මතකය පුළුවන් තරම් අතීතෙට ගෙනිච්චොත් සිඳුට මතක් වෙන්නෙ අවුරුදු 2ක් 3ක් තරම් පුංචි කාලෙ සිඳුව. පුංචි කාලෙ අම්මයි කිරිඅම්මයි එක්ක අම්පාර - උහන තිබුණු අම්මගෙ ඉස්කෝලෙ ලඟම ගෙදරක තමයි සිඳු හිටියෙ. ඒ මතකයෙ ගොඩාක් දේවල් අපැහැදිලියි. ගෙදර මිදුලෙ අඹ ගහක්, සියඹලා ගහක් සහ අරලිය ගහකුත් තිබුණා කියලා සිඳුට මතකයි. ඒ සියඹලා ගහෙන් වැටෙන සියඹලා මල්, දළු එහෙම අම්මගෙ ඇස් වහලා හොරෙන් කෑව හැටි නම් ඊටත් වඩා හොඳට මතකයි. (පාණ්ඩුව ද කොහෙද )
එහා ගෙදර හිටපු චූලනීයි එයාගෙ අක්කා රංගනීයි තමයි සිඳුගෙ හොඳ යාළුවො ඒ කාලෙ. එයාලා එක්ක සෙල්ලම් කරන එකයි , අම්මා වටේ කැරකි කැරකි ඉන්න එකයි තමයි ඒ දවස් වල සිඳුට තිබුණ ලොකුම රාජකාරිය.
මුළු සතිය පුරාම දඟල දඟල ඉන්න සිඳු ට සමහර දවස් වලට අම්ම කියනවා "අද අප්පච්චි එනවා" කියලා. එදාට සිඳුට වෙන වැඩක් නෑ. මිදුලට යනවා, පාර බලනවා. ආයෙ මිදුලට යනවා, පාර බලනවා......... ඔහොම ඉඳලා ඉඳලා හවස කළුවර වැටීගෙන එන වෙලාවට අත් දිග ශර්ට් ඇඳලා දුඹුරු පාට බ්‍රීෆ් කේස් එකකුත් ගත්තු ලස්සන අප්පච්චි කෙනෙක් එනවා. ඒ තමයි සතුටුම දවස්. අප්පච්චි ආපහු යන විදිය නම් මතක නෑ, ඒ වෙලාවට සිඳු නිදි නිසා වෙන්න ඇති.
අම්පාරෙ හිටිය කාලෙ ගැන තියන මේ වගේ අපැහැදිලි මතක එක්කම හොඳින්ම පැහැදිලි එකම මතකය තමයි සිඳුගෙ ඉස්කෝලෙ.
සිඳුගෙ ඉස්කෝලෙ කිවුවට ඒක අම්මා උගන්නපු ඉස්කෝලෙ. අම්මා සිඳුව අවුරුදු 2 ඉඳන් ඉස්කෝලෙ එක්කන් ගිහින්. අවුරුදු 3 දි තමයි සිඳුව අම්මගෙ ඉස්කෝලෙ 1 වසරට දැම්මෙ.
(ඒ කාලෙ ඇඳපු අඩියක් වත් උස නැති පුංචි සුදු ගවුමක් තවමත් සිඳුලගෙ ගෙදර තියනවා. අනිත් සුදු ගවුම් සේරම අම්මා එක එක්කෙනාට දීලා වුණත් , ඒක අම්මා කාටවත් දීලා නෑ. මොකද ඒ තරම් චූටි සුදු ගවුම් අඳින ඉස්කෝලෙ යන ළමයි නෑ.)
එහා ගෙදර සිඳුගෙ යාළුවා චූලනී හිටියෙත් ඒ පන්තියෙ. ඒ නිසා කවදාවත් සිඳු අම්මා ළඟට යන්න අඬලා නෑ.
චූලනීලා එක්ක එකතු වෙලා අකුරු ලියලා, සෙල්ලම් කරලා හිටිය සිඳු 1 වසර ඇරෙන වෙලාවට ළමයි එක්කම ආපහු ගෙදර එනවා. අම්මා එන්න පරක්කු වෙනවනෙ.
