Wednesday, July 4, 2012

"ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා" කවුරුත් එහෙම කිවුවෙ නෑනෙ මට


ඔන්න උදේ පාන්දර අරාශුයි හෙලේනායි බෙරිහන් දෙනවා.......
"this was just meant to be...... you are coming back to me
coz this is pure love, coz this is pure love.........."


උදේම නිදා ගන්නවත් නෑනෙ.  එහා ගෙදර මිනිස්සු හයියෙන් රේඩියෝ එකක් දාලාද කොහෙද. මම නින්දෙන්ම හිතුවා.
ඊලඟට අරාශ් නිශ්ශබ්ද වුණා. 
ඔන්න ඒ පාර තේරෙන්නෙ නැති භාශාවකින් කවුද ගෑණු කෙනෙක් කෑගහනව. වචනයක් වත් තේරෙන්නෙ නෑ.


Quien eres tu
Donde has estado? 
He removido cielo y tierra y no te encontre


මම තරහෙන් හොඳට ඇස් දෙක තවත් තද කරලා වහගත්තා. ඒත් දිගින් දිගටම සින්දුව ඇහෙනව. 


Na main samjha, na main jaana
Jo bhi tumne mujhse kahaa hai Senorita



ඊළඟට ආයෙමත් අරාශ්.... 



"this was just meant to be...... you are coming back to me
coz this is pure love, coz this is pure love.........."



"මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා එකම සින්දුව දාන්නෙ......" මම අම්මා එක්ක බැන්න.
"ඒක තමයි, පොලිසියට කියන්න ඕනා, වෙන රටවල් වල නම් මෙහෙම නෑ."අම්මත් මට එකතු වුණා.
ඒත් එක්කම මට දැනුණා කවුරු හරි මාව හොල්ලනවා වගේ. ඒ කවුද? තොටියගෙ හිල්ඩා කුමාරිවත්ද? මාව ගැස්සිලා ඇහැරුණා. අනේ නෑ. මගෙ අම්මා මං දිහා බලාගෙන ඉන්නව. 
"පුතේ තේ එක බීලා නිදාගන්න"


කවුද එතකොට මාත් එක්ක එහා ගෙදර මිනිස්සුන්ට බැන්නෙ? එතකොට තමයි මීදුම් පටලයක් තුනී වෙනවා වගේ මට සියල්ල පැහැදිලි වෙන්න පටන් ගත්තෙ. අපේ ගෙදරට එහා ගෙදරක් නෑනෙ. තියෙන්නෙ පොල් වත්තක්. ඒකෙ එහා මෙහා පියාඹන පොල් කුරුමිණියො ටිකයි, රතු ගුල්ලො ටිකයි ඇරෙන්න කවුරුත් නෑ සින්දු දාන්න. 
තවත් තත්පරේකට පස්සෙ මට තේරුණා මම අඩ නින්දෙන් හීනෙන් මිනිස්සුන්ට බැනලා..... අම්මා බනිනවා දැකලා ........ 
ඒත් එක්කම මට මතක් වුනා අර වචන තේරෙන්නෙ නැති සින්දුවයි අරාශ්ගෙ සින්දුවයි මගෙ සිම් දෙකේ ringing tonesදෙක . මාව ඇහැරවන්න අම්මා ඒ දෙකට මාරුවෙන් මාරුවට ring කරලා. 
ඒවා කොහෙද..... මාව නම් ඇහැරවයි.!!


ගොඩාක් අයට වගේ නින්ද මටත් කරදර කරන්න පටන් ගත්තෙ උසස් පෙළ කරන්න පටන් ගත්තාට පස්සෙ. කැම්පස් ආවාට පස්සෙ ලෙඩේ අති දරුණු , අසාධ්‍ය මට්ටමට ආවා.
වෛද්‍යවරයෙක්ට / වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනා තරම් වෙලා නිදා ගන්න පුළුවන් කියලා අපිට කියලා දුන්නෙ අපේ සර් කෙනෙක්. 
(සර් කිවුවෙ කාර්යබහුලත්වය ගැන වුණත්) ගුරුවරු උගන්න්වපු දේවල් හොඳින්ම පිළිපදින කෙනෙක් විදියට මමත් ඒවා අකුරටම පිළිපැද්දා. නැත්නම් හොඳ නෑනෙ. :P


දේශන ශාලාවෙ නිදාගන්න පුරුද්ද නවත්තන්න හිතලා මගෙ වෙන්ඩ හස්බන්ඩ් කළේ  මාව හැමදාම පළවෙනි පේළියෙ වාඩිකරවපු එක. (එයාට නින්ද යනව මට පෙනුනෙ නෑ, මොකද ඊට කලින් මට හැමදාම නින්ද ගියා) ඒත් මම නෙමේ සැලුනෙ, පළවෙනිම පේළියෙ ඉඳන් නිදා ගත්තා.
(ශල්‍ය වෛද්‍ය සහ ළමා රෝග දේශන වලදි නම් නින්ද ගියෙම නැති තරම් - ශල්‍ය වෛද්‍ය දේශක තුමන්ලාගේ දක්ෂතාවය සහ ළමා රෝග මගෙ ප්‍රියතම විෂයය වීම)


ඒ අතර 3 වන, 4 වන වසර වල ඉගෙන ගන්නට වුණ එක්තරා විෂයයක් තිබුණා මම අකමැතිම. ඒකෙ දේශන වලට යන්නෙත් හාවා හඳ දකිනව වගේ.  ඒ  එක්තරා අවාසනාවන්ත සන්ධ්‍යාවක්.දේශනය අතර තුර දේශක තුමා ප්‍රශ්නයක් ඇහුවා අපෙන්. 
මම උත්තර දුන්නා. දේශක තුමා මම දිහා බැලුවෙ අමුතුම සතෙක් දිහා බලනවා වගේ. ශාලාවම මීයට පිම්බා මෙන් නිහඬයි. :-) ටිකක් වෙලා මා දිහා බලාගෙන හිටපු එතුමා තම කට හඬ අවදි කළා. 


