Monday, November 30, 2015

සෙල්ලම් බඩු

මට මතක විදියට පුංචි කාලෙ ඉඳන්ම මමවත් නංගිවත් කරදරකාර ළමයි වුණේ නෑ. ඒ කියන්නෙ එක එක දේවල් ඕනා කියල ඉල්ලලා අඬලා අම්මලාට කරදර කරලා නෑ. සමහර විට අපිට අවශ්‍ය හැම දේම කොහොම හරි අපි ඉල්ලන්න කලින් අම්මයි අප්පච්චියි ලබල දුන්න නිසා වෙන්න ඇති.

ඒත් ඕනම හොඳ ළමයෙක්ට වුණත් එක එක කාලෙට එක එක ආසාවන් ඇති වෙනවනෙ. 

එක දවසක් හදිසියෙම අපේ නංගිට "බෙර ගහන වළහෙක් " ඕනා වුණා. අවුරුදු 3ක් 4 ක්  වත් නෑ මට මතක විදියට එතකොට එයාට වයස.

වළහෙක් නම් කැලෙන් හරි හොයල ගෙනත් දෙන්න තිබුණා. ඒත් දෙය්යනේ, කොහෙන්ද "බෙර ගහන වළහෙක්" හොයන්නෙ.  බෙර ගහන වලස්සු මේ ලෝකෙ නෑ කියල කොයි තරම් තේරුම් කරන්න හැදුවත් අපේ නංගිගෙ කූඹි මොළේට ඒක තේරුණේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් "බෙර ගහන වළහෙක්" ඉල්ලන එක ඇරෙන්න එහෙම වලස්සු ඉන්නෙ කොහෙද කියන්න එයා දැන ගෙන හිටියෙත් නෑ. 

ටික දවසක් යන කොට තමයි අපිට තේරුණේ "බෙර ගහන වළස් සංකල්පය" එයාගෙ කූඹි මොළේට ඇතුළු වුණේ කොහොමද කියල. 
ඒ දවස් වල ටී වී එකේ යන වෙළඳ දැන්වීම් වලින් මෙයා වශී වෙලා බලාගෙන ඉන්න එකක් තිබුණා කියල අපිට ටික ටික තේරෙන්න ගත්තා. 
ඒක ''gripe water' ගැන වෙළඳ දැන්වීමක්.  
ඒකෙ තත්පර කීපයක් පෙන්නනව "බෙර ගහන වළහෙක් නෙමේ, හාවෙක්ව."  
මුළු ඇඩ් එකෙන්ම නංගිගෙ ඔලුවට ගිහින් තිබුණෙ ඒ හාවා ව විතරයි. 

ඒත් එක්කම "හාවා සහ වළහා යනු එකම සතෙක් බව හෝ, හාවාට වඩා වළහා ලස්සන බව හෝ, හාවාට වඩා වළහාගේ බෙර ගැසීමේ හැකියාව ඉහළ බව" හෝ සිතා සිටි නංගිට බෙර ගහන වළහෙක් සෙවීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කරන්නට අම්මයි අප්පච්චියි පියවර ගත්තා. ඒ දෙන්නාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් විදියට නංගිට ලැබුණා, බෙර ගහන වළහෙක් නෙමේ, වඳුරෙක්. 
කාලයක් යනකම්ම ඒ වඳුරා බෙර ගහමින්ම නංගි ළඟ හිටියා. කාලයක් යද්දි බෙරය ගැලවිලා ගියත් ඒ වඳුරා ගොඩක් කල් ජීවත් වුණා. 

මට හදිසියෙම ඒක මතක් වුණේ ඊයෙ පෙරේදා දවසක ගිය කඩේකට ගිය වෙලාවක දැකපු මෙයා නිසා. මෙයාගෙම නිවුන් සහෝදරයෙක් තමයි නංගි ළඟ හිටියෙ. මෙයාගෙත් බෙරය ගැලවිලා ගිහින්, ඇඳුම් ඉරිලා... ඒ නිසා කඩේ පැත්තකට විසි කරලා දාලා හිටියෙ. 

හරියට "toy story 3" වගේ. 

සෙල්ලම් බඩු එක්ක මගේ ලොකූ ආත්ම ගත බැඳීමක් තිබිලා නෑ කවදාවත්. ඒත් මට තවම මතක සෙල්ලම් බඩු කීපයක් තිබුණා මට පොඩි කාලෙ. සෙල්ලම් කෝච්චියක්, ලොකු ගැහැණු බෝනික්කෙක්, කොල පාට හොල්මනක් වගේ බෝනික්කෙක්, ‍රැලි ‍රැලි රත්තරන් පාට කොණ්වඩයක් තිබුණ පිරිමි බෝනික්කෙක් ඒවගෙන් මට වැඩියෙන්ම මතක සෙල්ලම් බඩු. ඒත් මගෙ අතින් ඒවලට ලොකු සැලකිල්ලක් දැක්වුවා කියල මතකයක් නෑ. ඒ කාලෙත් වැඩියෙන්ම ආසවක් දැක්වුවෙ පොත් වලට නිසා වෙන්න ඇති.

ඒත් අවුරුදු ගාණකට පස්සෙ "toy story" බලද්දි මගෙ හිතට විස්තර කරගන්න අමාරු දුකක් දැනුණ මගෙ ඒ සෙල්ලම් බඩු ගැන. මම දන්නෙත් නැතුවම හොඳටම මට ඇඬුණා. සෙල්ලම් බඩු වලට හැඟීම් තියනව කියල මට හිතෙන්න පටන් ගත්තා බැලුවට පස්සෙ. 

පොඩි කාලෙ සෙල්ලම් බඩු වලට විශේෂ ආසාවක් නොතිබුණත් , '' stuffed animals'' වලට නම් මම තවමත් ආසයි. කඩවල් වල ගොඩ ගහල ඉන්න බෝනික්කො, සත්තු දකිද්දි දැන් මට දැනෙන්නෙ , ඒ සේරම මම දිහා බලාගෙන ඉන්නව වගේ හැඟීමක්. 

එක කාලයක් තිබුණ, මමත් උදේ හවස "ටෙඩියෙක්" ඉල්ලලා හබී ට ( ඒ කාලෙ හබී නෙමේ) කරදර කරපු කාලයක්. අවුරුදු දෙකක් විතර උදේ හවස මන්තරයක් වගේ මැතිරුවාට පස්සෙ මට ඒ විදියෙ " ටෙඩියෙක්" හම්බුණා. මම මේ වෙනකම් දැකල තියන ලස්සනම ටෙඩියා තමයි ඒ. 

එක කාලයක් stuffed zebra කෙනෙක් හෙව්ව කාලෙකුත් තිබුණා යාලුවෙකුයි මමයි, ඒකට හේතුව නම් අහන්න එපා....... :P මතක් වෙද්දිත් හිනා යනවා. 

මේ සේරම සෙල්ලම් බඩු වලට වඩා මට වඩාත් මතක තියෙන්නෙ, මම කෙනෙක්ට දුන්න තෑග්ගක්.

ඒ මම වෛද්‍ය විදායලයෙ තුන් වෙනි වසර,
ජයවර්ධන පුර රෝහලේ ළමා වාට්‍ටුවෙ සායනික පුහුණුව තිබුණ කාලෙ. 

ඒ වාට්‍ටුවෙ නැවතිලා හිටියා අවුරුදු 3ක පමණ පුංචි දැරියක්. අවාසනාට ඇයට ඩවුන් සහලක්ෂනය. නමුත් ඇයගේ හුරතල් බවේ නම් කිසිම අඩුවක් තිබුණේ නෑ. ඒත් ප්‍රතිපත්තියක් ලෙසින්ම සුදු කෝට් ඇඳගත් අප කිසිම කෙනෙක් තමන් අසලටවත් නො එන්නට ඇය වග බලා ගත්තා. 

"කෑගසා, බිය වද්දා පළවා හැරීම" තමයි ඇය විසින් අනුගමනය කළ ක්‍රියා මාර්ගය. 
මගේ අවාසනාවට වෛද්‍ය සිසුන් අතර රෝගීන් බෙදන විට ඉබේම ඇය මගේ රෝගියා වී තිබුණා. ඇයව කෙසේ  යහලු කර ගැනීම හැරෙන්නට මට වෙනත් විකල්පයක් තිබුණේ නෑ.  ඉතින් මම තීරණය කළා අඩුම තරමෙ සෙල්ලම් බඩුවක් ගෙනිහින් දීලා ඒකට උත්සහ කරන්න.
මම ‍තෝර ගත්තෙ තද රෝස ලුමිනස් පාට මිනි මවුස් කෙනෙක්. 

පුදුමයකට වගේ ඇය ඒ මිනී ට ආකර්ෂණය වුණා වගේම මාත් සමග ඉතාම යහලු වුණා. 
ඉන් අනතුරුව මට සිදු වුනේ ඇයගේ රෝගය පිළිබඳව ඉගෙන ගැනීම කෙසේ වෙතත් ඇය සමග සෙල්ලම් කිරීම සහ ඇයගේ සියලු හුරතල් වැඩ බලා සිටීමට

Saturday, November 14, 2015

වංචාව

රෝගීන් කියන්නෙ නිරන්තරයෙන්ම අපේ අවධානය ලැබිය යුතුම කොටසක්. බොහෝ විට ඔවුන් අපේ අනුකම්පාවටත් භාජනය වන්නේ, ඔවුන්  පත් වෙන රෝගී තත්වය ට 100% ක් වගකිව යුත්තේ ඔවුන් නොවන නිසා. තමන්ගේ වැරදි නිසා අසනීප වන්නන්ද නැතුවා නොවේ. නමුත් ඒ ඉතා සීමිත පිරිසක්. ඒ කෙසේ වෙතත්, තමන්ගේ වරදින් රෝගාතුර වූ රෝගීන් පිළිබඳවත් නොපහන් හැඟීම් පහල වන්නේ ඉතාම කලාතුරකින්

මීට වසර තුනකට පමණ සිදු වූ මෙම සිදුවීම තවමත් මා සිතේ විටින් විට හොල්මන් කරන සිදු වීමක්. ඒ දින වලම , මේ පිළිබඳව සටහන් තැබීමට සිත් වුවත්, එහි වූ අලුත් ස්වභාවය එයින් මා වැලැක්වූවා.

මේ සටහා නිසා , කාගේ හෝ සිතක් රිදේවිද යන සැකය තවත් මා තුළ නැතුවා නොවේ. නමුත්, අප ජීවත් වන සමාජය , අප සිතා සිටිනවාටත් වඩා කොපමණ වෙනස් දැයි පෙන්වීමට මෙය ලියා තබන්නට සිතුනා.

ඒ ශල්‍ය වාට්‍ටුවේ මගේ  සීමාවාසික පුහුණුව අවසන් වන්නට ඔන්න මෙන්න තිබූ කාලය. දිනය ඉරිදාවක්. සුපුරුදු ලෙසම ගතින් හා මනසින් සන්නාහ සන්නද්ධවයි සියලු දෙනාම ඉරිදා සවස් භාගය වන විට සිටින්නේ. ඒ ,ඉරිදා දින සවසට, රිය අනතුරක් හෝ කෝලහාලයක් නිසා එක අසාධ්‍ය රෝගියෙකුවත් අඩුම තරමේ වාට්‍ටුවට ඇතුළු වන බව දන්න නිසා . 

සිතූ පරිදිම සවස 6 වන විට තරුණයකු වාට්‍ටුට ඇතුළත් කරනු ලැබුවා. බැලූ බැල්මට රිය අනතුරක්. ඉතාම පිළිවෙලට ඇඳ පැළඳ සිටි අතර ‍රැවුළ පවා පිළිවෙලට , රටාවකට කපා තිබුනා. බාහිර කිසිදු තුවාලයක් ඔහු සතුව තිබුණේ නෑ. එහෙත් ඒ වන විටත් ඔහු සිහිසුන්ව සිටියා. ඔහු වෙතින් සැර මත්පැන් ගඳක් වහනය වුවත්, සිහිසුන් වීමට හේතුව එය නොව ,  අනතුර නිසා හිස තුළට සිදු වී තිබූ ලේ ගැලීම බව, සායනික පරීක්ෂා කිරීම් තහවුරු වුණා. 

පුදුමයකට මෙන් ඒ වන විටත් ඔහුගේ ජංගම දුරකතනයට සම්බන්ධ වූ 'hands free"  එක ඔහුගේ දෙකනෙහි ‍රැඳී තිබුණා.
"මේව කණේ ගහගෙන ගිහින් තමයි, මෙහෙම දේවල් වෙන්නෙ" තරමක වයස්ගත සාත්තු සේවකයකු එය දැක පැවසුවා මට තවම මතකයි.
"මොනව වුණත් පිළිවෙල ට ඉන්න කොල්ලෙක්  වගේ" හෙදියක් ද පැවසුවා. එය නම් සැබෑවක් බව මා හටත් ඒ වෙලාවෙහි සිතුණා.

ඔහුගේ හිසට සිදු වූ හානිය කොපමණදැයි තීරණය කිරීමටත්, ඒ සඳහා යම් ශල්‍යකර්මයක් අවශ්‍යදැයි බැලීමටත් ඔහුව කොළඹ ජාතික රෝහලට ගෙන යාමට තීර්ණය වුණා. ගැටලුව වුණේ, ඒ පිළිබඳව ඔහුගේ පවුලේ අයට දැනුම් දීමට හැකි කිසිදු ක්‍රමයක් නොතිබීමයි. ඔහුව රෝහලට බාර දුන් අයද ඒ වන විට වාට්‍ටුවෙන් අතුරුදහන් වී තිබුණා. වාසනාවකට මෙන් ඔහුගේ ජාතික හැඳුනුම් පත ඔහුගේ පසුම්බියේ තිබී හමු වූ අතර , එහි වූ ලිපිනය රෝහල් පොලිසිය වෙත අප ලබා දුන්නේ, ඔහුගේ පවුලේ අයට එම අනතුර පිළිබඳව දැනුම් දෙන්න ලෙසට දන්වමින්.

ඉන් අනතුරුව ඔහුව යුහුසුළුව ජාතික රෝහල කරා අප විසින් ‍රැගෙන යනු ලැබුවා. ඔහුගේ ලිපිනය සඳහන්  නිවසේ කිසිවෙකුත් නොමැති බව රෝහල් පොලිසිය මගින්  අප දැන ගත්තේ ඒ යන අතර තුරදීයි.