ඉස්කෝලෙ පිට්ටනිය හරහා ඇවිල්ලා කම්බි වැට ළඟට එනකොට කිරි අම්ම කම්බි වැට ළඟට ඇවිල්ලා. කිරි අම්මා එන්න පරක්කු වුණ එකම එක දවසක් සිඳු ට තවම මතකයි. එදා සිඳුගෙ 1 වසරෙ යාළුවො ටික සිඳුව හරහට උස්සලා කම්බි වැට අස්සෙන් එහා පැත්තට දැම්මා. වැටෙන් එහා පැත්තෙ හිටිය තවත් 1 වසරෙ ළමයි දෙන්නෙක් තමයි සිඳුව අල්ලා ගත්තෙ. දැන් තමයි හිතෙන්නෙ, ඒ පණ්ඩිත වැඩ වලට ගිහින් පොඩි එකාව කම්බි වැට උඩ වැටුණා නම් එහෙම කියලා..........
දවසක් දා සුපුරුදු විදියට සිඳුගෙ පන්තියෙ චන්ද්‍රා ටීච සිඳු ට අකුරු කියලා දිදී හිටියා.
කවදාවත් නැතුව අම්මා අවේලාවෙ පන්තියට ආවා. ඇවිත් කිවුවා
" පුතේ අපි හෙට අප්පච්චි ඉන්න දිහාට යනවා, සේරම යාළුවන්ට කියලා එන්න " කියලා.
අවුරුදු ගාණක උත්සාහයක ප්‍රතිඵලයක් විදියට අම්මා ට මාරුවීමක් හදාගන්න පුළුවන් වෙලා. අප්පච්චි ළඟට යන නිසාද කොහෙද , සිඳුට පොඩි දුකක් වත් ආවෙ නෑ ඒ ඉස්කෝලෙ දාලා එන්න. අපි එහෙන් එන දවසෙ සිඳුගෙ සෙල්ලම් බඩු ගොඩකුයි, කතන්දර පොතුයි, විශේෂයෙන්ම චූලනි ආසා කරපු සිඳුගෙ පොඩි කතුරයි චූලනී ට දීලා ආව.
එහෙන් පිටත් වෙලා අප්පච්චිගෙ ගමට ආව සිඳුගෙ ඊළඟ ඉස්කෝලෙ වුණේ අම්මගෙ ඊළඟ ඉස්කෝලෙ. අම්ම ඒ ඉස්කෝලෙට ගිය පළවෙනි දවස සිඳුගෙත් ඒ ඉස්කෝලෙ පළවෙනි දවස. ඒ ඉස්කෝලෙ සිඳු හිටියෙ 2 වසරෙ. සිඳුට ඒ වෙනකොට අකුරු ලියන්න කියවන්න පුළුවන්. ඒ නිසා ඒ ළමයි එක්කත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. එහෙදි යාළුවො වුණේ නිසංසලායි හර්ෂණීයි. ආශා කියලා තව යාළුවෙකුත් හිටියා.
අම්මා කියන්නෙ නම් ඒ කාලෙ සිඳු හරි පණ්ඩිතයි ලු. ඒත් සිඳු ඔය කතා විශ්වාස කරන්නෙ නෑ, මොකද සිඳුට මතක විදියට සිඳු ගොඩක්ම අහිංසක ළමයෙක් කාගෙවත් හිත නොරිදපු.
ළමයි එක්ක තරහ වුණාම සිඳු ඒ දවස් වල බනින්නෙ " මම ඔයාට චොක්ලට් ඉස්ටිකර් ගෙනත් දෙන්න හිටියෙ, ඒ වුණාට දැන්නම් දෙන්නෙම නෑ" කියලා.
ඔය අතරෙ තමයි දවසක් පන්තියෙ හිටිය ඇට්ටර කොල්ලෙක් හොයා ගත්තෙ සිඳු පුළුන් වලට බයයි කියලා. ඉතින් සිද්ද වුණ දේ හිතා ගන්න පුළුවන්නෙ. කොහෙ හරි තිබිළා පුළුන් කෑල්ලක් කාට හරි හම්බුනොත් සිඳුට වුණේ කෑ ගහ ගහ ඉස්කෝලෙ වටේ දුවන්න.
එහෙමයි කියලා සිඳුත් නිකම් හිටියෙත් නෑ, දවසක් පන්තියෙ හිටපු එක නාහෙට අහන්නෙ නැති කොල්ලෙක්ව දොරක්ට තියලා තද කරලා අඬනකම්ම එයාගෙ කහ පාට කුඩෙන් ගැහුවා. එදා නම් ගෙදර ඇවිල්ලත් අම්මා නඩු ඇහුවා. අහලා නඩු තීන්දුව දුන්නා, ආයෙ කවදාවත් කුඩේ ඉස්කෝලෙ ගෙනියන්න තහනම්.