"ආ.. ඇහැරුණාද?"


දේශන ශාලාවම එකම හිනාවකින් ඇළලී ගියා. ඒ වෙනකොටත් හීන බල බල හිටිය අය ඇරෙන්න අනිත් සේරම හිනා වුණා.


ඒත් සිඳු කියන්නෙ ලැජ්ජාවක් තියන කෙනෙක්යැ. හිනා හඬ නවතිනකම් ඉඳලා මම කිවුවා " මට නින්ද ගියෙ නෑ" කියල (ඇත්තටම මම හිතුවෙ මම නිදා ගත්තෙ නෑ කියලා) දේසකතුමාත් විනෝදයට බර, අපේම ජේෂ්ඨයෙක්. ඔහුත් පරාජය පිළිගන්න සූදානම් වුණේ නෑ.


"එහෙනම් මට වෙන්න ඇති නින්ද  ගියෙ "


මම එතනින් එහාට තර්ක කළේ නෑ.නමුත් ඔහු දිගටම කතා කළා. 


"මගෙ ලෙක්චර් එකේදි ඔයාට නින්ද ගියාට ප්‍රශ්නයක් නෑ. මගෙ ලෙක්චර් එකේදි මට නින්ද ගියොත් තමයි ප්‍රශ්නෙ. ඒ නිසා ගණන් ගන්න එපා...... නිදිමතයි නම් නිදා ගන්න.."


ඔන්න බලන්න ශිෂ්‍යයන්ව තේරුම් ගන්න ගුරුවරු. :P


මම නැවතිලා හිටිය බෝඩිම තිබුණ කැම්පස් එකෙන් ටිකක් දුරට වෙන්න. (ජ'පුර ගැන දන්න අයට කියන්නෙ, පිරිවෙන හන්දියෙ) බස් එකේ එන දුර. ඒ නිසා සහ මගෙ නින්ද යාමේ ප්‍රශ්නෙ නිසා මම සාමාන්‍යයෙන් කැම්පස් එකට එද්දි ප්‍රමාද වුණා. 


ඒ නිසාම අපි අංගොඩ මානසික රෝහලට යන්න හිටිය මුල්ම දවසට කලින් දවසෙ මගෙ යාලුවො ටික මට ගොඩාක් ආදරෙන් පැහැදිලි කරලා කිවුවා ......උදේම එන්න, කැම්පස් බස් එක 7.30 වෙද්දි අංගොඩ බලා පිටත් වෙනවා කියලා. 
මමත් දැඩි අධිශ්ඨානයෙන් යුතුව නින්දට ගියා. ෆෝන් එක රින්ග් වෙන සද්දෙට පහුවදා ඇහැරුණා. එලාම් එක වෙන්න ඇති. ඒත් පොඩි වෙනසක් තියනවා. වෙනදාට වඩා ටිකක් වැඩිපුර කාමරේට අවුව වැටිලා. නිකමට වෙලාව බැලුවා. 7.55 යි. ෆෝන් එකේ missed calls 27 යි. එක එක නොම්මර වලින්. ඒ වෙලාවෙ ඉඳන් කොහොම ලෑස්ති වුණාද මමවත් දන්නෙ නෑ. කොහොමහරි 8.10 වෙනකොට කෙල්ල කැම්පස් එකේ. කීප දෙනෙක් ඇරුණාම හොඳ වෙලාවට අපේ clinical group එකේ ගොඩාක් යාළුවො පෙරළුණු පිට හොඳයි කියන අය. ඒ නිසා බැනුම් නාසා, ඒත් එකසිය ගාණට බයිට් වෙලා මම අංගොඩ ගියා.


අංගොඩ ගතකළ කාලය වෙනස්ම අත්දැකීමක්. ඒත් ඒ කාලයෙදිත් වෙනස් කමක් නැතිවම සිද්ධ වුණ එකම දේ සුපුරුදු විදියටward classes අතර මැද මට නින්ද ගිය එක.





අංගොඩ ගිහින් තියන අය එහෙම දැකලා ඇති, එහෙ තියනව පොඩි පොඩි summer huts කීපයක් කෙටි තාප්ප වලින් වට වුණ. රෝගීන්ගෙ විවිධ වැඩසටහන් වලට වගේම ඇතැම් අවස්ථා වල වෛද්‍යවරුන් රෝගීන්ව හමුවන්නත් මේ summer huts යොදා ගන්නවා. 


දවසක් මේ එකක අපේ පන්තියක් පැවැත්වුණා. සමහර අය වටේ තිබුණ පු‍ටු වල වාඩි වෙලා හිටියා තාප්පය දිගට. මා ඇතුළු කීපදෙනෙක් තාප්පෙ උඩ වාඩි වෙලා හිටියා. කකුල් බිම ගෑවෙන නොගෑවෙන තරම්. 


ටික වේලාවක් පන්තිය සරලව ගලාගෙන ගියා. එක මොහොතක මට දැනුනා අමුතුම හැඟීමක්. ගුරුත්වාකර්ශනයෙන් මාව නිදහස් වෙලා පාවෙලා යන්න යනවා වගේ. ඒත් එක්කම දෙපැත්තෙ හිටිය දෙන්නා මාව අල්ලා ගත්තා ( පාවෙලා යන්න නොදී)
සර් ඇතුළු සියල්ලන්ගෙ දෑස් මා වෙතට යොමු වෙලා. අනේ මට නින්ද ගිහින් තාප්පෙන් අනිත් පැත්තට පෙරලෙන්න ගිහින් යාළුවො දෙන්නා අල්ලගෙන.
"නින්ද ගියාද?" සර් ඇහුවා.
"නෑ සර් බැලන්ස් නැති වුණා" මම කට අරින්නත් කලින් මගෙ යාළුවා උත්තර දුන්න. ඒත් ඉතින් මගෙ හැටි දැනගෙන හිටිය අපේ කණ්ඩායමේ කාටවත් මොකද වුණේ කියන එක රහසක් වුණේ නෑ.


