Tuesday, September 23, 2014

වැදි රජ වලප

සරත් සමයෙහි සරතැසෙහි නෙත
ලෙදින් නුඹ නෙත මහද දැව් සඳ
නඳිත වී ඉපිලුණද හදවත
වීය බාධක විකුම් ධනුදර
පතා ලබනට නුඹෙන් සෙනෙහස
සටන් වැදුනෙමි එඩි බිඳින්නට
පොලොව සිඹි මුව දැනිණි ලේ රස
තෙදැති ධනුදර නැගී ජය ගොස

බියෙන් සලිතව නුඹේ නෙතු යුග
දිටිමි කඳුලැලි උතුරනා හැඩ
නුඹේ කුමරුන් එදෙස බැලු සඳ
මමයි ගත්තේ ඔහුගෙ අසිපත
සිදුරු වූ ඔහු පපු තුරෙන් ගැලු
රුහිරු නුඹ හද වසා ගන්නැ'ති
නුඹේ දෙනෙතෙහි තිබූ වෛරය
ශෝකයත් මම හැඳින ගත්තෙමි

සෙනෙහසක් නැති දෙනෙත් අබියස
සිතෙහි වූ වෙර හැඳිනුවෙමි මම
බියෙන් නැවතින මගේ හදවත
පලා වන ගැබ සැඟවුනෙමි මම
කිමෙක් වීදැයි පිරිස ඇසි සඳ
පැවසුවෙමි මම නුඹ චපල බව
ඇදහුවේ උන් සෑම වදනම
මාය වැදි රජ , මෙවන අරණට

තවම වැලපෙයි මගේ හදවත
වනේ සතුනට ගොදුරු විද නුඹ
ශෝකයෙන් ළය පැලී මියැදිද
මහ වනේ මං මුලා විද නුඹ?



Thursday, September 18, 2014

සෙවනැල්ලක් නැති දඟකාරයා

නාට්‍යය නිමා විය. තිරය වැසී ගියේය.
ප්‍රේක්ෂකාගාරය තවමත් තුෂ්ණිම්භූතය.සියල්ලන්ගේම දෙනත් වල ඇත්තේ විස්මයකි.
ක්ෂණයක් ගතවිය.
වේදිකාවේ දකුණු පස ප්‍රේක්ෂකාගාරයේ කොනකින් සිහින් අත්පොලසන් හඬක් නැගී ආවේය. මොහොතකින් එකා දෙන්නා සැබෑ ලොවට එළඹෙන්නට පටන් ගත්හ. එකින් එක එක් වූ අත්පොලසන් හඬ මහා ප්‍රීති ඝෝෂාවක්  බවට පත් විය. 
"නියමයි ජේම්ස්"
"ලස්සනයි"
"අලුත් වැඩක්"
හොඳ වැඩක් ජේම්ස්"
"පීටර් පෑන්... කොහෙන්ද ඒ නම හොයා ගත්තෙ? අපූරු නමක්නෙ"

සියල්ලන්ගේ උණුසුම් ප්‍රශංසා මැද ජේම්ස් මැතිව් බෙරී ගේ මුවට පුළුල් සිනාවක්ද, නෙත් වලට කඳුලක්ද නැගුනේ එක් වරමය. ඒ තු‍ටු කඳුලු යැයි බොහෝ දෙනා සිතා ගත්හ. ඔවුනට තරමක් වැරදී තිබිණි. ඒ සතුටෙහි හා විස්තර කරගත නොහැකි වූ දුකෙහි සම්මිශ්‍රණයක්ද විය.

බොහෝ සුබ පැතුම් ලැබුණ බව සැබෑය. එහෙත් තවමත් ඔහු බලාපොරොත්තු වූ සුබ පැතුම ලැබුණේ නැත. 

ඔහුගේ දෙනෙත් සිල්වියා සොයා ප්‍රේක්ෂකාගාරය සිසාරා ගියේය. ඇය ඒවන විටත් තම දරුවන් තුරුලු කරගත් වනම අසුනක වාඩි වී සිටියාය. තමාගේ නෙත්වල වන කඳුලක අර්ථය වටහා ගත හැකි එකම පුද්ගලයා ඇය පමණක් බව ඔහුට විශ්වාසය.

