Tuesday, May 1, 2012

පොතක්, නිහතමානී සාහිත්‍යකරුවෙක් සහ මගේ පසුතැවීම......!

     වර්තමානයෙන් පටන් ගත්තත් මේ කතාව අවුරුදු 10ක් අතීතෙට දුවන කතාවක්. කොටින්ම කියනවා නම් අව්‍යාජ මනුස්සයෙක්ගෙ නිහතමානී කම මට දැනුණ අවුරුදු 10ක් පරණ අවස්ථාවක්...........


මීට දින කීපයකට කලින් පුංචි පොත් සාප්පුවක ඇවිද ඇවිද ඉන්නකොට මම කාලෙකට ඉහතදී හොයලා හමු නොවුණු, පස්සෙ කාලෙක මටත් අමතක වෙලා ගිය පොතක් දැක්කා අහම්බෙන්. ඒ වෙනකොටත් පොත් කීපයක්ම ‍තෝරාගෙන හිටියත්,දෙවරක් නොහිතාම මම ඒ පොතත් මිලදී ගත්තා. පොතේ නම "අපේ ගමේ විත්ති". එහි ලේඛකයා පියසේන කහඳගමගේ සාහිත්‍යවේදියාණන්.






මීට වසර 10 කට 12කට පමණ පෙර විජය ළමා පුවත්පත කියවපු කෙනෙක් ට නම් යම් මතකයක් එලියට ඒවි.  සති ගණනක් පුරාවට විජය පුවත් පතේ පළවුණු "එදා අපේ ගමේ විත්ති" ලිපි පෙළ එකතු කොට සකස් කරන ලද පොත එයයි.


අද අපි ජීවත් වන පරිසරයත් සමග කෙදිනකවත් අපිට අත්දැකීමට නොලැබෙන අත්දැකීම සමූහයකින් මේ පොත පරිපූර්ණයි. අදින් වසර ගණනාවකට එපිටදී දකුණු පළාතේ පිහිටි සිංහල ගැමි පරිසරයක් මේ සඳහා වස්තු විෂය වී තිබෙනවා.මෙය නවයොවුන් සාහිත්‍ය කෘතියක් වුවද සොඳුරු ගැමි ළමා කාලයක් තිබුණු වැඩිහිටියන් වුවත් මෙය නිසැකයෙන්ම රස විඳින්නට ඇති.


කුඹුර හා සබැඳුනු ගම, ගමේ පෙරහැරට ගැමියන් සූදානම් වූ හැටි, තොවිල් පූජා, ළමුන්ගේ කෙලි සෙල්ලම්, සිංහල අවුරුදු උත්සවය ආදී හැරුණ විට  ළමුන් විසින් සිදුකරන ලද අහිංසක දඟකාරකම් ද සිත්ගන්නා සුළු ලෙස මෙහි විස්තර වෙයි.


"ගමට කාර් එකක් ගෙනැත්" මෙහි මම කැමතිම පරිච්ඡේද වලින් එකක්.


"පෝප්... පෝප්..." ඈතින් හෝන් හඬ ඇසෙන්නට විය.
"ඔන්න කාර් එක එනවා"යි කියමින් ගෙවල සිටි  ගැණු හා ළමයි ද පාරට දුව ආහ. ගම්මානයට පළමුවෙන්ම එන මෝටර් රථය පිළිගැනීම සඳහා සමහරු රතිජ්ජා පත්තු කිරීමට ද සූදානම්ව සිටියහ.
වලස්ගල පැත්තෙන් පැමිණි මෝටර් රථය එකවර වේහැල්ල පාරට හැරවීමට ඉඩ මදි බැවින් නාවරහේන හන්දියට ගොස් හරවා ගේන් පැමිණ වේහැල්ල පාරට පිවිසියේය. එවිට අම්බලම ගාව ‍රැස්වී සිටි පිරිස රතිජ්ජා පත්තු කළහ.
ගම් වැසියන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී පාර සකසා තිබෙනු දු‍ටු මොහොට්ටි මහත්මයාට සතුටක් දැනිණි. ඒ නිසාදෝ මග දෙපස සෙනග ඇති හැමතැනකම රථය නවතා ඒ අයට තම ගෙදරට පැමිණ යන ලෙසට මොහොට්ටි මහතා අමතක නොකළේය..........."