අවසාන වසරෙ තියනවා shadow house officer කියලා කාල සීමාවක්. 
මුළු රාත්‍රිය පුරාම වාට්‍ටුවෙ ඉන්න ඕනා වෛද්‍ය ශිෂ්‍යයො 2ක් හෝ 3ක්. 


අනිත් හැම වාට්‍ටුවකම අපිට නිදාගන්න තැනක් තිබුණා වුණත්, එක්තරා වාට්‍ටුවක ඒ වෙනුවෙන් කිසිම පහසුකමක් තිබුණෙ නෑ. මේසෙට ඔලුව තියාගෙන නිදාගත්තු එක තමයි හැමෝම කළේ. 
මමත් උත්සාහ කළා එහෙම නිදා ගන්න. 
ඒත් මට ඒක මදි වගේ. 
නින්ද තියෙන්න ඕනා නින්දක් වගේ. 
ඉතින් මම ඒකට ක්‍රමයක් කල්පනා කළා. 
හොඳ අදහසක් ආවා. 
අපිට පන්ති පවත්වන වෙලාවට වාඩි වෙන ප්ලාස්ටික් බංකු වගයක් තිබුණා.යාළුවා එක්ක එකතු වෙලා හොයාගත්තා ඒවා 10ක්. 


ඒවා පේළි 2ක් විදියට සකස් කරලා උත්සහ කළා නිදාගන්න. ඒත් හරි ගියෙ නෑ. මොකද ඒවා එහෙම ළං කළාට හොඳටම ළං වෙන්නේ නෑ. මැද්දෙ හිඩැස් හිටිනවා. තව ටිකක් කල්පනා කළා. එතකොට තමයි දැක්කෙ පැත්තකින් හේත්තු කරලා තිබුන white boardඑක. ඒක ගත්තා. දැම්මා අර බංකු උඩින්. 
ඔය තියෙන්නෙ ඇඳක්........ 
කලින් මේසෙට ඔලුව තියාගෙන නිදාගත්තු මටයි යාළුවාටයි ඒක ආපිකෝ මෙට්ටයක් වගේ වුණා. 


එදා පාන්දර 2ට විතර තවත් යාළුවෙක් කාමරේට එනකනුත් අපි දෙන්නා එහෙම නිදිලු. ඒ නිදාගෙන හිටිය විදියට අපි දෙන්නව  ඇහැරවන්න දුක හිතුන ඒ යාළුවා අපිට කරන්න තිබුණ වැඩත් එයාම කරලා, මේසෙට ඔලුව තියාගෙන නිදාගෙන තිබුණා. 
"අනේ මෙහෙමත් නින්ද යනවනෙ" කියලා හිතුණා කියලා එයා පස්සෙ කිවුවා.



මේ වගේ නිදි කතා නම් ගොඩයි. තවත් එකක් කියලාම අදට නවත්තන්නම්.


4 වන වසරේදි අපිට යන්න සිද්ධ වුණා ආබාධිත පුද්ගලයන්ව පුනරුත්තාපනය කරන රෝහලකට. ඒකේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය තරමක් සැර පරුෂ බවක් එහි යාමට පෙරම අපිට දැනගන්නට ලැබුණා අපට කලින් එහෙ ගිය අනිත් කණ්ඩායම් වලින්. ඒ නිසා යන්න කලින් මගෙ යාළුවො ටික මට වැන්දේ නැති ටික විතරයි එහෙදිත් නිදා ගන්න එපා කියලා. ඔන්න ඒ වෙලාවෙත් මගෙ දැඩි අධිෂ්ඨානෙ ක්‍රියාත්මක වුණා. 
"අද දිනයම නොනිදා ගත  කරමි !! " කොහොමද අධිෂ්ඨානෙ ?? :-)


ඔන්න ක්ලාස් එකේ මුල් භාගය ලස්සනට ගත වුණා. ටික වෙලාවකින් ඇහෙනවා " hey, you !! stand up" 
ඇස් දෙක ඇරලා බැලුවා. අර කියපු වෛද්‍යතුමිය ඉන්නවා මා දිහා බලාගෙන. 
"නිදිමත නම් ටිකක් එලියෙ ඇවිදලා එන්න"  එක පාරටම "යනවා එලියට" කියන්නෙ නැතුව ඒ තේරුමම වෙනත් වචන වලින් ඇය කිවුවෙ එහෙම.මගෙ අහිංසක යාළුවො ටිකත් අසරණ විදියට මා දිහා බලාගෙන. 
"දැන් නිදිමත නෑ මැඩම්" මම කිවුවා. 
"එහෙනම් ඔහොම හිටගෙන ඉන්න, ඉඳගත්තොත් ආයෙ නින්ද යයි" 
ඉතින් මොනව කරන්නද. ආයෙ බෑ කියන්නයැ. එහෙමම හිටියා පන්තිය ඉවර වෙනකම්. 
ඒක ඉවර වුණාට පස්සෙ මට යාළුවෙක්ගෙන් හොඳ ටොක්කක් නම් හම්බුණා. 




ඉතින් මම මේ කියන්න හැදුවෙ ඔයාලා කාටහරිත් තියනව නම් ලෙක්චර් එක අතර මැද නින්ද යන ලෙඩේ... මෙන්න විසඳුම !!




