක්ත වූ ස්වප්න භූමිය කම්කරුවන්ගේ නිර්දය දෑත්  වලින් කපා කොටා විනාශ  කරනු ලැබිණ. වසර පණහක් තිස්සේ නිර්මාණය වූ දේ එක් දිනකදී විනාශ වී ගියේය. ඈත දක්වා විහිදුන ගුප්ත ස්වභාවයකින් යුතු වූ මිටියාවත දැන් නැත. සඳ එළිය ඇති විට රාත්‍රියට මායාකාර සුරංගනාවන් පා තබන ඒ මිටියාවත දැන් නැත......"

දැන් මම ලොබ්ටූලියාවේ අවසානය තුළින් අනාගත මන්නාරම දකිමි. 

වගකිවයුත්තෝ නිහඬය.

Friday, July 18, 2014

නොනිමි කවියේ අවසානය

මගේ දැහැනින් මිදුණු කවියක්
කොහේදෝ දුර පාවුණා
සොඳුරු කවියේ ඉ රුණ කවි පද
නොදම් සුළඟට හසු වුණා
අවුණමින් සිටි කවියෙ රොන් සුණු
බිඳී දස අත විසිරුණා
කවියෙ අවසන් සිනහ බිඳුවක්
මගේ කඳුලට මුසු වුණා....

දෑස් යොමවා ගවු ගණන් දුර
විසිරි කවි පද අමුනණා
අලුත් කවියක් යලි ලියන්නට
වරු ගණන් සිත ලත වුණා
විරිත් එකිනෙක ලිහී ගොස්, කවි
ඇඳුණ පත් ඉ රු බොඳ වුණා
සිතෙහි ඇඳගත් කවියෙ හැඩ රුව
අතර මග හිඳ නැවතුණා......

නේක තාලෙට ගැයුණ ලියැවුණ
සහස් කවි ගී හමු වුණා
සිතෙහි බැඳි හුරු ස්වරය නැති සඳ
සොඳුරු කවි එහි මියැදුණා
හද දැවූ ඒ සොඳුරු කවි මල
යළි සිඹින්නට සිත් වුණා
බිඳී විසිරුණ කවියෙ වදනක්
හමු වෙතැයි සිත නැවතුණා......

මග නැවති සිත හැර දමා ගිය
ජීවිතය දුර ඉගිලුණා
මොහොතකට නැවතුමක ‍රැඳි සඳ
පුරුදු ස්වරයක් හමු වුණා
සිත් පොතෙහි ලියු පළමු කවියේ
බිඳුණ ස්වර යළි හැඩ වුණා
බිඳී යළි සැදු කවියෙ නව රුව
කඳුලු සිත හා හිනැහුණා..........



Monday, June 9, 2014

තේක්ක මල්

පුංචි ලස්සන මලක්. හරිම හුරුබුහුටියි. 

ඉස්සර තේක්ක මල් පිපෙන කාලෙට මම හවසට වත්ත වටේම ඇවිදලා, බිම වැටෙන මල් අහුලනව. අහුලලා ලොකු තේක්ක කොලේකට ඒව එකතු කරනව. සමහර ඒවගෙ සියුම් වැලි ඇලිලා තියෙනව. ඒ වැලි කටින් පිඹලා අයින් කරලා ඒවත් තේක්ක කොලේට දානව. ඊට පස්සෙ නැට්ට දිගට තියෙන තණකොල මල් කඩලා ඒ දිගට තේක්ක මල් අමුනනව. ඊට පස්සෙ ඒවගෙන් මාල , වළලු හදනවා. ටිකක් වෙලා ඒව පැළඳගෙන ඉද්දි සුදුපාට මල් දුඹුරු පාට වෙලා හොඳටම පර වෙලා යනව. පහුවදත් හවසට වත්තට ගිහින් මම තේක්ක මල් අහුලනව. ඒ අහුලන ගමන් , ගස් උඩ ඉඳන් මල් වැටෙද්දි, ඒ වැටෙන්නෙ හිම කියලත් හිතෙන් මවා ගන්නව. ටික දවසකින් තේක්ක මල් ඉවර වෙනව. ආයෙමත් තේක්ක පිපෙනකම් මාස ගාණක් බලන් ඉන්න වෙනව.

