බැලරිනා

සීමාවාසික කාලය යනු ලෝකය පුරාම බොහෝ තරුණ වෛද්‍යවරුන් දැඩි මානසික පීඩාවට ලක් වන කාල සීමාවක්.ලාංකීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළද එය එසේම හෝ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. එතෙක් කල් ගත කළ නිදහස් ජීවිතය ක්ෂණිකව නිමා වීම, හදිසියේම නිවසෙන් ඈත් වීමට සිදුවීම, දරාගත නොහැකි අන්දමේ විශාල වගකීමක් එක් වරම හිස මත පැටවීම, ජ්‍යේෂ්ට වෛද්‍යවරුන්ගේ දෝශ දර්ශන වලට නිරන්තරයෙන් ලක් වීම, කිසිදු නිවාඩුවක් නොමැතිව දින 365ක් පැය 24 මුලුල්ලේ වැඩ කිරීමට සිදුවීම් ආදී බොහෝ කරුණු මේ සඳහා ඉවහල් වේ.
ඒ අනුව බලන විට මා ගතකළ සීමා වාසික කාල සීමාව එතරම්ම පීඩාකාරී බවක් ගෙන දුන් අවදියක් නොවීය.

සිත් පීඩා , වගකීම් නිසා වූ මානසික පීඩනය නොවන්නට එය ජීවිතයේ එතෙක් ගමන්ගත් මාර්ගය වෙනස් කිරීමට බොහෝ සෙයින් ඉවහල් වූ වැදගත් කාලසීමවක් විය. ඒ කාලය පුරාවට ඉගෙන ගත් පාඩම් බොහෝය. ඒ රෝගීන් පිළිබඳව පමණක් නොවේ. මිනිසුන් ගැන බොහෝ දේ ඉගෙන ගැනීමටද සීමවාසික කාල සීමාව උපකාරී විය.

ශල්‍ය වාට්ටුවේ ගත කළ කාලයටත් වඩා මා තවමත් බොහෝ සෙයින් ඇලුම් කරන්නේ ළමා වාට්ටුවේ ගත කළ කාල සීමාවටයි. ළමුන් සමග ගත කරන විට කාලය ගත වෙනවා නොදැනීමත්, මගේ මිතුරියන් දෙදෙනාත් ඒ සඳහා බෙහෙවින් උපකාර විය. වාට්ටුවේ වැඩ අවසන් වුවත් නිල නිවාසයේ කාමරයට යාමට වඩා අප තිදෙනාම ප්‍රිය කළේ වාට්ටුවට වී සිටීමටය. 
ඊට හේතුව අප සඳහා වූ වාට්ටුවේ කාමරය නිල නිවසටත් වඩා හොඳින් අපේ විශේෂඥ වෛද්‍ය තුමිය සකස් කොට දී තිබීමයි. කිසි දිනෙක වචනයකින් හෝ අපි කිසිදු කෙනෙකුගේ සිත නොරිදවූ ඇය මම තවමත් ගරු කරන ආදරය කරන දක්ෂ වෛද්‍යතුමියකි.
ළමා වාට්ටුව පුරාම ඇති මතකයන් සමූහයකි. ඒ විවිධාකාර වු කුඩා දරුවන් පිළිබඳව ඇති මතකයන්ය.

සසිත් එසේ හමුවූ දරුවෙකි. ඔහු වාට්ටුවේ නැවතී සිටියේ අම්මාත් සමගය.
වර්තමානයේ එතරම් සුලභ නැති වුවත් ඔහුට වැළඳී තිබුණේ රුමටික උණ යි . ඒ නිසා වාට්ටුවේ සතියකට වැඩි කාලයක් නැවතී සිටීමට ඔහුට සිදු විය.
සාමාන්‍යෙයෙන් වාට්ටුවේ දින කීපයක් ගත වන විට බොහෝ කුඩා දරුවන් මෙන්ම ඔවුනගේ මවුවරුන්ද අප සමග සුහද වේ. සසිත් ද ඒ ලෙසින්ම අප සමග සුහද විය.
"පුතා කියනව ඩොක්ටට සාරි අඳින්න කියන්න ලු"
එක් දිනක උදෑසන ඔහුව පරීක්ෂා කරන අවස්ථාවක ඔහුගේ මව පැවසුවාය.
එය මා හට සිනා උපදවන්නක් විය. 