ඔහුගේ සාක්කුවේ වූ ජංගම දුරකථනය අප හට සිහිපත් වූයේ ඒ වෙලාවේදියි. එය ඉතාම අලුත් දුරකතනයක්. පුදුමයකට මෙන් එහි පුද්ගල නාමාවලියේ කිසිදු පුද්ගලයකුගේ අංකයක් සටහන් වී තිබුණේ නෑ. එය එදිනම හෝ, ඉන් පෙර දින ලබා ගත් දුරකතනයක් බවට අප තීරණය කළේ, එහි ඇතුළත් සිම් කාඩ් පත කඩාගත් විට ඉතුරු වන කොටස, ඒ වන විටත් ඔහුගේ පසුම්බිය තුළ තිබීම සහ, දුරකතනයේ ඇමතුම් ලබාගෙන තිබුණේ එදිනම පමණක් වූ නිසා. 

එහි වූයේ ඇමතුම් ලබා ගත් අංක දෙකක් පමණක් වූ අතර, ඉන් එකකට සැලකිය යුතු වාර ගණනක් අමතා තිබුණා. අපද එම අංකයම නැවත් ඇමතීමට උත්සහ කළා.එම දුරකතනය නාද වූ  නමුත් එයට කිසිවෙකුත් පිළිතුරු ලබා දුන්නේ නෑ. ඔහුගේ කෙටි පණිවුඩ වලත් තිබුණේ, එම අංකයටම යැවූ පණිවිඩ. ඒවා ගැහැණු ළමයෙකුට යැවූ පණිවිඩ වූ අතර ඇය ඒවාට පිළිතුරු එවා තිබුණේ ඉතාම තරහකින්. එවා කියවූ අපට අති වූයේ ඔහු පිළිබඳව මහත් වූ කණගා‍ටුවක්. ඒ පිළිබඳව සිත් තැවුලෙන් මෝටර් සයිකලයේ ගිය ඔහු ඒ නිසාම අනතුරට පත් වූවාද යන සැකයත් අප තුළ හට ගැනෙමින් තිබුණා. 
එම අංකයට තවත් කිහිප වතාවක් ඇමතීමට අප උත්සාහ කළා. අවසානයේදී ඇය එයට පිළිතුරු දුන්නා. එම තරුණයාගේ අනතුර පිළිබඳව සඳහන් කළ විට ඇය පවසා තිබුණේ ඇය ඔහුව නාඳුනන බවත්, ඔහුගේ ඇමතුම් සහ , කෙටි පණිවුඩ නිසා ඈ මහත් අපහසුතාවයට පත් වී ඇති බවත් . එම ප්‍රකාෂයේ සත්‍ය අසත්‍ය තාවය නොදැනම අප ජාතික රෝහල වෙතට ළඟා වුණා. එහෙත් ඔහු පිළිබඳව අපේ හිත් වල තිබුණ අනුකම්පාව දශමයකින් හෝ අඩු වී තිබුණේ නෑ. ඔහුව ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කරනු ලැබුවා. 

ඉන් විනාඩි 30ක් ගත වීමට මත්තෙන් වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් හදිසි අනතුරු අංශය ඉදිරිපස නවත්වනු ලැබුවා. ඉන් බැස ගත්තේ විලාප දෙමින් පැමිණි වයස්ගත කාන්තාවක්.
තරමක කලබගෑනියක් ඇති කළ ඇය, අප විසින් රගෙන ආ තරුණයාගේ මව. ඈ ඔහුට අයත් වූ පරණ සායන පොත් ආදිය බොහොමයක් රගෙන විත් තිබුණා. 

ඒවාට අනුව ඔහු හීමො‍ෆිලියා රෝගියෙක්. හීමොෆීලියා රෝගීගේ රුධිරය, සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉක්මනින් කැටි ගැසෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ සිදුවන රුධිර වහන ඉතා බරපතලයි.

ඉන් නොබෝ වේලාවක පසුව ඔහුගේ CT වාර්තාවත් ලැබුණා. බලාපොරොත්තු වූ පරිදිම, හිස අභ්‍යන්තරයේ විශාල ලේ ගැලීමක්. එය ශල්‍යකර්මයකින් නිවැරදි කළ නොහැකි තරම් විශාල වූවක් බව ස්නායු ශල්‍ය ඒකකය මගින් තීරණය කරනු ලැබුවා. 
ඒ බව ඔහුගේ මවටද දැනුම් දෙනු ලැබුවා. 

අප සියල්ලන්ම පුදුමයට පත් වූ කාරණය සිදුවූයේ ඉන් අනතුරුවයි. "අනේ අර දරුවො දෙන්නට මම මොකද කියන්නේ" කියමිනුයි ඉන් පසුව ඔහුගේ මව හඬා වැලපුණේ. එය සියල්ලන්ටම ඉමහත් ගැටලුවක් වුණා. 
ඇයගේ හැඬුම් තරමක් යටපත් වූ පසුව සෙමෙන් ඇය වෙතට ලං වූ මම ඇය සමග මදක් කතා බහ කරන්නට සිතුවා
"මෙයා බැඳලද අම්මා?"
"අනේ ඔව් දුවේ...... බැඳල දරුවො දෙන්නෙකුත් ඉන්නව. ගෑණු ළමයිම දෙන්නෙක්. සල්ලි නැති නිසා ලේලි රට ගියා. එයත් හරි අමාරුවෙන් එහෙ ජීවත් වෙන්නෙ.....  මේ ළමයට මම හැමදාම කියනව මෝටර් සයිකලේ යන්න එපා, බොන්න එපා කියල ......... ඒත් අහන්නෙ නෑ. අදත් මට හොරෙන් යාලුවො එක්ක ගිහින් බීල අවිල්ලනෙ මෙහෙම වුනේ......." ඒ ඈ පැවසූ කතාවේ සාරාංශයයි.

ඒ වනතුරු ඔහු පිළිබඳව අනුකම්පා කළ අපට, ඔහු පිළිබඳව ඇති වූ කළකිරීම කෙබන්දුදැයි සිතා ගන්නට පුළුවන්ද?

විදේශයක දුක් විඳින ඔහුගේ බිරිඳ, අහිංසක දරු දෙදෙනා, දුකට පත් මව.... එපමණක් නොව කොහේ හෝ සිටින අහිංසක ගෑණු ළමයකුව රවටන්නටත් ඔහු උත්සහ දරා තිබුණා. ඒ සියල්ලම කණ පිට හැරී, අවසානයේ ඔහු විසින්ම ඔහුගේ ජීවිතයට කරගෙන තිබුණේ ‍රැවැට්ටීමක් සහ වංචාවක්........... 

දින කීපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු සිහිය නොලබාම අවසන් ගමන් ගියා


Thursday, October 22, 2015

වැහි කඳුලු පිසින දේදුන්න

බිම බලාගෙන වැහි වලාකුළු
කඳුලු දිය එකිනෙක හෙළන්නට
හඬා වැලපෙනු සැරසෙනා'යුරු
මීදුමක සැඟවී බලන්නට
අඳුරු වැහි කඳුලකට සිනහව 
ගෙනෙනු සිතුනා දේවදුන්නට
පෙරඹරින් නැග රුසිරු විසිකර
සත් වණින් විපුලිතව හිනැහින

ඉමක් නොපෙනෙන අනන්තය වෙත
හැලූ දේදුණු පැහැය පැහැසර
සීත මුදු පවනැල් රොදක් සේ
හාදු පිදුවා වලාකුළ වෙත
කඳුලු පිණි කැට පබලු අතරින්
පෙරී ආ සුදු සිනා මල් මැද
දේදුන්න මැකිලා ගියා , වැහි
කඳුලු වියලී නෙත් හරිනු දැක

හඬන්නට සිතුවාලු වැහිකළු
ආයෙ දවස පාලු අහසක
බලා සිටියා පැමිණෙනා තුරු
දේදුන්න කඳුලැලි පිසින්නට
තව තවත් නුබ අඳුරු වී මිස
දේවදුන්නක සලකුණක් නැත
ඉකි ගසා තනිවමම හැඬුවා
කඳුලු සයුරක් ගලා යන්නට

Sunday, October 11, 2015

දුක හිතුණ අහස

පරව යන රතු රෝස මල් දැක
නීල අහසට දුක හිතෙන්නැති
මලට යලි රතු පාට දෙන්නට
රතු වලාකුළු පොරව ගන්නැති
වලා පෙළ සඟවනා කඳුලැලි
මොහොතකින් ගිලිහිලා යනු ඇති
ගෙවී ගිය මොහොතක්ම ගානේ
නික්ම ගිය හිරු සොයනවා ඇති

තරු පිරී ගැබ්බර වු අහසින්
කඳුලු පිණි දිය සේ වැටෙනු ඇති
නැවුම් තරු ඉඳු  තරු සමග, පෙම්
සුව විඳිනු දැක තව හඬනු ඇති
හිරු නැවත යළි එන තුරා ඇය
වරු ගණන් හෝරා ගනිනු ඇති
කඳුලු දිය පිසදමා උදයෙම
හිනැහෙන්න මග බලනවා ඇති


Saturday, September 19, 2015

ගින්දර කඳුලු

වෙලාව පාන්දර 1 ට විතර ඇති. විඩාපත් තවත් දවසක අවසානයක්. නින්දට යද්දි හිතුනෙ එහෙම. ඇඳට වැටීම සහ ඇස් පිය වීම අතර තිබුනෙ තත්පර කීපයක වෙනසක් විතරයි සුපුරුදු විදියටම.

ඒත් නින්දට වැටිලා ගත වුණේ පැයකටත් අඩු කාලයක්.

දුරකතනය නාද වුණා. "ගෙයක් ගිනි අරන්, තුන් දෙනෙක් අරන් ආව......." පණිවිඩයෙන් කියවුණා.ඒ ස්වරයෙම තිබුණෙ තැති ගැන්මක්.... 
වාට්‍ටුවට දුවන අතරතුර මගෙ හිතේ තිබුණෙ , තුන් දෙනාම දරුණු පිළිස්සුම් තුවාල ලබා නොතියෙන්න කියන ප්‍රාර්තනය.

පිච්චිලා තිබුණෙ අම්මයි, පුතාලා දෙන්නයි. 
අම්මයි, අවුරුදු 4 ක පුංචි පුතයි දෙන්නම ගැගැණු වාට්‍ටුවට ඇතුළත් කරලා, අවුරුදු 15ක පුතාව පිරිමි වාට්‍ටුවට ඇතුළත් කරලා තිබුණ. පිලිස්සුම් තුවාල ලැබූ රෝගීන් තුන් දෙනෙක්ව එකම වෙලාවෙ බලන එක අමාරු වැඩක්. විශේෂයෙන් ගින්දරට පිලිස්සුණ රෝගීන්ව. ඒත් ,වෙන කෙනෙක්ට උදව්වට  කතා කරලා ඇහැරවන්නත් හිත නොදෙන වෙලාවක් ඒක. 

වාසනාවට අම්මා ව එතරම් පිලිස්සී තිබුනෙ නෑ. ශරීරයේ මතුපිට ප්‍රමාණයෙන් 15 %ක පමණ සුළු ප්‍රමාණයක් පමණයි ඇය පිළිස්සී තිබුනෙ... ඒ නිසා ඇය පිළිබඳ අවධානය මදකට අඩු කරන්නට හැකියාවක් ලැබුණා. 
පුන්චි දරුවාගෙ පිලිස්සුම් තුවාල අම්මගෙ තුවාල වලට වඩා වැඩු වුණත්, වැඩිමහල් දරුවාගෙ තර නම් ප්‍රබල වුණේ නෑ. 
ඔහුව ඒ වන විටත් ගලා යන ඇල් ජලයෙන් නහවා තිබුණේ නෑ. පාන්දර 2 වැනි වෙලාවක කුඩා දරුවෙකු නැහැවීම ලේසි කටයුත්තක් නොවේ. ඒත්, අනෙක් දරුවා පිළිබඳව බැලීමට කාලය ඉතුරු කර ගැනීමටත්, ඇල් ජලයෙන් ඔහුව සේදාම අත්‍යවශ්‍ය කරුණක් වූ නිසාත් එය සිදු කළ යුතුම වුණා.

අවුරුදු 15ක් වූ දරුවාගේ ශරීරයේ මතුපිටින් 65% ක් පමණ පිලිස්සී තිබූ අතර, එම තුවාල තරමක් ගැඹුරු ඒවා වුණා. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දිය යුතු වුණා. අවශ්‍ය වේදනා නාශක, ප්‍රති ජීවක මෙන්ම , නියමිත දියර ප්‍රමාණද ඉක්මනින් ලබා දුන්නා.

සාමාන්‍යයෙන් , ශරීර ප්‍රමාණයෙන් 65%ක් පිලිස්සී ඇති විට එම රෝගියාව බේරා ගැනිම ශ්‍රී ලංකාව වැනි රටක අපහසුයි. එහෙත්, ඒ අවස්ථාවේදී ඒ යතාර්ථය කිසිම ලෙසකින් මට මතක් වුණේ නෑ. 
වේදනාව හැරෙන්නට ඔහු ඒ වන විට ඉතාම හොඳින් පසු වීම එසේ වන්නට හේතු වන්නට ඇති. ඔහු සඳහා සිදු කළයුතු, සහ සිදු කළ හැකි සියලු මූලික ප්‍රතිකර්ම සිදු කර අවසානයේ මම නැවතත් ගැහැණු වාට්‍ටුවට ගියා.

දරුවාගේ අම්ම සිටියේ හැඬූ කඳුලින්. ඇය ලබා සිටි පිලිස්සුම් තුවාල සම්බන්ධව ඈ හට කිසිදු වගක් වත් තිබුනේ නෑ. ඇයගෙ එකම ගැටලුව වූයේ තම දරුවන් දෙදෙනාම ගින්නකට හසු වී පිලිස්සී තිබීම. එහෙත් ඒ වන විට කුඩා දරුවා ඉතාම සතුටින් සෙල්ලම් කරන්නටත් පටන් ගෙන තිබුණේ පුදුමාකාර ලෙසට. වේදනාවෙන් පෙළෙන රෝගීන් හට වේදනා නාශක කොයි තරම් වැදගත්ද යන්න මට ඒ තරමට පැහැදිලි වූ වෙනත් අවස්ථාවක් නොමැති තරම්.  

