Wednesday, December 31, 2014

චොක්ලට් සහ උළුඳු වඩේ

ලෝකයේ කොහෙත් ළමයි එක වගේ. පුංචි පුංචි වෙනස් කම් තිබුනට ළමයි ළමයිමයි. 
සරලව හිතල බැලුවොත් අපිට හිතෙන්නෙ එහෙමයි.



සීමා වාසික කාලෙ ළමා වාට්‍ටුවෙ වැඩ කරද්දි ඒ වගේ එක වගේ ඒත් එකිනෙකාට වෙනස් පුංචි ළමයි ගොඩක් ඇසුරු කරන්නට ලැබුණ. ජීවිතේ ක‍ටුකම කාල පරිච්ඡේදයක් වුණ සීමා වාසික කාල සීමාව තරමක් හෝ සරලව ගත කරන්නට ඒ ළමා වාට්‍ටුව උදවුවක් වුණා.

සීමා වාසික නිමා කළ පසුවත් ළමා වාට්‍ටුවක වැඩ කරන්නට තිබුණ ආසාව  හුදු ප්‍රාර්ථනාවකට පමණක් සීමා වෙලා, අන්තිමට ආයෙමත් නතර වෙන්න වුණේ (පොඩි වාසනාවකුත් ඉතුරු වෙලා තිබුණ නිසාද කොහෙද) ශල්‍ය වාට්‍ටුවක.

වැටෙන, තුවාල වෙන එක පොඩි දරුවටත් පොදු වුණ ධර්මතාවයක් නිසාම ඒ වාට්‍ටුවෙත් දවසකට පුංචි දරුවො දෙතුන් දෙනෙක් හෝ නවාතැන් ගන්නව. 
අන්න ඒ වෙලාවට නම් මම අර මුලින් කියපු, එක වගේ ඒත් වෙනස් දරුවො කීප දෙනෙක් දකිනව.

ඒත් මේ ප්‍රදේශයේ ළමයින්ගෙ මොකක්ද වෙනසක් වෙලාවකට මට දකින්න ලැබෙනව.
කතබහේ වුණත්  තරමක් අඩු බවක් තියෙනවද කියල හිතෙනව. 
එහෙමද, නැත්නම් අපි කතා කරන දෙමළ එයාලට "ග්‍රීක්"වගේ දැනෙනව වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම්, සීමා වාසික කාලෙ තරම් අපි වාට්‍ටු ‍රැ‍ඳෙන්නෙ නැති නිසා වෙන්නත් පුලුවන්.

ඒ වගේම ගොඩක් ළමයි වා‍ටුවෙ නවතින්නෙ අම්මලා එක්ක නෙමේ, ආච්චි අම්මල එක්ක. සමහරුන්ගෙ තාත්තලා නෑ. ආගිය අතක් නෑ. සමහරු වෙනත් පවුල් හදාගෙන. අපි හිතනවට වඩා වැඩි යමක් යුද්ධය විසින් ඔවුන්ට ඉතුරු කරල ගිහින්. වෙනත් වචන වලින් කියනව නම්, නැති කරල ගිහින්. 
(මොනව වුණත්, "Aftermath of war "කියල කියන්නෙ වෙනම දවසක වෙනම ලිපියකින් කතා කළ යුතු කාරණයක්.)

චොක්ලට්

වැඩියෙම අපිත් එක්ක කතා බහ කරන්නට පෙළඹෙන්නෙ නැති මේ කුඩා දරුවන් අතරෙ එක්තරා දරුවෙක් හිටිය මගේ විශේෂ අවධානයක් යොමු වුණ. ඊට හේතුව , වයස අවුරුදු 4ක් පමණ වූ ඔහු ඉතාම දඟකාර වීම. එක මොහොතක් වත් එක තැනක ‍රැ‍ඳෙන්න බැරි වුණ ඔහුව රෝහෙලේ රඳවා ගන්නට ඇතැම් විට ළමා වාට්‍ටුවේ ඔන්චිල්ලාව වෙත යවන්නටත් සිදු වුණා.

ඔහු වාට්‍ටුවේ නැවතී දින දෙකක් පමණ ගත වුණා. එදින සවස ward round සඳහා මම වාට්‍ටුවට ගියා. 
තවත් සම වයසේ ළමයින් දෙදෙනෙක් සමග ඔහු ලොකු සෙල්ලමක්. ඒ අතර අතේ පුංචි pop it පැකට්‍ටුවක්. අනිත් දෙදෙනාටත් එහින් එකක් හෝ ඔහු දී ඇති බව පෙනුණා

"මටත් එකක් දෙනවද? " මම ඔහුගෙන් ඉල්ලුවෙ සිංහලෙන්.

භාෂාව නොවැටහුනත්, මා පැවසූව වටහාගත් ඔහු
සිනා සී අත පි‍ටුඅපසට කරගත් ඔහු මා සමග කෙලිලො ලෙස සිනා සුනා.

"අනේ දෙන්නකො" මම ආයෙමත් ඉල්ලා සිටියා.

එක්වරම ආපසු හැරුණු ඔහු තමන්ගේ ඇඳ වෙතට දිව ගියා.හරියටම මා ඔහුගේ අතේ ඇති පොප් ඉට් පැක්ට්‍ටුව ඩැහැ ගැනීම වැලැක්වීමට වගේ.
එහෙත් ඇඳට නැගීම වෙනුවට ඇඳ අසල ඇති තන්ට අයත් ලොකරයේ ඇති සියලුම දෑ ඉන් අනතුරුව ඔහු විසින් බිමට ඇද දමන්නට වුණා.

