Wednesday, March 30, 2016

අවසරයි

සසර සයුරේ ඔහේ පාවුණ
ජීවිතේ ඔරුවෙහි ඉඳන්
සයුර සේ හෙළු කඳුලු වැල් සැම
නොදන්වා වියලී ගිහින්
නුඹේ සුවඳට වෙන්වු මතකය
නිමේශයකින් බොඳ කරම්
නුඹට යන්නට අවසරයි
පෙම්වතානෙනි අවසරයි

පිරුණ සයුරක් සොයා යනු මැන
රළු පරළු කුළු මුඳුන් රැලි නැති
සැඩ රැලිති මැද රැකෙනු නොහි නම්
සසර සයුරේ මුහුදු බත් වෙමි
නොබිඳි නොකැලැල් දිය රළක් ගෙන
සසරෙ සුපුරුදු සුවඳෙ සටහන
ලියා සයුරත පතුලෙ සඟවමි
යළිත් කිසිදා හමු නොවන්නට


Saturday, March 26, 2016

මධුවිතින් යට වූ නූඩ්ල්ස් රස

අහිංසක හුරතල් හිනාවත්, දඟකාර හැසිරීමකුත් ඇයට සහජයෙන්ම උරුම වී තිබුණා . දඟකාරයි කිවුවට, ඒක කාටවත් කරදරයක් වෙන දඟ බවක් නෙමේ. පුංචි දරුවො හැමෝටම පොදු අහිංසක දඟකාර කමක් ඒක.

ඇය සමග වාට්‍ටුවේ නැවතී සිටි ඇගේ ආච්චි අම්මාගේ දැනුමට අනුව, ඇගේ වයස අවුරුදු 4යි , .පෙනුමෙනුත් ඊට වඩා අඩු මිසක් වැඩි වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.
බැලු බැල්මට අමාරු අසනීපයක් තිබෙන බවක් නොපෙන්වූ ඇය, මා දකින මොහොතේදීත් වාට්ටුවේ අනිත් දරුවන් සමග සෙල්ලම් කරමිනුයි සිටියෙ.

දිගු එල්ලෙන කරාඹු යුගලත්, විළුඹ තෙක් දික් වූ දුර්‍වර්ණ සායත් ඇගේ වයස තරමක් සඟවාගෙන. .
ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය හුරු බුහුටි පොඩි කෙල්ලක්.

"මේ බබා කවුද?" රාත්‍රියේ වාට්‍ටුව බැලීමට පෙර මම හෙදියගෙන් ඇසුවේ මා එදින ඊට පෙර ඈ දැක නොසිටි නිසයි.
"ENT ඇඩ්මිශන් එකක් ඩොක්ටර්" හෙදියගේ පිළිතුර වුණා.

අනිවාර්‍යයෙන්ම කණට මොකක් හරි දාගෙන එන්න ඇති. මට සිතුණා.
මදටිය ඇට වල සිට මිය ගිය කුරුමිණියන් දක්වා වූ සියලු දේ කණ තුළට දමා ගත් දරුවන් මට හමු වී තිබෙනවා.
ඒ සියලු දේ කණ තුළට දමා ගැනීම ඉතාම සතු‍ටු සහගත , කුතුහලාත්මක දෙයක් වන්නට ඇති.  නමුත්, රවුම් ගෙරවුම් හැඬීම් සහ පයින් ගැසීම් ආරම්බ වන්නෙ ඉන් අනතුරුවයි.
ඒ, කන තුලට විවිඩාකර උපකරණ ඇතුළු කරමින් අප ඒවා ඉවත් කිරීමට උත්සහ කරන අවස්ථාවේදී.

මම ඇගේ ටිකට් පත ගෙන පෙරලා බැලුවේ එවර කනට ඇතුලු වූ වස්තුව කුමක්දැයි සොයන අටියෙන්.
එහෙත් පුදුමයකට මෙන් අපගේ ගේ අතින් එහි සටහන් වී තිබුණේ, , "Assaut" ලෙසිනුයි. (පහර දීමක්)
ඒ තරම් කුඩා දැරියකට පහර දෙන්නට ඇත්තේ කවුදයි සිතා ගත නොහැකි වූ මම තව දුරටත් ටිකට් පත කියවා බැලුවෙමි.