කතාව මෙතනින් අවසන් වන්නේ නැහැ. 

පහුවදා උදැසන වාට්‍ටුවට ගිය වහාම මා ගියෙ පිලිස්සුම් තුවාල ලැබූ වැඩිමහල් දරුවා බැලීමටයි. ඒ වන විට මා ඔහුව අවසන් වරට දැක පැය 3ක් පමණ ගත වී තිබුණා. ඔහුගේ තත්වය ඉතාම ශෝචනීය වුණා. පාන්දර පැහැදිලිව නොපෙනුණ පිළිස්සුන ස්ථානත්, ඒ වන විට දිය බුබුලු මතු වී පෙනෙන්නට පටන් අරන් තිබුණා. පිලිස්සුන ප්‍රමාණය 70%කට ආසන්න බව මට වැටහුණා. 
නමුත් ඔහු ඒ වන විටත් ඉතාම හොඳින් කතා කරමින් සිටියා. 

"දැන් කොහොමද?" මම හැම රෝගියෙකුගෙන්ම උදේට අසන ප්‍රශ්නය ඔහුගෙනුත් අහුවා.
"ටිකක් හොඳයි" ඔහු පැවසූවේ වේදනාව අඩු වීම පිළිබඳව වෙන්නට ඇති. 

"සෝඩා බොන්න පුලුවන්ද මට? " ඔහු ඊලඟ මොහොතේ මගෙන් අසා සිටියා.  ( මෙම ප්‍රදේශයේ වැසියන් සියලුම සිසිල් බීම වර්ග හඳුන්වනේ සෝඩා යනුවෙන් බව මා මීට පෙර ලිපියකත් සඳහන් කළා මතකයි )

"සෝඩා බොන්න එපා. හොඳ නෑ, වතුර, තේ, කිරි වගේ මොනව හරි බොන්න" මම ඔහුට උපදෙස් දුන්නා.
"ආස නිසා දෙමුද ඩොක්ට?" මා සමග සිටි හෙද නිලධාරියාත් මගෙන් ඇසුවේ ඔහු පිළිබඳව අනුකම්පාවෙන්. එහෙත් ඔහුට කෘත්‍රිම  සිසිල් බීම පානය කිරීමට අවස්ථාවක් ලබා දීමට මගෙ සිත කොහෙත්ම ඉඩ දුන්නේ නැහැ. 
ඔහු ඉන් අනතුරුව පැවසූ දෙය වටහා ගැනීමට මගේ දමිළ භශා දැනුම ප්‍රමාණවත් වුණේ නැහැ. එය මට වටහා දුන්නේ හෙද නිලධාරියා.
"මම කොහොමත් මැරෙනවනෙ, ඒ නිසා ආසා දේවල් කන්න බොන්න දෙන එක හොඳයි නේද..." ඔහු මගෙන් අසා තිබුණා. 
"ඔයා මැරෙන්නෙ නෑ " මගේ උත්තය වුණ අතර හෙදිය එය ඔහුට එය පරිවර්තනය කර දුන්නා. ඔහුගේ මුහුණේ ඇඳුණේ සැනසීමක සේයාවක්. ඔහු නැවතත් "සෝඩා " ඉල්ලා සිටියේ නැහැ.

නමුත් ඔහුගේ තත්වය සතු‍ටුදායක නොවන බව ඒ වන විට සියල්ලන්ටම වැටහෙමින් තිබුණා. ඊට හේතුව වුණේ ශරීරයේ ඉතා විශාල කොටසක් පිළිස්සී තිබීම. 

කෙසේ වෙතත්, ඔහුගේ වයසත්, අනෙකුත් සාධකත් පිළිබඳව සලකා බැලූ මගේ විශේෂ වෛද්‍යතුමා ඔහුව ආසන්න රෝහලක පිළිස්සුම් වාට්‍ටුවකට මාරු කර යැවීමට තීරණය කළා. එම තීරණය පිළිබඳව මා පෞද්ගලිකවම සතු‍ටු වුණා, මන්ද යත්  වාට්‍ටුවට පැමිණි මොහොතේ සිටම ඔහු පිළිබඳව ප්‍රතිකාර බොහොමයක් සිදු වුණේ මගේ අතින් වීම නිසායි. ඔහු ජීවත් වනවා නම් ඒ තරම් සතුටක් තවත් කොයින්ද.... 

එහෙත් සිදු වී තිබුණේ නොවන්නට ප්‍රාර්තනා කළ දෙයමයි. ඔහු ලබා තිබූ තුවාල අනුව ඔහුව ජීවත් කළ නොහැකි බවට නිවැරදිව නිගමනය  කළ එම ඒකකයෙන් ඔහුව සවස් වන විට නැවතත් අප රෝහලටම මාරු කර එවා තිබුණා. ඒ අතරමගදී ඔහු අවසන් සුසුම් හෙළලා.

රෝගීන් මිය යන විට ඇත්තෙන්ම දුකයි. පිළිකා වැනි රෝග නිසා ජීවිතය සමග පොර බදින ඇතැම් රෝගීන් හට එය සැනසීමක් බව සිතෙන වාරද බොහොමයි.

නමුත් මිය ගිය රෝගියෙක් නිසා වෛද්‍යවරයකුට කඳුලු එන්නේ නම්, එය එතරම්ම සුලභ සිදුවීමක් නොවේ. 

එහෙත්, ඔහු මිය ගිය බව ඇසූ මොහොතේ මගේ ඇස් වලින් කඳුලු කඩන් වැ‍ටුණේ ඉබේම. නවත්වා ගන්නට අපහසු ලෙසින් එසේ සිදු වුණේ බොහෝ කලකට පසුව. 
"මම කොහොමත් මැරෙනවනෙ, ඒ නිසා සෝඩා බොන්න දෙන්න....." ලෙසින් ඔහු ඉල්ලූ ඉල්ලීම ඉ‍ටු නොකිරීම පිළිබඳව දැනුත් මගේ හිතේ ඇති වෙන්නේ විස්තර කල නොහැකි අන්දමේ දුකක්.....

සිහි වෙන විට තවමත් ඇසට කඳුලු නංවන්නට සමත් ඒ දරුවා කොහේ හෝ සතුටින් සිටින්නවා නම් කොයි තරම් හොඳද...........

Saturday, June 27, 2015

පරසතු මලක් වූ මදාරා මල

සිසි කිරණ සීතලට 
මුව අසල දැවටි සඳ
මදාරා මල් සුවඳ 
පවනක්ව දැනුණ ලෙද....
මදාර රොන් තුහින
දුරක සිට ඉසින බව
නිශා යම තරුවක්ව 
හිත් අහසෙ ලිවූ නුඹ..

පියාපත් සිඳ දැමුව
අඳුරු කඳු ශිඛර මැද
මං මුලා වූ දෙනෙත්
තරු ඇසින් දු‍ටුව නුඹ
දුර අඳුරු අහස් ගඟ
රළු වලා සීඳ දැමුව
දෙව් ලොවෙන් ගිලිහි ගිය 
මදාරා මල් පියලි

සෙනේහය දෝර යන
නයන විල් ‍රැළි අතර
‍රැව් දිදී හස නගා
සැඟවිලා දඟ කරන.......

පැහැසරය - මුවග හස
නෙතු පියන් බොඳ කළද
වසන්තය අග පිපුණ
විසිරෙනා මකරන්ද
ලහිරු යන්තම් හැරී
දියත සිපගන්න සඳ.......
වැසුණු නෙතු විවර විය
නුඹය පරසතු කුසුම


Friday, May 22, 2015

වෙසක් සඳ සමග තිරුකේතීෂ්වරම්

හින්දු ආගම සහ ඒ සංස්කෘතිය කියන්නෙ  කියන්නෙ අපිට ඒ තරම් පුරුදු දෙයක් නෙමේනෙ. හින්දු ආගමේ දෙවිවරු ගොඩාක් ඉන්නව කියලත්, හින්දු ආගමික උත්සව කීපයක නමුත් ඇරෙන්න ඒ ගැන අපි දන්නෙ දේවල් අඩුයි.
ලංකාවෙ ප්‍රධාන හින්දු කෝවිල් කීපයක් තියනව. ඒ අතරින් ශිව දෙවියන්ට කැප කළ ප්‍රධාන කෝවිල් පහක් තියනව.
මන්නාරම - තිරුකේතීෂ්වරම්
ත්‍රිකුණාමලය - කෝනේශ්වරම්
හලාවත- මුන්නේශ්වරම්
නගුලේශ්වරම් - කීරිමලේ
තේනවරම්- දෙවුන්දර

මේ අතරින් මුන්නේශ්වරම් කෝවිල තියෙන්නෙ මම අවුරුදු විසි ගානක් ජීවත් වෙන පළාතෙ, පැයක විතර දුරින්. ඉතින් මම ආඩම්බරෙන් කියන්නෙ, එතෙන්ට මම දහ දොලොස් වතාවක්ම ගිහින් තියනව....... නෑ නෑ , එතෙන්ට මම මේ වෙනකම් ගිහින් නෑ. (කියන්නත් ලැජ්ජයි)

කොහොම හරි ,ගිය අවුරුද්දෙ දවසක යන්න පුලුවන් වුණා කොනේශ්වරම් බලන්න. වෙනස් සංස්කෘතියක්........ හොඳ වෙලාවට අපිත් එක්ක තව හින්දු කීප දෙනෙකුත් හිටිය නිසා එතන ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් වුනා.




ඒ විදියට මගෙ  ලිස්ට් එකට තව තැනක් ගිය සතියෙ එකතු වුණා. ඒ මන්නාරමේ තිරුකේතීශ්වරම්.


http://www.mathagal.com/thiruketheeswaram-kovil/

 මන්නාරමේ ඉඳන් "ලංකාවට " ආපහු යද්දි , කලපුව හරහා යන පාර ඉවරවෙනවත් එක්කම තියනවා වම් පැත්තට පාරක්. ගූග්ල් සිතියමේ විදියට ඒක නම් කරලා තියෙන්නෙ නවත්කුලි- කරතිව්-මන්නාරම මාර්ගය කියල. ඒ පාර දිගේ පැය කාලක විතර දුරක් තමයි තියෙන්නෙ තිරුකේතීෂ්වරම් වලට. ඒ වගේම, මඩු පැත්තෙ ඉඳන් , වන්කාලයි වලට එද්දි දකුණු පැත්තට තියන පාරකින් හැරිලා යන්නත් පුළුවන් තිරුකේතීශ්වරම් වලට.


http://lk.geoview.info/enterance_of_thiruketheeswaram_temple,36596997p

දැන් නම් කෝච්චියෙනුත් තිරුකේෂ්වරම් යන්න පුළුවන්


http://www.dailynews.lk/?q=local/president-open-madu-road-thiruketheeswaram-railway-line

( නුගේගොඩ ඉඳලා  නාවලට යන්න, ගාලු පාරෙන් ඩුප්ලිකේශන් පාරට යන්න වගේ  ඉතා සරලව මම කිවුවට මේ පාරවල් ගැන, නොදන්න කෙනෙක්ට නම් ග්‍රීක් වගේ ඇති)

එහෙ ගිහින් ආවට පස්සෙ මම ඒ කෝවිල ගැන ටිකක් හොයල බැලුව.

ඉතිහාසය ගැන කතා කරද්දි කියන්නෙ මේ කෝවිල අවුරුදු 2400ක් විතර පැරණි සිද්ධස්ථානයක් කියල.
මේ කාලෙකට කලින් කෝවිල තිබුණ විදිය


http://thilakci.blogspot.com/2012/03/03_13.html
http://lankabhumi.org/tiruketeeswaram-2.htm

මේ කෝවිලේ නිර්මාණය සම්බන්ධව විවිධ පුරාවෘත පවතිනවා. එක් කතාවකට අනුව, තිරුකේතීෂ්වරම් නිර්මාණය කරලා තියෙන්නෙ, රාවණා රජුගෙ බිසවගේ පියා විසින්  ශිව දෙවියන් වැඳීම උදෙසා.
හින්දු ආගමේ එන දෙවි කෙනෙක් ලෙස සලකන "කේතු" හට ශිව දෙවියන් මුණ ගැසුණ ස්ථානය මෙය ලෙස සැලකීමද තවත් පුරාවෘතයක්. තිරුකේතීශ්වරම් ලෙසින් එක නම් වන්නේත් එලෙසින් ලු.

මමයි මගෙ යාලුවයි සති ගාණක් ඉඳල හිතාගෙන හිටියත් හරියටම එහෙ යන්න පුළුවන් වුණේ වෙසක් දවසට පස්සෙ දවසෙ. වෙසක් හඳත් එක්ක කෝවිලේ ෆොටෝ එකක් ගන්න මගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා. මන්නාරමට හඳ පායපු දවසට කොච්චර ලස්සනද කියල මම කලිනුත් ලියල තියනවනෙ.
මන්නාරම් පාළම මත හිඳ ලොබ්ටූලියාව දුටිමි

කෝවිලේ හිටිය පූජකයන් හැරුණාම වෙනත් කිසිම කෙනෙක් එදා කෝවිලේ හිටියෙ නෑ. තව එක්කෙනෙක් හිටියා. ෆොටෝ එකක් ගන්න හිතුණත්, ඒක වැ‍රැද්දක්ද කියල හරියටම දැනගෙන හිටියෙ නති නිසා ගත්තෙ නෑ. ඒ ගවයෙක්. කරේ මල් මාල දාපු, අං දෙක පාට වලින් පාට කරපු ගවයෙක්. ගවයා හින්දු ආගමේ ශිව දෙවියන්ගෙ සංඛේතයක්  නිසා තමයි ඒ විදියට සලකන්නෙ.


http://www.allposters.com/-sp/Bull-Decorated-for-Pongal-Festival-Mahabalipuram-Tamil-Nadu-India-Posters_i2694262_.htm

කෝවිලේ එදා තිබුණෙ පාළු ගතියක්. වැහි අන්දකාරෙකුත් එක්ක තිබුණ ඒ පාළු ගතිය මැකුවෙ , විටින් විට ඇවිල්ල ගිය මොණරුන් කීප දෙනෙක්. මොණරත් කතරගම දෙවියන්ගෙ වාහනය කියල සලකන නිසා, ඒ ෆොටෝ ගත්තෙත් නෑ මම.මොකද කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කිවුවොත් ඒවට උත්තර දෙන්න දන්නෙ නෑනෙ.  සරලව කියනව නම්, කෝවිල වටේ ගත්තු ෆොටෝ කීපයක් ඇරෙන්න , එදා ගත්තු ෆොටෝ එකක් නෑ. මේකෙ තියන ගොඩක් පින්තූර අන්තර් ජාලයෙන් හොයා ගත්තු ඒවා.




