Tuesday, May 8, 2012

මානසික රෝහලේදී..........



ඒ මානසික රෝහලේ ගත කළ මුල් දින කිහිපය.


උණ, හෘදරෝග, දියවැඩියාව, හදිසි අනතුරු ආදීන් ගෙන් පීඩා විඳින රෝගීන් එක්‌ක හැමදාමත් දකින රෝහල හා, මනසේ ඇති වූ විවිධ ව්‍යාකූලතා සමග ඇතුළත් වූ රෝගීන් සිටින එම රෝහල අතර තිබුණේ පැහැදිලිව ම කැපී පෙනෙන වෙනසක්‌. 



තමන් ගැන ම හසරක්‌ වත් නො දැන ජීවත් වුණ ඇතැම් රෝගීන් පිළිබඳව සොයා බලද්දී බොහෝ වෙලාවට ඔවුන් පිටුපස තිබුණේ බෙහෝම දුක්‌බර කතාන්දර. 


පුංචි කාලයේ නො ලැබුණ මවුපිය සෙනෙහස නිසා තුවාල වුණ සිත, බිරිඳක ගේ සැමියකු ගේ අනාදරයෙන් තවත් පළුදු වෙලා, අන්තිමට මානසික රෝගයකින් කෙළවර වුණ අවස්‌ථා ද තිබුණා. බොහෝ මානසික රෝග සඳහා හඳුනා ගන්න, සෘජුව ම හේතුකාරක වන කරුණු නැතත්, ප්‍රායෝගිකව බලන කොට මෙවැනි හේතුත් ඉවහල් වන බව අපට හොඳින් ම හැඟී ගියා.


යකඩ දැල් ගැසුව රෝහල් ගේට්‌ටුවෙන් එහා ලෝකය නැවත දකින්න ආසාවෙන් ගොඩක්‌ රෝගීන් බලාගෙන හිටියා. ඔවුන් ගෙන් ඇතැම් අයට බොහෝ දුරට සනීපයි. නමුත් නැවත ගෙදරට කැඳවාගෙන යන්න, දරුවන්, සහෝදර සහෝදරියන් හෝ නෑදෑයන් අකැමැති නිසා ම ඔවුන් බොහෝ දෙනකුට තවත් බොහෝ කල්, වාට්‌ටුව ම තමන් ගේ නිවහන කරගන්නට සිදු වේ වි.


කාන්තා රෝගීන්ව රඳවා තිබූ එක්‌ වාට්‌ටුවක සිටි රෝගීන් සමග අප කතා කරමින් සිටියා. තමන් ම මවාගත් ලෝකවල ජීවත් වුණ ඔවුන් ගෙන් ඇතැමෙක්‌ නිතර ම සිටියේ හැඬු කඳුළින්. නැත හොත් බලාගත් වන ම කොහේ හෝ බලාගෙන සිටීමෙන්. ඒත් තවත් සමහරු ජීවත් වුණේ ඉතා ම සතුටින්.




depression (විශාදය ) ,  schizophrenia (භීනෝන්මාදය) ,  bipolar affective disorder  ආදී විවිධ රෝගවලින් පෙළුණු ඔවුන් සමග කතා කරන විට එම රෝගවලට අනන්‍ය වූ විවිධ රෝග ලක්‌ෂණ පිළිබඳව බොහෝ දෑ ඉගෙන ගන්නට අපට හැකි වුණා. 


තමන්ට ඇත්තේ රෝගයක්‌ කියලා පිළිගන්න කොහොමත් ම සූදානම් නැති ඇතැම් රෝගීන් අතර, "මේකත් දියවැඩියාව, ප්‍රෙෂර් වගේ හැම දා ම බේත් ගන්න ඕන ලෙඩක්‌"   කියලා අපට පැවසුව රෝගීන් ද සිටියා. ඒ මොනවා වුණත්, අපට පැහැදිලි වුණ එක්‌ දෙයක්‌ තිබුණා. විවිධ හේතූන් නිසා මානසික රෝගවලට ගොදුරු වුණත් ඔවුන් සැම දෙනා ම කැමැති සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරන්න. තමන්ට නො ලැබී ගිය බොහෝ දේට ඔවුන් ආසා කළා.


"ඔයා යද්දී මට ඔයා ගේ සපත්තු දෙක දෙන්න" එක තරුණියක්‌ මගෙන් ඉල්ලා සිටියා.


"ඔයා ගෙ ඇහි බැම ලස්‌සනට හදලා. මමත් ඔය වගේ ගෙදර දී කළා" මගේ මිතුරියට තවත් කෙනෙක්‌ පැවසුවා. 