සිඳුගෙ පන්ති බාර ටීච සිඳු ට හරි ආදරෙයි. ඒ නිසා සිඳුත් එයාට ටිකක් වත් බය නෑ. ( එහා පන්තියෙ එක වසරෙ හිටිය ලොකු බඩක් තිබුණ කළු ටීච ට නම් සිඳු බයයි). පන්ති බාර ටීචගෙ "ත" යන්න "න" යන්න වගේ කියලායි, ලමයා කියලා ලියපු විදිය වැරදියි, ළමයා කියලා ලියන්න "ළ" යන්න ඕනා කියලායි, මුළු පන්තියම මැද්දෙ ටීචගෙ මූණටම කිවුවා කියලා ඒ ටීච අම්මා එක්ක ඇවිල්ල කිවුවා දවසක් සිඳු ඉන්න තැනම. අම්මා සිඳුට ගෙදර ඇවිත් කිවුවා ඒ වගේ දේවල් කියන්න එපා කියලා. සිඳු හිතුවෙ එදා සිඳු කළේ ලොකු වැරැද්දක් කියලා. දැන්නෙ තේරෙන්නෙ, පොඩි එකා හරියටම හරි.
කොයි තරම් සතුටින් ඉස්කෝලෙ හිටියත් සිඳුට ප්‍රශ්නයක් තිබුණා. පන්තියෙ නාම ලේඛනය ලකුණු කරන වෙලාවට කවදාවත් ටීච සිඳුගෙ නම කියන්නෙ නෑ. කොයි තරම් අසාධාරණයක්ද. සිඳු කියන්නේ හැමදාම ඉස්කෝලෙ ගිය ළමෙක්.
බලන් ඉඳලා බැරිම තැන සිඳු අම්මා ට කිවුවා සිද්ධ වෙමින් තිබුණ අසාධාරනේ ගැන. අම්මා ඒ අසාධාරනේ වෙනුවෙන් හඬක් නගන්න ඇති, පහුවදා ඉඳලාම ටීච සිඳුගෙ නමත් ලකුණු කලා අන්තිමටම. අන්තිමට වුණත් නම ලකුණු වුණානෙ, ඒ නිසා ආයෙ කවදාවත් එහෙම ප්‍රශ්න ආවෙ නෑ.
අවුරුද්ද අන්තිමේදි විභාගෙ තිබුණා. සිඳු විභාගෙ කරලා 3 වසරට පාස් වුණා. 3 වසරට අලුතින් ගිය දවසෙ ළමයින් ට අලුත් පොත් හම්බුණා. සිඳු බලන් හිටියා සිඳුට පොත් හම්බෙනකම්. ඒත් හම්බුණේ නෑ. සමහර ළමයින්ට අලුත් පොත්, තව සමහර ළමයින්ට අනිත් අය පාවිච්චි කරපු පරණ පොතුත් හම්බුණා. සිඳුට අලුත් පොත් තියා පරණ පොතක් වත් නෑ. සිඳු ගියා ටීච ලඟට. "ටීච, මට පොත් හම්බුණේ නැ"
ටිකක් වෙලා සිඳු දිහා බලන් හිටපු ටීච කොහෙන්ද මන්දා පොත් වගයක් සිඳු ට ගෙනත් දුන්නා. ඒ ප්‍රශ්නෙත් විසඳුනා. අලුත් පාඩම් පොතට සිඳු ගොඩක් ආසා වුණා. "පුන්චි අපට සිරි සැප දෙයි සිරි ලංකා දීපේ....." තමයි සිඳු ආසාම පාඩම. ඒක කවියක්.
ඒත් ඉස්කෝලෙ ඇරිලා අම්මා ළඟට ගිය සිඳුට වුණේ හිතුවෙවත් නැති දෙයක්
"ඔයා තව ටික දවසකින් අප්පච්චිලාගෙ ඉස්කෝලෙට යනවනෙ පුතේ. ඒ හින්දා ඔය පොත් ටික ආයෙ ටීචටම දෙන්න වෙන ළමයින්ට දෙන්න කියලා" අම්මා කිවුවා. සිඳු ගොඩාක් දුකෙන් ආපහු ටීචට පොත් ටික දුන්නා.
