ස්වර්ණ කිරණක පටලවාලා දිවියෙ තානම හඬ නගන්නට
ලහිරු සැරසෙත මෙදිය තලයම පැහැදුනා තත් සර අසන්නට
සුසර කර තැබු මුව පොඩිති සියොතුන් තදින් මේ වසාගන්නට
කරුණු කිමදැයි සිත් වුණා විමසමින් කාරණ සොයා යන්නට
කවුළු දොරගුළු මුදාගෙන සුමිහිරි වු සංගීතයක් ඇසුණා
සිතාරයෙ තත් අතර සැඟවුණ මීරි තත් සර හෙමින් හැඬුණා
හීන් පැතුමක් හද රුවාගෙන සුසර කරවන නඳින් වීණා
ලොවට හෙමිහිට කියයි රහසක් ඇදුරු තුම ගීතයක අවුණා
එකුන් විසිවසකුත් ගෙවෙයි හෙට දිනට ඔහු සංගීත දිවියේ
බෙදා දෙනුවස් අනාගත පරපුරට අදිටන පුබුදු කෙරුයේ
ස රි ග ප ම ග රි දැනුම වපුරා හරින්නට නොවැ පැතුම් පැතුයේ
අපේ ඇදුරිඳු සිතාරය ගෙන පැතුම් පිපි මල් දාම තැනුයේ
ගතෙහි දැවටුණ සුදෝ සුදුවන් කමිස කොන දණහිසෙහි ගැටුණා
කුළුණු බර වූ නෙතින් මියුරැති සප්ත ස්වරයක පහස පෙණුනා
පුළුල් උර තල සිතාරයෙ මුදු පහස විඳිමින් රහසෙ සැළුණා
ගීතයේ සිප් කිරි පොවන්නට ඇදුරුතුම මහ මගට හැරුණා
කුඩා කුටියක සිප් හලක් තුළ මියුරු සංගීතය විඳින්නට
සැදී පැහැදී සිටින දරු කැළ පිනැති සරසවි අසිරි ගන්නට
දුටුව ඇදුරිඳු හදෙහි විකසිත සොඳුරු සොම්නස් පැතුම් ගොන්නට
අනාගත ලෝ පතල විසරද පරපුරක් හෙට බිහි කරන්නට
"දෙසේ බස සම අපේ උරුමය තවත් වෙද මේ දෙයින් එපිටට
වැළඳ ගන්නට පමා වනු ඇයි සිහල සංගීතයේ ඇසුරට"
සප්තස්වරයේ සුවඳ පතුරන මුවින් නැග එන වදන් පෙළකට
සිසුහි නෙත් කන් දල්වවා සිත් යොමා ඇත ඇඳුරිඳුගෙ වදනට
කුලුණු බර වූ වදන් අවුනා නගන ගී හඬ සිතාරයෙහී
තත් අතර පැටලෙනා දෑඟිලි හසුරුවන්නට ඔවා හිනැහී
දෙවන ඇදුරිඳු වදන් පෙළ විඳ් සැනින් ඔහුගේ සිසුහු සැනහී
දිරි වඩා තව ශිල්ප සැදුමට ඉටාගත්තෝ හොඳින් සැරහී
සාරි සරි ගරි ගම පමා ගරි ස්වර එකින් එක අවුනවන්නේ
කෝඩු අතැඟිලි මියුරු තත් තුළ කිමිදිලා මුදු හඬ නගන්නේ
ගීත පිටුවක අයනු ආයනු කියන සිසු කැළ දෙස බලන්නේ
ප්‍රීතියෙන් ප්‍රමුදිතව ඔහු සිත සැලෙනු කිම නෑ සැක දැනෙන්නේ
දිනත් සති මාසයට එක් වී ගෙවුණි කාලය තවත් දිගු වී
දස්කමින් විස් කම් මවන්නෝ සිසුහු ඇදුරිඳු සතුට රජ වී
"එළි දකින්නට දෙමාපිය පිරිවරම ඉදිරියෙ ස්වරත් හැඬ වී
සැරසෙමුද" අරුමැති බසක් දරුවනගෙ මුවගින් දිනක පිට වී
හැඩ වුණා සංගීත කුටියෙ නාද වා කවුළුවට ඉහලින්
සුසර වූවා වීණාව ඇදුරිඳු සිසුන් දෑතින්
ලහි ලහියෙ සැරසෙනා එළි දැකුමකට දස්කම් සිතෙහි සතොසින්
