Friday, April 20, 2012

හඹා යාම


(ප්‍රබන්ධයකි -  ප්‍රබන්ධය, සත්‍යය තරම් රසවත් නැති බවක් ද හැඟේ. නමුත්, මෙය අපේ කාලයේ සුලභ කතාවකි)


දෑස විවර කර බැලීමටවත් නොහැකි තරමේ දාහයකින් අවට පරිසරයම පෙළෙයි. ඉදිරියෙන් ගමන් කරන තරමක් අබලන් වෑන් රථයෙන් නැගෙන කලු පැහැ ගත් දුමද නොතකමින්ම ඉදිරියට ඇදෙන බස් රථයේ ගුවන් විදුලි යන්ත්‍රයද සවනට මෙන්ම සිතටද කරදරයකි.


"මගේ පුංචි රෝස මලේ..... මමයි නුඹේ වියපත් බමරා.........." ඒ අමරසිරි පීරිස්ගේ හඬ නම් නොවේ. ගැහැණු හඬක් ඇති ගායකයකු මහ හඬින් බෙරිහන් දෙයි. ඒ රී මික්ස් කිරීමකි.
මා අසල වාඩි වී සිටින පුද්ගලයාගෙන් නික්මෙන අරක්කු ගඳ මිශ්‍රිත දහදිය ගඳ නැහැය පසාරු කරගෙන යමින්ම ගෙන දෙන්නේ අපුලක්. පැය දෙකක පමණ ගමනකින් විඩාපත් වී සිටිමි. එහෙත් තවමත් බස් රථය මගේ ගමනාන්තයට පැමිණ නැත.
ටයි පටිය සාක්කුවේ දමාගෙන , කමිසයේ ඉහලම බොත්තම මා විවර කරගත්තේ බසයට නැගීමටත් පෙරය.එහෙත් මේ දහදියට එයින් කිසිදු සහනයක් නැති සේය.
වෙනදා ගමන් වලට වඩා දුරත්, වැඩි වූ ඉන්ධන මිලත් පිළිබඳව සිතා නිවසේ දමා ආ මගේ ස්ප්‍රින්ටර් මෝටර් රථය පුත්තලමෙන් මේ බසයට නැගුණු මොහොතේ සිට මේ දක්වා මා හට අනේක වාරයක් සිහිපත් විය.


තරමක හෝ සහනයකට ඇත්තේ බස් රථය සෙනගගෙන් පිරී නොතිබීමයි.මීගමුවෙන් බසයට ගොඩවූ පෙම්වතුන් යුවලක් සහ මැදිවිය ඉක්මවා නොගිය පිරිමියෙකු හැරුණුකොට අන් සියල්ලන්ම පාහේ අසුන් ගෙන සිටිති.


ගුවන්තො‍ටුපල මංසන්ධිය පසුකළ බස් රථය ඊළඟ නැවතුමේද නවත්වන්නට මන්දනය වේ.
මම ආපසු හැරී වැඩ නිමවෙමින් තිබුණ අධිවේගී මාරගය දෙස බලමි.මගේ මෝටර් රථයේ යන විට ඒ  දෙස උනන්දුවෙන් බැලීමට ඉස්පාසුවක් ලැබෙන්නේ නැත.


මහා මාර්ගය අයිනේ සිටම ගුවන් තො‍ටුපල දෙසට දිවෙන තණ පිටියේ සුදු පැහැති තණකොළ මල් වල ගැබ් වූ අමුතුම සුන්දරත්වයද ගිනිගහන අවුවේ වුවත් අද මා දකිමි.


"මිස්, ටිකට් ගන්න"වෙනත් වෙලාවට වඩා තරමක සන්සුන් හා හික්මුණු බවකින් යුක්ත වූ කොන්දොස්තර  වරයාගේ හඬට මම නැවතත් ඉදිරිපස හැරෙමි.