ටික දවසකින් සිඳු අප්පච්චිගෙ ඉස්කෝලෙට යන දවස ආව. වෙන කවදාවත් අලුත් ඉස්කෝලෙකට යද්දි නොකරපු විදියට අම්මා එදා කිරි බතුත් හදලා තිබුණා.
ඒ වතාවෙත් සිඳුව අම්මලා දැම්මෙ 2 වසරට. එදා ඉඳන් නම් නාම ලේඛනය ලකුණු කරන වෙලාවට සිඳුගෙ නම ලකුණු වුණා. හැබැයි ඒ සිඳුගෙ පන්තියෙ ටීච අතින් නෙමේ. එහා පැත්තෙ 1 වසරෙ පන්තියෙ ටීච අතින්.
උදේට එයා සිඳුගෙ පන්තියට එබිලා අහනවා "සිඳු ඉන්නවද?"
"මේ ඉන්නෙ" උත්තර දෙන්නෙ සිඳුගෙ පන්තියෙ ටීචර්.
ටික කාලයක් යනකොට තමයි වැඩේ තේරුණේ. සිඳුව තියලා තිබුණෙ අවුරුද්දක් වැඩිමල් ළමයි ඉන්න පන්තියෙ. ඇත්තනෙ, ඒ වතාවෙත් එක වසරට යන්න වුණා නම්, ඒ වැඩ කරන්න වුණා නම් ඇත්තමයි සිඳු ඉස්කෝලෙ පැත්තකින් තියලා ගෙදර නවතිනවා.
ඒ ඉස්කෝලෙදිත් අප්පච්චිට ඉස්කෝලෙ ඇරෙනකම් සිඳුට ඉන්න වුණා ගෙදර එන්න. අම්මලාට ඉස්කෝලෙ ඇරෙනකම් හිටිය ලක්මාලියි, චරිතුයු, ප්‍රභාතුයි එක්ක සිඳු සෙල්ලම් කර කර හිටියා අප්පච්චි එනකම්.
දවසක් එයාලා එක්ක බංකුවක් උඩ හරහට තව බංකුවක් දාලා සීසෝ පදින්න ගිහින් වැටිලා වුණ තුවාලයක කැලලක් තවමත් තියනවා සිඳුගෙ මූණෙ.
ඔහොම කාලය ගත වුණා. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ අප්පච්චි විදුහල්පති කෙනෙක් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා. ඉන් පස්සෙ සිඳු දඟලපු දැඟලිල්ල බලන්න කවුරුත් හිටියෙ නෑ.
ඒ කාලේ හරියට නිකම් paradise gained වගේ වුණා සිඳු ට. ඉන්ටවල් එකට කලින් ,ගේන කැම ඉවර කරන සිඳු ඇතුළු යාළුවො, ඉන්ටවල් එකට බෙල් එක ගහපු ගමන්ම දුවලා එහා පැත්තෙ පල්ලිය වත්තට යනවා සෙල්ලම් කරන්න. ඉන්ටවල් එක ඉවර වුණාමත් පන්තියට එන්න ඕනා කියලා ලොකු උවමනාවක් තිබුණෙ නෑ පන්තියෙ කාටවත්. අන්තිමට කට්ටියම ආපහු පන්තියට එන්නෙ, පන්ති කාමරයෙ කවුරුත් නෑ කියලා දකින පන්ති බාර මිස් කෝටුවකුත් අරන් පල්ලිය වත්තට එනකොට.
ඔහොම හිටය සිඳුට paradise lost වුණේ ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න වුණාට පස්සෙ. ඒ වෙනකොට සිඳු හිටියෙ 5 වසරෙ. ජීවිතේ මුල්ම වතාවට තමන්ගෙ වයසෙ ළමයි ඉන්න පන්තියකට යන්න සිඳුට පුළුවන් වුණා ඒ වතාවෙ නම්. ඒ අලුත් ඉස්කෝලෙ 4 වසරට යන්න වුණ එක. ඒ වෙනකොට සිඳු ගෙ හොඳම යාලුවා වෙලා හිටිය දිලිනි එදා හොඳටම ඇඬුවා. සිඳුත් ඇඬුවා.
ඒත් ඊට අවුරුද්දකට විතර පස්සෙ දිලිනි ශිෂ්‍යත්වෙ පාස් වෙලා සිඳුගෙ අලුත් ඉස්කෝලෙටම ආව. ඒ ආවෙ 6 වසරට. ඒත් ඒ වෙනකොට සිඳු හිටියෙ 5 වසරෙ.
