Wednesday, January 1, 2014

තරුත් එක්ක මගේ කතාව

හාත්පස කලුවරයි. කාලෙකින් දැනුන සීතල සුළඟක් ගත වසා ගත්තා. අවාරෙට හැදුන අඹ ගෙඩි වලට පොර කන වවුලන්ගෙ නාදය නිසා මම උඩ බැලුවා.

මගෙ ඇස් වලට පෙනුනෙ රාත්‍රී අහස. ඒ අවුරුදු ගණනකින් දු‍ටුව ලස්සනම දර්ශනය කියල මට හිතුණ.මැජික් ශිල්පියෙක් අතින් නිමවුණ සිත්තමක් වගේ රාත්‍රී අහස හැඩ වෙලා තිබුණා. හරියටම මම පුංචි කාලෙ දු‍ටුව අහස වගේ. ඒ තරු රටා සේරම ඉස්සර වගේම මාත් එක්ක හිනා වෙනවා වගේ දැනුණා.



 මේ ලස්සන අවුරුදු ගණනක් පුරාවට මගෙන් වසන් කරගෙන හිටිය "කොළඹ අහස" මට මතක් වුණා. 
දසත විහිදෙන විදුලි ආලෝකය නිසා තමන්ගෙ ලස්සන වසන් කරගත්තු ඒ "කොළඹ අහසට" වෛර කරන්න තරම් හිතක් මට පහළ වුණා.

"කලුවරේ මොකද කරන්නෙ? ගෙට එන්න...." 

කට්ට කලුවරේ මිදුලට වෙලා හිටිය මාව දැකල අම්ම කෑ ගහද්දි මම පු‍ටුවකුත් අරන් ඇවිත් අහස දිහා බලාගෙන ඉඳ ගත්තා....
වෙන කිසිම දෙයක් හිතට නො එන තරමට ලස්සන අහස දිහා භාවනාවක් වගේ මම බලන් හිටිය.

අහසෙ මට පෙනෙන්නට ඕනා කොටසක් අඹ ගසෙන් වසාගෙන. 

ඊට මුවා වුණ තරු වලට වුණ අසාධාරණය මග හරින්නට තව කට්ටියක් එකතු වෙලා. ඒ කණාමැදිරියන්. ඔවුන්ගේ  නිමෙන පත්තු වෙන ආලෝකය අඹ ගසෙන් වැසුන අහස් කොටසේ තරු රටා මවනවා.    විශ්වාස කරන්න, ඒ හැමෝම ආලෝකය නිමුවෙත් පත්තු කළෙත් බොහෝ දුරට එකම වෙලාවෙ. ඒ කණාමැදිරියන්ගේ කුමක් හෝ සන්නිවේදන ක්‍රමයක්ද?
කුමක් වුවත් ,පසුගිය දිනවල සෑමතැනම දැල්වුණ බල්බ් වැල් වලට වඩා සිය දහස් ගුණයක අලංකාරයක් ඔවුන් මැවුවා.

තරු පිරුණ අහසට මම ආදරය කරන්නට පටන් ගත්තෙ අම්මයි අප්පච්චියි නිසා වෙන්නට ඇති.               අහසෙ මැවුණ විවිධ තරු රාශි හැඳින්වෙන නම්, ඇසට පෙනෙන ග්‍රහලෝක ආදිය සියල්ලම කියල දුන්නෙ අප්පච්චි. නිශ්චලව බබලන තරු අතරෙ ගමන් කරන තරු චන්ද්‍රිකා බව, හදිසියෙ කඩා වැටෙන තරු උල්කාපාත බව, තරුවක් දිහා බලන් ඉද්දි එයින් විවිධ වර්ණයන් පෙනෙන බවත් අප්පච්චි මට ඉගැන්නුවා. 

එයා පුංචි කාළෙ වත්ත පහළ තිබුණ දෙකට නැමුණ පොල් ගහක කඳක් උඩට නැගලා වරු ගණන් අහස දිහා බලන් හිටිය හැටි අප්පච්චි මට කියල තියෙනව. ජාන වලින්ද, කොහොමද කියන්න මම දන්නෙ නෑ ඒ පුරුද්ද ඒ විදියටම මටත් ඇවිල්ලා තිබුණා.

"සමන් පිච්ච මල් ඉහිරුණ
නිල් තණකොල පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට"


යන්තම් බහ ‍තෝරන කාලෙදිම අම්ම මට කියලා දුන්න ඒ ගීතය අප්පච්චි පෙන්නපු රෑ අහසත් එක්ක හරි අපූරුවට ගැලපුණා.

ටිකක් වයසින් වැඩෙන්නට වැඩෙන්නට අහස ගැන , අභ්‍යවකාශය ගැන උනන්දුව වැඩි වුණා. ඊටත් පස්සෙ පිටසක්වල ජීවීන්- ඒලියන්ස් ලා ප්‍රියතම මාතෘකාවක් වුණා. පත්තර වලින් කපපු ලිපි ගණන් එකතු වුණා.

සමහර දවස් වලට තරු දිහා බලාගෙන ඒවා වටේ භ්‍රමණය වෙන ග්‍රහලෝක වල ඉන්න ජීවීන්ට ටෙලිපති බලයෙන් මම කතා කරන්නත් උත්සහ කරලා තියෙනවා. සිංහල බැරි වුණාට පිටසක්වල ජීවීන්ට ටෙලිපති බලය තියෙනවා, ඒ කාලෙ මම හිතුවෙ එහෙම.
(පිටසක්වල ජීවීන්ට පිස්සු නෑනෙ ලංකාවෙ මුල්ලක ඉන්න බ‍ටු කෙල්ලෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න ටෙලිපති බලෙන්. ඒ නිසා එක ඒලියන් කෙනෙක්වත් මාව හොයාගෙන ආවෙ නෑ)

පුංචි කාලෙ වගේ මම ඇස් දෙක වෙහෙසමින් චන්ද්‍රිකාවක් හෙවුව. උල්කාපාතයක් අහසෙ ඇදිලා යනකම් නැගිටින්නේ නෑ කියලා අධිශ්ඨාන කළා.

ඊළඟට ලොකුම බාධාව මතු වුණා. 

වල්ගා තරුවක නමක් තියෙන, ඒ වුණාට උරචක්‍රමාලයක් වගේ වටින මගෙ නංගි. 

"මොකද මේ කලුවරේ....? සර්පයොත් ඇති..."

එයා එහෙම කිවුවට මම නම් ගණන් ගනියි. ඇහෙන්නෙ නෑ වගේ මම හිටියා. ඔන්න ඊලඟට එයාගෙ අහිංසක ස්වරයෙන් ඊළඟ ප්‍රශ්නය යොමු වුණා....


"අක්කෙ ඔයාට දැනුනෙ නැද්ද් කණ ළඟින්ම හුළං පාරක් යනවා වගේ....? හරියට පිටිපස්සෙ කවුරු හරි ඉන්නවා වගේ.....?"


මට දවල් බැලුව SPELLBOUND කියන කොරියන් චිත්‍රපටිය මතක් වුණා. 

නංගි ඈත් මෑත් වෙනකම් ඉඳලා මම ඉක්මනටම පු‍ටුවත් අරන් ගේ ඇතුළට ආවා...



(ඒක නෙමේ.... කෝ "වර්ණ" ලියන දිනේශ් මල්ලි? තවම සනීප නැද්ද? )