Tuesday, December 20, 2016

සමුනොගන්නෙමි මතක දෙවසර - මන්නාරම් වස්සානය

මන්නාරමෙන් නික්ම ආවෙමි. ඒ මීට තුන් මසකට පෙරදීය. වරෙක ඒ දිනය ඊයේ මෙන් දැනේ. එය ඒ තරමටම හිතට සමීපය.
තවත් වරෙක එය පසුගිය ආත්ම භවයක් මෙන් දැනේ... එම දිවිය ඒ තරමටම දැනට වඩා වෙනස් ය.

පුරා වසරක දාහය නිවමින් සීතල දෙසැම්බරය මා  මේ සටහන් තබන මොහොතේදීත් මන්නාරම සනසනවා විය යුතුය. පසු ගිය නොවැම්බරයේ දහවලක් රැයක් නොවෙනස්ව ඉකි ගසා හැඬූ  මන්නාරම් අහස මෙවරද එලෙසම හඬන්නට ඇත.
වහින්නට සිතූ විට එතරම් හිතුවක්කාර වන අහසක් මම ඊට පෙර දැක නොතිබුණෙමි.
වැස්සක් පිළිබඳව ජීවිතයේ ප්‍රථම වරට ප්‍රාණ බියක් දැනුනේද මන්නාරමේදීය.

ඒ වෙනදාට කිසිදු හැලහොල්මනක් නැති  කලපුව මැදින් මහ වැස්සේ මෝටර්‍ රථයෙන් යන්නට සිදු වූ විටකය. වෙනදාට නිල්පැහැයෙන් පින්තාරු වූ සලුවක සිරි ගත් කලපු දිය එදින යක්ශාවේෂ වූ යකැදුරෙකු වී තිබිණි. හැමූ තද සුළඟත් සමඟ අඩි ගණනක් උඩට විසිරුණු කලපු රළ තාරපාර මතට පතිත වූයේ රුදුරු විලාසයකිනි. රිදී පැහැයත් අලු පැහැයත් කළු පැහැයේ විවිධ ප්‍රභේදත් මුසු වූ අහසත් පොළොව වෙතටම රවමින් ගොරවමින් විදුලි එලි ඉසිමින් සිටියේ නිල් පැහැය යනු කුමක්දැයි උපන්තේකට අසා නැති සේය.

සැබැවින්ම මම බිය වීමි. කිලෝමීටර් තුන්සියයක් ගෙවාගෙන නිවසේ සිට එදින පැමිණෙමින් සිටියත් ඉතිරි වූ එකම කිලෝමීටරය නොගොස් ආපසු හැරීමට තරම් බිය වීමි. කලු පැහැති පරිසරයේ වූ එකම වෙනත් වර්ණය රතුපැහැති කුඩා පැන්ඩා රථය වන්නට ඇත.

එහෙත් වසරක් පුරා විඩාවෙන් විජලනයෙන් දුක් දරූ මහා පොළොව සැනසෙමින් තිබිණි. තුරු ලතාවෝ නැවතත් දළුලන්නට සැරසෙමින් සිටියහ. 
සති ගණනක හැඩීමෙන් රතු ව බොඳවූ ඇස් ඇතිව සිටි අහස නොබෝ දිනකින්ම විඩා නිවන්නට පටන් ගත්තේය. 











ඇයට උරුම වූ මන්නාරම් නිල් පැහැය කෙමෙන් කෙමෙන් නැවතත් ඈ වෙත ලඟා වී තිබිණි. නොඑසේ නම් සැමදා තමන්ගේ තාඩන පීඩන වලට ලක් වූ තුරු ලතා සහ සියලු සත්වයන් කෙරෙහි යම් අනුකම්පාවක් පහල වන්නට ඇත.