අවුරුදු 28ක ජීවිතයේ මුල්ම වතාවට මම මේ මොහොතේ ඇය දකිමි. අත් රහිත කළු පැහැ හැට්ට්යත් සුදු පැහැති දිගු කලිසමත් ඇයට ගෙන දුන්නේ කැපී පෙනුණු රුවකි.සුදු යැයි කිව නොහැකි සම පැහැපත්ය. දෑත් හා ගෙල පාළුය. දෙකන සැරසී ඇත්තේ සුදු පැහැ ගල් අල්ලා ඇති කුඩා රිදී පැහැති  කරාඹු දෙකකිනි. අවු කණ්ණාඩිය බ්ලවුසයේ ඉදිරිපස රඳවා තිබේ. එහි මිල තීරණය කිරීමේ  උත්සාහයක මම යෙදෙමි.අසාර්ථකයි!!!






"ජා ඇලට කීයද?" ඇගේ හඬ මට පැහැදිලිව ඇසේ. අප දෙදෙනා අතර ඇත්තේ අඩි දෙකක පමණ පරතරයකි.
"27ක් දෙන්න" කොන්දොස්තර වරයා ඇගේ මුහුණ දෙසම බලාගෙන සිටියි.


ඉදිරියට  ඇදෙන බස් රථයේ ත්වරණය සහ මන්දනය වීම සමග ඇයට පසුම්බියෙන් මුදල් ලබා ගැනීම අපහසු සේය. නොසිතූ ලෙස රියදුරා තිරිංග තද කරයි.වාරු නැති වූ ඇය ඇද වැටෙන්නට තිබුණේ තත්පරයෙන් දහයෙන් එකකි.


 මටත් නොදැනීම තත්පරයකින් සියයෙන් එකක වේගයකින් අසුනින් නැගිට මම ඇගේ අතින් අල්ලා ගනිමි.ඇගේ බියපත් දෑස මා දෙස බලයි.ඒවා විඩාබරය. "තෑන්ක්ස්" මම සිනා මුසු මුහුණින් ස්තූතිය බාරගනිමි. නැවතත් බසයේ වීදිරුවෙන් එපිට දාහයෙන් දැවෙන  ලෝකය දෙස අනිමිස ලෝචනයට අවතීර්ණ වෙමි. ඇයත් එම කාර්යයටම අවතීර්ණ වී ඇති අයුරු ද ඒ සමගම හො‍රැහින් දකිමි.


ඇගේ අත් බෑගය ඉල්ලා ගත යුතුයි මට සිතේ. මම ඇය දෙස බලමි. ඉදිරිපස අසුනේ කාන්තාව ඇගේ අත් බෑගය ඉල්ලාගනියි.




හදිසියේම මට යමක් සිහිපත් වේ.මගේ පශ්චාත් උපාධියේ සටහන් කිහිපයක් මගේ මිතුරා පසන් සතුව ඇත.ඒවා ජාඇල පිහිටි ඔහුගේ සේවා ස්ථානයේ තබා ඇති බව ඔහු මට පැවසූවේ සති දෙකකට පෙරදීය.මා ගොසින් ඒවා ලබා ගත යුතුය.


"ජාඇල පොලිසිය බහින්න" රී මික්ස් ගී තැටියේ හඬ පරයමින් කොන්දොස්තර වරයා කෑගසයි.තම අත් බෑගය ලබාගන්නා ඇය බසයේ ඉදිරිපස දොර‍ටුව වෙත ගමන් කරයි. මම පසුපස දොරින් බසයෙන් බසිමි. කොන්දොස්තර වරයා මා දෙස ප්‍රශ්නාර්තයක් ගැබ් වූ බැල්මෙන් බලයි. ඉතුරු සල්ලි ආපසු ලබාගැනීමේදී මා සමග වූ වචන හුවමාරුව නිසා ඔහුට මගේ ගමනාන්තය මහබාගෙ හන්දිය බව මතක තිබෙන්නට ඇති.


