Sunday, January 31, 2016

සමු ගෙන යන්නෙමි

කින්නරාවිය වීය නුඹ , ගිනි සැරෙන් මා හද සිදුරු වූ දා 
සෙනෙහසින් මා නොහැර ‍රැඳුනා , කඳුලැලින් මහ සයුර හඬවා
මුව අගින් වා ගැබට මුසු වූ, සුසුම් හඬ මා සිතෙහි රඳවා
බෝ දුකින් මේ ගමන මම යමි , අනේ නුඹෙ රුව නෙතේ හංගා

ලොවට රහසින් සිතක ලියු පෙම් , කවක් ලොව ඉදිරියේ හඬවා
අපේ මැදුරෙන් නික්ම යන්නම්, සොඳුරියේ නොහඬන්න කිසිදා
කාලයේ වේගයට පැරදුන, අපේ ජීවන ගමන හැර දා
යන්න දෙනු මැන ඉතින් මා හට , සිතින් මා අත නොහැර රන්දා

මලට මත් බමරුන් ඇදේවිද, මලෙහි රොන් සුනු සුවඳ දැනිලා
කුමක් කරමිද, කුමරියේ මම, ඉවත බලනෙමි නොදු‍ටු විලසා
මගේ සියොළඟ දැනෙන නුඹෙ ප්‍රේමයේ අබිසෙස් සිතේ බන්දා
පුංචි පුතු ‍රැකගන්න සොඳුරිය, නෙතේ අද්දර තබා සැමදා



Monday, January 25, 2016

මේ දුක් බර වැඩියි ඉතින්

හද වෙණ රැඟූ සත්සර තානම මැද්දෙන්
නුඹෙ සිනහව දිලුණි බිඟු ඇහැරිණි නින්දෙන්
සීතල දුරුත්තෙහි වැටි පිණි කැට අස්සෙන්
නුඹෙ නෙත් අත නෑර අල්වා ගමි රහසෙන්


හද විල සෙනෙහෙ දිය රැළි කැලඹෙන සරයෙන්
සිත වට රඟන නුඹෙ ඔය හසරැලි සද්දෙන්
අරලිය මලක පියවිලි බඳු මුදු සුවඳෙන්
තුන් සිත ඇහරිලා මුලු මැදියම නින්දෙන්


ගිනි ගත් හදට සිහිළඹ සුව ගෙනෙන ලෙසින්
දිවි ගංගාව මා හා පැද යන්න නිතින්
මගෙ සෙනෙහසට සැමදා ආදරෙන් බැතින්
හද වෙත එන්න, මේ දුක් මට බරයි ඉතින්














Saturday, January 23, 2016

සැවෝයි සහ කුඩය

මේක අවුරුදු තුනකට විතර කලින් මම  පා සටහන් බ්ලොග් අඩවියට ලියපු ලිපියක්.පුංචි පුංචි වෙනස් කම් කීපයක් එක්ක ආයෙම මේ ලිපිය ලෝකයේ කොනට ගෙනෙන්න හිතුණා. 

හුගිය දවසක මම නංගියි නංගිගෙ යාලුවෙකුයි එක්ක කො‍ටුවෙන් මොර‍ටුව බස් එකකට නැග්ගා  බම්බලපිටිය යන්න. මම තනියම සීට් එකක. ඒ දෙන්නා මට පිටිපස්සෙ සීට් එකේ.


(සේරටම කලින් කියන්න ඕනා මේ යාලුවො දෙන්නම එක වගේම ටියුබ් ලයිට් දෙකක්. එක්කෙනෙක් ටිකක් වැඩිපුර ටියුබ් ලයිට්. එයා තමයි ලු පොඩි කාලෙ මීගමුවෙන් හලාවත පැත්තට යන බස් එකක නැගලා "දැන් මීගමුවට ලඟයිද කියලා අහුවෙත් මුළු බස් එකටම ඇහෙන්න. )


ඔන්න ආයෙත් කතාවට........


බස් එකට නැග්ගා කියලා කිවුවා නේද? 

ඔවු,  බස් එකට නැග්ගා කියලා නම් මටත් හොඳට මතකයි... හෝල්ට් එකක් දෙකක් පහු වුණාත් මතකයි.


 ඊට පස්සෙ රස්ටපොපුලස් එක්ක කරාටේ ගහගෙන ටින් ටින් ව මම බේරාගෙන එනවාත් මතකයි හොඳටම....මොකක්??? 

ටින් ටින්ව බේර ගත්තා.? මම ටින් ටින් cartoon එකේ හිටියා මතක නෑනෙ.


 ආ.... නෑ මේකනේ වෙලා තියෙන්නෙ.මේ දවස්වල දවල්ට තියන සෞම්‍ය  කාලගුණයටද මන්දා මට සීට් එකේ නින්ද ගිහින් , ඒ වලාවෙ දැකපු හීනෙ පොඩි කෑල්ලක් තමයි ඒ. (කොච්චර සෞම්‍යද කියනවා නම් ඉර මගෙ සීට් එකේම වාඩි වෙලා කරටත් අත දාගෙන ඉන්නවා වගේ දැනුනෙ...) 