ආයෙමත් වත්ත වටේ තියෙන තේක්ක ගස් වල මල් පිපිලා. හවසට හුළඟත් එක්ක සට සට ගාල මල් වැස්සක් වගේ මල් බිමට හැලෙනව. කවදාවත් බිම වැටෙන්නෙ නෑ වගේ ගහේ මුදුනෙම පිපිලා හිටිය මල් සේරම බිම හැලෙනව. කොල පාට තණකොල අස්සෙ පැටලිලා ඒව මවන්නෙ ලස්සන දර්ශනයක්. ඉස්සර වගේ අමුණන්න තණකොල මල් හොයන්න අමාරුයි. මැෂින් එකෙන් තණකොල ගාණට කපද්දි මල් කැපිලා ගිහින්. ඒත් තේක්ක ගස් ටික ඉස්සර වගේම මල් වැහි වස්සවනව. පොළොව ඒ මල් ආදරෙන් වැළඳ ගන්නව. ගහ උඩ ඉද්දි පොළව දිහා හැරිලවත් නොබලපු, හුළඟට විතරක්ම පෙම් බැන්ද තේක්ක මල්, ඒ හුළඟින්ම ගැලවිලා වැටෙද්දි හිතේ කිසිම කහටක් නැතිව පොළව ඔවුන්ව පිළි ගන්නව. 

තුරු හිසෙහි කිරුලු දැරු
හුරු බුහුටි මල් පොඩිති
ගැලූ සුළඟට පමණි
නෙතට නෙත යා කළේ

පොළොව දෙස නෙත් යොමා 
මොහොතකට නොබැලුවද
හැමූ සුළඟට පමණි
සිනහ පෙති දිගු කළේ

සැඳෑ හොම්මන් අඳුරෙ
තුරු වදුලු ගිලෙන සඳ
ගැලූ ඒ සුළඟමයි
සිනහ පෙති පොඩි කළේ

ගසින් ගිලිහී වැටෙත
ඒ සුමුදු සුසුදු වත
නොරිදවා පොළොවමයි
ඇය වඩා සැනසුවේ

Saturday, May 31, 2014

හැඬවූ කවිය

පරණ දින පොතක තිබුණ කවියක්.......! අහම්බෙන් ඇස ගැ‍ටුනෙ. මේ පැත්ත පාළුවට ගිහින් නිසා පල කරන්න හිතුණ.

හිත බෝම රිද්දවපු
වදන් මට ඇසුණාට,
නෑසුණා සේ ඉන්න
සිතක් මට තිබුණා

සෙයිලමේ නේක නෙතු
දහක් ඉඟි දු‍ටුවාට,
නුදු‍ටුවා සේ සිටිය
නෙතක් මට තිබුණා

ඒත්...........

කලාතුරකින් දු‍ටුව
නුඹේ හස‍රැල් වලට,
ඇත්තමයි මගේ සිත
මොහොතකට සැලුණා

ඇය නමින් නුඹ ලිවුව
කවිය ඇස ගැ‍ටුණාම,
සත්තකයි මගේ හිත
මහ ගොඩක් හැඬුවා


Tuesday, April 15, 2014

වෙනස් පුරයක තනි වීමු

අධිවේගී මාර්ගයේ යනවට වඩා වේගෙන් වාහනේ පාර දිගේ ඇදිලා යනවා. වෙන කිසිම වාහනයක් නෑ. පාර දෙපැත්තෙම කැලෑව. "හවසට අලිත් ඉන්නව පාරෙ." රියදුරා කියනව. ගැහි හැහී තියන හිත තවත් වේගෙන් ගැහෙනව.