ඇගේ ගමන ඉක්මන්ය. මම දෙනෙතින් ඈ ලුහුබඳිමි. මගේ අරමුණ මටද නොතේරේ. නොදන්නා අරමුණක් උදෙසා මෙසේ උනන්දු වීමේ තේරුම කුමක්ද? අනිද්දාට විශ්ව විද්‍යාලයේදී හමුවන පසන්ගෙන් සටහන් ටික එදිනට ඉල්ලා ගැනීමට මා හට හොඳටම හැකියාවක් ඇත. ඉර පොළොවට බැස ඇති තරම් දැනෙන මොහොතක මා මේ කරන්නේ කුමක්ද? සැබැවින්ම මම ඇය හඹා යමින් සිටිමි.ඔව් මා බසයෙන් බැස ඇත්තේ ඈ නිසාය. මිතුරාගේ කාර්යාලය ඇති පැත්තට නොගොස් වෙනතකට ඇවිද යන්නේ ඈ නිසාය.


වේගවත් අඩි වලින් මම ඈ වෙතට ලං වෙමි. තව එක් වරක් ඇගේ මුහුණ බැලීමට සිත් වේ. එක් වරම අඩි උස සපත්තුව පෙරලී ඇය වැටෙන්නට යයි.එහෙත් බසයේදී මෙන් ඇයව අල්ලා ගැනීමට මට අවකාෂ නැත. ඇය මට වඩා අඩි ගණනක් ඉදිරියෙනි. ගැලවී ගිය සපත්තුව නැවත පයෙහි රුවා ගැනීමට ඇය මදා වේලාවක් ගනියි. දැන් නම් මා ඇය අසලම ඇයට ඉදිරියෙනි.


මම ඈ දෙස බලමි. ඇය මා දෙස බලන්නේදැයි පැහැදිලි නැත. අව් කණ්ණාඩියෙන් ඒ දෑස් වැසී ගොසිනි. මම සිනා සෙමි. ඇයද පෙරලා සිනාසෙන්නීය.


ඇය මාදෙස බලා ඇත.මසිත ප්‍රමුදිතය.තවත් වරක් ඇය දෙස බැලීමට මට අවශ්‍ය නැත. මම කෙල්ලන් දෙස ට නිකරුනේ ආකර්ෂණය වන අශ්ශීලයෙකු නොවෙමි.හැරත් ඒ සුහද සිනාව මට ප්‍රමාණවත්ය. එහෙත් නෙත් කොනින් මට ඈ පෙනෙනවා නම් එය මාගෙ වරද නොවේ. ඇය හැරී ගොස් වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළු වේ. සපත්තුව පෙරළුණු අවස්ථාවේදී කකුලට කුමක් හෝ සිදු වීද?


දැන් මා කුමක් කරම්ද? ඇය ආපසු පැමිණෙන තුරු සිටින්න හැකියාවක් නැත්තේ නොවේ. නමුත් , කුමකටද? තරමක් සිතා බැලීමේදී පසන් හමුවීමද එපා වන වැඩකි. ඔහු මගේ හොඳම මිතුරා බව සැබෑය. එහෙත් ඔහුගේ "අති පණ්ඩිත , මෙලෝ රහක් නැති, ප්‍රබුද්ධ" කාර්යාලීය සගයන්  හමුවීමට මගේ කිසිදු කැමැත්තක් නෑත. අනිද්දා දේශන සඳහා පැමිණෙන විට ඔහු මගේ සටහන් ගෙන ඒවි. එසේ හෙයින් ගෙදර යාමට මම ගුවන්තො‍ටුපල - කො‍ටුව බසයකට නගිමි.


මෙහිද මම කලින් පැමිණි බසයට ආවේණික ලක්ෂන එලෙසින්ම පවතියි.කණ පැලෙන සංගීතය, බෙරිහන් දෙන කොන්දොස්තර ඇතුලු හිසරදය සෑදීමට අවශ්‍ය සියල්ල ඇත. වෙනසකට ඇත්තේ බසය කරත්තයක වේගයෙන් ගමන් කිරීම සහ අසුන් ගෙන ඉන්න පිරිසට සමාන සංඛ්‍යාවක් සිටගෙනද සිටීමත්ය. මහබාගෙන් බසිනාතුරු මම තත්පර ගනන් කරමි. කොහෙන් හෝ අසා ඇති ගීතයක් මතක් වේ.


