Saturday, May 5, 2012

වෙසක් සිරි නැරඹීමි................

පාරට බැසීමි. ගිනි ගහන අව්වය. 


අද වෙසක් පෝය දිනයයි. වෙසක් පෝය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව සැබෑවකි. එහෙත් මහ පාරේ නම් නිවාඩු බවක් නොමැත.
විටෙක ,අව් කණ්ණාඩි දමාගෙන, මෝටර් සයිකල් වල නැගී ,පාර දිගේ යන කොල්ලන්ය. පා පැදි වල යන ඇතැමුන් ද ඔවුනට එක් වී ඇත. ඒ යන්නේ පන්සල් නම් නොවේ. ඔවුන්ගේ භාෂාවෙන් කිවහොත් "දන් සැල් වැඳීමටය". 

පි‍ටුපස විවෘත කැබ් රථයක් මා පසු කරයි. එහිද කොල්ලන් සමූහයකි. එකකු අතේ රබානකි. ඔවුහු ගීත ගායනා කරමින් නටති.තවකකු අත චල වළල්ලක් වැනි යමකි. තවකෙකුගේ මුහුණ වෙස් මුහුණකින් වැසී ඇත. විවෘත කැබ් රථ වල ගමන පිළිබඳ නීතියක් පවතීද යන්න මට අමතකය. එමෙන්ම වෙසක් උත්සවයේ නැ‍ටුම් ගැයුම් සුදුසුද යන්න පිළිබඳව මට සිතෙන්නේද නැත. මට සිතෙනා එකම දෙය ඒ ඔවුන්ගේ ලෝකය බවයි. කවුරුන් කෙසේ කිවුවද , ඔවුන්ගෙන කිසිවෙකුට හිරිහැරයක් නොවෙනා තාක් කල් ඔවුනට ඇඟිල්ල දිගු කිරීමට මට ද නොසිතේ.

ඒ අතරම හෙමින් ගමනක යෙදෙන ට්‍රැක්ටරයකි. එහි පි‍ටුපස බිම වාඩි වී මග දෙපස ඇති දන් සැල් සියල්ලෙන්ම පාහේ වතුර වීදුරුවක් හෝ බීමට බලාගෙන පිරිසක් ගමන් කරති.

දන් සැලක් පසු කරමි. අවුවේ කුඩ ඉහලාගත් ගැහැණුන් ,පිරිමින් කුඩා ළමුන් ඇතුළු සියලුම දෙනා මීටර් සියයකටත් එහා දිගු පෝළිමකට එකතු වී සිටිති. "මහා බත් දන්සැල" යන දැන්වීම යම්තම් නෙත් කොනින් දකිමි.
සුළු මොහොතකට කලින් දු‍ටු අයිස් ක්‍රීම් දන් සැල ද මතක් වේ. එහි දැන් නම් අයිස් ක්‍රීම් බිඳුවක් වත් ඉතිරි වී නැතුවාට සැක නැත.

බොහෝ නිවෙස් වල වෙසක් කූඩු එල්ලා ඇත. තවත් සමහරු තවමත් කූඩු සාදන ගමන්ය. කඩ සාප්පු වල ද වෙසක් කූඩු සහ බල්බ් වැල් සමූහයකි. බෞද්ධ කොඩිද ඒ අතර ලෙළ දේ.

මේ වන තෙක්ම මා පසු කළේ එක් තොරණක් පමණි. බුදුරදුන්ගේ මුහුණ එ වන විටත් සුදු රෙදි කඩකින් ආවරණය කර තිබිණි. මේ සියල්ලේම අලංකාරය දැන් නොව රාත්‍රියේය. පින් ඇත්තෝ ඒවා දකිනු ඇත. 

