Friday, April 6, 2012

මම වරද පිළිගතිමි


ඒ ගෙවී යමින් තිබුණේ පළමු වෛද්‍ය වාට්‌ටුවෙහි ගත කළ මාසයෙහි අවසන් දින කිහිපයයි. අවසන් සුසුම් පොද දක්‌වා ම ජීවිතය යදිමින් සටන් කරන දහසකුත් එකක්‌ රෝගීහු අප ගේ ජීවිතවලට නිරන්තරයෙන් දැනුම එක්‌ කරමින් සිටිය හ.


රෝග ඉතිහාසය සටහන් කර ගැනීම, රෝගීන් පරීක්‌ෂා කිරීම හැරුණු කොට, හෙදියන් විසින් සිදු කරන එන්නත් ලබා දීම, පරීක්‌ෂණ සඳහා රුධිරය ලබා ගැනීම ආදී කාර්යයන්ද අප විසින් සිදු කිරීම ඇතැම් විට ඔවුන් ගේ වැඩ කටයුතු පහසු කළා සේ ම, තවත් විටෙක "වැඩ වැඩි කළ අවස්‌ථා" ද නැතුවා ම නො වේ.


එදින ඇඳ 3 හි වූ රෝගියාගේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව තිබිණි.


මම ඇඳ 3 හි රෝගියා සොයා ගියෙමි. ඇගේ වයස අවුරුදු 60-65ක්‌ වන්නට ඇත. මම ඇඳ ඉහපත් වාර්තාව පරීක්‌ෂා කළෙමි. 




නම - කුසුමා.... වයස - 58යි


රුධිරය ලබා ගැනීමට එපමණක්‌ දැනගැනීම ප්‍රමාණවත් ය. "උණ වෙන්න ඇති" මම උපකල්පනය කළෙමි. එබැවින් ඇගේ රෝග ඉතිහාසය දැන ගැනීමට එතරම් උනන්දුවක්‌ මා තුළ නො වී ය.


"අම්මා කුසුමා......ද?.... ලේ එකක්‌ ගන්න තියෙනවා කොලෙස්‌ටරෝල් බලන්න."


"ඔව් දුවේ ........දැන් නම් හොඳට ම බඩගිනියි... මම ඊයේ රෑ ඉඳලා නො කා ඉන්නේ.... ඇඟටත් පණ නෑ කෙළින් හිටගන්න වත්" 


"එහෙම තමයි අම්මා කොලෙස්‌ටරෝල් බලද්දි කන්නෙ නැතුව ඉන්න ඕනා. නැත්නම් ප්‍රතිඵල වෙනස්‌ වෙනවා"


"අනේ මම දන්නෙ නෑ.... එපා වෙලා දැන් නම් මට......... ලේ ගන්නවා ඉවරයක්‌ නෑ......තවත් කටු ගහන්න තැන් නෑ මගේ අත්වල"


"හරි හරි අම්මා...මේක අරන් ඉවර වුණා ම ආයෙ ගන්නෙ නෑ අද දවසට ම"


ඇගේ මුහුණේ කිසිදු සහනයක සේයාවක්‌ වත් නැත. වාට්‌ටුවේ බොහෝ රෝගීන් ගේ තත්ත්වය මෙයයි. ඒ නිසා දෝ ඇය සැනසීමට තවත් වචන සෙවීමට මම උත්සාහ නො කළෙමි.


මම ඇගේ අතෙහි වූ ශිරාවක්‌ (නහරයක්‌) සෙවීමි. ඈ පැවසුවා නිවැරැදි ය. අතෙහි බොහෝ තැන්වල ඉදිමුණ සලකුණු, කැනියුලා ඇතුළු කර තිබූ ස්‌ථාන සටහන් කළේ ය. ශිරාවක සේයාවක්‌ හෝ නැත. අවසානයේ දී උත්සාහ කිහිපයක ප්‍රතිඵලයක්‌ වශයෙන් ශිරාවක සලකුණක්‌ මතු විය. මම සිරින්ජයෙන් විද ලේ ලබා ගැනීමට උත්සාහ කළෙමි. දැඩි වේදනාව නිසා දෝ අත ආපස්‌සට ඇදීමෙන් මා හට බාධා කිරීම හැරුණු විට ඇගෙන් ද කිසිදු සහයෝගයක්‌ නැත. දෙවැනි වතාවට ද ඉඳිකටු තුඩ නහරය තුළට ඇතුළු කිරීමට තැත් කළෙමි. එහෙත් නිතර ම එය ඇතුළු වන්නේ නහරයෙන් පිටතට ය. මගේ නොඉවසිලිමත්කම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතියි. 


