Saturday, October 25, 2014

දෙතොල් පෙති පියුමක්ව - විකසිතව හිනැහෙන්න

සිනහ මල් මගෙ නොවේ
එය මගෙන් නුඹ ගන්න
මට උරුම කඳුලු බිඳ
ආයෙමත් මට දෙන්න
නුඹේ දෙකොපුල් තෙමන
කඳුලු බිඳු බිම නොලා
ඒ කඳුලු එකතු කර
මගේ දෝතට දෙන්න

හද හඬන සිත දවන
සෙනෙහසේ චිතකයට
ඒ කඳුලු දිය දමා
සදහටම නිවන්නට

නෙතු විලේ උතුරනා
කඳුලු උල්පත වසා
එකම එක කඳුලකට
ආයෙමත් පණ දෙන්න

ඒ කඳුලු බිඳ නුඹේ
කොපුල් තෙමමින් ගලා
දෙතොල් ළඟ නැවති සඳ
විහ‍ඟෙකුට පවසන්න
විහඟ තෙම ත‍ටු සලා
එබැව් ගුවනේ ගයත
සෝ බරිත ගීතයක 
සොරය මට ඇසේවී

නෙත උපන් ඒ කඳුල
නුඹේ සුසුමන් සමග
මිය ඇදී වියැලිලා
දෙතොල් පෙති පියුමක්ව
විකසිතව හිනැහෙන්න
නුඹට ආසිරි දෙන්න 
මගේ හිත පතාවී


Monday, October 13, 2014

ඩේවිඩ් සහ සිමෙන්ති සිංහයා

Day 0

හම් වලින් හැදුවා වගේ පේන, ධූවිලි ගෑවුණ මගෙ සින්තටික් පටි සෙරෙප්පු දෙකයි, ඒ සෙරෙප්පු දෙකටම ගෙවුණු ඩෙනිමෙ අඩියයි දිහා මම බලන් හිටියා. ඇය බලන් හිටියෙ සිංහයා දිහා. සිංහයා කිවුවට සිමෙන්ති සිංහයෙක්. නිදහස් චතුරස්‍රෙ අලුතින් හදපු සිංහ රංචුවෙ සිංහයෙක්.
කිසිම අංගපුලාවක් නැති සිංහ ධේනුවව පෙනෙයි වගේ අනිත් පැත්ත බලන් ඉන්න වැහැරුණු සිංහයො තුන්දෙනාගෙන් කැතම සිංහයා.



ඒ සිමෙන්ති රූප වට කරගෙන ගලන වතුර ටිකක් මම අතගාලා බැලුවා. ටිකක් සීතලයි. ඒවගෙන් ටිකක් අරන් මම ඇය දිහාවට විසි කළා.කෙලිලොල් මුහුණ ටිකකට අඳුරු වෙලා ආයෙම හිනා වුණා. ලා නිල් පාට බ්ලවුස් එකේ ඊට වඩා ටිකක් තද පාට පැල්ලම් කීපයක් හදන ගමන් ඒ වතුර ඇගේ උරහිස හා බඳ සිප ගත්තා. 

ඊළඟට ඇගේ දෝතින්ම එන වතුර ගොඩකට නැහැවෙන්න වෙන බව දැන දැනම මම එහෙමම වාඩි වෙලා හිටිය.ඒත් වතුරට නිදහසේ ගලන්නට ඉඩ හැරලා ඇය තව ටිකක් මට ලං වෙලා ඉඳ ගත්තා. ලා රෝස පාට ගල් අල්ලපු රිදී පාට බ්‍රේස්ලට් එකත් එක්කම , කලින් මට අයිති වෙලා තිබුණ ඇගේ අත සිංහයගෙ පිට උඩින් තිබ්බ. හරියට හිතක් පපුවක් නැති ඒ සිමෙන්ති සිංහයා මටත් වඩා වටිනව වගේ

"මේ සිංහ පිළිම දක්කම මට මතක් වෙන්නෙ රෝමයෙන්ද කොහෙන්ද හොයා ගත්තු මූර්තියක්. ඔයාට මතකද, වෘක ධේනුවකගෙන් ළමයි දෙන්නෙක් කිරි බොන එකක්....."

