Friday, June 15, 2012

තැලිසීමියාවේ අතුරු කතාවක් සහ දොඩම් ගෙඩි දෙකක්

වාට්‌ටුව පුරා ම රෝගී දරුවන් උතුරා ගොස්‌ තිබිණි. ඩෙංගු රෝගය දිවයින පුරා ම පැතිරී ගොස්‌ තිබූ අතර එක ඇඳක්‌ පුංචි පැටවුන් දෙදෙනකුට බැගින් බෙදා දී තිබිණි. තනි ව සිටියා නම් සිටියේ තරමක්‌ වැඩුණු දරුවන් පමණකි.


තරමක විඩාබර පැය කිහිපයකින් පසුව මා අසල වූ ඇඳකට හේත්තු වුණේ කකියන දෙපාවලට මඳ විවේකයක්‌ දෙන්නට ය. 


"හේත්තු වෙන්න එපා මගෙ ඇඳට......"


විධානාත්මක ස්‌වරයක්‌ නිකුත් විය. එයින් මා තරමක්‌ තිගැස්‌සුණ ද ඒ නිසැකව ම ළමා කටහඬකි. එසේ හෙයින් කිසිදු චකිතයකින් තොරව මා ආපසු හැරී බැලුවේ මඳ සිනහවකිනි. 


අවුරුදු 8ක්‌ පමණ වයසැති පිරිමි ළමයෙක්‌ නොපහන් බැල්මකින් මා දෙස බලා සිටියේ ය. 


"අනේ.......මේ මොකද තරහ ගිහින්?" මම මෘදුව විමසුවෙමි. 


"හේත්තු වෙන්න එපා කියලා නේ ද කිව්වෙ?..." ඔහුගේ ස්‌වරය දැඩි වන්නට දැඩි වන්නට මගේ සිනහව පුළුල් විය. 


"හරි හරි.......එහෙනම් ඔන්න මම ඈත් වුණා. මොකද ඔය තරම් තරහ ගන්නේ? ගෙදරින් ද ඇඳ අරන් ආවෙ?" 


විහිළු ස්‌වරයකින් මම පැවසුවෙමි. එහෙත් පිළිතුරක්‌ දෙනවා වෙනුවට සිදු වූයේ ඔහු ගේ මුහුණේ තරහ ස්‌වරූපය තවත් වැඩි වීම ය. 


ඇත්තට ම තරහ ගිහින් වගේ........ඒත් ඇයි? සිතට ඇතුළු වූයේ විශාල ගැටලුවකි. 


ඒ සමග ම ඔහු ගේ මුහුණෙහි වූ ස්‌වභාවය මට තවත් යමක්‌ සිහිපත් කළේ ය. ඉදිරියට නෙරා ගිය නළල හා සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිටතට නෙරා ගිය දෙකම්මුල්වලින් තැලසීමියා රෝග ලක්‌ෂණයක්‌ ඔහු ගෙන් පෙන්නුම් කළේ ය. 


ශ්‍රී ලංකාවේ පවතින බරපතල සෞඛ්‍ය ගැටලුවක්‌ වන තැලසීමියා රෝගයේ තවත් එක්‌ ගොදුරක්‌ ද මේ? 


එහෙත් වැඩිදුර සිතා බැලීමට පෙරාතුව අපේ කණ්‌ඩායමේ මිතුරියක්‌ මා හට හිසින් සන් කළා ය..


"ඇයි?..." අසමින් මම ඈ අසලට ගියෙමි.


"ඒ මගේ patient" ඇය පිළිතුරු දුන්නා ය. 


"ආ....එයා ඔයා ගෙ ද? මම නිකම් ඇඳට හේත්තු වුණා. මට බැන්න නෙ එයා ඒකට."


"ඒක තමයි මම කියන්න හැදුවෙ. යන්න එපා ළඟට ඔයාට මොනව අහගන්න වෙයි ද දන්නෙ නෑ. මමත් හොඳට අහගත්තා......"


