Thursday, July 12, 2012

වන මැද මං මුලාව


තවත් පුංචි කැලෑවකට අද යන්න හිතුවා. කොළඹ ඉඳන් වැඩි දුරක් නෑ. පැය 2ක විතර ගමනක්. 
කැලෑවෙ නම තමයි "බෝධිනාගල (දොඹගස්කන්ද)" 
බස්නාහිර පළාතෙ කලුතර දිස්ත්‍රික්කයෙ ඉංගිරිය ප්‍රදේශයෙ පිහිටලා තියන මේ ද්විතීයික වැසි වනාන්තරය දැන් තරමක් දුරට විනාශ වීමේ තර්ජනයට මුහුණ පාලා තියන රක්ෂිතයක්.


මේ ගමනට අපි 11 දෙනෙක් සහභාගි වුණා. පාන්දරින්ම කැම්පස් එකෙන් පිටත් වුණ අපි උදෑසන පින්නත් හීතලත් එක්කම හොරණට ළඟාවුණා. එතන ඉඳලා පාර හොයාගන්න අමාරු වුණේ නෑ, මොකද බෝධිනාගල කියන නාම පුවරු වලින් අපිට ගමන් මාර්ගය පෙන්වුව නිසා. 




වාහනෙන් යන්න පුළුවන් තැනට ගිය අපිට එතන ඉඳන් යන්න වුණේ පයින්. බොහෝ දුරක් යනකම්  පාර කොන්ක්‍රීට් කරලා තිබුණෙ. කැලේ ආසන්නයට යන්න යන්න වනාන්තරයක් ඇතුලෙදි දැනෙන සිසිලස දැනෙන්න පටන් ගත්තා. පාර දිගටම තිබුණෙ පුංචි පුංචි දිය පාරවල්. ඒ ජලය  හරිම පැහැදිලියි, ඒ වගේම සීතලයි.




මේ වනාන්තරය පැතිරිලා තියෙන්නෙ අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් පුරා. ඒ කඳු දෙකක. කන්දෙ තියන ආරණ්‍ය සේනාසනයට යන්න කපලා තියන ගල් පඩි දෙගේ අපි තරම වෙලාවක් කන්ද නැග්ගා. 


ආරණ්‍යට වඩින හාමුදුරුනමක්

එක් ස්ථානයක අපේ දවල් ආහාරයත්, වැඩිපුර තිබුණ බඩු බාහිරාදියත් තියලා, එතැනින් කැලේට ඇතුළු වුණා. 

ඒ හිතා ගන්න බැරි තරම් අපූරු ලෝකයක්. වැඩිපුරම තිබුණ ශාක විශේෂය නම් බට පඳුරු කිවුවොත් නිවැරදියි. බොහෝ ස්ථාන නැගීම අතිශයින් දුෂ්කරයි. කොටින්ම කියනවා නම් අපේ එක්කෙනෙක්ගෙ කලිසම සම්පූර්ණයෙන් ඉරී ගියා. (එතනින් එහාට ගමන සම්පූර්ණ කළේ වෙන කෙනෙක් ළඟ අහම්බෙන් තිබුණ ට්‍රැක් කිට් එකේ bottom එක  ඉරී ගිය කලිසමට උඩින් ඇඳගෙන.)

තවත් කෙනෙක්ගෙ සපත්තුවක් ආයෙ පාවිච්චි කරන්න බැරි විදියටම කැඩුණා. එයාටත් රබර් සෙරෙප්පුවෙ පිහිට තමයි.




මේ මොන ප්‍රශ්නෙ තිබුණත් සමහර ස්ථාන වල තත්පර දෙක තුනක් වත් එක තැන ‍රැ‍ඳෙන්න බැරි වුණා, මොකද පැන පැන ආව කූඩැල්ලො නිසා. සපත්තු වටේ ගෑව සිද්ධාලේප වලට තරමක් ඔරොත්තු දුන්නත් , පොළොවෙ තෙත ගතිය නිසා ඒවා වැඩි වෙලාවක් ‍රැඳුනෙ නෑ. 
කැලෑව පුරාවටම මේ වගේ ලස්සන තැන් අනන්තවත් තිබුණා. 
වන ජීවීන් ගැන අධ්‍යයන කරන කෙනෙක්ට නම් මේ වනාන්තරය අපූරු ‍තෝතැන්නක්.


