සීගිරි සිතුවමට පෙම් බඳිමි


පුංචි කාලයේ ඉඳන්ම සීගිරිය මාව විශ්මයට පත් කළ තැනක්. කාශ්‍යප රජතුමාට මහා වංශ කතුවරයාගෙන් ලැබිලා තියන ගැරහුම් වලට විරුද්ධව කතා කරද්දි, මම ඉස්සර කාශ්‍යප රජතුමාගේ අග බිසවද දන්නෙ නෑ කියලා මගෙ යාළුවො මට විහිළු කරලත් තියනවා. 


කාශ්‍යප රජතුමාගේ ඒ ඉතිහාස කතාවෙ සත්‍ය අසත්‍යතාවය කොහොම වුණත්,සීගිරි උද්‍යානය ,සීගිරි චිත්‍ර ඇතුළු මේ හැම දේකටම මම තවමත් ආදරය කරන්නෙ පුදුමාකාර විදියට. 


ඒ අතරින් ,සීගිරි කුරු‍ටු ගී අතර හමුවෙන "බුදල්"ගෙ කවිය සුවිශේෂ කවියක් ලෙසින් මම දකිනවා.


"බුදල් මි
 සිහගිරි ආමි
 බැලු බැලූ බොහෝ දන
 ගී කවි ලියූවෙන් නොලීමි"


කවුරුන් කොපමණ කවි ලිවූවත්, ඔහුටත් සීගිරි ලඳුන් ගැන වචන පේළියක් හරි ලියන්නට තිබුණා නොවේදැයි මට නිකමට හිතුණා. ඒ නිසයි මේ කවිය මගෙ අතින් ලියවුණේ. එය ලෝකයේ කොනකට ගේන්න හිතුනෙ මගෙ යාළුවා ඩයිනමයික් අපේ පා සටහන් වලට ලියපු කවිය නිසා. 


ඉඳුවර දිගටි දෙනයන මින් දද කැන්දූ
නෙත් යුග හෙලන බැල්මෙහි හී සර ‍රැන්දූ
මදහස මවන නෙතු අග සීනෙහි බැන්දූ
ගී නොම ලියවේද ගැන සිහගිරි ලන්දූ


දෙතොලග මැවෙන මදහස ජීවය කැන්දූ
දන මන නිබඳ පබැදෙන පද වැල් සින්දූ
ලියැවී කැඩපතකි ගී පවුරෙහි ‍රැන්දූ
නෙත් ළඟ දිගහැරුණ අරුමය සිරි ලන්දූ


සිහිනිඟ දැවටිලා රන් බඳ සළු හැන්දූ
මල් මකරන්ද තිසරුන් ලැම සිප බැන්දූ
ලද පස්මලින් ගැවසුණු දෑඟිලි රසඳූ
මිහිරක් ගෙන එන්න පැහැදුණු රන් දෙව් දූ


සීනෙක පැටලෙනා මීරක් හද බැන්දූ
සුදු සඳ කිරණ ගලලා මී මත ‍රැන්දූ
සඳ ‍රැස් රිදී ජල තල මතු පිට හින්දූ
ලලිතය මේඝයක් වන් ළඳ මන් බැන්දූ


සිහගිරි පවත ලෝ සත සවනත ‍රැන්දූ
පින්සර කසුප් කුමරුන් හට නර ඉන්දූ
ජනිතව මෙබිම කරනට විස්කම් බැන්දූ
සිහගිරි ළඳුනි ගයනුව ආසිරි සින්දූ

Comments

  1. ගොඩාක් ලස්සනයි :)
    බුදල්ගේ කවියේ දෙවෙනි පදයට “සිහලෙ ආමි, සීගිරි බැලිමි“ වගේ මට මතක :/

    ReplyDelete
    Replies
    1. මට ඒක හරියටම මතක නෑ මල්ලි. හොයලා බලන්නම්.

      Delete
  2. බුදල්ගේ කවිය නම් අහල තියෙනවා!සීගිරි කුරුටු ගී කියවන්න ගොඩක් අසයි,එත් තාම පොතක් හොයාගන්න බැරි උණා,කුරුටු ගී තියෙන!

    ReplyDelete
    Replies
    1. මෙතන කිහිපයක් තියනවා. හොයාගන්න උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ.

      http://sigiripintura.itgo.com/Katapathpawra.htm

      Delete
  3. බූදල්ගේ කවිය කිවුවත් වගේ විශේෂයි.. ඔය ගැන තව තොරතුරු අහලා තිබ්බට දැන් මතක නෑ..

    ආ සිදූ ගේ කවියත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලි.
      මේ තියෙන්නෙ සුනිල් ශාන්ත ඇතුළු පිරිස විසින් ගායනා කළ කුරු‍ටු ගී
      http://www.youtube.com/watch?v=2lWyaOrWbGo

      Delete
  4. කවි පෙළ නම් පංකාදුයි සිදු... පරණ කථාත් මකක් කරලම කවි ටික පළ කර එක හොඳයි...!

    ReplyDelete
    Replies
    1. සීගිරිය ගැන කතා නම් කියන්න කොයි තරම් තියනවාද. මතකද චිත්‍ර උඩින් තීන්ත ගෑව සිද්ධිය?

      Delete
    2. මොකද නැත්තේ, අහලා තියෙනවා... සීගීරි මතක පෝස්ට් පෙළක් කලොත් මොකද ???

      Delete
  5. බුදල්ගේ කතාව කිය කිය අපි ඉස්කෝලේ යන කාලේ හිනාවුණා. "බොහෝ දෙනා බොහෝ දේ ලියලා නිසා මම මොකුත් ලියන්නේ නැහැ කියලා බුදල් ඒක ලිව්වා නේද කියලා :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මොකුත් ලියන්නෙ නෑ කිවුවට ලියන්නම හිතෙන්න ඇති. දැනුත් ලියන්න දේනවා නම් මමත් මේ කවිය ලියලා එනවා.

      Delete
    2. හා හා දැනුත් ඔය අපේ අයියලා "කැටපත් පවුරේ" එක එක ඒවා කුරුටු ගෑවයි කියලා අල්ලගන්නේ :D

      Delete
  6. කවි පෙල ගැන නම් කියන්න දෙයක් නෑ.. සිඳු සලකුණ ප්‍රකට වෙනවා එකෙන්ම...
    හැම කවියෙම ‍දූ යන්නෙන් එන එළිසමය ලස්සනයි..
    සින්දූ කියන එක වැඩිපුර දැම්මෙත් ඒකෙන්ම ඉවර කලෙත් ඇයි කියල ඩයිනො දන්නවා!

    -Dyna(Mic)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...... මොකද දන්නෙ නෑ සින්දූ කියලා ඉවර කළේ? ස්තූතියි ඩයිනො.

      Delete
  7. බුදල්මි සියොවැ ආමි ඒ කියන්නේ තනිවම ආවා කියන එකයි..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා හරි. සියොවැ ආමි තමයි

      Delete
  8. good post, I think the one of romantic graffiti is Hamal Maru.
    Can you recall
    " Nil Katrol Maleka amuni wetkol mal se sandaha sihiwannay"

    ReplyDelete
    Replies
    1. wow. it is my favorite.

      buy the way aiye, is this the one you asked me to look for, one day?
      http://www.youtube.com/watch?v=2lWyaOrWbGo

      Delete

Post a Comment