"හොඳට අහගත්තා? ඒ මොනවද...?"


"නරක වචන කතා කරන්නෙ ඒ ළමයා. මට නම් කියන්න බෑ. අහන්න එපා මොනව ද ඒ වචන කියලා........"


එහෙත් එම "නරක වචන" මොනවා දැයි දැන ගැනීමට වඩා මට අවශ්‍ය වූයේ එම දරුවා ගේ රෝග ඉතිහාසය කුමක්‌ දැයි දැන ගැනීමට ය. 


"එයාට මොකද්ද තියන අසනීපෙ? ඇයි එහෙම නරක වචන කියන්නෙ? කොහොම ද ඒවා ඉගෙනගෙන තියෙන්නෙ?" 


"එයාට තැලසීමියා මේජර් (මහා තැලිසීමියාව)


ඇගේ පිළිතුර මා හට සතුටක්‌ මෙන්ම ශෝකයක්‌ ද ගෙන දීමට හේතු විය. 


සතුටට හේතුව නම් මගේ නිගමනය නිවැරැදි වීම ය. 


ශෝකයට හේතුව නම් තැලසීමියා රෝගී දරුවන් ගේ ඉරණම බොහෝ විට විසඳෙන අන්දම මා දැන සිටීම ය.


ඇටමිදුලුවල සිදු වන අසීමිත සෛල බෙදීම නිසා මේ රෝගීන් ගේ අස්‌ථි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වේ. ඉදිරියට නෙරා ගිය නළල හා දෙකම්මුල්වලට හේතුව වන්නේ මුහුණේ අස්‌ථිවල සිදු වන එම විශාල වීමයි. ඊට අමතරව ඔවුන් ගේ අක්‌මාව හා ප්ලීහාව ද අසාමාන්‍ය විශාල වීමක්‌ පෙන්වයි. ඊට හේතුව වන්නේ තැලසීමියා රෝගීන් තුළ සිදු වන අසීමිතව රුධිර සෛල විනාශ වීමේ ක්‍රියාවලියයි. 


තැලසීමියා රෝගීන් සඳහා සිදු කරන ප්‍රතිකර්ම අතර නිරන්තර රුධිර පාරවිලයනය ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනියි. එහෙත් ඉන් ඇති වන අහිතකර ප්‍රතිඵලයක්‌ වන්නේ රුධිරයේ ඇති යකඩ විශාල වශයෙන් දේහයේ අවයවවල තැන්පත් වී එම අවයවවල ක්‍රියාවන්ට බාධා කිරීම ය. තැලසීමියා රෝගී දරුවන් ගේ මරණය සිදු වීමට ප්‍රධානතම හේතුව වන්නේ මේ අයුරින් ඔවුන් ගේ හෘදයේ යකඩ තැන්පත් වී හෘදය අකර්මණ්‍ය තත්ත්වයට පත් වීම ය. එම නිසා මහා තැලිසීමියාව රෝගීහු අවුරුදු 20ක්‌ 30ක්‌ වැනි කෙටි කාලසීමාවක්‌ තුළ මිය යැමේ අවදානමකට ලක්‌ වෙති. 



(මහා තැලසීමියාවෙන් පෙළෙන ,නිසි ලෙස රුධිර පාරවිලනයට ලක් නොවූ දරුවෙක්)

"අනේ පවු තැලසීමියා ද? ඔයා එයා ගෙ history එක ගත්ත ද? පවුලෙ විස්‌තර එහෙම ගත්ත ද? 


ඒ වගේ නරක වචන පාවිච්චි කරන්න හේතුවක්‌ තියෙන්න ඕන නෙ. අනිත් එක අම්මයි තාත්තයි නෑදැයො ද කියල ඇහුව ද... තැලසීමියා මේජර් නිසා?


"එයා ඉන්නෙ ළමා නිවාසෙක" මිතුරිය ගේ පළමු වාක්‍යයෙන් ම මගේ සිත දුකින් පිරී ගියේ ය.