විවිධ වයස්‌වල සිටි මේ කාන්තාවන් අතර එක්‌ මැදිවියේ කාන්තාවක්‌ ද සිටියා. ඇය මමත් මගේ මිතුරියත් සමග බොහෝ කතා කළා. මානසික රෝගයක්‌ තිබුණ ද කියා සිතන්නට වත් බැරි තරමට ඇය සාමාන්‍යයි. ඇඳුම් පැළඳුම් පවා පිරිසිදුයි. නමුත් තවමත් ඈ නිවසට කැඳවාගෙන යැමට කිසිවකුත් පැමිණ නෑ.


"මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙන්න ම බැඳලා.." සාමාන්‍ය සුපුරුදු කතාවමයි. මට හිතුණා. දරුවන් විවාහ වූ පසුව මාපියන්ට නො සලකා හැරීම දැන් සාමාන්‍ය ජීවිතයේ ම කොටසක්‌ බවට පත් වෙලා ද?


"මට දැන් සනීපයි. ඒත් මාව එක්කන් යන්න ආවෙ නෑ තවම. පුළුවන්නම් ඒ දෙන්නාට කතා කරන්නකො මාව එක්කන් යන්න කියලා"


ඇය ලබා දුන් දුරකථන අංකයට අප අමතා බැලුවා. එයින් කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැහැ. ඇගේ මුවගට සුසුමක්‌ එක්‌ වුණා.


"අපි හෙටත් කතා කරලා බලමු."


ආපසු එන්නට සමු ගනිද්දී මම ඇගේ හිත හදන්නට උත්සාහ කළා. "තව මොනව හරි උදව්වක්‌ ඕන නම් කියන්න" මිතුරිය පැවසුවා.


"පුළුවන් නම් මට දත් බුරුසුවක්‌ ගෙනත් දෙන්න. මෙහෙ තිබුණ එක නැති වෙලා. එක එක්‌කෙනා අරන් මදිනවා."


ඇගේ අහිංසක ඉල්ලීම ඉටු කරන්න සිතා ගනිමින් අප ආපසු පැමිණියා. පසු දින ඇයට දත් මදින්නට බුරුසුවකුත් රැගෙනයි අප වාට්‌ටුවට ගියේ. එහෙත් ඈ පෙනෙන්නට සිටියේ නෑ. එම නිසා ඇය පිළිබඳව වාට්‌ටුවේ හෙදියක ගෙන් විමසීමට අප තීරණය කළා.


"එයා ඊයෙ හවස ගෙදර ගියා. පුතා ඇවිත් එක්‌කන් ගියා..."


එම වාට්‌ටුවේ දී ඇසූ සතුටුදායක ම පුවත බවට එය පත් කරමින් ඈ පැවසුවා..


(විදුසරට ලියූවකි)

22 comments:

  1. ඇත්තටම ඒ පුවත නම් ගොඩාක් සතු‍ටු දායකයි... එහෙම නොසලකන අය ඉන්න එක ගැන නම් දුක හිතුනා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කැමති නෑ ඒ වගේ අය තමන්ගේ නැදෑයො කියලා කියන්නවත්. එයාලාව බලන්න එන අයත් හරි අඩුයි.

      Delete
  2. අර සිරකරුවන්ද මනුශයන්ය කියනවා වගේ එකක් මේකත්..

    ReplyDelete
  3. //"ඔයා යද්දී මට ඔයා ගේ සපත්තු දෙක දෙන්න" එක තරුණියක්‌ මගෙන් ඉල්ලා සිටියා.//
    මට එතනදි ඇස්වලට කදුළු ආවා සිඳු අක්කේ..

    ගොඩක් සතුටුදායක කතාවක්නේ ඊළගට ලියා තියෙන්නෙ.ඔයාට ඒ මොහොතෙ දැනුනු සතුට මේ වචන ටික කියවන අපිටත් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් අනන්තවත් වුණා නංගි. ඒ මිනිස්සු හිතන විදිය දැක්කාම ලොකු දුකක් දැනෙනවා.

      Delete
  4. අපිත් කාලෙකට කලින් අලුත් අවුරුදු උත්සවයකට මුල්ලේරියාවේ රෝහලට ගියා.... හරි අපූරුවට එයාලා ක්‍රීඩා එහෙම කළා.

    අපේ ඉස්කෝලෙනුත් පහුගිය කාලේ මුල්ලේරියාවේ රෝහලේ නේවාසිකයොත් එක්ක වගා කටයුතු කරන ව්‍යාපෘතියක් කළා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම එහෙම කරන්න පුළුවන් මල්ලි. ඒ බෙහෙත් අරන් ගොඩක් දුරට හොඳ වුණ අය. අපේ වාර්ෂික කලා උළෙලෙ එක පාරක් මානසික වාට්‍ටුවෙ ඉන්න අයත් අංගයක් ඉදිරිපත් කළා.

