Saturday, July 23, 2016

බැලරිනා

සීමාවාසික කාලය යනු ලෝකය පුරාම බොහෝ තරුණ වෛද්‍යවරුන් දැඩි මානසික පීඩාවට ලක් වන කාල සීමාවක්.ලාංකීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළද එය එසේම හෝ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. එතෙක් කල් ගත කළ නිදහස් ජීවිතය ක්ෂණිකව නිමා වීම, හදිසියේම නිවසෙන් ඈත් වීමට සිදුවීම, දරාගත නොහැකි අන්දමේ විශාල වගකීමක් එක් වරම හිස මත පැටවීම, ජ්‍යේෂ්ට වෛද්‍යවරුන්ගේ දෝශ දර්ශන වලට නිරන්තරයෙන් ලක් වීම, කිසිදු නිවාඩුවක් නොමැතිව දින 365ක් පැය 24 මුලුල්ලේ වැඩ කිරීමට සිදුවීම් ආදී බොහෝ කරුණු මේ සඳහා ඉවහල් වේ.
ඒ අනුව බලන විට මා ගතකළ සීමා වාසික කාල සීමාව එතරම්ම පීඩාකාරී බවක් ගෙන දුන් අවදියක් නොවීය.

සිත් පීඩා , වගකීම් නිසා වූ මානසික පීඩනය නොවන්නට එය ජීවිතයේ එතෙක් ගමන්ගත් මාර්ගය වෙනස් කිරීමට බොහෝ සෙයින් ඉවහල් වූ වැදගත් කාලසීමවක් විය. ඒ කාලය පුරාවට ඉගෙන ගත් පාඩම් බොහෝය. ඒ රෝගීන් පිළිබඳව පමණක් නොවේ. මිනිසුන් ගැන බොහෝ දේ ඉගෙන ගැනීමටද සීමවාසික කාල සීමාව උපකාරී විය.

ශල්‍ය වාට්ටුවේ ගත කළ කාලයටත් වඩා මා තවමත් බොහෝ සෙයින් ඇලුම් කරන්නේ ළමා වාට්ටුවේ ගත කළ කාල සීමාවටයි. ළමුන් සමග ගත කරන විට කාලය ගත වෙනවා නොදැනීමත්, මගේ මිතුරියන් දෙදෙනාත් ඒ සඳහා බෙහෙවින් උපකාර විය. වාට්ටුවේ වැඩ අවසන් වුවත් නිල නිවාසයේ කාමරයට යාමට වඩා අප තිදෙනාම ප්‍රිය කළේ වාට්ටුවට වී සිටීමටය. 
ඊට හේතුව අප සඳහා වූ වාට්ටුවේ කාමරය නිල නිවසටත් වඩා හොඳින් අපේ විශේෂඥ වෛද්‍ය තුමිය සකස් කොට දී තිබීමයි. කිසි දිනෙක වචනයකින් හෝ අපි කිසිදු කෙනෙකුගේ සිත නොරිදවූ ඇය මම තවමත් ගරු කරන ආදරය කරන දක්ෂ වෛද්‍යතුමියකි.
ළමා වාට්ටුව පුරාම ඇති මතකයන් සමූහයකි. ඒ විවිධාකාර වු කුඩා දරුවන් පිළිබඳව ඇති මතකයන්ය.

සසිත් එසේ හමුවූ දරුවෙකි. ඔහු වාට්ටුවේ නැවතී සිටියේ අම්මාත් සමගය.
වර්තමානයේ එතරම් සුලභ නැති වුවත් ඔහුට වැළඳී තිබුණේ රුමටික උණ යි . ඒ නිසා වාට්ටුවේ සතියකට වැඩි කාලයක් නැවතී සිටීමට ඔහුට සිදු විය.
සාමාන්‍යෙයෙන් වාට්ටුවේ දින කීපයක් ගත වන විට බොහෝ කුඩා දරුවන් මෙන්ම ඔවුනගේ මවුවරුන්ද අප සමග සුහද වේ. සසිත් ද ඒ ලෙසින්ම අප සමග සුහද විය.
"පුතා කියනව ඩොක්ටට සාරි අඳින්න කියන්න ලු"
එක් දිනක උදෑසන ඔහුව පරීක්ෂා කරන අවස්ථාවක ඔහුගේ මව පැවසුවාය.
එය මා හට සිනා උපදවන්නක් විය. 

