Monday, April 9, 2012

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "තරු ලකුණ"

        වසර කිහිපයක සිටම සඳැස් කවි වලටම බැඳි මගේ ප්‍රේමයේ හැරවුම් ලක්ෂය නම්, "ප්‍රබුද්ධ" කාව්‍යයයි. 9 ශ්‍රේණියේදී මගේ සිංහල ගුරුතුමිය වූ කුසුම් ගුරු මෑණියන් දිනක් "ප්‍රබුද්ධ" හි පිදුම පන්තියේදී කියවූ මොහොතේ සිටම මහගමසේකරයන් කෙරෙහි බැඳුණු මගේ සිත ඔහුගේ කවි සොයා පිපාසිත විය. 
හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, නොමියෙමි ආදී වූ ඔහුගේ සියලුම කවි කොහෙන් හෝ මම මේ වන විට කියවා ඇත්තෙමි. 


එකී කාව්‍ය ග්‍රන්ථයන් මා සතුවට නතු කර ගැනීමේ ආශාවෙන් සරසවි පොත් හලෙහි දෙවෙනි මහල පීරු මොහොතක මගේ ඇස ගැ‍ටුණ තවත් අපූර්ව පොතක් විය. 


ඒ මගේ අනෙක් ප්‍රියතම කවියා වන රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත "තරු ලකුණ" කවියයි. ඒ පිළිබඳව මේ සටහන තබන්නට සිතුනේ දින කිහිපයකට පෙරාතුව කියවූ සාතන්ගේ ලිපිය නිසාවෙනි.




1997 දී පළ කරනු ලැබ ඇති මෙය පාසල් ගුරුවරයකුගේ ජීවිතය පිළිබඳව පෙන්වන්නකි. "සුරත්" නමින් කවියා විසින් ඔහු හඳුන්වනු ලබයි.
කවිය ආරම්භයේදීම සුරත් පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් තබන්නේ ලස්සන සටහනක්.


සමනොල ගල වනන්තරේ මල් යහන
සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන
සිඹ සනහා එහි නිදනා කිරි සිහින
කිරි මවුදෝ නුඹ සුමිතුර කිරි පොවන


ඉස්කෝලේ මානා හෙවනට බැඳුන
මකුළු දැලේ උඩු වියනේ මුතු බඳින
සීතල හිරිකඩ දෙපතුල් ළඟ අඬන
සකි සඳුනේ සුව නැත දළ රළු යහන


රොනින් පිරී රොන්සුණි සඟවා තබන
මලක් නොවී වන ගැබ පරවී වැටෙන
කුරුල්ලෙකු වෙමින් නව යුගයට අඬන
ඉතින් නැගෙනු මැන මා පිය සකි සඳින


දුෂ්කර පාසලක දිළිඳු දරුවන්ට අකුරු කරවනා  සුරත්  ඒ ජීවිත්යේ දුෂ්කර බව සමගම උදෑසන අවදි වේ.


හිස කැක්කුමයි
සිතද කැක්කුමයි
ඇසට නිදි නො එයි
සිත ඇඹරෙමින් අවදි වෙයි
‍රැ පුරා නිදි වරා
‍රැස් කළා වූ සෞන්දර්ය ද
ප්‍රේමයද
පෙති වලට තුරුළු කර මල් නිදයි
-------------------------------------------
"සුරත් මේ උදැහැනයි
ඔබ අවදි විය යුතුයි"
වියලි හඬකින් හඬන කුරුල්ලෙක්
ජනේලය ලඟට ඇවිදින් කියයි


ඒ ජීවිතය දුෂ්කරයි, නමුත් සුරත් ඒ ජීවිතයට ආදරෙයි. ඒ ක‍ටුක බව තුළින් මතු වුන සුන්දරත්වය නොදකිනවා නම් ඔහුට ඒ ජීවිතය නීරස වන්නට තිබුණා. ඒ ගැන කවියාගෙ වචන වලින් කියන්නෙ මේ විදියට.