සමහර තැන් වල ඝන මීදුමෙන් පාර වැහිල.
දුරකතනයෙන් මම අපි ඉන්න ඉසවුව හොයන්න උත්සහ කරනව. GPS අමාරුවෙ වැටිලා දඟලනව. මම උත්සහය අත් අරිනව.

කැලෑව අයිනෙ පාරෙ ලොරි 5ක් විතර එක පෙළට නවත්තලා. අපි ඒවත් පහු කරගෙන ඉස්සරහට යනව.
"ඊයෙ ‍රැ ඉඳන් යන ලොරි වල කට්ටිය. නිදාගන්නෙ ඔහොම තමයි" ආයෙ රියදුරා කියනව. එයාට නින්ද යයි කියන බයටම අප්පච්චිත් ඉවරයක් නැතුවම කතා කරනව. ගමේ පන්සලේ විස්තර වල ඉඳන් ජිනීවා සමුලුව වෙනකම් මාතෘකා එතන තියෙනව.

තරු එකින් එක නිමෙන්න පටන් අරන්. මීදුම තව තවත් වැඩි වෙනව. පාර පෙනෙන නොපෙනෙන ගාන. වාහනේ වේගෙ ටිකක් අඩු වෙලා. 
වීදුරුවට එහායින් තියෙන කැලෑවට උඩින්  යන්තම් එළියක් මතු වෙලා. ඉර පායගෙන එනවා සීතල මීදුම එක්ක.

ඉස්කෝලෙ යන්න කලුවරේම එලියට බැහැපු ළමයි වගේම අපේ වාහනේ පහු කරගෙන වේගයෙන් යන මෝටර් සයිකලුත් ඉඳල හිටල පහු වෙනව. 

දැන් ඉර ගොඩක් උඩට නැගලා. ඒත් මීදුම ඉර වහගෙන.වාහනේ වීදුරුවෙ බැඳුන පිණි බින්දු අස්සෙන් ඒක ලස්සන දර්ශනයක් මවනව. ගෙදරින් එනකොට තිබුණ චකිතය වගේ හැඟීම ටික ටික තුනී වෙලා යනව.


පාරෙ වයර් උඩ නැගලා ඉන්න එක එක කුරුල්ලො මට පේනව. ඈත ගස් වල තවත් හීතලට ගුලි වෙලා ඉන්න මොණරු පේනව. හිතුවට වඩා මෙහෙ හොඳයි වගේ කියල මට හිතෙනව.

ගෙවල් අඩුයි. සමහර වෙලාවට කිලෝ මීටර් ගාණකටම ගෙයක් නෑ. උදේට කන්න කඩයක් හොයා ගන්න ලැබුණෙ අමාරුවෙන්.
"*******ට තව කිලෝ මීටර් 10ක් විතර තියෙනව."
 කඩේ මුදලාලි කැඩුණ සිංහලෙන් කියනව.

ඒ කිලෝ මීටර් 10ත් පහු වෙනව. ගෙදරින් කිලෝ මීටර් 260 ගාණක් ඈත් වෙනව.

කරදිය හුළඟත් එක්ක මිශ්‍ර වුණ අමුතුම පරිසරයක් ඇහැ ගැටෙනව. නළලෙ තිලකය තියලා මෝටර් සයිකලේ පැත්තට හැරිලා ඉඳගෙන යන වැඩි හිනාවක් නැති කාන්තාවො දකිද්දි අපි දැනගෙන හිටිය ලංකාවට වඩා ලොකු වෙනසක් දැනෙනවා. 
හැම දුරකතන කඩයකම micromax බෝඩ් ගහලා. 
අකුරු ටික අමාරුවෙන් අමුණගෙන කියවද්දි , රූපවාහිනී සියල්ලෙම දකුණු ඉන්දියානු නාලිකා පමණක් විකාශය වෙනවා දකිද්දි ,අපි ඉන්නෙ ලංකාවෙ නෙමේද කියලත් හිතෙනව.