"දෙනෝ දාහක් දෙනා අතරේ මහා තනියක් මට දැනේ"


******************************************************************


"අම්මා........ පුතා ආවා" ටයි පටියත් සමගම කමිසය රෙදි කූඩයට ඔබමි.
"පුත්තලමට ගියෙ අවුව තපින්නද පුතා? .... මූණත් එක්ක කලු වෙලා, කුඩයක් වත් පාවිච්චි කරන එකක්යැ" අම්මා ඉස්සී මගේ මුහුණ පිරිමදියි. මම ඇයට සුර කුමාරයෙක්මි.


"ලැජ්ජා නැද්ද අම්ම කෙල්ලො වගේ කුඩ ගෙනියන්න"


හදිසියේ මට යමක් මතක් වේ. "එයාටත් කුඩයක් තිබුණෙ නෑ" මසිත මට කියයි.ඇය තවමත් මසිතේ හොල්මන් කරන සෙයකි.


"මොකද පුතා?" එ අම්මගේ හඬයි.


"බඩගිනියි අම්මා" දිනක් නොකැපූ ‍රැවුල් කොට වලින් පිරි මගේ මුහුණ ඇගේ මුහුණේ අතුල්ලා මම නාන කාමරයට දිව යමි. අම්මා බොරු තරහක් මවාගෙන බැණ වදිනයුරු මට ඇසේ. හිසට වැටෙන වතුරේ සිහිල විඳීමට මම දෑස් පියා ගනිමි.


ඉතිරිය ඉදිරියට................

23 comments:

  1. කෙල්ලෙක් පස්සෙ යන මෙච්චර විස්තර දාල ලියන්න පුළුවන්ද?.. නියමයි...

    ReplyDelete
    Replies
    1. ඔය යන්න පටන් ගත්තා විතරයි...... ;-) බලමු මොකක් වෙයිද කියලා

      Delete
  2. මුලින් හිතුවේ බස් එකේ හිටියේ අක්කා කියලා. පස්සෙයි විස්තරේ තේරුනේ. නියමෙට ලියලා තියෙනවා. බලමුකෝ අනිත් ටික ?

    ReplyDelete
    Replies
    1. අපෝ මම කොහොමද වැටෙන්න යන කෙනෙක්ව අල්ලා ගන්නෙ නංගි? සාමාන්‍යයෙන් වෙන්නෙ මාව වැටෙන එක තමා.

      Delete
  3. හපෝයි අවුරුදු 28ක් වෙනකල් හරියකට ගෑණු ලමයෙක් දැකල නැහැ කිව්වහම! ඒ දැකපු කෙනාවත් කම්මැලි කමට යන්න ඇරල.

    ReplyDelete
    Replies
    1. අපෝ හරියට කියවලා නෑ..... අවුරුදු 28 කට කෙල්ලො නම් දැකලා තියනවා. ඒවුනාට "ඇය"ව දැක්කෙ එදා. කම්මැලි කමට ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලමු

      Delete
    2. අහ්! හැබෑ නේන්නම්. මම හිතුවෙ කෙටි කථාවක් වගේ මේක මෙතනින් ඉවරයි කියල. එතකොට මේක දිගින් දිගටම යන කථාවක්ද? ලියන්නකො එහෙනම් කියවලම බලන්නම්.

      Delete
    3. අන්තිමට තියෙන්නෙ "ඉතිරිය ඉදිරියට" කියලා.

      Delete
  4. මටනං අගක් මුලක් නැත...

    ReplyDelete
    Replies
    1. අග නම් තියෙන්නෙ ඉස්සරහට මාරයියේ. මුලකුත් නෑ කිවුවම නම් දුකයි වගේ. මගෙ ලිවීමේ හැකියාව ගැන ආයෙ හිතන්න වෙයි වගේ නෙ?

