Tuesday, June 19, 2012

අන්න පුතේ කෝච්චිය


       වෙලාව උදෑසන 6.30 ට පමණය. දෙනෙත් තුළ ‍රැඳුණු නිදිබර ස්වභාවය තවමත් පහවගොස් නැහැ.බසයේ ඉදිරිපස අසුනේ සිටින යුවලක් ඔවුනගේ දරුවා සුරතල් කරයි. බස් රථය මදකට නැවතේ. ඒ දුම්රිය හරස් මාර්ගයයි. 
         "අන්න පුතේ කෝච්චිය" පියා තම උකුලේ හුන් දරුවා ඔසවා දුම්රිය පෙන්වයි.පොඩි එකාගේ මුහුණින් ප්‍රකට වන්නේ මහත් වූ ප්‍රීතියක්. දෑස් දල්වා ඒ දෙස බලා සිටි ඔහු බස් රථය තුළ සිටම කෝච්චියට අත වනන්නේ දෙමවුපියන්ගේ මුවෙහි සතු‍ටු සිනා නංවමින්.


මගේ හිත පුංචි කාලයට දිව ගිහින් නැවතුණා.මටත් මේ වගේම කෝච්චිය පෙනුනෙ හරිම අපූර්ව දෙයක් විදියට. කෝච්චියක් කොහෙදි දැක්කත් ඒක නොපෙනී යන තුරුම අත වැනීම නංගිගෙයි මගෙයි පුරුද්දක් වෙලා තිබුණා. 
ඒකෙ යන අය අපිට ආපහු අත වනද්දි අපිට දැනුණෙ පුදුම සතුටක්.මිනිස්සු ගොඩාක් අරගෙන , රේල් පීලි උඩ හූ කියාගෙන යන මේ අමුතුම වාහනේ ගැන අපිට තිබුණෙ ලොකු කුතුහලයක් කිවුවොත් නිවැරදියි.


       ගමනක් යන වෙලාවට කෝච්චිය නිසා වාහනය නවත්තාගෙන ඉන්න සිද්ධවෙන එක ගැන නම් අම්මාවත් අප්පච්චිවත් කැමැත්තක් දැක්වුවෙ නැති බව නම් මට හොඳටම විශ්වාසයි.ඒත් මම හැමදාමත් රේල් පාර ලඟින් යන වෙලාවට ප්‍රාර්ථනා කළේ කෝච්චියක් දකින්න.




කෝච්චිය ගැන තිබුණ ආසාව වැඩි වුණේ අප්පච්චි නිසා. අප්පච්චි ඉස්කෝලෙ ගිහින් තිබුණෙ  කෝච්චියෙ. සමහර වෙලාවට (ඉස්සර කරන්ට් කපන කාලෙ ලාම්පු පත්තු කරගෙන ඉන්න ගමන් එහෙම) අප්පච්චි අපිට කියනවා කෝච්චියෙ ගිය හැටි යාළුවො එක්ක. 
මාදම්පෙ ස්ටේශන් එකෙන් නැගලා ලුණුවිලට එන අතර, මැදක තියන ස්ටේශන් එකකින් බැහැලා ඉතුරු ටික පයින් ආව හැටි හරිම විනෝද ඇති. 
රේල් පීල්ල උඩ සතයක් තියලා, කෝච්චිය ගියාට පස්සෙ ඒක තැලිලා තියන හැටි බැලුව විදිය, පීල්ල උඩ ඉඳිකට්ටක් තියලා තිබ්බාම ඒක පීල්ල ඇතුළට ගිලා බහින හැටි එහෙම අහගෙන ඉද්දි මගෙ හිතේ ආසාව වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ.


ඒ වුණත් කෝච්චියෙ යන්න තිබුණ ආසාව නම් ඉශ්ට කර ගන්න මට පුළුවන් වුණේ ඊට ගොඩාක් කාලෙකට පස්සෙ.එතකොට මට වයස අවුරුදු 7ක් විතර වෙන්න ඇති. එළියෙන් පේන ලස්සන ඇතුළෙ නෑ කියල මගෙ පුංචි හිතටත් එදා වැටහුනා.
අපේ ආශාව ඉශ්ට කරන්න අපි දෙන්නාව එදා කෝච්චියෙ එක්කන් ගියත් ටික වෙලාවකින්ම අම්මටයි අප්පච්චිටයි ඒ ගමන එපා වෙලා තිබුණා. වෙන දෙයක් නිසා නෙමේ, එදා හිටිය සෙනග නිසා. නංගිව වඩාගෙන හිටිය නිසා අම්මාට නම් සීට් එකක් ලැබුණා. ඒත් අප්පච්චියි මමයි ගොඩාක් වෙලා ගියෙ හිටගෙන.සෙනග ක්‍රමයෙන් අඩු වෙලා යද්දි මටත් ජනේලයක් අයිනෙ සීට් එකක් ලැබුණා. 


