Saturday, May 19, 2012

සිනහව අතරින් මගෙ නෙතට කඳුලක් උපන් දා


        පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ කියලා අහලා තිබුණට ඒක කොච්චර නම් ඇත්ත ද කියලා හොඳින් ම වැටහුණේ, රෝහල් පරිසරයත් එක්‌ක ගැටෙන්න ගත්තාට පස්‌සෙ. 


උපතේ සිට මරණය දක්‌වා ම වැළඳෙන විවිධ රෝග නිසා රෝගීන් විඳින දුක, සමහර වෙලාවට කොහොමත් ම බලාගෙන ඉන්න බැරි තරම්. තදබල විදියට අසනීප වෙලා රෝහල්ගත කරල දින කීපයකින් පස්‌සෙ සිනා මුහුණින් පිට වෙලා යන රෝගීන් දකිද්දී නිරෝගීකම තරම් වාසනාවක්‌ තවත් තියෙනව ද කියලා හිතෙන වාර අනන්තයි.


      නමුත් ස්‌වභාව ධර්මයෙන් සිදු වන අවාසනාවත්ත ම අත්වැරැදීම නිසා, සුවයක්‌ නො ලබා ම ජීවිතයෙන් සමු ගැනීමට සිදු කරන රෝග ද තිබෙනවා. හඳුනා ගැනීමට ප්‍රමාද වූ පිළිකාව ද එවැන්නක්‌. 


පිළිකා රෝගීන් ම පමණක්‌ සිටින එම වාට්‌ටුව, ජීවිතයේ අනියත බව හොඳින් ම මා හට පසක්‌ කළ වාට්‌ටුවක්‌ වුණා. කෙනෙක්‌, වරක්‌ දුටුවොත් නැවත දකින්නට නො පතන තරම් දුක්‌බර මුහුණු අපි හැමෝ ගේ ම ඇස්‌වලට කඳුළු නංවන්න සමත් වුණා. බලාපොරොත්තු සුන් වී ගිය ඇස්‌ බැල්ම පිරි දෙනෙත්, අපි දිහා බලාගෙන හිටියෙ ජීවිතය යදිනවා ගේ.




ප්‍රතිකාර (chemotherapy)  නිසා ගොඩක්‌ අය ගෙ හිස කෙස්‌ ගැලවිලා ගිහින්. පිළිකාවල අතුරු ප්‍රතිඵළයක්‌ විදියට සහ ආහාර අරුචිය නිසා, බොහෝ දෙනෙක්‌ හිටියේ වැහැරුණ සිරුරුවලින්.


ඒත් සිනහව කියන්නේ මොකද්ද කියලා අමතක වුණා වගේ හිටිය බොහෝ රෝගීන් අතර අපි හැමෝ ගෙ ම විශේෂ අවධානයට ලක්‌ වුණ පුද්ගලයෙක්‌ හිටියා. 


ඔහු ගේ පාදය දණහිසට උඩින් කපා දමා තිබුණ නිසා ඔහු අස්‌ථි පිළිකාවකට ගොදුරු වන්නට ඇතැයි අපට හිතුණා.


නමුත් අපේ අවධානය වැඩිපුර ම යොමු කරන්නට සමත් වුණේ නිතර ම දකින්නට ලැබුණ ඔහු ගේ සුහද ආකර්ෂණීය සිනහව සහ ඔහු සතු වූ කඩවසම් පෙනුම.


පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන් ම ඔහු නිදහස්‌ වී ඇති බවයි ඒ සිනහව අප හට පැවසුවේ. ජීවිතයේ වසන්තය අබියස සිටිය ඔහු ගේ පාදයක්‌ අහිමි වීම අප සැම ගේ ම සිත්වලට කණගාටුවක්‌ රැගෙන ආවත්, ඒ පාදය ඉවත් කළේ ඔහු ගේ ජීවිතය උදෙසා ම බව සිතන විට අපට උපේක්‌ෂා සහගතව ඒ දෙස බලන්නට හැකි වුණා.


"එයා නම් ඉක්‌මනින් ගෙදර යයි......" ඒ විදිහටයි අපි ඒ ගැන කතා කළේ.


ඔහු සමග කතා කරන්නට ලැබුණේ වාට්‌ටුවේ ගත කළ තුන් වැනි දිනයත් ගෙවුණාට පස්‌සේ.