අපිට දකින්න ලැබුණ කුරුල්ලන් කීප දෙනෙක් නම් වශයෙන් දැක්වුවොත් (මගෙ check list එකට අනුව )


Malabar trogon  (ලෝහවනිච්චියා)
brown headed barbet (පොලොස් කොට්ටෝරුවා)
Sri lanka jungle fowl (ශ්‍රී ලංකා වලි කුකුලා)
Rose ringed parakeet (රෑන ගිරවා)
Alexandrine parakeet (ලබු ගිරවා)
black capped bul bul (කලු හිසැසි කොණ්ඩකුරුල්ලා)
Ceylon gray hornbill ? (ශ්‍රී ලංකා අළු කෑඳැත්තා)?
Green imperial pigeon (නීල මහගොයා)
black headed oriole (කහ කුරුල්ලා)
green pigeon (බටගොයා)


 විවිධාකාර සමනල් විශේෂ,  බත් කූරන් (dragonflies and damselflies) වගේම  නමක් ගමක් දන්නෙ නැති ගොලුබෙලි විශේෂ ගණනාවකුත් මේ කුරුල්ලන් හැරුණ විට අපට හමු වුණා.



මේ ගමනෙදි කවදාවත් අමතක නොවෙන සිදුවීමක සිදු වුණා. 


කුමක් හෝ වෙලාවක අපෙ 11 දෙනා කොටස් 2 කට බෙදුණා. (කිසිම දිනයකදී කැලේක සිදු නොකළ යුතු දෙයක්) 
අපෙන් වෙන් වෙලා ඈතට ගිය අනිත් කට්ටිය හොයාගන්න අපි උත්සාහ කළා. දුරකතන ඇමතුම් වලින් ඒ තරම් පලක් වුණේ නෑ. ප්‍රයෝජනවත් වුණේ "කෝපි කඩේ" හූව තමයි. ඒ විදියට හූ කියමින් ගිහින් අන්තිමට අපේ අනිත් 5 දෙනාව හොයාගත්තා. විනාඩි 30කට වැඩි කාලයක් ඒ සඳහා ගත වුණා. ආයෙ නම් වෙන් වෙලා යන්නෙ නෑ කියලා ගිවිසුම් ගහගෙනම අපි කැලෙන් එලියට එන්න කන්දෙ පල්ලමට බහින්න පටන් ගත්තා ගමෙන් මතු වෙන්න හිතාගෙන.


වැවිලා තිබුණ වනාන්තරේ නිසාම කන්දෙ පාමුලට එනකල්ම කන්දෙ පාමුල පෙනුනෙ නෑ. කඳු පාමුළට ආවම තමයි හැමෝටම දෙවියන් සිහි වුණේ. කන්ද පාමුල තිබුණෙ ගමක් නෙමේ. එතන ඉඳන් තවත් කන්දක් පටන් ගත්තා. 


හිතා ගන්න පුළුවන්ද, වෙන් වෙලා ගිය යාළුවො ටික හොයන්න ගිහින් අපිට පාර වැරදිලා. 
ගමට කියලා අපි බැහැලා තියෙන්නෙ කඳු 2ක් අතර නිම්නෙකට. 


ඒක දැනගත්තා විතරයි අපේ එක්කෙනෙක් අඬන්න පටන් ගත්තා. එයාව ආදරෙන් සහ බැනලා නළවගත්තාට පස්සෙයි මොකද කරන්නෙ කියලා හිතන්න ලැබුණෙ. 
ඉතින් අපි ඒ නිම්නය ඔස්සේම ටිකක් ඉස්සරහට ගියා. එහෙම යද්දි අපේ වාසනාවට හම්බුණා පුංචි දිය පාරක්. ඒ දිය පාර දිගේම ඉදිරියට යන්න තීරනය වුණා. 


අපේ මිතුරු දිය පාර

රෑ කන්දෙම ගත කරන්න වෙයිද කියන බය හැමෝගෙම හිතේ තිබුණා. අම්මලා ට මොකද කියන්නෙ, කූඩැල්ලන්ගෙන් ‍රැට බේරෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නයත් එක්කම වැස්සක ලකුණකුත් පේන්න තිබුණා. එහෙම පැය දෙකකට වඩා ගියා. 