ඒ අතර දකින "ශ්‍රී ලංකා පොලීසිය" කියන බෝඩ් එක හිතට ආරක්ෂා කාරී බවක් දනවනව අන් කවරදාටත් වඩා. වෙනදට පොලිසිය දකිද්දි අහක බලාගෙන යන අපි දැන් පොලීසියෙ කෙනෙක් පාරෙ දැක්කත් හිනාවෙලා පාරක් හරි අහනවා. ජාති වාදී කමක් නෙමේ. දන්න භාශාවෙන් කතා කරන්න ඒ තරමටම ආසා වෙලා.

සති 2ක් ගත වුණා. ඒත් තවම දන්නෙ දෙමළ වචන කීපයයි. වාක්‍යක් හදා ගන්න බෑ. ඒත් එක සිංහල වචනයක් වත් බැරි මෙහෙ බහුතරයකට වඩා අපි වාසනාවන්තයි කියල හිතෙනවා මොකද තව අවුරුද්දකට එහා මෙහෙ ඉන්න අපි වෙනත් භාෂාවකුත් ඉගෙනගෙන මෙහෙන් යන නිසා.

නුපුරුදු මුහුණු, 
කෑම වල නුපුරුදු රස, 
නුහුරු වචන 
නොදැකපු රූපවාහිනී නාලිකා ...... මේ සියල්ලම ගෙදර මතක් කරනව. 

කලින් හිටිය රෝහලේ දාහක් අඩු පාඩු පෙනුන මට දැන් ඒ රෝහල සුර පුරයක් වගේ මතක් වෙනව. ඒත් මෙහෙ රෝගීන් ගැන හිතද්දි ඒ මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු ගොඩක් පැති වලින් අහිංසකයි අසරණයි කියල හිතෙනවා.

අවුවට පිච්චෙද්දි ,කාමරේවත් ඉන්න බැරි වෙද්දි ,දවසට දෙතුන් පාර නාන්න හිතෙද්දි ,‍රැට දාදිය නිසා නිදා ගන්න බැරි වෙද්දි, ප්‍රභාකරන් මොනවට මේ ප්‍රදේශ අල්ල ගන්න මෙච්චර දැඟලුවද කියල හිතෙනවා. සමහර කඩවල් වලට යද්දි සමහර පුද්ගලයො එක්ක වැඩ කරද්දි ප්‍රභාකරන්ගෙ අවතාරය තවමත් තියෙනවද කියලත් හිතෙනවා.

ඒත් තවම සති දෙකයි. මොනවත් තීරණ නිගමන වලට එළඹෙන්න තවම වේලාසන වැඩියි. 
හවසට මුහුද අයිනට ගිහින් ඉර බහිනකම් බලන් ඉද්දි, හිතට දැනෙන කවදාවත් මින් පෙර නොදැනුණ ,නිදහස් සුන්දර හැඟීමත් එක්ක මම බලන් ඉන්නවා.



Friday, March 7, 2014

පුංචි කුරුලු කතාවක්

අද කාලෙ ගොඩක් පවුල් වල වගේ මේ පවුලෙත් හිටියෙ, අම්මයි තාත්තයි බබාලා දෙන්නයි. එයාලගෙ පුංචි කූඩුවෙ එයාලා සතුටින් ජීවත් වුණා.
කාලයක් ගත වුණා. 
පුංචි දඟකාරයො දෙන්නට දැන් ටික ටික අත්ත‍ටු ගහලා ඉගිලෙන්න පුලුවන්. 
අත්ත‍ටු හරියට වැඩිලා නැති වුණාට , යම්තම් අම්මලා එක්ක කූඩුවෙන් එලියට යන්න පුලුවන් තරමට එයාල දැන් ලොකුයි.



අද එයාලට සතු‍ටු දවසක්. වෙනදාට වඩා ටිකක් ඈතට එයාලව අම්මල එක්කන් ඇවිත්.