(මේ ලිපිය ලියන්න හිතුනෙ මුලින්ම ගිමන් ගෙ මේ ලිපිය නිසා. ඒ උනන්දුව වැඩි වුණා රූ ගෙ යාළුව ගැන තිබුණ ලිපිය නිසාත්)




ඒක නෙමේ, මෙන්න තියනව අර වචන තේරෙන්නෙ නැති සින්දුව. බලන්න අහලා තියනවාද කියලා. ඒක ගායනා කරන්නෙ මේ නළුවො තුන්දෙනාම තමයි


56 comments:

  1. විශ්වාස කරන්න හුඟක් මහන්සි දවස්වලට මට බස් එකේ හිටගෙන ඉද්දිත් නින්ද යනවා :D

    ReplyDelete
    Replies
    1. මට ඒ වැඩේ නම් වෙන්නෙ නෑ මොකක් හරි වාසනාවකට. මොකද මට බස් වල හිටගෙන යන්න හරි අමාරුයි එහාට මෙහාට විසි වෙනවා. කොහොමද නින්දත් ගියොත් එහෙම.

      Delete
  2. මට නම් ලෙක්චර් වල නින්ද යන්නේම නැති තරම්! ඕන තරම් රෑ ඇහැරිලා ඉන්න ඇහැකි~! ඒත් උදේට කීයට උනත් නැගිටින්න තමයි අමාරු!

    ReplyDelete
    Replies
    1. එහෙම නින්ද නොයන එක නම් ලොකු වාසනාවක්. උදේ නැගිටින එක නම් මතක් කරන්න එපා. රෑට නින්ද යන එක නම් පරක්කු කරන්න පුළුවන් තමයි එක එක උපක්‍රම වලින්. රෑ 10 අමාරුවෙන් පහු කරගත්තොත් 12, 1 වෙනකම් උනත් ඉන්න නම් පුළුවන් මහන්සි දවසක් නෙමේ නම්. ඒත් ඉතින් පහුවදාට ඒකත් එක්ක අල්ලනවනෙ

      Delete
  3. මට නින්ද එක්ක මාර අවුල් වැඩ වෙනවා ලංකාවෙන් පිට ගියාම. ගොඩක් වෙලාවට ඔරලෝසුවෙ වෙලාවත් කරකවලා හදාගන්න එපැයි .මම අත් ඔරලෝසුව හැදුවට ෆෝන් එකේ වෙලාව වෙනස් කරන්නේ නෑ . ඒකෙන්මනේ එලාම තියන්නේ .ඉතින් හරි ජර මර වෙන්නේ . මහ රෑ ඉඳන් ඇවිත් ගමන් මහන්සියට පිස්සුවෙන් වගේ නිදාගෙන අර ෆෝන් එක ඇදලා අරන් වෙලාව බලලා හීතාගන්න බැරි වෙනවා මේ එදා හවසද , රෑ ද නැත්නම් අනික් දවසේ හවසද කියලා .සෑහෙන්න හිතලා ලංකාවේ යාලුවෙක්ට එස් එම් එස් එකක් දාලා තමයි දිනෙයි දවසයි අහගන්නේ .ඔහොම මැරිලා වගේ නින්ද ගිහින් වැදගත් මීටින් වලට ලංකාවෙ වෙලාවෙන් නවයට සහ ඉන්න රටේ වෙලාවෙන් 11 ට ගිහින් තියේ එතකොට නම් මාර ලැජ්ජයි :)

    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙම වෙලාවල් අවුල් ගියාම මෙහෙ වෙලාවටද නිදිමත වෙන්න එහෙ වෙලාවටද?
      TG ඒ පැත්තෙ ආවෙත් නෑ කාලෙකින් තරහ වෙලාද මන්ද!

      Delete
    2. ගිමන් මේ දවවල බරපතල වැඩ ඇතුව සිර දඬුවම්. දවස ඉවර වෙනකොට මෙහේ වෙලාවෙන් 7.30 විතර වෙලා .මහන්සියි.අහ් අර ඔයාගේ පෝස්ට් එකේ කිව්ව ලෙඩේ මටත් තියේ .ඇනෙක්ස් එකේ දොර වැහුවද කියලා නිතරම බලන්න ඕනේ :)

      Delete
    3. ඉතින් එහෙම හවසට නැගිටලා ඔයා උදේ කියල හිතලා දත් එහෙම මැදලා මීට්න් යන්න ලෑස්තිවෙලා නැද්ද?
      අනිත් දවසෙ අපේ ගිමන්ට එස් එම් එස් එකක් වත් එවලා වෙලාව අහගන්න.

      Delete
  4. මමත් නම් නිදිකුම්බියක්..මගේ විනෝදාංශයක් වෙන්නෙත් නින්ද තමා...

    ඔයැයි ගේ නින්ද මාර නින්ද ක් නේ බලන් යද්දි..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම විනෝදාංශයක් විදියට නිදා ගන්න ලැබෙනවා කියන්නෙත් ලොකු වාසනාවක් නේද?

      Delete
  5. http://maheshslife-multiaxial.blogspot.com/2012/07/18-2.html?showComment=1341238699960#comment-c4211713024462192076

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එකට යන්න බෑනෙ. ඒක නෙමේ, කවුරු හරි මට කියන්නකෝ කමෙන්ට්ස් වලදි ලින්ක්ස් දාන විදිය

      Delete
  6. මේක මර නින්දක්නේ! :D හැබැයි හරිම වාසනාවක් ඔහොම හැම දේම අමතක කරලා නිදාගන්න පුලුවන් එකත්. මට ගෙදරදි නිදාගන්න පොතක් නැතුවබෑ. නමුත් කාගෙහරි කතාවක් අහගෙන ඉන්නකොට, එතකොට බස් එකක ඉඳගෙන යනකොට නින්දයනවා එකසිය ගානට.
    සිඳු මෙන්න මගෙ ගෝලයෙකුට නින්ද ගිය කතාවක්. "හේයි ජූඩ්"

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට නම් දුකත් හිතුනා ජූඩ් ගැන. ඇත්තටම පව්.
      ඉස්සර මට ලෙඩක් තිබුණා පොතක් නැතුව කන්න බෑ. අනේ දැන් නම් ඒ වගේ අසනීප මොකුත් නෑ, හොඳට කන්නයි නිදාගන්නයි පුළුවන්.

