වැස්සෙ ආව පොඩි එකා


    ගිය සතියෙ දවසක වුණ මේ සිදුවීම පෝස්ට් එකකට දාන්න තරම් මගෙ හිතට දිගින් දිගටම වද දෙනවා. කොච්චර කල්පනා කළත් කවුද හරි, කවුද වැරදි කියලා නම් තවමත් මට තේරෙන්නෙ නෑ.


මාසෙකට විතර පස්සෙ තමයි ඒ වගේ වැස්සක් වැස්සෙ. මහ පාර දෙපැත්තෙ තියන කාණු පද්ධතියෙ හොඳ කම නිසාම, මහ පාර ගඟක් වගේ වෙලා. වෙලාව සවස 5 ට විතර ඇති. වැස්ස නිසා ලෙඩ්ඩුත් අඩුයි.මමත් හිටියෙ සීතලට කම්මැලිකමෙන්.


ඒ වෙලාවෙ තමයි අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පොඩි එකෙක්ව උස්සගෙන ආවෙ. තුන් දෙනාම වැස්සට තෙමිලා. පොඩි එකාගෙ නළලෙ තුවාලයක්.අම්මා ඇඬූ කඳුලෙන්.ඒ තරම් ලොකු තුවාලයක් නෙමේ.ඒත් අම්මා කෙනෙක් ට ඒක ලොකු තුවාලයක්...!!


"මෙයා දුවන්න ගිහින් ලෙස්සලා වැටිලා ඔලුව පලාගෙන"අම්ම අඬ අඬම කියනවා.


"පැය එක හමාරක් හිටියා ****** ඉස්පිරිතාලෙ.ඒත් මැහුම් දාන්න ඕනා කියලා කිය කිය හිටියා මිසක් කවුරුත් බැලුවෙ නෑ. එ නිසා තමයි මෙතෙන්ට එක්කන් ආවෙ" තාත්තා තරහෙන්.
(කවුරු කොහොම කිවුවත් රජයේ රෝහල් වලින් වෙන සේවය ගැන හොඳින්ම දන්න නිසා ත් , සුළු සුළු අතපසුවීම් විවේචනය කිරීම මම අකමැතිම දෙයක් නිසාත් මම ඒ ගැන වචනයක් වත් කියන්න ගියේ නෑ..)


ඇත්ත, පොඩි එකාගේ නළලේ වුනේ මැහුම් කීපයක් අවශ්‍ය වුණ තුවාලයක්. 
වයස අවුරුදු 4ක දරුවකුට මැහුම් දැමීම නම් විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වන , තරමක් භාර දූර කටයුත්තක්. (ඒ ඔහුව අල්ලා ගැනීමට හතර පස් දෙනෙකුත්, ඔහුගේ හැඬීම් වලින් බියට පත් වී පළා යන අනෙකුත් රෝගීන් නැවැත්වීමට තවත් දෙදෙනෙකුත්, මගෙ කන් වල ඇබ ගැසීමට තවත් කෙනෙකුත් අවශ්‍ය වන නිසාය.)


නමුත් මේ දරුවා වැඩි කලබලයක් පෙන්වූයේ නෑ. නිහඬවම කඳුලු වලට ගලා යන්න දීලා ඔහු වේදනාව දරා ගත්තෙ වැඩිහිටියෙක් වගේ. (අඬන්න ඕනා වෙලාවටත් අඬන්නෙ නැති අය දකිනකොට පුදුම දුකක් දැනෙනවා හිතට.) අපේ හෙදියන් දෙන්නාටත් ඒ හැඟීම ඒ විදියටම දැනිලා තිබුණා.


හිරිවට්ටන බේත් අඩංගු සිරින්ජය දකිනවා එක්කම පොඩි එකා ඇහුවෙ "මට බේත් විදිනවා ද" කියලා.


 "නෑ පැටියො" සුපුරුදු බොරුව මගෙ කටින් පැන්නා.


 ඒත් ඊ ලඟට මට බේත් විදින්න වුනා. 