මේ මොනවද? 
සුවඳ මල් ගොඩක්.....
පුංචි කුරුලු බබා ටිකක් ලං වෙලා බැලුවා.
හරී සුවඳයි.....
මල් පැණිත් තියෙනවා.

සතුට වැඩි කමට දඟලන්න ගිහින් තව ටිකෙන් එයාව ලිස්සල වැටෙනවා. පුංචි අත්ත‍ටු දෙක ගහල නොවැටී බේරෙන්න එයාට පුළුවන් වුණා.



තාත්තා මේක දැක්කා. එයාට ටිකක් විතර තරහ ගියා වගේ.

"ළමයි..... මොකද මේ දඟලන්නෙ? අන්න අර අත්ත උඩට වෙලා දඟලන්නෙ නැතිව ඉන්න" එයා තදින් කිවුවා.

තාත්තගෙ සද්දෙට බය වුණ පුංචි පැටවු දෙන්නා හිමින්ම ඒ අත්ත උඩට පියඹලා ගියා. ඊට උඩින් තියෙන අඹ කොල ටික හිසට වහලක් වගේ ඒ දෙන්නව ආරක්ෂා කළා.



අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට ඒ දෙන්නව බලා ගත්තා අනිත් කෙනා බබාලට කෑම හොයාගෙන එනකම්.



හොඳට බඩ පිරුණට පස්සෙ දෙන්නටම නිදි මතයි වගේ. 

රෑ මේ ගහේම පහන් කරන්න අම්මයි තාත්තයි තීරණය කළා.
අම්මටයි තාත්තටයි තුරුලු වෙලා නිදා ගන්න එක තරම් සැපක් දරුවන්ට වෙන කොහෙන්ද......



මන්දාරමත් එක්ක එන වැහි බින්දු වලින් මේ පුංචි පවුල බේරන්න අඹ ගහ සැදී පැහැදී හිටිය.

Monday, February 10, 2014

මගේ දුයිෂෙන්

නුඹද මා ගැන ගී කියන්නට
එකම පොප්ලර් ගසක්වත් නැති
නමුදු නුඹ ගැන සිත සිතා මම
සැදූ එක කහ මල් ගහක් ඇති

නිමල වූ නුඹෙ අරුම සෙනෙහස
මතක කැටි වුණ සිනිඳු මල් පෙති
සුළ‍ඟෙ තාලෙට විසිරෙනා විට
යළි යළිත් මට දැනි දැනී ඇති

සුරත අල්වා අකුරු ගලපා
වදන් නම් නුඹ ලියැවුයේ නැති
ලොවම මා නෙතු ඉදිරියේ නුඹ
පොතක් සේ නෙක දිග හැරූ සැටි

සිතට රහසෙම නැගුණු ප්‍රේමය
සෙල් රුවක් සේ සඟව ගත් සැටි
මහ මෙරක් විය දුන්නු දිවියම
නුඹට මා තව තවත් ණය ගැති

සිනා සෙන්නට ඉගැන්වුව නුඹ
නෙතේ කඳුලැලි පිස දැමූ සැටි
කවි ලියන්නට නොදැන සිටි නුඹ
ම'සිත එක් කවියක්ම කළ සැටි

නොපළ ප්‍රේමය අහිමි වී ගිය
රසෝඝය නුඹ, නුඹත් දන්නැති
නුඹයි දුයිෂෙන්, කිසි දිනෙක
නුඹ නමින් කවියක් මා ලියා නැති.....!



