තවත් යනකොට කැලෑව තරමකට තුනී වෙනවා වගේ දැනුනෙ බලාපොරොත්තුවක සේයාවක් හිතේ ඇති කරමින්. ඒ සේටම වඩා හිතේ සතුටක් ආවෙ පුංචිම පුංචි අඩි පාරක් දැක්කාට පස්සෙ. සත්තු ගිහින් හැදුණ අඩි පාරක්ද කියන සැකය නිසා අපිව එහෙමම තියපු කණ්ඩායමේ දෙන්නෙක් ඒ අඩි පාර දිගේ ගියා. 
ඒ දෙන්නා ආපහු එන්නත් තවත් වෙලාවක් ගත වුණා. ඒත් ඒ දෙන්නා ආපහු ආවෙ බලාපොරොත්තුවෙ සුබ ලකුණුත් අරන්. 
පාර කෙළවර වෙන්නෙ ගමකට.


සැනසුම් සුසුමක් හෙලපු අපි ඒ පාර දිගේ ගමකට ආවා. 
මේ තියෙන්නෙ ඒ ලස්සන ගම. 




මෙතනින් කොහාටද?

ඒ අපි කැලෙන් එලියට එන්න හිතන් හිටිය ගමෙන් කි මී 4ක් විතර ඈතින් තිබුණ ගමක්. අපි ආව වාහනේ එතෙන්ට ගෙන්න ගන්න පුළුවන් වුණ නිසා ඒ දුර නම් කරදරක් නැතුවම ගියා


දවල්ට කන්න ආයෙමත් අපේ කෑම තියලා තිබුණ තැනට වෙනකම් නගින්න වුණා. ඒ වෙද්දි නම් පරිසර ගවේශකයො ටික හිටියෙ හුස්ම ටික යන්න ඔන්න මෙන්න වගේ. ඒත් හවස 5 ට විතර අපිම පිළියෙළ කරගෙන ගත්තු දිවා ආහාරයෙන් (පාන් , සීනි සම්බෝල, සැමන්) පස්සෙ ආයෙමත් පණ ලැබුණා. 


ඔන්න ඔහොමයි කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපි කැලෙන් එළියට ආවෙ.


*********************************************************************************


53 comments:

  1. නියමම ගවේෂණයක්නෙ.. අර අත්දැකීමත් ආයෙ ජීවිතේට නම් අමතක වෙන එකක් නෑ නේද? කොහොමද කට්ටියටම ගමක් හොයාගන්ට බැරි වුනානම් එහෙම? අර "වනගත ළමෝ" පොතේ අයට වගේ කැලේ පැලක් එහෙම අටවගෙන මාස ගාණක්ම ඉන්නට වුනානම් ගෙම :P
    සිඳු හැමදාම මගේ යායුතු ස්ථාන ලැයිස්තුවට එක එක එකතු කරනවානෙ. කැලේ පින්තූර ටික දැක්කම නම් හිතුනේ තවමත් විනාශකාරී මිනිසුන්ගෙ නෙත නොගැටි නොකිළිටිව ඉතුරු වෙලා තියන ස්වභාවදහමේ අපූරු තැනක් කියලයි..

    ReplyDelete
    Replies
    1. දැන් දැක්කේ මම එක වෙලා කියලා

      Delete
    2. ඔව් නේද කොහොමද එහෙම වුණා නම් එහෙම? බට ගස් වලින් ගහක් උඩ පැලක් හදාගෙන, බට කොල කකා ඉන්න වුණා නම් එහෙම ! කූඩැල්ලො ටික ගානට පුෂ්ටිමත්ව හැදෙන්නත් තිබුණා එහෙම වුණා නම්.
      අයියා හරි, දොඹගස් කන්ද දැක්කාම මටත් එහෙම හිතුණා. මිනිස්සු යන එන ආරණ්‍ය සේනාසනය හරිය නෙමේ, කැලේ ඇතුළට වෙන්න වෙන්න තිබුණෙ නොඉඳුල් ගතියක්. පොලිතින් එහෙම තිබුණෙම නැති තරම්. එකම එක ඇළ පාරක් ළඟ පොලිතින් කොලයකුයි, දත් බුරුසුවකුයි තිබුණා. අපේ කට්ටිය ආපහු ආවෙ ඒවත් අරගෙන. (අපි හරි හොඳයි කියන්න කිවුවා නෙමේ, ආදර්ශයක් වෙන්න කිවුවෙ)