අපි ඉස්සරහට යද්දි රේල් පාර අයිනෙ තිබුණු ගස් අපිව පහු කරන් යනවා එක්කම, අහසෙ වලාකුලු අපි එක්කම ඉස්සරහට යන හැටි මටත් දකින්න ලැබුණා මුල්ම වතාවට දුම්රියෙ ගිය හැම ළමෙක්ටම වගේ.
(මේ ඉන්නෙ මම පොඩි කාලෙ. ඒ කාලෙ මගෙ මූණ රෝස පාටයි. කොන්ඩෙ රතු මිශ්‍ර රත්තරන් පාටයි. බලන්නකො කෙල්ලගෙ ලස්සන)


       දුම්රිය නැවතුම්  වලදි කෝච්චියට ගොඩ වුණා රට කජු, වඩේ විකුණන වෙළෙන්දො. ඒ සෙරම හරියට නාට්‍යයක කොටස් වගේ. කොහොම වුණත් මටයි නංගිටයි වුණේ නම් ඒ රට කජු සහ වඩේ දිහා බලාගෙන ගෙදරින් අරන් ගිය ජෑම් සහ බටර් තැවරුව පාන් කන්න විතරයි. 
"ඒවගෙ දූවිලි" අප්පච්චි කිවුවෙ එහෙමයි.


පුංචි කාලෙ ගිය මේ වගේ ගමන් දෙක තුනකින් පස්සෙ ආයෙ කෝච්චියෙ යන්න ලැබුණෙ උසස්පෙළ පන්ති යන්න ගත්තට පස්සෙ.
ඒ වෙනකොට කෝච්චිය TRAIN එක බවට පත් වෙලා තිබුණෙ. :P


උදේ පාන්දටම ස්ටේශන් එකෙන් දුම්රියට නගින්නෙ උදේම ගිහින් පන්ති වල පළවෙනි පේළිය අල්ලගන්න. පළවෙනි පේළිය අල්ලන එක ඒ දවස් වල පුරුද්දනෙ. 
පුංචි කාලෙ මාව පහු කරගෙන ගිය ගස්  එහෙමම තියෙද්දි ඒවා පහු කරගෙන කෝච්චියත් එක්ක ඉස්සරහට යන්න ඒ වෙනකොට අපිට පුළුවන් වෙලා තිබුණා.මුල් දවස් කීපයේ නම් කෝච්චියෙන් බැහැලා ගියාට පස්සෙත් සෑහෙන වෙලා යන කම් කෝච්චියෙ යනවා වගේ දැනුනා. ඒත් ටිකක් කල් ගත වෙද්දි ඒ සේරම පුරුදු වෙලා අපිත් කෝච්චියෙම කොටසක් වගේ දැනෙන්න ගත්තා.


හැමදාම අපිට යන්න නියමිත කෝච්චි පෙට්ටියක් තිබුණා. ඒකෙ තිබුණෙ අමුතුම ලෝකයක්, අමුතුම සමාජයක්. නාටක සිය ගණනක එකතුවක්. අපි ඒ නාටක වල නරඹන්නො. ( අපේ රඟපෑම් බලන්නත් ඒ නළුවන්ට නිළියන්ට පුළුවන් වෙන්න ඇති). 
        වයස 40 පැන්නත් , තවමත් කුරුලු ජෝඩු වගේ ආදරෙන් හිටිය අය අපි දැක්කා. නමුත් , ඒත් අර නාටක වලම ජවනිකා කියලා වැටහුණේ ටික කාලෙකින්. මොකද, ගොඩක් වෙලාවට නළුවා එක ස්ටේශමකිනුත්, නිළිය තව ස්ටේශන් එකකිනුත් නැගපු නිසා. ඒ හැරුණාම, කාන්තා සංගම්, වෘතීය සමිති, සංගීත කණ්ඩායම්, මේ ආදී බොහෝ දේ කෝච්චියේ නාට්‍යයට එකතු වෙලා තිබුණා.