you must learn from your patients. විශේෂඥ වෛද්‍යතුමිය නිරන්තරයෙන් පවසන වැකියක්‌ මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබිණි.එහෙත් ඇගේ දෙවැනි වාක්‍යය මට ඒ මොහොතේ අමතක ව තිබිණි. you must feel pain, when they are in pain 


කිසිවක්‌ කිරීමට අන් මඟක්‌ නො වූ තැන මා හට අසල සිටි මිතුරකු ගේ උදවු පැතීමට සිදු විය. ස්‌වභාවයෙන් ම ඔහු මට වඩා හැකියාවන් අතින් ඉහළ ය. එහෙයින් මා හට කළ නොහැකි වූ කාර්යය නිම කරනු ඇතැයි මම ඔහු ගෙන් බලාපෙරොත්තු වීමි. එහෙත් බලාපොරොත්තු සුන් විය. 


"අනේ ළමයෝ රිදෙනවා දැන් නම්.... තුන් පාරක්‌ ම විද්ද නෙ.... දන්නේ නැත්නම් දන්න කෙනකුට කියන්න." ඇගේ ස්‌වරය වේදනාත්මක වුව ද දැඩි විය.ඒ කාලයේදී ස්‌වභාවයෙන් ම මට හිමි වී තිබූ (එහෙත් දැන් නම් මාස කීපයකට පමණක් වරක් මතුවන) වහා ඇවිළෙනසුලු ස්‌වභාවය ඒ මොහොතේ දී ද ක්‍රියාත්මක විය.


"ආන්ටි පුදුම කතාවක්‌ නේ කියන්නේ.....එතකොට අපි ඉගෙන ගන්න එපා ද?" මගේ ස්‌වරය හිතුවාටත් වඩා දැඩි විය. මගේ මිතුරා නො වන්නට මා තවත් කුමක්‌ හෝ කීමට බොහෝ ඉඩකඩ තිබිණි.


අප ගේ වාසනාවකට මෙන් වාට්‌ටුවේ හෙද සොයුරියක ඇඳ 3 අසලට පැමිණියේ ඒ මොහොතේ දී ය. මිතුරා ඉක්‌මන් විය. "මිස්‌ මේ ආන්ටි ගේ අතේ veins (ශිරා) හොයන්න අමාරුයි. blood අරන් දෙන්න පුළුවන් ද?" තුන්වන වසර වෛද්‍ය සිසුවෙකුට වඩා, වසර ගණනාවක පළපුරුද්ද ඇති හෙදියන් හට ඒ සඳහා කැපී පෙනෙන තරම් හැකියාවක් පැහැදිලිවම ඇත.


ඇය ද තරමක අපහසුවෙන්, එහෙත් අප දෙදෙනාට වඩා පහසුවෙන් අවශ්‍ය රුධිර ප්‍රමාණය ලබා ගත්තා ය. සිරින්ජයේ වූ රුධිරය ප්‍රමාණය පරීක්‌ෂණ නළයට දමාගත් මම එය ලේබල් කිරීම සඳහා ගෙන ගියෙමි. 


රුධිර නළය ලේබල් කළ මම තරමක විවේකයක්‌ ගැනීමට අසල සිටි මිතුරියන් අතරට ගියෙමි. මිතුරියක්‌ අනෙක්‌ අයට යමක්‌ විස්‌තර කරමින් සිටියා ය.


".........මාසෙන් මාසෙට වගේ එයාට ලේ දෙනවා ....... පවු.. වැඩි කාලයක්‌ නම් ජීවත් වෙන එකක්‌ නම් නෑ...."


මගේ කුතුහලය වැඩි විය.


"කවුරු ගැන ද ඔයා කියන්නේ?"


"මගේ patient ගැන ........bed 3 වල ඉන්නේ"


මගේ දෙනෙත් විවර විය. bed 3....?


"ඇයි.....එයාට මොකද වෙලා තියෙන්නෙ?... මම දැන් එයා ගෙන් blood ගන්න ගිහින් පුදුම දුකක්‌ වින්දෙ. පොඩ්ඩක්‌ වත් supportive නෑ නෙ. තරහත් ගියා මට..."