      Delete
  7. ඇති අප්ප ඩොස්ටල නෝනෙක් වුනා.....^_^

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කලන්නෙ ඩොස්ටල විඩියට ඉස්සලහටට් වැඩ කලන්නෙ කෝමඩ කියලා මේම ඩොයියගෙන

      Delete
  8. හොඳ වෙලාවට මාව දන්න කට්ටිය මේ බ්ලොග් එක නොකියවන්නෙ මෙන්න මගෙ නිදි කතාවක් oldpettagama.blogspot.com/2011/12/blog-post_13.html/

    …මෙව්වට කියන්නෙ ගිටි නොකා බේරෙන නින්ද කියලා. මාත් එක්ක ඔට්ටුවට නිදියමුද ?

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එකටත් යන්න බෑනෙ.

      Delete
  9. "වෛද්‍යවරයෙක්ට / වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනා තරම් වෙලා නිදා ගන්න පුළුවන්" ඔන්න දොස්තර නෝනට වැරදිලා... එකවුන්ට්ස් කරන අයටත් ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනා තරම් වෙලා නිදා ගන්න පුළුවන්..

    හා මං කියන්නේ බොරුනම් මාත් එක්ක චාර්ටඩ් ක්ලාස් ගිය යාලුවන්ගෙන් අහල බලන්න... දවසක් මගේ නින්ද හන්දා අපි යාලුවො 5 දෙනෙක් ආයතනයේ ප්‍රධානියත් එක්ක රණ්ඩුවක් ඇතිකරගත්තා.. :ඩී හැබැයි රණ්ඩුව ඉවර වෙනකන් දැනගෙන හිටියෙ නෑ ඒ ඉන්ස්ටිටියුට් එකේ ලොක්කා කියලා

    ReplyDelete
    Replies
    1. ඉතින් අනේ ඒ කතාවත් කියන්නකො. ඒක තමයි අපේ සර් ට වැරදිලා. එකවුන්ට්ස් කරන අයටත් ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනා තරම් වෙලා නිදා ගන්න පුළුවන්..

      Delete
  10. ජාති ජාතිත් සංසාරේ අපි සහෝදරියෝ වෙලා ඉන්න ඇති . දැන් මේ බ්ලොග් කියවන්න ඇහැරලා හිටියට බලන්න එපාය ඉගෙන ගන්න හෙම තිබුන නම් . අම්මෝ මානසික රෝහලේ අය තව ඩින්ගෙන් ඔයාව නවත්ත ගන්නවා

    ReplyDelete
    Replies
    1. අංගොඩ සිද්ධිය මතක් වෙද්දි මට නම් තවමත් හිනා යනවා. කොහොමද එදා එහා පැත්තට පෙරලුනා නම්, කාඩ් කුඩුනෙ.
      හරියට හරි මමත් මේ කල්පනා කළේ මේ තරම් උනන්දුවෙන්, පාඩම් කළා නම් අපිත් මිනිස්සු තමයි නේ.

      Delete
  11. පාඩම් කරන කාලෙවත් මෙහෙම උනන්දුවක් තිබ්බේ නෑ.. දැන් රෑ ඇහරන් බ්ලොග් කියවනවා.. කියලා වැඩක් නෑ.. ඔක්කොම හරි උදේ නැගිටින එක තමා අවුල..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි, මේ බ්ලොග් කියවන්න තියෙන උනන්දුව පාඩම් කරන්න තිබුණා නම්........

      Delete
  12. ඔන්න අද නම් දානකම් බලාගෙන හිටිය post එක දාල.
    අම්මෝ ඔයා කියල තියන ඒවට මටත් අන්තිම අවුරුද්දෙ නින්දට දීල තිබ්බ වටිනාකම මතක් වුනා, මම නම් පුටුවල තමා ඒ කාලේ වැඩි හරියක් නින්ද ශේප් කර ගත්තෙ. පළවෙනි අවුරුදු 4 අපරාදෙ කියන්න බෑ දේශන ශාලාවෙ අපූරුවට නිදා ගන්න පුලුවන් කම තිබ්බ. පලවෙනි දේශනේ නම් ගොඩක් වෙලාවට දේශකයා ශාලාවට ඇතුලු වෙනව විතරයි මතක. 3 වෙනි 4 වෙනි දේශන වෙද්දිනම් ඉතිං නිදිමත මට්ටු කර ගෙන. ward classes වලදි නම් නිදා ගන්න ලැබිල නෑ ඒවායෙදි නිතරම ප්‍රශ්න අහනවනෙ.
    කොහොම හරි හැමදාම වගේ සිඳූගෙ ලිපි වලින් ඒ දවස් වල ජීවිතේ මතක් වෙන කොට ලිපිය තවත් රසවත් වෙනව. තවත් මේ වගේ ලිපියක් ලඟදිම ලියමු නේද?

    ReplyDelete
    Replies
    1. අන්තිම අවුරුද්ද නම් මතක් කරන්න එපෝ....... අපි හැමෝම එකතු වෙලා ගිය ආත්මෙ කරපු කරුමයක් පල දුන්න වෙන්න ඇති ඒ. නැත්නම් කොහොමද හැමෝටම මේ වගේ දුක් විඳින්න වුණේ.
      සාමාන්‍යයෙන් වෝඩ් ක්ලාසස් වලදි ප්‍රශ්න අහනවා තමයි. ඒත් මේ සර් හරි හොඳයි. අංගොඩදි ඔයාත් දැකලා ඇති සමහර විට. මාව පෙරලෙන්න හියෙ එක්කෙන්ක් හිස්ට්‍රියක් ප්‍රසන්ට් කරන වෙලාවෙ.