සියලුම සීමාවාසික වෛද්‍යවරුන් මෙන්ම මමත් මගේ මිතුරියත් සාරි විරෝධීන් වීමු. මන්ද යත් කිරීමට ඇති නේක විධ වූ වැඩ අතරට සාරි ඇදීමත් එක් වූවොත් එය හිසරදයක් බවට දන්නා නිසාවෙනි.
අපගේ විශේෂඥ වෛද්‍ය තුමියද කිහිප වරක්ම සාරි ඇඳීම පිළිබඳව පවසා සිටියත්, කෙසේ හෝ ඒ මාස හය පුරාවටම සාරි නොඇඳ සිටීමට අපි සමත් වීමු.
"සාරි ඇන්දනම් මේ ළමයි කොච්චර ලස්සනද..."ඇය නොයෙක් වර පවසා සිටියාය.

"අනේ සාරි ඇන්දම අමාරුයි මැඩම්..." අපේ 'නහයෙන් ඇඬීම්' හමුවේ ඇය කිසි දිනෙක ඒ පිළිබඳව අපට බල කළේ නොමැත.

නමුත්, සාරි ඇඳීමේ ආදීනව පිළිබඳව සසිත් හට පැවසීමේ හැකියාවක් මා හට නොවීය.

"හරි හරි. මම හෙට ඉඳන් අඳින්නම්..." ඒ වෙලාවේ සිතට ආ පිළිතුර මා ඔහුට ලබා දුනිමි.
එහෙත් පහුවදා වන විට ඒ පිළිබඳව මගේ මතකයෙන් ගිලිහින.
සසිත් ද දින කීපයකින් සුව ලබා වාට්ටුවෙන් පිටවී ගියේය.

එහෙත් දින කිහිපයකින් අනතුරුව, සසිත් නැවත සායනයට පැමිණිය යුතු විය.
සායන දිනයේදී සසිත්ගේ අම්මා ඔහුත් සමග වාට්ටුවට නැවත පැමිණුනාය. ඇයගේ අතෙහි බ්‍රවුන් පේපර් කවර වල දැමූ පාර්සල් දෙකක් විය.
ඒවා මට සහ මගේ මිතුරියටය.

"මොනවද අම්මා මේ?" අප දෙදෙනාටම මහත් කුතුහලයකි.
සසිත් ලජ්ජාවෙන් අම්මා පිටිපස සැඟවෙන්නට විය.

"ගෙදර ගිය දවසෙ ඉඳලා මෙයාගෙ කරදරේ ඩොක්ට, ඩොක්ටලා දෙන්නට සාරි දෙකක් ගිහින් දෙන්න කියලා... හරියට කරදර කළා මට.
මම ඉතින් අමාරුවෙන් මෙයාව කැමති කරගත්තා මේ දෙක ගිහින් දෙන්න...."

ඒවාගේ වූයේ කුඩා හුරුබුහුටි බැලරිනාවන් දෙදෙනෙක් හා චොක්ලට පෙට්ටි දෙකකි.

"අනේ මේවා ගන්නෙ කොහොමද ?" අප දෙදෙනාම පත් වූයේ දැඩි අපහසුතාවයකටය.
එහෙත් අම්මාගේ ඉල්ලීමත් , කුඩා දරුවාගේ මුහුණේ වූ උනන්දු ස්වභාවයත්, කිසි ලෙසකින්වත් ඒවා ප්‍රතික්ශේප කිරීමේ හැකියාවක් අපට ලබා දුන්නේ නැත.

ඔහු සතුටින් අම්මා සමග පිටව ගිය අතර, ඒ කුඩා බැලරිනාව තවමත් අපේ නිවසේ සිටින්නීය.