දැකලා තියනවා නේද හින්දු අය කෝවිලට ගිහින් එන වෙලාවට රතු පාට, සුදු පාට අලු නලළෙ ගාගෙන එනවා? එහෙත් තිබුනා, ඒ වගේ අලු බඳුන් දෙකක්, පාට දෙකෙන්ම. නළලෙ ගාලා බලන්න හිතුණත් එක පාරටම එහෙම කරන්න තරම් ශක්තියක් හිතට ආවෙ නෑ. ඒත්, අපි එහෙ ගිහින් ටික වෙලාවකින් ඉස්කෝලෙ ළමයි කීපදෙනෙක් ආවා කෝවිලට. ඒ ආව ගෑණු ළමයි කීපදෙනෙක් ඒ තිබුණ අළු නළලෙ ගාගෙන ගියා. ඒ කියන්නෙ එහෙම ගෑවට කවුරුත් බනින්නෙ නෑ කියන එකනෙ. මමයි යාළුවයිත් ඒව අරගෙන නළලෙ ගෑවා. මම යාලුවගෙ ඇන්දා, යාලුවා මගෙ ඇන්දා. අපිට හිතුන රටා වලට.


https://dushyapa.wordpress.com/2013/12/08/visit-to-mannar-island-and-around/

කෝවිලේ හැම තැනම තිබුණෙ දේව ප්‍රතිමා. ඒ රූප ගොඩාක් අතරින් අපි දන්න දෙවිවරු හිටියෙ කතරගම දෙවියො සහ ගණ දෙවියො. අනිත් දේව රූප, ප්‍රතිමා වල නම් කියවාගත්තත් ඒ බොහෝ දේව රූප වලට සිංහලෙන් කියන නම අපි දැනගෙන හිටියෙ නෑ.

ඒ වටේ ඇවිදලා අපි ආපහු එන්න ලෑස්ති වුණා. ඒ වෙද්දි සෙනග කීප දෙනෙක් ඇවිත් තිබුණා. ටික වෙලාවකින්, හොරණෑ, බෙර සද්ද ඇහෙන්න පටන් ගත්තා. 
හොඳ වෙලාවට, නොදැනගෙන වුණත් අපි දෙන්නා ගිහින් තිබුණෙ කෝවිලේ පූජාව වෙලාවට. 

ඒක පුදුමාකාර අත්දැකීමක්. ටික වෙලාවකින් මුලු කෝවිලම බෙර සද්දෙන්, නලා සද්දෙන් පිරිලා ගියා. හැමතැනම ඒ සද්දෙ දෝංකාර දෙනවා වගේ. යම්කිසි අද්භූත ගතියක් තියෙනවා වගේ, ඇත්තටම දෙවියෝ ඉන්නවා වගේ , කියල විස්තර කරන්න බැරි පරිසරයක් එතන මැවුණා. 
මිනිස්සු ගොඩක් ඉන්න කලබල දවසක නම් එහෙම දැනෙන එකක් නෑ. එදා හිටියෙ මිනිස්සු කීප දෙනෙක් නිසා වෙන්න ඇති, ඒ පාළු පරිසරයෙ, වැහි අන්දකාරෙත් එක්ක ඒ වගේ හැඟීමක් ආවෙ හිතට. වෙනත් ආගමක් ගැන මගෙ හිතේ භක්තියක් වගේ දෙයක් ඇති වෙලා තියෙන්නෙ අවස්තා කීපයකදි විතරයි. ( වෙනත් ආගම් වලට ගරු කිරීම ගැන නෙමේ මම කියන්නෙ,  භක්තිවන්ත හැඟීමක් ගැන) . 
එයින් එකක් අපේ පාසලේ කන්‍යාරාමයෙ පල්ලිය.පන්සලකට ගියා වගේ ශාන්ත හැඟීමක් හැමදාම මගෙ හිතට ගෙනාව ස්ථානයක් ඒ. 
අනිත් එක එදා තිරුකේශ්වරම් වලදි හිතට ආව ඒ අමුතු ගැඟීම.

ඒ වුණත් එදා ගිහින් මම කරපු හැමදේම "මොළේ තියන" දේවල් කියන්නත් බෑ. 

ඒ පූජාව ඉවර වෙලා හැමෝගෙම අතට මොකක් හරි සුදු පාට ද්‍රවයක් දුන්නා. ඒකෙන් මොකද්ද කරන්නෙ කියල හිතා ගන්න බැරුව මම වට පිට බලද්දි , ළඟ හිටපු පුංචි හින්දු ළමයෙක් ඒ ටික බොනව මම දැක්කා. මමත් ඒක යන්තම් කටේ ගාලා බැලුවා. 
මට ඒ වෙලාවෙ නම් සියලුම දෙවියන්ව සිහි වුණා. මොකද, ඒකෙ තිබුණෙ කිරි. කිරි කියන්නෙ පිටි කිරි නෙමේ, එළ කිරි. 
ජීවිතේටවත් එළ කිරි බොන්නෙ නැති මම කොහොමද ඒක බොන්නෙ........කොහොම හරි, හිමින් කටේ ගැවුණ ටික තියෙද්දි ඒ ටික අත දිගේ පෙරිලා යන්න සලස්වන්න මට පුළුවන් වුණා. 

සැනසුම් සුස්මක් හෙළලා මගෙ යාලුවා දිහා බලද්දි දැක්කෙ, ලස්සන සුදු මූණ කලු කරගෙන, ලස්සන නිල් පාට ඇස් දෙක රතු කරගෙන මාව ගිලින්න වගේ මං දිහා බලාගෙන හිටිය මගෙ යාළුවා. නියමිත මාත්‍රාවෙන් ගාණට බැණුම් ටික ලැබෙන බව දැනගෙන මම එළියට ආවා. හිතුවා වගේම ඒවා ටික ගාණට හම්බුණා. 
(එයා  මේක කියවන්නේ නැති වේවා කියල ප්‍රාර්ථනා කරගෙන ලියන්නෙ මේ)

එදා ආපහු එන ගමන්, අපි දෙන්නා වෙසක් කූඩු බලන්නත් ගියෙ නළලෙ ගාපු අර අලු පිටින්මයි. "හොඳට සිංහල කතා කරන , දෙමළ ගෑණු ළමයි දෙන්නෙක් " කියල දකින අය හිතන්න ඇති. ;-)

කොහොම හරි , එදා හඳ පෙනුනෙ නෑ, වැහි වලාකුලු තිබුණ නිසා. 

මේ මන්නාරමේ වෙසක්.



Friday, April 24, 2015

ස්කෑන් සහ සතොස

බදාදා.............සායන දවස. අවුරුද්දක් දෙකක් තිස්සෙ පුරුදු පුහුණු කරපු මගෙ ඉවසීම , ඉවසලා ඉවසලා බැරිම තැන බිඳිලා යන එකම තැන තමයි සායන කාමරය. 
(ඉවසීම බිඳිලා යනවා කිවුවට බනින්නෙ ගහන්නෙ නෑ කාටවත්.....:-) )

ඒත් , කටහඬ ටිකක් උස් වෙනවා. මූණෙ හිනාව අඩු වෙනවා. දාඩිය දාන්න පටන් ගන්නවා.......... තව ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා එලියට ඔලුව දාලා බලන්න හිතෙනවා........ මේ වගේ ගොඩක් දේවල් වෙනවා.  
මොකද්ද මේ වෙනසට හේතුව කියලා හිතලා බලද්දි තමයි තේරුණේ....... 
පොදු හේතුව, භාශා ප්‍රශ්නෙ.

සායන වලට එන රෝගීන් කියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ. වාට්‍ටුවෙ නම් මොකක් හරි තේරෙන්නෙ නැත්නම්, ක්ෂණිකව ඒක තේරුම් කරලා දෙන්න අපේ හෙද නිලධාරීන් සැදී පැහැදී ඉන්නව. ඒත් සායනයෙ ඉන්න සේවකයන්ට සිංහල හොඳින් බෑ. 

ඒ නිසා මට නොතේරෙන දේවල් තේරුම් කරන්න කෙනෙක් සල්ලි වලට හරි හොයා ගන්න හිතිලා තියෙන්නෙ දැන් නම්. 
ඊටත් වඩා තියන ප්‍රශ්නෙ , තේරුම් ගන්න ටික නම් කොහොම හරි කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට සායනයෙදි විවිධ රෝගීන්ට විවිධ උපදෙස් දෙන්න ඕන. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. කියන්න ඕන කිසිම දෙයක් හරියට කියාගන්න බැරි වෙද්දි දැනෙන ඒ හැඟීම නම් විස්තර කරන්න අමාරුයි. අන්තිමට ලෙඩා හිටියටත් වඩා ලෙඩ වෙලා තමයි මගෙ ලඟින් නැගිටලා යනවා ඇත්තෙ........ 

(හැමදාම ක්ලිනික් එක වෙලාවට "අද නම් දෙමළ වාක්‍ය දහයක්වත් පාඩම් කරනවා කියලා හිතා ගත්තත්, ඒකෙන් එළියට යද්දි ඒ අධිශ්ටානය එහෙමම අමතක වෙලා යනව. ආයෙ මතක් වෙන්නෙ ඊළඟ බදාදා)

ඉතින්, ගිය බදාදාත් මේ වගේම සුන්දර බදාදාවක්. 
කොයි තරම් සුන්දරද කියනව නම් අවුරුදු නිවාඩුවට ගෙදර ගිය සමහර අය ඇවිත් හිටියෙත් නැති නිසා, දොස්තරට ලෙඩ්ඩු අනුපාතයේ විශාල වෙනසක් වුණා. 
සිංහලෙන්ම කිවුවොත් , ලෙඩ්ඩු වෙනදා වගේම ගනනක් සහ දොස්තරලා එක්කෙනයි. 
වෙනදට කලින් සායනය පටන් ගන්න හිතපු මම 7 වෙද්දි සායනයට ගියා. (වෙනදට පටන් ගන්නෙ 8ට) ඒත් ඉතින් මම 7ට ගියා කියල රෝගීන් දන්නෙ නෑනෙ........ 
මම යන වෙලාවෙ කිසිම රෝගියෙක් ඇවිත් හිටියෙ නෑ. හැමෝම ආවෙ සුපුරුදු පරිදි 7.30 පහු වුණාට පස්සෙ. 

ඒකට තවත් හේතුවක් තමයි, අපේ සායනයට හැතැප්ම ගණන් දුර ගෙවාගෙන එන රෝගීන් ඉන්නව. ඒ මිනිස්සුන්ට යන්න එන්න මුළු උදේ වරුවටම තියෙන්නෙ එක බස් එකයි. 
ඉතින් ලෙඩ්ඩු එන්නෙ, අපිටවත් එයාලටවත් ඕන වෙලාවට නෙමේ, බස් එකට ඕන වෙලාවට. ඒ බස් එක වැරදුනොත් එදාට සායනෙත් නෑ. 
ඉස්සර යුද්ධ කාලෙ අපිට අහන්න ලැබුණ ගම්මාන වල නම් සහ ඒවගෙ ජීවත් වෙන මිනිස්සු  දැන් සජීවීවම දකින්න ලැබෙන විදිය එක්තරා විදියක පුදුමයක්.  

ඒ මාතෘකාව ටිකකට නවත්තලා , මම එක සිදුවීමක් කියන්නම්.

ඉතින් සුපුරුදු පරිදි සායනය ආරම්භ වුණා. මමත් සුපුරුදු විදියට, නොපැකිලව, නොබියව, නොදැවී, දන්න දෙමළ සහ මමම නිර්මාණය කරපු දෙමළ වල උදව්වෙන් සායනය පවත්වාගෙන ගියා. 

ඉඳලා හිටලා ආව ත්‍රිවිධ හමුදාවේ සහ  පොලිසියේ රෝගීන් හැරෙන්නට ඉතිරි සියලු දෙනාම කතා කළේ දමිළ පමණයි. 

ඒ අතරට එක් විශේෂ පුද්ගලයෙක් පැමිණියා. අවුරුදු 50ක් පමණ වූ ඔහු, ඉතාම හොඳින් සිංහල කතා කළා. ඔහුගේ ප්‍රශ්නය වුණේ කකුලේ තිබෙන සුව නොවෙන තුවාලයක්. කලින් සතියේ සායනයට ඔහු පැමිණ තිබුණා. එහිදී සැලසුම් කර තිබුණේ, ඔහුගේ කකුල් වල නහර වල ස්කෑන් පරීක්ෂාවක් කර ඒ වාර්තාව සමග නැවත් සායනයට පැමිණෙන ලෙසයි.

"කෝ සීයා කකුලෙ ස්කෑන් එක?"
"ස්කෑන් එක...........? " ඔහු මොහොතකට කල්පනා කළා. 
"ස්කෑන් එකක් කළේ නැද්ද කකුලෙ නහර බලන්න?"  මගේ ඊලඟ ප්‍රශ්නය වුණා.
"කළා කළා..."

ඔහු යුහුසුලුව ස්කෑන් වාර්තාව හොයන්නට පටන් ගත්තා. ඔහු ළඟ තිබුණ විවිධ වාර්තා, පොත් ආදිය පීරමින් මමත්, උදවුවට සිටි සේවිකාවත්  එය සෙවුවා. ඒත් හම්බුණේ නෑ.

"අපරාදෙනෙ ස්කෑන් එක. ආයෙ කරන්න කාලයක් බලන් ඉන්න වෙනවනෙ......... ඒක පරිස්සම් කරගන්න තිබුණනෙ. මම රෝගියාට කිවුවේ චෝදනාත්මකව. ඔහුගෙ හිතත් කලබල වෙන් ඇති. මොහොතකින් ඔහු කොල කැබැල්ලක් ගත්තා පොතක් ඇතුළෙන්...........
"මේ තියෙන්නෙ ස්කෑන් රිපොර්ට් එක"

මට අඬන්නද හිනා වෙන්නද කියල හිතා ගන්න බැරි වුණා. ඇත්තම මට ඒ වෙලාවෙ හිනා ගියා. 