(මේ කවියට අදාලම නැති දෙයක් අහන්න යන්නෙ....
මට ගූග්ල් ක්‍රෝම් වලින් කාගෙවත් බ්ලොග් එකකටවත්, මගෙ බ්ලොග් එකේවත් කිසිම කමෙන්ට් එකක් දාන්න බෑ. කොච්චර ලොග් වුණත් ලොග් වෙලා නෑ වගේ පෙන්නන්නෙ. මොකද්ද ඒකට හේතුව? වලින් වැඩ කරද්දි එපා වෙනවා)






Tuesday, February 4, 2014

Treasure in the SUITCASE

මේ දවස් වල ලොකු වැඩකුත් නෑ. ඒත් ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ. 
ඒ අතරතුර තමයි ජනූ අක්කගෙ "නිධන් හෑරිල්ල" කියෙවුවෙ. 
ඒ ලිපිය මාව මගෙ පුංචි කාලෙට ගෙනිච්චා. (හැමදාමත් වගේ)

අපේ ගෙදර තිබුණා ටිකක් ලොකු සූට් කේස් එකක්. ජනූ අක්කගෙ කාමරේ වගේ , අපේ ගෙදර තුබුණු දේවල් වලින් මගෙ කුතුහලය වැඩියෙන්ම අවුස්සපු දෙයක් තමයි ඒ.

ඒක අම්ම කැම්පස් යන කාලෙ ඇඳුම් ගෙනියන්න පාවිච්චි කරපු එකක්. ඇඳුම් ගෙනියන්න වගේම, කැම්පස් යන දවසට බස් එකක් එනකම් පාරෙ හිටගෙන ඉද්දි කකුල් රිදෙන වෙලාවට ඒක කෙලින් හිටවලා ඉඳගෙන ඉන්නත් පුලුවන් වුනාලු.


පස්සෙ කාලෙක තමන් සතු සමහර දේවල් පුංචි සිඳුගෙ ආක්‍රමණ වලින් බේරන්න මේ සූට් කේස් එකේ දාලා අම්ම අරන් තියලා තිබුණා. ඒවා සිඳු ලොකු වුණාම දෙනව කියල තමයි අම්ම කිවුවෙ. ඒත් ඒ වෙනකම් ඉවසන්න පුළුවන් කමක් සිඳුට තිබුණෙ නෑ.


පු‍ටුවක් තියලවත් අල්මාරිය උඩ තිබුණ ඒ සූට් කේස් එක බිමට අරගන්න සිඳුට බෑ. ඒක ඒ තරම් ලොකුයි.

සිඳු ෆුල් අප්සට් ගහලා ඉන්න වෙලාවල් වල එහෙම එයාගෙ හිත හදන්න අම්ම මේ සූට් කේස් එකේ තිබුණ දේවල් පාවිච්චි කළා. ඒව එලියට ගත්තම නිකම්ම ශේප් වෙනවනෙ.

ඒකෙ තිබුණෙ මහ ලොකු දේවල් නෙමේ. ඒත් ඒ හැම දේටම මම පුදුම විඩියට ආසා කළා.මට අම්මා මුලින්ම අන්දවපු ඇඳුම, පොඩිම කාලෙ දාපු වූල් සපත්තු දෙකයි තොප්පියයි ඇරෙන්න 

සුදු, රතු සහ කලු පාට දාදු කැට කීපයක්, 
පිටරට මුද්දර වගයක් , 
පරණ අත් ඔරලෝසු මූණතක් , 
ලස්සන සුබ පැතුම් පත් 
වගේ දේවල් තමයි ඒකෙ තිබුණෙ. 

ඒ සුබ පැතුම්පත් නම් හරිම ලස්සනයි. ඒ සමහර ඒවා අම්මයි මමයි අම්පාරෙ ඉන්න කාලෙ අප්පච්චි එවපු ඒවා. අනිත් ඒව අම්මගෙ යාලුවො එවපුවා. 
ඒව කොහොම හරි අරගෙන පින්තූර ටික කපා ගන්න මට ඕනා වුනත්, ඒවා ලොකු වුණාම දෙන්නම් කියලා අම්මා එවා අරන් ආපහු අර සූට් කේස් එකටම දැම්මා. 