Sunday, July 17, 2016

උපන් ලපය

හිරු සෙමෙන් නැගෙන්නට විය. අඩක් නිම වූ තේ කෝප්පය ඇල් වතුරටත් වඩා නිවී ඇත. බෝඩිමෙන් ලැබෙන්නේ තේ කෝප්පය පමණි . එහි ඇති කහට, සීනි සහ කිරි පිටි ප්‍රමාණය නියමිත මාත්‍රාවෙන් අඩකි. කෝප්පයේ  ඉතිරි වූ තේ ටික අඩියේ පණ අදිමින් සිටි කුබියෙකු සමගම මම ජනේලයෙන් එලියට විසි කලෙමි . ජනේලයට අඩි කිහිපයක් එහායින් වූ තාප්පයේ දිය සෙවල අතර එය වියලී ගියේය .

පෙර දිනයේද මා විසින්  අදින ලද ටී ෂර්ට් එක සහ ඩෙනිම් කලිසමම ඇඳගත්තේ මෙවැනි වැසි දින වලදී සේදීමට තවත් ඇදුම් එකතු කරගැනීමට ඇති වූ අකමැත්ත නිසාවෙනි. 

හැරත් එකම අඩුම අඳිනවා යයි පවසා මා සමග රණ්ඩු  කිරීමට ෂෙහානි තව දුරටත් මා සමග නැත. විශ්ව විද්යාලය තුල දිනපතා ඈ දැකීම සැබවින්ම දැන් මා සිතට මහත් වූ වදයකි. ඈ පිළිබඳව තව දුරටත් කිසිදු ආදරයක් නොමැති වුවත් ඇගේ දසුන සිතට ගෙන එන්නේ මහත් වූ කලකිරීමකි.

ඈ ගැන ඈ කල කී දේගැන සිතීමෙන් තව දුරටත් පලක් වේද .

තෙල් සායම් ටියුබ් , පින්සල් ආදී වූ සියල්ල බෑගයට දමා ගත් මම බෝඩිමෙන් එලියට බැස්සෙමි. පෙර දින රාත්‍රියේ වැටුන වැස්සෙන් තවමත් පාර දෙපස මඩ වතුරින් පිරී ඇත. ඒවගෙන් බේරෙමින් සහ පාරේ යන වාහන වල මඩ පහරවල් වලින් බේරී යා යුතුය.


මට ඉදිරියෙන් යුවතියක් ගමන් කරයි. ඇගේ මුහුණේ සේයාවකදු නොපෙනුණත් තනි කරලට ගෙතූ ඇගේ දිගු කොණඩය , දණහිසට මදක් පහළින් අවසන් වූ සායෙන් විවර වූ නොවැසුණ පාදත් මගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

එහෙත් ඒ සියල්ලටම වඩා මගේ නෙතට වඩාත්ම අසු වූයේ ඇගේ වම් බාහුවෙහි , වැලමිටට මදක් ඉහලින් වූ උපන් ලපයයි. එය සෙන්ටිමීටරයක් පමණ වන්නට ඇත.

උදෑසන හිරුත් සමග අවදි වූ මගේ සෙවනැල්ල ඇගේ සෙවනැල්ල සමග අතිපිහිත වද්දී මම ඈ හට කිට්ටු කළෙමි. පිච්ච මල් සුවඳක් දැනුනේ ඇගේ වත්සුණු වලින්ද, නැතහොත් මගේ සිතෙහි ශෙහානි පිළිබඳව ඉතිරි වී ඇති නොකැලැල් වූ අතලොස්සක් මතකයන්ගෙන් එකකින්ද පැහැදිලි නොවීය.

ඈ පසු කරන්නට ඔන්න මෙන්න තිබියදී මදක් හිස හරවා මම  ඈ දෙස බැලීමි. මගේ නෙතු ගැටුණ වහා ඈ බිම බලා ගත්තාය. ඈ අතිශය සුරූපී නොවූවාය. නමුත් රූමත් යැයි කිව හැකි පෙනුමක් ඈ සතුව තිබිණ. එහි වූ සුවිශේෂී බව මා ඈ කෙරේ ආකර්ශනය කිරීමට සමත් විය. 

එහෙත් මගේ නෙත් ගැටුන වහා බිම බලා ගත් ඇය , මා සමග කතා කිරීමට තබා හිස ඔසොවා මා දෙස බැලීමටවත් සුහද නොවූ තැන , මම  ඈ පසු කර විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමි. ඈද මා අනුවම එමින් විශ්ව විද්‍යාල ගේට්ටුවෙන් ඇතුලු වනු මම  දුටිමි. 
ඇය කුමණ පීඨයේ කුමණ වසරෙහි ඉගෙනුම ලබන්නේද?