ගමෙහි විසූ අපූර්ව ගැමියෙකු පිළිබඳව කියැවෙන තවත් කොටසකි මේ.


"........විවේක කාලයේදී අපි වතුර බීමට කළු මහත්තයාගේ ළිඳ වෙත දිව යන්නෙමු. ටිං එකක් ලීයක බැඳ සාදන ලද පැන් කෙණ්ඩියක් ළිඳ අසල තබා තිබිණි. කළු මහත්තයා සිටින් වෙලාවක නම් ඔහු පැන් කෙණ්ඩියට ළි‍ඳෙන් ගන්නා වතුර ළමයින්ගේ දෝතට වක්කරයි. කළු මහත්තයා ළමයින්ට ඉතා ආදරය කළ ගැමියෙක් විය.වත්තේ ගස් වල වෙරළු, ජම්බු, පේර ආදිය හැදුණු විට ගෙනැවිත් පැල් මැස්ස උඩ කුඩා ගොඩවල් වශයෙන් බෙදා තැබීම ඔහුගේ සිරිතය. පළමුවෙන් පැමිණි ළමයින්ට ඉන් එක් ගොඩකට වඩා නොගන්නේ කළු මහත්තයාගේ නීතිය අකුරටම පිළිපදිමින් ය. කලු මහත්තයා අසල මානයක නොසිටියත් ඔහු ගේ නීතිය ඔහුගේ නීතිය නොකැඩෙන්නේ ළමයින්ද ඔහුට ආදරය කළ නිසා  විය හැකිය........."





        මෙබඳු අපූර්ව සිදුවීම් ගණනාවකින් මෙම පොත සමන්විතයි. මෙම ලිපි පෙළ විජය පුවත් පතේ පලවන කාලයේ මම නොවැරදීම පුවත්පත මිලදී ගත්තේ එම විස්තර ඒ තරමටම මා රසවත් කළ නිසායි. 

***************
එම නිසාම එම ලිපි පෙළ අවසන් වූ වහාම ඒ පිළිබඳව ප්‍රශංසා කොට පියසේන කහඳගමගේ ශූරින් හට ලිපියක් ලියන්නම මම පෙළඹුණා. ඒ කිසි ලෙසකින්වත් ඔහුගෙන පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් පාසල් යන දැරියකගේ නොවැදගත් ලිපියක් ලෙස සලකා ඔහු එය බැහැර කොට තිබුණේ නැහැ. දින කිහිපයකින්ම ඔහුගෙන් මට පිළිතුරක් ලැබුණා. ඒ මගේ පාසලට.
සුපුරුදු ලෙසම විදුහල්පතිතුමිය විසින් විවෘත කරනු ලැබූ ලිපිය මට ලැබුණා. එහෙත් එයින් මගෙ සතුටෙහි අඩුවක් නම් වුණේ නැහැ. එදින ලැබූ සතුටට වඩා ලොකු දෙයක් අද මට දැනෙනවා. ලේඛන කලාවට මා හට ඇල්මක් ඇති වන්නට යයිද කියා ප්‍රාර්ථනා කර තිබූ එහි වූයේ මනුස්සයකුගේ නිහතමානි කම බව අද මට පසක් වනවා. 



එම ලිපි පෙළ පොතක් වශයෙන් මුද්‍රණය කළ අවස්තාවේදීත් ඒ බව දන්වා ඔහු මා හට ලිපියක් එවා තිබුණා. ඒ සඳහා පිළිතුරක් යැවීමට මට විශාල උවමනාවක් තිබුණා. එහෙත් කම්මැලි කම සහ නොසැලකිලිමත් කම එය දිනෙන් දින කල් යැවුවා.

නැවත මට ඒ පිළිබඳව සිහිපත් වුණේ පියසේන කහඳගම ශූරින් අප අතරින් වියෝ වූ බව ජනමාධයයන් මගින් දැනගත් අවස්ථාවෙදීයි. පැහැදිලිවම මගේ පිළිතුරු ලිපියක විශාල වටිනාකමක් ඔහුට නොතිබෙන්නට ඇති. එහෙත් මා අතින් යම්කිසි යුතුකමක් මග ඇරුණා වැනි හැඟීමක් අදටත් මගෙ හිතට දැනෙනවා ඒ ලිපි දෙක දකින සැම විටම. ඒ වගේම පුවත් පත් කලාවට මේ තරම් ඇළුම් කිරීමට සහ යම්තාක් දුරකට හෝ ඒ සඳහා පිවිසීමට මට ඔහුගේ වචන කිහිපයද බලපෑ බව මම තවමත් අදහනවා.