ක‍ටු වලට තුරුලු වුණ නිදි කුම්බා මල් අතර
ගල් බොරලු වැළඳගත් බිං තඹුරු වැල් වලට
ශුෂ්ක ගිරි දුර්ගයට ඇද හැලෙන නිල් පොදට
පෙම් නොකර මම තනිව කෙසේ මෙහි ඉන්නෙම්ද



පාසලට යන සුරත් දකින්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින දරුවන්. 
මිදුලේ කොහොඹ ගස වටේ රවුමට හිටගෙන ඉන්න මේ දරුවන් ඔහුගෙ නෙතට , නොව සිතට ගෙනෙන්නෙ කඳුලක්.
උදෑසන ආහාරයවත් නැති ඔවුන් හට පාසලෙන් ලබා දෙන විස්කෝතුව අමෘතයක්. ඒ විස්කෝතුව ‍රැගෙන එනතුරු තවත් කිහිපදෙනෙක් දොරකඩ බලාගෙන....


ඇහි පිය මලානික වුණු
නිම්පත් දූලි ගැවුණ
අඬනවාදෝ නුඹ
මිදුලේ නිල් කොහොඹ ගස?


නුඹේ බඳ වට කො
කෙට්‍ටු අත් වැල් බැඳගෙන
ළමයින් ගයන ගීතය
ඇහෙනවාදෝ සවනට?


මේ ගසේ බොහෝ සේ කොළ තිබෙන බව සැබැයි
ඒත් ගෙඩි කොහෙද ? කොළ නම් තිත්ත තිත්තමයි
එක රොටිය මදියි අම්මේ නංගිටයි මටයි
වැඩියෙ කන නරක ළමයින් අනේ අපි නොවෙයි
----------------------------------------
ගොමස්කඩ සාක්කු වල
පිරි සහෝදර ප්‍රේමය,
කඩුල්ල ලඟ බලා හිඳින පොඩි මල්ලිට
කුරහන් රොටි එපා කියන පොඩි නංගිට
මන්ද පෝෂණයට - රත්තරන් විස්කෝතුව!!


ඇස් බොඳ වී ගියත්
හඬනු මැලි විය සුරත්
චක්‍ර ලේඛන වල 
හඬන්නට අවසර නැත..


මෙහි දෙවන පරිච්ඡේදයට එන විට කවියා විසින් පාසලෙන් තරමක් දුරට මිදී සුරත්ගේ ප්‍රේමය කරා පාඨකයා ගෙන යයි. පාසල් ගුරුවරයෙකු වුවත් ජීවිතයේ යෞවනයේ සිටින ඔහුටද  පෙම් කිරීම සඳහා සම්පූර්ණ අයිතියක් ඇත.ඇතැම් විට ඇය ඔහුගේම සිසුවියක ලෙසින්ද කලක සිටින්නට ඇත.


ජීවිතේ යෞවන ඍඉතුවේ
එකෝමත් එක මිහිරි දවසක
වැසි වසින මීදුම ගලන
නිල් සිහින පැටලෙන අඳුරු දවසක


සුදු ඇඳුම් ඇඳි හංස මෙනෙවිය
පා වෙවී පාසලට ගිය
සිහින දොර සිට ඔහුට අත වැනු
එකම යුවතිය උත්පලා විය
-----------------------------------------------
එතැන් සිට ඔහු පෙම්වතෙක් විය
අඩු මිලට අබලන් සිහින ගෙන 
අලුත් වැඩියා කරන්නෙක් විය
දඹ රත්තරන් ණයට අරගේන
නව සංකල්ප නව රූප සාදන
එක්තරා කුස රජ කෙනෙක් විය
පාළු අඳුරු තනි තරුව ගැන
අමරදේවට දුක හිතෙන්නට
ගයන්නට විය


                               (by Mr. Francis Perera)
හිත කොතරම් ආදරයෙන් පොහොසත් වුණත් සුරත් යනු ධනවතෙකු නොවේ. උත්පලාගේ මවුපියන්ගේ කැමැත්තට අනුව ඇයට සිදුවන්නේ වෙනකෙකුගේ අත ගන්නටයි. 


මේ සුරත්ගේ වළපයි.