වෙනත් රෝගීන් සමග සිදු කරන කතා බහකට වඩා එය සුහදව සිදු කළ කතා බහක්‌ වුණා. වයස අවුරුදු 23 දී පාදයක්‌ අහිමි වීම සැබැවින් ම දෛවෝපගත ලෙසින් අපට සිතුණේ ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩකයකු බව ඇසූ විට දියි.


ජනප්‍රිය පිරිමි පාසලක ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පන්දු යවන්නකු වූ ඔහු අසනීප වන විට ක්‍රීඩා සමාජයකට සාර්ථකව ක්‍රීඩා කරමින් සිටියා. ඔහු ගේ එක ම බලාපොරොත්තුව වුණේ ජාතික කණ්‌ඩායමට ඇතුළත් වීමයි.


නමුත් දැන් ඔහුට ඔහු ගේ මුළු ක්‍රිකට්‌ ජීවිතයෙන් ම සමුගැනීමට සිදු වන බව අපට ප්‍රත්‍යක්‌ෂ වුණා. 


එහෙත් ඔහු ගේ කතාව අපේ නෙත්වලට කඳුළක්‌ එක්‌ කරද්දීත්, ඔහු ගෙන් නම් දුක්‌බර බවක්‌ පළ වුණේ නැහැ. එතරම් උපේක්‌ෂාවකින් ධෛර්යයකින් ජීවිතය දකින්නට හැකි දරුවෙක්‌ ලබපු ඒ මාපියනුත් සැනසෙනවා ඇති කියලයි අපට හිතුණේ.


එත් ward round අතරමැද අසන්නට ලැබුණේ අප හීනෙකින් වත් නො සිතූ කතාවක්‌. 


විශේෂඥ වෛද්‍යතුමා අපට පැවසූ ආකාරයට ඔහු ගේ අස්‌ථිවල වර්ධනය වූ පිළිකාව පෙනහළුවලටත් පැතිර ගිහින්... ඒ කියන්නේ පිළිකාව සුව කරන්න බැරි තරම් දුරදිග ගිහින්..... ඔහු හිනා වෙන්නේ ඒ සියලු ම දේ හිතේ තියාගෙන.


ඒ හිනාව දකින දකින වාරයක්‌ පාසා, ඇස්‌වලට කඳුළු ආවත් ප්‍රශ්න හමුවේ දී නො හඬා සිටින්නට පුළුවන් වුණ ඔහුව දැන් මතක්‌ වෙද්දී සිතට ඇති වෙන්නෙ ඒ ගැන ගෞරවයක්‌.




(විදුසරට ලියූ ලිපියක්)

30 comments:

  1. අනේ .. ඇස්දෙකම කඳුලෙන් පිරුණා....

    ඔය කියන තත්වය උඩ මම ඒ සහෝදර‍යට ප්‍රර්ථනා කරන්නේ, උපනුපන් ජාති ජාතිවත් මෙවන් රෝගවලට ගොදුරු නොවෙන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ මල්ලිව මතක් වෙනකොට මට තවමත් දුකයි මී ගොඩයො. ඒත් ඉතින් මොකද කරන්නෙ.

      Delete
  2. Replies
    1. මෙවන් රජෙක් අඩවියට ආසිරිවාදයකි. ( අනුන්ගෙ දුකේදි පව් කියන කෙනෙක්)

      Delete
    2. පව් කිය කිය ඉන්න වෙලාවෙ ඔය රජතුමාටවත් බැරිද අර පිළිකා රෝහලට වාට්‍ටු දෙක තුනක් හදලා දෙන්න. විශ්වාස කරනවද සමහර වාට්‍ටු වල ඉන්න ලෙඩ්ඩු ඇඳවල් නැතුව දවස් ගණන් එක දිගට පු‍ටු උඩ ඉන්නවා කියලා. අපිටවත් එහෙම ඉන්න බැරි නම් කොහොමද ලෙඩ්ඩු ඉන්නෙ? අනිත් රජවරුන් ට මේවා පේන්නෙ නැති නිසයි අඩවි රජාටවත් කිවුවෙ

      Delete
  3. metastatised bone tumor!! :( කී වෙනි වසරෙද සිඳු?

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉන්නෙ අර ගන්දබ්බ අවදියෙ. ඉස්කෝලෙ ගිහින් ඉවරනෙ අපි

      Delete
  4. ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලලා සතුටු වෙන අය දිහා බලලා එයාලගෙන් අපේ ජීවිතේට ගන්න ඕන කරන දේ ගන්නවා මිසක්, පවු කියලා හිතන එක එයාලාට කරන අසාධාරණයක්.. එයාලා අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නෑ..