මේ අතර ඇත්තටම ආදරය කරපු තරුණ යුවල් ද හිටියා. "ලස්සනම කපල් එක තේරීමේ" තරඟ අපි හැමදාම පැවැත්වුවා ඒ හැමෝටම රහසින්.ඒ තරඟ පිළිබඳව තරඟකරුවන් දැනුවත් වී සිටියෙ නැති නිසා , තමන් ජයග්‍රාහකයන් බව නොදැනම , ජයග්‍රාහකයන් දුම්රියෙන් බැහැලා ගියා. අපිත් ඒ බව ඔවුන්ට නොකියාම තවත් ස්ටේශමකින් බැස්සා.


"බූට් එක වැදුණු අයියා" කියලා අපි හඳුන්වපු එක් තරුණයෙක් අපේ අවධානයට ලක් වුණා විශේශයෙන්ම. අසාමාන්‍ය ලෙස නිශ්චල, නිහඬ කිසිදා සිනා නොවුණ ඒ තරුණයාට ඒ නම ලැබුණෙ ඉබේම. විස්තර කළ නොහැකි තරම් දුක්බර සේයවකට හිමිකම් කිවුව ඒ කඩවසම් තරුණයාගේ දෙනෙත් වල නොකියවුණ ලොකු කතාවක් තියනවා කියලා මට හිතුණ වාර අනන්තය. (මගෙ යාළුවන්ට ඒවා කියන්න ගියා නම් ඉතින්.......)


මගෙ හොඳම මිතුරියන් තිදෙන්නගෙන් එක් අයෙක් ඒ වන විට නේවාසිකාගාරයක නැවතී සිටියා. ඒ නේවාසිකාගාරයෙ ජංගම දුරකතන තහනම්. ඉතින් සතියක් ගානෙ ලිපි හුවමාරු කර ගැනීම අපි දෙන්නා විනෝදාංශයක් කර ගත්තෙ ඒ කාළෙ.බොහෝ වෙලාවට මම ඒ ලිපි ලිවුවෙ දුම්රිය මැදිරියේදි. (මොකද, මහගමසේකරයන්ට වගේ කවි ලියන්න පුළුවන් වුණේ නෑ මට මගේ පෝරිසාද යාළුවො එක්ක). ඒ ලිපි සියල්ලම තවමත් ඈ සමග සු‍රැකිව තිබෙනවා.




"අත් වැල් බැඳගෙන් රේල් පාර දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද" කියලා මම දවසක් ලිවුවා මිතුරියකගෙ සමරු පොතේ. හරිම සුන්දර මතකයක්. සමහර දවස් වල පන්ති ඇරිලා රේල් පාර දිගේ එද්දි දැනුණෙ පුදුමාකාර නිදහස් හැඟීමක්. 


        ඒකෙ තියන භයානක කම දැනුණෙ එකම එක දවසක් විතරයි. ඉස්සරහින් තිබුණෙ වංගුවක්. හිතුවෙ නැති විදියට ආව කෝච්චියෙ නළාව ඇහුණෙ එදා නම් මාරයාගෙ (මාරයියා නෙමේ) කට හඬ වගේ.කොහොම හරි අත්තෙන් අත්තට පැනපු වඳුරු පැටවු ටික වගේ එහාට මෙහාට පැනලා කෝච්චියට හැප්පෙන්නෙ නැතුව බේරුණේ අනූ නමයෙන්. 


       අපිට ඉස්සරහින් ගිය පිරිමි ළමයි ටික ඒ වෙනකොට රේල් පාර පැනලා තාර පාරට ගිහින් තිබුණා. කෝච්චිය එනවා දැකපු එයාලා නැවතිලා අපි දිහා බලන් හිටිය හැටි මතක් වෙනවා තවමත්, කරන්න දෙයක් හිතා ගන්න බෑ වගේ. ඒ කාලෙ හැමදාම මාත් එක්ක රණ්ඩු වුණ, දැන් නම් නැතුවම බැරි යාළුවෙක් මේ ළඟදි නම් මට ඒ ගැන කිවුවෙ "එදා අපි ඔයාලා මැරෙන හැටි බලන් හිටියා" කියලා.