      Delete
    2. හප්පේ ඔව්! මටත් ඔයාට හිතුන විදිහටම තමා අන්තිම අවුරුද්ද ගත කරද්දි හිතුනෙ.
      එහෙනම් අනිවාරයෙන්ම හිස්ට්‍රිය වැල්වටාරම් ගොඩක් එක්ක දිගට අරන් තියෙන්න ඇති! එහෙනම් ඉතිං නින්ද යාම ඒ හැටි අසාධාරණ නෑ! :D

      Delete
  13. මං වගේම කෙනෙක් කියලයි මටනම් කියන්න හිතෙන්නෙ..හි හී.:)

    ReplyDelete
    Replies
    1. ගහට ගහක් මොර‍ටුවෙදි මුන ගැහෙනව වගේ අපි දෙන්නත් බ්ලොග් ලෝකෙදි මුනගැහිලා. හී හී

      Delete
  14. මාර කේස් එකක් තියන් පොස්ට් එකක් කොහොමද ශල්‍යකර්මයක් කරනකොට එහෙම නින්ද ගියොත් අවුලක් නෑ :) :D "ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා"

    ReplyDelete
    Replies
    1. අම්මෝ මම නම් ශල්‍ය කර්ම කරන්න බලාපොරොත්තුවක් නෑ. වෙන මොකුත් නෙමේ, මම ආසයි ගොඩක් ඒත් ඒවගෙ සමහර ඒවා කරන්න මට හයිය නෑ.( කියත් අරන් ඇටකෝ‍ටු කපනවා වගේ ඒවාට. )
      ඒ නිසා නින්ද නොගියත් නැතත් අර ටිඅකම තමයි. "ඔබ නිදන්න ඔබ නිදන්න..."

      Delete
  15. මට නම් කාමරේට වඩා ලෙක්චර් හෝල් එකේදි නින්ද යනවා. අනිවාර්යෙන්ම ලෙක්චර් එකකට ගියොත් එදාට නිදා ගන්නවා. ඒ නිසා ගොඩ දවස්වල ලෙක්චර් යන්නේ නෑ.
    නින්ද ගියාට කොහොමහරි විභාග ටික ගොඩ දාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොඳම වැඩේ. නින්ද යනවනම් ලෙක්චර්ස් ගිහින් වැඩක් නෑ.

      Delete
  16. අපොයි මෙහෙමත් නින්දක්.මටනම් එලාම් වැදුනාම ඇහැරෙනවා.තදබල ලෙස මහන්සි වුනොත් විතරක් එලාම් වැදුනත් නිදි.ඕනෙ තැනක නිදා ගැනීමෙ හැකියාවනම් තියෙනවා හැබැයි. :)

    ReplyDelete
    Replies
    1. ඔයත් මගෙ කසින් මල්ලි වගේ. එයාට එලාම් ඕනෙත් නෑ, හිතෙන වෙලාවට ඇහැරෙන්න පුළුවන් ලු. ( අනේ මන්දා එයා තමයි කියන්නෙ ඉතින්)

      Delete
  17. අංගොඩ වෝඩ් ක්ලාස් කතාවට නම් මට තාමත් හිනා.මැවිලා පේනවා අප්පා..

    ඔය ඕනෑ තැනක නිදාගැනීමේ හැකියාව මම පුරුදු වුනේ කඳු නගින්න ගිහිල්ලා..කෝච්චියේ බස්එකේ බස් හෝල්ට්වල නැත්තං කැමති තැනක දැන්නම් කියන පමාවට නින්ද යනවා..

    ඔහොම ලෙක්චර්ස්වල පළවෙනි පේලියේ නිදාගන්න යාළුවෙක් අපිටත් හිටියා..අපි එයාට නිදාගන්න ඇරලා අපි ෆන් ගන්නවා..ලෙක්චර්ස් ඉවර වුනාම කියාගෙන යනවා සීනී කිලෝ කීයද? පිටි කිලෝ කීයද ළූණු කිලෝ කීයද කියලා?
    එයා පුදුම වෙලා බලපුවාම අපි කියන්නේ ඔච්චර වෙලා ඔයා කිරුවෙ මොනවද කියලා

    දවසක් මේකට තරහ ගිහින් මනුස්සයා අපිට බැන බැන යනවා නෑ මම කිරුවෙ කේක් කියලා..ඇත්තටම එහෙම නින්ද ගිහිල්ලා බෙල්ල එක එක පැත්තට කඩා වැටෙද්දි හිතෙන්නෙ පරණ කාලෙ තරාදියකින් සීනි කිරනවා වගේ තමා..!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉස්සරහටම වෙලා නිදාගද්දි මාවත් එහෙම පේන්න ඇති නේ. ලජ්ජයි අප්පා

      Delete
  18. අන්න එහෙම තමා හැදෙන ලමයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න මල්ලිට තේරුණා. සොරි සොරි...... අන්න රජා ට තේරුනා.

      Delete
  19. නින්ද තරම් සම්පතක් තවත් තියෙනවද? යාන්තමට විනාඩි දෙක තුනක් ඇහැ පියවුනත් දැනේනේ පුදුම සනිපයක්.

    හැබැයි අඩ නින්දෙන් ගැස්සිලා අහැරෙන එක තරම් කරදයක් තවත් නෑ.