"තාත්තා නෑ. හිරේ ලු. අම්මත් වෙන කොහෙ ද වැඩ කරන්නෙ. ඒ අම්මත් පොඩි කාලෙ ඉඳලා තියෙන්නෙ ළමා නිවාසෙක"


"පවු නේ ඒ ළමයා. ඉතින් එයා ඉස්‌කෝලෙ යන්නෙ නැද්ද?"


"ඒක නේ ප්‍රශ්නේ. එයාට ඉස්‌කෝලයක්‌ නැති නිසා අපේ සර් (වාට්‌ටුවේ විශේෂඥ වෛද්‍යතුමා) ඉස්‌කෝලෙකට දාලා දීල. ඒත් මාසෙකට විතර පස්‌සෙ ඒ ඉස්‌කෝලෙන් මෙයාව අස්‌ කරලා නරක වචන කියනවා කියලා." 


නොමඟ ගිය දරුවකු නිවැරැදි මාවතකට ගන්නවා වෙනුවට ඔහු එම මාවතෙහි ම යැමට ඉඩ හරින මෙවන් පාසල් ලංකාවේ තිබෙනවා ද? අදහා ගැනීමට වත් නොහැකි ය. එම දරුවා සමග යළි කතා කිරීමට මා සිතෙහි දැඩි අවශ්‍යතාවක්‌ පැනනැඟුණ ද ඒ සඳහා මට ඉඩක්‌ නො වූයේ කාලය හරස්‌ වූ බැවිනි. 


*********************************************
එහෙත් පසු දින උදෑසන ම යළිත් මගේ මතකය අවදි විය. අලුතින් වාට්‌ටුවට පැමිණි දරුවන් සොයමින් යන මගේ නෙත ගැටුණේ තරමක්‌ පුදුම දනවන දසුනකි. 


වාට්‌ටුවේ කොනක වන බංකුවක මගේ මිතුරිය පුෂ්පා වාඩි වී සිටියා ය. ඇය අසල ම වාඩි වී සිටියේ නරක වචන පවසනවා යෑයි අනෙකුත් වෛද්‍ය සිසුන් අතර නමක්‌ දරා සිටි කුඩා දරුවා ය. ඉතා අහිංසක අයුරින් ඔහු පුෂ්පා සමග දොඩමලු වී සිටියේ ය. ඔවුන් ගේ සතුටු සාමීචියට බාධා කිරීමට මගේ සිත කෙසේ වත් ඉඩ දුන්නේ නැත.
*********************************************
එදිනද පෙරවරු 10 ට පමණ අපි සුපුරුදු පරිදි වාට්‍ටුවෙන් අතුරුදහන් වී ආපන ශාලාවෙන් මතු වීමු. 


"කොහොම ද ඔයා අර මල්ලිව fit කරගත්තෙ? මාව ඊයේ එළෙව්ව නෙ.........." තේ කෝප්පයක්‌ තොල ගාන අතරතුර ලද මඳ ඉසිඹුවක දී මම පුෂ්පා ගෙන් විමසුවෙමි.


"විශේෂ දෙයක්‌ කළේ නැහැ. මට හිතුණා එයා එච්චර වස කවුරුත් එයාව බලන්න එන්නෙ නැති නිසා කියලා. මම දැක්‌කා ඊයෙ අනිත් ළමයින්ව අම්මලා හුරතල් කරනවා, කවනවා එහෙම මෙයා බලාගෙන හිටිය විදිහ. ළමා නිවාසෙ දී මෙයා තනිය ම ලු බෙහෙත් බොන්නෙත් වෙලාව මතක තියාගෙන. මම අද එද්දී එයාට පොඩි දොඩම් ගෙඩි දෙකක්‌ ගෙනත් දුන්නා.......එච්චරයි."


මට සිතීමට යමක්‌ ඉතිරි කරමින් ඇය පැවසුවාය.