අපේ ENT වෛද්‍යතුමාගේ මුතුවන් අකුරු ඉතා අපහසුවෙන් කියවා ගත් මා හට පසක් වූයේ ඇයට පහර දී තිබුන ඇගේම පියා විසින්. ඒ මගින් ඇගේ කර්ණ පටහ පටලයට (කන් බෙරය )හානී වී තිබුණා.
අවුරුදු 4ක දැරියකට ඇගේම පියා විසින් කණ් බෙරය පිපිරීමට තරම් පහර දීම තරමක් බරපතල කරුණක්. ඒ නිසාම සිදු  වූයේ කුමක් දැයි සොයා බැලීමට මට සිත් වුණා.

ඇගේ ආච්චි අම්මගෙන් අසා දැන ගත් පරිදි, මෙම දැරියගේ පියා තදින් මත් පැන් පානයට ඇබ්බහි වූ අයෙක්.එම නිසාවෙන්ම වැඩ නිමා වී ඔහු නිවෙසට පැමිණෙන වේලාවක් බොහෝ විට සිතා ගත නොහැකියි. 
එදිනත් රාත්‍රී ආහාරය සඳහා යමක් පියා විසින් ගෙනෙන තුරු මෙම දියණිය මග බලා සිටින්නට ඇති. එහෙත් ඔහු නො එන තැන ඇගේ උත්සුක වූ කුස ගින්න මකා දැමීමට සුදුස්සක් එවර නිවසේ තිබුනේ නැහැ. එම නිසා අසල කඩයකට ගිය ඇගේ මව විසින් ඈ හට ක්ෂණික නූඩ්ල්ස් පැකට්‍ටුවක් ගෙනැවිත් සාදා දුන්නා. එයින් කුසගිනි නිවාගත් ඇය, සුපුරුදු වේලාවට නින්දට ගියා. කුසගින්නත්, ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් ප්‍රිය කිරීමත් ඇගේ සතුටට හේතුවක් වන්නට ඇති.

පියා නිවසට පැමිණියේ රාත්‍රී 10ත් පසු වී තවත් විනාඩි කිහිපයක් ගෙවුණ තැන. ඔහු රාත්‍රී ආහාරය සඳහා "කොත්තු" ගෙනැවිත් තිබුණා. දැඩි ලෙස මත් පැන් පානය කර සිටි ඔහු සිටියේ වෙරි මතින්.
තමන් විසින් ගෙන ආ රාත්‍රී ආහාරය ඇය විසින් අනුභව කරනු දැකීම ඔහුගේ අභිප්‍රාය වුණා. ඒ සඳහා දැරියව අවදි කිරීමට ඔහු උත්සහ කළා.

දියණිය ඒ වන විටත් රාත්‍රී ආහාර ගෙන සිටින  බවට තම බිරිඳ විසින් දිගින් දිගටම පවසද්දීත්, එය නොසැලකූ පියා දිගින් දිගටම ඇය අවදි කිරීමට උත්සහ කළා. එහෙත් තද නින්දේ සිටි ඇය අවදි වූයේ නැහැ.
අවසානයේදී දැඩි ලෙස කෝපයට පත් වූ පියා ඉන් අනතුරුව මෙම දැරියව ඇ‍ඳෙන් බිමට ඇද දමා පහර දී තිබුණා.  

ඇගේ කණට හානි වී තිබුණේ ඒ අයුරින්.

කුඩා දරුවෙකුට තබා, පයට පෑගෙන තරම් සතකුට හෝ පහර දීමට හිත හදාගැනීමට නොහැකි මිනිසුනද වෙසෙන ලෝකයේ මෙම පියාගේ හැසිරීම පිළිබඳව තවමත් මට ඇදහීමට අපහසුයි.
දෙමාපියන් දරුවන් එකිනෙකා නොහඳුනන දූෂිත වූ සමාජයක් ඇති කිරීමට මත් පැන් සහ මත් ද්‍රව්‍ය කොපමණ නම් ඉවහල් වනවාද යන්න මෙම සිදු වීමෙන් මොනවට පැහැදිලි වනවා.
(photo credit- pinterest)