Friday, February 10, 2012

"සහෝදර පාසලේ විද්‍යා දිනය සහ තවත් කතා"

(අපේ විද්‍යා දිනය මෙතනින්)

13 වසර ට්‍රිප් එක යන්න අපි සූදානම් වුණා..... ඒකට දවසක් දාගන්න අපි පොඩි ‍රැස්වීමක් ගත්තා....එක එක මති මතාන්තර මතු වුණා. ජීව විද්‍යා සහ ගණිත පන්ති වල ඉන්න හැමෝම වගේ කැමති වෙන්නත් ඕනා.මත ගැ‍ටුම් අතරින් යන්තම් දවසක් දාගත්තා. 


"හරි එහෙනම් ඒ දවස කන්ෆර්ම්" සිඳු අත්පුඩි ගැහුවා.ඒකට අනිත් අයත් එකතු වුණා.
ඔන්න එතකොට තමයි කොහෙන්ද මන්දා කට හඬක් මතුවුණේ.
 "බෑ බෑ... එදාට බෑ.....එදාට ******** එකේ සයන්ස් ඩේ!!!" (හොඳ වෙලාවට දැනගත්තෙ. නැත්නම් එදා ට අපි නැතුව අපේ සහෝදර පාසලේ විද්‍යා දිනයම බංකොලොත් වෙන්න ඉඩ තිබුණා) ඊ ළඟට තමයි අපේ ‍රැස්වීම තිබුණු හරියෙ මිදුලත් ගිනි ගන්න පටන් ගත්තෙ. 
"බෑ බෑ... එහෙනම් යන්න බෑ..." 
"අනේ පවු එයාලගෙ සයන්ස් ඩේ"
"අපි එහෙම කරන එක හරි නෑ.. අපේ එකටත් ආවානෙ ඉන්වයිට් කරපු ගානටත් වඩා" 
එක එක අදහස්!! මොනවා කරන්නද. අපේ ට්‍රිප් එක දින නියමයක් නොමැතිව කල් ගියා ( ආයෙ කවදාවත් යන්න වුණෙත් නෑ). අපේ ගුරු මණ්ඩලයෙ කවුරුවත් තවමත් දන්නෙ නැතුව ඇති ඇයි අපිට ට්‍රිප් එකක් යන්න බැරි වුණේ කියලා.


  ඉස්කෝලෙ කාලෙ තිබුණු පොඩි පොඩි තරහ මරහ අමතක කළොත්, ඒ සයන්ස් ඩේ එකත් හොඳට තිබුණා කියන්න පුළුවන්. (අපේ විද්‍යා දිනයත් සමග නොසසඳමි). 
විද්‍යාවත් එක්කම සංගීතයත් මනාව ගැලපිලා තිබුණා..... "මේක සයන්ස් ඩේ එකක්ද,නැත්නම් ආර්ට්ස් ඩේ එකක්ද " කියලා අපේ සමහර අය කිවුවෙත් ඒ නිසා. 
ඒකෙ තිබුණ ආරාධිත දේශනය නම් අපිට තේරුණේ නෑ වැඩියෙම.( මට තේරුණේ input, සහ output කියන වචන් දෙක විතරයි) ඒත් ඒක පිරිමි ළමයි නම් ගොඩක් උනන්දුවෙන් ඇහුවා කියලා පෙනුනා.


ටිකෙන් ටික තීරණාත්මක මොහොත එළඹුණා...
 "ආරාධිත පාසල් සඳහා වන තරඟය" 
ඒකට තිබුණ දැනුම මිනුම තරඟයක්. ඕවා නම් මොනවාද... ටී වී එකෙත් දැනුම මිනුම තරඟ වලට ගිහින් දිනපු අපිට ඕවා මොනවද? එහෙම තමයි අපි  හිතුවෙ.
 ඒත් ප්‍රශ්න තිබුණ කොලය අතට ගත්තාම එක පාරටම තේරුණා මොකක් නමුත් අපිට නොතේරෙන දෙයක් වෙනවා කියලා... ටිකක් කල්පනා කළා. "ආහ් මොකුත් වෙනවා නෙමෙ, ඒකෙ තිබුන ප්‍රශ්ණ එකකටවත් අපි උත්තර දන්නෙ නෑ......"ඒක තමයි වෙලා තිබුණෙ. විශ්වාස කරන්න එක ප්‍රශ්නෙකටවත් උත්තර දන්නෙ නෑ. මුළු ඉස්කෝලෙම කට්ටිය එකතු වෙලා උත්තර හෙව්වා.... ප්‍රතිපලය බිංදුවයි. ප්‍රශ්න පහලොවයි. අපි උත්තර දන්න ප්‍රශ්න බිංදුවයි.... ඉතින් මොනවා කරන්නද....එක්කෝ එයාලා එයාලාගෙ දැනුම අපිට පෙන්නන්න හදලා, එහෙම නැත්නම් අපි දන්නෙ නෑ කියලා අපිට පෙන්නන්න හදලා. 




