මෙවන් හෙදියක ලද ඇය.........


අපේ ඉන්නව නර්ස් කෙනෙක්. පොඩි කෙල්ලෙක්. නම මිනෝ. හරි කඩිසරයි. කොයි තරම් කඩිසරද කියනව නම් යමක් ගේන්න කියන්න කලින් ගේන්න දුවලා ඉවරයි. ඒ යන ගමන් වටේ තියන මල් පෝච්චි, දොරවල් , පු‍ටු වගේ මොකක් හරි එකක හැප්පෙන්නත් මිනෝ අමතක කරන්නෙ නෑ. එක්කො ඒවා තුවාල වෙනව, නැත්නම් මිනෝ තුවාල වෙනවා. කොයි තරම් කිවුවත් කලබල වෙන්න එපා කියලා, ඒක අහන්නෙ නැති නිසා ඩොක්ට එයාට ඒ ගැන කියන එක නවත්තලා ගොඩාක් කල්.


ඒ වගේම තමයි, තියන කලබලේ නිසාද කොහෙද පොඩි ටියුබ් ලයිට් ගතියකුත් තියනවා. ඉතින් හැමදාම බයිට්. 


එක දවසක් බබෙක් හම්බුණ අම්මා කෙනෙක් ආවා බේත් ගන්න. බබා හම්බ වෙලා දවස් 6යි. බඩේ කැක්කුමක් කියලා තමයි ආවෙ. ඉතින් ඩොක්ට මිනෝ ට කතා කරලා කිවුවා,
"මිනෝ, මෙයාව ඇඳට දාන්න මට බඩ බලන්න"
ඒ වෙනකොටත් අම්මාගෙ අතේ හිටියා අලුත හම්බුණු බබා. අම්මා ඒ බබාව එයාගෙ මහත්තයාගෙ අතට දීලා ඇඳට ගියා මිනෝ එක්ක.


ඉතින්, ටිකකින් ඩොක්ටට ඇහෙනවා  තිරෙන් වට වුණ ඇඳ ළඟින් එන දෙබසක්.






"නගින්නකො අම්මා ඇඳට." ඒ අපේ මිනෝ.


"බබා ට වයස කීයද?" ඒත් මිනෝ.


"දවස් 6 යි තවම" අම්මා අමාරුවෙන් උත්තර දුන්නා.


"බබා මහත්තයා වගේ නේද?" ඒ ප්‍රශ්නෙට අම්මා උත්තර දුන්නෙ නෑ. බබාගෙ මූණ අම්මාවත් ඒ තරම් හොඳට දැකලා තියෙන්න නැතුව ඇති ඒ වෙද්දි.


ඔන්න මිනෝගෙ ඊලඟ ප්‍රශ්නෙ නිකුත් වුණා. "බඩේ ඉන්න බබාට දැන් මාස කීයද?"


අම්මා නිරුත්තර වෙන්න ඇති. 


අමාරුවෙන් හිනාව නවත්ත ගත්තු ඩොක්ට එතෙන්ට ගිහින් අම්මාව පරීක්ෂා කළා , මිනෝ එයාගෙන් ගුටි කන්න කලින්. 


"මිනෝ....." අම්මයි තාත්තයි බබයි ගියාට පස්සෙ ඩොක්ට මිනෝ ට කතා කළා.


"ඇයි මැඩම්?" සුපුරුදු ගමනින් මිනෝ දුවගෙන ආවා.


"මොකද්ද අර අම්මගෙන් අන්තිමට ඇහුවෙ?"


"මොකද්ද මැඩම්?"


"මොකද්ද ඇහුවෙ බඩේ ඉන්න බබෙක් ගැන?"


"ඒකනෙ  මැඩම්, එයා මොකුත් කිවුවෙ නෑනෙ." 


ඔලුව හිල් වෙන්න ටොක්කක් අනින්න හිතුනත් ඩොක්ට ඉවසුවා.කෙල්ලගෙ හිත රිද්දන්නත් හොඳ නෑනෙ.ඊට පස්සෙ හිමීට ඇහුවා, මෙහෙම......
"අතේ හිටිය බබාට වයස දවස් 6යි නම්, බඩේ කොහොමද තව බබෙක් ඉන්නෙ? කලින් බබාව  ඩොක්ටර්ස් ලා එලියට ගන්න වෙලාවෙ ඔයා කියන බබා හැංගිලා ඉඳලද කොහෙ හරි?"