දොස්තර නෝනා තාමත් පුලුන් වලට බයද.....?
ReplyDeleteඅපෝ දැන් බය නෑ. දැන් බය උස තැන් වලට විතරයි. පුංචිම කාලෙ මම වලාකුළු වලටත් බයයයි. ඒවා "ලොකු පුළුන්" වගේනෙ.
Deleteහෑ... ඒ කියන්නෙ අවුරුද්දක් කුරුවල් වෙලාද? :-)
ReplyDeleteමොනා උනත් මරු සීන් වෙලා තියෙන්නෙ... ඕං පුළුන් පිටිපස්සේ..
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ...)
මොකක් ? කුරුවල් වෙලා? ඒ කියන්නෙ ෆේල් වෙලාද? පිස්සුද, හැටිද? මම පරණ ඉස්කෝලෙ ඉඳන් අලුත් ඉස්කෝලෙට ආවම නියමිත වයස පන්තියට දැම්මා.ඒකනෙ හේතුව. තේරෙන්නෙ නැති හැටි මෙච්චර කියලත්.
Deleteදැන් අපි පුළුන් වලට තියා පුළුන් වලින් හදපු යකෙක්ට වත් බය නැති ළමයි.
(අපෝ අපිට එපා රාජ සම්පත්. පේන්නෙ නැද්ද ඔය රජා ට වෙලා තියන දේ)
දිගටම කරගෙන යන්න අති විශිෂ්ටයි
ReplyDeleteස්තූතියි මල්ලෝ. අද දැක්කෙ ඔයාගෙ බ්ලොග් එක . හොඳ වැඩක්. ඒ වගේම උනන්දුවෙන් ඉස්කෝලෙ අනිත් වැඩත් කරනව නේද?
Deleteස්තූතියි මල්ලෝ. අද දැක්කෙ ඔයාගෙ බ්ලොග් එක . හොඳ වැඩක්. ඒ වගේම උනන්දුවෙන් ඉස්කෝලෙ අනිත් වැඩත් කරනව නේද?
Deleteඔය පුළුන් සිද්ධිය කියවනකොට මටත් මතක් වුනා ඔයවගේ එකක්.. මම ඉස්සර හාල්මැස්සොන්ට කැමතිම නෑ (දැනුත් එහෙම්මමයි). ඕක මාට්ටු වෙච්චි කොල්ලෙක් මගේ සි0හල පොත අස්සෙ දලා තිබ්බනෙ වේලපු හාල්මැස්සෙක්.. හිතාගන්නකො පාඩම කියවන්න නැගිට්ට්ම වෙච්චිදෙ
ReplyDeleteහෙ හී........ කොහොමද තොටියා තොටුපලේ ඉන්න වෙලාවක / ඔරු පදින වෙලාවක හාල්මැස්සෙක් පැන්නොත් හබල උඩට?
Deleteපුළුන් වලට බය කතාවක් මම මේ ඇහුවමයි.. :)
ReplyDeleteපුළුන් කතා නම් ගොඩයි මල්ලි.
Deleteඔන්න දවසක් සිඳු රෑ මැද්දෙ නැගිටලා බෙරිහන් දි දී අඬනවා. අම්මලා බය වෙලා මොකද මේ කියලා. සිඳු අඬනවා "මට පුළුන් පෑගුණා" කියලා. අම්මලා ලයිට් දාලා, ටෝච් ගහලා බලනවා, කොහෙවත් පුළුන් නෑ. හී හී සිඳු හීනෙන් පුළුන් දැකලා.
This comment has been removed by the author.
ReplyDeleteමේ කියන විදිහට ඉදලම තියෙන්නේ සම වයසේ ළමයි එක්ක නෙමේ පොඩි පන්ති වලදී,,ඒ කියන්නේ අම්මා කියපු කතාව හරි අති පණ්ඩිත වෙන්න ඕනා
ReplyDeleteකිවුවා නේද එක පාරක්, මම අහිංසක ළමෙක්. ඔයාටත් මම චොක්ලට් ඉස්ටිකර් දෙන්න හිටියෙ. දෙන්නෙම නෑ මට එහෙම කියපු හින්දා
Delete"ලමයා කියලා ලියපු විදිය වැරදියි, ළමයා කියලා ලියන්න "ළ" යන්න ඕනා කියලායි, මුළු පන්තියම මැද්දෙ ටීචගෙ මූණටම කිවුවා" //
Deleteඔය තියෙන්නෙ පන්ඩිතකම් +++ .. හැක් හැක් හැක්... ඒ පැත්තේ වැඩිය ඒදඩු තියෙන්නෙ නැතුව ඇති නේද :P
අම්මෝ, ඒ දඬු මතක් කරන්න එපා. ඒ තමයි සිඳු දැනුත් බය දේවල් වලින් එකක්. එල්ලෙන පාළම්, ඒ දඬු, උස තැන්, පහල පෙනෙන පඩි පේළි.........