සියලුම සීමාවාසික වෛද්‍යවරුන් මෙන්ම මමත් මගේ මිතුරියත් සාරි විරෝධීන් වීමු. මන්ද යත් කිරීමට ඇති නේක විධ වූ වැඩ අතරට සාරි ඇදීමත් එක් වූවොත් එය හිසරදයක් බවට දන්නා නිසාවෙනි.
අපගේ විශේෂඥ වෛද්‍ය තුමියද කිහිප වරක්ම සාරි ඇඳීම පිළිබඳව පවසා සිටියත්, කෙසේ හෝ ඒ මාස හය පුරාවටම සාරි නොඇඳ සිටීමට අපි සමත් වීමු.
"සාරි ඇන්දනම් මේ ළමයි කොච්චර ලස්සනද..."ඇය නොයෙක් වර පවසා සිටියාය.

"අනේ සාරි ඇන්දම අමාරුයි මැඩම්..." අපේ 'නහයෙන් ඇඬීම්' හමුවේ ඇය කිසි දිනෙක ඒ පිළිබඳව අපට බල කළේ නොමැත.

නමුත්, සාරි ඇඳීමේ ආදීනව පිළිබඳව සසිත් හට පැවසීමේ හැකියාවක් මා හට නොවීය.

"හරි හරි. මම හෙට ඉඳන් අඳින්නම්..." ඒ වෙලාවේ සිතට ආ පිළිතුර මා ඔහුට ලබා දුනිමි.
එහෙත් පහුවදා වන විට ඒ පිළිබඳව මගේ මතකයෙන් ගිලිහින.
සසිත් ද දින කීපයකින් සුව ලබා වාට්ටුවෙන් පිටවී ගියේය.

එහෙත් දින කිහිපයකින් අනතුරුව, සසිත් නැවත සායනයට පැමිණිය යුතු විය.
සායන දිනයේදී සසිත්ගේ අම්මා ඔහුත් සමග වාට්ටුවට නැවත පැමිණුනාය. ඇයගේ අතෙහි බ්‍රවුන් පේපර් කවර වල දැමූ පාර්සල් දෙකක් විය.
ඒවා මට සහ මගේ මිතුරියටය.

"මොනවද අම්මා මේ?" අප දෙදෙනාටම මහත් කුතුහලයකි.
සසිත් ලජ්ජාවෙන් අම්මා පිටිපස සැඟවෙන්නට විය.

"ගෙදර ගිය දවසෙ ඉඳලා මෙයාගෙ කරදරේ ඩොක්ට, ඩොක්ටලා දෙන්නට සාරි දෙකක් ගිහින් දෙන්න කියලා... හරියට කරදර කළා මට.
මම ඉතින් අමාරුවෙන් මෙයාව කැමති කරගත්තා මේ දෙක ගිහින් දෙන්න...."

ඒවාගේ වූයේ කුඩා හුරුබුහුටි බැලරිනාවන් දෙදෙනෙක් හා චොක්ලට පෙට්ටි දෙකකි.

"අනේ මේවා ගන්නෙ කොහොමද ?" අප දෙදෙනාම පත් වූයේ දැඩි අපහසුතාවයකටය.
එහෙත් අම්මාගේ ඉල්ලීමත් , කුඩා දරුවාගේ මුහුණේ වූ උනන්දු ස්වභාවයත්, කිසි ලෙසකින්වත් ඒවා ප්‍රතික්ශේප කිරීමේ හැකියාවක් අපට ලබා දුන්නේ නැත.

ඔහු සතුටින් අම්මා සමග පිටව ගිය අතර, ඒ කුඩා බැලරිනාව තවමත් අපේ නිවසේ සිටින්නීය.


Comments

  1. සිඳුගෙ මේ පෝස්ට් එක අපිට හරිම වැදගත් මේ දවස්වල. දන්නවනේ ඇයි කියලා.
    ඒවගේ විශේෂඥ වෛද්‍යවරියක් ලැබීම ඔයාලගෙ වාසනාව. සාරි මගුල් පටලවාගෙන ඉන්න සිදු නොවීමත් ඒවගෙම වාසනාවක්.

