Friday, June 7, 2019

තවකෙකු වෙනුවෙන් සේවය කිරීම

"It is imperative that we not become numb. The people that we serve, they have faces, families, hopes and dreams and stories."

Designated survivor ඉතාම ඉහල ඇගයීමක් ඇති රූපවාහිනී කතා මාලාවක් නොවේ. එය 7.7/10 වැනි ඇගයීමේ මට්ටමක පවතින කතා මාලාවක්. නමුත් අවසානය දක්වාම කුමක් සිදුවේද කියන කුතුහලය දිගින් දිගටම නොනැවතී බලන්නට සිතෙන මට්ටමක එය පවතිනවා. මෙහිදී මම එම කතා මාලාව පිළිබඳව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

නමුත්, designated survivor යනුවෙන් හඳුන්වන්නේ කවර පුද්ගලයෙක් ද කියා හැඳින්වීම වැදගත් බව සිතනවා. ඇමරිකාවේ ජනාධිපති උප ජනාධිපති ,සෙනෙට් මණ්ඩලය සහ රජයේ අනිකුත් ඉහල නිලධාරීන් එකට එක් වෙන අවස්ථා වලදී එම ස්ථානයේ නැති ඔවුන් සියලුදෙනාට පහළ නිළයක් දරන පුද්ගලයෙකු ව designated survivor ලෙසින්  ඒ දිනයට නම් කරනවා. එහිදී  බලාපොරොත්තුව වන්නෙ ඉහත  සියලුම දෙනා එකවර මිය ගියොත් රජය නොවැටී පවත්වාගෙන යාම. සැකෙවින් කියනවා නම් ඉහත නම් කරන ලද පුද්ගලයා එම අවස්ථාවේදී ජනාධිපති ලෙස පත් කරනු ලබනවා.

Designated survivor කතා මාලාව ආරම්භ වන්නේ එලෙසින්. ඉහළ රාජ්‍යතන්තිකයන්‍ සියල්ලන් එක වර ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය යනවා.. එදිනට  designated survivor ලෙසින් නම් වෙන්නෙ නිවාස සහ නාගරික ලේකම් වරයෙක් වෙන Tom Kirkman. ඔහු දේශපාලකයකු නොවේ. නමට කිසිම කැලලක් නැති සාමාන්‍ය ජීවතයක් ගත කරන මහාචාර්ය  වරයෙක්. නව ජනාධිපතිවරයා විදියට ඔහු මුහුණ දෙන අභියෝග මෙහිදී කතාවක් ලෙසින් ගොඩ නැගෙනවා.
මේ චරිතයේ ගොඩක්  තැන් වල ඔහු කියන දේවල් හරිම ආකර්ෂණීයයි. මම ඉහත සඳහන් කළේ ඒ වගේ එක වාක්‍යයක්. එය සිංහලට පරිවර්තනය නොව අනුවර්තනය කළොත්,

“අපි හිතක් පපුවක් නොමැති පුද්ගලයන් නොවිය යුතුයි. අප විසින් සේවය ලබාදෙන පුද්ගලයන් ට සිතක්, චරිතය ,අනන්‍යතාවයක් ,පවුලක්,බලාපොරොත්තු සිහීන සහ  අපි නොදන්න කතාවක් ,ප්‍රශ්න ඇති බව සිතා කටයුතු කළ යුතුයි.”

අපි එකිනෙකා විවිධ රැකියා කරන අය. ඒ මගින් අපි කරන්නෙ විවිධාකාරයෙන් අප එකිනෙකාටම සේවය සපයා ගැනීම. ඒත් රැකියා වල කාර්‍ය බහුල බව නිසා වගේම අපේ හිතේ තියන වෙනත් ප්‍රශ්න නිසා වගේම , තව කෙනෙකු  වෙනුවෙන් කැපවීමේ පුරුද්දක් නැති නිසා අපි අපේ හැකියාව 100% න් අපේ සේවා ලාභියා වෙත ලබා නොදෙන අවස්ථා ඕනා තරම්.