      Delete
  5. අප ගොඩක් දෙනා මානසික රෝගින් දිහා බලන්නෙ වපර ඇසකින්... හැබැයි ඔවුන් බොහෝඅය ඒ තත්වයට පත් උනේ ඇයිද කියා සොයා බලන්නට උනන්දු වන්නෙ කීයෙන් කීදෙනාද? ඔවුන් දැන් සිතින තැන තමා සිටිනවා යයි මොහොතකට සිතාබැලුවහොත් ඔවුන් කොතරම් දුකක් විදිනවාද කියා තේරෙනව

    ReplyDelete
    Replies
    1. තොටියා අයියා ට මම විස්තර කරන්න ඕනා නෑනෙ. ඔයා දන්නවා ඇති මට වඩා. මට වඩා දේවල් දැකලා ඇති.

      Delete
  6. හරිම සංවේදී කතාවක්..අර අහිංසක අම්මව පුතා එක්කන් ගිය එකනම් ලොකු සතුටක්..තමන්ගේ පව්ලේ අය නැතුව ජිවත් වෙන එක දරාගන්න බැරි දුකක්..ඒ අම්ම වාසනාවන්තියක්..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු නේද? මමත් විශ්වාස කරනවා එයා හොඳින් ඇති කියලා

      Delete
  7. ඔතන කාත් කවුරුත් නැති මිනිස්සුන්ට මොකද වෙන්නේ,සමහරවිට හොද උනු අය

    ReplyDelete
    Replies
    1. හොඳ වුන සමහර අය එතනම වැඩ කරනවා ඩිලන්. උද්‍යාන පාලනය, අනිත් රෝගීන් බලා ගැනීම වගේ දේවල් කරනවා.

      Delete
  8. හ්ම්ම්.. මට නම් ඔය වගේ තැනක වැඩ කරන්න හරිම අමාරු වෙයි අක්කේ. ඔයා කොහොමද ඔය හැම දෙයක්ම ඉවසගෙන ඉන්නේ.. මිනිස්සු දුක් විඳිනවා දකිද්දි ඇස් වලින් කඳුළු ගලන්න දෙන්නේ නැතුව නතර කරගන්නේ..
    අර පුතා නම් අදහන්න වටිනවා. තමන්ගේ අම්මව එක්කගෙන ගිය නිසා.. ඒත් ඊට එහාට සිද්ධ වෙන දේ අපි දන්නේ නෑ නේද අක්කේ.. සමහරවිට.. ඒ අම්මා පුතාගෙම නිවසේ මෙහෙකාරිය වේවි. එක්කෝ සතුටින් ජීවත් වේවි..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මොකටද, මගෙ ඇස් වලට කඳුලු එනවා ලේසියෙන්ම.
      නංගි කියපු විදියෙ අවාසනාවන්ත දෙයක් වුණේ නෑ කියලා හිතන්න මම කැමතියි

      Delete
  9. බොහොමයක් අමන මිනිස්සු තමුන්ගේ දෙමාපියන් මේ විදිහට බාරදීලා අමතක කරලා යනවාලු.. ඒ විදිහට කාත් කවුරුත් නැතිව යන්න තැනක් නැති නිසා ඉන්න අයත් ඉන්නවා කියලා මම අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන තත්වයත් නැතුවාම නෙමෙයි. ඇත්තටම ගෙදර යන්න බලාගෙන ඉන්න අය වගේම ගෙදර යන්න අකමැති අයත් ඉන්නවා , මොකද ගෙදරට වඩා මෙතන තමන්ට සැප නිසා.

      Delete
  10. කිසිම දවසක මම මානසික රෝහලකට ගිහින් නෑ . ඉතින් ඒ උදවිය ගැන දුක්බර හැඟීමක් මගේ හිතේ කවදාවත් ඇතිවෙලත් නෑ .. ඔයාගේ මේ ලිපියෙන් පස්සේ මගේ සිතිවීලි වෙනස් වුණා

    ReplyDelete
    Replies
    1. සඳරු මල්ලි. මොකද මේ දවස් වල සද්ද නැත්තෙ? හැමදාම බලනවා අලුත් දෙයක් ලියවිලා ද කියලා. ඒත් නෑ. හිස් අහස හිස්.

      Delete
  11. ඔයාගේ ලිපිය ගොඩක් හොදයි.
    අපි තවත් මේ වගේ හොද ලිපි ඔයාගෙන් පලපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේක ටිකක් පරණ ලිපියක්

      Delete