    ReplyDelete
  2. අසාධ්‍ය රෝගියෙකු ආවිට ඔහුව බලා මූලික ප්‍රතිකාර දී ඇඳ ඉහ පත සම්පූර්ණ කොට ඉන්වෙස්ටිගේෂන් වලට රුධිරය කුප්පි වලට ගෙන රුධිර සාම්පල් පරීක්‍ෂණයට ලේ බැංකුවට එක හුස්මට දිව ගොස් නියමිත ලේ වර්ගය ගෙන ඒ එන ගමන් රෝගියා ගැන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට පවසා ශල්‍යාගාරය අමතා එයද රෝගියා වෙනුවෙන් වෙන් කොට රසායානාගාරයට හෝ එක්ස් රේ අංශයට ගොස් පරීක්‍ෂණ වාර්තා ගෙන රෝගියාද රැගෙන ශල්‍යාගාරයට දුවන්නෙමු. ඉන් පසු ශල්‍යකර්මය කිරීමට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට සහාය වන්නෙමු. ශල්‍යකර්මය අවසන් වීගෙන එන විට තවත් අසාධ්‍ය රෝගියෙකු ආ බව කියමින් වාට්ටුවෙන් පණිවිඩයක් එයි. යළිත් මෙම චක්‍රය නැවතත් සිදු වේ.

    මෙලෙස වසරක් පමණ සීමාවාසික පුහුණුවේ යෙදෙන විට අප බොහෝ දෙනෙකුගේ බර අඩුව ගියේය​. එසේම යන්ත්‍රයක් ලෙස වැඩ කිරීමේ හැකියාවද අප ලැබුවෙමු.

    ReplyDelete
  3. ලේඩි රිජ්වේ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරය මටත් පුරුදු තැනක්. වැරදි වැටහීමක් ගන්න කලින් මගේ එවකට බිරිඳ එහි සිටිය නිසා තමයි මම ගියේ. බටහිර රටවලත් සීමාවාසික කාලයේදී සතියට පැය 80 ක් විතර වැඩ කරන්න සිදුවෙනවා.

    ReplyDelete
  4. මට මේක කියවද්දි එක පාරට මතක් වුණේ අපේ හිතවත් අය්යලා දෙන්නෙක් කියපු කතාවක්.සීමාවාසික කාලයෙදි ඔවුන්ට හමු වුණු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ඔවුන්ට සලකා තිබුණෙ ඉතා ම නරක විදියට.එක්කෙනෙක් වෛද්‍ය වෘත්තිය ගැන පවා කළකිරිමෙන් කතා කළා ඒ දවස්වල.අපේ තාත්තා නිරන්තරයේ ඔවුන්ට කිව්වෙ දවසක වෛද්‍යවරු වෙලා එවන් වෛද්‍යවරුන් කටයුතු කළ ආකාරයට වඩා පරස්පර ලෙස යහපත් ව වැඩ කරන්න කියලයි.අද ඔවුන් දෙදෙනා දුෂ්කර පළාත් දෙකක මිනිස්සුන්ට ගොඩක් සේවය කරනවා.

    ReplyDelete
  5. මම දැක්කා මූණු පොතේ මේ ගැන සටහනක් තියෙනවා....එතනත් ඔය කියන පීඩනය ගැන අදහස් දැක්වී තිබුනා නේද...

    ReplyDelete
  6. සසිත්" හිතන්න ඇති සාරි අඳින්නේ නැත්තේ සාරි නැති නිසා කියලා.පොඩි උන්ට හිතෙන එව්වානේ.

    ReplyDelete
  7. පොඩි දරුවො තමන් ගෙ හිත් ඇදගත් අයව අමතක කරන්නෙ නෑ. මටත් තියෙනවා එහෙම, 9 වසරෙ ගෑනු ලමයෙක් වසර අග දි තමන් ගෙ ගුරුවරියට දුන්න රෝස මල් සිහිවටනයක්! මත ක ද?

    ReplyDelete
  8. මේ සටහන කියවලා ඉවර උනාම අවුරුදු 13ක් එක දිඟට ඉගෙන ගෙන රැකියාවක් කරන්නේ ජීවිතේ විඳින්නද විඳවන්න ද කියලා හිතුනා. එක වෙලාවකට ඇයි මේ තරන් පීඩනයක් ජීවිතේට කියලත් හිතෙනවා මට. එහෙම පීඩනයක් කැමැත්තෙන් බාර ගන්නවා නම් කමක් නැ.

    මම හිතුවේ සාරි දෙකක්ම ගෙනත් ඇති කියලා..

    ReplyDelete

Post a Comment