පියසේන කහඳගමගේ විද්වතාගෙන් සිංහල සාහිත්‍යයේ පෝෂණයට සිදු වුණ ඉමහත් පිටිවහල මේ වන තෙක්ම ප්‍රමාණවත් තරම් ඇගයීමට පත් වී නැහැ. තමන් ජීවත් වූ පරිසරයත් සමගම ආත්මීයව බද්ධ වී ඔහු රචනා කළ බොහෝ පොත් අදටත් සැබෑ ලෙසින්ම රසවත්. 


වනේ ඇඳුනු පිය සටහන්, වන වදුලේ වසන්තය, බින් තැන්නේ විත්ති, නිම්නයක අඬ හැරේ, සාරකෙත, බැද්දේ සෙනෙහස ඉන් සමහරක්.අව්‍යාජ ජන බස් වහරත් සමග ලියැවුණ ඒ පොත් ප්‍රාදේශීය ව්‍යවහාර භාෂාවන් සඳහා හොඳ උදාහරණ පෙන්වනවා.


නිසි ලෙස ඇගයීමකට ලක් නොවුණු , එහෙත් සිංහල සාහිත්‍යය උදෙසා විශාල මෙහෙවරක් කළ මෙම සාහිත්‍යවේදියානන් ගේ නිර්මාණ වල රසවත් බව අදටත් එක සේ වලංගුයි.

45 comments:

  1. Replies
    1. හුරේ අදත් වර්ණා නංගි එක....!!!

      Delete
  2. සිංහල සාහිත්‍යයේ නොමැකෙන සලකුනක්.......

    ReplyDelete
  3. "එහෙත් මා අතින් යම්කිසි යුතුකමක් මග ඇරුණා වැනි හැඟීමක් අදටත් මගෙ හිතට දැනෙනවා ඒ ලිපි දෙක දකින සැම විටම."

    ඒක මං හිතන්නේ මේ ලිපියෙන් පස්සේ තියා ගන්න ඕන වෙන එකක් නැහැ... යුතුකම හොඳින් කෙරිලා තියෙනවා මේ ලිපියෙන්...

    ReplyDelete
    Replies
    1. මේ වගේ මග ඇරුණ යුතුකම් අනන්තයි. තවත් එකක් මතක් වුණා ඊයෙ පත්තරයක් බලනකොට. ඒ ගැනත් ලියන්න හිතුවා.

      Delete
  4. විජය පත්තරේ ගිය පියසේන කහඳගමයන්ගේ ගමේ විත්ති පොතක් විදිහට තියෙන බව දැනගත්තු එක හොඳයි.

    මට තාමත් මතකයි කොල්ලෝ ටික පස් කන්ද දිගේ කොළපත් තියාගෙන රූටාගෙන එද්දි "පද්දපු නෙරුවානේ සුවාරිස් මුත්තගේ බතළ පිගානේ" කියලා කෑ ගහගෙනයි ආවේ කියලා තිබුණා.

    පොත ප්‍රකාශයට පත් කරපු ප්‍රකාශකයෝ ගැන විස්තර පොඩ්ඩක් කියනවද අක්කේ පොත හොයාගන්න.

    කහඳගමයන් ඇගයීමකට ලක් නොවුණු බව නම් ඇත්ත.

    එතුමාගේ පුතා ප්‍රබෝධ කහඳගමගේ තාත්තා කරපු මෙහෙය ඉදිරියටම ගෙනියන්න මහන්සි වෙන පුතෙක්

    ReplyDelete
    Replies
    1. මල්ලි,මේ පොතේ ප්‍රථම මුද්‍රණය ගොඩගේ ප්‍රකාශනයක් 2010 දී
      දෙවන සහ තෙවන මුද්‍රණ සරසවි ප්‍රකාශන.
      ප්‍රබෝධ ගැන එතරම් දන්නෙ නැ. ඒත් ඔයා හරි ඇති කියලා හිතෙනවා.

      Delete
    2. ස්තුතියි අක්කේ තොරතුරුවලට.