ඔහු අතට අරන් තිබුණෙ සතොසෙන් භාන්ඩ මිල දී ගත්තු බිලක්.... හාල් , සීනි, පරිප්පු සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් එහි සඳහන් වුණා.....

"මේ මොකද්ද....... මේ සතොසෙන් බඩු ගත්තු බිලක්නෙ. ස්කෑන් රිපොර්ට් එක දුන්නද දන්නෙ නෑ සතොසට..." මගේ කතාවට රෝගියාටත් හිනා ගියා.  

අන්තිමේදි ඒ ස්කෑන් රිපොර්ට් එකත් කොහේ හෝ අස්සක තිබිල හොයාගන්න අපිට පුළුවන් වුණා.

ඒ වෙලාවෙ ඒ ගැන හිනා ගියත්, දැන් ඒ ගැන හිතෙද්දි හිත ටිකක් බර වෙනවා. එකක් ඒ බිලේ තිබුණ භාණ්ඩ.ඒවා  අත්‍යවශ්‍යම භාණ්ඩ විතරමයි. කිසිම සුඛෝපභෝගී දෙයක් එහි තිබුණෙ නෑ.
අපි අත්‍යවශ්‍යයි කියලා හිතලා, ඒ දේවල් නැති වුනොත් ජීවිතෙන් බාගයක් නෑ වගේ හැසිරෙන කිසිම දෙයක් එහි තිබුණෙ නෑ. 

සමහර විට, ඒ මනුස්සයගෙ කකුලෙ තිබුන කාලාන්තරයක් පවතින තුවාලය නිසා හරි හමන් රස්සාවක් කරගන්න බැරුව ඇති. ඒ නිසාම ගෙදර බොහෝ ආර්ථික ප්‍රශ්නත් ඇති. 

ඒ වෙලාවෙ මගෙ කටට ආව හිනාව ඒ අසරණ කමට වුණ හිනාවක්ද කියල හිතෙද්දි දැන් ලොකු දුකක් දැනෙනවා.

අනිත් එක තමයි, මේ මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත් කම ගැන හිතද්දි හිතට දැනෙන හැඟීම. ස්කෑන් කොලයක් සහ , කඩයක බිලක් වෙන් කරලා අඳුනගන්න තරම් වත් අවබෝධයක්  නෑ. ඒක අසරණ කම සහ දුප්පත් කමම නෙමේ. 

කාලයක් තිස්සෙ සාමාන්‍ය ලාංකීය සමාජයට විවර නොවීමේ ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන්. එහෙම කියලා, ලංකාවෙ අනිත් පැති වල ඉන්න මිනිස්සු තමන්ගෙ සියලුම ලෙඩ රෝග ගැන ඉතා හොඳ අවබෝධෙකින් ඉන්නවා කියන්නත් බෑ. 
ලෝකෙ අනිත් බොහෝ රට වලට සාපේක්ෂව අපේ රටේ බොහෝ දෙනා තමන් ගැන හොයලා බලන්නෙ ඉතා අඩුවෙන් කියලා කියන්න පුළුවන්. 

ඒ අතරිනුත් මේ ප්‍රදේශයෙ මිනිස්සු හිතන පතන විදිය ගොඩාක් වෙනස්. 

තවත් සමහරු භාශාව ප්‍රශ්නයක් කරගෙන.
එක උදාහරණයක් කියන්නම්.

මීට මාස කීපයකට කලින් හදිසියේම එක කාන්තාවක් වාට්‍ටුවට ආවා. ඇය ඊට මාස කීපයකට කලින් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත අප විසින් යොමු කළ රෝගියෙක්. ඇය නැවත පැමිණ තිබුණේ වැඩි දුර පරීක්ෂණ සඳහා, කලින් ශල්‍යකර්මයේදී ලබාගත් පටක කොටස් කිහිපයක් ‍රැගෙන යාමට. නමුත්, ඒ පටක කොටස් ඉල්ලා තිබුණේ යාපනය රෝහලෙ නොවේ. ඉන්දියාවේ කුමක් හෝ රෝහලකින්.

ඇය ඉන්දියාවට යාමට හේතුව අප අසා සිටියා. ඇය පැවසුවේ මෙවැන්නක්.........

"ඒකට ඕන බේත් යාපනේ තිබුනෙ නෑ, ඒ නිසා මහරගමට යන්න කියලා එහෙන් ලියුමක් දුන්නා. ඒත් මහරගම යන්න අපිට සල්ලි නෑ. අනිත් එක සිංහල දන්නෙත් නෑ............ ඒ හින්දා ඉන්දියාවට ගියා.........."

නිකමට හිතන්න, ඒ ප්‍රකාශයේ ගැබ් වෙලා තියන දේ. මහරගම යන්න සල්ලි නැත්නම්, ඉන්දියාවට යන්න සල්ලි තියනවද....... 
ඒක තමයි අපේ හිතට මුලින්ම එන ප්‍රශ්නෙ. ඒත් , මහරගම නොයන්න ඇත්තම හේතුව ඒක නෙමේ.  සිංහල බැරි කම. 

ඒ වෙද්දිත් පිළිකාව හඳුනාගෙන මාස 5කට වැඩි කාලයක් ගත වෙලා තිබුනා. ඉන්දියාවෙන් ලංකාවටත්, ලංකාවෙන් ඉන්දියාවටත් යන්න එන්නම, ඒ ලෙඩා රස්තියාදු වෙලා. ඒක එයා විසින්ම ලඟා කරගත්තු අවාසනාවක්. ටිකක් කල්පනා කරලා ඒ වෙලාවෙ මහරගම ගියා නම් ඇයට කොයි තරම් නම් දේවල් ඉතුරු වෙනවද.........

රටේ වෙනත් ප්‍රදේශ ගැන අවබෝඅධයක් නැති කම. යුද්ධය ඉවර වුණා කියලා මෙහෙ මිනිස්සුන්ව දකුණට ගෙනිහින් ඔලුව හරවලා මේකයි අපේ රටේ ඇත්ත තත්වෙ කියලා අපිට පෙන්නන්න බෑ.  අඩුම තරමෙ, පාරවල් ටිකවත් හොඳට තියෙන එකේ ටිකක් අනිත් ප්‍රදේශ එක්ක සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න හිතෙනව නම්, මේ වැරදි අවබෝධ, නොදැනුවත්කම් ගොඩක් අඩු වෙලා යාවි.

ඒ වගේම උතුර ගැන දකුණෙ මිනිස්සුන්ගෙ තියන වැරදි වැටහීම් නැති කරන්නත් තවම අමාරුයි. මොකද්දෝ වාසනාවකට මෙහෙ එන්න හිතුනෙ නිසා නෙමේ නම්, අපිත් හිතන්නෙ තවම අර පරණ පුරුදු විදියට......

"එහෙ ඉන්න කරදර නැද්ද..........?" තවමත් කීයෙන් කී දෙනෙක් එහෙම අහනවද...... 
(ඉස්පිරිතාලෙට යන්නෙ බෝට්‍ටුවෙන්ද කියල අහපු යාලුවෙකුත් ඉන්නවා මට ;-) )
ඒ වෙලාවට පුලුවන් විදියට මෙහෙ වාතාවරණය ගැන තේරුම් කරලා දෙනවා..............

ලියන්න පටන් ගත්තෙ මිනිස්සුන්ගෙ තියන නොදැනුවත් කම් ගැන. ඒත් අද ලියැවුනේ අච්චාරු ලියවිල්ලක්.......... ඒ නිසා ලිවුව දේවල් සාරාංශ ගත කළොත්,
*මගෙ අපූරු දමිල භාශා හැකියාව
*රෝග නිසා මිනිස්සුන්ගෙ ආර්ථිකය බිඳ වැටීම
*තමන්ගෙ ලෙඩ රෝග ගැන අවබෝධයක් නැති වීම
*දැවෙන ප්‍රශ්න වලදීත් භාශාව පෙරට පැමිණීම
*උතුර දකුණ අතර පවතින අනවබෝධය

(ඒ සාරාංශ ගත කිරීම පෝස්ට් එකටත් වඩා අච්චාරු සහගත වුණා වගේ. ඒ නිසා පැහැදිලි ලිපියක් මේ මාතෘකාම අළලා ලියන්න බලාපොරොත්තු වෙනවා..................)

Monday, April 6, 2015

ලඩ්ඩු පිඟාන

http://pixgood.com/motichur-laddu.html
අපේ කැන්ටින් එකට ලඩ්ඩු ගෙනත්....... 

ඒක දැක්ක විතරයි, සත්වනක් ප්‍රීතියෙන් පිනා ගිය මම සල්ලි දෙන්නෙත් නැතුවම එකක් අරගෙන කෑවා. 
කෑවා කිවුවට කන්න පටන් ගත්ත විතරයි. මට ඒක එපා වුණා. ඔතලා තිබුණ සව් කොලෙත් එක්කම ඩස්ට් බින් එකට දාපු මම පුරුදු විදියට උළුඳු වඩයක් කාලා ආපහු ආවා. 

( මගෙ යාලුවා හැමදාම කියන කතාවක් තමයි කැන්ටින් එකේ තියන කෑම වලින් මම දන්නෙ උලුඳු වඩ වල රස විතරයි කියන එක. ඇත්ත තමයි. තව එක එක කෑම වර්ග තියනව කැන්ටින් එකේ, ඒත් මොකද දන්නෙ නෑ, මට කන්න හිතෙන්නෙම වඩේ විතරයි. සමහර විට ඒකෙ තියන අනිත් දේවල් කන්න අමාරු නිසා වෙන්න ඇති. ඒ කියන්නෙ පූරි , චපාති, ඉඳිආප්ප වගේ ඒව එක පාර කන්න බෑනෙ. හොදි ගාගෙන, අත හෝදලා, ....... හරිම කරදරයි. ඒ නිසා ලේසිම දේ තමයි වඩේ වගේ ලේසියෙන් හපලා කන්න පුලුවන් දෙයක් කන එක. )

ඒක මහ වංචා සහගත ලඩ්ඩු එකක්. 
පහු ගිය අවුරුදු දෙකක් , තුනක් පුරාවට මම ලඩ්ඩු හොයනවා. ඒත් හිතට හරියන රස ලඩ්ඩු එකක් හම්බුණේ නෑ ආයෙ කවදාවත්. 

එතකොට කොහෙන්ද මේ හිතට හරියන ලඩ්ඩු හම්බුණේ?
ඒක දිග කතාවක්........

මම අවස්ථා කීපයකම  කලින් කියල තියනව නේද එක කාලයකදි මම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වැඩ කළා කියල....... 

මෙවන් හෙදියක ලද ඇය

මිනී මැරුමක් වැළැක්වීමි

වැස්සෙ ආව පොඩි එකා

ඒක තිබුණෙ තරමක් දුරට නිදහස් වෙළඳ කලාපයට ආසන්නව. ඒ නිසා දිනපතාම විවිධාකාර පුද්ගලයන්ව මට මුණ ගැහුණා. ඒ අතර ගුවන් සේවිකාවො වගේම නිදහස් වෙළඳ කලාපෙ යුවතියනුත් හිටියා.

ඒ විතරක්ම නෙමේ, දිනපතාම වගේ විදේශීය පුද්ගලයනුත් එතෙන්ට පැමිනියා. ඒ බොහෝ දෙනා වෙලඳ කලාපෙ තිබුණ විවිධ කම්හල් ආදියේ වැඩ කරන පුද්ගලයින්. 

ඒ අතරින් බොහෝ දෙනා ආසියාතිකයො. චීන, කොරියන්, ඉන්දියානු වගේම පාකිස්ථානය, නේපාලය වැනි රටවල් වලින් . ලංකාවෙ ඒ තරම් පිට රට මිනිස්සු  ශ්‍රමයට වැඩ කරනවා කියල මම දැනගත්තෙ ඒ කාලෙ. ඒ අතරින් චීන , කොරියන් මිනිස්සු වැඩි පුරම ආවෙ මොනව හරි ආහාර වර්ග ආසාදනය වෙලා. එයාලා දකින දකින දේ කන නිසා එහෙම වෙනවා කියල තමයි අපි හිතුවෙ.  

මේ කවුරු ආවත්  මම මුහුණ දුන්න ලොකුම ගැටලුව තමයි, ඒ කිසිම කෙනෙකුට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න්නට නොහැකි වීම. වෙනත් වචන වලින් කියනව නම්, මට ඔවුන්ගෙ භාෂා කතා  කරන්නට නොහැකි වීම.  ඒ නිසා සෑම වෙලාවෙම භාශා පරිවර්තකයෙකුගෙ උදවු අවශ්‍ය වුණා.

මේ අතරින් දිනපතාම රෝගීන් ‍රැගෙන එන ආයතනයක් තිබුණා. එය ඉන්දීයානු සමාගමකට අයත් ආයතනයක්. 
ඒත් එහි ඉන්දීය ජාතිකයින්ට අමතරව, නේපාල, පකිස්තාන ආදී විවිධ ජාතීනුත් සේවය කලා. 
මම කලින් කී කොරියන් ජාතිකයින් සහ චීන ජාතිකයින් එක්ක සසඳා බලද්දි, ඔවුන්ගෙත් භාෂා හැකියාවෙ කිසිදු වෙනසක් තිබුණෙ නෑ. 

කොහොම වුණත් මට වැටහුණ දෙයක් තිබුණා, ඒ, මේ සමාගමේ සේවකයන් අධික වශයෙන් මහන්සියට පත් වෙනවා කියන එක. 

එක දවසක්, මේ ඉන්දීය ජාතිකයින් කීප දෙනෙක් සමග වෙනත් තරුණයෙක් පැමිණියා. 

වෙනදාට පැමීණෙන පුද්ගලයින් සමග බලන විට ඔහුගේ වෙනස කැපී පෙනුණා. ඊට හේතුව ඔහුගේ පෙනුම සහ ඇඳුම් වල වූ පිරිසිදු ස්වභාවය. 
එමෙන්ම , ඉතා නිවැරදි හා පැහැදිලිව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් ඔහු සතු වුණා. ඒ පිළිබඳව නම් වඩාම සතු‍ටු වුණේ මම.