"ඇයි මිස් මට බොරු කිවුවෙ? " 
හීනියට අඬන ගමන් පොඩි එකා ඇහුවෙ මාව නිරුත්තර කරලා. 
අනිත් කුඩාවුන් වගේ බිම පෙරලිලා කෑ ගහන්නෙ නැතුව ඒ දරුවාගෙ කටින් පිටවුණු ඒ මෝරපු වචන ගැන මට තවමත් පුදුමයි. යන්තම් මැහුම් තුනකින් තුවාලෙ මහගන්න පුළුවන් වුණා. කිසිම කරදරයක් කළේ නෑ එයා. අඩුම තරමෙ අම්ම ලඟ හිටියෙවත් නෑ. 


"කොච්චර හොඳ ළමෙක්ද , පරිස්සමින් බලා ගන්න මෙයාව"දරුවා ව අම්මා ආපහු වඩා ගනිද්දි මම කිවුවෙ ඇත්තටම මගෙ හිතට මොකද්දෝ අමුතු හැඟීමක් ඒ දරුවා එකතු කරපු නිසා.


******************************************************
ඒත් එක පාරට්ම සිද්ධ වුනේ අපි කවුරුත් නොහිතපු දෙයක්...... වැස්සෙම ආව පොලිස් ජීප් එකක් ඉස්සරහ නැවැත්තුවා. ඒකෙන් බැහැගත්තු පොලිස් නිළධාරීන් පිරිසක් ඇතුළට ආවෙ නිමේෂයකින්. මොකද වෙන්නෙ කියලා හිතා ගන්නත් කලින් ඔවුන් අර දරුවාගෙ තාත්තා ව අල්ලා ගත්තා... 


"අනේ ඇයි සර්? මේ මොකද? "අම්ම අඬන්න ගත්තා ආයෙමත්. 


"මෙයා ******* ඉස්පිරිතාලෙ මල් පෝච්චියක් බිඳලා ජනෙල් වීදිරුවකට ගලකිනුත් ගහලා ඇවිල්ල තියෙන්නෙ"
 පොලිස් නිලධාරියා පැහැදිලි කළේ මට. මටත් කරන්න දෙයක් තිබුනෙ නෑ. තාත්තාව අරන් ගියා පොලිස් ජීප් එකේ දාගෙන.

"තමන්ගෙ දරුවා තුවාල වුණාම මොන තාත්තාටද නේද ඉවසන්න පුළුවන් බේත් දාන්න පරක්කු වෙනකොට" 
අන්තිමටම හිටිය පොඩි පොලිස් අයියා / මල්ලි මට හෙමීටම කියලා ගියෙ අනිත් කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.


සීතලට වෙවුලන පොඩි එකාවත් වඩා ගත්තු අම්ම අඬනවා හොඳටම. 


"පොදු දේපල වලට හානි කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්" කියලා ඇයට කියන්න මට පුළුවන් කමක් තිබුනෙ නෑ. 


"ඔයා දැන් බබාවත් එක්කන් පරිස්සමට ගෙදර යන්න" මම කිවුවෙ එච්චරයි. 


"අනේ නෝනා.... මට පුළුවන්නම් කුඩයක් දෙන්න පොලිසියට ගිහින් එන්න. මේ දරුවාව දැක්කාමවත් මගෙ මනුස්සයාව එවුවොත් ලොකු දෙයක්..." 
"දරුවා ව වැස්සෙ තෙමෙයි" කියලා කියන්න මට පුළුවන් කමක් තිබුනෙ නෑ.
 මට කාර් එකක් තිබුනා නම් ඇත්තමයි මම ඒ දෙන්නාව පොලිසියට ගිහින් දානවා. 
ඒත් මට පුළුවන් වුණ එකම දේ මගෙ කුඩේ දීලා යවන එක විතරයි. පස්සෙ දවසක මම නැති වෙලාවෙ ඒ අම්මා ආපහු මගෙ කුඩේ ගෙනත් දීලා තිබුණා.



Comments

  1. ඔය වගේ කේස් නම් අනන්තවත්... මගේ යාළුවෙකුට තාම නඩුවක් තියෙනව :)

    පොඩ්ඩනම් එල කොල්ලෙක් :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.... පුදුම ළමෙක් එයා නම්. හරිම අඩුයි ඒ වගේ ළමයි.