ටින් ටින් ව බේරාගත්ත සතුටට ස්නෝවි මගෙ ඇඟට පනින්න හදනකොටම මට ඇහැරුණා. ( ස්නෝවි සුදු වුණත් බල්ලෙක්නෙ. එහෙම ඇඟට පනිනවා ඉවසන්න පුළුවන්ද) 


එක පාරටම මේ ලෝකෙට එන්නත් අමාරුයිනෙ, ටිකක් එහාට මෙහාට හැරිලා බලනකොට නංගියි යාළුවයි දෙන්න සුපුරුදු විදියට ලොකූ කතාවක.  මම වීදුරුවෙන් එලිය බැලුවා.


ආ....... දැකලා පුරුදු පාලමක් පහු වුණා. පොලිස් මුරපොලකුත් එතන තිබුණා. නිදිමතේ වුණත් මතක් වුණා ඒ වැල්ලවත්ත කියලා. 

එහෙම වෙන්න බෑනෙ, අපි ගියෙ බම්බලපිටියටනෙ. 
මම හිතුවා. ඔන්න එතකොටම සැවෝයි එකත් පහු වුණා. මලා!!! මට නින්ද ගිහින් තිබුණ වෙලාවෙ අපි බම්බලපිටිය පහු කරගෙන ඇවිල්ලා. නංගිටයි යාලුවාටයි  දෙන්නට ගානක් වත් නෑ. හිටිය විදියටම ලොකූ කතාවක.

"අන්න සැවෝයි.........." මම කෑගැහුවා (ඒ දෙන්නට විතරක් ඇහෙන්න.) නංගි ඒ දිහා බැලුවෙ මම වැල්ලවත්තෙ දි ලිබර්ටි ප්‍රතිමාව පෙන්නුවා වගේ කටත් ඇරගෙන. 

අනිත් යාලුවා මා දිහා බැලුවෙ කවදවත් මුහුද දැකලා නැති කෙනෙක් "අන්න මුහුද" කියලා මුහුද අයිනෙ ජීවත් වෙන කෙනෙක් ට පෙන්නුවා වගේ. 
"ආනේ සැවෝයි එකෙත් කුස පබා තියනවා......" කට ඇරෙගෙන ඒ දිහා බැලුව නංගි ටිකකින්  කිවුවා.


අනේ ඇත්තට මේ මිනිස්සුන්ට මම කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි. 
"මනුස්සයෝ සැවෝයි තියෙන්නෙ වැල්ලවත්තෙ. "
 ඔන්න එතකොට තමයි ඒ දෙන්නට තේරුනේ මම මොනාද එච්චර වෙලා කියන්න හැදුවෙ කියලා. ඊට පස්සේ නම් කලබල වුන ඒ දෙන්නම මටත් කලින් කොන්දොස්තර කොලුවාවත් පෙරලගෙනයි බස් එකෙන්  බැස්සෙ. 
ඔන්න ඊලඟට නංගිගේ යාලුවා  නහයෙන් අඬනවා.. 
" අනේ අව්වයි, මාව කලු වෙනවා"
ඔන්න අපේ නංගිට යාලුවට උදවු කරන්න අවස්තාව .

 "ඉන්න මම කුඩේ ඉහලන්නම්"




එහෙම කිවුවට මොකද, අතේවත් බෑග් එකකවත් කුඩයක් නම් තිබුනෙ නැ. 
"අයියෝ මගෙ කුඩේ බස් එකේ දාලා බැහැලා, ඔයා තමයි මාව කලබල කළේ."
ඉතින් බලන්නකො,ඒකත් මගෙ වරද වෙලා. කුඩ නැති කරගෙන වාර්තාවක් තියලා තියන එක්කෙනා ඒකෙත් වැ‍රැද්ද මට දානවා. 
"ඒක අම්මාගෙ කුඩේ, නැති කරගන්නෙ නෑ කියලා දහ අතේ ඩිවුරුම් දීලා තමයි මම ඒක ඉල්ලන් ආවෙ. ගිය සතියෙ මගෙ කුඩේ නැති වුණානෙ." 
"ඔයා ඉතින් ඉස්සර ඉඳන්ම කුඩයක් වැඩිම වුණොත් පාවිච්චි කරන්නෙ මාසයයිනෙ. " 


ඒ කතාව එහෙම ඉවර වුණත් කුඩ වලින් මගෙ නංගි  ට තියන අපලෙ නම් ඉවර වුණේ නෑ. එදා නැති කරපු කුඩේ ගැන අම්මගෙන් බැනුම් අහපු එයා  , ඊලඟ සතියෙ ගත්තු කුඩේ කැම්පස් එකේ දාලා ඇවිත් අම්මාගෙන් ආයෙම බැනුම් අහගෙන තිබුණා.