(විදුසරට ලියූ කතාවකි)



මේ වීඩියෝව බලන්න. 
බදුල්ල මහ රෝහලේ තැලිසීමියා ඒකකය මගින් සම්පාදනය කළ එකක්. 






49 comments:

  1. අදත් දුක බෙදල තියෙන්නේ...

    සිදූ ලංකාවෙ තැලසීමියා වලට කාඩ් එකක් හඳුන්වල දෙන්න ගියා නේද.. මොනව උනාද කියලනම් දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකට තියනවා තැලිසීමියා පොරොන්දම කියලා. වෙලාවක් නෑ. මම දාන්නම් POST එකක්

      Delete
    2. ආ... මට නම් හම්බුනා කොලපාට කාඩ් එකක්... :D
      මට ඒ ළමය ගැන හරිම දුකයි...

      Delete
    3. ඕනම කෙනෙක්ට තමන් තැලිසීමියා වාහකයෙක්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් මීයෝ ඕනාම වෙලාවක රුධිර පරීක්ෂාව්ක් කරගැනීමෙන්. මොන කාඩ් හඳුන්වා දුන්නත් තම්න්ගෙ උනන්දුවක් නැත්නම් වැඩක් නෑ. ඒත් මේ ක්‍රමේ සාර්ථකව කරන්න පුළුවන් නම් තැලිසීමියා රෝගීන් වෙනුවෙන් රජය අවුරුද්දකට වියදම් කරන මුදලෙන් විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුලුවන්.

      ඔන්න ළමයි දැන් කාටවත් තාරාව බඳින්න නම් බය වෙන්න දෙයක් නෑ.

      Delete
  2. ආදරය සහ කරුණාවට කළ හැකි දේ බොහෝයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්. ඒක ඇත්තම ඇත්ත. වචන සීයකින් කරන දෙයක් ආදරේ කරුණාව බින්දුවකින්

      Delete
  3. තැලිසීමියාව ගැනත් පෝස්ට් එකක් කලොත් කොහොමද සිදූ... ලංකාවේ මේ ගැන ගොඩක් කතා වෙනවා දැක්ක නිසා පෝස්ට් එකක් කලොත් හොදයි..
    හසිත කිවුවා වගේ ආදරයටයි කරුණාවටයි කරන්න බැරි දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා මගෙ පාලුවට ගිහින් තියන ලෙඩක් ගැන බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් හොඳයි කියලා මේ ගැන. ඒක නෙමේ, දැන් ඩිලන් බිසි වෙලාද?

      Delete
  4. සිදු..තැලිසීමියා බී අන්තුරුදායක නැහැ..ඒත් විවාහ වෙද්දි අනික් කෙනාට නොතිබිය යුතුයි..මම හරි නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ෂොඩූ...... මහා තැලිසීමියාව කොහොමත් අනතුරුදායකයි. විවාහයකට ඔවුන් යනවා නම් අනිවාර්යෙන් සියලුම දරුවන් තැර්ලිසීමියා වාහකයන් වෙනවා. (99%ක්ම තැලිසීමියා රෝගීන් විවාහ වෙන්නෙ නෑ. ඒත් මට මතකයි මීට අවුරුදු 2කට විතර කලෛන් කෙනෙක් විවාහ වුණා. ඒ ගැන කතා කරන්න මම කැමති නෑ විවාහය මානව අයිතිවාසිකමක් නිසා)
      නමුත් තැලිසීමියා වාහකයින් ( තැලිසීමියා ට්‍රේට්ස්) රෝගීන් නොවේ. එහෙම කෙනෙක් නිරෝගී පුද්ගලයෙකු සමග විවාහ වූ විට උපදින දරුවන් නිරෝගී හෝ වාහකයින් පමණයි. නමුත් තැලිසීමියා වාහකයින් දෙදෙනෙක් අතර සිදු වන විවාහයකදී 1/4ක් නිරෝගී දරුවන්, 2/4ක් තැල් වාහකයින්, 1/4ක් මහා තැලිසීමියා රෝගියෙක් වීමේ හැකියාවක් පවතිනවා. මේ ගැන වෙනමම ලිපියක් ඉදිරි දින වල මම ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  5. අදත් හරිම සංවේදී කතාවක්.. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මේ දරුවා ගැන තවත් සංවේදී දේවල් තියනවා. ඒවා බ්ලොග් එකේ පල කරන්න හිතෙන්නේ නැති තරම් සංවේදීයි.