"අනේ මැඩම් එයාව මට පෙනුනෙ ප්‍රෙග්නන්ට් වගේනෙ........ "


*****************************************************


මේ තවත් මිනෝ කතාවක්.


(ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනා. මතකද අපි භෞතික විද්‍යාවට සරසුල ගැන ඉගෙන ගත්තා. ඉගෙන ගත්තෙ නැති අයටයි, ඉගෙන ගන්න ඉන්න අයටයි මම කියන්නම්. සරසුල කියන්නෙ පොඩි ලෝහ කොටස් දෙකක් එකතු කරලා හැදුව උපකරණයක්. ඒක කම්පණය කළාම නිශ්චිත සංඛ්‍යාතයකට අනුව කම්පණය වෙනවා. මේ තියෙන්නෙ වැඩි විස්තර.





http://en.wikipedia.org/wiki/Tuning_fork


කොහොම වුණත් උසස් පෙළ ඉවර වෙනවත් එක්කම මම සරසුල අමතක කළා. 


ඒත් කොහෙද , එහෙම අමතක කරන්න ලැබුණෙ නෑ.... ෆැකල්ටි ආවට පස්සෙත් සරසුලක් හම්බුණානෙ. ඒ ශ්‍රවණය පරීක්ෂා කරන පරීක්ෂණයට සරසුල අවශ්‍ය නිසා. 
පොඩි වෙනසයි තිබුණෙ, අපි "සරසුල" කියපු උපකරණෙට කැම්පස් එකේ කට්ටිය කිවුවෙ tuning fork කියලා.)


අ‍ටුවා ටීකා ඇති. ආයෙම කතාවට බහිමු.


දවසක් අවුරුදු 23ක පිරිමි ළමෙක් ආවා එක කණක් ඇහෙනවා මදි කියලා. සාමාන්‍ය පරීක්ෂා වලින් පස්සෙ ඩොක්ටට ඕනා වුණා සම්මත ශ්‍රවණ පරීක්ෂාව සිද්ධ කරන්න. 


ඉතින් ඩොක්ට මිනෝ ට කතා කළා.


"මිනෝ....... මට ටියුනින් ෆෝක් එකක් ගේන්න."


"මොකද්ද මැඩම්?"


"tuning fork මිනෝ"


"ඒ කිවුවෙ මැඩම්?"


"සරසුලක් ළමයො"


"ආ  හරි හරි...... !! ඒ මොකද්ද මැඩම්?"


"ඇයි මතක නැද්ද, මම hearing චෙක් කරන්න ඕනා වුණාම කම්පනය කරලා සද්දෙ අහන්න දෙන්නෙ"


"ආ හරි හරි මැඩම්, දන්නවා දන්නවා........." මොහොතකින් මිනෝ නොපෙනී ගියා. 


විනාඩියක් වත් යන්න කලින් ආපහු ආව මිනෝ "සරසුල" ඩොක්ට අතේ තිබ්බා. 






ඒ සරසුල ඩොක්ට එතෙක් දැකලා තිබුණ සියලුම සරසුල් වලට වඩා වෙනස්. ඒක ලස්සනයි. ලුමිනස් කහ , කොල සහ තැඹිලි පාට සරසුලක්. 


ඩොක්ට හොඳට බැලුවා. ඒකෙ හැඩෙත් වෙනස්. ලොකුයි, රවුම්...... ඒ මදිවට හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්. හෙල්ලෙනකොට පොඩි සිලිං බිලිං සද්දෙකුත් ඇහෙනවා.



කණ ඇහෙන්නෙ නෑ කියපු ලෙඩාත් බලාගෙන ඉන්නවා අඬන්න වගේ. එයා හොඳටම බය වෙලා............ කණේ අමාරුවට බේත් ගන්න ඇවිත් ,කොහොමද මාස 6, 7 බබාලාට සෙල්ලන් කරන්න දෙන ගෙජ්ජි වළල්ලකින් සෙල්ලම් කරන්න වුණාම.............!!!!!!!!


මිනෝගෙ සියලුම වැඩ හැමදාම උපේක්ෂාවෙන් දරාගන්න ඩොක්ට හිමීටම සද්ද නොනැගෙන්න ගෙජ්ජි වළල්ල පැත්තකින් තියලා ඉරේෂා ට කතා කළා. "ඉරේෂා මට ටියුනින් ෆෝක් එකක් ගේන්න"


ලෙඩා ගියාට පස්සෙ මිනෝ සුපුරුදු විදියට පටන් ගත්තා එයාගෙ ක්‍රියාව පැහැදිලි කරන්න.


"අනේ මැඩම් මට ඇහුනෙ "සලං සලං" එක ගේන්න කියනවා වගේ. "


"ඒ ගෙනාව එකට ඔයාලගෙ පැත්තෙ කියන්නෙ සලං සලං එක කියලාද?" ඩොක්ටගෙ ප්‍රශ්නෙන් මිනෝ නිහඬ වුණා.





ඩොක්ට කරන්න හැදුවෙ මේක






ඒත් තව ටිකෙන් බලන්න වෙන්නෙ මේක




ඒත් ඉතින් මෙහෙම පොඩි ළමයෙක්ව නෙමේ. අවුරුදු 23ක කොල්ලෙක්ව





*****************************************************


තව දවසක පුංචි ළමෙක් ආවා උණට බේත් ගන්න. වයසට වඩා උසින් මහතින් වැඩිලා හිටිය ළමයා ට පැරසිටමෝල් දෙන්න ඕනා ප්‍රමාණය ගැන ඩොක්ටට ලොකු අදහසක් ආවෙ නෑ. ඒ නිසා ඩොක්ට තීරණය කළා එයාගෙ බරට අනුව පැරසිටමෝල් දෙන්න.


"මිනෝ...........  මේ බබාව එක්කන් ගිහින් බර බලාගෙන එන්න"


"එන්න බබා....... " මිනෝ ආදරෙන් ඒ දරුවා ව එක්කන් ගියා. 


ටිකකින් ආපහු ආව මිනෝ දුන්නෙ අපූරු උත්තරයක්. "මොකුත් ප්‍රශ්නයක් නෑ මැඩම්, කොහෙවත් රිදෙන්නෙ එහෙම නෑලු"


"මොකක්?"


"ඔව් මැඩම්, උණ විතරලු තියෙන්නෙ, "


"මම කිවුව දේ ඇහුණද?"


"ඔව් මැඩම්"


"එහෙනම්, බර කීයද මෙයාගෙ?"


"ආනේ මැඩම් මම හිතුවෙ 'බඩ' බලාගෙන එන්න කිවුවා කියලා. 
එන්න බබා....... අපි ගිහින් බරත් බලාගෙන එමු"


(අපේ මිනෝගෙ වැඩ මේ වගේ වුණාට ඇත්තමයි මිනෝ හිත හොඳ ළමෙක්. කවදාවත් කිසිම දේකට තරහ නොයන , ලෙඩ්ඩුන්ට ගොඩක් කරුණාවෙන් සලකන කෙනෙක්)

Comments

  1. බොහෝම රසවත් කතා ටික... හැබැයි ඔහොම ළමයි හරි හොඳයි... අර මලාට ලෙඩෙක්ව ගණන් ගන්නේ නැති ඇටුවන් බැහැපු ඔරවන මිසීල එක්ක බලන කොට...

    කවද හරි මිනෝව බැන්ද හාදය ගැනත් කියන්න තියෙන්නේ මෙවන් ළඳක් ලද ඔහු???? කියලා තමා...

    ReplyDelete
  2. කන් පරීක්ෂාව ගැන නම් දැන ගත්තෙ අද..කොහොම හරි මිනෝට පින් සිද්ධ වෙන්න එහෙම එකක් හරි දැනගත්තනෙ...
    ඔය වගේ මිස් කලබල ලා හැම තැනම ඉන්නවා අප්පා..

    ReplyDelete
  3. හිනා උනා හොදටම.මාත් හිටපු ගමන මිනෝ වගේ පිස්සු නටනවා.ඊයේ අක්කගේ බ්ලොග් එකේ ඉස්පිරිතාල විස්තර ඔක්කොම වගේ කියෙව්වා.කමෙන්ට් නොකර යන එක හරි නෑ නේ.හුගක් දේවල් ඉගෙන ගත්ත අක්කගේ බ්ලොග් ඒකෙන

    ReplyDelete
  4. හය්යෝ මිනෝ.....

    හිනාවෙලා ඉල ඇදුනහම ගන්න බෙහෙතකුත් කිව්වනම් හොඳ නැද්ද.....

    මරු අෆ්ෆා හොඳට හිනා උනා

    ReplyDelete
  5. අද තමයි මම මෙ පැත්තට ආවේ.දෙක තූනක් බැලුවා ලස්සන බ්ලොග් එකක්.ඉඩක් ලැබෙන ව්දිහට ඔක්කොම බලන්නං. ඔයාගේ යාළුවා හොදයි පාන් කාලක් කන්ඩ මූනේ ලේ නැති මීසීලට වඩා.

    ReplyDelete
  6. මමත් මේ ඊයේ පෙරේදා මගේ කණේ අමාරුවක් හදාගෙන ඒකට බෙහෙත්ගන්න ගිහින් යෝද දුකක් වින්දා . ආයේ නම් කණ බීරි වුණත් ඒ ඉස්පිරිතාලෙට නම් යන්න බෑ කියලා අන්තිමේට හිත හදාගත්තා . ඔයාගේ කතාව දැක්කම ඒ සේරම අමතක වෙලා හිනා ගියා ගමකට

    ReplyDelete
  7. හිනා වෙලා පණ ගියා! නියම වැඩ!

    ReplyDelete
  8. හම්මෝ මගේ කනකුත් මොකක්දෝ වෙලා ඉන්නේ දැන්නං බය හිතෙනවා අප්පා බෙහෙත් ගන්න යන්න මොනා දායිද දන්නැ.... විදින්න ඕනේ එක නොවිද වෙන මොකක් හරි විදලා අනේ මට ඇහුනේ වෙන දෙයක්නේ කිව්වොත් මරන්නයැ...මටත් ඔහොම නර්ස්ලා නිසා වෙච්චි සිද්ධි දෙකක් තියෙනවා දැන් හිතුනා ලියන්නොන කියලා...

    ReplyDelete
  9. කතා ටික හොඳටම රස වින්දා. පහුගිය කතාත් ගොඩ හරියක්ම කියෙව්වා. ආපහු පුළුවන් වෙලාවක ඇවිත් ඉතුරු ටික කියවන්නම්.

    දොස්තර නෝනා බ්ලොග් එක පටන් ගත්ත දවස්වලා ඇවිත් ගියා කියලා මතකයේ තිබ්බට ඊට පස්සෙ ඔක්කොම පෝට් වගේ මට මග ඇරිලා. මාරයා මූණු පොතේ දාපු ලින්ක් එක දිගේ තමයි අද නම් ආවෙ.

    ReplyDelete
  10. මරු කතා ටික.. පළවෙනි එකට මට තාමත් හිනා..

    ReplyDelete
  11. හිනා යන කතාවක් ඔයා ගානට පෝස්ට් දෙනවා අතරින් පතර හිනා යන ඒවත් එක්ක

    ReplyDelete
  12. ඉස්පිරිතාලේ මොකක්ද කියනවද? පැත්ත පලාතේ නොයන්න...

    වෛද්‍ය ක්ශේත්‍රයේ බ්ලොග් කලාව සීග්‍රයෙන් ජනප්‍රිය වෙනවා වගේ පේනවා....

    ReplyDelete
  13. අඩෙ අප්පේ.... මාර න්ර්ස් කෙනෙක් නොවැ...

    හිනා කාලා මැරුනා.මොනවා වුනත් ලෙඩ්ඩුත් හිනා වෙලා සනීප වෙනවා ඇති..

