Wednesday, May 4, 2016

නොමිනිසුන් අතර

ඒ මීට කාලයකට ඉහත දවසක්....
වාට්ටුවේ සුපුරුදු කලබලකාරී බව එදිනද එලෙසින්ම නොඅඩුව පැවතිණි. ඒ කලබලයට ඌණ පූර්ණ සපයමින් තවත් එක් රෝගියෙකු වාට්ටුවට ඇතුළත් විය.
ඔහු වයසින අවුරුදු් 40ක පමණ වූ අයෙකි . හැසිරීම වියවුල් වූ අතර ඔහු වෙති ප්‍රකටවූයේ අසීමිත කලබලකාරී ආක්‍රමණ ශීලි ස්ව්භාවයකි.
ඔහුගේ නළලෙහි වූ තවමත් සුව නොවූ තුවාලය දින කිහිපයකට කලින් වූ අනතුරක් පිළිබඳව සන් කරන්නට සමත් විය. ඔහු සමග පැමිණි කිසිවෙකුත් ඔහුගේ රෝග ඉතිහාසය නිවැරදිව දැන නොසිටියහ.

එහෙන් මෙහෙන් ඇසුණ කරුණු අනුව, ඔහු කොළඹ ප්‍රදේශයේ කුමක් හෝ රැකියාවක නිරත වන පුද්ගලයෙකි. ඊට දින කිහිපයකට පමණ පෙර තමන් හට මුහුණ දෙන්නට සිදු වූ යම් කිසි අනතුරක් නිසා, ඔහු හට හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් වන්නට සිදු විය... 

එම රෝගියා සමග අප වාට්ටුවට පැමිණ සිටියවුන් පවසා සිටියේ කලින් දිනයේ ජාතික රෝහලෙන් ඔහුව නිවෙස වෙත යවා ඇති බවය. (ටිකට් කපා ඇති බවය)
එහෙත් ඒ බව සනාථ කිරීමේ කිසිදු රෝග නිර්නය පතක් ඔවුන් සතුව නොතිබිණ.
රෝග නිර්නය කාඩ් පතක් නොතිබීමත්, රෝගියාගෙ හැසිරීම් රටාවෙහි වූ වෙනස් ස්වභාවයත් නිසා, ජාතික රෝහලෙන් ඔහුගේ ටිකට් කැපූ බව නම් විශ්වාස කිරීමට අපහසු කරුණක් විය. අපගේ මතය වූයේ ඔහු වාට්ටුවෙන් හොරෙන් පලා ගිය රෝගියෙකු වන්නට ඇති බවය. ඔහුගේ නළලෙහි වූ දින කිහිපයක් පරණ තුවාලය ඔහුගේ රෝග ඉතිහාසයේ ආරම්භය පිළිබඳව අප හට යම් දල අදහසක් ලබා දෙන්නට සමත් විය.

ඔහුගේ මතකය පැහැදිලි නොවූ අතර , හැසිරීමෙන්ද පෙන්නුම් කළේ ඔහුගේ හිසට සිදු වී ඇති අනතුර හේතුවෙන් හිසෙහි යම් කිසි අභ්‍යන්තර රුධිර වහනයක් හෝ තැලීමක් තිබීමේ ඉඩ කඩ වැඩි බවය. නාස්ති කිරීමට කාලයක් නොවූ තැන, ළඟ පිහිටි ශික්ෂණ රෝහලක් වෙත අප විසින් ඔහුව මාරු කරනු ලැබූයේ, ඔහු සිටි තත්වය අනුව හිසෙහි සීටී පරීක්ෂණය අනිවාර්‍ය වූ නිසාය. 

දින ගණනක් ගත වූ තැන ඔහු පිළිබ්ඳ මතකය මගෙන් ගිලිහී ගියේ, ඔහු වැනි රෝගීන් බොහෝ දෙනෙකු දිනපතා හමුවන නිසාවෙනි.

නමුත්, සති දෙකකට පමණ පසුව නැවත වරක් ඔහු අප වාට්ටුවේ පෙනී සිටියේය. ඒ පෙර කී රෝහලෙන් ඔහුව නැවතත් අප වෙත මාරු කර එවීම නිසාය. රෝහල් අතර සිදු වන මාරු කිරීම් වලදී එය සාමාන්‍ය තත්වයකි. රෝගියාගේ ටිකට් කැපීමේදී, ඔහුගේ තත්වය අනුව, නිවෙසට යවනවාද , නැතහොත් මුලින් සිටි රෝහලටම නැවත මාරු කර යවනවාද යන්න තීරණය කිරීම වෛද්‍යවරයාට සිදු කළ හැකිය.
ඒ වන විට ඔහුගේ තත්වය තරමක් හොඳ අතට හැරී තිබුණි. සිතූ පරිදිම ඔහුගේ මොළයේ රුධිර වහනයක් සිදු වී තිබූ අතර එය ඉවත් කිරීම උදෙසා ශල්‍යකර්මයක් අවශ්‍ය වී නොතිබිණි. 