අපෙන් සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් ට අපිට වඩා ඒ කාර්‍යය වැදගත් කියල මොහොතකට හෝ හිතනවා නම්, අපේ හැසිරීම නිසා ඔවුන් ගේ හිත රිදෙන , අසතුටට පත් වෙන අවස්ථා අඩු කරගන්න පුළුවන් .

දරුවා ට උණ තිබෙනවා කියල රෝහලට දරුවව රැගෙන එන අම්මට තමයි ඒ සම්බන්ධ ලොකුම ගැටලුව පවතින්නේ.  වෛද්‍යවරයා ට හෙදියට හෝ රෝහල් ආරක්ෂක නිලධාරියා ට නොවේ. එතනදි, රෝහල් සේවකයන් ඒ අම්මාට හොඳින් කතා නොකරන්නේ නම්  කුමක් හෝ හේතුවකට බැන වදිනවා නම්, දරුවා ගේ අසනීපය නිසා අම්මා විඳින වේදනාවට තවත් සිත් තැවුළක් පමණයි එක් වෙන්නෙ.

උදාහරණයක් ලෙස ,ඇතැම් වාට්ටු ඇතුලතට පිටතින් පැමිණෙන පුද්ගලයන්ට ඇතුල් වන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් පිටතින් පැමිණෙන බොහෝ ය ඒ බව දන්නේද නැහැ. පිටතින් පැමිණෙන පුද්ගලයන්ට ඇතුළුවීමට තහනම කියා දැන්වීම් පුවරුවක් හෝ නැහැ. ඒ අනුව කිසිවක් නොදැන එකවර වාට්ටුවට ඇතුළට පැමිණෙන පුද්ගලයන් හට කාර්යමණ්ඩලය බැනවදින අවස්ථා තිබෙනවා. එම අර්ථයම සාමාන්‍ය සරල කාරුණික වාක්‍යකින් ඊට වැඩ විනයානුකුල ලෙස පවසනවානම් කොතරම් වටිනවද.

බැංකුවකින් යම්කිසි කාර්‍යයක් කර ගැනීමට යන ඇතැම් වෙලාවට කවුන්ටරයේ සිටින තරුණිය ඇතැම් වෙලාවට මූණ දිහාවත් බලන්නට කාරුණික වෙන්නෙ නෑ. තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන්නේ මුහුණක් නැති පුද්ගලයෙක් ලෙස සහ තමන්ටත් මුහුණක් නැති ලෙසින් සිතා හැසිරෙන ඇයගෙ හැසිරීම නිසා ගණුදෙනු කරුවන්ට ඇති වෙන්නෙ නොපහන් හැඟීමක්. යම්තම් හෝ ඔලුව ඔසවලා යම්තම් හෝ හිනා වෙන්න පුළුවන් නම් ඒ හිනාව හිත හදන වචන 100කට එහා වටිනවා.

අපි බොහෝ දෙනෙක් රැකියා ස්ථානයේ කතා කරන විලාසය ගැන හිතන්නෙම නැති තරම්.අපි ගෙදර කතා කරන විලාසයටම රැකියා ස්ථානයේ ද කතා බහ කිරීමට පුරුදු වී තිබෙනවා. අප ආරූඩ කරගත් වාග් විලාසයක් භාවිත කළ යුතු යැය් නොවේ මා පවසන්නට උත්සහ කරන්නේ. නමුත් අප සේවා ලාභියාට කතා කරන ස්වරය මදක් හෝ මෘදු විය යුතුයි. අප රැකියා ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙක්‍ හට අවශ්‍ය සේවාව සපයන්න අපි බැඳී සිටිනවා.

රජයේ කාර්‍යාලයකින් යම් කර්තව්‍යයක් කරගැනීමට යන්න. ඔවුන් බොහෝ දෙනෙක් හැසිරෙන්නේ ඔවුන් සේවාලාභියාට උපකාරයක් කරන ආකාරයට.
තවත් එක් කරුණක් සේවා සැපයීමේ ප්‍රමාදය.  කොළඹ කාර්‍යාලයකින් යම්කිසි කරුණක් ඉටුකර ගැනීමට පැමිණ තිබෙන්නේ පෙරියමඩු වල පදිංචි පුද්ගලයකු වෙන්නට පුළුවන්. ඔහුට නැවතත් තම නිවස බලා යාමට කොතරම් කාලයක් ගත වෙනවාද? අප කාර්‍යාලය අවසන් වී නිවසට පැමිණීමට කොතරම් නම් බලාගෙන සිටිනවාද?  මේ රටෙහි වාසය කරන අනිකුත් මිනිසුන්ද එසේම බව වටහා ගන්න.