එළඹෙනා සත් වැනි දිනට වැඩුමට සිසුන් මේ පසන් දොරගින්
එළඹුනා නව දිනක් දියදම පුබුදු කරමින් සිතුම් කැටි කොට
ඇදුරු හනිකට පාද තැබුවා සිසුන් කළ එළි මගුල් මඩුවට
අරුමයකි කිසිවෙකුත් නැත ආසිරි පතන්නට ගුරුතුමන් හට
ගැටලු ගොන්නක පටලැවිනි ඔහු අවදි වුණි නුපුරුදු වු හඬකට
අපරදිග සංගීත නාදෙක ඔහු සවන් පත් හනික ගැටුණා
ගීත තැටියක් සවන් පාරා "අලුත් පන්තියෙ" අරුත සැදුණා
හිස යොමා මොහොතකට බැලු සඳ තම නුවන් අදහනුද සිතුණා
ඔහුගෙ සිසු කැළ තැටියෙ නාදයෙ සැකිලි රූ වන අයුරු පෙනුණා
නෙතින් ගිලිහුණ කඳුලු බිඳුවක් පයෙහි ධූවිලි සිප ගනිද්දී
හදෙහි සුන් තත් මතින් නැග ආ බොල් හඬින් සිත සසල වද්දී
මළානික හිරු රැස් පොදත් වත කමල වැද මුකුළිත කරද්දී
ගැඹුරු සුසුමක් දොරට වැඩුණා අඳුරු කුටියට පා නගද්දී
පින්තූරය ඉතාලි ජාතික Allessandro Andreuccetti ශිල්පියාගේ "Sitar Player" සිතුවම
http://aandreuccetti.altervista.org/watercolours/acquerelliwatercolors/suonatoredisitar/
ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteගුත්තිල කාව්‍යය මතක් උනා....
නියම කවියක්නේ අදමයි මේ පැත්තේ ආවේ අපේ පැත්තෙත් ඇවිල්ල යන්න
ReplyDeleteලස්සනයි...
ReplyDeleteනියමයි...
මාරයි...
ආසයි....
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
තමන්ගෙන් ශිල්ප ශාස්ත්‍රය උගත් ගෝලයො පිස්සු කෙලිනකොට ඒ ගුරුවරුන්ට මොනා හිතෙන්න ඇතිද?? අර එක්කෙනෙක් කිව්වත් වගේ ගුත්තිලේ මතක් වුනා...
ReplyDeleteචිත්රේ දිහා බලාගෙන ඉද්දිද කවිය ලියවුනේ ???
ReplyDeleteපුදුම ලස්සනක් අක්කේ මේ කවි කතාවේ නම් තියෙන්නේ.. කියන්න වචන නෑ.
ReplyDeleteඇත්තටම ගොඩක් ලස්සනයි...
ReplyDeleteකවි පෙළ ලස්සනය් අක්කේ ..
ReplyDeleteසංගිතවේදියා සිය ගෝල පිරිසට පෙරදිග සංගිතයේ බිහි දොර පෙන්වද්දි ඒ දරු පිරිස අපරදිග සංගිතයේ රස සොයා යාම ගුරු සිත රිදෙන්නට කාරණාවකි.
ReplyDeleteකවියෙන් කියූවත් මේ අප අත්විඳින සමාජය තුල සැබැ ප්‍රතිරූපයම තමයි.
කාලයකින් හිතට දැනෙන්න කියවන්න ලැබුන නිර්මාණයක්. අපූරුයි සිඳූ! ඔයා නම් හැබෑවටම දක්ශ කිවිදියක්!
ReplyDeleteසිඳූට නිදහස් වෙලාවක පහල තියන ලින්කුවේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න.
http://www.gimanhalablog.blogspot.com
(ගිමන්හල බලාකියාගෙන ඉන්න ගිමන් නිවන්නා මමම තමයි හොඳේ :))