    අක්කා ද විදුසර ට ඒ ලිපි ටික ලිව්වේ? මම හොය හොයා හිටියේ..

    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්ම්.... මම ලු ලිවුවෙ.

      Delete
  5. ආරෝග්‍යා පරමා ලාභා !!
    ඇත්තටම හිතට දැණුනු ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත චූටි පුතා මල්ලි

      Delete
  6. ගොඩාක් දුක හිතුනා අක්කේ. :(( මමත් පිළිකා රෝහලේ රැයක් පහන් කළා මගේ යාලුවෙක් එක්ක එයාගේ අම්මා වෙනුවෙන්.. එදා තමයි මම ඒ මිනිස්සුන්ගේ දුක දැක්කේ :(

    ReplyDelete
    Replies
    1. නිකම් ගිහින් බලන්න නංගි ළමා වාට්‍ටුව දිහා. මතක් වෙනවා තවත් කතා ගොඩක්. පස්සෙ දවසක ලියන්නම්.

      Delete
  7. "රජෙකු වුනත් ගිලන්වෙලා සිටිනා දා
    හතනවාට සැකයක් නෑ
    නිරෝගි සැප හැර සැපයක්
    ලොවේ කොයින්දා...."

    ඒ ජීවිතේ ස්වභාවය වෙලාව ආවාම අපි කාටත් නොගිහින් ඉන්න බැරි ගමන යන්නම වෙනවා. මේකට බුද්ධ දේශනාවෙදි "කර්මය" කියලත් කියනවා.

    හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියෙ. ඒ වුණත් මම වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන්නෙ දුක හිතෙන එක, මේ වගේ දේවල් වලදි

      Delete
  8. ඇත්තටම දුක හිතුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..... ගොඩක් දුකයි

      Delete
  9. මේක ගැන කතා කරනකොටත් මගේ හිත කඩා වැටෙනවා,,මමත් දැක්කා ඔය වගේම පිළිකාව ඉස්සරහා හිනාවෙන් උන්නු කොල්ලෝ 2ක්,එකෙක් හින්දා නර්ස්ලා දොස්තර පවා දුක් උනා,ඒ දොස්තර කිවුවේ ජීවිතේ කවදාවත් එයා රෝගීන්ට ලං උනේ නෑ ඒත් මේ කොල්ලා ලං උනු තරමට එයාට ඈත් වෙන්න බැරි උනා කියලා.ආයේ මෙහෙම ලෙඩ්ඩුන්ට ලං වෙන්නේ නෑ කිවුවා මේක පාඩමක් කරගෙනම.. මරණය අත උඩ තියන් ඉන්න කෙනෙක්ට එහෙම එඩිතරව ඉන්න පුලුවන් කියන එක කරන්න අමාරුම වැඩක්

    ReplyDelete
    Replies
    1. දන්න අඳුනන කෙනෙක් ට මේ වගේ දෙයක් වුණාම වඩාත්ම හිතට දැනෙනවා ඩිලාන්.

      මට මේ වෙලාවෙ මතක් වෙන කෙනාවත් ඔයාට මතක් වෙනවා ඇති.ඉස්කෝලෙ යන කාලෙ අපේ ඉස්කෝලෙ අපේ වයසෙ ගොඩක් ගෑණු ළමයි කැමැත්තෙන් වශී වෙලා හිටිය ඔයාලගෙ ඉස්කෝලෙ මගෙ ඒ යාළුවා හිතුවෙවත් නැති විදියට පිළිකාවක් නිසා නැති වුනා කියලා මට තවමවත් හිතා ගන්න බෑ. එයාගෙ පුංචි දුව තාත්තාගෙ ෆොටෝ බල බල තාත්තා කියන හැටි ඔයාට ඇහුන නම්.....

      Delete
  10. උත්සව වලට විගඩම් වලට කෝටි ගණන් විනාශ කරන රටේ රෝහලක ලෙඩෙකුට ඉන්න ඇඳක් නැහැ.. ජීවිතේ ගැන ඉගෙනගන්න ඔයාගේ මේ කෙටි ලිපිය උදවු වෙනවා දුව..

    ReplyDelete
    Replies
    1. අපේ ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධම පිළිකා සම්බන්ධ වෛද්‍ය වරයෙක්ගෙ වාට්‍ටුව තමයි තද බදය වැඩිම මේ රෝහලේ. ඒ එතුමාව විශ්වාස කරල මිනිස්සු ඒ වාට්‍ටුවට ඇතුළු වෙන නිසා.