ඇය පිළිබඳව තම සිතෙහි ආදරයක් මුලිම වරට පිළිසිඳ ගත්තේ කෙදිනදැයි ඔහුට අමතකය.එහෙත්, ඒ ඇයගේ සැමියා මියගිය පසුව වන්නට හැකි වුණත්,තම විවාහක බිරිඳ මේරි තමා හැර දමා ගිල්බට් සමග යාමට පසුව නම් නොවන බව ඔහු දැන සිටියේය.

ඇගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ජෝර්ජ් සහ ජොන් ඔහු වෙත දිව ආහ.
"අන්කල් ජේම්ස්.... ඒ නාට්‍යය අපේ මල්ලි පීටර් ගැන නේද?"
ඒ සඳහා පිළිතුරු දෙනු වෙනුවට ඔහු පොඩි එකාගේ රන්වන් හිසකේ පිරිමැද්දේය. ඉන් අනතුරුව ජෝන්ගේ සුරත ‍රැගත් ඔහු ප්‍රේක්ෂකාගාරයේ හිස් වෙමින් තිබූ අසුන් අතරින් සිල්වියා වෙත පිය මැන්නේය.
අවට සිදු වන කිසිත් නොදත් පුංචි පීටර්, ඒ වන විටත් තද නින්දකට වැටී සිටියේය.

"කොහොමද නාට්‍යය?"
ඔහුගේ පැනයට සිල්වියා තවමත් නිහඬය.
විස්මයානුකූල බැල්මක් ඇගේ දෙනෙත් වල ‍රැඳී තිබුණි. බෙරී අලුත් නාට්‍යයක් නිර්මාණය කරන බව ඈ දැන සිටියාය. නමුත් ඒ කවරක් පිළිබඳවදැයි ඈ දැන නොසිටියාය.
"කියන්න ජේම්ස් අන්කල්, ඒ අපේ මල්ලි පීටර් නේද?  ජෝර්ජ් ගේ පැනයට එවර ඔහු පිළිතුරු දුන්නේය."ඔව් ජෝන්, ඒ ඔයාගෙ මල්ලි තමයි....."

සිය සැමියාගෙ මරණයෙන් පසුව දරුවන් පස් දෙනෙකු සමග තනි වූ සිල්වියා සහ දරුවන් හට බෙරී දිනෙන් දිනම සමීප වූයේ ඔහුද නොදැනුවත්වමය. 
විවිධාකාර කතන්දර කීමෙහි රුසියෙකු වූ ඔහු සමග ඒ කතන්දර නිසාම දරුවන් අපූරු මිත්‍රත්වයක් ගොඩ නගාගෙන තිබුණි. 
ඇයගේ තෙවෙනි දරුවා වූ පීටර් හට පියෑඹීමට හැකි බවත්, ඔහු හා මිතුරු සුරංගනාවන් ඇති බවත් වැඩිමහල් දරු දෙදෙනාට ඔහු පැවසූ කතන්දර වලින් එකක් විය. 
තම නාට්‍ය නිර්මාණයට අවශ්‍ය ප්‍රස්තුතය වූ "පීටර් පෑන් නැමති, කිසිදා වියපත් නොවන සුරංගනා දරුවා"ඔහුගේ සිතෙහි හට ගත්තේ එලෙසිනි.

"හරිම ලස්සනයි" අවසානයේදී සිල්වියා ඇගේ හඬ අවදි කළේය. මුළු පේක්ෂක සමූහයාගෙන්ම ලැබූ ප්‍රශංසා වලට වඩා ඔහුට ඒ වදන් දෙක අගනේය.
කුඩා පීටර්ව සියතට ගත් ජේම්ස් ඈ අසල වාඩි විය. ඒ වන විට ප්‍රේක්ෂකාගාරය පාළුවට ගොස් තිබිණි.  සිලිවියාගේ මුහුණ තරමක් සුදු මැලි වී ගොස්ය. ඈ නැවතත් අසනීප වී ඇත්දැයි ඔහු ඔහුගේ සිතෙන්ම විමසුවේය. එහෙත්, ඒ පිළිබඳව ඇගෙන් නෑසීමට ඔහු ප්‍රවේසම් විය. ඉතා ඉක්මනින් ඇය හා විවාහ විය යුතු යැයි ඔහු තීරණය කළේය.
"අපි යමු" සුරතින් පීටර්ව වඩා ගත් ඔහු නැගී සිටියේය. ඔහුගේ වමතට මදක් බර වූ සිල්වියාද ඒ අනුව නැගී සිටියේය.