      මේ ඉන්නේ ප්‍රබෝධ කහඳගමගේ කියන පුද්ගලයා.

      http://www.facebook.com/profile.php?id=1209722195&sk=wall

      Delete
  5. නියමයි..මමත් පොඩි සන්දියේ විජය පත්තරේ ගත්තාම ආසාවෙන්ම කියෝන කෑල්ලක් තමා අපේ ගමේ විත්ති..!!!
    තව දිය යටින් ගින්දර කතාවයි මල් මාමගේ කතාවයි අනිව බලනව..!!!!

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාලෙ එක එක දේවල් හිතලා බලනවා මල් මාමගෙ නහයෙ මල අයින් කරන්න ක්‍රම ගැන.

      Delete
  6. සිංහල සාහිත්‍යට සේවාවක් කල උත්තමයෙක් වෙනුවෙන් ලිය උන හොද ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලි

      Delete
  7. මේ වචන මතක තියාගන්න.. සිඳු ඔයානම් ලියන්නම ඉපදුන කෙනෙක්...! තම රට තම කම අගයන ඒ උතුම් කලාකරු පියසේන කහඳගමගේ වියතුන්ට මගේ ආචාරය! - ඩයිනමයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩයිනො. මෙහෙම ලියන්න පටන් ගන්න එක හේතුවක් ඔයා වගේ හොඳ යාලුවෙක් ඉන්න එකත්. මතකනෙ, බ්ලොග් එකක් ගැන මගෙ ඔලුවට දැම්මෙ ඔයා.

      Delete
    2. මතකයි.. සතුටුයි... මේව කියවද්දි මට ඒ සතුට දැනෙන්නෙ ආඩම්බරයක් එක්ක...

      Delete
  8. ඔයාට දුකක් ඉතුරුවෙන එකක් නෑ යුතුකම මෙතනම තියනවා

    ReplyDelete
  9. මේ වගේ දැවැන්ත ලේඛකයෙන් පාසල් යන පොඩි බට්ටොන්ට එවන ලියුම්වල වැදගත්කම කියලා නිමක් නෑ..මටත් මම 6 වසරෙ ඉද්දි ඔහොම ලියුමක් ආවා කුලසේන ෆොන්සේකා මහතාගෙන්..මම සති ගාණක් ඇවිද්දෙ අඩි ගාණක් උඩින්..

    ස්තුතියි පොත ගැන කිව්වට..ඉක්මනට හොයාගෙන කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මමත් ඒක යාළුවන්ට පෙන්නලා ගොඩාක් සතු‍ටු වුණා. අපේ විදුහල්පති තුමිය ඒකත් කඩලා බලලා තිබුණනෙ, ලියුම් කවරෙත් පියසේන කහඳගමගේ කියන නමත් එක්ක ලිපිනය තිබිලත්.

      Delete
    2. එතුමී හිතුවද දන්නෙ නෑ එතුමා ඔයාට ආදර හසුනක් එව්ව කියල?

      Delete
  10. සින්දු. මේක පත්තරේට දාන්නකො

    ReplyDelete
  11. ගොඩාක් හොද ලිපියක් අක්කේ. ගොඩාක් ආස හිතෙනවා. ඒ වගේ ලේඛකයෙකුගෙන් පිළිතුරු ලිපියක් ආවා කිව්වම..... ගොඩාක් නිහතමානී බුද්ධිමතෙක්.....

    ReplyDelete
  12. මේ මගේ අනිත් ප්‍රතිචාරය,

    අක්කට හිතා ගන්න පුලුවන්ද මේක කියෙව්වම මට මතක් උනේ මොකක්ද කියලා.....

    මම දවසක් විදුසර පත්තරේ ගත්තා. පෙරලගෙන ගියා. එක පිටුවක තිබුණා "රෝහලේ විත්ති" කියලා. මමත් කියෙව්වා. ලිපියෙ අගින් තිබ්බා ලියපු කෙනාගේ නම, "සින්දූපා සෙනෙවිරත්න". ඒ ගාවින්ම තිබුණා එයාගේ ඊමේල් ලිපිනය. කතාව කොච්චර හිතට වැදුනද කිව්වෝත්, මම සින්දූපා සෙනෙවිරත්ක තියන ලේඛිකාවට විද්‍යුත් ලිපියක් යැව්වා.....
    ඇත්තටම ඒ ලේඛිකාවත් කොච්චර නිහතමානීද කියනවනම් මට පිළිතුරු ලිපියක් එව්වා. මට ගොඩාක් සතුටු හිතුනා.....
    පස්සේ මම ඒ ලේඛිකාවගේ මුහුණු පොතේ මිතුරියක් උණා.....
    ඊට පස්සේ ඒ ලේඛිකාව ලියන බ්ලොග්ස් කියවන්න පටන් ගත්තා, ඊට පස්සසේ මමත් බ්ලොග් එකක් හැදුවා.....