{දරුවන්ගෙ අත් වැරදීම් අම්මලා කොච්චර ඉවසුවත්, හැමදාම එකම දේ වෙනකොට කොහොමද අම්මා කෙනෙක් වුණත් ඉවසන්නෙ....;-) }


ඒ මොනවා වුණත් අන්තිමේදි ළමයා ටිකක් හැදිලා තියනවා කියලා තේරුණේ මට ගිය සතියෙ. පොඩි ගමනක් යන්න බස් එකට නැගුණ අපි දෙන්නා නියමිත ස්ථානයෙන් (එදා වගේ නොවී) බැහැගත්තා. 

අපි දෙන්නා බැස්සාම කොන්ද්ස්තර බෙල් එක ගැහුවා.
ඒත් බස් එක අද්දන්න හැදුවා විතරයි නංගි බස් එකේ  ඉස්සරහාට පැනලා "හෝව් හෝව්" කියලා කෑගැහුවෙ හරියට හරකෙක් එලවන කරත්ත කාරයෙක් වගේ. (උපමාව හරි නැද්ද මන්දා) 
කොන්දොස්තරත් බස් එක නවත්තාගත්ත. 


"ඇයි මිස්?" කියලා කොන්දොස්තරත්, "මොකද ළමයො?" කියලා මම ඇහුවෙත් එක පාරටම.
"මගෙ කුඩේ... ඒක බස් එක ඇතුලෙ" එහෙම කියන ගමන් එයා අආහු බස් එකට නගින්න හැදුවා.
ඒත් ඒ වෙනකොටත් එයා කුඩයක් ඉහගෙන ඉවරයි බස් එකෙන් බැහැපු ගමන්.... 
"එතකොට මේ මොකද්ද?" 
මම ඇහුවෙ එයාගේ අතේ  තිබුන කුඩය පෙන්නන ගමන්. ඒ වෙලාවෙ නංගිගේ  මූණෙ ආව පෙනුම දැක්කම නම් එහෙම කිවුව එක ලොකු පවුකාර කමක් කියලා මට හිතුනෙ. කොන්දොස්තර හිනා වෙලා ආයෙමත් බස් එකේ බෙල් එක ගැහුවා................. පවු මගෙ අහිංසක නංගි . :D


(මොනවා වුණත් මගෙ තියන හොඳ කමට ඒක දැනගත්තෙ අපි දෙන්නගෙම ලඟම යාළුවො දෙතුන් දෙනෙක් විතරයි. ලඟම නොවන අයට ඒ ගැන කියලා තිබුණෙ ඒ දෙතුන් දෙනා... මම නෙවෙයි)

ප්‍රේමයක් නොතිබුණා නොව

බමර තුඩගින් පෑරි පෑරී
රිදෙන විට සියපත් පෙතී
වතින් ගිලිහෙන කඳුලු බිඳු
යහනත වැදී මුකුලිත වෙවී
හෙමි හෙමින් වැලපෙනා මකරඳ
නුරාවෙන් මුව විට පිරී
නැගෙන සුසුමන් නෙතඟ ‍රැඳුනා
ලිහෙන සඳ විකසිත පෙතී

හදවතත් සියොලඟත් දැවුණින්
සරාගී සුසුමන් වැදී
මුවග වන් සියුමැලි වු ඉකියක්
සවන් ළඟ නො‍රැඳී ‍රැඳී
පියුම් පෙති මුලු ලොවට රහසෙන්
තැලී පොඩි වී යත සිඳී
මදහසක් පමණකිය දු‍ටුවේ
නුඹේ මුව මතුවෙහි බැඳී

සඳත් අමවක ඇවිත් ගිය දා
නුඹ නො ආවත් රුව මැවී
සිතත් , මුළු හදවතත් හිනැහුණි
සෙනෙහසක මතකය ඇඳී
පරව ගිය මුත් නුඹෙ දෙපා ළඟ 
සහස් වර මඳ හස සිඳී
ප්‍රේමයක් නොතිබුණා නොව, නුඹ
පෙම් කළා අදහමි බැඳී

Friday, January 1, 2016

හීන ඇහැරවා

සුපුන් සඳක් සේ ඇවිදින්
වලාකුළු හිතත් සමගින්
තුරුලුව හිනැහෙන්න වගේ
හිතට ලං වෙලා...
උණුසුම් දෙතොලක පහසින්
සීතල කම්මුල් රහසින්
හිනැහුන සඳ නුඹත් එක්ක
නෙතට ලං වෙලා.......

‍රැයත් බොඳ වෙලා යද්දින්
හීන ඇහැරවා නුඹ විත්
සුසුම් ‍රැළිති හිත පුරාම
කඩා විසිරලා.....
වැටෙයි බොල් පිණිත්  සද්දෙන්
තවම තිගැස්සෙයි නින්දෙන්
ආයෙත් නුඹ නො එනා බව
සිතට කොඳුරලා........