වැඩිමහල් දරුවන් ප්‍රීතියෙන් ප්‍රමුදිත වී සිටියහ. "අන්කල් ජේම්ස්... ඊ ළඟ නාට්‍යය ලියන්න පීටර් පැන් ගෙ යාලුවා ටිනක්ර් බෙල් ගැන..." ජෝර්ජ්ගේ යෝජනාව සැබැවින්ම ක්‍රියාත්මක ව්ය යුතු යැයි සිතමින් ඔහු නාට්‍ය ශාලාවෙන් පිටත් විය. ඔහුගේ අශ්ව කරත්තය පැමිණ තිබුණි. සිල්වියා සහ දරුවන්  ඊට නැංවූ ඔහු පීටර් අසලින් අසුන් ගත්තේය. 
හමා ආ සීතල සුළඟට සිල්වියා සුදු මැලි වී ඇතැයි ඔහුට සිතුණි.

***********************************************************

පීටර් පෑන් යනු කුඩා කල පටන් මා ආශා කළ චරිතයකි. ඒ චරිතය ගොඩ නැගුණු අයුරු මා මීට පෙර අසා තිබිණි. පසු ගිය දිනෙක නැරඹූ Finding Neverland  චිත්‍රපටය ඒ පිළිබඳ මතකය නැවත අලුත් කළේය. නමුත් මෙහි සටහන් කළේ චිතරපටයේ සිදු වීමක් නොවේ. මගේ මනසේ ඇඳුන සිතුවමක් පමණි.



ජොනී ඩෙප් විශිෂ්ට හැකියාවන්ගෙන් යුත් නළුවෙකි.ශ්‍රීමත් ජේම්ස් මැතිව් බෙරීගේ චරිතයට ඔහු මෙහි බොහෝ සෙයින් සාධාරනත්වයක් කර ඇත. 

පීටර් පෑන් යනු ජේම්ස් මැතිව් බෙරීගේ  සිතෙහි ඇඳුන චරිතයකි. ඔහුගේ මිතුරන් වූ සිල්වියා සහ ආතර්ගේ දරුවන් සමග බොහෝ වේලාවක් ගත කල ඔහු තම නිර්මාන සඳහා ඔවුන්ගෙන් බොහෝ දේ එකතු කර ගත්තේය.

පීටර් හට පියෑඹීට හැකි බව දනවමින් ඔහු ගෙතූ කතන්දරයක් තිබුණි. පියඹා යාමට හැකි, සෙවනැල්ලක් නොමැති කිසිදිනක වයසට නොයන පීටර් පැන් නැමැති 14 වියැති සුරංගනා දරුවා වන පීටර් පැන් කරලියට පැමිණියේ ඒ අයුරිනි. වයස අවුරුදු 14දී මිය ගිය තම සහෝදරයාගේ වියෝවද මේ චරිතය සඳහා ඔහු පාදක කර ගත්තේය. 

ආතර් මිය ගිය පසුව සිල්වියා සහ ඔහු අතර ආදරයක් ඇති වී තිබිණි. එහෙත් අසනීපයෙන් පසු වූ ඇය ඔවුන් විවාහ වීමට පෙර මිය ගියාය.

ඉන් අනතුරුව ආතර්ගේ සහ සිල්වියාගේ දරුවන් පස්දෙනා - ජෝජ්, ජෝන්,පීටර්, මයිකල් සහ නිකොලා ‍රැක බලා ගන්නේ ඔහු සහ සිල්වියාගේ මව විසිනි. 
ඒ අතරින් ජෝර්ජ් පළමුවන ලෝක යුද්ධයේදී මිය යෑම සහ මයිකල් දියෙහි ගිලී මිය යෑම ඔහුගේ සිත බොහෝ සෙයින් කම්පිත කළ සිදුවීම් බව සඳහන්.
පීටර් පැන් ගේ චරිතයට පදනම් වූ පීටර්ද වයස 63දී සිය දිවි නසා ගත්තේය.