"ඔයා මට කැමති නැත්නම් මම අර කෝච්චියට පනිනවා" කියලා එක්කෙනෙක් කිවුවෙ දුම්රිය හරස් පාර ගාව බස් එක නවත්තලා තියපු වෙලාවෙ බස් එකේදි. "අනේ ඉකමනට දුවලා ගිහින් පනින්න, කෝච්චිය යයි" ඒ තමයි උත්තරේ. එතනින් එහාට එයාගෙ ඉරණම නම් අහෝ දුකකි.මොකද හතර වටේම හිටිය අයට ඇහුණ නිසා

       ශ්‍රී ලංකා දුම්රිය සේව එක්ක බැඳුණ ඔන්න ඔය විදියෙ ජීවිතයක් එක කාලෙක මටත් තිබුණා. උසස්පෙල පන්ති ඉවර වෙනවාත් එක්කම ඒ ගමනට නැවතීමෙ තිත වැ‍ටුණා. ඉන් පස්සෙ මේ වෙනකම් කවදාවත් ගියෙ නෑ කෝච්චියෙ. 


ලංකාවෙ දුම්රිය සේවය ගැන හොඳ විස්තරයක් බලන්න මෙතනින්. -විකිපීඩියාවෙන්



මේ තියෙන්නෙ ලෝකෙ එකම දුම්රිය වතුරෙ යන. 
එහෙමද හිතෙන්නෙ එක පාරටම?? හොඳට බලන්න.........:D







46 comments:

  1. මට නම් පොඩි කාලේ ඉදන්ම කෝච්චියේ ගමන් යන්න හම්බවුණා. තාත්තා කාලයක් අනුරාධපුරේ ආමි කෑම්ප් එකේ හිටිය නිසා නිවාඩුවක් ලැබුණු ගමන් අපි කෝච්චියේ අනුරාධපුරේ යනවා......

    ලංකාවේ කෝච්චි නම් තාම හොඳ මදි.... කලින් අවුරුද්දක සිංගප්පූරු ගිය වෙලාවේ හිතුණා අපේ කෝච්චි තාම තියෙන්නේ කොච්චර නම් ඈතකද කියලා :(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. දුම්රිය සේවය දියිණු කරන්න කියලා පටන්ගත්ත අධිවේගී සුඛෝපභෝගී දුම්රිය ත් හිතුවෙ තරම් ජනප්‍රිය නොවුන බව තමයි කියන්නෙ. ඒත් අනේ මන්දා, මම ඒකෙ ගියෙ නෑනෙ. ඒ නිසා හොඳ නරක දන්නෙ නෑනෙ.

      Delete
  2. කෝච්චිය කියන්නේ එක්තරා විදියක සමාජ පැතිකඩක්.. මේ ළඟදී මම පේරාදෙණියේ ඉඳන් ගාල්ලට කෝච්චියෙන් ආවා.. මේ දක්වා මම එක දිගට කෝච්චියේ ගිය දිග ම ගමන ඒ. මගේ ආසනයට ඉදිරියෙන් වුණු ආසනයේ හිටියේ පුංචි ම පුංචි මල්ලියෙක්. එයාගේ අම්මයි ආච්චියි එක්ක. එයාට ඕන වුනා කෝච්චියේ යන්න. එයාගේ අම්මයි ආච්චියි කොච්චර කිව්වත් එයාට තේරුම් ගන්න බැරි වුනා එයා ඉන්නේ කෝච්චිය ඇතුලේ කියලා.. ඒ සිද්ධිය දකිද්දී මාත් හිතින් මගේ බාල කාලෙට ගියා..

    අද පෝස්ට් එක කියවද්දිත් ඒ දේ ම වුණා! ජය වේවා අක්කේ..

    ReplyDelete
    Replies
    1. පුතෙක්ගෙ වයසෙ අයට මල්ලි ලු. අනේ මන්දා.
      ඇත්ත මල්ලි, සමහර වෙලාවට පුංචි ළමයින්ගෙ අහිංසක කම් දැක්කාම අපිටත් ඒ වගේ අහිංසක ළමා කාලයක් තිබුණනෙ කියලා මතක් වෙනවා

      Delete
  3. වැඩිය යැවෙන්නැති නිසාම මාත් මාර ආසයි කෝච්චියෙ යන්න...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අනිත් එක බස් එකේ වගේ නවත්ත නවත්ත යන්නෙත් නෑ. ඒකාකාර වේගයක් තියනවනෙ ගොඩක් වෙලාවට

      Delete
  4. අතීත මතක ගොඩක් මතක් වුණා මේක කියවනකොට කෝච්චියේ වුනු රසවත් සිද්දි ගොඩක් තියනවා මටත් හීමිට කියන්නම්කො .......