මොනවා වුණත් හිස් කොලයක් ආපහු දෙන්න බෑනෙ. දන්න විදියට බැට් කරන්න ගත්තා අපි. හරියට නිකම් මුත්තයියා මුරලිදරන් විකට් එකේ හිටියා වගේ. සේරම කණා උත්තර, ඒ අතර උත්තර දන්න දෙකකුත් තිබුණා. ලොකු අකුරින් ඒ දෙකට නම් උත්තර ලිවුවා. අනිත් ඒවාටත් guess කර කර ලිවුවා. 


ඔන්න ටික වේලාවකින් ලකුණු ප්‍රකාශ කිරීමේ අවස්තාව. "මේ තරඟයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ.... ********************* විද්‍යාලය.(අපේ ඉස්කෝලෙ) අපිට අපේම කන් අදහා ගන්න බැරුවුණා. 
අපි දිනලා. 
කණා උත්තර වලින් අපි දිනලා. 
ඉස්කෝල 10කටත් වඩා හිටියත් අපි දිනලා!!! 
මොහොතකට අපේ හැමෝම නිශ්ශබ්ද වුණා....ඒත් ඊලඟ තත්පරයේ කන් බීරි කරවන අත්පොලසන් නාදයකුත් එක්ක අපේ ප්‍රීති ඝෝශා හඳින් මුළු ශාලාවම ගිගුම් දුන්නා. මට දැනුනා සතුට දරා ගන්න බැරි වුණ කවුරුහරි දඩ බඩ ගාලා මගෙ පිටට ගහනවත්.... ඇත්තමයි තවමත් ඒ තත්පර ගානක සතුටට අපි react කරපු හැටි මතක් වෙනවා .


( කෙනෙක්ට හිතන්න පුළුවන් මේක මෙච්චර ලොකු දෙයක්ද මේ තරම් සතු‍ටු වෙන්න කියලා. ඒත් එච්චර අමාරු ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා අපේ සහෝදර පාසලේදි අපි දිනපු සතුට එදා හොඳටම දැනුණා. ඒකෙන් අපි පැරදුනොත් පාරෙ බැහැලා යන්න බැරි වෙනවා කියලයි අපිට ඒ කාලෙ හිතුණෙ.)


 ඒත් හැම දේම අපි හිතන තරම් සුන්දර වුණේ නෑ. නිවේදකයාගේ ඊළඟ ප්‍රකාශය නිකුත් වුණා .... "ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2/15 (පහලවෙන් දෙකයි) 
මට ඇහුනෙ මුලු ශාලාවම එකම හූ හඬකින් පිරිලා යනවා විතරයි. 


තරඟයෙන් දිනන පාසලට ලැබෙන තෑග්ග ගන්න යන්න කවුරුත් නෑ... "සිඳු යන්න, සිඳු යන්න.... "එච්චරයි ඇහුනෙ. 
ආරාධිත අමුත්තා වේදිකාවේ හිටගෙන බලන් ඉන්නවා අපි දිහා.. 
ඒ තරම් අසරණ කමක් දැනුණෙ නෑ කවදාවත් මට. හීනෙන් වගේ නැගිටලා ගියත් වේදිකාවට නැගලා තෑග්ග ගන්න තරම් ශක්තියක් නම් තිබුණෙ නෑ. ඒත් ඒ ඉස්කෝලෙ හිටපු කරුණාවන්ත ගුරුතුමියක් මගෙ හිත හැදෙන වචන දෙකකින් මාව වේදිකාවට නැග්ගුවා. 