    සිදු අක්කා කියන්නේ මම ගොඩක් ගරු කරන, ගොඩාක් ආදරය කරන කෙනෙක්.
    සිදු අක්ක කොච්චර නිහතමානිද, කොච්චර හොදද කියන එක මට තව දුරටත් තේරුම ගියේ ලගදි සිද්ද උන සිදුවීමකින්.....

    අක්කගේ හැම හොද වැඩකටම මම හැමදාමත් සුබ පතනවා අක්කේ.....

    ReplyDelete
    Replies
    1. අපෝ මට ලැජ්ජයි අනේ. මෙහෙම කියන්න එපා. විදුසරට ලියපු කාලෙ ගැන සතු‍ටුයි. (නොකියවුණු පොඩි දුකකුත් නැතුවම නොවේ.)

      Delete
    2. ලගදි උන සිද්දියත් ලියමුකො බලන්න!

      Delete
  13. අපේ ගමේ විත්ති කියන ලිපි පෙළ ඉස්සර පිස්සුවෙන් වගේ කියෙව්වා මතකයි!:)
    මමත් ආසම ලේඛකයෙක් තමයි පියසේන කහඳගමගේ මහත්මය.
    ඔහු ගාල්ලේ කියල දැනගත්තේ නම් අද!:)

    ReplyDelete
    Replies
    1. ඔහු ගාල්ලෙ. බද්දේගම.

      Delete
  14. මමත් කැමති අව්‍යාජ ලේකකයෙක්.. එතුමා වගේ අය අද කාලේ විරලයි සිඳු..

    ReplyDelete
    Replies
    1. ඒ අව්‍යාජ ගැමි කමට මම ගොඩාක් කැමතියි.

      Delete
  15. ගන්න ඕනෙ පොත් ගොඩට තවත් පොතක් එකතු වුනා...

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමෙක්!!!

      Delete
  16. පියසේන කහඳගමගේ , වගේම රත්න ශ්‍රිත් ගාල්ලේ, දෙ‍දෙනාමසිංහල සාහිත්‍යයට විශාල සේවයක් කළා. රත්නශ්‍රී නම් තාමත් ඉන්නවා.

    පියසේන කහඳගමගේ ශුරින් ලියූ ජනශ්‍රැති පිළිබඳ පර්යේෂන පොත්වලට මම වඩාත් කැමතියි

    ReplyDelete
    Replies
    1. රත්න ශ්‍රී සහ පියසේන කහඳගමගේ ගැන ගොඩාක් කාලෙකට ඉහතදී ලක්බිම පත්තරේ ගිය ලිපියක තිබුණ විස්තරයක් මතක් වුණා.

      දවසක් රත්න ශ්‍රී, පියසේන කහඳගමගේ සහ දැන් මට නම අමතක තවත් කෙනෙක් යනවා බද්දේගම පියසේන කහඳගම ශූරීන්ගෙ ගෙදර. ඒ වෙලාවෙ ඔහුගෙ බිරිඳ දරුවන්වත් තුරුල් කරගන නිදි. ඒ වෙලාවෙ රත්න ශ්‍රී ගෙ හිතට ආව අදහසක් තමයි ලු "නුඹ චන්ද්‍ර මඬල වැන්නේ, සා පැටවු එහි නිදන්නේ " කියලා තියනව ගුණදාස කපුගේ ගායනා කරන "මගෙ බිසවුණේ අසාපන්" ගීතය.