    ReplyDelete
    Replies
    1. කියන්නකො අනේ ඉතින්

      Delete
  5. http://tikakhinawenna.blogspot.com/2010/11/01-18.html

    http://tikakhinawenna.blogspot.com/2010/11/blog-post_16.html

    http://tikakhinawenna.blogspot.com/2010/11/blog-post_24.html

    මේ තියෙන්නේ මගේ කෝච්චි කථා ඔක්කොම... කියන්න පුළුවන් ඒවා විතරයි...

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා. හෆොයි එක්ස් අයියා නම් මරු. පව් අනේ ඒ වුණාට

      Delete
    2. අභීත, මේ ලින්ක්ස් වැඩකරන විදියට දාන්න, ටැග් එක්ක.

      Delete
  6. රාගම පැත්තේ වෙලවක් ගොඩ කරගෙන යන නිසා ස්ටේශනෙක නම් යටවෙනවා !!!
    මාත් ඉස්සර ඉදන්ම කෝච්චි වල යන්ඩ කෝච්චි දකින්න මාර ආසයි !

    ReplyDelete
    Replies
    1. එහෙමද? හලාවත රාගම මාර්ගයෙ මම ආසාම ක‍ටුණායක ස්ටේශන් එකට. එහා පැත්තෙ තියන ගුවන්තො‍ටුපළ පේනවා පාන්දරට හරිම ලස්සනට ලයිට් දාලා. සමහර දවස් වලට අහසට ගුවන් යානා නග්ගනව අපි එතන නවත්තන් ඉද්දි. මට ඒ දර්ශනයෙ ලොකු අපූර්වත්වයක් පෙනුනා.

      Delete
  7. නියමයි පොස්ට් ඒක.... මම නම් කැමතිම දොර ගාව යන්න...

    ReplyDelete
    Replies
    1. ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමේ යාළු

      Delete
  8. මමත් කෝච්චියට හරිම ආදරය කරන කෙනෙක්. සිඳු, මමත් බ්ලොග් පෝස්ට් එකක් ලියලා තියෙනවා ඩ්‍රාෆ්ට් එකේ කෝච්චි ගැන. මේ සමහර දේවල් කියවනකොට මට ඒක මතක් වුනා. මතකය අවදි කරන සටහනක්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එක පබ්ලිශ් කරන්නකො අයියෙ. මට හිතෙන විදියට හිතට ගොඩක් අදහස් ගලන තැනක් දුම්රිය කියන්නෙ

      Delete
  9. කෝච්චි මතකය ගැන නියම ලිපියක් ලියලානේ.. ඒ වුනාට පාඨක ජනයා මුලා කරන අන්දමේ ජායාරූපයකුත් පල වෙලා. ඔව් ඔව්. අර සෝස පාට කොන්ඩේ තඹ සූටි ගෑල්ලමයා ගැන තමා මම කියන්නේ..:P
    අර "බූට් එක වැදුණු අයියා" එක්ක ඉතින් කවුරුවත්ම කතාකලේ නැද්ද? අපරාදෙනෙ

    ReplyDelete
    Replies
    1. තඹ??? තඹ නෙමේ... රත්තරන් පාට.
      කතා කළා කතා කළා. ඇස් වලින් ;-)

      Delete
    2. මේකනෙ ඒ අහින්සකයට ඔය ගොළු භාෂාව තේරෙන්නෙ නැතිව ඇති... :P

      Delete
  10. ඔහ්.. අවුරුදු 8ක් විතර ආපස්සට ගෙනිච්ච මාව.... අපිත් ඉස්කෝලේ ඉවර වෙලා පන්ති ගියේ කෝච්චියෙන්... බස් එකේ යන එක කොච්චර ලේසි උනත් කිලො මීටරයක් විතර රේල් පාර දිගේ ස්ටේශමට ඇවිල්ල පන්තියට යන්න තියන චුට්ට දුර උනත් මාර ෆන් හින්ද වෙන්න ඇති අපිත් කෝච්චි ගමනට ඇබ්බැහි වෙලා හිටියා..
    කොල්ලො විතරක් නෙවෙයි පංතියෙ කෙල්ලො සෙට් එකත්

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියෙ කෙල්ලො සෙට් එක වෙනම, කොල්ලො සෙට් එක වෙනම තමයි ගියෙ මුලදි නම්. පස්සෙ සේරම එකටත් ගියා. පන්තියෙ අන්තිම දවසෙ මිස් ට ගත්තු තෑග්ග පාර්සල් කළේ රේල් පාර අයිනෙ තියාගෙන, මොකද පන්තියට ගෙනිච්චා නම් මිස් දකිනවා දෙන්න කලින්.