මොකද පළවෙනි වතාවට ඔවුන්ගේ  රෝගීන්ගේ නිවැරදි රෝග ඉතිහාසයක් අසා ගැනීමට හැකියාව ලැබෙන නිසා. හිතුවාටත් වඩා හොඳින් ඔහු ඒ සඳහා මට සහය දුන්නා. 


ඔහුගේත් ඔහු සමග පැමිණි අනෙකුත් රෝගීන්ගේත් කැපී පෙනෙන වෙනසට හේතුව දැනගන්න මගේ හිත උනන්දු වුණා.  ඔහු අනෙකුත් සේවකයන්ට වඩා ඉහළ තනතුරක් හෙබවූ අයෙක්. 

(පෞද්ගලික අංශයේ ‍රැකියා ගැන මගෙ අවබෝධය කොපමණද කියනව නම්, ඒ තනතුර මොකද්ද කියලවත් දැන් මට මතක නෑ.)

"එළියට යන්න ලැබෙන අවස්ථා හරි අඩුයි මේ දවස් වල. ඒ නිසා හිතට  දැනන ස්ට්‍රෙස් එක අඩු කරගන්න අද මෙයාලට බේත් අරන් දෙන්න එක්කන් ආවා" මින් පෙර ඔහුව හමු නොවීමට හේතුව මා විමසන විට ඔහු ලබා දුන්නු පිළිතුර වුණා. 


ඒ ඔහුව මුණ ගැහුණ පළවෙනි වතාව. නමුත් ඒ එකම වතාව වුණේ නැ. ඉන් පසුව සතියට දින කිහිපයක්ම රෝගීන් ‍රැගෙන එන්න ඔහු පුරුද්දක් කරගත්තා. 

ඒ එන සෑම වතාවකදීම කතා කරන්නට අලුත් මාතෘකාවක් ඔහුට තිබුණා. ලංකාවෙ දේශපාලනය, ලංකවෙ බලන්න යන්න තියෙන ලස්සන තැන්, බලන්න ගිය තැන්.......  විවිධ මාතෘකා. 
ඔහුට ලංකාව පිළිබඳව කතා කරන්නට තිබෙන දේ කියන්නට සුදුසු කෙනෙකු නොමැති බව ඔහු නිතරම පැවසුවා. ලංකාවේ අපි නොදකින ඉතා සියුම් දුර්වලතා, සුන්දරතා ඔහුගෙ ඇසට හසු වී තිබුණේ හිතාගන්නට බැරි තරම් පුදුමාකාර විදියට. 

ඒ ලෙසින් ඇරඹුණ ඒ අපූර්ව යහලු කම මටත් අලුත් අත්දැකීමක් වුණා. කොයි තරම් යාලුවො හිටියත්, වෙනත් රටකින් හමුවෙන යහලුවෙක් හරිම "අලංකාරයි" කියල මට හිතෙනව. 

සංස්කෘතීන් දෙකක් වීම, කුඩා කල සිට හැදී වැඩුණ ආකාරය වෙනස් වීම, කොටින්ම කියනව නම් ලෝකය දිහා බලන ආකාරයම වෙනස් වීම ඒ අලංකාරත්වයට හේතු වෙනවා. 

කියන්න අමතක වුණා. ඔහුගෙ නම "රෝහිත් ". 

මාත් සමග වැඩ කළ හෙදියන් බොහෝ විට ඒ නම කිවුවේ "රෝහිත" කියලා. ඒක නිරන්තරයෙන්ම ඔහුව තරහ හැස්වීමට සමත් වුණා. "කරුණාකරලා, එයාලට කියන්න, මම රෝහිත් මිසක් රෝහිත නෙමේ කියල"..... ඔහු නොයෙක් වර මගෙන් ඉල්ලා සිටියා. 
ඒ ඉල්ලීම කවදාවත් ඉ‍ටු නොකරන්නට මමත් වග බලා ගත්තේ, ඒ නමින් ඔහු අපහසුතාවයට පත් වීම මටත් තරමක විනෝදයක් වූ නිසා. 

මේ විදියට රෝහිත් අපේ වෛද්‍ය ආයතනයට දින කීපයකට වරක් හෝ පැමිණීම අපිට සුපුරුදු අංගයක් වුණා. එසේ පැමිණි කිසිම අවස්ථාවක ඔහු විනාඩි 10කට වඩා මා සමග කතා බස් කලෙත් නෑ. එත් අපේ යහලු කමට එය බාධාවක් වුණෙත් නෑ .

විශේෂයෙන් කියන්න ඕනා, කොයි තරම් රෝගීන්ව ඔහු මා හමුවන්න කැඳවාගෙන ආවත් කිසිදු අවස්ථාවක ඔහු කිසිදු රෝගයකට තමන්ට බේත් ගත්තේ නෑ. 
(අනිත් අය මෙන් මහන්සි වී ඔහු වැඩ නොකිරීම ඊට හේතුවක් වන්නටත් ඇති. )

"පොඩි කාලෙන් පස්සෙ මම කවදාවත් බේත් බීලා නෑ. මාව මැරෙන්න ආවත් බේත් බොන්නෙ නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නෙ" ඔහු නොයෙක් වර එසේ පවසා සිටියා. 

එහෙත් එක් දිනක ඔහුගේ වහසි බස් සියල්ල කන පිට හැරුණා. 

එදින ඔහු දැඩිව අසනීපව සිටියා. ඒත් සුපුරුදු මාන්නය නම් කෙසේවත් අඩු වී තිබුණේ නෑ. ඊටම සරිලන හිතුවක්කාර කමක්ද ඊට එක් වී තිබුණා. 

"මට එකම එක බේත් පෙත්තක් විතරක් දෙන්න, අමාරුව අඩු වෙන්න" 
ඔහුගේ ඒ ඉල්ලීමට මට තරහ නොගියේ ඒ වන විට මා බොහෝ සෙයින් ඔහුගේ ගතිගුන වටහාගෙන තිබුණ නිසා. කෙසේ වෙතත් බෙහෙත් වර්ග දෙකක් පමණක් ඔහුට මා එදින ලබා දුන්නා. ඒ පිළිබඳවත් ඔහු පල කළේ විරෝධාකල්පයක්. 

"හරියට අපි එයාට ලෙඩ බෝ කළා වගේ" 
අපේ හෙදියන් එසේ කියද්දී මට තිබුණේ හිනා වෙන එක විතරයි. 
අසනීපයකට තමන් හමුවට පැමිණෙන රෝගීන් බෙහෙත් එපා යැයි කීම වෛද්‍යවරයෙකුට ඉතා දුලබ අත්දැකීමක් වීම ඊට හේතුවයි. 


දින කීපයක් ගත වුණා. රෝහිත් ගේ සලකුණක් හෝ දක්නට ලැබුණේ නෑ.

"බේත් වර්ග දෙකක් දුන්න කියලා ලංකාව දාලම ගියාද දන්නෙ නෑ" 
අපේ සමහර හෙදියකගෙන් කියැවුණා. 
කොහොම වුණත් අපේ හෙදියන් කීප දෙනෙක්ටම රෝහිත් නොදැක "පාලුයි වගේ" දැනුන බව නම් මම දැනගෙන හිටියා. 

ඒත් ඔහු ලංකාව දාලා ගිහින් තිබුණේ නෑ. ඊටත් පස්සෙ දවසක හිටියාටත් වඩා හොඳින් නැවත පැමිණීම "වාර්තා කළා"

"බේත් වලට අඩු වුණා"  ඒක නම් කිවුවෙ ඇත්තටම වගේ. ඊට පස්සෙ මගෙ හිතේ තිබුණ පුංචි "කහටත්" මැකිලා ගියා.

ඔය විදියට කාලයක් ගත වුණා....

(කොහොමද මෙතෙන්ට ලඩ්ඩු සම්බන්ධ වෙන්නෙ? ටිකක් ඉන්න..... ඒ ගැන තමයි කියන්න යන්නෙ........)

ඔය විදියට කාලයක් ගත වුණා. 
එක දවසක් රෝහිත් මට කිවුවා

"තව දවස් 2කින් මම ඉන්දියා යනවා. සති තුනකින් ආපහු එන්නෙ.." ඒ වෙද්දි රෝහිත්ගෙ රට ඉන්දියාව කියලා අපිට අමතක වෙන තරමට ඔහු ලාංකීකරණය වෙලා හිටියෙ.......

"එද්දි, මොනව හරි එහෙන් ගේන්න ඕනද?"

" එද්දි ලොකු ලඩ්ඩු පිඟානක් ගේන්න" 
මම එහෙම කිවුවෙ කටට ආවට. ඒ වෙද්දි මම ලඩ්ඩු කියන්නෙ මොනවද කියල දැනගෙන හිටියෙ නෑ හරියට. දැකලා තිබුණෙ කබි කුෂි කබි ගම් චිත්‍රපටියෙ විතරයි. ඒකෙ හැටියට මම හිතාගෙන හිටියෙ ලොකු අග්ගලා වගේ කෑමක් කියල.

මාස දෙකක් පමණ ගත වුණා. රෝහිත්ගෙ සති තුනේ කෑලිත් නති වුණා. සුපුරුදු පරිදි රෝහිතගෙ ආයතනයේ රෝගීන්ගෙ භාශාව නොතේරුම් ගනිමින් මම ඔවුන්ගේ රෝග වලට අවශ්‍ය ප්‍රතිකර්ම කළා.

එදා කම්මැලි දවසක්. එක පාරටම වේගයෙන් ආව ත්‍රී රෝද රතයක් පාර අයිනෙ නැවතුණා. හදිසි රෝගියෙක්ද, අපි කලබල වුණා. 
ඒත් ඒකෙන් බැස්සෙ රෝහිත්. ලොකු බෑග් කීපයක්  ත්‍රීවිලරයේ තිබූ අතර ඔහුගේ අතෙත් කුමක් හෝ බෑගයක් තිබුණා. 
ඔහු එය ගෙනැවිත් මේසය මත තැබුවා.

"ලඩ්ඩු........... පිඟානක් හොයාගන්න බැරි වුණා. පෙට්ටියක දාල තිබුණ එකක් තමයි හම්බුණේ.........."
සති තුනකට ඉන්දියාවට ගිය ඔහු නැවත පැමිණ තිබුණේ මාස දෙකකට පමණ පසුව. ගුවන් තො‍ටුපලේ සිට වැඩි දුරකින් නොවූ අපේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඔහු පැමිණ තිබුණේ ඒ ලඩ්ඩු පාර්සලය දීලා යන්න. 

ඊට පස්සෙ මොකද වුණේ කියන්න දෙයක් නෑනේ. "ඉනික්බිතිව , ඒ ලඩ්ඩු පාර්සලයේ කාඩ් බෝඩ් පෙට්ටිය ඇරෙන්න ඉතිරි සියල්ල විනාඩි කිහිපයක් තුළ වාෂ්ප විය." 
ඒ තරම් රස ලඩ්ඩු කවදාවත් ආයෙ හම්බුණේ නෑ. තවම මම හොයනව එහෙම ලඩ්ඩු ලoකාවෙ තියනවද ක්යලා. 


Friday, April 3, 2015

ඇබ්බැහි වීමක තරම

හිමිදිරි පාන්දර 7ට විතර මගෙ යාලුවගෙන් මට ඇමතුමක් ආවා. 
"තවම නිදිද?" 
"නෑ නෑ.... නැගිටලා"
(මං ගැන හිතන් ඉන්න විදිය...... ! උදේ 7 වෙනකම් නිදා ගන්න මිනිස්සු ඉන්නවද....? ඊටත් ෆෑන් කැරකුනාට හුලං පොදක් එන්නෙ නැති කාමරේක නිදා ගනිද්දි.........)


"ඔයාලගෙ වෝඩ් එකේ පේෂන්ට් කෙනෙක් ගැන කියන්න කතා කළේ......" ඒ යාලුවා තමයි කලින් දවසෙ on call....
ඉතින් උදේ පාන්දරම සුබ පණිවිඩය අහන්න මම සූදානම් වුණා. 

"ඊයෙ රෑ අවුරුදු 20ක පිරිමි ළමෙක් ඇඩ්මිට් වුණා.  assault  එකකින් පස්සෙ. head injury මොකුත් නෑ. ඒත් ටිකක් drowsy.  
Saturation ත් අඩුයි. 
( Saturation = රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය ලෙසින් සරලව හඳුවන්න පුළුවන්. පෙනහලු දුර්වලතා, හදිසියේ  අනතුරු වලදී පෙනහලු වලට වෙන හානි, ප්ලූරාවට වෙන හානි නිසා එය අඩු වියහැකියි) 
ඒත් පපුවෙ එක්ස් රේ එකේ මොකුත් ප්‍රශ්නෙකුත් නෑ, ඒ වුණත් ඔක්සිජන් අයින් කරපු ගමන් saturation අඩු වෙනව 85-87% වගේ. (සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් මට්ටම 92%කට වඩාවත් තබා ගත යුතුයි)
ඒ නිසා වෝඩ් එකට ගිය ගමන්ම එයාව බලන්න....."

සැබැවින්ම මම වාට්‍ටුවට යන විටත් ඔහු සිටියේ නිදාගෙන. කිසිදු බාහිර තුවාලයක් නොතිබූ ඔහුට ඔක්සිජන් සැපයුමක් ලබා තිබූ අතර රුධිර පීඩනය , නාඩි වේගය, ඔක්සිජන් සංතෘප්තතාවය ආදී සියලු දේ අධ්‍යයනය කළ හැකි මොනිටරයකට ඔහුව සම්බන්ධ කර තිබුණා.

මෙසේ දිගටම ඔහුව නිරීක්ෂණය කිරීමට හේත්හුව වුනේ ඔහුගේ නිදිමත ස්වභාවයත්, ඔක්සිජන් සන්තෘප්තතාවය අඩු වීමත්ය. 
එසේ නිදි මත ස්වභාවයෙන් පසු වුවද ඔහුගේ හිසට අනතුරක් සිදු වී ඇති බවට වෙනත් කිසිදු සායනික සාක්ෂියක් තිබුණේ නෑ. 
ඔහු අරක්කු පානය කර තිබුණ බව පෙර දිනයේ ටිකට් පතේ සන්දහන් වී තිබුණද, අරක්කු මගින් ඇති කරනවාට වඩා නිද්‍රා ස්වභාවයකිනුයි ඔහු පසු වුණේ.  
කිසිදු වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇත්දැයි දිගින් දිගට ඔහුගෙන් සහ ඔහු අසල නැවතී සිටි මිතුරාගෙන් ප්‍රශ්න කළත් ඔවුන් දෙදෙනාම එය දැඩි ලෙසින් ප්‍රතික්සේප කළා.
බැලූ බැල්මට ඔහු හොඳින් පසු වුවත් ඔහු පිළිබඳව අපේ තිබුණු පීඩනය ඉතා විශාල වුණා. 
ඊට ප්‍රධානම හේතුව වුණේ අපේ වාට්‍ටුව භාර විශේෂ වෛද්‍ය තුමන්ලා දෙදෙනාම එදින විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීටයේ සායනික පරීක්ෂණ කටයුතු සඳහා ගොස් සිටීමයි.

