Wednesday, May 9, 2012

වර්ග අඩි හතරක් පිළිබඳවම නොවේ


ඒ මීට වසර 2කට පමණ පෙර දිනයකි. වේලාව දහවල් 12 පසු වූවා පමණි. ඒ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සඳහා රෝහලේ වෙන් වූ වේලාවයි. එවකට වෛද්‍ය සිසුවියක වූ මම මිතුරෙක් ද සමග කොරිඩෝරයක් දිගේ ගමන් කරමින් සිටියෙමි. සුදු කෝට් එක සහ වෙද නලාව නොවී නම්, එහෙ මෙහෙ දිව ගිය සෙනග අතරේ මා තැලී පොඩි වී යනු නියතය. 




අපි දැඩි සත්කාර ඒකකය පසු කර යමින් සිටියෙමු. දහසකුත් එකක් නන්නාඳුනන මුහුණු අතරේ හුරු පුරුදු රුවක් විය. මමත් මගේ මිතුරාත් එකෙනෙහිම ඔහුව හඳුනා ගතිමු. 


ඒ ශේෂ්ඨ කලා කරුවෙකුගේ පුතෙකි. ඔහුද කලා කරුවෙකි. එහෙත් රූපවාහිනියේ හෝ වේදිකාවේ දකිනවාට වඩා වෙනස් ස්වභාවයක් ඔහුගේ මුහුණේ විය. රෝහල් පරිසරයට ඉතා හුරු පුරුදු දුක් බර බවක් ඔහු කෙරෙන් ප්‍රකට විය. 


මට වඩා බොහෝ සමාජ ශීලී මගේ මිතුරා ඔහු සමග කතා කළේය. 


"තාත්තා ICU එකේ නවත්තලා" මිතුරාට ඔහුගෙන් ලැබුණු පිලිතුර විය. 


"මොකක් වෙලා ද?"


"පිළිකාවක් වගේ" ඔහු පිළිතුරු දුන්නේ බිඳුනු හඬිනි. 


අපට අපගේ සවන් අදහා ගත නොහැකි විය. එවැනි ශ්‍රේෂ්ඨ කලා කරුවකු ඒ තත්වයට පත්ව ඇති බව අප දැනගත්තේ ඒ මොහොතේදීය. වේදිකාවේ , රිදී තිරයේ හා පුංචි තිරයේ දැවැන්තයෙකු වූ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඇසීමද කණගා‍ටුවක් විය. 


"අපි බලන්න යමුද?" මමත් මිතුරාත් කතිකා කර ගතිමු. "ඒත් මේ වෙලාවෙ බෑ, visiting hour එකනෙ. පස්සෙ යමු. මේ වෙලාවෙ කලබල වැඩියි." ඒ අවසානයේදී අප දෙදෙනාගේ තීරණය විය. 


එහෙත් වැඩ අධික බව නිසාම ඒ සඳහා එදින අප දෙදෙනාගෙන් කිසිවෙකුටවත් ඉඩක් නොලැබුණි. 


අවාසනාවට ඒ මහා කලාකරුවා ඊට පහුවදා අප අතරින් සමු ගෙන තිබිණි.


අවසන් මොහොතේ ඔහු වෙනුවෙන් කළ හැකි කිසිවක් නොවූවත් , අඩුම තරමේ ඔහුගේ හිත හැදීමට වදනක් හෝ පැවසීමට තිබූ අවස්ථාව මගහැරීම පිළ්බඳව විශාල වරදකාරී හැඟීමක් තවමත් මා සිතෙහි ඇත. 


"අපේ නොසැලකිලිමත් කම නිසා වටිනා දේවල් අපිට මග ඇරෙනවා" ඒ පිළිබඳව මගේ මිතුරා පැවසූවේ එවැන්නකි.


**********************


එදින අපට හමු වූයේ සුදාරක ජයසේනයන් ය.


ඔහුගේ පියා,
ගම්පෙරලියේ නන්දාට ආදරය කළ කඩවසම් පියල් ය.
දූ දරුවෝ හි දුක සැප සම සිතින් දැරූ ආදරණීය සුදු සීයා ය.
හුණුවටයේ කතාවෙන් සිංහල වේදිකා නාට්‍යයට ගෲශා හඳුන්වා දෙමින්,  බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ලංකාවට ගෙන ආ අසඩක් ය.
කුවේණියට නව අර්ථකතනයක් දුන් වේදිකා නාට්‍ය කරුවාය.
ස්වකීය වේදිකා නාට්‍ය තුළින් සුන්දර, එමෙන්ම හාස්‍යයද මතු කළ ගීත ගණනාවක් බිහි කළ ගීත රචකයාය.



ඒ ආදරණීය කලාකරුවා අන් කිසිවෙකුත් නොව  හෙන්රි ජයසේනයන් ය. 




ඔහු විසින් දායකත්වය ලබා දුන් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ප්‍රමාණය කෙතෙක් දැයි මා නොදනිමි.
මේ සටහන ඔහු පිළිබඳව චරිතාදානයක් නොවේ. ඒ සඳහා ප්‍රමාණවත් තරම් දැනුමක් ද මා සතුව නැත.




මෙය ලියන්නට සිත් වූවේ  පසුගිය දිනෙක "අද " පුවත්පතෙහි දු‍ටු ලිපියක් නිසාය. 




හෙන්රි ජයසේන යනු කුමණ අන්දමේ කලාකරුවෙක්ද යන්න ඔබ දනියි.  ඔහු සතු වූ හැකියාවන් ඔබ දනියි. ඔහු නිසා හෙළ කලා කෙතට වූ මෙහෙය ඔබ දනියි. එසේ නම් , නිගමනය ඔබේ අතේ. 