සුසුම් ලන වියරුවෙන් ‍රැල් නැග
අහස් ගංගා ජල කඳේ
කලා නොපිරුණු සඳක මළ කඳ
සෙමෙන් අවරට පාව යේ


ප්‍රේමයේ මල් පළ මැරී ගිය
වියළි ගංගා ධාරයේ
වැලපෙනා සක්වාලිහිණියනි
දිගු ‍රැයකි මුළු ජීවිතේ


වළාකුළු දෙතොලින් සිඹින
සුදු ගිරි මුදුන මත මාළිගේ
නිල් එලිය යට ඔබ නිදන තැන
පෙනේවා මට මහ ‍රැයේ....



එහෙත් නැවතත් වරක්, ඔහුට ඈ හමු වේ නොසිතූ , එහෙත් හැමදාම පැතූ ලෙසටම. මුලාවක් වූ විවාහයක් බිඳ වැටී සිටි ඇයට පෙර මෙන්ම ඔහු ආදරය කරයි. ඒ ආදරය ඇයව ඔහු වෙතට කැඳවා ගන්නටම ප්‍රබල වේ.


නටබුන් වී ගිය සිහින රටේ
ගන වනන්තරේ
ගල් පර්වත අතරේ,
ක‍ටු ගසක නිදා හුන් සෙවනැල්ලේ
ඈ හිඳගෙන සිටියා නිසොල්මනේ
---------------------------------
පර මලක් වැටී තිබුණා ඒ ගස යට
ඉතා සැදැහැවත් සමනළයෙක් 
හිටියා මල අත නැරම


තවමත් තමන්ට ආදරය කරන සුරත් ළඟ උත්පලා කඳුලු සලයි. සුරත් පවසන්නේ මෙපමණයි.


"නිකම් ගුරුවරයෙක් මිස
මිනින්දෝරුවෙකු නොවේ මම
ප්‍රේමයේ දිග පළල
මනින්නට බෑ මට
හඬන්නනට නම් එපා උත්පලා
කඳුලු නෑ මගෙ ඇස් වල"
-------------------------------------------
"නැගිටින්න උත්පලා
මුණ ගැසුණ දිනෙක අපි
දෙවියන්ට කියා දෙමු
එන්න මට අත දෙන්න
දැන් ඉතින් ඇවිද යමු


මෙලොව සැම ගැහැණුනට වඩා නුඹ
හොඳ නොවන්නට හැකියි.
එහෙත් ඔබ
ඒ කිසිවෙකුට වඩා නරක නෑ"



සුරත්ගේ කතාව මෙයින් අවසන් වන්නේ නැහැ. නමුත්  සිතුවාටත් වඩා දිගු වූ ලිපිය මෙය මෙතැනින් අවසන් කරන්නට මට ඉඟි කරයි...........................
ඉතිරිය වෙනත් දිනයකට........


18 comments:

  1. මාත් ආසම දේ සඳැස්

    කිසිදිනක නොකිය වූ පොතක
    මිහිර ගෙන ආවට අපට
    ස්තුතිය සිදු ඔබ වෙත

    හිතත් හඬයි ඉල්ලා
    හෙට දිනයෙම ගොස්
    මෙපොත රැගෙනෙනා ලෙස

    ReplyDelete
    Replies
    1. කියවූ පොතක ගැබ් වූ
      අපූවත්වය බෙදන්නට
      හිත හැඬූ නිසාම
      බිහි වුණා මේ ලිපිය

      ලියවෙන අකුරු පෙලකට
      ජීවය ලබාදෙන්නට
      හිතට දිරි ලැබෙන්නේ
      මිතුරනි ඔබ නිසාමය

      Delete
  2. මොනා කරනවද මන්ද... දැන් ඉතිං මේක හොයන් කියවන්නම වෙනවනෙ :)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හොයාගෙන කියවන එකයි තියෙන්නෙ. ප්‍රබුද්ධ ගැන ලියලා මාව ඇවිස්සුවා ට හොඳ වැඩේ

      Delete
  3. කියවන්න වටිනම පොතක්.. සාතන් කිවුවා වගේ මටත් මේක කියවන්න ආසාවක් ආවා..