ක්‍රම ක්‍රමයෙන් නමුත් ඉතා සෙමෙන් සුව අතට හැරෙමින් සිටි ඔහුව බලන්නට වාට්ටුවය පැමිණුනේ එක් කාන්තාවක් පමණක්ම විය.ඇය ඔහුගේ බිරිඳ බව , දින කිහිපයක්ම ඔවුන් පිළිබඳව අවදානයෙන් සිටි මා හට පසක් විය.
ඔහු හට සැබවින්ම සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට මා තුළ විශාල උනන්දුවක් ඇති වී තිබිනි. එම නිසා එක් දිනක ඇය ආපසු යන්නට සැරසෙන විට මම ඇයව මදකට නවත්වා ගතිමි.

ඈ ඔවුන්ගේ කතාව පැවසීම ආරම්භ කලේ ඉතා උනන්දුවෙනි. හරියටම කිවහොත්, ඈ හට ඒ පිළිබඳව පැවසීමට කෙනෙකු ඇය කාලයක් තිස්සේ හොයමින් සිටි අයුරිනි....
ඇගේ කතාව ඇගේ වචන වලින්ම පවසන්නම්.
මගෙ මහත්‍තය මේසන් වැඩ කරන්නෙ. අපිට ළමයි දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් ගෑණු ළමයෙක්... බැඳල ගිහින් ඈත ඉන්නෙ... එයාටත් ළමයි ඉන්නවා. ඒ නිසා යන්න එන්න අමාරුයි.
තව එක පුතෙක් ඉන්නව. එයාගෙ ඇස් දෙකම පේන්නෙ නෑ. ඒ නිසා රස්සාවක් කරගන්න බෑ...
මහත්තයගෙ රස්සාවෙන් හම්බෙන සල්ලි වලින් තමයි අපි ජීවත් වෙන්නෙ...."

ඒ අනුව ඔවුන් තිදෙනා ඒ වන විට පත් වී ඇති තත්වය පිළිබඳව අමුතුවෙන් සිතා බැලීමට මා හට අවශ්‍ය නොවීය. මුදල් උපයන , පවුලේ එකම පුද්ගලයා මෙසේ අසනීප වීම , එම පවුලට අකුණු සැරයක් බඳු වන්නට ඇත.
ඇය දිගින් දිගටම කතා කරන්නට වූවාය.

" මහත්‍තයා කොලඹ රස්සාවට ගියෙ මාස දෙකකට විතර කලින්. කොන්ත්‍රාත් අරගෙන බිල්ඩින් හදන කොම්පැනියක වැඩ කළේ මේසන් වැඩ.
ඇක්සිඩන්ට් වුන දවසෙ හවස වැඩ ඇරිලා යද්දි, කාර් එකකට හැප්පිලා... ඒ කාර් එකේ ගිය මිනිස්සුම කොළඹ මහ ඉස්පිරිතාලෙට ගිහින් දාලා තිබුණ. මටත් එයාලම තමයි පණිවිඩය කිවුවෙ"

අනතුරට පත් වූ මිනිසුන් මැරෙන්නට මග මග අත ඇර යන ලෝකයක, එම වාහනයේ ගිය වුන් සැබෑම හොඳ මිනිසුන් බවය මට සිතුනෙ. එහෙත් මගේ එම සිතිවිල්ල එතරම් නිවැරදි නොවීය.

"පලවෙනි දවසෙ ඉඳන්ම මහත්තයගෙ සිහි කල්පනාව එච්චර හොඳ මට්ටමක තිබුණෙ නෑ. ඔලුව ස්කෑන් කරල එහෙ දොස්තර මහත්තුරු කිවුවෙ මොළේ ඇතුලට ලේ ගලලා, ටික කාලයක් යයි අඩු වෙන්න කියලා....
එයා වාට්ටුවෙ ඉද්දි අර කාර් එකේ ගිය අයත් බලන්න ඇවිත් තිබුන. කාර් එක එළවපු එක්කෙනා ඒ වෙද්දිත් හිටියෙ රිමාන්ඩ් එකේ.
මටත් එයාලාව හම්බුණා. තුන්වෙනි දවසෙ මම මහත්තයව බලන්න යද්දි ඇතුළට යන පාස් ඉවර වෙලා තිබුනා. එයාලා පාස් දෙකම අරගෙන ගිහින් තිබුණා. මට යන්න ලැබුනෙ නැති නිසා මට කිවුවා, එයාලා මහත්තයව බලන්නම්, මට ගෙදර ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න කියා"