ඒ කෙසේ වුවද, 
අපි තවමත් විවිධ මාධ්‍යයන් ඔස්සේ පීටර් පැන් චරිතය රස විඳිමින් සිටිමු.




























                                                                                                         සර් ජේම්ස් මැතිව් බෙරී

Thursday, September 11, 2014

නොගැලපෙන කතා දෙකක්


එක්තරා යුගයකදී මා අසාමාන්‍ය ලෙසින් ලිවීමට ප්‍රිය කළා. විදුසර ට "රෝහලේ විත්ති" ලිවුවේත් ඒ කාලයේදීමයි. මේ එසේ විදුසරට ලියූ එක් ලිපියක්. එය රෝහලේ විත්තියක් ම නොවූවත්, මගේ සරසවි ජීවිතයට බොහෝ සෙයින් අදාල වූවක්.

ලෝකයේ කොනට ලිපි හිඟ වෙමින් තිබෙන කාලයක , ඒ පි‍ටුව ටිකකට පුරවන්න මේ ලිපිය ආයෙමත් ලියන්න හිතුණා....


එපමණක් නොවේ.... 
මගේ රස්සාවට මම ආදරෙයි. ඒය මට දැනෙන්නේ ‍රැකියාවක් ලෙස නොවේ. 
එය බොහෝ වෙලාවට මගෙ හිතට සතුටක් ගෙන දෙනවා. අසනීපයකින් සිටි රෝගියෙක් ආයෙමත් හිනා වෙනව දකිද්දි එන සතුට හිතට දැනෙන්නත් එක්තරා විදියක වාසනාවක් තියෙන්න ඕනා. 

මේ විදියටම සිතන තවත් බොහෝ දෙනා සිටිනවා. ඒත්, අතලොස්සක් දෙනා සිදුකරන විවිධ නොහොබිනා කම් නිසා, මේ සේවයේ වටිනා කම නොදැනෙන ලෙස හැසිරෙන ඇතැමුන් නිසා, පහු ගිය දින වල වෛද්‍ය සේවය හෑල්ලුවට ලක් කෙරෙන අන්දමේ කතා බස් බොහොමයක් සිදු වුණා... 
මේ ලිපිය නැවත පළ කරන්න, එයත් එක හේතුවක්

******************************************************
1.
අවුරුදු පහක්‌ පුරාවට අකුරු කළ සරසවිය, අත්දැකීම් සම්භාරයක්‌ තුළින් බොහෝ දේ ඉගැන්වූ ශික්‌ෂණ රෝහල යන දෙකට ම සමු දෙන්නට කාලය ඇවිත් කියන කණාගාටුදායක සිතිවිල්ලත් එක්‌ක ම පසුගිය දිනෙක සිදු වුණු පුංචි සිදුවීමකින් හිතට ඇති වුණු කම්පනයකින් තවමත් හිත දෙදරුම් කනවා. ඒත් එක්‌ක ම තවත් කතා ගොන්නකුත් හිතට ගලාගෙන එනවා. ඒ හැම එකක්‌ ම පෙළින් පෙළ ගැසෙන අතරතුර කලින් සඳහන් කළ සිදුවීම ඔබට කියන්නට හිත වෙර දරනවා. 

කාලෙකින් හමු නො වුණු මිතුරියන් දෙදෙනෙක්‌ හමු වෙන්න මගේ සිත පෙරුම් පුරාගෙන හිටියා කාලයක්‌ තිස්‌සෙම... හමු වෙලා කතා කරන්න අපි තෝරා ගත්තේ විහාරමහා දේවී උද්‍යානය.

මම එහි යන විටත් ඔවුන් දෙදෙනා පැමිණ තිබුණා. 
ඇතුළට යන්න හැඳුනුම්පත පෙන්වන්න අවශ්‍ය වන බව පිළිබඳව මා හට එතරම් අවබෝධයක්‌ තිබුණේ නැහැ. කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ජාතික හැඳුනුම්පත එදින මා අතින් ගිලිහී තිබුණා. 