      Delete
  2. නියමම අත්දැකීම්. මේ කාලේ ගිය ගමනක් තමා ඉතින්. ආයේ නාකි වෙලා යන්නයැ :D

    ReplyDelete
    Replies
    1. නාකි වෙලත් යන්න තම්යි හිතාන ඉන්නෙ නම්. :-)

      Delete
  3. මේක නිකන් යොවුන් නව කතාවක් වගේනේ. මම හරිම ආසයි ඔය වගේ කැලේ අතරමං වෙලා ආපහු පාර හොයාගෙන එන කතා වලට. හැබැයි කූඩල්ලෝ නැතිනම්...

    ඒක ඇත්ත. ඔය වගේ ගමන් වලදී මොනම වෙලාවකවත් කණ්ඩායම දෙකට නොබෙදෙන්න හැමෝම හිතට ගත්තොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, කැලේ අතරමං වෙලා පාර හොයාගන්න බැරුව දිය පාරක් දිගේ ගිහින් ගමකට වැ‍ටුණ හැටි .පොඩි කතාවක් තියනව තම්යි නේද ඒකෙ. කූඩැල්ලෝ කියන්නෙ මගෙත් පරම හතුරො ඔය වගේ ගමන් වලදි.

      Delete
    2. අපිත් දවසක් සි0හරාජේ යද්දි මඟ තිබුණු කඩේකින් කූඩැල්ලන්ට එනවට ගාන සබන් එකක් අරන් ගියා. හිතුවේ නෑති විදියට ඒක වැඩ කළා. කාගෙවත් එක කූඩැල්ලෙක් වත් එල්ලුනේ නෑ.. කැලේ ඉදන් එද්දි කට්ටියම දොළ පාරක් බැස්සා. හෆොයි. අර සබන් ටික ඔක්කෝම හේදිලා ගිහින්. කූඩැල්ලෝ ආයෙ වැඩ පටන් ගත්තා...

      Delete
  4. නියමයිනේ සහෝ! වාසනාවන්ත මිනිස්සු! :)

    ReplyDelete
    Replies
    1. හිතෙන හැම වෙලාවෙම මේ වගේ යන්න තියෙනව නම් වාසනාවක් තමයි. ඒ කියන්නෙ මම වාසනාවන්ත නෑ.

      Delete
  5. මරුනේ! ඔහොම දෙයක් වුනේ නැත්නම් කිසි ගතියක් නැහැනේ. හැබැයි ඉතිං මුකුත් ප්‍රශ්නයක් නොවී ආව එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගමන් ගැන හොඳ පලපුරුද්දක් තියෙන දෙන්නෙක්ම අපේ කණ්ඩායමේ හිටියා, ඒ දෙන්න නිසා තමයි ඒ තරම් ඉක්මනින් පාර හොයාගන්න පුළුවන් වුනේ. නැත්නම් ඉතින් සිඳුත් අඬ අඬ ඉඳියි රෑ වුණා නම් කූඩැල්ලො එක්ක.

      Delete
  6. ඒක අපූරු අත්දැකීමක්... ඇත්තටම ඔය ඉංගිරිය හඳපාන්ගොඩ් පැත්තේ කැලෑ හරි ලස්සනයි.. කැලෑවල්වල ඇවිදීමකටම නොවුනත් මමත් ඔය හරියෙම තියෙන ඈගල්ඔය පැත්තෙන් කැලෑව මැදින් කිලෝ මීටර් හයක් විතර ගමන් කරලා තියෙනවා... තැනින් තැන කැලෑව මැදින් වැටුන අඩි පාරවල් ඔස්සේ..හිටිය ගමන් කැලෑව ඉවර වෙලා තේ වතුවල කොන් එහෙමත් අහු උනා... අපි (මමයි පොඩි හාමුදුරුකෙනෙකුයි..ගියේ උන්වහන්සේගේ ගෙදර) ගියේ ඈගල්ඔය හරහා මානාන කියන ගමට..ඒක කළුතරත් රත්නපුරත් දිස්ත්‍රික්ක දෙකේ මායිම... පිරිසිදු කිතුල් රා..හප්පේ..