අසනීප දරුවෙක් තනිවම නිවසෙහි දමා ගොස් සිටි ඇයට ඒ වදන් මහත් වූ අස්වැසිල්ලක් වන්නට ඇත. කිමී 300කට වැඩි දුරක් ගෙවා ඈ නිවසට පැමිණ තිබුණේ ඒ නිසාවෙනි. දින දෙකකිනි පසුව ඇය නැවතත් කොළඹ ගියේ තම සැමියාව දකින රිසියෙනි.

" ඒත් මහත්තයා ඒ වෙද්දි වාට්ටුවෙ හිටියෙ නෑ. වාට්ටුවෙන් අහල බලද්දි කිවුවෙ , එයාගෙ භාරකාරයො කැමැත්තෙන් ටිකට් කපාගෙන අරන් ගියා කියලා....
මම දැනගෙන හිටියෙ නෑ, භාරකාරයො විදියට දීල තිබුණෙ එයාලගෙ නම් කියලා. මට සිංහල දන්නෙත් නෑනෙ. සිංහල පුලුවන් නෑදෑ ළමෙක් එක්ක මම ගියෙ.

ඊට පස්සෙ මම ඒ වාහෙනේ අයිතිකාරයන්ට කතා කළා. එයාලා කිවුවා මහත්තයට සනීප නිසා ටිකට් කපාගෙන ආවා කියල. කොටුවෙ ඉස්ටේසන් එකෙන් කෝච්චියට නැග්ගුවා කිවුවා. බය නැතුව ගෙදර යන්න කිවුවා. කෝල් එකක් අරන් බලන්නවත් නොම්බරයක් තිබුණෙ නෑ මහත්තයා ගාව. ගමේ දන්න තැන් වලට කතාකරල බැලුවත් එයා ඇවිල්ලා තිබුණෙ නෑ. ඒත් මම මොනව කරන්නද, මම ආපහු ගෙදර ගියා. ඒත් එයා ගෙදර ආවෙ නෑ. ඒ වෙද්දි අර කාර් අයිතිකාරයන්ගෙ නොම්මරේ වැඩ කළේ නෑ. "
කොහෙ බැලුවත් හිටියෙ නැති නිසා, ආයෙමත් අපි කොළඹ ගියා. වෙන යන්න තැනක් නොදැන , අපි ගියා කොටුව ඉස්ටේසම ට....
ගිහින් බලද්දි එතන මහත්තයා හිටියා. මොකුත් මතක නෑ... ඉබාගාතේ ඇවිද ඇවිද හිටියා. එයාලා මහත්තයව පෙන්නල රිමාන්ඩ් එකේ හිටිය කෙනාව නිදහස් කරගෙන"

ඇයගේ දෑසේ කඳුලු නැගෙයි. ඈ හට දිය හැකි පිළිතුරක් මා හටද සිතා ගත නොහැකි විය. ලෝකයේ මෙවැනි මිනිසුන් සිටීදැයි වරෙක සිතේ.
"බයවෙන්න එපා අම්මා, එයා හිමින් හිමින් සනීප වෙයි. ඒකට ඔයාලගෙ උදවු තමයි දැන් ඕනා" මම ඈ හට පැවසූවේ එපමණකි. සැබැවින්ම ඔහු හට ඉක්මනින් සුව වන්නට අප වාට්ටුවේ සියල්ලෝම උපරිම සේවයක් ඉටු කළහ.
සැබැවින්ම ඔහු සම්පූර්ණයෙන් සුව වීමේ ඉඩ බොහෝ ඇත. නමුත්, ඒ සඳහා උපරිම උපකාර නිවැසියන්ගෙන්ද අවශ්‍ය වේ. ඔවුන්ගේ පවුල් පසුබිම, ආර්ථික තත්ව ආදිය අනුව එය එතරම් පහසුවක් නොවන්නට ඇත.
මිනිසෙකුට උපකාර කිරීමට , මිනිස් කමට ගරු කිරීමට තවත් මිනිසෙකුට නොහැකි නම් එවන් සමාජයක් ගමන් කරනුයේ කොතැනටද යන්න ඔබ තීරණය කරන්න.