Tuesday, April 15, 2014

වෙනස් පුරයක තනි වීමු

අධිවේගී මාර්ගයේ යනවට වඩා වේගෙන් වාහනේ පාර දිගේ ඇදිලා යනවා. වෙන කිසිම වාහනයක් නෑ. පාර දෙපැත්තෙම කැලෑව. "හවසට අලිත් ඉන්නව පාරෙ." රියදුරා කියනව. ගැහි හැහී තියන හිත තවත් වේගෙන් ගැහෙනව.

සමහර තැන් වල ඝන මීදුමෙන් පාර වැහිල.
දුරකතනයෙන් මම අපි ඉන්න ඉසවුව හොයන්න උත්සහ කරනව. GPS අමාරුවෙ වැටිලා දඟලනව. මම උත්සහය අත් අරිනව.

කැලෑව අයිනෙ පාරෙ ලොරි 5ක් විතර එක පෙළට නවත්තලා. අපි ඒවත් පහු කරගෙන ඉස්සරහට යනව.
"ඊයෙ ‍රැ ඉඳන් යන ලොරි වල කට්ටිය. නිදාගන්නෙ ඔහොම තමයි" ආයෙ රියදුරා කියනව. එයාට නින්ද යයි කියන බයටම අප්පච්චිත් ඉවරයක් නැතුවම කතා කරනව. ගමේ පන්සලේ විස්තර වල ඉඳන් ජිනීවා සමුලුව වෙනකම් මාතෘකා එතන තියෙනව.

තරු එකින් එක නිමෙන්න පටන් අරන්. මීදුම තව තවත් වැඩි වෙනව. පාර පෙනෙන නොපෙනෙන ගාන. වාහනේ වේගෙ ටිකක් අඩු වෙලා. 
වීදුරුවට එහායින් තියෙන කැලෑවට උඩින්  යන්තම් එළියක් මතු වෙලා. ඉර පායගෙන එනවා සීතල මීදුම එක්ක.

ඉස්කෝලෙ යන්න කලුවරේම එලියට බැහැපු ළමයි වගේම අපේ වාහනේ පහු කරගෙන වේගයෙන් යන මෝටර් සයිකලුත් ඉඳල හිටල පහු වෙනව. 

දැන් ඉර ගොඩක් උඩට නැගලා. ඒත් මීදුම ඉර වහගෙන.වාහනේ වීදුරුවෙ බැඳුන පිණි බින්දු අස්සෙන් ඒක ලස්සන දර්ශනයක් මවනව. ගෙදරින් එනකොට තිබුණ චකිතය වගේ හැඟීම ටික ටික තුනී වෙලා යනව.


පාරෙ වයර් උඩ නැගලා ඉන්න එක එක කුරුල්ලො මට පේනව. ඈත ගස් වල තවත් හීතලට ගුලි වෙලා ඉන්න මොණරු පේනව. හිතුවට වඩා මෙහෙ හොඳයි වගේ කියල මට හිතෙනව.

ගෙවල් අඩුයි. සමහර වෙලාවට කිලෝ මීටර් ගාණකටම ගෙයක් නෑ. උදේට කන්න කඩයක් හොයා ගන්න ලැබුණෙ අමාරුවෙන්.
"*******ට තව කිලෝ මීටර් 10ක් විතර තියෙනව."
 කඩේ මුදලාලි කැඩුණ සිංහලෙන් කියනව.

ඒ කිලෝ මීටර් 10ත් පහු වෙනව. ගෙදරින් කිලෝ මීටර් 260 ගාණක් ඈත් වෙනව.

කරදිය හුළඟත් එක්ක මිශ්‍ර වුණ අමුතුම පරිසරයක් ඇහැ ගැටෙනව. නළලෙ තිලකය තියලා මෝටර් සයිකලේ පැත්තට හැරිලා ඉඳගෙන යන වැඩි හිනාවක් නැති කාන්තාවො දකිද්දි අපි දැනගෙන හිටිය ලංකාවට වඩා ලොකු වෙනසක් දැනෙනවා. 
හැම දුරකතන කඩයකම micromax බෝඩ් ගහලා. 
අකුරු ටික අමාරුවෙන් අමුණගෙන කියවද්දි , රූපවාහිනී සියල්ලෙම දකුණු ඉන්දියානු නාලිකා පමණක් විකාශය වෙනවා දකිද්දි ,අපි ඉන්නෙ ලංකාවෙ නෙමේද කියලත් හිතෙනව.

ඒ අතර දකින "ශ්‍රී ලංකා පොලීසිය" කියන බෝඩ් එක හිතට ආරක්ෂා කාරී බවක් දනවනව අන් කවරදාටත් වඩා. වෙනදට පොලිසිය දකිද්දි අහක බලාගෙන යන අපි දැන් පොලීසියෙ කෙනෙක් පාරෙ දැක්කත් හිනාවෙලා පාරක් හරි අහනවා. ජාති වාදී කමක් නෙමේ. දන්න භාශාවෙන් කතා කරන්න ඒ තරමටම ආසා වෙලා.

සති 2ක් ගත වුණා. ඒත් තවම දන්නෙ දෙමළ වචන කීපයයි. වාක්‍යක් හදා ගන්න බෑ. ඒත් එක සිංහල වචනයක් වත් බැරි මෙහෙ බහුතරයකට වඩා අපි වාසනාවන්තයි කියල හිතෙනවා මොකද තව අවුරුද්දකට එහා මෙහෙ ඉන්න අපි වෙනත් භාෂාවකුත් ඉගෙනගෙන මෙහෙන් යන නිසා.

නුපුරුදු මුහුණු, 
කෑම වල නුපුරුදු රස, 
නුහුරු වචන 
නොදැකපු රූපවාහිනී නාලිකා ...... මේ සියල්ලම ගෙදර මතක් කරනව. 

කලින් හිටිය රෝහලේ දාහක් අඩු පාඩු පෙනුන මට දැන් ඒ රෝහල සුර පුරයක් වගේ මතක් වෙනව. ඒත් මෙහෙ රෝගීන් ගැන හිතද්දි ඒ මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු ගොඩක් පැති වලින් අහිංසකයි අසරණයි කියල හිතෙනවා.

අවුවට පිච්චෙද්දි ,කාමරේවත් ඉන්න බැරි වෙද්දි ,දවසට දෙතුන් පාර නාන්න හිතෙද්දි ,‍රැට දාදිය නිසා නිදා ගන්න බැරි වෙද්දි, ප්‍රභාකරන් මොනවට මේ ප්‍රදේශ අල්ල ගන්න මෙච්චර දැඟලුවද කියල හිතෙනවා. සමහර කඩවල් වලට යද්දි සමහර පුද්ගලයො එක්ක වැඩ කරද්දි ප්‍රභාකරන්ගෙ අවතාරය තවමත් තියෙනවද කියලත් හිතෙනවා.

ඒත් තවම සති දෙකයි. මොනවත් තීරණ නිගමන වලට එළඹෙන්න තවම වේලාසන වැඩියි. 
හවසට මුහුද අයිනට ගිහින් ඉර බහිනකම් බලන් ඉද්දි, හිතට දැනෙන කවදාවත් මින් පෙර නොදැනුණ ,නිදහස් සුන්දර හැඟීමත් එක්ක මම බලන් ඉන්නවා.