    ReplyDelete
  14. මගේ බිරිඳ හෙදියක් හින්ද මට කියවද්දී එයාවත් මතක් උනා. කොහොමද මිනෝ වැරදි බෙහෙතක්වත් දුන්නොත්? අනික මෙහෙම පිස්සු කෙල්ලක් කොහොමද NTS පාස් වෙලා ඉස්පිරිතාලේ අවේ?

    ReplyDelete
  15. අම්මෝ.. විහිලු නෙවෙයි.. මෙයා වැරදි කෙනාට වැරදි බෙහෙත දුන්න දාට තමයි ටියුබ් ලයිට් නිවෙන්නේ !

    ReplyDelete
  16. ඇත්තටම ඔයවගේ හෙදියක් ඉන්න වාට්‍ටුවත් ලස්සන ඇති. මොකද මටනම් මගේ ජීවිතේ හම්බ වෙච්ච nursala හරි කරදර කාරයෝ ටිකක් සමහර විට වට්‍ටුවට එන්න හිතෙන්නේ නැ. විශේෂයෙන් හම්බ වෙච්ච ප්‍රසව වට්‍ටුවේ. ඒ අතර අපිට ගොඩක් උදවි කල අයත් හිටියා ඒ කියන්න්නේ ඒ අතර මහ ‍රැ නිදිමතේ එහාට මෙහාට පෙරලි පෙරලි ඉද්දි. අපේ හොද යාලුවො වගේ ඒවගෙම අපට අම්මල වගේ තේ එකක් හදලා දීලා සලකපු අයත් නොහිටියා නෙමේ. කොහොම උනත් සෞඛ්යය හොද මට්ටමක එන්න හැමොම සහයෝගයෙන් වැඩ කරන එක වටිනවා.

    ReplyDelete
  17. මරු අන්තිම කතාවටනම් හිනා මැරෙන්න :පි

    ReplyDelete
  18. හප්පේ මට හිනා වෙලාම හක්ක රිදෙනව... කොහෙමද අනේ මට ඔයාව මග ඇරිල තියෙන්නෙ??

    ReplyDelete
  19. හෆොයි... මම මේ දොස්තර නෝනට දෙන්න තෑග්ගක් කල්පනා කොලේ .. වෙන මොකකටවත් නෙවි මේ වගේ මිසී කෙනෙක් එක්ක වැඩ කොරනවාට.. හැබැයි මොනා වුනත් දවසම කිසි කම්මැලිකමක් නම් නැතිව ඇති. මගේ මූඩ් එක හොදටම අවුල් ගිය වෙලාවක කියවපු මේ රසකතා ටික බොහොමත් රස වින්දා..මූඩ් එක ටිකක් දුරට ෆි‍ක්ස් වුනා. ප්‍රශ්නයන් කීපයකට මැදිවුන නිසා ගොඩදවසකින් නෙට් එන්න බැරිවෙලා හිටියෙ

    ReplyDelete
  20. අදනම් හිනා වුනා ඇතිවෙන්න.
    සිඳු දැක්කද හුඟ දෙනෙක් ලියල තියෙන කමෙන්ට් එක. "මේ නර්ස්ල කොච්චර හොඳද මූනෙ ලේ කඳුලක් නැති, කඩාපනින යක්ෂනියන්ට වඩා"
    සිඳු දන්නවද මම උගන්නන අයගෙන් වැඩි හරිය ඔය වගෙ තමයි. හලේ, ඉතිං උගන්නනවා. මොනවා කරන්නද?

    henryblogwalker the Dude

    ReplyDelete
  21. මෙවන් හෙදියක ලද හොස්පිටල් එක නිවුනා වේ!
    henryblogwalker the Dude

    ReplyDelete
  22. මෙවන් හෙදියක ලද ඇය මා විණි නම්..... මේ වන විටත් සිනා සී හුස්ම හිරවී මියැදී අවසානය.....

    ReplyDelete
  23. මෙන්න නර්ස්ලා ලෙඩේ හොද නොවුනත් හිනා වෙලා මැරෙන්න පුළුවන්.....

    ReplyDelete

Post a Comment