"මහා වතුර මල් පහන් කූඩුව" ඒ තවත් දැන්වීමකි. එය බලමු යැයි සිත මගෙන් අයදියි. "බලමුකො" මම සිතට පවසමි.
"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ....... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ........" කොහෙන්දෝ ඇසෙයි. තවත් දන්සැලක් විය යුතුය. නැතහොත් අවසන් වූ දන්සැලකි.



ගමනාන්තයට පැමිණෙමි. 

හෙදියක් මා සමග සිනා සේ. 
"ටිකක් පරක්කු වුණා. ට්‍රැ‍ෆික් වැඩීයි අද සමහර තැන් වල" මම පවසමි.
"වෙසක් නේද මැඩම්?"
"හ්ම්ම්..."
"පේශන්ට් කෙනෙක් ඉන්නවා"
"හ්ම්ම්... ගන්න එයාව"

මට නිවස සිහි වේ.
"අද නිවාඩු දවසෙත් වැඩද ඔයා? " අප්පච්චි අසන විට මම පිළිතුර නොදීම මම මිදුලට බැස්සෙමි.  
මෙපමණ කාලයක මුල්ම වතාවට ගෙදර වෙසක් කූඩුවක් වත් නැත. අප්පච්චි බකට් තොගයක් ගෙනැවිත් තිබිණි. පාට බල්බ් වැල් සමග එක් වූ විට ඒවා අඩුව පුරවනු ඇත. බෞද්ධ කොඩි දෙක නම් උදේ සිටම ලෙළ දුන් බව මතකය.


 "අපි මේ පාර නෙළුම් මල් හතක් හදමු" නංගී කිවුවේ සති 2 කට පෙරදීය. "නියමයි. හදමු හදමු" මම ප්‍රීතියෙන් ඉපිළුනෙමි.
නමුත් ඇයට හෝ මට ඒ සඳහා අවකාශ ලැබුණේ නැත. 

"මැඩම් ... පේශන්ට්" හෙදිය නැවත සිහිපත් කරයි.

මේ මගේ ජීවිතයයි. !!!


ඔබ සැමට ප්‍රීති වෙසක් ...!!!!

29 comments:

  1. ගනන් ගන්න එපා නගෝ.. මමත් අද තොටුපලේ රෑ වැඩ.ගිය වෙසක් එකටත් එහෙමයි.මේ මොහොතේ කමෙන්ට් එක දාන්නෙත් බාහිර මගී අ0ශයේ ඉදගෙන. "මැඩම් ... පේශන්ට්" ඕක ඉතින් ජීවතය වෙන්නෙ නිතැතින්.
    අද එලිවනතුරු මගේ දකුණු පසින් තියන ඉන්ටෙර්කොමයට කොයි වෙලෙත් ඔය වගේ කෝල්ස් තමා "සර්, ඇඩ්මිශන් එකක්". නිදාගන්නට වෙන්නෙ කුකුලු නින්දක් නිසා ලැප අරන් ආව එලිවෙනතුරු අලුත් ලිපියක් ලියන්න හිතාගෙන

    ReplyDelete
    Replies
    1. දැන් දැක්කෙ මම අද එකනෙ... :)

      Delete
    2. මට ගොඩක් වෙලාවට වෙන්නේ බෑ කියන්න බැරි කම අයියෙ. ඒත් කමක් නෑ.. කාට හරි ඒකෙන් වෙන්නෙ හොඳක්. ඒක මම දන්නවා.

      Delete
  2. ඕකනේ අක්කියෝ සයන්ස් කරන්න අදහසක් නැත්තෙ.
    ඒත් ඔය ක්‍ෂේත්‍රෙය් ඉන්න වියළි මිනිස්සු බහුතරය අතරෙ ඔයා වගේ ආදරණීය හදවත් තියන අයත් ඉන්න එක කොච්චර වටිනවද?