"රොමියුලස් රේමස් දෙන්නගෙ රූපෙ.... මේක දැක්කම් ඔයාට ඒක මතක් වෙන එක අහන්න දෙයක් නෙමේනෙ. ඒකත් මේ වගේම කැතයිනෙ....."

"කොච්චර කැත වුණත් ඒක දැන් මෙතෙන්ට එන හැමෝම දකිනවනෙ. කැතයි කියල ඇස් වහගෙන යන්නයැ. 
ඇරත්, හැමෝටම, මයිකල් ආන්ජලෝගෙ ඩේවිඩ් වගේ ලස්සන මූර්ති හදන්නත් බෑනෙ....."

"ඩේවිඩ් ලස්සනද?"

"ලස්සනයිනෙ. බලන්න ලැජ්ජ හිතෙන තරමට ලස්සනයි"

"ලැජ්ජ හිතෙන තරමට....."

"ඔව්.... 
ඒ තරම් රියලිස්ටික් ඒක"

"වෙලාවකට ඔයා ගැන දුකත් හිතෙනව. ලස්සන ඩේවිඩ් ගැන හිත හිත, කැනහිලෙක් වගේ ඉන්න මේ සිමෙන්ති සිංහයා බදාගෙන ඉන්න හැටි දැක්කම"

බ්‍රේස්ලට් එකත් එක්කම ඇය වහාම අත ඉවතට අරන් පරිස්සමට තමන්ගෙ උකුල උඩින්ම තියා ගත්ත.
"ඔයාට මේ වෙලාවෙත් විහිලු. අපිට මෙච්චර ලොකු ප්‍රශ්නයක් කතා කරන්න තියෙද්දිත්......."

"ඉතින් ඔයානෙ පටන් ගත්තෙ."

"ඔයානෙ දිගට ඇදගෙන ගියෙ"

"හරි අපි කතා කරමු "

"එක අතකට කතා කළා කියල විසඳුමකුත් නෑ"

"නැත්තෙ නෑ, තියෙනව. ඒත් ඒක විස‍ඳෙන්නෙ අපිට අවාසිදායක විදියට"

"ඇයි ඔයා උත්සහ කරන්නෙ නැත්තෙ මාව අයිති කරගන්න?"

"උත්සාහ කළා. ඒත් ඔයාව මට අයිති නොවෙන්න ඔයාගෙ තාත්තා දරන උත්සාහය ලඟටවත් එන්න මගෙ අසරණ උත්සහයට ශක්තිය මදි..."

"ඔයාට දුක නැද්ද?"

"දුකයි"

"ඔයා මට ආදරේ නැද්ද? "

"ආදරෙයි"

"ඇයි ආදරෙයි කියන එකත් ඔය තරම් නොසැලකිල්ලෙන් කියන්නෙ? ඒකවත් ආදරෙන් කියන්න බැරිඩ ඔයාට?"

"පුළුවන්, මම දන්න ආදරණීයම වචන වලින් ඒක කියන්න මටත් පුලුවන්. දුකයි කියල කඳුලු පෙරාගෙන අඳන්නත් මට පුළුවන්.... ඒත් ඒ හැම දෙයක්ම ඔයාට ඒ විදියටම මතක තියෙයි. මම කැමති නෑ ඒ මතකයත් එක්ක ඔයා ජීවිත කාලෙම විඳවනවා කියල හිතන්න"

"දැන් ඔයා කිවුව දේ ඒ හැම දේකටම වඩා මගෙ හිතට යයි කියල ඔයාට හිතුණෙ නැද්ද? ඒ වචන ටිකම ඇති ජීවිත කාලෙම මට විඳවන්න කියල ඔයාට හිතුණෙ නැද්ද?"

"........................................."

"ඇයි මෙහෙම වුණේ?"

"මම දන්නෙ නෑ, ඔයා උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලුව දේ ඔයාට ලැබෙන්නෙ නෑ නේද?"