      Delete
  11. මාත් ඉස්කෝලෙ ගියා කාලයක් ක්ච්චියේ..උදේට විතරයි..මූදු හුලං වැදි වැදි දොර ලඟට වෙලා යාලුවො එක්ක වගේම තනියම මනෝ පාරක් ගහගෙන යද්දි තිබුන සැප,ආතල් එක නිදහස තව එක පාරක් හරි විඳීන්න ඇත්නම් කියලා හිතෙන වාර අනන්තයි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. තවමත් මමත් ආසයි කෝච්චියෙ එහෙම මනෝ පාරක් ගහගෙන යන්න. ඒත් මම මුහුදුබඩ දුම්රිය මාර්ගයෙ ගිහිල්ලාම නෑ.

      Delete
    2. තවම පරක්කු නෑ.. ඉස්සරහට ඕනතරම් මුහුදුබඩ කෝච්ච්යේ යන්නඩ බැරියැ නේද සිඳු :P

      Delete
  12. මමත් ආසම වැඩක්...එ ආසාව හින්දාම කාලයක් තිස්සේ ඉටු කරගන්න බැරි ආසවක් මම ඉශ්ට කරගත්තා..එ කියන්නේ ලඟ ක්ලාස් තියෙද්දි මම තොරගත්තා ක්ලාස් යන්න විනාඩි හතලිස් පහක් යන ගමනක් හැමදාම සතියේ..උදේටයි..හැන්දැවටයි..මරේ මරු උනා යන්න ගත්ත අලුත..අප්පා පස්සේ නම් මට පිස්සු හැදුනා හැමදාම පාන්දර පහ ට නැගිටින්න ගියාම ..එ කොහොම උනත් එ මතකේ නම් අපුරුයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මටත් තිබුණ එකම ප්‍රශ්නෙ උදේට නැගිටින එක තමයි.

      Delete
  13. මම කෝච්චි වලට බයයි පොඩිකාලෙ ඉඳන්ම..ඒත් මෙහෙදි නම් ගොඩාක් ගමන් ගිහින් තියනව..මේ රටකින් තව රටකට උනත් අපි කෝච්චියෙන් යනවා..ඒත් ලංකාවෙ කෝච්චි වලට වඩා මේවා ගොඩාක් ඉදිරියෙන්..ප්ලේන් එකේ යනවා වගේමයි..වෙනස තියෙන්නෙ බිමින් යන එක...

    ReplyDelete
    Replies
    1. අයියෝ ෂොඩූ, මොකද අනේ බය ඔයා? ලොකූ සර්පයෙක් ඔයාව ගිලින්න එනවා වගේ පේනවාද?

      Delete
  14. අපේ ගේ ගාවම ස්ටේසම තිබිලත් මම කෝච්චියේ ගිහින් නෑනේ වැඩිය.. ඒ උනාට ගිය කීප වෙලේම ගමනේ සුන්දරත්වය වින්දා.. ඉතාලියේ මෙට්‍රෝ වල යනවා වගේ නෙමෙයි.. ලංකාවේ කොච්චියේ යෑම..

    ReplyDelete
    Replies
    1. මම නම් මෙට්‍රෝ වල යන්නත් ආසාවෙන් ඉන්නෙ.

      Delete
  15. ආස හිතෙන ලිපියක්! මම කෝච්චිය කියන්නෙ ගිහිල්ලම එපා වුන කෙනෙක්ට ඇරෙන්න කොයි කාට වුනත් ආස හිතෙන දෙයක්. මම මුලින්ම කෝච්චියක ගියේ කොළඹ ඉඳල ගාල්ලට ගොඩාක් පොඩි කාලේ, හැබැයි ඒ ගමන නම් තාම මතකයි, ඇයි ඉතිං කෝච්චියක මුලිනම යන සතුටට අමතරව පැය ගානක් මුහුද බලා බලා යන්න පුලුවන් වුනහම ඊට වඩා දෙයක් තියද!
    අවුරුදු 5ක් විතර හැම සති අන්තෙකම වගේ කෝච්චියෙ ආව ගියාට තාමත් කෝච්චි ගමනට තියන ආසාව නම් නැති වෙලා නෑ.
    ( අර බුට් කාපු අයියා ගැන නම් සිඳූට හිතක් පහල වෙලා තිබිල තියනව කියල මට හිතෙනව :) )