      Delete
    2. මුල්ම ටික බොහෝම ආසාවෙන් කියවගෙන ගියා...ඒත් අන්ති‍ම හරියෙදි ගෑනුද පිරිමිද මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරිව ගියා...එතකොට මුලත් ටැපලුනා..මං මාඤ්ඤමික වෙලා ගියා..ඒත් අනිත් කොටස් ආවම බලමු ඇද ඇරෙයිද කියලා... ඔය මං කියන එව්වා අහලා මානසිකව ඇද වැටිලා අත පය කඩා ගන්නවා එහෙම නෙවෙයි..:D

      Delete
    3. ඔන්න පුන්චි වෙනසක් කළා. දැන් හරිද ඒ ගෑණු - පිරිමි ප්‍රශ්නය? ඇත්තනෙ මාරයියාගෙ ප්‍රශ්නෙ. කෙල්ලෙක් ලියන කතාවක "මම" කියන විදියට පටන් පටන් ගත්තාම හිතෙන්නෙ කෙල්ලෙක් කතාව කියනනවා කියලානෙ

      Delete
    4. "ටයි පටිය සාක්කුවේ දමාගෙන , කමිසයේ ඉහලම බොත්තම මා විවර කරගත්තේ බසයට නැගීමටත් පෙරය" ඒක තමයි අලුතින් එකතු කළේ

      Delete
    5. ආන්න දැන් පිළිවෙලයි...:D

      Delete
    6. අලේ මමත් බැලුවා මොකෝ මේ සිදු අක්කා ටයි දාන්නේ කියලා. පස්සේ හිතුනා ඉස්කෝලේ කාලේ උණ එකක්ද කියලා. ඒත් කාර් එකකුත් තියෙයිලුනේ.....

      පස්සෙනේ තේලුනේ :) :) :) :) :)

      Delete
    7. ටයි දාන්නෙ ඉස්කෝලෙ යනකොට විතරද කෙල්ලෙ? අනිත් එක මේකෙ තියෙන්නෙ කමිසයෙ උඩ බොත්තමත් විවර කළා කියලා...... එතකොට ඒ ගැන මොකද හිතුනෙ?

      අනිත් එක,ඇයි ටොයෝටා කාර් තියෙන්නෙ බැරිද අපිට? (ගේමට වගේ ඇහුවෙ)

      Delete
    8. අලේ මම මැට්ටට ඕක තේලුනේ නෑ :D :D :D :D :D
      අහ් එතකොට නවල්ස් ටික :O :O :O :O :O

      Delete
    9. හික්ස් මාරයා ගොඩ බැහැලා තියෙන්නේ,,, සින්දු මාරයගේ විචාර එන්න ගත්තහම නවතින්නේ නෑ,

      Delete
    10. ඕඕ, "මම" කියල දාලා ලියන්න ගිහාම හුඟක් අය පටලව ගන්නවා, මේ ලියන්නෙ එක්කො රචකයට වෙච්ච සිද්ධියක්ය, එහෙම නැත්නම් රචකයාගෙ වරිගයෙ කෙනෙක් ගැනය කියල. මම හිතන්නෙ ඒක පාඨකයගෙ වැරැද්දක්- කලින් දැන සිටින තොරතුරු මත උපකල්පනය කරලා, කතාව පටලව ගන්නවා.
      ආරම්භය ලස්සනයි.

      Delete
  5. මම ආවෝ.....
    එල එල :) :) :) :) :)

    ReplyDelete
  6. අතෑරුනු බ්ලොග්ස් ගොඩයි වැඩ රාජකාරී එමටයි අද තමා පොඩි නිදහසක් ආවේ,,මේ පෝස්ට් එක දැක්කෙත් අදයි..බලමු ඊලග කොටස්

    ReplyDelete
  7. හ්ම්.. කොල්ලෙක් වගේ හිතලා ලියන හැටි නම් හොඳයි.. යමුකෝ ඉස්සරහට..

    ReplyDelete