      Delete
  2. //"තමන්ගෙ දරුවා තුවාල වුණාම මොන තාත්තාටද නේද ඉවසන්න පුළුවන් බේත් දාන්න පරක්කු වෙනකොට" // මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා ඒත් කලබලවෙලා ඔය කරගත්ත හරි මැදෑ

    …කොහොමත් පොදු දෙපල කියන්නෙ අපේ දෙවල්. ඇයි අපෙ දෙවල් විනාස කරන්නෙ. ගෙදර ගෑනිත් එක්ක තරහ උනාම පිගන් පොලවෙ ගැහුවම හරියනවද ?(අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වලං පොළවෙ ගැහුවා වගෙ )

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහ මහත්තයා වළං පොලොවෙ ගහපු හැටි මට මැවි මැවී පෙනුනා ආයෙමත්.

      Delete
  3. හිත කීරි ගැහිලා ගියා මේ කතාව කියවලා. ඒ තාත්තට තමන්ගේ දරුවට ඉස්පිරිතාලෙදි නොසලකා හැරපු නිසා ඇති වෙච්ච කේන්තිය මටත් ඇති වෙලා තියෙනවා. මමත් තව පොඩ්ඩෙන් කළුබෝවිල ඉස්පිරිතාලේ සිකියුරිටි කාරයෙක්ට බිම දාගෙන ගහනවා. ඒ මීට අවුරුදු හයහමාරකට විතර කලින් මගේ පුතාට යන්තම් සති කීපයක් වයසෙදි "ෆිට්" එක හැදිලා ඉස්පිරිතාලෙට අරගෙන දුවපු වෙලාවක......! අද එයාට අවුරුදු හයහමාරක්. ඒ එයාට පළවෙනි සහ අන්තිම පාරට ෆිට් එක හැදුනු දවසේ.....!

    ReplyDelete
    Replies
    1. දුමී අයියා කලුබෝවිල ගැන ලියපු පෝස්ට් එකක් මම කියෙව්වා ගොඩාක් කාලෙකට කලින්. ඒ ගැන කියන්න තියෙන්නෙ "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද- දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියලා තමයි. මගෙ කලින් පෝස්ට් එක කලුබෝවිල ගැනම ඒ වගේ එකක්.

      Delete
  4. මොන අම්මට තාත්තටද ඔහොම වෙද්දී ඉවසගෙන ඉන්න පුලුවන්.. ඉවසීමේ සීමාව පනින දේකුත් වෙන්න ඇති වෙලාව ගියාට අමතරව සමහරවිට..මමත් ඔය වගේ සිද්දී කීපයක්ම දැකලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඩිලන්,තමන්ගෙ දරුවෙක් ගෙ අසනීපයකදි ඕනාම සාන්තුවරයෙක්ගෙ සිල් බි‍ඳෙනවා.

      Delete
  5. හිතට අමුතු ගැඟීමක් ආවා මේක කියවනකොට...පොඩි එකත් හිතාගන්න බැරි විදියේ ලමයෙක්.තාත්තට ඉවසීම පාලනය කරගන්න බැරි වෙන්න ඇති..මොනවා උනත් වැරදි වැඩක් නේ තාත්තා කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මට තවමත් අමුතුයි ඒ දරුවාව මතක් වෙනකොට. එයා කතා කරපු විදියෙ ඉඳන්ම වෙනස් පරිණත ගතියක් තිබුණා.

      Delete
  6. පුතාගේ ඉවසීමේ හැකියාව තාත්තාටත් තිබ්බානම් කාටත් එකවර සතුටින් යන්න තිබුනා.ඒත් ඔහොම වෙලාවට තරහා නොගන්න තාත්තා, තාත්තා කෙනෙකුත් නෙවි කියල වෙලාවකට හිතුනා.කවුද වැරදි? අපි හිතන්නේ ඉස්පිරිතාලේ අම්මලා,තාත්තලා වෙච්ච අය අඩු ඇති...

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාලෙ ඉන්නවා MW ගොඩාක් සංවේදි මිනිස්සු, ඒත් සුලුතරයක් ගෙ හැසිරීම් රටාව නිසා ඒ කිසි දෙයක් පිටතට පේන්නෙ නෑ.