මෘදු හිරු රැසුත් නිරන්තරයෙන් දූපත හරහා හමා ගිය සුළඟත් නිසා දූපත පුරාම පැවතියේ සිසිලසකි. වර්ෂාව නැවතී සති ගණනක් ගත වන තුරුම සෑම පහත බිමකම පාහේ වතුර එක් රැස් වී තිබිණි. දූපත පුරාමත් ඉන් ඔබ්බට වන්කාලයි ප්‍රදේශයේද සෑම තැනකම දිය කඩති ය. 












උතුරුකරය පිස හමා ගිය සුළඟ යුරෝපය දෙසට ගමන් කර ඒ පිළිබඳව පණිවුඩය ලබා දී තිබිණි.
තලෙයිමන්නාරම දෙසට ආදම්ගේ පාලම හරහා පියාසර කළ සංචාරක පක්ෂීන් සැතපුම් දහස් ගණනක් ගෙවා පැමිණ  මන්නාරම් දුපතේ ද ඉන් ඔබ්බට වූ වන්කාලෛ අභය භූමියේද ලැගුම් ගත්හ. තාරාවුන්, ලිහිණියන් ආදී  විවිධාකාර පක්ෂීහු ලක්ෂ ගණනකින් , සියලුම දියකඩිති පිරී ගියේය.











රෝස පැහැති පිහාටු වලින්ද රත් පැහැ ගත් උස් වූ පාද වලින්ද හැඩවූ රජ සියක්කාරයන් (Greater flamingo) මන්නාරමේ සංචාරක පක්ෂීන් අතුරින් සොඳුරුතම දසුන මැවුවෝය. උතුරු ප්‍රදේශයේ සිට සියක්කාරයන් නොදුටු දෙනෙතකින් පළක් නොමත්තේමය. එය එතරම්ම සොඳුරු සිතුවමකි.

වස්සානයෙන් පිරී ගිය දියෙන් උදම් වූවෝ විහඟුන් පමණක්ම  නොවුහ.  දූපතේ සංඛේතාත්මක සිවුපාවා බඳු වූ බුරුවන් ද කැලෑ අශ්වයන් ද නව පණක් ලද සේ විය. අශ්ව රංචුවට නව පැටවුන් කිහිපයක්ද එක වී සිටියහ.













තෙත් පොළොව සිදුරු කර මතු වෙමින් තිබූ ලා තණ වල නැවුම් සුවඳ විඳිමින් ඔවුහු ප්‍රීති වූහ.
කිසිදු භේදයකින් තොරවම සියලුම තුරුලතා නවමු හරිත පැහැයෙන් දිදුලන්නට වන. තුරු පත් අගින් බේරී හිස මත පතිත වන්නට වැහි බිඳු නිරන්තරයෙන් සැදී පැහැදී සිටි අතර අතු අග පැළඳි මුතු කර්ණාභරණ සේ දිසි මල් පොහොට්ටු පිපී හිනැහෙමින් කළ එලි බසින්නට ඇඟිලි ගනිමින් සිටියහ.

මන්නාරම යනු පාරාදීසයකි. සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ දැනුදු සිහිපත් වන , ජීවිතයේ කිසිදු දිනයක නැවත නොලැබෙන අන්දමේ මතකයන් රැසක් දුන් මන්නාරම මතකයන් අතර නැවත නැවතත් අතරමංවම සිටිනු රිසියෙමි. 

Monday, December 12, 2016

ආයෙ නුඹ එන දාට

අවසඟය සිතිවිලි
සිපගන්න ඇවැසිය
මොහොතකට නුඹේ මුව
අමතකව ගිය සුවඳක්
යලි යලිත් සිහි වන්නට
එහෙත් නුඹ දුරස් ය
බොහෝ සේ දුර ගොස්ය
කඳු වලල්ලෙන් මෙහා ඉම
තනිව මම හිඳින්නෙමි
මා මුව ගැටෙන සුවඳක්
නුඹට හමුවනු පිණිස
හදිසියේ පා කරනෙමි
කඳුකර‍යෙ වන මලක
සුවඳක්ද වඩාගත්
ඒ නැවුම් සුවඳ පොද
නුඹේ දොරකඩ ළඟින්
හමා යන මොහොතකදි
ඉසිඹුවක ඉඩ දෙන්න
ඒ සුමුදු සුවඳ රොද
නුඹේ මුව දැවටෙන්න
මුදු සුවඳ හද දරන්
පරිස්සම් කරන් හිත
ආයෙ නුඹ එන දාට
නැවත අරගෙන එන්න