"එයාට myelo dysplasia......"


මා හට පිළිතුරක්‌ නැති විය.


"පවු නේ ද එයා?" නොදැනුවත් ව ම මගේ මුවින් පිට වූයේ සිත වරදකාරී හැඟීමකින් පිරී යන අතරතුර ය.


"ඔව් පුදුම කලකිරීමකින් ඉන්නෙ එයා.....මොකුත් test එකකට වත් ලේ ගන්නවාට කැමැති නෑ. එයා බයයි. අනුන් ගෙන් ගත්ත ලේ ටිකත් ඉවර වෙයි කියලා. තේරුම් කරන්නත් අමාරුයි එයා ඉන්න තත්වේ උඩ.......එක අතකට එයා සාධාරණයි එයාගෙ පැත්තෙන්......ඔය තරම් ලේ ගන්න එකත් ලේසි නැහැ නෙ"


මගේ සිත ඉමහත් දුකින් පිරී යන්නට විය. හිතක්‌ පපුවක්‌ නැති අන්දමේ පිළිතුරක්‌ මා ලබා දී ඇත්තේ එවන් අසරණ රෝගී කාන්තාවකට ය.


සෙමින් එතැනින් නැඟිටගත් මම ඇඳ 3 වෙතට පියමැන්නෙමි. ඇය ඒ වන විටත් හැඬූ කඳුළිනි. වදන් ගලපා ගත නොහැකි ව මම තරමක්‌ ළත වුණෙමි.


"අම්මා ඇයි අඬන්නේ?...."


"නෑ......දරුවෝ.... අර නර්ස්‌ අතින් ලේ ගද්දී ගොඩාක්‌ රිදුණා....." මගේ සිතිවිලි හඳුනාගෙන දෝ ඇය වෙන ම හේතුවක්‌ මවා පෑවා ය.


"මම ගද්දිත් ගොඩක්‌ රිදුණා නේ ද...?"


"ඊට වඩා එයා ගනිද්දි රිදුණා..."


"රිදුණ නිසා නෙමේ නේ ද අම්මා අඬන්නෙ?...


ඇය කඳුළු පිරී ගිය දෙනෙතෙහි රැඳුණ කුතුහලයෙන් මා දෙස බැලුවා ය.


"අතට වඩා හිත රිදුණා නේ ද?... මම කිවුව එකට හිත රිදුණා නේ ද ගොඩක්‌?...." 


"නෑ දුව... ඒක ලොකු දෙයක්‌ නෙමේ...... මගෙ හිතේ තියන දුක්‌වලට ඒක එකතු වුණා කියලා වෙනසක්‌ නෑ."


"ඒත් මට ඒ වෙලාවෙ එහෙම නො කියා ඉන්න තිබුණෙ.... හිතන්නේ නැතු ව ම මගේ කටින් පිට වුණා..."


ඇගේ දුර්වල දෑතින් ඇය මගේ සුරත අල්වා ගත්තා ය. "දුව ඒ ගැන හිතුවා කියන්නෙත් දුව හොඳ නිසා......ගොඩක්‌ මිනිස්‌සු එහෙම නෑ......" මගේ දෑසට ද කඳුළු උනනු මට දැනේ. එහෙත් නිහඬ ව ම ඇය පවසන දෑ මම අසා සිටියෙමි.


".......දුව කිව්වා වගේ මම ඔයාලා ඉගෙන ගන්නවට අකැමැත්තකින් එහෙම කිව්වා නෙමේ. මට දැනුණ වේදනාවටයි මටත් ඒ විදිහට කියවුණේ.....දුවලා වැඩ කරද්දි ටිකක්‌ හිතන්න.... මේ ලෙඩ්ඩුත් මිනිස්‌සු. සාමාන්‍ය අයටත් වඩා හැම වෙලාවෙ ම එයාලා ඉන්නේ වේදනාවෙන්..........ඒ නිසා තරහ යනවා. දුක හිතෙනවා වැඩියි. ඒ නිසා ඉස්‌සරහටත් ඒ ටික තේරුම් අරගෙන වැඩ කරන්න දුව...."


දිනපතා රෝගීන් හමුවේ  ලබන දැනුම අතර එදා උගත් වටිනා පාඩම ද සදාකාලිකව ම මගේ සිතෙහි රඳා පවතිනු ඇත.