(හෙන්රි ජයසේනයන් පිළිබඳව බොහෝ තතු මෙහිදි හමු වෙවි.)




14 comments:

  1. දේශපාලුවෙකුට උනානම් මුලු කනත්තම උනත් සුද්ද කරලා දෙයි කියලා ප්‍රකට වෙබ් අඩවියක ඔය පුවතට යටින් කොමෙන්ට් එකක් වැටිලා තිබුනා..කොච්චර ඇත්තද නේද?

    ReplyDelete
  2. ලියෝ ටෝල්ස්ටෝයි කිව්ව විදියට මිනිහෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය රියන් 4යි.හෙන්රි ජයසේන වගේ කලාකරුවෙක්ට එකත් අහිමිද??:-/
    අහන්නත් දුකයි.
    ඒක අතකට පුදුමයකුත් නෑ,මහගමසේකර පිලිරුවටකටවත් ඔහුගේ ගමේ ඉඩක් නැති එකේ.මට නම් හිතෙන්නෙ මේ මිනිස්සු ලංකාවේ ඉපදුන 1 අපරාදයක් කියල.ලංකාව ඒ වගේ මිනිස්සුන්ට පොඩි වැඩියි!

    ReplyDelete
  3. සුදු සීයා පොඩි කාලේ වගෙම තාමත් ආදරේ කරන පුද්ගලයෙක් මමනම්...

    ReplyDelete
  4. එහෙම ඉඩ නොදෙනවනම් ඒක ලොකු වැරැද්දක්.. එතුමාගේ හැකියාවන්, එතුමාගෙන් උන සේවාව තේරුම් ගත්ත මිනිස්සු ඔය දේ කරාවි කියලා හිතන්න බෑ..

    ReplyDelete
  5. කලාකරුවන්ගේ වටිනාකම් තියෙන්නේ ඔවුන් ජීවත්ව සිටින තාක් පමණයි කියලයි මට හිතෙන්නේ මොකද මේ දේවල් මම ඉතාමත්ම පෞද්ගලිකව දන්න නිසා. එක අතකින් කලාකරුවන් ඉන්නෙ තවත් කුහක කලාකරුවන් ඉන්න ලෝකයක. දේශපාලනයෙන් ඇතැමුන් ඉත්තන් බවට පත්වෙනවා.
    හෙන්රිලා වගේ මිනිස්සු සදාකාලිකයි.ජනතාවගේ හදේ හමදාම නොනිදා හිඳීවි

    ReplyDelete
  6. අතිශය ශෝචනීය තත්වයක්....!! බොහෝ කලාකරුවන්ට තම ජීවිතයේ අවසන් භාගයේදී සමාජයෙන් ලැබිය යුතු සැලකිල්ල ලැබෙනවාදැයි යන්න ඇත්තෙන්ම සිතා බැලිය යුතු කරුණක්...

    ReplyDelete
  7. හෙන්රි ජයසේන!!! මෙන්න මිනිස්සු.... :(

    ReplyDelete
  8. මමත් ගොඩක් ගරු කරන කලා කරුවෙක්..ඔහුගේ චරිතාපදානය කියව්වාම කලාකරුවෙකු විඳි දුක කොයිතරම් දැයි හිතෙනවා..

    ReplyDelete
  9. හෙන්රි ජයසේන මහත්මයාගේ බාල්හ ගිලානෝ කියෙවුවාද ? එක කියවිය යුතු පොතක් සිඳු.. අපේ රටේ සැබෑ කලාකාරයින්ට ජීවතුන් අතර ඉඳිද්දී. කවදාවත් තැනක් තිබුනේ නැහැ.. වන්දි භට්ටයින්ට මිස.. මලාට පසු කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ හිරු ටීවි එකේ උත්තරීතර නම් වූ වැඩසටහන වෙන් වුනේ හෙන්රි ජයසේන මහත්මයා වෙනුවෙන්. එහිදී සුදාරක ජයසේනයන් විසින් බාල්හ ගිලානෝ පොත ගැනත් කිව්වා. ඉතිං අද ඇවිත් ගූගල් සර්ච් කරද්දි තමයි මෙතැනට වැටුනේ. ඒ හැම බ්ලොග් ලිංක් එකටම හේතු වෙලා තියෙන්නේ සරත් අයියාගේ කොමෙන්ටු සහ බ්ලොග් ලිපියක්. ඒ කියන්නේ මේ පොත ගැන ගොඩක් අය දන්නෙත් නැහැ කියන එක නේද? පොත ගැන සරත් අයියා දන්න විස්තර ටිකක් අප අතර බෙදනවා නම් හොඳයි කියලා හිතෙනවා.

      මේ ලිපිය ලියූ ඔබට බොහොම ස්තුතියි සිඳු

      Delete
  10. He is a good novelist too, his autobiography was well composed. One novel is Minisunwoo Daruwo or the other way around and his biography is Karaliyaka kathawak i think,
    He is immortal.

    ReplyDelete
  11. ඇත්තටම මම ගොඩාක් ආදරය කරන නළුවෙක්. අපේ ඉස්කෝලේ කුවේණි පෙන්නපු දවසේ මම සා පෙල නාට්‍ය හා රංග කලා ශිෂ්‍යෙයක් විදියට මම අහපු ප්‍රශ්නෙකට ඔහු දීපු පිලිතුරක් මතක් වෙනවා. "කලාව හදන්න උත්සහ කරන්න එපා එයට හැදෙන්න ඉඩ දෙන්න චූටි පුතේ"

    ReplyDelete
  12. මම බොහොම ගරු කළ චරිතයක්. නුවන්ගේ කොමෙන්ටුවට එකඟ වෙනවා!

    ReplyDelete
  13. හොද ලිපියක්.වටිනා චරිතයක්.

    ReplyDelete