Deleteසිඳු ඒ දඬු වලට කොයි තරම් බයද කියලා කියන්නද.
දවසක් බෝධිනාගල කන්දෙ කැලේදි සිඳුයි යාළුවො ටිකකුයි අතරමං වුණා. හොඳටම හවස් වේගන ආවා. ගොඩක් අය බය වුණා. ඒත් සිඳු ට ටිකක්වත් බය හිතුනේ නෑ. කොහොම හරි කැලෙන් එළියට එන පාර හොයාගත්තා පුංචි අඩි පාරක් දිගේ ඇවිල්ලා. හැමෝටම සතුටුයි සිඳුට ඇරෙන්න. මොකද දන්නවද, කැලේ සීමාවෙ තිබුණා පුංචි ඇළ පාරක්. ඒක හරහා කැලන් එලියට එන්න තිබුණෙ ඒ දණ්ඩකින්. සිඳුගෙ කකුල් දෙකම පණ නැති වුණා. කට්ටියම ඒ දන්ඩෙ පේළියට ඉඳලා තමයි සිඳුව මෙහා පැත්තට ගත්තෙ. ඉතින් ඒ දඬු නම් එපා
ඒකනෙ, ඒදඩු වල යන්න බැරි එකෙන්ම ඔප්පු වෙනව අම්මා කියපු කතාව හරි කියල.. සිඳූ ඒකාලෙ ඉදල අතිපණ්ඩිත වෙන්න ඕනා. :P
Deleteඅක්කගෙ පුංචි කාලෙ ගැන සුන්දරව ලියල තියෙනව....මම නම් ඔහොම ඉස්කෝල මාරු කරේ නෑ....පොඩි කාලෙ මුණ ගැහුන යාලුවො තාම ඉන්නව...වෙනස් පරිසර වලට හැඩ ගැහෙන එකත් මරු නේ.....ඊට වඩා මරු පුළුන් වලට බය එක.....අපි නම් කාටවත් බය නෑ.....:P
ReplyDeleteමගෙ පොඩිම කාලෙ හිටිය ඒ යාලුවො දෙන්න නම් දැන් කොහෙද කියලාවත් දන්නෙ නෑ. ආයෙම අම්පාරෙ යන්න ලැබුණෙත් නෑ. දෙවෙනි ඉස්කෝලෙ යාළුවන්ව නම් දැනුත් හම්බ වෙනවා.
Deleteපිස්සො කාටවත් බය නෑ තමයි අනේ. :P
This comment has been removed by the author.
ReplyDeleteබැන්දට පස්සෙ අර කහ පාට කුඩේ ගෙදර තියලා යන්න හොඳේ
ReplyDeleteඔව් ඔව්, එතකොට කුඩ ඕන නෑ. පියාඹන පීරිසි, කොසු ඉදල් එහෙම තියනවනෙ
Deleteno you were not a naughty girl at all, I can recall everything, you started schooling early. I can still remeber your second school, and you were scared to scarecrow too.
ReplyDeleteAiye, now only I remembered that I was scared of scarecrows too. i was very reluctant to spend the nights at my mothers village because of the scarecrows in the paddyfields. And there is another secret. i was scared of you also.
DeleteI thought It was only Chamal, even now apart from my kids others are scared of me.Imagine the others children are scared at looking at me and then Thisen comes saying Hi Dad
Deleteහෑ.... පුලුන් වලට බය කෙනෙක් !!!
ReplyDeleteමම මේ ඇහුවමයි. හික්ස් :)
පොඩි ළමයි එහෙම තමයි අනේ.
Deleteනියමයි අක්කේ. අම්මෝ මේ කෙල්ල හෙන වසයි එහෙනම් නේද
ReplyDeleteඅනේ මේ කෙල්ල වස නෑ එහෙම. ඒ වුණාට වස වැඩ කරලා තියනව.