එදිනට එපමණකි. නමුත් එය නැවතීමක් නොවීය. ඉන් අනතුරුව එළඹි සෑම දිනකම පාහේ ඈ මගේ නෙත ගැටිණ. එහෙත් ඒ සෑම වතාවකම මගේ නෙත හා තම නෙත නොගැටෙන්නට ඈ වගබලා ගත්තාය. ඈ හා කතා කිරීමට මා දැරූ සියලු තැත් ව්‍යවර්ත කරමින් ඉතා සාර්ථකව මගේ දසුනින් සැඟ වන්නට ඈ සමත් වූවාය.

මා කලක් ශෙහානිට දැඩිව ආදරය කළ ද , මගේ සිත මෙතරම් සසල කිරිමට කිසි දිනක ඈ හට හැකි නොවීය. 
මෙම යුවතිය පිළිබඳව සොයා බැලීමට කොතෙක් උත්සහ කළද මෙම අද්භූත යුවතිය කවුරුන්ද යන්න සොයා ගැනීමට මම  අපොහොසත් වීමි. කිසි දිනෙක දේශන ශාලාවක දකින්නට නොලැබුණ ඈ සෑම විටම තනිවම සිටියාය. ඈ හට කිසිදු යහලුවෙක් නොමැතිද?

බෝඩිමේදී මම  නොයෙක් වර ඈ ඇඳීමට උත්සහ කළෙමි. එහෙත් එය සිතූ ආකාරයෙන් ඇඳීමට කිසිදු විටෙක මම සමත් නොවීමි.කොල සියයක් අපතේ යන්නට ඇත. මිනිරන් කූරු කිහිපයක් ගෙවී යන්නට ඇත. එහෙත් ඈ තවමත් මා දෙස නොබලන්නීය.

නොයෙක් වර ඈ සිහිනයෙන් මා කරා ආවාය. ඒ අපැහැදිලි සිහින සමුදායක් හරහාය. එහෙත් ඒ සෑම වතාවකම ඇගේ වමතෙහි වූ කලු පැහැති උපන් ලපය මම  සැමදා පැහැදිලිව දිටිමි.

එක් දිනක උදෑසන හදිසියේම ගිම්හානය නිමා විය.ගොලු බිහිරි අන්ධ වේශයෙන් සිටි ඈ සියලු අළු ගසා දමා නැගිටීමට තීරණය කර තිබිණි.
"ඇයි මගෙ පස්සෙන් එන්නෙ?" එක් වරම ඈ විමසා සිටියාය. දෙන්නට පිලිතුරක් මා හට පැහැදිලිවම තිබිණි. එහෙත් අනපේක්ෂිතව නැගුණ ප්‍රශ්නයත්, මුල්ම වතාවට ඇසුණ ඇගේ කට හඬත් මා ගොලු කළේය. 

කියන්නට දහක් දේ තිබුණත් මගේ මුවින් ගිලිහුණේ එක් මෝඩ වාක්‍යක් පමණි. 
"අඳුනගන්න හිතුණ"

"අඳුනගත්තා කියල මොනවද ලැබෙන්නෙ?"

"ආදරේ" පසුගිය කාලය පුරාවටම මගේ සිතිවිලි වල හරය එක්කොට එක වදනකට මම පෙරලීමි. 
ඒ සමගම ගොලු වූ ඇගේ මුවත්, ලා රත් පැහැයට හැරුණ කම්මුලුත් මම  පැහැදිලිව දිටිමි. ඒ නෙත් හඬන්නට ඉතා ආසන්න විය.

"මාව දන්නෙ නැද්ද?" ඇය වදන් ගැලපුවේ අපහසුවෙනි. මුලදී වූ දැඩි බව ඒ වදන් වල නොවීය.

"කොහොම දැනගන්නද? කතා කරන්න හැදුව හැම වෙලාවෙම පැනල දිවුවනෙ" මම සිනාසීමට උත්සහ කළෙමි. එහෙත් ඇගේ දෙනෙත් තුළ වූයේ අතිශය ශෝකාකූල වූ පෙණුමකි.