    ReplyDelete
    Replies
    1. විනාඩි දෙක තුනකට ඇහැපියවෙන කතාව නම් හරියටම හරි. ඉස්සර මම පන්ති යන කාලෙ එක පන්තියක් තිබුණා දවල් කෑමෙන් පස්සෙත් තියන. සමහර අය දන්නවත් ඇති තිලක් රාජකරුණා සර් ගෙ පන්තිය. ඒකෙදි 1න් පස්සෙ ආයෙම සර් උගන්නන්න පටන් ගත්තම මම විනාඩි 5ක් නිදාගන්නව යාලුවාට ඇහැරවන්න කියලා. ඇත්තමයි විනාඩි 5න් නැගිට්ටත් ඒක මට දැනෙන්නෙ මම පැයක් විතර නිදාගත්තා කියලා.

      Delete
  20. දාන්න න0ගි පහක්... මමත් ඔය බෝට්ටුවෙම තමා. ලෙක්චර්ස් වලදි මට නින්දයනවා තමා. ඒත් ඊට වඩා ලොකු ගැටළුවක් තිබුනා. මම නින්ද යනකොට ගොරවන්න ගන්නවලූ. ඔය ප්‍රශ්නෙ නිසාම අන්තිම පේළි වල තමා වාඩි වුනෙත්.සාමාන්‍යයෙන් නම් මම ගොරවාගෙන එනකොට අසල්වාසීන්ගේ වැලමිටි පාරෙන් ඇහැරෙනවා. දවසක් ලෙක්චර් එකක අසල්වාසීන්ටත් නින්ද ගිහින්. ඇති වූ තත්වය හිතාගන්න.(ලෙක්චර් එකේ විෂය අර com වලින් පටන් ගන්න එක තමා. ඔයා කිව්ව හාව හඳ දකින එකත් ඒකම වෙන්ඩැ). A/L ක්ලාස් එකක දවසක් සර් කෙනෙක් කියනවා "මූ නිකම් බාලසි0හම් වගේ කන්නාඩි දෙක දාගෙන හිටියම හිතන්නේ මූ නිදා ගන්නවා අනිත් අයට පේන්නෑ කියලා". ඉසකෝලෙ මට දාල තිබ්බ නම පාසලේ සීනුව කියලා. ඒ මම හැමදාම එන්නෙ ඉස්කෝලෙ බෙල් එකට විනාඩියක් හෝ දෙකක් තියලා. පන්තියේ කොල්ලො මට නමකුත් දාල තිබුනා Mr.ඈනුම් කියලා. මම ඈනුම් යවන ගාන උන් සමහරදාට ගනිනවා.
    දැන් ඔයා ඇති තරමක් කුඩු වෙන්නම නිදාගන්න හැබැයි නඟෝ ඔයාගෙ නින්දට කණ කොකා හඬන කාලය වැඩි ඈතක නෙවි.අත්දැකීමෙන් කියන්නේ.ඔතරම් කුම්භකර්ණයෙක් වුනත් මගේ නින්ද උඩු යටිකුරු වුනේ සීමාවාසික කාලේ.එකදිගට පැය 48 නොනිදා හරියට කෑමක් වත් නැතිව වැඩ කල දවසුත් තිබුනා.ඒමදිවට දවසක් හැර දවසක් ඔන් කෝල්.මම ඒ කාලෙ වැසිකිලි ගියත් ෆෝන් එක අරගෙන යන්නෙ. කොයි මොහොතේ වාට්ටුවෙ ලෙඩෙකුට අමාරුයැයි ඇමතුම එනවාද කියන්න බෑ.
    අනික ඒ වගකීම් ගොන්නත් එක්ක අමුතුම තත්වයකට පත් වෙනවා.එක දවසක් පාන්දර 2.30ට විතර හීනෙන් දැක්කා ළමා වාට්ටුවේ ඉන්න ඇදුම පොඩි එකාට අමාරු වෙලා. පට ගාල ඇහැරුනා.චෙක් කලා ෆෝන් එක. කෝල්ස් ඇවිල්ලත් නෑ. ඒත් හිතට හරි නෑ. කලිසමක් උඩින් දාගෙන ගියා වාට්ටුවට.මම එනවා දැකපු නර්ස්ල ටිකත් ෆුල් හොල්මන්. "ඇයි ඩොක්ටර්". "මිස්, අර ඇමයිනොෆිලින් ඉන්ෆුශන් යන පොඩි එකාගෙ කන්ඩිශන් එක කොහොමද" "ආ.. දැන් සෙට්ල්, ඩිස්නික් ගතිය අඩු නිසා අපි ඩොක්ටර්ට කතා ආයෙ කතා කලේ නෑ". "කමක් නෑ. ආයෙ සැචුරේශන් චෙක් කරන්නකෝ". මිස්ලා කට්ටියටම කරකවලා අතෑරලා වගේ .කොහොමහරි ඔක්කෝම බලලා ප්‍රශ්නයක් නැතිබව දැනගෙන තමා ආයෙ ගියේ.ඔය ඔක්කොම කරනකනුත් එහා පැත්තේ නිදාගෙනහුන් පොඩි එකාගෙ අම්මා නෙවි ඇහැරිලා වත් බැලුවේ .අනේද කියන්නෙ නින්ද.
    ආ හිල්ඩා කුමාරි ගැනත් ලියලා තියෙන්නේ. අර "coz this is pure love" සින්දුව නම් සිඳුගෙ ජාතික ගීයක් වෙලාද කොහේ. අර ඔයාගෙ හඹා යාම කතාවෙ පසන්ගේ ෆොන් එකේ රින්ග් වෙන්නෙත් ඕකම නේද...:P
    කලින් ලිපි වලට අපි දාපු කමෙන්ට් වලට රිප්ලයි දාල තිබුනෙත් නෑ. මේකටවත් රිප්ලයි නැතිනම් බලාගමු. මම නරක මිහිහයි කියන්න එපා ඕන්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දිග වැඩි වුනාද මන්දා