මේ තියෙන්නෙ පස්සෙ කාලෙක සිඳුගෙ අයිතියට පත් වුණ ඒ කාඩ් වලින් එකක්.ඒකෙ තියෙන්නෙ වෙස්සන්තර ජාතකය. ඒ කාඩ් එක විතරක් උදවු කරගෙන අම්මා මට වෙස්සන්තර ජාතකයම කියලා දුන්නා.තවමත් කොහෙන් හරි වෙස්සන්තර ජාතකය ගැන අහද්දි හිතට එන්නෙ මේ වෙසක් කාඩ් එක.
මේ කාඩ් එකේ ඉස්සරහ තියෙන්නෙ බුදු හාමුදුරුවො, රාහුල කුමාරයාව මහණ කරන්න එක්කන් යද්දි දුකෙන් බලාගෙන ඉන්න යශෝදරා දේවි. 


ඒකෙ ඇතුල් පැත්ත පෙරලද්දි, ඒ යශෝදරා දේවිම මන්ද්‍රි දේවි විදියට වෙස්සන්තර ජාතකය ඉන්නවා. හරිම ලස්සන නිර්මාණශීලී සුබ පැතුම් පතක්.


පරණ ඔරලෝසුව වටින එකක් නිසා හෝ විසි කරන්න අමතක වුණ නිසා හෝ, එහෙමත් නැත්නම් හදන්න දෙන්න අමතක වුණ නිසා හෝ ඒකෙ තියෙන්න ඇති. ඒත් ඒක මට දැනුණෙ මහානර්ඝ වස්තුවක් වගේ.

මම කොහෙන් හරි අහල තිබුණා ඔරලෝසු ඇතුලෙ මැණික් ගල්, දියමන්ති එහෙම තියෙනවා කියලා. 

ඒක හොයාගන්න ලොකුම අවස්ථාව උදා වුණේ අම්මගෙ පරණ සූට් කේස් එකේ තිබුණ අත් ඔරලෝසු කෑල්ල මගෙ අතට ලැබුණ දවසෙ.

ඒත් ඒක ගලවලා බලන එක තමයි ප්‍රශ්නෙ වුණේ. එක එක දේවල් පාවිච්චි කරලා උත්සාහ කළා හරි ගියෙ නෑ. අන්තිමට මම තීරනයකට ආව.
ඔරලෝසුව වගේද ඒක් ඇතුලෙ තිබිලා දියමන්ති හම්බුනොත්!ඔරලෝසුව ගලක් උඩ තියලා, තව ගලකින් ඒක තැලුවා. මුලින්ම කුඩු වුණේ වීදුරුව. ඒ ලඟට ඔරලෝසු ක‍ටු ටික කැඩිලා ගියා. ඔහොම ටික වෙලාවක් යද්දි ඒකෙ මූණත ගැලවිලාම ගිහින් ඇතුලෙ තියන පොඩි පොඩි දැති රෝද ටිකක් මතු වුණා. සොයන්නාට සම්භ වුණා! ඇත්තටම ඒක ඇතුලෙ පුංචිම පුංචි රෝස පාට මැණික් කැට වගයක් තිබුණා. ( මම හිතන්නෙ ඒවා මැණික් ගල් ) ඒවා ටික ගිහින් අප්පච්චිට දුන්නෙ ඒවා විකුණලා සල්ලි ගන්න පුළුවන් නිසා. ඒත් එයා කළේ ඔලුවෙ අත ගහගත්තු එක විතරයි. 

ඒ ඔරලෝසු තැලිල්ලෙන් මට තව වාසියක් අත් වුණා. ඒකෙ ගැලවිලා තැලිලා ගිය මූණත, පරණ රජ කාලෙ කාසියක් කියලා හිතාගෙන මගෙ ළඟ ගොඩක් කල් තියාගන්නත් මට පුළුවන් වුණා. 

හොඳම වැඩේ තමයි, අපේ නංගිත් ඒක පුරාවිද්යාත්මක වටිනා කමක් තියෙන කාසියක් කියලා හිතාගෙන හිටිය එක. (එයා නම් තවමත් හිතන් ඉන්නෙ එහෙමද කොහෙද)