    අර කට්ටිය දෙකට බෙදු විදිය ඔයාට කියන්න බැරිනං මං කියන්නං.. තනිකඩයෝ ටික එක අතකට පවුල් කාරයෝ ටික තව අතකට ගියා නේද..?:D:D:D

    ReplyDelete
    Replies
    1. ඔන්න කිවුවා කතාවක්. එහෙම පවුල් තිබුණෙ නෑ අනේ. නඩේ ගුරාලා දෙන්න එක්ක යන්න ගිහින් තමයි බෙදුනෙ.

      මොකක් මොකක්? කිතුල් රා? උන්වහන්සේලා කාලෙද බිවුවෙ ඒවා?

      Delete
    2. නෑ නෑ ඒ දවස්වල මං ඇබිත්තයා වහන්සේ...:D

      Delete
  7. අෆොයි අර සේනාසනේ හාමුදුරුවරුන්ට එදා භාවනා කරන්න ලැබුනේ නැහැ.. හු සද්දේ හින්දා. කැලේ නරි හිතුවලු අෆොයි.. මෙන්න අපේ වැඩේ කරන්න මිනිස්සු බාර අරන් කියලා. ඊරිසියාවට මෙහෙම ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් තමයි ඒක හිතුනෙ. හාමුදුරුවන්ටත් ඇහෙන්න ඇති තමයි. නෑ ඒත් හාමුදුරුවො හිටියෙ ගොඩක් ඈතට වෙන්නනෙ. කැලේ බෝඩ් ගහලා නම් තිබුණා කෑගහන්න එපා කියලා. ඒත් හූ කියන්න එපා කියල නම් තිබුණෙ නෑ.

      Delete
  8. නියමයි සිඳු! අර පාන් සීනි සම්බෝල් සහ සැමන් වල පින්තූරෙකුත් දැම්මා නම් තමයි තවත් හොඳ. දන්නවද වයිල්ඩ්ලයිෆ් බ්ලොගර් කෙනෙක් බ්ලොග් දෙකක් ලියන බව. මේ බලන්න.

    http://wildlifegiritale.blogspot.com/

    http://gaminievijith.blogspot.com/

    එයාටත් දෙන්න ඕනෙ මේකෙ ලින්ක් එක.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔයා කලින් දවසක කියලා නේද මම "gaminivijith"එකට ගියෙ? අනිත් 1ට නම් ගියෙ අද තමයි. ස්තූතියි dude සහෘදයෙක් හඳුන්වා දුන්නට.

      Delete
  9. ගිහිල්ලම නැහැ :/ ඊරිසියාවේ බෑ :/

    ReplyDelete
    Replies
    1. හා හා..... ඊරිසියා කරන්න එපා.

      Delete
  10. මෙන්න මෙයත් ට්‍රිප් යනවා....... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මේ හො‍ටු රජෝ.....රජා සිස්සත්තෙ කරන කාලෙ අපි ට්‍රිප් ගියෙ හරිද.

      Delete
  11. ම්..ස්තුතියි විස්තර බෙදාගත්තට..
    දැක්කාම නම් යන්න ආසා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ගියාමත් ඔයා ආසා වෙයි. ටිකක් දුෂ්කරයි, ඒත් ලස්සනයි.

      Delete
  12. අපේ හෙන්රියා (henryblogwalker the Dude) තමයි පාර කිව්වේ.

    බෝධිනාගල ගැන මම අහලා තිබුනත් මේතරම් ලස්සණයි කියලා හිතුනේ නෑ.

    ආයෙත් විවේකීව ඇවිල්ලා සේරම පෝස්ට් ටික කියවන්න ඕනෑ. සත්තුන්ගෙ කුරුල්ලන්ගෙ පින්තූර ගන්න ලැබුනොත් ඒවත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙහෙ ආවාට ගාමිනි අයියෙ. ගිහින් බලන්න.මෙහෙ ගිය කාලෙ හොඳ කැමරාවක් තිබුනෙ නැති නිසා කුරුල්ලන්ගෙ ෆොටෝස් ගන්න නම් ලැබුනෙ නෑ. අනිත් පොඩි පොඩි සත්තුන්ගෙ ඒවා වගයක් තියනවා, වෙන පෝස්ට් එකකින් දාන්නම්.