    ReplyDelete
    Replies
    1. හිතක් පහළ වෙලා තිබුණද නම් මන්දා. ඒ වුණාට එයාව හරි කලාත්මක විදියට නම් මට පෙනුණා. ;-)

      Delete
  16. අහසේ යන ගුවන් යානයත්, පාරේ යන අලියත්, මූදේ යන නැවත්. රේල් පාරේ දුවන දුම්රියත් දිහාවට ඇහැ යොමුවෙන්න අපි නොදැනුවත්වම. මේවා හැමදාම දැක්කත් හැමතිස්සෙම සද්දෙ ඇහුන ගමන් බලනවා.

    කොහොම වුණත් වැඩි මහන්සියක් නැතුව ඉක්මනින් යන්න පුළුවන් දුම්රියෙන්.අනේ අර දුම්රියෙ යන දැරිවි නම් අපූරුයි. "සිඳු" ම තමයි ඒ යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ගුවන් යානය කිවුවාම මතක් වුණේ. අපේ කැම්පස් එක උඩින් හැමදාම යනවා රත්මලානට යන ගුවන් යානා. අවුරුදු 5ම කළේ දවසට 10, 15 වතාවක් උඩ බැලුව එක තමයි.
      ඒකනෙ මම කිවුවෙ ඒ සිඳු තමයි.

      Delete
  17. කෝච්චිය මගේ ජීවිතෙත් විශේෂයෙන්ම පාසල් කාලයත් එක්ක බැඳුනු එකක්. අපේ ඉස්කෝලේ අයිනෙනේ රේල්පාර ගිය නිසා. මගේ හොඳම යාලුවෝ ආවේ ගියේ කෝච්චියේ.. ඔය කෝච්චි වලින් විතරක් ගමන් කරන්න වෙන අයගේ ගති පැවතුම් ලංකාණ්ඩුවේ දුම්රිය සේවය හා සමානයි. වෙලාවට වැඩ කිරීමක් නැහැ.. කාලය එතරම් වැදගත් දෙයක් නෙවෙයි.. ඒ මොකද ඒ ගොල්ල වැඩ කලේ කෝච්චි තියෙන වෙලාවල හැටියටනේ.. තාත්තා එක්ක කෝච්චියේ අපි ඔක්කොම කොළඹ නෑදෑයෝ බලන්න යන එක එතකොට යාපනේ යන එක තමයි ප්‍රියතම ගමන් හැටියට හිතේ රැඳිලා තියෙන්නේ. අපි පුංචි කාලේ ගල් අඟුරු කෝච්චි තිබුනා. ඒවගේ යනකොට අඟුරු කෑලි ඇඟේ රැඳෙනවා. ඇස් ඇතුලෙත් යනවා එත් අපි ජනෙල වලින් ඔලු එලියට දාගෙන කෑ ගහ ගහ යන්නේ,..තාත්තා යාපනේ යන කෝච්චියට නැග්ගාම දමිල අයත් එක්ක කඩේට වැටෙනවා. හොඳට දෙමල කතාකරන්න පුළුවන් නිසා යාපනේදී අපිට කිසිම කරදරයක් නැතුව හැම දේම කරගන්න පුළුවන් උනා. ඒ කාලේ අපේ රට සුර පුරයක්.. කවුරුවත් කාටවත් බය නැහැ.. ආණ්ඩුව මිනිස්සුන්ට බය එක විතරයි..

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු කෝච්චි ගැන කියනකොට මට මතක් වුණා මැක්සිම් ගෝර්කිව.
      දවසක් අපේ අප්පච්චි යාළුවො එක්ක කෝච්චියෙ යාපනේ ගියාලු. එහෙම යනකොට හමු වුණ එක පුද්ගලයෙක් එක්ක අප්පච්චි දිගටම කතා කර කර ගිහින්. කොහෙද යන්නෙ අහද්දි ඒ පුද්ගලයා කියලා "මම යාපනේ ළමයින්ට උගන්නන්න යනවා" කියලා. ඊටත් ටික කාලෙකට පස්සෙ තමයි අප්පච්චි දැනගෙන තියෙන්නෙ ඒ තමන් ගොඩාක් ආසා ගීත ගණනකම රචකයා සුනිල් ආරියරත්නයන් කියලා.