මම තෑග්ග අරන් බැහැලා ආවෙ අපේ ඉස්කෝලෙ අත්පොලසන් හඬත් අනිත් ඉස්කෝල වල හූ හඬත් එක්ක. අනිත් අය මම දිහා බැලුව හැටි පෙනුනෙ නෑ මගෙ ඇස් වල කඳුලු තිබුණ නිසා.... 
එදා හවස අමතර පන්තියට ඉන්නෙත් නැතුව මම ගෙදර ආවා... 
ඒත් ටිකක් කල් යනකොට හිතේ තිබුණ දුක වගේ හැඟීම නැති වෙලා ගියා. අපි අමතර පන්ති යන පාරෙ "***** 2/15 යි" කියලා ලියලා තිබුණ හැටිත්, පන්ති වල සර් ලාට ආව chit වලත් 2/15  තිබුන හැටිත් එක්ක අලුත් වුණ මතකයන් ඒ වෙනකොට නම් ගෙනාවෙ පුංචි හිනාවක්. දැන්නම් මේ හැම දේම මතක් කරන එකත් සතුටක් වගේ... දඟකාර පාසල් කාලෙ කරපු ඒ වගේ සමහර වැඩ නිසා අද අලුත් යාලුවොත් ඇති වෙලා තියනවා.


අමතක නොවෙනම තවත් විද්‍යා දිනයක් ඒ දින වලම තිබුණා අවට පාසලක. ඒකෙත් තිබුණා දැනුම මිනුම තරඟයක්. ඒක නම් වේදිකාවට නග්ගලා ප්‍රශ්න අහන එකක්.(දැනුමයි වාසනාවයි වගේ) ඒකෙ උත්තර දෙන්න බැරි අය අයින් වෙනවා. ඔහොම අන්තිම වේදිකාවෙ ඉතුරු වුණේ සිඳු සහ තවත් ශිෂ්‍යයෙක් විතරයි. දෙන්නටම සම ලකුණු තිබුණා. දෙන්නාටම කඩයිම් ප්‍රශ්න යොමු වුණා... 
සිඳුගෙන් ඇහුවෙ "ලෝකයේ සිටිනා සතුන් අතරින් වැඩිම කාලයක් ගැබ් දරනා සතා කවුද?" හරි ලේසි ප්‍රශ්නයක්. උත්තරේ හරියටම දුන්නා "උත්තරය ඇතා". quiz master ට පොඩි හිනාවකුත් ගියා... සබාවෙනුත් පොඩි මුනු මුනුවක් ඇහුනා. "ඇතා ට නම් ගැබක් දරන්න අමාරුයි. නිවැරදි පිළිතුර ඇතින්න. ඒත් අපි නිවැරදි පිළිතුර විදියට ඇතා බාර ගන්නවා" ඒ වෙලාවෙ තමයි ශාලාවෙ තිබුන ටියුබ් ලයිට් පත්තු වෙලා කට්ටියට හිනා ගියෙ.
 කොහොම හරි ඒ තර‍ඟෙ සම ජයග්‍රාහකයො දෙන්නෙක් හිටියා. ටික දවසක් යනකම්  සමහර අය සිඳු ට "ඇතා" කියලා කිවුවත් ඒක ඉක්මනින්ම නැවතුනේ මී පැටියෙක් වගේ හිටපු සිඳු ට ඒ නම ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති.....



10 comments:

  1. හයියු සල්ලි කිවිවලු 2/15
    සයන්ස් ඩේ ආතල්ම තමා ඉතින්

    ReplyDelete
  2. දෙය්යෝ සාක්කි 2/15... ජයම වේවා!

    ReplyDelete
  3. හයියෝ මෙහෙමත් උනාලු නේ

    ReplyDelete
  4. තෑග්ග අරන් බැහැලා එන්නේ නැතුව ස්ටේජ් එක උඩ ඉඳන්ම පොඩි ටෝක්ස් එකක් දෙන්නයි තිබුණේ... ඔය වගේ අවස්තාවල ඒවා ලස්සනට වැඩකරනවා... හූ කියන ඩයල්ම සීට් වලින් නැගිටලා අත්පුඩි ගස්සවන්න පුළුවන්...

    හැබැයි ඉතින් ක්ෂණිකව හිතලා ටක්කෙටම වැඩේ කරන්න ඕනේ... කියනවා වගේ ල්සි නෑ...

    ReplyDelete
  5. ඹය ප්රශ්න ටික හැදුවෙ මම නෙමෙ වුනාට ටයිප් කරල ඩිසයින් කලේ මම. මං එදාම දැනගත්ත මේවට නම් ඹයාලට උත්තර දෙන්න බැරි වෙන බව.. අපි ඔයාලට හිනා වුනා. හූ කිව්වා. එහෙම ලකුණක් දෙන්න ප්ලෑන් එකක් නොතිබුනත් අවසන් ලකුණු දැක්කට පස්සෙ කිව්ව ඒ වාක්යනය (2/15) හිතලමයි කිව්වෙ.. ඔයා ස්ටේජ් එක උඩට යනකම් අපි ඇතිවෙන්න හිනා වුනා.