Deleteඒ මොකෝ අප්පා පුළුන් වලට බය... o_O
ReplyDeleteඅනේ මන්දා. පුළුන් වලට විතරක්ම නෙමේ, වරා මල් වලටත් ගොඩක් බයයි ඒ කාලෙ
Deleteමේ ළමයා ඩොක්ටර් සිඳු ඉන්නවද ? .. ම්ම් එහෙම කෙනෙක් දන්නේ නැහැනේ ! එහෙනම් ඩොක්ටර් පුළුන් කියල කෙනෙක් ඉන්නවද ? ආ .. එයාද ?
ReplyDeleteමම කිවුවනෙ දැන් සිඳු පුළුන් වලින් හැදුව යකෙක්ට වත් බය නෑ
Deleteඅදයි ඉස්සෙලාම ලෝකෙ කොණට ආවේ ...
ReplyDeleteලස්සනට විස්තරකරලා.. චිත්ත රූප මැවෙනවා... හැබැයි ඒ රූපවල හිටියෙ ඔයා නෙවෙයි මම......
මට මැවෙන්නෙ චූටි මී පැටියෙක්ව
Deleteලස්සන මතකයන්... අපූරුවට ලියලා තියෙනවා..
ReplyDeleteඇත්තමයි, ඒ මතක හරි ලස්සනයි
Deleteමරු කතාව අක්කේ ඔයා ගිය අන්තිම ඉස්කෝලේ අපේ ඉස්කොලේනේ ..ඒ දවස්වල පුලුන් වලට විතරනේ බය...
ReplyDeleteඅපෝ ඒ කාලෙ වෙනකොට පුළුං වලට බය නෑ. ඒ කාලෙ බය තිබුණෙ සිස්ටට විතරනෙ නංගි.
Deleteඑහෙමනං ඔබතුමිය දොස්තර නෝනා කෙනෙක්.ඇත්තටම බ්ලොග් එක ලස්සනයි. http://atampahura.blogspot.com/2012/05/blog-post_15.html දොස්තර මහත්තයෙක් ගැන මේ කතාව බලන්නකො.පුළුන් වලට බය කතාවක් ඇහුවමයි.මම ඉස්සර ටැලිපොං වලට බයයි.කතා කරන්නෙම නැ.බැරිවෙලාහරි කතා කලොත් දාඩිය දාලා වෙව්ලනවා.මටම කියලා එකක් ඇරගන කාලයක් යනකම්ම එ බය තිබුනා
ReplyDeleteආ මම මේක කියෙව්වනෙ කලින්.
Deleteමොකද්ද අනේ ෆෝන් වලට බය. අපි නම් බය නෑ. දැන් අපි යකෙක්ට වත් බය නෑ...
අර අහිංසක කොලු පැටියට කුඩේකින් ගැහුවෙ මොන වැරැද්දක් කලාටද කියල කියමු බලන්න.
ReplyDeleteපුළුන් වලට බය ලමයෙක් ගැන නම් ඇහුවමයි!
අහිංසක?? හොඳ අහිංසක. අහිංසක නෙමේ, අංගුලිමාල. ඇත්ත නම මහේෂ් කියලා නම් මතකයි
Deleteඊට පස්සේ චූලනීලව එහෙම හම්බවුණේ නැද්ද ???
ReplyDeleteමම නම් බය..... හපොයි :O :O :O :O :O
ReplyDeleteඑල එල..... මමත් හෙට ඉදන් ලියන්න පටන් ගන්නවා :) :) :) :) :)
පුංචි අපට සිරි සැප දෙයි සිරි ලංකා දීපේ
ReplyDeleteපාන්දරම එහෙන් මෙහෙන් ඇහෙයි කුරුළු නාදේ
හිරු එලියට සඳ එලියට වෙලේ ගොයම් නෑවේ
පිපෙන සමන් පිච්ච පොකුරු නැලවෙයි හඳ පානේ
ඇල දොළ ගං ඉවුරු දිගේ වන මල් පෙති පාවේ
(ඉවුරු දිගේ වන මල් පෙති පාවෙන්නේ කොහොමද කියන එක වෙනම ප්‍රශ්ණයක්)
ඔය කවිය අපි ඉගෙන ගන්න කාලෙත් තිබ්බ එකක්නේ.