      Delete
    2. හී හී කොහොම ඇත්ද නිදාගෙන ගොරවනකොට. ඇන්ටන් බාලසිංහම් ලී කොටයක් ඉරනවා වගේ ඇති.
      හරී අයියාට හරියටම තේරුණා මොකද්ද විෂයය කියලා . හරියටම හරි. හී හී. මෙන්න සින්දුවක් තියනවා අහලා බලන්නකො. එතකොට තේරෙයි ලෝකෙ අනිත් රටවලටත් ඒ විෂයය ගැන තියෙන්නෙ එකම ධර්මතාවයක් කියලා.
      (අපි Com******** කිවුවට ඒකට වැඩිපුර කියන්නෙ Pub*** hea*** කියලානෙ.)
      http://www.youtube.com/watch?v=8bygOaphU4o&feature=related

      ඉස්කෝලෙ යන කාලෙ මමත් එහෙමමයි. වැඩිපුරම හිටියෙ පරක්කු පෝලිමේ තමයි. මම වැරදිලා හරි වේලාසන ආව දවසට යාලුවො කියනව "කෝ බෙල් එක ගැගුවෙ නැත්තෙ මොකද " කියලා
      වගකීම් එක්ක මමත් හැදෙයි කියලා මමත් හිතනවා. බලමු නේද.

      අයියා හරි. පසන්ගෙ රින්ගින්ග් ටෝන් එකට මම ඒක දැම්මෙත් මගෙ එක ඒක නිසා. මම ඒක ෆෝන් එකට දාගත්තෙ ලංකාවෙ ඒ සින්දුව ජනප්‍රිය වෙන්නත් කලින්, ඊට පස්සෙ ඒක මෙහෙ ජනප්‍රිය වෙලා ජනප්‍රියතාවය අඩු වෙලා ගියත් තවමත් ඒක මගෙ රින්ගින්ග් ටෝන් එක. හඹා යාම එකේ චරිත වලට මම සමීප වෙලා වැඩියි හොඳටම. මට දැන් ඒ කාටවත් අසාධාරනයක් කරන්න හිතෙන්නෙම නෑනෙ.

      කමෙන්ට් එක දිග වැඩි නෑ. ආසයි මම එහෙම වෙනවට

      ඔයාව නරක මිනිහා කරන්න බැරි නිසා ඔන්න මම රිප්ලයි කළා.

      Delete
    3. මම ඔය සින්දුව මුලින්ම බැලුවෙ ෆයිනල්ස් කරන කාලෙම තමා.. ඒ කාලෙට ලියපු ජාතික ගීයක් වගේ තමා.. හී හී

      Delete
  21. අනේ මටත් මේ ලෙඩේ තියනවා සිඳු. ඔච්චර දරුණුවට නම් නෑ.

    අනේ අර වචන තේරෙන්නේ නෑ කියන සින්දුව ෂෝයි සින්දුවක් නේ...ඒ ෆිල්ම් එකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මම ළඟදි මලපු හින්දි චිත්‍රපට වලින් හොඳ එකක් ඒක . වෙනස් තේමාවක් තියනවා.

      Delete
  22. මේක නම් දරුණුම නිදි ලෙඩක්,,මටත් ඔය ලෙඩේ නම් නෑ,ඒ උනාට නිදිමතක් ආවොත් හිටගෙන හරි නිදියන්න පුලුවන්,,ඇදන්,මෙට්ට ඕනේ නෑ වැඩේට

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඩිලාන්. බේත් නැති ලෙඩ මේවා.

      Delete
  23. අපි තියමුද තරඟයක්?

    ReplyDelete
    Replies
    1. තියමු තියමු............ බලමුකො කවුද දිනන්නෙ?

      Delete
    2. මමත් ඔය තරඟෙට එමි...

      Delete
  24. හෆ්ෆා..ලේචර්ස් වල තරං මට වෙන කොහෙවත් හොදට නින්ද යන්නෑ අෆ්ෆා...

    ReplyDelete
  25. mamanam dawalta nida ganna kamathine.et reta nida gathtoth ai udeta nagitinawa kiyanne maranna geniyanawa wage tama itin.retanam mawa ussan giyath mama danne.....a taram hodata nida gannawa.

    ReplyDelete
  26. ඔය නින්ද යාම ඔයාට විතරක් නෙවේ අපිටත්තියන ප්‍රශ්නයක්. ලෙක්චස් වලදී මාත් ඉස්සරම පේලියට වෙලා හොදට හීන දැකලා තියනවා. සිරිල් කාරියවසම් සර්ව කවුරුත් දන්නවා ඇතිනේ. එයා දවසක් මගෙන් අහනවා ඇයි ඔලුව රිදෙනවද කියලා. මොන ඔලුවද. දවල්ට කෑවට පස්සේ නින්ද යන හැටි අපිනේ දන්නේ....

    ReplyDelete
  27. මටත් ඔය ලෙඩේ ම තියෙනවා අක්කේ. ඉස්සර CIMA Class යද්දී හැමදාම Law lecture එක වෙලාවට මම නිදි.. Lecture එක ඉවර වෙලා break එකක් දුන්නම එලියට යන අයගේ ඇඟේ හැපිලයි මට ඇහැරෙන්නේ.
    දැන් ඉතිං කැම්පස් එකේ දී නම් හිටු කියලා නිදි.. හොඳ වෙලාවට අපේ සමහර lecturersලා කියලා තියෙන්නේ නිදිමත නම් නිදා ගන්න. හැබැයි ඉක්මනට ඇහැරිලා අවධානය යොමු කරන්න කියලා.. දෙවැනි කොටස කෙසේ වෙතත් මුල් වාක්‍ය නම් අපි හිස් මුදුනින් පිළි ගන්නවා!!
    තව එකක්.. ඔය කන්නාඩි දෙකක් දාගෙන නිදා ගන්න ක්‍රමය බොහොම සාර්ථකයි.. අත්දුටුවයි. ප්‍රතත්‍යකෂයි!

    ReplyDelete