එම උද්‍යානයේ ගේට්‌ටුව භාර ව සිටි ආරක්‌ෂක නිලධාරියාට පෙන්වන්නට මා අතේ තිබුණේ විශ්වවිද්‍යාල හැඳුනුම්පත පමණයි. 
යුද්ධය පවතින කාලයේ පොලිස්‌ හමුදා මුර කපොලුවලින් පවා පිළිගත් සරසවි හැඳුනුම්පත කිසිදු පැකිළීමකින් තොර ව මම ආරක්‌ෂක නිලධාරියාට පෙන්වා සිටියා. 

"මේ මොකද්ද මේ? කිසිදු විමසීමකින් තොර ව ම ඔහු එය නැවත මා දෙසට දිගු කළා. 

"ඔය මගෙ කැම්පස්‌ අයිඩින්ටිය අන්කල්, අනිත් එක ගෙනත් නෑ...."

"මේවාට ඇතුළට යන්න දෙන්න අපිට පිස්‌සු කියලා හිතුව ද?

අනපේක්‌ෂිත පිළිතුරෙන් මා මොහොතකට ගොලු වුණා. 
එහෙත් ඉතා ඉක්‌මනින් තරහ ගැනීමේ මගේ දුර්වලතාව ඊළඟ මොහොත් මතු වුණා. 

"ඔයාට මේක පිළිගන්න බැරි වුණාට මේක වෙන ඕනෑ තැනක පිළිගන්නවා" නොපහන් ස්‌වරයකින් මගේ මුවින් පිට වුණා. 

ඔහු ගේ ඊළඟ පිළිතුර මම කිසි සේත් ම අපේක්‌ෂා කළ පිළිතුරක්‌ වූයේ නැහැ. 

"ඔව් ඔව්... මේ රටේ කැම්පස්‌ පිළිගන්න හැටි අපි දන්නව හොඳට... පත්තරවල ටීවීවල අපි දකිනව නේ..." 

ඔහු ගේ පිළිතුරේ ගැබ් වූ උපහාසයට ඔහු ගේ මුවින් සහ හඬින් නික්‌මුණු සිනහව ඌන පූරණයක්‌ එක්‌ කළා. කොණ්‌ඩය අමුතු ම විලාසිතාවකින් හැඩ ගන්වා, රිදී පැහැති මහත දම්වැල් කර වටා දමාගෙන අපේ සංවාදයට කන් දෙමින් එතැන සිටි කවුදෝ දෙදෙනෙක්‌ ද මහා හඬින් නැතත් ඒ සිනාවට දායක වුණා. 

තවත් එතැන සිටීමට මට සිත් වුණේ නැහැ. මිතුරියන්ට දුරකථන ඇමතුමක්‌ දුන් මම ඔවුන් සමග පිට වුණේ නැවත කිසි දිනෙක එහි පස්‌ වත් නො පාගන බව සිතා ගනිමින්. 

සරසවි සිසුන් පිළිබඳව ඇතැම් දෙනා දරන මේ ආකල්පය ගැන සිතන විට ඇති වන්නේ විශාල කලකිරීමක්‌. සරසවි සිසුන් අතින් සිදු වන වැරැදි පමණක්‌ ම දකින සමාජය, ඔවුන් අතින් සිදු වන දහසකුත් එකක්‌ යහපත් ක්‍රියා හමුවේ ඇස්‌ කන් වසා සිටින්නේ කෙසේ ද යන්න සැබැවින් ම ගැටලුවක්‌.

එම නිසා ම මගේ සරසවි දිවිය තුළ අත්දැකීමට ලැබුණු සංවේදී සිදුවීමක්‌ මෙසේ දිග හරින්නට සිතුණා. 