නමුත් දහවල් වන විට ක්‍රමක්‍රමයෙන් ඔහුගේ නිදි මත ස්වභාවය පහව යාම අපට තරමක අස්වැසිල්ලක් වුණා. නමුත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීමෙහි විශාල ප්‍රගතියක් ඔහු පෙන්නුම් කළේ නෑහැ. නමුත් ඒ වන විට අපට පැහැදිලි වූ එක් කරුණක් තිබුණා. ඒ ඔහුට කැස්සක් ඇති බව. 
ඒ නිසා ඔහුගේ පෙනහළු වල වූ වරද ශල්‍ය හේතුවක් නොව වෙනත් ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදනයක් නිසා විය හැකි බවට සැක කළ අප ඒ සඳහා වෛද්‍ය වාට්‍ටුවේ සහය පැතුවා. 

ශ්වසන රෝගයක් සඳහා වූ ඖශධ එම වාට්‍ටුව මගින් ඔහු වෙනුවෙන් ආරම්භ කරද්දී, වෙනත් ශල්‍යමය ප්‍රශ්නයක් ඔහු කෙරේ ඇත්දැයි අප වාට්‍ටුවේ කාර්ය මණ්ඩලයම නිරන්තරයෙන් අවධානය යොමු කළා. 

ඒ ලෙසින් දින තුනක් ගත වුණා. දිනෙන් දින ඔහුව යහපත් අතට හැරෙද්දීත් ඔහුව අවධානය වැඩියෙන්ම අවශ්‍ය රෝගීන් රඳවන ස්ථානයේම රඳවා තැබුවේ නිරන්තරයෙන්ම ඔහු පිලිබඳව සොයා  බැල්ලීමට අපටද හෙද නිලධාරීන්ටද පහසුවක් වූ නිසා. 

ඊයේ උදෑසන 10 පමන වන තෙක් සියල්ල යහපත් ලෙසින් පැවතුණා. 
හදිසියේම හෙද නිලදාරියෙකු විසින් ඔහුව මගේ මේසය වෙතට කැඳවාගෙන එනු ලැබුවා. "ඩොක්ට , මෙයා එළියෙ සිගරට් බිබී හිටියා......." එවේලේ නම් මගේ ඉවසීම රතු කට්ටෙන් එපිටට උත්ක්‍රමනය වුණා. නමුත් ඔහුට බැණ වදින්නට මගේ දෙමළ හැකියාව ප්‍රමාණවත් වුනේ නෑ.

නිකමට හිතන්න. ඔහු වෙනුවෙන් (විශේෂයෙන්ම ස්වසන රෝග තත්වයක් වෙනුවෙන්) අප වූ මහන්සිය....... රෝහල විසින් ඔහු වෙත දරන ලද වගකීම , වියදම,........  ඔහු ඒ කිසිවක් තඹ සතයකට මායිම් කර තිබුණේ නෑ. 
ඇතැම් විට ඒ ඇබ්බැහි වීමෙන් මිදීමේ අපහසුව වන්නට ඇති. නමුත් දින තුනක් ඇඳට වී සිටි ඔහුට එසේ නොවැලැක්විය හැකි ඇබ්බැහි වීමක් ඇති බවටද සිටිය නොහැකියි. 

තත්වය අන්තිම අංශුව දක්වාම පුපුරා විනාශ වී ගියේ අද උදෑසන. 

උදෑසන ඔහුව බලන විට අද ගෙදර යා හැකිදැයි ඔහු මගෙන් විමසා සිටියා. ඇත්තෙන්ම අද වන විට ඔහු සිටියේ ගෙදර යා හැකි තත්වයකයි. එහෙත් මගේ පිළිතුර වුණේ එය ප්‍රධාන ශල්‍යවෛද්‍ය තුමාගේ තීරණයක් බවයි.  එහෙත් ඔහු දිගින් දිගටම තමාට නිවසට යාමට ඉඩ දෙන ලෙස මට ඇවිටිලි කළා. 
ඒ සඳහා ඔහු දිරිපත් කල හේතුව වුණේ ඔහුගේ අක්කාට අලුතින් බබෙකු ඉපදී ඇති බවයි. ඔහු අසල සිටි ඔහුගේ මිතුරාද ඒ කරුණ අනුමත කරමින් රෝගී තරුණයාට ඒ සඳහා ලොකු සහයක් ලබා දුන්නා. 
(ඒ මිතුරා යැයි කියා ගන්න පුද්ගලයා සම්බන්ධව මගේ සිතේ කෙසේවත් පැහැදීමක් තිබුනේ නෑ. ඊට හේතුව වුණේ ඔහුට සිගරට් බීමට අනුබල දී තිබුනේ ඔහු නිසාය. )
වාට්‍ටුවේ හෙද නිලධාරීන් ඔහුව වාටූවෙන් යැවීමට උත්සාහ කළත් , රෝගියා අසල නැවැත්වීමට කිසිවෙකු නොමැති බව පවසමින් ඔහු දිගටම ‍රැඳී සිටියා. 

කෙසේ නමුත් ප්‍රධාන වෛද්‍යතුමා පැමිණ ඔහුව ගෙදර යැවිය හැකි බව පැවසුවා. රෝගියාටත් වඩා එය මට ඉමහත් අස්වැසිල්ලක් වූ බම කිව යුතුයි , මන්ද යත් ඔහු වරින් වර මා වෙතට පැමිණ ඇවටිලි කිරීම මට මහත් හිස රදයක් බවට පත් වී තිබීමයි. 

එහෙත් අප සියල්ලන් පුදුමයට පත් කරමින් සුළු මොහොතකින් ඔහු  වාට්‍ටුවෙන් අතුරුදහන් වී සිටියා. තමාගේ ඇඳ ඇතිරිලත්, කොට්ටයත් වාට්‍ටුවේම දමා ඔහු ගොස් තිබුණේ රෝග නිර්ණය කාඩ් පත ගන්නටවත් නොනැවතෙමින්. 

මෙවන් අවස්ථා වලදී කරන ලෙසින් ඒ පිළිබඳව රෝහල් අධිකාරී වරයා හරහා, රෝහල් පොලිසිය වෙත දැන්වීම වාට්‍ටුව මගින් සිදු කළා. ඔහු පිලිබඳව මගේ සිතේ වූ කල කිරීමත් , ඔහුගේ යහලුවා පිළිබඳව වූ තරහක් වැනි වූ හැඟීමත් දෙගුණ තෙගුණ වුණේ රෝගීන්ගේ අමුත්තන් සඳහා වූ පැයේදී. 

යම්කිසි කාන්තාවක් හඬා වැටෙමින් වාට්‍ටුව වෙතට පැමිණියා. අසරණ පෙනුමකින් යුතු වූ ඇය  හඬමින්ම හෙද නිලධාරීන් සමග යම්කිසි කරුණක් පිළිබඳව විස්තර කළා. නමුත් ඇය පැවසූ බොහෝ දේ මා හට වටහා ගැනීමට පහසු වූයේ නෑ.  

වැටහුණ දේත්, පසුව සිංහලට පරිවර්තනය කරගත් දේත් අනුව,
ඇය මම මුලින් සඳහන් කළ රෝගී තරුණයාගේ මව. ඔහු ඉතාම තදින් අරක්කු, සිගරට් සහ ගංජා භාවිතයට ඇබ්බැහි වූ අයෙක්. දෙමවුපියන් කියනා කිසිවක් කනකටවත් නොගන්නා ඔහු ඒ තත්වයට පත් වන්නට නරක මිතුරන් ඇසුර ප්‍රධානම හේතුව වූ බව ඇය සඳන් කර සිටියා.

ඔහු රෝහලෙන් පිට වී ගිය පසුව යහලුවා සමග කොහේ හෝ ගොස් තිබුනා. අම්මා ඒ බව දැනගෙන තිබුණේ පොලිස් පණිවුඩය ලද පසුව හතර වටේ සිටින ඔහුගේ මිතුරන්ට දුරකථන ඇමතුම් ලබා දීමෙන්.

දින ගණනක් තමන්ගේ දරුවා රෝහලේ සිටීමෙන් දුක් වූ ඒ මවට දරුවා සුව වීමෙන් ලැබෙන සතුටද අහිමි වී තිබුණා. තමන් යන්නේ කොහේදැයි පවසා තම මවට විනාඩියක දුරකතන ඇමතුමක් හෝ නොදීමට ඔහුගේ හිත ගල් වී තිබුණා. 
එමෙන්ම ඔහුගේ "අලුත ඉපදුණ" අක්කාගේ බබා වයස මාස 4ක ළදරුවෙකු බවටද අප දැනගත්තා.

ඔහු වාට්‍ටුවේ නැවැත්වූ දින අසාමාන්‍ය ලෙස නිදි මත බවක් පෙන්වීමට හේතුව මත්ද්‍රව්‍ය / ගංජා භාවිතය බව ඒ අවස්ථාවේදී අප වටහා ගත්තා. 
ඒ පිළිබඳව දිගින් දිගටම විමසද්දී  "නැහැ" යනුවෙන් ඔහුත්, ඔහුගේ මිතුරාත් පැවසීඑම නිසා අප සියල්ලන්ම ‍රැවටීමකට ලක් වුණා. එයින් වූ නාස්තිය, කාලය , ශ්‍රමය, මුදල් යන  සියල්ලමයි.

හැරත් , එවන් ඇබ්බැහි වීමක් පිළිබඳව යම් තරමක හෝ ඉඟියක් ලබා දුන්නා නම්, ඒ පිළිබඳව මානසික සායනයකට ඔහුව යොමු කර ඉන් මුදවා ගැනීමටත් හැකියාව තිබුණා.

එලෙසින් ඔහුගේ  වරදින් තමන්ගේ, තම පවුලේ සතුට ගිලිහී අවසන් වී තිබුණා


Friday, March 27, 2015

මගේ සංගීත දිවිය

ගායනය කියන්නෙ හොඳ විනෝදාංශයක් . මේ ලෝකෙ හැම කෙනෙක්ටම ගායන හැකියාව අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. 
මොකක්ම හරි සින්දුවක් කියාගන්න බැරි කෙනෙක් මේ ලෝකෙ නෑ ( එක්කෙනෙක් හැරෙන්න, ඒ කෙනා කවුද කියල පස්සෙ කියන්නම්)

මම පුංචි කාලෙ ළමයෙක් දැනගෙන සිටිය යුතු ළමා ගීත සියල්ලම දැනගෙන හිටියා. ඒ අම්ම මම ඉපදුන දවසෙ ඉඳන්ම ( මම හිතන්නෙ ) ඒ ගීත කියල දුන්න නිසා. 
" සමන් පිච්ච මල් ඉහිරුණ - නිල් තණ කොල පිට්ටනියක්"
"නිල් අහස් තලේ අගේ"
"කිරි සුදු හාවා- පැන පැන ආවා"
"හිංචි පිංචි හාවා"

මේ හැම ගීතයක්ම අම්මා හරි ලස්සනට ගායනා කළා. අම්මගෙ කට හඬ හරිම මිහිරි, අම්මටම ආවේණික නිකැලැල් කට හඬක්. 
තවමත් අම්මා ගීත ගායනා කරනව අහන්න මම හරිම ආසයි. පුංචි කාලෙ අම්ම කියල දුන්න ඒ ගීත ගායනා කරන්න මම නොසෑහෙන්න උත්සාහ කළා. හිමින් කියලා බැලුවා. අම්මගෙ වගේ කට හඬ හීනි කරලා බැලුවා. ඒ එකක්වත් හරි ගියෙ නෑ. 

මම කියද්දි අම්ම කියනවා වගේ ප්‍රබල නෑ කොහොමවත්. ලේසි ක්‍රමේ වුණේ බෙරිහන් දීලා සින්දුව කියන එක. අන්තිමට මම ‍තෝරා  ගත්තු එකම ක්‍රමේ ඒක. ( ඩෙනිස්ගේ දස්කම් පොතේ ඩෙනිස් සින්දු කියන්නෙත් එහෙමනෙ, මතක ඇති කියවලා තියෙන අයට. පස්සෙ කාලෙක ඒ පොත කියවලා බලද්දි මට සෑහෙන සතු‍ටු හිතුනා, මොකද මම වගේම හිතන තව එක මනුස්සයෙක් හරි මේ ලෝකෙ ඉන්නවනෙ)

ඒ විදියට සින්දු කියලා පෙන්නලා "මගෙ සින්දුව ලස්සනද " කියලා අප්පච්චිගෙන් අහන්න මම පුරුදු වෙලා හිටියා.  
"ලස්සනයි පුතේ.... දෙල් කොල ගොඩේ කබරයෙක් දුවන සද්දෙ වගේ...." අප්පච්චිත් නිතරම එහෙම උත්තර දුන්නා.  
අනේ ඉතින් දෙල් කොල උඩ කබරයො දුවනකොට එන සද්දෙ හරි ලස්සනයි කියල හිතුව අහිංසක මමත් බෙරිහන් දීලා ගීත ගායනා කරන එක දිගටම කරගෙන ගියා. :-)

මේකෙ බරපතල අවස්ථාවක් එළඹුනේ දහම් පාසලේ එක වසරෙදි දහම් පාසල් තරඟ වලට ළමයි ‍තෝරන වෙලාවෙදි මට පද්‍ය ගායනා වලට යන්න ඕනා කියලා මම හර්තාල් කරපු එක. 
අම්මයි අප්පච්චියි විතරක් නෙමේ පන්සලේ ලොකු හාමුදුරුවොත් උත්සාහ කළා මාව චිත්‍ර වලට යවන්න , පද්‍ය ගායනා වලට නොයවා. 
ඒත් මම නෙමේ සැලුනෙ. 
යන්නම ඕනා කිවුවෙ පද්‍ය ගායන වලට. අන්තිමට මගෙ ආසාව ඉශ්ට කරගන්න මට පුළුවන් වුණා. ඇත්තටම අපේ පන්තියෙ හිට්යෙ ළමයි 4ක් හෝ 5 ක් විතරයි. 
ඒ නිසා ඒක එච්චරටම අමාරු වුනෙත් නෑ. කොහොම හරි මගෙ ගායන හැකියාවෙ ආනුභාවයෙන් මම කොට්ටාස තරඟ වලින් තුන් වෙනියා බවටත් පත් වුණා. 
ඉතින් එහෙම හිතල බලද්දි අප්පච්චිගෙ කමෙන්ට්ස් වල ප්‍රයෝජනේකුත් තිබිලා තියෙනවා. 