      Delete
    2. එකට කමක් නැහැ පල කරන්න. ලෝකේ වැඩිහරියක් මිනිස්සු විඳින දුක් අනිත් අය දැනගැනීමෙන් වෙන ප්‍රයෝජන අනන්තයි.. අවම වශයෙන් සියලු අතින් සම්පුර්ණ යයි සිත සිටින බහුතරයක් මිනිස්සු අඩුපාඩුවක් ඇති අහිංසක නොදරුවන් හෙලා දැකීමවත් අඩුවෙයි..

      Delete
  6. අද කාලයේ වැඩි වැඩියෙන් කතාවට ලක් විය යුතුම මාතෘකාවක්. මොකද තැලිසීමියාව වැනි ජානගත රෝගයක් වැලැක්වීමේ එකම මග සමාජය දැනුවත්විමයි. සිඳූ හැමදාමත් වගේ ගොඩක් වටින දෙයක් ගෙනත් තියෙන්නෙ.

    බොහෝ වේලාවට තැලිසීමියා රෝගයෙන් පෙලෙන දරුවන්ගෙ වයස පෙනුමෙන් කියන්න බැහැ.

    සිඳූ ඇඳට හේත්තුව දාපු හැටි කියනකොට මටත් ඒ දවස් මතක් වුනා :) . උදේම වාට්ටුවට ඇවිත් තමන්ට අයිති Patients ල හොයන්න වාට්ටුව වටේ රවුම් කිපයක් ගිහින් රෝග ඉතිහාසයන් සම්පූර්ණ කරල Ward round එකටත් ඉඳල ඉවර වෙද්දි කකුල් වලට පුදුම සනීපයක් දැනෙන්නෙ නේද සිඳූ!

    ReplyDelete
    Replies
    1. සනීපයි කියන්නෙ පුදුම සනීපයක් තියෙන්නෙ. ඇහුවට කමක් නැත්නම් healer මොකද්ද ෆැකල්ටිය?

      සමහර තැලසීමියා දරුවන් කොයි තරම් දුක් විඳිනවාද කියන්නෙ තමන්ගෙම දෙමවුපියනුත් ඒ දරුවන් නොසලකන අවස්ථා තියනවා. මම දන්නවා එක තාත්තා කෙනෙක් එහෙම දරුවෙක්ට " ලේ මාපිලා" කියලා බැන වැදුන අවස්ථාවක්

      Delete
    2. මම රාගම ෆැකල්ටි එකේ? එතකොට සිඳූ?

      Delete
    3. "විද්‍යා උප්පත්තං සෙට්ඨා" එකේ ;-)
      අපේ ඉස්කෝලෙ මෙඩ්ඩන්ගෙන් බාගෙකට වඩා ඉන්නෙ රාගම. මගෙ යාළුවො ඉන්නව ගොඩක් ඔයාලගෙ බැච් එකේ

      Delete
  7. ඇත්තටම මෑත කාලීනව තමයි මමත මේ රෝගය ගැන දැනුවත් වුනේ..ඕනෑම රෝගීවුන කෙනෙක් අවධානය සහ සත්කාරය බලාපොරොත්තු වෙනවනේ.ඔබ පුංචි දෙයකින් ඒ හිතට බලපොරොත්තු පිරවූ අයුරු අගනා කතාවක්

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් පුංචි ළමයි ඒ අවධානය ගොඩාක් බලාපොරොත්තු වෙනවා.
      මේ රෝගය ගැන තවමත් අපේ රටේ විශාල පිරිසක් නොදැනුවත්. ඒ ගැන මොකක් හරි කරන්න ඕනා කියලා මම හිතාගෙන ඉන්නෙ ෆැකල්ටි ඉන්න කාලෙ ඉඳන්ම. තවමත් ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් කවදා හරි කරනවා

      Delete
  8. පුංචි ආදරේකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. එහෙනම් ලොකු ආදරේකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද?

      Delete
  9. ඇත්තටම හද සසල කරන සිදුවීමක් ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ අත්දැකීම් අයියාත් ගොඩාක් ලබලා ඇති නේද? මොකද හිතෙන්නෙ ලංකාවයි , දැන් ඔයා ඉන්න රටයි අතර වෙනස ගැන?

      Delete
  10. ඇඩෙන්න වගේ ආවද මන්දා...

    මොනවා උනත් ඕක හැබෑවටම වෙන දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. රජවරුන්ටත් ඇඬෙනවා එහෙනම් නේ? අන්න ඒ වගේ රජවරු තමයි අපිටත් ඕනා කරන්නෙ. ආයු බෝ වේවා අඩවි රජාණනි

      Delete
  11. හ්ම්. ඉස්සර පේරාදෙණියට නිතර එන ළමයෙක් හිටියා ඔය වගෙ, ළමා නිවාසෙක. සමහර කාලවලට සති කීපයක් හොස්පිට්ල් එකේ. මම හිතන්නෙ එක්කගෙන යන්න එන්නෙත් නැහැ ළමානිවාසෙන්. හැමතැනම දුව දුව ඉන්නවා. කතාවනම් ඔය වගෙ තමා.

    ReplyDelete
    Replies
    1. මේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල අක්කෙ. ගොඩාක් වෙලාවට මේ දරුවන්ට එකම පොදු කතාවක් තියනවා පසුබිමේ.

      Delete
  12. ඒකතමා.. ඕනෑම පොඩිදරුවෙක් නිවැරදි මඟට ගන්න පුළුවන් කරුණාවෙන් සැළකීමෙන්. සමාජයෙන් කොන්වෙලා හිදීමම ඔවුන් මේ තත්වයට පත් කරනවා...
    // "කොහොම ද ඔයා අර මල්ලිව fit කරගත්තෙ?"// එහෙනම් අවු 8 පොඩි එකාත් සිඳූට මල්ලි වුනා නේ.. හැක් හැක්... තවම දාසයයි මාසයයි නේද සිඳු?

    ReplyDelete
    Replies
    1. මෙන්න වැඩක්, එහෙම තමයි. මට කවුරුත් පොඩි ළමයි ඇන්ටි කියලා නෑ කැම්පස් අවුට් වෙනකම්. බොරු නම් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. තවමත් ඩොක්ට අක්කි කියන අවුරුදු 4, 5 පොඩි ළමයි ඉන්නවා.

      Delete
  13. ආදරෙන් කරුණාවෙන් සැලකුවාම යකඩත් උණු වෙනවා කියලා අහලා තියෙනවා මං..පව් අසරණ දරුවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ගොඩාක් අසරණයි. තවමත් සති 3 කට වතාවක් රෝහලට යනවා ඇති. මේ රෝගීන්ට නොමිලේ රුධිරය දීම සහ අනිත් බේත් ලබා දීම නම් ගොඩාක් වටිනවා

      Delete
  14. ඇත්තටම අපටත් හිතන්න යමක් ඉතුරු කරලා තියෙන කතාවක් සිඳු !!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ හිතන්න ඉතුරු වුණ තැන් නම් අනන්තයි මධුරංග

      Delete
  15. අද තමා බ්ලොග් එක දැක්කෙ... ඉන්නකො ඔක්කොම කියවනකං

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙන්න නරක ළමෙක් ඇවිත් මගෙ බ්ලොග් එකට. හිමීට කියවන්නකො නරකයා හොඳ වෙයිද බලන්න

      Delete
  16. කලින් කියවලා තිබුනට අදමද මන්දා කමෙන්ට් එකක් දාන්නේ , ඔයාලා හරිම වාසනාවන්තයි, කාට හරි උදව් කරන එක මොන තරම් සතූටක්ද, හිතට මොන තරම් සුවයක් දැනෙනවද, සමහරක් වෙලාවට දුකක් දැනෙනවා ඇති. ඒ උනාට අසරණ මිනිස්සුන්ට පිහිට වීම ගැන හිතලා සතූටු වෙන්න,

    අටම්පහුර බලන්න එන්න එපා. අටම්පහුරේ තියෙන්නේ අර පොඩී දරැවා කියපුවට අන්ත එව්වා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද? මම ඒ පැත්තෙ ඇවිත් තියනවනෙ ඕනා තරම්. කමෙන්ට් කරලත් තියන්වද කොහෙද

      Delete
  17. තැලිසිමියාව වයඹ පළාත පුරාම සිග්‍රයෙන් ව්‍යාප්ත වන රෝගයක් කියල මම අහල තියෙනවා. පුංචි දරැවන් ගොඩක් මේ රෝගයට ගොදුරු වෙලා තියෙන බව නම් දන්නවා.

    මොනව වුණත් පුංචි දරුවෙක් එක මොහොතකට හරි සතුටු කරන්න පුළුවන්නම් ඒකත් එක්තරා පුණයකර්මයක්. දුක හිතෙන සංවේදී කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, වැඩි වශයෙන්ම තියෙන්නෙ වයඹ පළාතෙ. ඒත් වෙනත් පළාත් වලිනුත් ගොඩාක් වාර්තා වෙනවා. මම ඒ පිළිබඳව දත්ත සොයා බලන්න උත්සාහ කළා. තවම ලැබුනෙ නෑ

      Delete
    2. මේ තැලසීමියාව පිළිබඳව සිදු කෙරුණ සමීක්ෂණයක් ප්‍රතිපල. ඒ මගින් යම් තරමක අවබෝධයක් ලබා ගන්න පුළුවන්

      http://www.slideshare.net/Thalassaemia_Intl_Fed/thalassaemia-in-sri-lanka-prevalence-and-prevention

      Delete
  18. ගොඩාක් වටිනවා මේ වගේ ලිපි පලවෙන එක...පුංචිම පුංචි සැබෑ ආදරේකට මේ ලෝකෙ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුවා දරුවා. ;-)

      Delete
  19. හ්ම්.... දුක හිතෙන කතාවක්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුක හිතෙන කතා තියනව නිසූ තැලිසීමියා ළමයින් ගැන.

      Delete
  20. හරිම සංවේදී කතාවක් සිඳු....ඔයාගේ යාළුවා එයාව යාලු කරගත්ත විදිය නම් අපුරුයි. පුංචි ආදරයක් දක්වුවම කොයි තරම් චන්ඩියෙක් උනත් මෙල්ල වෙනවා කියන්නේ ඒක වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සයුරි. මේ දරුවා විතරක් නෙමේ, ගොඩක් කලහකාරී හැසිරීම් තියන ළමයින් වුණත් පාලනය කරන්න පුළුවන් වෙන්නෙ ආදරෙන් කතා කරන්න දන්න දොස්තරලාට.

      Delete
  21. මේ කතාව මම විදුසරේ කියෙව්වා. අක්කගේ ඒ ලිපි පෙල හැම සතියෙම නොයන වෙලාවකට තරහත් යනවා.

    මම විදුසර පත්තරේ ගත්ත ගමන් කියවන්නේ අන්තිම පිටුව. ඊළඟට නලින් ද සිල්වා මහාචාර්ය තුමාගේ ලිපිය. ඊළඟට අක්කගේ ලිපියක් තිබුනොත් ඒක..

    ජය වේවා අක්කේ!

    ReplyDelete
  22. සිඳු වගේ හිතන අය වෛද්‍ය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය කාලයක් මේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  23. Do you know where he lives?

    ReplyDelete