      Delete
  13. මේ වගේ ලිපි කියෙව්වම මට වැඩට යන්න හිතෙන්නේ නෑ.
    හැමදාම ට්‍රිප් ය යා ඉන්නම තමා හිතෙන්නේ. දැනට ෂෙඩියුල් කරන් ඉන්න හැටියට හැම සතියකම එක ට්‍රිප් එකක් තියෙනවා.
    මේ මාසේ පාඩම් කරලා විභාගේ ඉවර උනාම යන්න තමා හිතන් ඉන්නේ හික්ස් :)
    ජය වේවා සිඳු !

    ReplyDelete
    Replies
    1. මමත් ප්ලෑන් කරන් ඉන්නෙ ඔය වගේ ඒවාම තමයි. මගෙ වෙන්න හස්බන්ඩ් ව දැන්මම පොරොන්දු කරගෙන තියෙන්නෙ මාසෙකට එක සැරයක් වත් කොහෙ හරි යන්න ඕනා කියලා මේ වගේ.
      විභාගෙ හොඳට කරන්නකො සේරටම කලින්.

      (ආ විභාගයක් තියනවද? හී හී ඔන්න අහු වුණා අර පෝස්ට් එකේ කිවුවෙ කවුරු ගැනද කියල)

      Delete
    2. මම ලියන්නේ මට හිතෙන එවුවා. ඉතින් මම් පාඩම් කර කර ඉන්නකොට මට මෙහෙම උනොත් කියලා හිතිච්ච නිසා ලිව්වා. මට අටෙන් එහාට පාඩම් කරන්න බෑ. එතකොට ගෙදර යන අන්තිම බස් එක මිස් වෙනවා.

      මට වැඩට එනවා කියන්නේ ට්‍රිප් එකක් යනවා වගේ. ඒ නිසා එක බස් එකක් හරි මිස් උනොත් මහපාරේ නිදියන්ඩ වෙන්නේ....

      ඒක නෙමේ කාරණේ...
      අපේ දොස්තර නෝනෙගෙන් උදව්වක් ඕන. මට ඔය ගම්පලාතට බස් එහෙකින් යන විදිහ හොයලා දෙන්න බැරිද. යන්න ආසයි. ඉංගිරියට නම් කොළඹ ඉදලා යතෑකි. ඒත් එතනින් එහාට්ට ???

      ඔන්න පොඩ්ඩක් හොයල බලන්ඩ පුලුවන් නම් වටි !!

      Delete
    3. මම ඒක හොයලා කියන්නම් ඔයාට මධුරංග. 120 බස් එකේ හොරණට ගිහින් යන්න පුළුවන්. ඒත් හරියටම මම කියන්නම්.

      Delete
    4. ගොඩක් ස්තුතියි සිඳු !!!

      Delete
    5. බෝධිනාගල යන්න පානදුර රත්නපුර බස් එකේ ගිහින් බොදිනාගල හෝල්ට් එකේ බහින්න.
      නැත්නම් කො‍ටුවෙන් හොරණ 120 නැගලා ගිහින් ඉංගිරිය බස් එකක ගිහින් ඒ විදියටම බහින්න.

      මූණු පොතෙන් ඔයාට කිවුවට අනිත් අයටත් දැනගන්න ආයෙත් කිවුවෙ

      Delete
  14. මම පොඩිකාලෙ ඔය ආරණ්‍යට ගිහින් තියෙනව දානයක් දෙන්න.හවස ගිහින් රෑ බණමඩුවේ ඉඳලා පහුවදා දානෙ ඉව්වා මතකයි.අපි වන්දනා නඩයක් එක්කගියේ.ඒත් හාමුදුරුවරු මිනිස්සුන්ට පේන්න කුටිවලින් එළියට ආවේ නෑවගේ තමා මතක.එයාලට කුටිවලට ගිහිං පූජාකලාදත් මන්ද.කොහොමහරි දවසම වැස්සා.පහලට එනකොට ගංවතුර ගලල.ඔරුවකින් තමයි කට්ටිය වාහනේ ලඟටආවෙ.ඒ අතීතය මතක් උනා.නියමයි සිඳු.

    ReplyDelete
    Replies
    1. අපි ආපහු එනකොටත් හම්බුණා ඒ වගේ දානෙ දෙන්න ආව කට්ටියක්. ඒ බණ මඩුව දිහාත් හවසට කුරුල්ලො ඉන්නව. අපි අළු කෑඳැත්තාව දැක්කෙ එතන තියන ලොකු ගහක ඉඳලා.