    ReplyDelete
    Replies
    1. නංගි තොටියා ගෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න. ඒත් මේ ක්ෂේත්‍රයේ ඉන්න වෙනස් හදවතක් තියන මනුස්සයෙක් කියලා මට හිතෙනවා. (තොටියා අයියෙ මට ටො‍ෆියක් වත් එවන්න)

      Delete
    2. අනේ ඉතින් අපේ තොටුපොලේ කොහෙද ටොෆි.. අලුත් හොදවයින් මාළු කූරියෙක් එවන්නම්.. ටොෆි කෑවම දතුත් සවුත්තු වෙනවනෙ.. මොකක් කිව්ව? වෙනස් හදවතක්? හෆොයි!! අදම ගොහින් Echo එකක් කරල බලාගන්න ඕන:
      ගනන් ගන්න එපා නගෝ පොඩි විහිලුවක් කළේ. මේදවස් වල තොටිය ටිකක් elated mood. බොහොමත් තුති මාව මේවිදියට විස්තර කලාට..

      Delete
    3. අයියෙ පාට පාට ඇඳුම් අඳින්න එහෙමත් හිතෙනවා ද? ගොඩාක් කෑම කන්න හිතෙනවා ද? microsoft eka සල්ලි වලට ගන්න හිතෙනවා ද? නින්ද එහෙම කොහොමද මේ දවස් වල? ( elated mood කිවුව නිසා ඇහුවෙ)

      (මාලු එපා. මම නිර්මාංශ)

      Delete
  3. පෝස්ට් එක ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිරු

      Delete
  4. දයාබර සිඳු... හරිම සංවේදජනකයි.. පන්සල් ගිහින් බණ පදයක් හිතින් දරාගන්න ඕන දවසෙ මං වෙන අවුරුදු වල වගේම යාළුවොත් එක්ක දන්සැල් වඳින්න ගියා.. එන ගමන් ඔයාටත් මොනවහරි ගෙනත් දෙනවද කියල ඇහුවම මගෙ ඇස් වලට සීතලක් දැනුනා.. ඒ වෙනකොටත් ඔයා වැඩ... රෑ දොලහයි.. අපේ බඩවල් පිරිලා.. ඔයාව පහුකරගෙන ගෙදර යන ගමන්... ආයෙමත් හැරෙන්න හිතුනා.. මං දන්නව ඔයා බඩගින්නෙ නෙමේ... ඒත් මේ වගේ දවසකවත් නිවාඩුවකට පිපාසයෙන් ඉන්නව කියල දැනුනා.. අද දවස ගැන මටත් ලියන්න දේවල් ටිකක් තියෙනවා.. හෙමීට ලියල පා සටහන් වලට දාන්නම්.. DynaMic

    ReplyDelete
    Replies
    1. මොකක්? ඔයා කොහොමද එහෙම කියන්නෙ, මම හිටියෙ ඇත්තටම බඩගින්නෙ. (මොනවා වුණත් ඔයා හොඳ යාලුවෙක්. ආපහු එන්න හරි හිතුනනෙ)

      Delete
  5. අපිත් දැන්ම ඉදන් ඔහොම තමා.........

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මෙහෙම වෙයි.

      Delete
  6. සමරුන්ගේ කාර්‍ය බහුල ජීවිතත් එක්ක මේ දේවල් සමරන්න වෙලාවක් නෑ.. අනික සිදූගේ රැකියාවෙදී ඒ දේට ලැබෙන ඉඩ කොහොමත් අඩුයි..

    ඉතින් අර වතුර මල් කූඩුව බැලුවයි.. අපිටත් කියන්නකෝ විස්තර ටිකක්...

    ReplyDelete
    Replies
    1. මොන මල් කූඩුද දිනේශ්. මම පහුවදා හොඳට නිදා ගත්තා.

      Delete
  7. කියන්ට දෙයක් නැත. මගේ ආචාරය!

    මමත් පැය 2කින් විතර කූඩුව ගොඩ දැම්මෙමි විද්‍යාව ඉගෙනීමේ සිට රැකියාව දක්වා නිවාඩුවක් නැතිවා සේය.