( වචනයක් වත් වෙනස් නොවූ සත්‍ය සිදුවීමක් වන අතර වසරකට පමණ පෙර මෙය විදුසර පුවත්පතෙහිද පළ කළෙමි)

Myelo dyspiasia/ Myelodysplastic syndrome


මෙම රෝගීන්ගේ ඇට මිදුලුවලින් රුධිර සෛල නිපදවීම නිවැරැදිව සිදු නො වේ. එම නිසා රුධිරයේ ඇති රුධිර සෛල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයන්ට වඩා බොහෝ අඩු ය. මෙම රෝගීන්ට නිතර රුධිර පාරවිලයනය කළ යුතු ය. 

30 comments:

  1. අම්මෝ අක්කේ මගේ පපුවත් හිරවෙන්න වගේ ආවා. හරිම දුකයි :(

    ReplyDelete
    Replies
    1. එදා මගෙ හිතට දැනුන දේ තවමත් මගෙ හිතෙත් තියනව නංගි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ තත්වය හොඳයි. හණු විසන්ධි වූ ලෙඩාගේ හණුව නිවැරදි කරන්න හෙට උදේ වෙනකං ඉන්න කියන වෙදුන් ද දැක අැත්තෙමි.

      Delete
    2. අවාසනාවන්ත තත්වයක්.

      Delete
  3. හ්ම්ම්.. ඇත්ත අක්කේ.. අපි නොහිතා කරන වැඩක් හරි නොහිතා කියන වචනෙකින් හරි කෙනෙක්ගේ හිත රිදෙන්න තියෙන ඉඩ වැඩියි.. ඒත් ඒ කෙනාගේ පැත්තෙන් එහෙම හැසිරෙන එක සමහර වෙලාවට සාධාරණයි අපි නොදන්නවා වුනාට..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගි. අපි නිකම් පාවිච්චි කරන වචන නිසා ඕනා තරම් අනිත් අයගෙ හිත රිදෙනවා. ඒ විදියට අපේ හිත රිදුන අවස්තා ඕනා තරම් තියනවාද නේද? ඇත්තමයි එයා කියපු දේටත් මගෙ හිත රිදුනා. ඒත් ඉතින් තේරුම් ගැනීම වැදගත්නෙ.ඒ කෙනාගේ පැත්තෙන් එහෙම හැසිරෙන එක සාධාරණයි

      Delete
  4. සංවේදි කතාවක්.. අපූරුවට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. :-)

      Delete
  5. පොඩි කාලේ දත් පුරවන්න ගියාම අර මැසිම දාලා දත් හිල් කරපු කාලේ ඉඳලා දොස්තරලට බයයි..දෙයියනේ කියලා තාම එක දවසක්වත් ඉස්පිරිතාලෙක ඉඳලා නෑ...

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ හොඳට දත් මැදලා පිරිසිදුව හිටියා නම් අදත් ඔයා බය නැතුව දොස්තරලා ළඟට යනවානෙ.
      ;-)

      Delete
  6. //you must feel pain, when they are in pain// එහෙම දැනෙන වෛද්‍යවරු කොච්චර අඩුද?
    හරිම සංවේදීව ලියලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා. එහෙම දැනෙන අය ඕන තරම් ඉන්නවා. දැනෙන අය ගැන නෙමෙයි ප්‍රසිද්ධ වෙන්නෙ, නොදැනෙන අය ගැන.

      Delete
  7. හැමෝම ඔහොම හිතනවා නම්..

    ReplyDelete
    Replies
    1. එහෙම නම් රෝහල තවත් ලස්සන තැනක් වෙයි නේද?

      Delete
  8. රෝගීන්ගේ වේදනාව දැනෙන වෛද්‍යවරුන් කීයෙන් කීයද හැබෑවටම ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. දනාව ගොඩක් වෙලාවට දැනෙනවා සො.මි. ඒත් ඒ දැනෙන දේ අනිව ක්‍රියා නොකරන එකයි වැ‍රැද්ද. ඒ වගේම මම වර්ශා ට කිවුව එකත් තව හේතුවක්.

      Delete
  9. අත්දැකීම් මිනිසා සර්ව සම්පූර්ණ "මනුෂ්‍යයෙකු" බවට පත් කරයි....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඇත්තම කිවුවොත් ඒ අත්දැමීමෙන් පස්සෙ, මගෙ හිත රිදවපු කිසිම රෝගියෙක් ගෙ හිත මගෙ අතින් රිදුනෙ නෑ කියලා මට සතුටින් කියන්න පුළුවන්.