    ReplyDelete
    Replies
    1. කියවලා හොඳද කියන්නකො. මල්ලි ඔයාගෙ බ්ලොග් එක මගෙ මේ ලිස්ට් එකේ පේන්නෙ නෑනෙ.

      Delete
  4. රත්න ශ්‍රී විජෙසිංහ සහ මොනිකා රුවන්පතිරන දෙදෙනාට අනිත් කවීන්ට වඩා මම කැමතියි...සමකාලීන අනිත් කවියන්ද සමාජයේ විශමතා සහ ගැන ලියූවත් මොවුන් දෙදෙනා තරම් ව්‍යංගාර්ථ යොදාගැනීම් සහ කටුක දේ සිතට වදින ලෙස ඉදිරිපත් කිරීම ඉතා ඉහල මට්ටමකින් නොතිබූ බව මට සිතේ. බොහෝ ලස්සන කවි අතරින් දෙකක් මතක හැටියට ලියමි

    මගෙ කවි පදරුත් විමසා- නෙක ගුන පවසන විට ඔබ
    පැතූ ඉසුරු නොම ලදසේ- මා හද කම්පා වන්නෙය

    ලෝ වැසි සමගෙන් සැගවුනු- ඔබේ සොදුරු මුදු සෙනෙහස
    මා හද ගැබ සුරැකෙන බව- සබඳිනි ඔබ නොදන්නෙහිය

    හෙලනා දිගු සුසුමෙන් මිස- බැහැර නොයන මගෙ සෙනෙහස
    කවියක් සේ බිහිවන බව- සබඳිනි ඔබ නොදන්නෙහිය

    ලියවුනු කව් පද දහසක්- විමසා බැලු මුත් මෙතුවක්
    ඔබ මිස එහි අන් අරුතක්- නැති බව ඔබ නොදන්නෙහිය

    (මගේ ශෝකය- මොනිකා රුවන්පතිරණ, 'ඔබෙ යෙහෙලිය- ඇය ගැහැනිය' )

    සොදුර නුඹ ලිහිනියක- රැයේ අඳුරට හඞන
    මමද ලිහිනියෙකු වෙමි- කැඩුනු තටු පිරිමදින

    අහිංසක අප දෙදෙන- තටු කඩා මේ ලෙසින
    සිඳී ගිය ගඟ දැල හැර දැමූයේ කවුද
    සඳට දොස් නොකියන්න- සඳ කුමක් කරන්නද
    බාල වයසින් මැරුනු- ප්‍රේමයකි තරු එලිය

    කටුක දුක් විරහ මැද- අතරමංවී ගියද
    අපි තවම පෙම් කරමු- අපේ ජීවිත වලට
    කියාදෙමු පියඹන්ට- අපි අපේ පැටවුන්ට
    නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වී දිනෙක

    (රත්න ශ්‍රී විජේසිංහ )

    ReplyDelete
    Replies
    1. මොණිකා රුවන්පතිරණ තරම් මෑත යුගයේ බිහි වුණ දක්ෂ කිවිඳියක් නොමැති තරම්. මේ කවියම ඒ සඳහා හොඳ උදාහරනයක්.

      සොඳුර නුඹ ලිහිණියක කියන්නෙ මුලින් කවියක් ද? නමුත් පසු කාලීනව එය ගුණදාස කපුගේ හඬින් ගැයෙනවා. මුලින් කවියක්ව තිබී පසුවට ගීත වුණ බොහෝ අලංකාර ගීත තියෙනවා.

      Delete
    2. ඔව් ඒක මුලින් කවියක්....ඇත්තටම මම මේ ලියලා තියෙන්නෙ ගීතයේ පද.....කවියේ පද මීට ට්තරමක් වෙනස්.....
      රත්නශ්‍රීගෙ ගීත ගැන නම් කියලා වැඩක් නෑ...they are out of this world.. වෙලාවක් තියෙනවා නම් ගීත රචනා ගැනත් ලියන්න.

      Delete
    3. මොණිකා රුවන්පතිරණගේ මේ කවිය තරම් ඉක්මණට පාඩම් වුණු කවියක් තවත් නැති තරම්.. ඒ තරම් ම අර්ථය හිතට කා වදිනවා.. බොහොම ස්තුතියි amu.
      රත්න ශ්‍රී සර් ගැන නම් කියන්න දෙයක් නෑ.. එතුමා වැන්නෙක් ඇසුරු කරන්න ලැබීමත් විශාල භාග්‍යයක්... :)
      ජය වේවා!!

      Delete
  5. රත්න ශ්‍රීගෙ මම ආසම පොත තරුලකුණ.ඒකෙනුත් වැඩිපුරම දැනෙන තැන තමයි සාහිත්‍ය ගුරුවරයා මැරෙන හරිය.ඒ ටිකට මම හුගක් ආසයි.ගොඩක් මහන්සි වෙලා ලියපු ලිපියක් නේද අක්කි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගි. ඒ කොටස ගොඩක් ලස්සනයි, සංවේදියි, ඒ වගේම උපහාසාත්මකයි.

      බිත්ති බාගෙට බැඳ ඇති
      කණු උඩ නැගූ පියසි ඇති
      වැඩත් අහවර නැති
      නිවහනට ඔපයක් නැති

      කැඳවා අප සැවොම
      සාද තෙපුලක් නැතිවම
      නිදයි ඔබ අත් බැඳ
      නෙතු පියා නිසලව.

      මම ආසා තව කොටසක් තියනවා. ඒවා ඊළඟ පෝස්ට් එකට දාන්න හිතුවා. ස්තූතියි නංගියො. (දැන් නිවාඩු කාලෙ හින්දා ළමයා නිදහසේ වගේ නේද?)

      Delete
  6. 11 වසරේ සිංහල අච්චු පොතේ තිබුණා රත්න ශ්‍රී ලිව්ව කවි පංතියක්.
    මට ඒ කවි පංතියෙංම මතක මෙච්චරයි.

    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කවියක් මතක් නැති එකට නම් සමාවක් නෑ. ;-) ඇත්තමයි ඒක ලස්සන කවියක් රනා. මුලු කවියම එක මිටකට ගන්නවා ඔයා කියපු පේළියෙන්. "ක‍ටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස"

      ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
      නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
      කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
      සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

      කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
      දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
      පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
      හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

      සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
      දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
      තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
      ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර

      දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
      නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
      රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
      මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

      රමණීය වන ගැබෙහි ගැබෙහි මොණරුනට පිල් වියන
      සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
      වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
      කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

      වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
      දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
      වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
      ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

      ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
      ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
      දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
      කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස

      Delete
  7. Great Nangi, miss sinhala books, I was inspired with Sekara twenty years ago,unfortunately not others.
    Jayawadu Withana, Parakrama Kodithuwakku has also done some great work.
    Really inspired, thanks and keep it up

    ReplyDelete
  8. කියවන්න ඕනා :)

    ReplyDelete
  9. සාතන් අයියගේ පොස්ටුවෙන් තමයි මේ පැත්තට ආවේ.රත්න ශ්‍රී සර් ගෙ කවි වලට ආදරය කරන නිසා!මමත් ඔහුගේ පොත් වලින් ආසම පොත තරු ලකුණ,කියවද්දී හිතෙනව එක ඔහුගේ සැබෑ ජීවිතයේ කතාවද කියලත්.

    ...බොහෝ නෙත් පහන් කොට
    මග කියා
    නොකියම බැස ගිය
    ඇතැම් තරුවක් දැනට මියගොස් විය හැක
    එහෙත් නොසිදී ගලයි එහි එළිය!

    ReplyDelete
  10. ahamben pamina obe lipi kiyyewwa. obata athi liweeme hakiyawa itha usas. pu dumayak ne. oba kusumge golayek! eya mage samakaleena guruwariyak. api ekata weda karala nehe. eth aya daksha guruwariyak bawa ma danne mage duwath agen igena gath nisa. mama oyata suba pathanawa.

    ReplyDelete