      ඒ වෛද්‍ය තුමා තමන්ගෙ වියදමෙන් හැමදාම කවුරු හරි ලෙඩෙක්ට මොනවා හරි ගෙනත් දෙනවාමයි. ඒත් මේ තරම් සල්ලි නාස්ති කරන එක දේශපාලකයෙක්ටවත් උවමනාවක් නෑ අඩුම තරමෙ අලුත් ඇඳක් දෙන්න. අවුරුද්දකින් විතර මේ රෝහල දැක්කෙ නැති වුනත් මම හිතන්නෙ ඒ තත්වය තවමත් එහෙමමයි.

      Delete
  11. පිළිකා වාට්ටුව ගැන කියලා වැඩක් නෑ.තරුණයො,තරුණියො දැක්කාම අනේ ඇයි මෙහෙම වුනේ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි නිසූ පුංචි දරුවො. මොන වැ‍රැද්දක් කළාටද එහෙම වෙන්නෙ

      Delete
  12. හිත හයිය මිනිස්සු මරණෙටත් හිනා වෙන්ම මුහුන දෙනව.

    ගන්ධබ්බ අවධියෙ කිව්වෙ HO වෙනකල් බලා ඉන්න එකටද ඊට පස්සෙ කාලෙටද?
    හපොයි! අක්ක කිව්වට එකම වයසෙද මන්ද! :D

    ReplyDelete
    Replies
    1. HO වෙන්න කලින් උඩ බලන් ඉන්න කාලෙ තමයි මම කිවුවෙ. ඈ.. තවත් ගන්දබ්බ අවදි තියෙනවද. මම හිතුවෙ ඊට පස්සෙ යකා බැඳගත්තා වගේ තමයි කියලා.
      ආයෙ එහෙම අක්කා කියලා අහු වුනොත් බලාගත්තැකි

      Delete
    2. තව ගන්දබ්බ අවදිත් තියෙනවෝ.... ඇයි සිරදඩුවම ඉවර කරල වනගත වෙන්න සුදුසු වනයක් එනතුරු ඉන්න second & Last ගන්දබ්බ කාලෙ.ඒකාලෙ ඕන නම් යකාව පොඩ්ඩක් ලිහල ඔරු පදින්න උනත් පුළුවන්.
      ~HèáléR~ මලයත් තවත් ගන්දබ්බයෙක් එහෙනම්. ඔන්න මමත් වෙල්කම් කිව්ව

      Delete
    3. අනේ ඔව්මයි. මේ ගන්දබ්බ අවදියෙ කරන්න හිටිය දේවල් ෆැකල්ටි ඉන්න කාලෙ ප්ලෑන් කළා වගේ, අනිත් ගන්දබ්බ අවදියෙ කරන්න දේවල් දැන් ඉඳන්ම ප්ලෑන් කරන්න ඕනා.

      Delete
    4. තොටියා අයිය නම් සියලු ගන්දබ්බ අවධි නිම කරල වගෙයි.
      මම 85 ජූනි වල, දැන් ඉතිං සිඳු කියන්නද අක්ක කියන්නද නංගි කියන්නද කියල තෝරල දෙන්න බලන්න. :)

      Delete
  13. ඇත්තටම මේවගේ රෝගින් එක්ක කතාකරද්දි පුදුම විදියෙ දුකක් දැනෙනව. ඇතැම්විට ඔවුන් දන්නේ නෑ ඔවුන්ට ඉතිරිව තියෙන්නේ ටික කලයි කියල.. ඒත් ඒ බව දන්න අපි ඔවුන් එක්ක කතා කරනකොට හිතට දැනෙන්නෙ මහා දුකක්

    ReplyDelete
    Replies
    1. මගෙ පළවෙනි ශල්‍ය වාට්‍ටුවෙ, මට හම්බ වුණ පළවෙනි ලෙඩාව මතක් වුණා අයියා එහෙම කියද්දි. ඇඹිලිපිටියෙ ඉඳ ආව ලෙඩෙක්. නමත් මට තවම මතකයි. pancreatic head ca එකක් තිබුණෙ.ඒත් එයාට කිසිම තේරුමක් තිබුනෙ නෑ ඒක කොයි තරම් බරපතලද කියලා. එයාට තිබුණ ලොකුම ප්‍රශ්නෙ කසන එක විතරයි. හොඳම hepato - billiary unit එක තියන, Wipples surgery එකෙන් මියයන රෝගීන් ගණන ගොඩක් අඩු අපේ ශික්ෂණ රෝහලේ වෙලත් එයා නැති වුණා.

      Delete