බලාපොරොත්තු

Anencephaly බබෙක් ඩිලිවර් කරන්න යන්නෙ..
ප්‍රසූතිකාගාරයෙන් ලැබුණ දුරකතණ ඇමතුම තරමක කලබලයකට හේතු විය.
anencephaly යනු, මොළයේ විශාල කොටසක් සහ හිස්කබලේ කොටසක විකසනය නොවීම නිසා ඇතිවන තත්වයක්.

එවන් දරුවන් ජීවත් කරවීම අපහසු වුවත් ඉපදෙන්නේ පණ ඇති දරුවෙක්. එම නිසා ඔහු වෙනුවෙන් සිදු කළ හැකි සියලු දේ කළ යුතුයි.

උපතේදී ඔහු හඬා තිබුණත්,ඉපදී පැය කිහිපයක් ඇතුළත ඔහුගේ හුස්ම සහ හදවත් නැවතිනි.ඒ දරුවා පිළිබඳව,වෙනත් දරුවන් පිළිබඳව තරම් අප කිසිවෙකුටත් කණගාටුවක් ඇති වූයේ නැහැ. මන්ද යත් ඔහුගේ ඉරණම පිලිබඳව අප මෙන්ම ඔහුගේ මවුපියන්ද දැන සිටි නිසාවෙනි

පසු දින උදෑසනම පසු ප්‍රසව වාට්ටුවේ අලුත උපන් දරුවන් බැලීමට මම ගියේ එහි වැඩ ඉක්මනින් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි. පළමු ඇඳේ සිටි බිළිඳාගේ ගැටලු කිසිවක් නොවීය.