සේවාලාභියාගේ ඇඳුම ආර්ථික මට්ටම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අනුවද සපයන සේවයේ වෙනස් කම් බොහෝ ස්ථාන වල පවතිනවා. රජයේ ආයතන පමණක් නොවේ. පෞද්ගලික ආයතන , කඩ සාප්පු ආදියේ පවා මෙය දකින්නට ලැබෙනවා.

මෙම ගැටලුව බොහෝ සෙයින් දකින්නට ඇත්තේ දකුණු ආසියානු මානසිකත්වය තුළ. විනයක් නොමැති කම, තමන්ගේ රැකියා ස්ථානය තමන්ගේ බූදලයක් ලෙසින් සිත සිටීම , තමන් ලඟට සේවයක් ලබාගැනීමට පැමිණෙන පුද්ගයාට වඩා තමන් සක්‍ර දෙවි මට්ටමට ආසන්න ලෙසින් සිතා සිටීම, එකිනෙකාගේ  ආකල්ප වල ඇති ගැටළු  ආදිය නිසා මේ තත්වය පාලනය කළ නොහැකි ලෙසින් පවතිනවා.

මෙහි හරය සැකෙවින් පැවසුවහොත්,
ඔබේ සේවාලාභියා ද නුඹ වැනිම මනුශයෙකු බව සිතන්න. ඔහුගේ රැකියා ස්ථානයේදී නුඹටද අමිහිරි අත්දැකීමක් සිදුවුවහොත්, එහිදී නුඹට දැනෙනා සැටි සිතන්න.
ඔබට කම්මැලි සිතෙන විට, සේවාලාභියා පිළිබඳව තරහක් එන විට නුඹ ඔහුව නුඹේ පුටුවේ තබා, නුඹ ඔහුගේ අසුනේ හිඳගෙන  හෝ කවුන්ටරයේ සිටගෙන ඒ අවස්ථාව නුඹට ආරූඪ කරගෙන සිතන්න.

නුඹේ පවුලේ කෙනෙකුගේ අසනීප  වූ අවස්ථාවක්, මරණයක් සිදුවූ අවස්ථාවක්  මතක් කරගන්න. නුඹ නොදන්නවා වුවත්  ,නුඹ වෙතට පැමිනෙන් පුද්ගලයන් ද එවන් හෝ ඊටත් වඩා දුකින් පසුවන නමුත් හදිසි අවශ්‍යතාවයන් නිසා නුඹ වෙතට පැමිනෙණ කෙනෙකු වීමට ඇති හැකියාව ගැන සිතන්න.

නුඹට ඇති දහසක් ප්‍රශ්න සිහි කරගන්න. නමුත් ඒ ප්‍රශ්න නුඹගේ සේවය ලබාගෙන පැමීණෙන්නාගේ හිස මත අත නොහැරීමට වග බලාගන්න. ඒ වෙනුවට, මේ ජීවත් වන සියල්ලන් එබඳුම වූ ප්‍රශ්න සහසක් හිස මත තබාගෙන ඇති බැව් සිතා ඒ ප්‍රශ්න සහසක් හිස මත තබාගෙන ඇති බැව් සිතා ඒ ප්‍රශ්න සහසින් එකක් හෝ නුඹේ දායකත්වයෙන් අඩු කරගැනීමග නුඹට සහය විය හැකි බව සිතන්න.

රටක් වශයෙන් ඉදිරියට යාමට නම් අප තනි තනිවම ඉටු කළ යුතු කාර්යයන් ඇති බව මතක් කර ගන්න.

It is imperative that we not become numb. The people that we serve, they have faces, families, hopes and dreams and stories.

- Tom Kirkman

1 comment: