Tuesday, April 17, 2012

චාරිකා සටහන් - පඬුවස්නුවර

සිංහල අලුත් අවුරුද්දට ලැබුණ කෙටි නිවාඩුව අවසන් වුණේ  පුංචි චාරිකාවකින්. ඒ වයඹ පළාතේ තියන තවත් පුරා විද්‍යාත්මක වටිනාකමකින්යුක්ත ප්‍රදේශයක් වන පඬුවස්නුවර ප්‍රදේශයට ගිය ගමන.


වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන පඬුවස්නුවර  කොළඹ සිට කි මී 122ක් පමණ ද, කුරුණෑගල සිට කිමී 27ක් පමණ ද දුරකින් හලාවත-කුරුණෑගල මාර්ගයේ පිහිටා තිබෙනවා.


වර්තමානයේදී පඬුවස්නුවරදී දක්නට ලැබෙන රාජධානිය අයත් වන්නේ ක්‍රි.ව. 12 වන සියවසට. 
පොළොන්නරුව රාජධානියේ පළමු රජතුමා වූ මහා විජයබාහු රජතුමාගේ කාලයේදී මායා රට පාළනය කළේ මානාභරන යුව රජ තුමා විසින්. ඔහුගෙන් පසුව මායා රට පාලනය ලබාගත් ඔහු පුත් පරාක්‍රමබාහු යුව රජතුමා ස්වකීය රාජධානිය බවට පත් කරගත්තේ පඬුවස්නුවරයි. ඒ අවධියේදී මෙම ප්‍රදේශය පරාක්‍රමපුරය නමින් හඳුන්වා තිබෙනවා.


( ජනප්‍රවාද වලට අනුව මෙම ප්‍රදේශය විජය රජුගෙන් පසුව රජ පැමිණි පණ්ඩුවාසදේව රජුගේ (ක්‍රි. පූ.5 වන සියවස)රාජධානිය බවට ද මතයක් පැවතුනද, ඒ බව තහවුරු කරගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් තවමත් හමුවී නැහැ)


හෙක්ටයාර 20ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින පඬුවස්නුවර රාජධානිය පුරාවට කැණීම් සිදු නොකරන ලද ප්‍රදේශ ද තවමත් ශේෂව පවතිනවා.


මෙම ප්‍රදේශයට ඇතුළු වීමත් සමගම දක්නට ලැබෙන්නේ පරාක්‍රමබාහු රජුගේ රජමාලිගාවේ නටබුන්. 


රජමාලිගයට අයත් ප්‍රදේශය පිටතින් මීටර් 6ක් පමණ පළල දිය අගලකින් (moat) වටකොට ආරක්ෂාව සපයාගත් බවට තිබූ බවට සාක්ෂි අදටත් ශේෂව පවතිනවා.


දිය අගලට ඇතුළතින් ඇති ශක්තිමත් පවුරෙන් ඒ ආරක්ෂාව වඩාත් තහවුරු වන්නට ඇති.




මැදමිදුලකින් ද සමන්විත වන රජ මාලිගය සර්ව සම්පූර්ණ මාලිගයක ආකාරයට සකසා තිබුණු බවට සාක්ෂි තවමත් දක්නට ලැබෙනවා. මෙහි භූමි සැලැස්ම,පොළොන්නරුවේ දක්නට ලැබෙන පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයෙහි සැලැස්මට බෙහෙවින් සමානයි.
රාජ සභාවේ රජුගේ සිංහාසනය පණවා තිබූ ස්ථානය ලෙසින් මෙය හඳුනාගෙන තියනවා.


රජතුමා සඳහා නිමවා තිබූ මෙම වැසිකිලියෙහි බොහෝ කොටස් වර්තමානයේදී දක්නට නොලැබෙන බවයි පැවසෙන්නේ.






12 වන සියවසට අයත් බොහෝ ස්ථාන වල මෙන්ම මෙහිද, මෙම ස්ථානයට වරක් පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා (ක්‍රි.ව.1187-1196) විසින් ස්ථාපනය කරන ලද ගල් ආසන සෙල්ලිපියක් දක්නට ලැබෙනවා.


නමුත් එහි සඳහන් වන කරුණු කුමක්දැයි යන්න දැනගැනීමට මගක් නම් සැලසුනේ නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදි කර තිබුණ පුවරුවෙහි අකුරු කිසිවක් පැහැදිලිව ඉතිරි නොවී තිබීමයි ඊට හේතුව.


ඇතුළු නුවර රජමාලිගයට උතුරින් හා දකුණින් සංඝාවාස කිහිපයකම නටබුන් දක්නට ලැබෙනවා. ඒවා සියල්ලක්ම පිළිමගෙවල්, ආවාස, උපෝසථාගාර,දාගැබ්,සහ බෝධිඝර යන පංචායතන වලින් පරිපූර්ණයි.


                                          දාගැබක නටබුන්


බෝධිඝරය


                                        පිළිමගෙවල්

මින් එක් සංඝාරාම භූමියක නිශ්ශංකමල්ල රජ සමයට අයත් වන දමිළ සෙල්ලිපියක් දක්නට ලැබෙනවා. මධ්‍යකාලීන දමිළ බසින් සටහන් තබා ඇති එහි සටහන්ව ඇත්තේ, නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍යකාලයේ 5 වන වර්ෂයේදී කුලන්දෛ මතිමාන පංජර නම් වූ සෙනෙවියා විසින් භික්ෂූන් සඳහා ආවාසයක්, දාන ශාලාවක්, චෛතයයක් සහ පරාක්‍රම අධිකාරී නමින් විද්‍යාතනයක් මෙම නගරයෙහි වූ බෝධියක් සමීපයෙහි කරවන ලද බවයි.







පඬුවස්නුවර නූතන විහාරය අසල නුවර යුගයට අයත් ටැම් පිට විහාරයක්ද දක්නට ලැබෙනවා.(ගල් කණු මත ඉදි කර ඇති විහාරයක්). 




එය නම් ගරාවැටීමට ඉතා ආසන්න ලෙසකිනුයි දිස් වන්නේ.


9 වන සියවසට අයත් ටැම් ලිපි කිහිපයක්ද විහාර භූමියේ තිබෙනවා. ඒවාහි සඳහන් වන්නේ 9 වන සියවසයේ විසූ උදය යුව රජතුමාගේ බිසව වූ ශ්‍රී සංඝා බිසව විසින් මුහුන්නරුව මිරිසපිටි විහාරයට පිරිවෙන් ‍රැසක් පූජා කළ බව සහ, ඒ සඳහා අයගම (පිරිවෙන් සඳහා වියදම් දරන ගම් ප්‍රදේශය) වශයෙන් ඒ ආසන්න කපුගම - නාලගම පූජා කළ බවත්ය. 


මෙම විහාර භූමියට ආසන්නයේම කවාකාර දිය අගලකින් වට වූ කවාකාර ගොඩනැගිල්ලක නටබුන් ශේෂව පවතින අතර ජනප්‍රවාද වලට අනුව එය උන්මාද චිත්‍රාවන් සිරකළ එක්ටැම් ගෙය බවට විශ්වාසයක් පවතිනවා. 


නමුත් එය තහවුරු කිරීම සඳහා කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක්  හමු වී නැහැ. ක්‍රි.ව. 1953 දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් , ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සමග එක්ව කරන ලද පර්යේශන වලට අනුව මෙය "චක්‍රාවාලය" ලෙසට හඳුන්වා දී තිබෙනවා. එනම්, පරාක්‍රමබාහු යුව රජතුමා ලක්දිවටම අධිපති අග රජු බවට පත් වූ විට, තමන් රටවල් 7 කට ( ප්‍රදේශ 7 කට???) අධිපති බවට දැනුම් දුන් ස්ථානය මෙය බවයි සඳහන් වන්නේ. 


මෙහි පසෙකට වන්නට 1980 දී ප්‍රතිසංස්කරණය කරන ලද දළදා මන්දිරය දකින්නට පුළුවන්.මහාවංශය වැනි ඉතිහාස පොත් වල සටහන්ව නැතත් රුහුණේ සිට  පොළොන්නරු රාජධානියට  වැඩම කරවීමට පෙර, පරාක්‍රම බාහු යුව රජතුමාගේ කාලයේදී පඬුවස්නුවර රාජධානියේ ,ශ්‍රී දළදා වහන්සේ තැම්පත් කර තැබූ බවට මත පළ වී තිබෙනවා.

මේ, පණ්ඩුවස්නුවර රාජධානියට ආසන්නවම දකින්නට තිබුණු පැරණි බෝධිඝරයක්. මහා මාරගය අයිනේම දක්නට ඇති මෙහි වූ සිත්ගන්නා සුළු බව නිසාම මේ ඡායා රූපද ඇතුළත් කරන්නට සිතුනා.








අනුරාධපුර, පොළොන්නරු ආදී රාජධානි තරමටම නටබුන් වලින් පොහොසත් නොවුණත්, ඉතිහාසය පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් විසින් පඬුවස්නුවර රාජධානිය ගැන අධ්‍යනය කිරීමට අකමැත්තක් දක්වන එකක් නම් නැහැ.

(මේ පෝස්ට් එකේ නිවැරදි විය යුතු තැන් කීපයක් හසිත පෙන්නලා දීලා තියනවා. ඒ නිසා හසිතගෙ කමෙන්ට් එකත් කියවලාම යන්න)


**********************************************

ප.ලි.


මගෙ යාළුවා සංඛ  (වෛද්‍ය සංඛ දශානන රන්දෙනිකුමාර) ඉතිහාසය ගැන ලොකු උනන්දුවක් තියන කෙනෙක්. ඒත් මම වගේ මෙතනින් නොනැවතී සංඛ මේ දින වල පුරාවිද්‍යාව පිළිබඳව පිළිබඳව පශ්චාත් උපාධියකුත් හදාරනවා. මේ ලිපිය කියවපු සංඛ මට ගොඩක් විස්තර කිවුවා පඬුවස්නුවර ගැන සහ පොළොන්නරුව රාජධානියේ තියන සමානකම් පිළිබඳව. 
ටිකක් බලන්න මේ රූප දිහා. පළවෙනි රූපෙ අපි හොඳින් දන්න පොළොන්නරුවෙ පොත්ගුල් විහාරය අසල තියන පිළිමය.




දෙවෙනි පිළිමෙ එතරම් අපි දැකලා නෑ. ඒක හමු වෙලා තියෙන්නෙ පඬුවස්නුවර රාජධානියෙන්. ප්‍රාදේශීය කලාකාරයෙක්ගෙ නිර්මාණයක් විදියට සැලකෙන මේ පිළිමෙ අත් වල පිහිටීම බොහෝ සෙයින් පොළොන්නරුවෙ පිළිමයට සමානකමක් තියෙන බව ලු විද්වත් මතය. 




පොළොන්නරුවෙ පිළිමෙන් පෙන්නුම් කරන්නෙ බොහෝදුරට මහා පරාක්‍රමබාහු රජතුමා නොවෙන්න පුළුවන්. ඒත් අනිවාර්යෙන්ම ඒ එතුමාට සම්බන්ධ කිසිවෙකු විය යුතුයි.(උදා : කපිල ඍශි වරයා. ) 


එම නිසා මෙම රාජධානි දෙකම පරාක්‍රමබාහු රජතුමාගෙ පාළනය යටතේ තිබූ බවට ඇති තවත් සාක්ෂියක් තමයි ඉහත පිළිම දෙකේ සමාන කම්.


රූප දෙක වගේම කරුණුත් කියලා දුන්න සංඛ ට මගෙ ස්තූතිය. පොළොන්නරුවෙ පොත්ගුල් විහාරයෙ පිළිමෙ ගැන ඔහු පැවසූ බොහෝ දේ වෙනත් ලිපියකින් ලියන්න හිතුවා

24 comments:

  1. නියමයි සිඳු, තව තවත් මෙවැනි චාරිකා යෑමේ භාග්‍ය උදා වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.. (මේ ඇනෝ නම් හොඳ කෙනෙක් වගේ. සාමාන්‍යයෙන් ඇනෝලා මෙහෙම හොඳ නෑනෙ)

      Delete
  2. ගොඩක් ස්තූතියි කරුණු බෙදා හදා ගත්තට! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලි. වෙලාවක ගිහින් බලන්න. වැඩි දුරකුත් නෑනෙ.

      Delete
  3. wonderful qaulitative research!!!

    ReplyDelete
    Replies
    1. Thank you very much my wonderful friend...

      Delete
  4. ආයෙත් පඬුවස්නුවර ගියා වගේ දැනුනා..ස්තුතියි විස්තර බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. මම මීට කලින් ගියෙ අවුරුදු 14කට විතර කලින්,ඒ කියන්නෙ ලංකාවෙ ඉතිහාසය ගැන මොකුත්ම නොතේරුණ කාලෙ. එ කාලෙ තිබුණ චක්‍රාවාලය එහෙම මීට වඩා ගොඩාක් ලොකුයි. :-පී ( එහෙම තමයි මතක තිබුණෙ)

      Delete
  5. ලිපිය වගේම ඡායාරූප ටික අනර්ඝයි :)

    ඒත් පොඩි දෙයක් තියෙනවා

    "පොළොන්නරුව රාජධානියේ පළමු රජතුමා වූ මහා විජයබාහු රජතුමාගේ කාලයේදී මායා රට පාළනය කළේ මානාභරන යුව රජ තුමා විසින්. ඔහුගෙන් පසුව මායා රට පාලනය ලබාගත් ඔහු පුත් පරාක්‍රමබාහු යුව රජතුමා "

    මේ ප්‍රකාශයේ සමහර තැන් ටිකක් සංශෝධනය වෙන්න ඕනේ

    පොළොන්නරු රාජධානියේ ආරම්භකයා වුණු මහා විජයබාහු සමයේ මුලින්ම උපරාජ එහෙමත් නැත්නම් මාපා තනතුරට පත්වුනේ රජතුමාගේම සහෝදරයෙක් වුණු වීරබාහු කුමාරයා. එයා පාලනය කළේ දක්ඛිණ දේශය. ඒ කාලයේ රෝහණ දේශය පාලනය කළේ ඈපා තනතුර දරපු ඒත් රජතුමාගේ සහෝදරයෙක් වුණු ජයබාහු කුමාරයා.

    වීරබාහු කුමාරයා අකාලයේ මීය ගිය නිසා ඊළඟට උප රාජයා වුණේ ජයබාහු කුමාරයා. ඈපා තනතුරට පත් කෙරුණේ රජතුමාගේ පුතා වුණු වික්‍රමබාහු කුමාරයාව

    ගැටුම පටන් ගන්නේ මහා විජයබාහු රජතුමා මියයාමත් එක්ක පෙර සිරිත් අනුව උපරාජ ජයබාහු කුමාරයා රජවීමෙන් පස්සේ උපරාජ ධූරය හිමිවෙන්න තිබුණු වික්‍රමබාහු කුමාරයාට ඒක අහිමි කරලා උපරාජ ධූරය මහා විජයබාහු රජතුමාගේ සහෝදරිය වුණු මිත්තා කුමරියගේ වැඩිමහල් පුතා මානාභරණට දීම.

    මේකට විරුද්ධව වික්‍රමබාහු කරපු සටනින් මානාභරණ, ජයබාහු ඇතුළු පිරිස රුහුණට පලා ගිහින් ඒ ප්‍රදේශවල රාජ්‍ය පිහිටවා ගන්නවා.

    වික්‍රමබාහු පොළොන්නරු ප්‍රදේශයේ පාලකයා වෙනවා. මිත්තා කුමරියගේ පුතුන් වුණු මානාභරණ වීරබාහු නමින් දක්ඛිණ දේශයේ පාලනය ගෙනියනවා, කිත්සිරිමේඝ දොළොස් දහස් රටත් සිරිවල්ලභ අට දහස් රටත් පාලකයන් බවට පත්වෙනවා

    එහෙමයි මානාභරණ එහෙමත් නැත්නම් වීරබාහු එහෙමත් නැත්නම් මහා පරාක්‍රමබාහු රජතුමාගේ තාත්තා දක්ඛිණ දේශයේ පාලකයා වෙන්නේ

    "මෙහි පසෙකට වන්නට 1980 දී ප්‍රතිසංස්කරණය කරන ලද දළදා මන්දිරය දකින්නට පුළුවන්.මහාවංශය වැනි ඉතිහාස පොත් වල සටහන්ව නැතත් රුහුණේ සිට පොළොන්නරු රාජධානියට වැඩම කරවීමට පෙර, පරාක්‍රම බාහු යුව රජතුමාගේ කාලයේදී පඬුවස්නුවර රාජධානියේ ,ශ්‍රී දළදා වහන්සේ තැම්පත් කර තැබූ බවට මත පළ වී තිබෙනවා"

    ඒ වගේමයි මේ කරුණුත් මම හිතන විදිහට නම් පරස්පරයි.

    දක්ඛිණ දේශයේ පාලකයා වෙලා හිටපු කාලේ පරාක්‍රමබාහු ගාව දළදාව තිබුණේ නැහැ.

    අර මම කලින් කියපු විදිහට මහා විජයබාහුගේ පුතා වික්‍රමබාහු පොළොන්නරුව අල්ලාගත්තාම එයා කරපු සංහාරය නිසා දළදාව රුහුණට වැඩම කරවන්නට කටයුතු යෙදුණා.

    මට මතක විදිහට ඒක තියෙන්නේ දොළොස් දහස් රට පාලකයා වුණු සිරිවල්ලභ සතුව පස්සේ මානාභරණ [මහා පරාක්‍රමබාහුගේ තාත්තා] මිය ගිය නිසා කිත්සිරිමේඝ දක්ඛිණ දේශයේ පාලකයා වීමත් එක්ක සිරිවල්ලභ මුළු රුහුණෙම පාලකයා වෙනවා. සිරිවල්ලභගේ පුතාගේ නමත් මානාභරණ.

    පස්සේ කාලේ පොළොන්නරුව අල්ල ගත්ත මානාභරණව පරදවලා පොළොන්නරුව අල්ල ගන්න පරාක්‍රමබාහු පොළොන්නරුවේ ඉදන් ලංකාවේම රජතුමා විදිහට අභිෂේක වෙලා ඊට පස්සේ මානාභරණගේ අම්මා වුණු සුගලා දේවිය රුහුණේ ඇති කරන කැරැල්ල මර්දනය කරලා දළදාව පාත්‍රා ධාතුව පොළොන්නරුවට වැඩම කරවනවා.

    ඉතින් දළදාව තැන්පත් කරන්න පඬුවස්නුවර මාළිගාවක් හැදුවා කියන කතාව පිළිගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. මේ වගේ හරවත් කමෙන්ට් එකක් ලැබුණ නිසාම සතු‍ටුයි මගෙ විස්තරේ අඩුපාඩු තිබුණ එක ගැන. මට නිහතමානීව පිළිගන්න වෙනවා මේ කරුණු මම දැනගෙන හිටියෙ නෑ කියලා. මේ කරුණු එකතු කරලා පෝස්ට් එක වෙනස් නොකර මම මේ කමෙන්ට් එක එක්කම මෙහෙමම තියනවා, එතකොට වැඩි අවධානයක් කමෙන්ට් එකට යොමු වන නිසා. ( ඔයාගෙ මේ කමෙන්ට් එක ඔස්සේ ගියාමයි දැක්කෙ "E අ‍ටුවා"ව මට මග ඇරුණු බ්ලොග් එකක් කියලා. ඒක මුල ඉඳන්ම කියවන්න වටිනවා. "ආගිය කතා" නම් ඕනා තරම් කියවලා තියනවා)

      Delete
  6. චරිකා සටහන් වැඩියෙන් ලියන්න.. මම නම් ඒවගේ ඒවා කියවන්න තමයි කැමති..

    ReplyDelete
    Replies
    1. මේ වගේ යන්න ලැබෙන්නෙ හරි අහම්බෙන් මල්ලි. තනියම යන්නත් බෑ, මේ වගේ තැන් වල යන්න යාළුවො කැමතිත් නෑ.

      Delete
  7. නියමයි...හරියටම ලියලා තියෙනවා

    අපිත් ඔය පැත්තට ලග ඉන්නෙ :-)

    ReplyDelete
    Replies
    1. අපරාදෙ දන්නවා නම් එනවා දවල් කෑමට. ස්තූතියි අ.ර.

      Delete
  8. වැදගත් කරුණු රැසක්! ස්තූතියි සිදූ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිතුරු. ආයෙ එන්න මේ පැත්තෙ

      Delete
  9. ලිපිය නම් නියමයි......හසිත‍ගේ කමෙන්ටුවත් නියමයි........ගොඩක් ස්තූතියි....මමත් ගියා පඬුවස්නුවර බලන්න දැන් අවුරුදු ‍8කට විතර කලින්....ආයෙත් පාරක් යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තිබුණ පුරා විද්‍යා කෞතුකාගාරය දැන් වෙනස් වෙලා. යන්න ලැබුණෙ නෑ මේ පාර. ආයෙ ගිය වෙලාවක බලන්න මොකද වෙලා තියෙන්නෙ කියලා.හසිතගෙ කමෙන්‍ටුව ගැන නම් කියලා වැඩක් නෑ. ආයෙ මේ වගේ ඒවා ලියන්න කලින් පෙන්නන්න වටිනවා හසිත ට

      Delete
  10. මම නම් පඩුවස්නුවර දෙතුන් වතාවක්ම ගිහින් තියනවා..ඔතන ඉන්නවා පණ්ඩුකාභය කතාව ගිරව් වගේ කියන ළමයි වගයක්, එයාලා නම් කියන්නේ එයාලා හදා ගත්තු කතාවක් හරි වැරදි හදන්න ගිහින් අපිට බැන්නත් එක්ක...එයාලව මෙහෙයවන කෙනෙක්...ස්තූතී සිංදු,හසිතගේ කමෙන්ට් එකත් කියෙවුවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. එහෙම පොඩි ලමයි ඉන්නවා. මම මීට කලින් ගිය වතාවෙ හිටියා එහෙම ළමයි. සල්ලි හොයන්න දෙමවුපියො එවනවා මොනවා හරි ටිකක් කියලා දීලා. ඒකයි හේතුව

      Delete
  11. i was really impressed wih the toilet. can you imagine the skill they had in relation to treatment and hydraulics.things were well advanced on those days, keep it up.

    ReplyDelete
    Replies
    1. you are absolutely correct aiye. Actually, this toilet is THE FIRST THING that come to my mind when I say "Panduwasnuwara" by the way, there is a good blog ( written by Hasitha who has commented above). I think you will like it. http://eatuwawa.blogspot.com/

      Delete
  12. @Sindoopa akkiya, wow ! aththata ma hariiiiiiiiiiima watina wistharai, photoes yi godaaaaak thiyenwa akkiyo, akkiyage me lipiye. Mata th meka kiyewwahama me aye patrak pradeshaya balanna yanna hithuna. A tharamata ma akkiya lassanata liyala thiyenawa. Mage akkiyata ayemath me wage wadaga th charika yamata labewa ! kiyala man mage mulu hadawathin ma prarthana karanawa akkiyo. Akkiya giyoth, a wisthara th mage akkiyage me blog eke post karanna. honde. :)

    ReplyDelete
  13. නියමයි අක්කේ. අපි වගේ ගිහින් නැති අයට ගොඩාක් වැදගත්

    ReplyDelete