2.
ඒ තවත් විඩා බර දවසක දහවලක්‌... ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා... දිවා ආහාරය ඉක්‌මනින් නිමා කර දේශන සඳහා යැමට සූදානම් වන සිසුන් සහ අනිකුත් කාර්ය මණ්‌ඩලය ඇතැම් අයත් යුහුසුලුව ම ආහාර ගත්තා... 
ඒ අතර ඉතිරි වී විසි කරන ආහාර වෙනුවෙන් බලා සිටින තවත් පිරිසක්‌ ද එතැන සිටියා. ඒ ඔබ මොබ ඇවිදිමින් සිටි සුනඛයන් පිරිසක්‌. ප්‍රදේශයට ම අණසක පතුරුවමින් සිටි ඔවුන් කිසිදු පිටස්‌තර සුනඛයකු හට ඒ ප්‍රදේශයට වත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. 

ඒ අතරතුර බැලීමට වත් ප්‍රසන්න නො වූ ලොම් හැළී ගිය බැල්ලියක්‌ හෙමින් හෙමින් ආපන ශාලාව වටා ඉව කරන අයුරු බොහෝ දෙනා දුටුවා. ඇය සිටියේ පැටවුන් ලැබීමට ඉතා ආසන්නවයි. එහෙත් ඇය වෙත වූ දුර්ගන්ධය සහ ලොම් හැළී තුවාල වී තිබූ ශරිරය නිසා කිසිවකු ගේ අනුකම්පාවක්‌ ඇය හට ලැබුණේ නැහැ. වෙනෙකක්‌ තබා ආපන ශාලාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සුනඛ රැළ පවා ඇය කෙරෙහි පෑවේ රැවුම් ගෙරැවුම් පමණයි. බොහෝ දෙනා ඇය පළවා හරින්නට තැත් කළා. ඇය ගොස්‌ මිදුල කොනක ගුලි ගැසුනා. 

එතරම් දැක පුරුදු නො වූ වෛද්‍ය සිසුවකු බත් පාර්සලයකුත් රැගෙන ඇය අසලට යනු මා දුටුවේ ඒ අතරතුර දීයි. කුමක්‌ සිදු වන්නේ දොඅ සිතාගත නොහැකි ව ම මා ඒ දෙස බලා සිටියා. 

ඔහු බත් පාර්සලය දිගහැර ඇය අසලින් තැබුවේ කිසිදු පැකිළීමකින් තොරවයි. 
එතෙක්‌ වේලා ඇයට රැවුම් ගෙරැවුම් පාමින් ආපන ශාලාව අවට සිටි අනෙකුත් සුනඛයන් ද ටිකෙන් ටික ඒ දෙසට ළං වනු දැනීම තරමක සිනහ උපදවන්නක්‌ වුණා. එහෙත් උන් හට ඒ දෙසට වත් ළං වන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඇය බත් කා අවසන් කරන තුරු ළං වන අනෙකුත් සියලු ම සුනඛයන් පලවා හරිමින් ඔහු ළඟට ම වී සිටියා. ඔහු එතැනින් නික්‌මුණේ ඇය අවසන් කළ බත් පාර්සලය ඔතා තිබුණු කොළය ද රැගෙනයි. 

මා පසුව දැනගත් පරිදි ඔහු අප ගේ තුන් වැනි වසරේ වෛද්‍ය සිසුවෙක්‌. දෙනෝ දාහක්‌ දෙනා බලා සිටින මෙහොතක, කිසිවෙකුත් පිළිබඳව තැකීමක්‌ නො කර, අසරණ සතකු ගේ කුසගිනි නිවන්නට වෙර දැරූ ඔහු පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. සතෙකු පිළිබඳ ඔහු ගේ ආකල්පය මෙය නම්, අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද? 

ඔහු පිළිබඳව තවත් මා කිසිවක් පවසන්නේ නැහැ. නමුත්, මම මෙසේ පවසන්නම්.

අත්වැරැදීම්, මායාකාරී වූ වැරැදි ආකල්ප නිසා ගැරැහීම් ලබන වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි බුද්ධියෙන් සිතා දෑස්‌ විවර කර බලන්නේ නම් නො දුටු විරූ අපූර්වත්වයන් ඔබට දකින්නට හැකි වේවි.

Image -  http://www.montrealdogblog.com/10075/survivor-dog-weak-emaciated-mercier/ , http://www.panoramio.com/photo/65981565 By Rajitha Lakmal