      Delete
  10. //අතට වඩා හිත රිදුණා නේ ද?..//

    එකම හදවතක් නම්... වේදනාව..
    සංවේදී සටහනක්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්ඳු.

      Delete
  11. it is painful.
    I am not sure whether I told you this story, once the doctor asked to get some blood sample from VJ at Asiri lab, the girl who tried to take blood hurt him a lot , and i asked them to stop it . Imagine,a two years old one was crying, ...

    ReplyDelete
    Replies
    1. It really is painful aiye. what happened on that day happened not because I didnt know it is painful, but because i was also hurt with her response. (But I should have understood her situation.That is why i went there and apologized her about that. )

      You know sometimes patients are very reluctant to support medical students (specially in SJGH because they pay money) and it made us miserable often and my above may have been a result of repeated same kind of such incidents in SJGH.

      If i say something about VJ crying when drawing blood, i would have done the same because it was VJ.

      Delete
    2. That is ok, it is well written. You have shwon empathy, and ultimately learnt to examine your mind . That is good.

      Delete
  12. පොඩ්ඩක් පරක්කු උනා බ්ලොග් කියවන්න... අපේ රටේ රෝහල්වල ඉන්න ගොඩක් අය සාපේක්ශව තරහා යන අයනේ ඉන්නේ... මේ දොස්තර නෝනත් එහෙමද මන්දා

    ReplyDelete
    Replies
    1. අපේ රටේ රෝහල් වල නෙමේ ඩිලාන්, අපේ රටේ හැම තැනම ඉන්නෙ තරහ යන අය. මම කියන්නෙ නෑ මට තරහ යන්නෙ නෑ කියලා, ඒත් තරහා යාමේ මට්ටම scale එකකින් පෙන්නුවොත්, මම ඉන්නෙ 50% සීමාවෙන් මෙහා කියලා කියන්න පුළුවන්. එදා සිදුවීම එක සිදුවීමක් විතරයි. සාමාන්‍යයෙන් ඒ වගේ වැරදි මගෙ අතින් වෙනවා අඩුයි.

      Delete
  13. අක්කේ ඔයා නම් ඇත්තටම ගොඩක් හොදයි. අපිත් මිනිස්සුනේ. අපේ අතිනුත් වැරදි සිද්ද වෙනවා. වැරද්දක් උණා නම් ඒක පිළිගන්න එක තමා වටින්නේ. ඒ වගේම වරදින් මිදෙන්නත් ඕනි. ඒ අතින් ඔයා කලේ ගොඩාක් හොද දෙයක්. ඔයා උණ වැරද්ද වහ ගත්තේ නෑනේ, ලගට ගිහින් රෝගියාගෙන් සමාව ගත්තා. ඩොක්ටර් කෙනෙක් එහෙම කරන එක කොච්චර දෙයක්ද. අනික එහෙම කරන අය ඉන්නේ කීයෙන් කීදෙනාද?????

    ගොඩක් වැරදි වෙන්නෙත් කරහව පාලනය කරගන්න බැරිවීම නිසා.....
    උත්සහ කරල කරහව පාලනය කරගන්න එකයි වටින්නේ.....

    ඔයා ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක් අක්කේ..... ඉදිරියටත් ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක් විදිහටම ඉන්න.....

    ReplyDelete
    Replies
    1. ටිකක් දුකක් වගේ එකක් දැනුන වෙලාවෙ ඔයාගෙ කමෙන්ට් එක මගෙ හිතට ලොකූ ශක්තියක් වුණා නංගි ඇත්තමයි. ස්තූතියි ගොඩක්

      Delete
  14. ඉතා කටුකවූත්, රළු වූත් වෛද්‍ය ජීවිතය තුරාවට සිඳුගේ සංවේදී බව රැකගැනීමට ලැබේවා....

    ReplyDelete
  15. ස්තූතියි. මම තවම කල්පනා කරනවා කවුද මේ "amu" කියලා. මගෙ ජීවිතයෙ හමු වෙලා තියන මම වඩා ගරු කරන ගුරුවරුන් කිහිප දෙනාගෙනන් කෙනෙක්ද කියලාත් හිතෙනවා. A**** Mu******* ????

    ReplyDelete