"මට මාසයක් දෙන්න. මාසයක් යනකම් මගෙ ඉස්සරහට එන්න එපා... මාව දකින්න එන්න එපා" ඒ වදන් වල වූයේ බැගෑපත්, එහෙත් ස්ථීරසාර හඬකි. අනතුරුව තත්පරයකදු නොනැවතුන ඈ මා හැර දමා යන්නට ගියාය. ඈ පසුපස යාමට තරම් එඩිතර සිතක් මා සතු නොවීය. 

සැබැවින්ම ඉන් අනතුරුව මම ඈ නොදුටුවෙමි. එහෙත් උවමනාවෙන්ම ඈ මා මගහරිනවා දැයි සිතේ. අනතුරු හැඟවීමක් බඳු වූ ඇගේ අවසන් වාක්‍යය නිසා නොවන්නට , දිගින් දිගටම මා ඈ සොයනවා නො අනුමානය. 

ඈ නොදැක නවවන දිනයත් ගත විය . සුපුරුදු දේශන, චිත්‍ර පන්ති සියල්ලම කිසිදු වෙනසක් නොමැතිව ගෙවී ගියේය. ශෙහානි ද ඇගේ අලුත් පෙම්වතා සමග නිතිපතා නෙතගැටුණත් දැන් දැන් ඈ නිසා සිතේ ඇති වන දුක කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පවතියි. ඒ වෙනුවට දිනපතා ආලෝකමත්ව දැල්වෙන බලාපොරොත්තුවක පහනක් සිතේ දැල්වෙමින් පවතියි. එහෙත් මාසයක් ගත වූ තැන කුමකින් කුමක් සිදු වේවිද. සිතාගත නොහැකිය. 
මේ ගෙවී යන්නේ සරසවියේ අවසන් වසරයි. ජීවිතය යනු සෙල්ලමක් නොවන බව වැටහෙමින් පවතින කාලයයි. 

පුරුදු ලෙසම චිත්‍ර කාමරයට මම ඇතුළු වුනෙමි. ඒ වනවිටත් නිරූපිකාව සූදානමින් සිටියාය. බොහෝ දෙනා තමන්ගේ චිත්‍ර උපකරණ සූදානම් කරමින් සිටියහ. මට ඇගේ මුහුණ නොපෙනේ. දුහුල් රෙද්දකින් වැසී ඇත්තේ ඉනෙන් පහළ කොටස පමණි. 

ඈ රූමත් ද නැත්ද යන්න පිළිබඳව කිසිවෙකුත් සිතන්නේ යැයි මම  නොසිතමි. ඈ අඩනිරුවත් බවද ඔවුන් දකින්නේ කැන්වසය හරහා පමණක් වන්නට ඇත. සැමට අවශ්‍ය එදිනට නියමිත චිත්‍ර සටහන නිම කිරීම පමණි.

එහෙත් හදිසියේම හෙන දහසක් මා හිස මත පුපුරා ගියේය. නිලංකාර වනවා බඳු හැඟීමක් සමග දෑසම බොඳවී යන්නට විය.

ඇගේ උපන් ලපය ! දින ගනණක් මා හැබැහින් දුටු, දින ගණනක් සිහිනෙන් දුටු , සිය වතාවක් මා මනසින් දුටු ඇගේ වම් අතෙහි වූ උපන් ලපය ... මේ නිරූපිකාව සතු විය.

උන් සිටි තැන් අමතක වූ මම නැගී සිටියෙමි. සිතුවම් කැන්වසයක් පෙරලී ගියේය. සියල්ලන්ගේම නෙත් මා වෙතට හැරුණේ ක්ෂණිකවමය. ඈද ඒ සිටි ඉරියව්වෙන්ම මා දෙස හිස හරවා බැලුවාය. 

ජීවිතයේ නැවතත් වරක් ඒ දෙනෙත් මා නෙත් හා ගැටුනේය. මොහොතකින් ඒ දෑස් කඳුලින් පිරී ගියේය. ඒ කඳුලු ඇගේ කොපුල් හරහා ගලන්නට පටන් ගනිද්දී මම චිත්‍ර කාමරයෙන් පිටවීමි.

~නිමි~