      Delete
  18. මට නං ගිහිල්ලම එපාආආආආආආආආආආආආආආආආ....................... වෙලා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ...... කෝච්චියෙ යන රජවරුත් ඉන්නවද? රජ්ජුරුවො යන්න ඕනා දෝලාවෙන්,
      මොනව වුණත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන රජෙක්

      Delete
  19. මමත් මුල් වතාවට කෝච්චියේ ගියේ අවු. 10 දි විතර. ඊට පස්සේ ඉතින් කැම්පස් යද්දී තමයි. ඒකත් ටික කලකින් නැවතිලා බස් වලට බැස්සා. කොයි තරම් කටු කෑවත් කෝච්චිය තරම් ජොලි වාහනයක් නෑ මටනම් :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. කෝච්චිය තමයි ජොලිම.

      Delete
  20. කෝච්චියෙ යන ආසාව නම් සංසිදුනෙ කැම්පස් ආවට පස්සෙ..
    මේ පෝස්ටුව කියවද්දි ආපහු ඒ අතීතයට ගියා...

    ReplyDelete
    Replies
    1. අපේ කැම්පස් එකට නම් කෝච්චියෙ යන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඊට ලේසියි රත්මලානට යන ප්ලේන් එකක එල්ලිලා ගිහින් කැම්පස් එක ගාවදි බිමට පනිනවා

      Delete
  21. පොඩි කාලේ ඉස්කෝලෙ නිවාඩු එනකන් ඉන්නේ තාත්තයි අම්මයි එක්ක වොරන්ට්ස් අරන් කෝච්චියෙන් අනුරාධපුරේ , කොලඹ ,නුවර එහෙම යන්න

    කැම්පස් කාලේ නම් සිකුරාදට ගෙදර එන්නයි ඉරිද හවස ආයේ තඩි බැග් එකකුත් aran කොලඹ යන්නයි කෝච්චිය තමා පිහිට වුනේ . ඒ කාලේ හැම සිකුරාදම ලෙක්චර්ස් ඉවර වුන ගමන් මාතර -ගාල්ල කැම්පස් සෙට් එකම මරදානට දුවන් එනවා එකයි හතලිස්පහ එක්ප්‍රස් එක අල්ලන්න .ආයේ ඉරිදා දෙකයි පනහට විතර තමා කොලඹට යන එක්ප්‍රස් එක තියෙන්නේ . ආයේ තුනයි විස්සට විතර කැන්ඩි එක්ප්‍රස් එක .ඒක නිතර පරක්කුයි .එක එක කැම්පස් වල විසිරුණ අඳුරන සේරම මුණ ගැහෙන්නේ ඉස්ටේසමේ .කෝච්චියේ තමයි . ඒ කාලේ කෝච්චි ටයිම් ටේබල් එක කට පාඩන් .වැඩි දාට අපේ ඉස්ටේසමෙන් පේරා යන සෙට් එක ජොලියට කොලඹට යන සෙට් එක එkක කලින් කෝච්චියේ කොලඹ කොටුවට ගිහින් පරක්කු වෙලා එන කැන්ඩි ට්‍රේන් එකට නගිනවා කොටුවෙන් . එහෙමත් මැන්ටල් කාලයක් :)කෝච්චි කතාව කියෙව්වම මට මතක්වුනේ ඒක .2005 පස්සේ මම ලංකාවෙදි කෝච්චියක ගිහින් නෑ . සවුත් කෝස්ටල් රේල් වේ ලයින් එකේ ඉර බහින හවසක වැඩි කලබල තදබද නැති කෝච්චි කෑල්ලක ( කොටුව - අලුත්ගම ) නැගලා යන්න ඇත්නම් කියලා අනන්ත හිතෙනවා .ඒත් දැන් කෝ ඕවට වෙලාවක් :)

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නම් නෑ තමයි. ඒත් සමහර වෙලාවට මාර්ග තද බදය එක්ක හිතෙනවා සේරම පැත්තක දාලා කෝච්චියෙ යන්න.

      Delete
  22. මම නම් තාම ගිහින් නෑ ‍කෝචිචි Train එකේ :( :( :( :( :(

    ReplyDelete