"දෙවියොත් තාත්තගෙ පැත්තෙ, මමම් පුංචියිනෙ තාත්තට වඩා.... ඒ හින්ද දෙවියන්ට පේනව ඇත්තෙ තාත්තව විතරයි"

"අර ග්‍රීක මිනිස්සුන්ට වගේ ආදරේට අධිපත් දෙවි කෙනෙක් ලංකාවෙත් හිටියනම් , මටත් ඔයාව ඉල්ලලා බලන්න තිබුණා....."

"ආයෙම විහිලු"

"ඒකනම් කිවුවෙ විහිලුවට නෙමේ...."

"මේ අපි හම්බෙන අන්තිම දවසද?"

"මම දන්නෙ නෑ. ඔයාගෙ යෝජිත සැමියා එන්නෙ කවද්ද?"

"ලබන සඳුදා, ඒ වචනෙ කියන්න එපා. මම කැමති නෑ"

"ඒ කියන්නෙ තව දවස් 4යි. අපි ආයෙ හම්බෙන එකක් නෑ............."

*******************************************************************************
Day 4

පාර පාට කාර් අස්සෙන් මගෙ බයිසිකලෙත් ටවුමට ඇවිත්.
අවුවට ඇස් පිච්චෙනව වගේ. පාරෙ තාර උණු වෙලා ටයර් වල ඇලෙන ගාන. 
බයිසිකලේ චේන් එක කර කර ගාන්නෙ හිතත් සූරන්න වගේ.
හුස්ම හිර වෙනව වගේ දැනෙනව. ඇයටත් ඒ විදියටම දැනෙනව කියල මම දන්නව. ඒ වගේම මට එහ්ම දැනෙනව කියල ඇය නොදන්න බවත් මම දන්නව.
එක දවසක් හරි ඒ හිතට දැනෙන  විදියට ආදරෙයි කියල කියන්න තිබුණ නේද කියල මට හිතෙනව.

 ඒ අතර දුරකතනය නාද වෙනව. 
ඇය!!

ඇමතුම විසන්ධි කරනවද..... 
ඒ මොකටද. අපි දෙන්න තරහ වුණේ නෑනෙ....

"ඇයි මේ?"

"දෙයක් කියන්න ගත්තෙ......
අරගොල්ලො ඊයෙ ආවනෙ....."

"............................"

"අද ඒ මනුස්සයගෙ අම්ම අපේ තාත්තට කෝල් කළා"

"ඉතින් මොනවද කියල තියෙනෙ?"

"ඒ කොල්ල...... නෑ... ඒ මනුස්සය සුදුයි......."

"මම ඇහුවෙ මොනවද කිවුවෙ කියල"

"ඒක තමයි, ඒ මනුස්සය සුදුයි.... මම කලුයි.  පුතාට ගැලපෙන්නෙ එයා වගේ සුදු එක්කෙනෙක් කියල කියන්න කතා කරල තියෙන්නෙ....."

"ඉතින් ඔයාගෙ තාත්තට ඒ වෙලාවෙවත් හිතිල නැද්ද ඔයාට ගැලපෙන්නෙ මම වගේ කලු කොල්ලෙක් කියල.....?"

"විහිලු නෙමේ, මොකද කරන්නෙ අපි, තව මාස දෙක තුනකින් ආයෙ ප්‍රපෝසල් එකක් ගෙනෙයි......"

"ඒ කියන්නෙ අපිට මාස 3කට ආසන්න කාලයක් තියෙනව"

"මොනවටද?"

"ආදරේට අධිපති දෙවි කෙනෙක් ඉන්නවද කියල හොයන්න...... එහෙම කෙනෙක් නැත්නම් නිර්මාණය කරන්න..............."

විදේශ ‍රැකියා ඒජන්සිය පෙනි පෙනීම ,ආපසු යන්නට මම බයිසිකලය පාරෙන් අනිත් පැත්තට ගෙන යමි. අඩුම තරමේ මගේ අම්මා හෝ සතුටට පත් වේවි ! 




සැ.යු. - Independence Arcade හි ඉදි කර ඇති සිංහ රූප පිළිබඳව මෙහි සඳහන් මතය, මෙම කතා නායකයාගේ මතයක් මිස, මගේ පෞද්ගලික මතය නොවන බව සහ ඒ සඳහා මා වග නොකියන බව කරුණාවෙන් සලකන්න. ;-)