මගෙ සංගීත හැකියාව ලෝකෙට ගෙදරට පෙන්නන්න ඊලඟට අවස්තාව උදා වුණේ අපේ නංගිව ප්‍රාථමික තූර්ය වාදන කණ්ඩාටමට ‍තෝර ගත්තට පස්සෙ. එයාලට උගන්නලා තිබුණ පළවෙනි වාදනය happy birth day.....

එයා එදා හවස ගෙදර ආව ගමන්ම මම ඒක නංගිට උගන්නන වගකීම ස්වේච්ඡාවෙන්ම භාර ගත්තා. 
නංගිගෙ මෙලෝඩිකාවෙ කෙල ටික එහෙම පිහලා දාල අරන් එයා තඩි බෝල කෑලි අකුරු වලින් ලියාගෙන ඇවිල්ලා තිබුන අකුරු ටික බලාගෙන වාදනය කරලා බැලුව. 10 - 12 පාරක් එහෙම කළාම Happy birth day .... වගේ එකක් ඇහුණා. ඒ විදියට මම නංගිට ආදරෙන් ඒක කියලා දුන්නා. වගකීමක් තියෙන අක්ක කෙනෙක් එහෙමනෙ වැඩ කරන්න ඕනා. 
ඒත් ඒ ටික දවසයි. නංගි ටික කාලෙකින් එයාට උගන්නලාත් නැති එක එක සින්දු වාදනය කරන්න ගත්තා. වරද්ද වරද්ද මුලින්. ඒත් ඊට පස්සෙ ටික දවසකින් ඒක හරියටම වාදනය කළා. එහෙම කරන්නෙ කොහොමද අහද්දි එයා කිවුවෙ ඉබේම එහෙම ගහන්න පුළුවන් කියලා එයාට. අනේ මන්දා..... මන්තර කාරියෙක්ද කොහෙද ගියා ආත්මෙ.  
කොහොම වුණත් මම සංගීත ගුරු කමෙන් විශ්‍රාම ගියා ටික දවසකින්ම. 

ඒ කාලෙම තමයි අම්ම මාව පියානෝ ක්ලාස් එකකට දැම්මෙ.  ඒ පියානෝ ක්ලාස් එකේ වැඩිපුර දුන්නෙ ලියන්න.ඒකෙ ඉගන්නපු ඉරි උඩ ලියපු එක එක සලකුණු මට කොහොමවත් තේරුණේ නෑ. ඒ සලකුණු මම භාවිතා කළේ කුරුල්ලන්ගෙ චිත්‍ර අඳිද්දි උන් සින්දු කියනව කියල පෙන්නන්න උන්ගෙ ඔලුව වටේට අඳින්න.
  

 ඊටත් වඩා ඒකෙ තිබුණෙ Tomorrow People  ගිය වෙලාවෙ. මතකයිද මන්දා කට්ටියට, ලස්සන කොල්ලෙක් එහෙම හිටියා ඒකෙ ඇඩම් කියලා. ( ඒ කාලෙ ලස්සනට පෙනුන මිනිස්සු දැන් පෙනෙන්නෙ පිච්චිලා ගිය ඩෝසර් වගේ නිසා දැන් දැක්කොත් නම් ඇඩම් කැතයි කියලා හිතෙයි මට) 
කොහොම හරි පියානෝ ක්ලාස් එක නැවැත්වීමේ මගෙ ඓතිහාසික තීරණයට හේතු වුණේ ඇඩම් නෑ Tomorrow People. 
(ඒ කාලෙ හිටියෙ මෙයාලා නෙමේ, වෙන කට්ටියක්)

පන්තියෙ මිස්ගෙ දහසක් වැර්දි අම්මාට පෙන්නලා දුන්න මම ඒ ඓතිහාසික තීරණයට එළඹුණා.  සංගීත හැකියාව කොහොමවත් පිහිටලා නොතිබුණු මට ඒක දිය කරලා පොවන්න අම්ම දරපු අන්තිම උත්සහයත් ව්‍යවර්ත වෙලා ගියෙ ඒ නිසා. 

( මේ වෙද්දි මම හිතන්නෙ කාටත් තේරෙනවා ඇති මම මුලින්ම කිවුව "ලෝකෙටම එක්කෙනා" කවුද කියලා)

මේ කාලෙ වෙද්දි මට වැටහිලා තිබුණා දෙවියො ස්ංගීත හැකියාව බෙදන වෙලාවෙ මම කට්ටි පැනලා ඉඳලා තියෙන්නෙ කියල. ඒ නිසා මම ඒක තේරුම් අරගෙන පස්සෙ කාලෙක සංගීතයෙන් තොර දිවියක් ගත කළා. (මොකද මිනිස්සු කාලයක් තිස්සෙ මුලාවෙ ඉඳලා කවදා හරි යථාර්තය තේරුම් ගන්න කාලෙකුත් එනවනෙ. )

ඒත් කාටවත් ඇහෙන්නෙ නැතුව තනියම ගීත ගායනා කරන්න මගෙ ලොකු ආසාවක් තිබුණා. ඇත්තටම ගොඩක් ගීත වල මගෙ හිතට වදින්නෙ අර්ථය. සංගීතයටත් වඩා. ඒ නිසා දෙතුන් වතාවක් අහන්නට ලැබුණාම මට ඒකෙ වචන ටික මතක හිටිනවා. 
යාලුවො එකතු වෙලා පාටි දාන වෙලාවලදි එහෙම මම යන්තම් ජාමෙ බේර ගන්නෙ " ආ ඒ සිංදුව මම දන්නවා... කියමු කියමු ......" කියලා. (මම කියන්නෙ සින්දුව කියන හැටි දන්නව නෙමේනෙ. සින්දුව දන්නවා කියලනෙ. )

මම කාලයක් වැඩ කළා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක.  ඒකෙ රෝගීන් නැති වෙලාවට මට මගෙ කාමරේට වෙලා කරන්න ගොඩක් දේවල් තිබුණා. මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙත් ඒ කාලෙම තමයි. 
ඒකෙ ඉද්දි මම කරපු තව දෙයක් තමයි සිංදු කිවුව එක. මමම සිංදු කියනවා, ලැප්ටොප් එකෙන් රෙකෝඩ් කරනවා..... ආයෙ අහනවා. කොච්චර කැතද කියලා හිතනවා....... 
දැන් හිතද්දි ලැජ්ජාවෙ බෑ. 
ඒ එක්කම සිංදු අහන ගමන් ඒ ගායකයා හරි ගායිකාව එක්ක හරි සිංදු කියන එකත් මගෙ ලොකු විනෝදාංශයක් වුණා. ඔය විදියට ටික කාලයක් මම මගෙ ඒක පුද්ගල ප්‍රසංගය කරගෙන ගියා. 

ඒ එක්තරා දවසක් වෙනකම්.

ඒ ස්ථානයට එහා පැත්තෙ තිබුණ ෆාමසියක්. ඒකෙ හිටියෙ මට වඩා අවුරුද්දක් දෙකක් විතර බාල මල්ලිලා දෙන්නෙක්. එක දවසක් මේ එක්කෙනෙක් මාව හම්බෙන්න ආවා මොකක් හරි අවශ්‍යතාවයකට.  ඒ ගැන කතා කරලා ඉවර වෙලා යන්න හදද්දි ඒ මල්ලි කිවුව දේකින් මට උන් හිටි තැන් අමතක වුණා. 
"ඩොක්ටට ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ....." මට කට උත්තර නැති වුණා. කටේ කෙල හිඳුණා. ඔහු ඒක කිවුවෙ ඇත්තටමද, උපහාසයෙන්ද, නැත්නම් ඔහුගෙ කනේ දෝශයක්ද, එහෙම නැත්නම් ඔහුගෙ මොළයෙ ශ්‍රවණ කොටසේ ප්‍රශ්නයක්ද කියලා මට හිතා ගන්න බැරි වුණා. 
ඊට වඩා මට ප්‍රශ්නයක් වුණේ මගෙ සුමිහිරි ගීත ගායනය එයාට කොහොමද ඇහුණෙ කියන එක.

තැන්ක්යූ කියන්නද, මේසෙ යට හැංගෙන්නද, නැත්නම් පැනලා දුවන්නද කියල හිතා ගන්න බැරි වුණ මම ඇත්තටම මොකුත්ම කිවුවෙ නෑ.

පස්සෙ හොයල බලද්දි මට දැනගන්න ලැබුණා මගෙ කාමරේට පිටිපස්සෙ තිබුණ ටැප් එකටයි ඒ ළමයිනුත් වතුර ගන්න එන්නෙ කියලා. ඒ වෙලාවක මම සංගීත ප්‍රසංගයක් තියන්න ඇති. 
එදායින් පස්සෙ මගෙ රෙකෝඩින් ස්‍ටුඩියෝ එක වැහිලා ගියා.
ඒ සිදුවීම මතක් කරද්දි තවමත් ලැජ්ජාවක් වගේ හැඟීමක් එනවා. 



කට්ටියක් එක්ක කියන වෙලාවක ඇරෙන්න මම අවුරුදු ගාණකින් ප්‍රසිද්ධියෙ තනියම සිංදුවක් කියලා නෑ. 
යාලුවො එක්ක කියන එකේ පොඩි වාසියක් තියෙනවා. මොකද ඒ අතරින් කවුරු හරි කෙනෙක් ඉන්නව හොඳට සින්දු කියන. 
මට පුලුවන්නෙ එයා ළඟට වෙලා යන්තම් කට හොල්ලන්න. 

ගිය සතියෙ දවසකත් යාළුවො එක්ක පොඩි පාටි එකක් වෙලාවෙ සින්දු කිය කිය හිටියා. 
ඒ වෙලාවෙ අපි කිවුවෙ " නෙතු දැහැන් බිඳී........... " ඒකෙ අන්තිම හරියට යද්දි කට්ටියගෙ සද්දෙ ටික ටික අඩු වේගන වේගන ගියා.  

ඔන්න ටික වෙලාවකින්......  ඇහෙන්නෙ සද්ද දෙකයි, 
එකක් බාස්කට් අකකට කවුරු හරි තාලෙට තට්‍ටු කරන සද්දෙ, 
අනිත් එක කටහඬක්  ! බැලින්නම්, ඒ කටහඬ මගෙ, මම සින්දුවෙ අන්තිම හරිය අමාරුවෙන් ඇදගෙන යනව.

"හසඟනන් පිරී - පෙතිපියුම් හැරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී  - තුරු අගින් මිදී......

එක පාරටම නවත්තන්නත් බෑ, මම හිමීට වට පිට බැලුවා. හැමෝම මං දිහා බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් විතරක් අතින් ඇක්ෂන් එකක් දානවා. මොක්ද්ද දන්නවද, හුලන් බැහැලා ගිය බයිසිකල් වලට හුලං ගහනව වගේ..... 
මගෙ හුස්ම නැතු වේගන යනව වගේ නිසා එයා හුලන් ටිකක් ගහන්නලු හැදුවෙ..... ඒ වගේ අයට තමයි මම කියන්නෙ කල්‍යාණ මිත්‍රයො කියන්නෙ.

ඔය සේරටම වඩා දරාගන්න බැරි දේ තමයි කවුරු හරි පළවෙනි වතාවට මගෙ නම ඇහුවාම " ආ.... ඔයාට හොඳට සිංදු කියන්න පුලුවන් ඇති නේද....? කියල කියන එක. 
"ඔව් අනේ මම ඉපදුනේ සින්දු කිය කියා, ඒ නිසයි අම්ම මේ නම දැම්මෙ "කියල කියන්න ඒ හැම වතාවෙම කටට ආවත්, "නෑ නෑ, ඒකෙ තේරුම මුහුද" කියලා කියන්න තරම් මම සංවර මනුස්සයෙක්. 

කවදාවත් ප්‍රසිද්ධියෙ සිංදු කියන්නෙ නෑ කියලා මම තදින්ම තීරණයක එල්බගේ හිටියත්, හදිසි අවස්ථාවකට ප්‍රයෝජනේට ගන්න එකම එක සිංදුවක් මම ලෑස්ති පිට තියාගෙන ඉන්නවා. 1000 වතාවක් විතර කියලා කියලා ඒකෙ තාලය යාන්ත වගේ මතකයි. ඒ "ගඟ අද්දර...." ගීතය. ඒත් විජය කුමාරතුංග කියන එක නෙමේ.Gresha  Schuilling කියන එක.



Tuesday, March 24, 2015

හෙටවත් එනවද........?

මිදුලේ සවසට ඉහිරෙන
රන් වන් සෙවනැලි
සීතල බොල් පිණි වැස්සට 
මැකී යන්න පෙර
ඉදලින් හැඩ වූ රේඛා
බොඳව යන්න පෙර
පිච්ච මල් සුවඳ අරගෙන 
නුඹ අද එනවද.............?

ඇල් හාලේ බතින් නැගෙන
නැවුම් සුවඳ පොද
මන්දාරම් උඩු හුළඟේ
විසිර යන්න පෙර
පාන් කලුවරත් ඇවිදින්
බැලුම් ලන්න පෙර
හිතේ පහන් දල්වන්නට
නුඹ අද එනවද ........?

හෙන්දිරික්ක මල් රොන්සුණු
පොළොව සිඹිනු පෙර
අවාරයට ඇදෙන බමරු
මලට එන්න පෙර
සීතල තැවරී හදවත
මියැදෙන්නට පෙර
අමාවකට සඳක්ව නුඹ
හෙටවත් එනවද........?