      Delete
    2. හ්ම් මතක ගොඩක් ඇවිස්සුනා කහඳගමගේ මහත්මයා බද්දේගම ගාල්ලෙන් ඇතුලේ තරමක් පොඩි නගරයක් වුනත් ගැමි ගතිය තියෙනවා .ඔහු ගුරුවරයෙක්.ඒ එක්කම ලංකා ගුරු සංගමේ හිටිය ප්‍රබල සාමාජිකයෙක් .ඔය වෘතීය සටන් නිසා කහඳගමගේ සර්ව කිසිම කාලෙක පහසුකම් ඇති ගමට කිට්ටු පාසලක හිටියේ නෑ ,ඇත්ත යුත්ත කතාකල ක්‍රියකාරි වෘතීය සංගම් කාරයෙක් කියාලා ඈත මූකලන් පැති වල ඉස්කෝල වලට මාරු කලා .ගුරු ජීවිතේ හරි අඩකට වැඩිය ගෙවුනේ ඔහොම . ඔය නිසාම එතුමා අතින් ඉතා හොඳ ජනශැති කතා බිහිවෙනවා විශේෂයෙන් ඈත අම්පාරෙනුත් ඇතුලේ මූකලන් , වැදි ජනයා ජීවත්වුන ගම් වල පාසල් වල ඉගැන්නුව කාලේ ඒ අත්දැකීම් වලින් ලස්සන රසවත් පොත් ලියවුනා .අඩුවෙන් ඇගයුමට ලක්වුනත් රස වෑහෙන පොත් ලිව්ව කෙනෙක් . වනගත චාරිකා , වන වදුලේ වසන්තය , බිංතැන්නේ විත්ති , දිගාමඩුලු ජන වහර ,කෙතක මහිම කමත /කුඹුර ඔඅය පොත් සෙට් එකම මම කියෙව්වේ අපේ ගමේ පුස්තකාලෙන් .හරි රහයි මේ පොත්

      Delete
  17. මේක පොතක් විදියට පබ්ලිශ් වුණා කියලා මම දැනගෙන හිටියෙ නෑ.ඒ ආරංචියට බොහොම ස්තූතියි.ඒ වගෙම ඔයාට මතකද අක්කේ පස්සෙ කාලෙක නවදැලිහේන කියලා ලස්සන කතාවක් ඔහු විජය පත්තරේට ලිව්වා.මම හිතන්නෙ ඒ 2003-2004 වගේ කාලයක වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නම් මම විජය පත්තරේ ගත්තෙ නෑ නංගියො. ඒත් ඇත්තටම ලස්සන ඇති.

      Delete
  18. i enjoyed his writings when i was small too. he has done a lot to our literature. also he illustrated the lifestyle of digamadulla, which had a long heritage. most of the people we survivors of the 1818 revolution. good on him.
    Also it is worth to mention Maya Ranjan.
    Have you read Divi Sayuren diya dothak by Magam Tennakon

    ReplyDelete
    Replies
    1. yes aiye, Maya Ranjan is an unique writer we can never forget.

      :-( I haven't read divi sayuren diya dothak. now i know what should i look for , next time when i go to Sarasavi.

      Delete
    2. there are two parts one and two, i have part 2, part one was a collection of writings on Divaina. Illustrates the life style of Hatharakorale and Magam's journey

      Delete
  19. රත්න ශ්‍රී සහ පියසේන කහඳගමගේ ගැන ගොඩාක් කාලෙකට ඉහතදී ලක්බිම පත්තරේ ගිය ලිපියක තිබුණ විස්තරයක් මතක් වුණා. දවසක් රත්න ශ්‍රී, පියසේන කහඳගමගේ සහ දැන් මට නම අමතක තවත් කෙනෙක් යනවා බද්දේගම පියසේන කහඳගම ශූරීන්ගෙ ගෙදර. ඒ වෙලාවෙ ඔහුගෙ බිරිඳ දරුවන්වත් තුරුල් කරගේන් නිදි. ඒ වෙලාවෙ රත්න ශ්‍රී ගෙ හිතට ආව අදහසක් තමයි ලු "නුඹ චන්ද්‍ර මඬල වැන්නේ, සා පැටවු එහි නිදන්නේ " කියලා තියනව ගුණදාස කපුගේ ගායනා කරන "මගෙ බිසවුණේ අසාපන්" ගීතය.

    ReplyDelete
  20. මට මතකයි අපිට 4 වසරේ උගන්වපු ගුරුතුමිය පියසේන කහඳගමගේ මහතාගේ පොත් අපට නිර්දේශ කරලා තිබුනා ආරම්භක විද්‍යාවටයි අප හා පරිසරයටයි. මං අදයි දන්නේ එතුමා දැන් ජීවතුන් අතර නැහැ කියලා. ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කෙරෙන්න ඕනා දෙයක් ඔබ අතින් කෙරිලා තියෙන්නේ අද. බොහොම ස්තුතියි

    ReplyDelete