    ඒත් ඔයාගෙ ඇස් වල කඳුළු දැක්කෙ ඹයා තෑග්ග අරං ආපහු හැරුණට පස්සෙ.. මගෙ හිත එක පාරටම අඳුරු වෙලා ගියා. පසුතැවීමක් දැනුනා. ඔයා ස්ටේජ් එකෙන් බිමට බැස්සෙ වැනි වැනී.. දැන් වැටෙයි දැන් වැටෙයි වගේ..

    මම ස්ටේජ් එකෙන් ඉස්සරහ බිම ඒ කිට්ටුව වැඩක හිටියෙ.. ඔයාගෙ තත්වෙ දැක්කම දරාගන්න බැරිවුනා.. මං ඔයා ගාවට එන්න පියවර හතරක් පහක් තිබ්බා.. ඔයාව වැටුනොත් මොනව සිද්ධ වුනත්, මොන කතන්දර අහන්න වුනත් ඔයාව අල්ලගන්නව කියලයි ආවෙ.. ඔයා මාව දැක්කෙ නැතුවම හෙමීට අඩිය තිබ්බා.. යාළුවෙක් මාව නවත්ත ගත්තා… මගේ ඇසුත් තෙත් වුනා වගෙ මතකයි….

    ඩයිනමයික් .. DynaMic

    ReplyDelete
  6. ජිංජිබිරිස් - සල්ලි නෙමේ අනේ... කාඩ් පිටින් කුඩු

    තරු- දෙයියෝ නෙමේ,අහල ගම් නගර 10 ක 15කම ඉස්කෝල සාක්කි එදා

    ItalyDilan-ඔයාත් ඒ හූ වට සම්බන්ද වුනා ද එදා??

    Beetle-මොනවද මේ කියන්නෙ, මට කතා කරගන්න තියා ඇවිදගන්නවත් පන නෑ එදා... නිකම් හිතන්න ස්ටේජ් එකක් උඩ ඉන්න පුංචි කෙල්ලෙක්ට හතරවටින් කට්ටිය හූ කියද්දි කොහොමද ආතල් එක?

    ඩයිනමයික්- මට මතකයි ඔයා ඒ හරියෙ කැරකුනා එදා. මොකක්? හූ කිවුවා? මට හිනා වුනා? අනේ අනේ..ඔන්න යාළුවො!!! ඩිසයින් කරපු වෙලාවෙ නිකමට ප්‍රශ්න ටික මතක තියාගෙන අපිට දුන්නා නම් මොකද...??? ඒ වුනත් දැන් නම් හිනා යනවා ඒවා මතක් වෙද්දි. කිවුවට විශ්වාස කරන්න මම තවම දන්නෙ නෑ තෑගි පාර්සලේ මොනාද තිබුනෙ කියලා...කාගෙද මන්දා ඔඩොක්කුවකට විසි කළා යන්තම් මතකයි

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සමහර ප්රශ්න හා බැදුණු සමහර කතා ලාවට වගේ මතක තිබුණට, මම දන්නෙත් උත්තර 2යි ද කොහෙද තමා :D :D :D :D :D

    ReplyDelete
  9. ශ්‍රීමාල් අයියාFebruary 17, 2012 at 10:08 AM

    මාරයි සින්දූ. ලස්සන අතීතය ආයෙ මැවෙනව නේද?

    ReplyDelete
  10. @Sindu akkiya, boru kiyanna oni nahane akkiyo. Man nam methana thiyena prasna walin ekakata wath uththara danne naha. Mata mathaka naha dan godaaak dewal. ekai.

    Akkiya eda koi tharam baya wenna adda kiyala mata therum ganna puluwan akkiyo. Akkiya hinda iwasuwa. Mata ehema ohoma deyak una nam man pahuwada wenakota jeewathun athara indiwida danne th naha. :p
    Man thawama th duk wenne mata ape Science Day ekata sahabagi wenna nolabunu eka gana akkiyo. :'( A nolabunu de mata aye kawamadaka wath laba ganna bahane akkiyo. :'(

    ReplyDelete