      Delete
  7. කව්ද වැරදි කියන තැන නම් මට හිතෙන්නේ අපි හැමෝම වැරදියි
    පොඩි එකානම් නියම කොල්ලෙක්

    ReplyDelete
  8. ජිංජියෝ ඔයා කොහෙද ඒ වෙලාවෙ එතන හිටියේ? (අපි හැමෝම වැරදියි කිවුව නිසා අහන්නෙ) ... ඇත්තමයි එයා නම් නියම කොල්ලෙක්

    ReplyDelete
  9. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ . තාත්තා කෙනෙක්ට දරුවෙකුගේ වේදානවක් නිකම් තමන්ට දැනෙන වේදනාවක් වගේ තමා දැනෙන්නේ . මට නම් ඒ තාත්තා හරි .

    කොටි කලබල තිබ්බ කාලේ පොලීසියේ සයිරන් එක ගහනකොට ගමේම කඩවල් වහනවා මගේ තාත්තා බාගෙට වහමින් තිබුනු කඩේක දොරට පයින් ගහලා පොඩි එකා වෙච්ච මට බොන්න ලැක්ටෝජන් පැකට් එකක් අරගෙන ආපු හැටි මතක් වුණා .

    ReplyDelete
    Replies
    1. දුක හිතුනා මල්ලි. ඇත්තමයි, අම්මලාගෙ තාත්තලාගෙ ආදරේට සේරම යටයි

      Delete
  10. අනේ මන්දා?නීතිය මනුස්සකමයි එකට ගැටෙන තැන් වලදී තීරණයක් ගන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඒ වෙලාවට අතර මැද්දෙ ඉන්න අපි අසරණ වෙනවා සේරටම වඩා

      Delete
  11. හ්ම්ම්ම්ම්ම්.....
    (මට කියන්න තියෙන්නේ එච්චරයි අක්කේ)

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාගෙ කතුර වගේ කටට මොකද වුනේ?

      Delete
    2. @Ama akkiya, aththada me Sindu akkiya kiyanne akkiyage kata kathurak wage kiyala ? :p :p :p

      Delete
  12. @Sindu akkiya, mata aththata ma godaaaak duka hithuna akkiyo me kathawa kiyewwaha ma. Me tharam podiiiiiiiiiii lamayek wela th mahum daddi iwasagena hitiya kiyana eka wishwasa karanna ath amaru deyak. A lamayage thaththata kenthi giya eka nam sadaranai. Ispirithalayak unaha ma meeta wada leddu gana hithanna oni neda akkiyo ? Leda marunata passe ane apoi kiyana eka neweine sidda wiya yuththe, ikmanin prathikara karala ledawa suwa kireema ne. Akkala wage hariiiiiiiima honda aya inna nisa a lamaya suwa una. Akkiyata aththata ma godaaaaaaaaaaaaak pin sidda wenawa akkiyo a karapu wishala sewaya wenuwen. Akkala wath hitiye nathnam a lamayata monawa weida kiyala hitha ganna wath bahane. Idiriyata th akkiyata me wage asarana rogeeen dahas gananakata pihita wenna labewa ! kiyala man mage mulu hadawathin ma prarthana karanawa akkiyo. Akkiya mehema dewal blog eke dala apawa danumwath karawana ekath aththata ma lokuuuuuuuma deyak. Mata a gana th aththata ma hariiiiiiima sathutui akkiyo. Idiriyata th me wada katayuthu tika sarwaprakaren ma sarthakawa karagena yamata awashya shakthiya ha dairayaya mage akkiyata noaduwama labewa ! kiyala man mage mulu hadawathin ma prarthana karanawa akkiyo.:)

    ReplyDelete
  13. ඔය වගේ සංවේදී දේවල් අනන්ත වෙනවා සිඳූ. නමුත් ඔයවගෙ දේවලට සංවේදීතාවයක් දක්වන අය රෝහල්වලදි නම් අපි දකින්නෙ අඩු ප්‍රතිශතයක්.
    ඔය වගේම දතක වේදනාව ඉවසාගෙන ඉඳලා මගේ ඇහැට කඳුලු ගෙනාපු කොල්ලෙක් ගැන කියවන්න මෙන්න ලින්ක් එක.


    henryblogwalker the Dude

    ReplyDelete

Post a Comment