    ReplyDelete
    Replies
    1. සියලු සයන්ස්කාරයෝ නැසෙනසුලුයි ලු නෙ. (බොරු හොඳද?)

      Delete
  8. මොනා කරන්නද නංගි. ඕක ඉතින් රස්සාවේ හැටි නෙව.
    ලෙඩ්ඩුන්ට ඇප උපස්ථාන කරන එකත් ලොකු පිනක්ය කියලා කියනවානෙ.
    ඒ නිසා ඔවුවා ගනන් ගන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. අපි නම් ගනන් ගනියි ඕවා.

      Delete
  9. ඔබ එක ජීවිතයක් ගොඩදාන එක ලෝකේ දැල්වෙන ඔක්කොම පහන් කුඩු වලට වඩා වටිනවා ..කොච්චර උතුම් දෙයක්ද..

    ReplyDelete
    Replies
    1. මේ වචන වටිනවා සරත් අයියෙ. ස්තූතියි.

      Delete
  10. ඔයා කරන්නෙ කියලා නිම කරන්න බැරි පිනක්නෙ.ඔය පින් බලෙන් මේ ආත්මෙම මාර්ගපල අවබොධ වීමට ලැබේවා

    ReplyDelete
    Replies
    1. අම්මෝ නිසූ බයත් හිතෙනවා ඔහොම කියනකොට. ඒත් ස්තූතියි නිසු, ඇත්තමයි.

      Delete
  11. නිවී යන්නට ආසන්න පහන් සිලක් සේ වූ ජීවිතයක් බේරා ගැනිම තරම් පුණයකර්මයක් ලොවේ තවත් නැත. ඔබ කරන මෙහෙය වෙළඳ සැනකෙළියක් වූ වෙසක් සිරියට වඩා උතුම් වේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත!:)

      Delete
    2. දැන්නම් වෙළඳ සැනකෙලි තමයි හැම තැනම. ඒක ඇත්ත.

      Delete
  12. රස්සාව ඔහොම තමයි. දොස්තර කෙනෙක් පෝය දවසෙත් රස්සාවට යනවා නම් ඒක ගොඩක් දෙනා දකිනව, කතා කරනව. දොස්තර බුදු වේවා කියල කියනව.
    නමුත් වේදිකාවේ උඩ කරන නැති, වැඩිය කව්රුත් නොදන්නා රැකියා කරන ගොඩක් දෙනා ඉන්නව. සමහරුන්ට අව්රුද්ද දවසෙත් නිවාඩු නෑ. බොහෝ දෙනාට වැටුපත් බොහෝ අඩුයි. රටක් සමාජයක් දියුණු වෙන්න හැමෝගෙම කැප කිරීම් වටිනව.

    ReplyDelete
    Replies
    1. දූපත් වැසියා හරි. එහෙම අය අනන්තයි මේ සමාජයේ. උදාහරණ කොයි තරම් වුණත් දෙන්න පුළුවන්. ආරක්ෂක අංශ , මා එක්ක එදා හිටිය හෙදියන්, මම ආව බස් එකේ රියදුරා සහ කොන්දොස්තර මහතා........ ඒ වගේ කී නොකී ගොඩාක් අය ඉන්නවා. එහෙම නැතුව රටකට ඉස්සරහට යන්න බෑ.

      (තව මට දැනුන දෙයක් තමයි, ඔයා කියපු කොටසට අපේ රටේ සීමාවාසික වෛද්‍යවරුත් ඇතුළත් ද කියලාත්. ඒ තරම් මානව අයිතිවාසිකම් අහිමි වුණ , අවුරුද්දෙ දවස් 365 පැය 24 පුරාවටම වැඩ කරලා, අඩුම වැ‍ටුපක් ගන්න පිරිසක් ඉන්නවා ද කියන එක.
      පැය 24 බැගින් දින 30 යි, වැ‍ටුප 30,000. )

      Delete