දෙවෙනි ඇඳේ සිටි මව අසලටද මම ගියෙමි. ඈ සමග දරුවෙක් සිටියේ නැත.
"බබා කෝ අම්මා, බේබි කාමරේද?" මා විමසුවේ එතරම්ම සැලකිල්ලකින් නොවේ. නොමේරූ ළදරු ඒකකයේ දරුවන්ගේ සියලු මව්වරුන් මුහුණින් හා නමින් හැඳිනුවද, ඇගේ මුහුණ මට සුපුරුදු නොවීය.
“බබා බේබි කාමරේද අම්මා?” වැඩි දුර නොසිතාම මම ඇගෙන් විමසුවෙමි. 
‘එයාගේ බබා තමයි Anencephaly බබා ඩොක්ට” ඇය පිළිතුරු දීමට පෙරම හෙදිය පැවසුවාය.
එක්වරම මා පත් වුයේ දැඩි අපහසුතාවයකට මෙන්ම මා පිළිබඳවම ඇති වූ තරමක කලකිරීමකටය. ඇයගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලිමට වඩා වැඩි යමක් හැර ඇගේ සිත හැදෙන යමක් කීමට තරම් හැකියාවක් මා හට ඒ මොහොතේ නොවීය. නමුත් ඒ මව කතා කළාය.
“ඩොක්ට ද බේබි කාමරේ බබාලා බලන්නේ?”
“ඔව් අම්මා,.. මොකද්ද වෙන්න ඕන?”
“”මට මගේ බබා ගැන දෙයක් දැනගන්න ඕන. මගේ බබා ඇස දෙක ඇරියාද?”
ඇගේ ප්‍රශ්නය මා හට තරමක විමතියක් ගෙන දුන් ප්‍රශ්නයක් විය. එහි ගැබ් වූ අදහස මා හට එතරම් පැහැදිලිව වැටහුනේ නැත. එහෙත් මම පිළිතුරු දුනිමි.
“ඔව් අම්මා. එයා ඇස් ඇරියා. පැය දෙක තුනක් ජීවත් වුණානෙ.”
ඇයගේ මුහුණේ වූ දුක්බර අඳුරු රේඛා අතරට තරමක සැනසිල්ලක සේයාවක්ද එක් විය.
“එහෙනම් කමක් නෑ”
“ඇයි අම්මා එහෙම ඇහුවේ?” එවන් වූ දුක්බර මොහොතක වුවත් ඇගේ අමුතු පානය මා හට කුතුහලයක් ගෙන දුනි.
“නෑ... මට දැනගන්න ඕන වුනේ අඩුම තරමේ එයා මේ ලෝකේ දැක්කද කියලා... කලුවරේම ඉඳලා එලියට ඇවිල්ලත් ලෝකේ දකින්නේ නැතිවම ද හිටියේ කියල දැනගන්න ඕන වුණේ.....
අඩුම තරමේ එයා ලෝකේ දැක්කනේ. එකත් ලොකු දෙයක්නේ”
ඇගේ ඒ වචන කිහිපය මා හට දරා ගත නොහැකි විය. මගේ දෙනෙත් වලට කඳුළු පිරුණේ නිරායාසයෙනි. එහෙත් මම ඇයට පිළිතුරු දුනිමි.
“එක ඇත්ත, බබා ටික වෙලාවකට හරි ලෝකේ දැක්ක”
එම මව සිහිපත් වන විට දැනුදු මගේ නෙත් වලට කඳුළු උනන තරමේ කණගාටුවක් ඇති වේ.
එහෙත් ඇය ඒ දුකම සැනසීමකට පෙරලා ගත අයුරු පුදුම සහගත ය.
එම දරුවා සිහිපත් වන සෑම අවස්ථාවකදීම තවත් එවැනිම බිළිඳෙකු පිළිබඳව මා සිතට නැගේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ මම වෛද්‍ය සිසුවියකව සිටි අවධියයි.
මෙවැනිම වූ anencephaly දරුවෙකු බිහිවී තිබිණි. පැහැපත් හොඳින් වැඩුන සිරුරකින්ද යුතු වුවද එම බිළිඳාගේ ඉරණමත් සියල්ලෝම දැන සිටියහ.
නමුත් ඔහුගේ මවුපියන් බලාපොරොත්තු ඇත හැරිමට කිසි ලෙසකින් හෝ සුදානම් නොවූහ.රෝගීන් බැලීමට අමුත්තන් පැමිණෙන වෙලාවේ දරුවාගේ පියා පැමිණියේ හාමුදුරු නමක්ද සමගිනි. පැයක් තිස්සේ දරුවාගේ අත අල්ලාගෙන පිරිත් දේශනා කළ ස්වාමින් වහන්සේ ආපසු වැඩියේ ඔහුගේ අතෙහි පිරිත් නූලක්ද බැඳීමෙන් අනතුරුවය
.
ජීවත් නොවන බව දැන දැනත් ජීවත් වේ යැයි බලාපොරොත්තුවේ ය සේයාවක් එම පියාගේ දෙනෙත් වල මම ඒ වෙලේ දුටිමි


අමනාප කවි

නෑවිදින් නුඹ තවත්
කවිත් අමනාපයෙන්...
හිස් හිතත්, හිස් පොතත්
නුඹ එතැයි මග බලන්
තැවුල් සිත සෙනෙහසින්
සියුමැලිව පිරි මැදන්
ආයෙමත් නුඹ එන්න
දුරුතු සීතල මැදින්

නුඹ නොමැති පාලුවත්
සොඳුරුතම රිදවුමක්
නුබ නොමැති හීනයත්
අඳුරුතම සීතලක්
උණුසුම්ම සුසුමකුත්
කොපුල් මත විසිරමින්
නුඹ සිඹින තත්පරෙත්
මට මහා කල්පයක්