ඔහුගේ අම්මා ඒ අසලට ගියේ කුමක් හෝ කඩා බිඳ දමාවි යැයි බියෙන් වන්නට ඇති. කුමකින් කුමක් වේදැයි මමත් බලා සිටිය. මොහොතකින් තමන් සෙවූ දෙය ඔහුට හමු වුණා.

ඒ නොකැඩූ විශාල චොක්ලට් එකක්. 

ඊලඟ මොහොතේ නැවතත් ඔහු මා වෙතට දිව ආවේ එම චොක්ලට් එකත් සමගින්.  "කැන්ඩොස්.... සාපඩින්ග"එය මා වෙතට දික් කරමින් ඔහු කියා සිටියා.
(සියලුම චොක්ලට් වර්ග හැඳින්වීමට මේ ප්‍රදේශයේ කැන්ඩොස් යන වචනය භාවිත වීම සුලභයි)

මට අදහා ගැනීමටත් බැරි වුණා. ඒ දඟකාර දරුවාගෙන් මා එවැනි ත්‍යාගශීලී බවක් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නෑ. කොතරම් එපා කිවුවත් ඔහු තම උත්සාහය කිසි ලෙසකින්වත් අත්හැරියේ නැ. කෙසේ හෝ එය ලබාගැනීමට මට සිදු වුණා. එය නැවත ඔහුගේ මවට මා ලබා දුන්නේ මා ward round අවසන් කර ආපසු යන විට ඒ පිළිබඳව ඔහුගේ අවසානය ගිලිහී ගිය පසුවයි.

උළුඳු වඩේ


අවුරුදු හයක් පමණ වයස ලියෝන් , වාට්‍ටුවෙ නවතින්නට ආවෙ අම්මයි, අවුරුදු එක හමාරක පුංචි මල්ලියි එක්ක. ලියෝන්ගෙ වගේම අම්මගෙයි මල්ලිගෙයි දෙන්නගෙයිත් දකින්න තිබුණෙ දරිද්‍රතාවයෙ උපරිමයට ගිය ලකුණු.....
ඔහුගෙ අතක තරමක් ලොකු සැරව ගෙඩියකින් පීඩා විඳිමිනුයි ඔහු හිටියෙ. එය පටන් අරන් දින දෙකක් පමණක් බව අම්මා පැවසුවත්, අඩුම තරමින් දින 5ක් වත් ගත වී තිබ්න්නට ඇති. එහි ස්වභාවය අනුව එය සැත්කමකට භාජනය කළ යුතුව තිබුණා.  

"බබා අන්තිමට කෑම කෑවෙ කීයටද?" ග්‍රීක හා සමාන වුණ මගේ දෙමළ භාශාව උදවුවෙන් මම ඇසුවා. (සිහි නැති කර සිදු කරන ශල්‍යකර්මයකට පෙර පැය 6ක් නිරාහාරව සිටීම අත්‍යවශ්‍යයි)

"ඊයෙ දවල්ට"

මවගේ පිලිතුරෙන් මා විමතියට පත් වුණා. ඒ වන විට වෙලාව උදේ දහයට ආසන්නයි. අඩුම තරමින් පැය විස්සක් හෝ ඊට ආසන්න කාලයක් මේ කුඩා දරුවා කුසගින්නේ සිටින්නට ඇති. 

එක් ආහාර වේලක් මග හැරුණත් දිනය පුරාවටම ඒ පිළිබඳව "නහයෙන් අඬන" අප සමග සසඳා බලන විට ඒ දරුවා ඒ ලෙසින් ඉවසා සිටීම පුදුමයක්. ඒ මව සමග අසාධාරණ කෝපයකුත් මගේ සිතෙහි ඇති වුණා. සැබෑ ලෙසින්ම ඒ දුප්පත් කම වන්නට ඇති. එතරම් දිනක් දරුවා ‍රැගෙන රෝහලට නොපැමිණ සිටියේද ඒ දිළිඳු කම නිසාම වෙන්නට ඇති.

මා එදින උදෑසන කෑමට ගෙනැවිත් තිබුණු උළුඳු වඩ දෙක ඒ වන විටත් තිබුණේ මේසය උඩ. 

දෙවරක් නොසිතාම මම එය ලියෝන් ට දුන්නා. 
ඔහු එය අරගත්තේ කිසිම පැකිලීමක් නොමැතිව. 
මා ඔහුව පරීක්ෂා කර අවසන් වූ පසුව ඔහු ඉක්මනින්ම රෝගීන් අසුන්ගන්නා බංකුව වෙත ගියා. 

තත්පර කිහිපයක හෝ ප්‍රමාදයකින් තොරව කෑම පාර්සලය දිග හැරිය ඔහුගේ මුහුණේ වුණේ මහත් සතුටක්. විශ්වාස කරන්න, කුස ගින්නේ සිට, ආහරයක් ලැබූ කිසිම කෙනෙක්ගේ මුහුනෙන් පළ නොවූ සතුටක් ඒ මොහොතේ මා ඔහු වෙතින් දු‍ටුවා. ඊ ළඟ ඒමොහොතේ ඔහු කළ ක්‍රියාව මගේ ඇස් වලට කඳුලු නංවන්නට සමත් වුණා.
වඩේ දෙකම අතට ගත් ඔහු ඉන් එකක් අම්මා අතට දුන්නා. ඉන් පසුව තමන් අතෙහි වූ වඩයෙන් කොටසක් කඩා මල්ලිගේ කටට ළං කළා.................

පුංචි දරුවන්ගෙ මනුස්ස කම අන් සෑම මනුෂ්‍ය ගුණාංගයකටම වඩා වටිනා බව එදා මට පැහැදිලි වුණා.