      Delete
  15. අම්මෝ.... වෙලාවට හූවකින් ඉන්න තැන හොයා ගන්න පුලුවන් තරමට දුර හිටියෙ නැත්නම් කොහොම කියලා හොයා ගන්නද?මොනවා වුනත් නියම ගමන.මාත් හරි ආසයි ඔය වගේ ගමන් වලට.

    පාන්දරම යන්න ඔයාට ඇහැරුනාද??? :))))

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් ප්‍රශ්නයක්..! හැබෑටම කොහොමද ඇහැරුනේ... හී හී

      Delete
    2. ඔන්න ඔන්න මගෙ පෝස්ට් වලින් මටම ගහනවා. ඇහැරුණා ඇහැරුණා. මොකද යාළුවො දෙන්නෙක්ටම කියලා තිබුණෙ කෝල් කරන්න කියල. කොහොමත් මේ වගේ අධ්‍යාපනෙන් පරිබාහිර දේවල් වලට මට ඇහැරෙනවා සාපේක්ෂව හොඳ මට්ටමකින්.

      Delete
    3. මටත් එහෙම්මමයි.. පොතක් බලන්නය කියලා ජීවිතේට පාන්දර 5ට නැඟිටල නැති කොල්ලා කැම්පස් ඉන්න කාලෙ ගෙදර එන්න නුවරින් උදේ 5ට තියන කෝච්චියට තනියම නැඟිටලා අපූරුවට ආවනේ..!

      Delete
  16. ශා නියම ගමන නගේ!!! දැන් අවුරුද්දකට විතර කලින් අපි කට්ටිය කන්නෙලියෙ ගිය ගමන මතක් වුණා!!

    ReplyDelete
    Replies
    1. කන්නෙලිය යන්නත් හිතාගෙන ඉන්නව ළන්නගදිම දවසක. ස්තූතියි අක්කෙ

      Delete
  17. ඔයා දන්නවද සිදු ..මේ විස්තරය මට හරි වැදගත් . අපේ චුටි බනි නිතරම කියනවා එයාට ලංකාවේ වැසි වනාන්තරයක් බලන්න ඕන කියල . සිංහරාජේට වඩා දැනට මේ වගේ පොඩි කැලෑවක් පෙන්වන්න තිබුනොත් ඇති. පොඩි අය එක්ක ඉතින් වැඩි දුර යන්න බැහැ. පොඩ්ඩක් කැලේ ඇතුලට ගියොත් ඇති. අපේ ගෙදර මිදුලත් අපි යන කාලෙට පොඩි සයිස් වැසි වනාන්තරයක් නිසා දුර යාමේ අවශ්‍යතාවයක් නැහැ කියලයි ඒ ගොල්ලන්ගේ තාත්ත කියන්නේ .

    ReplyDelete
    Replies
    1. එහෙමනම් බින්දි අක්කෙ හොඳම දේ තමයි ආරණ්‍ය පැත්තට යන පඩි පෙළවල් වලින් යන එක. පාර තියෙන්නෙත් වැසි වනාන්තරෙක ලක්ෂණ තියන කැලේ මැදින්නෙ.

      එහෙනම් අපේ ඊළඟ ට්‍රිප් එක ඔයාලගෙ ගෙදර වැසි වනාන්තරේ

      Delete
  18. ෂා මරුනේ...යන්න ආස හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. යමු යමු එහෙනම්

      Delete
  19. ඉංගිරිය අපිට ලගයි නේ අනේ.. බලන්න ඕන ලබන අවුරුද්දේ ලංකාවට ගියාම... :)

    ReplyDelete
    Replies
    1. අන්න මධුරංගටත් යන්න ඕනාලු. දෙන්න එක්කම යන්නකො එහෙනම්.

      Delete
  20. මම මෙකෙ කියවපු පලවෙනි බ්ලොග් පිටුව. මමත් මේකට ගිහින් තියෙනව ලස්සන තනක්. නමුත් කලෙ හැම තැනම ඇවිදින එක නම් භායානකයි. මොකද සමහර තැන් වල සත්තුන්ට වෙඩි බැන්දල තියෙනව. කොකටත් ආරන්ය ගාවට නම් ගියට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. කුරුල්ලො බලන්න කැලේ ඇතුළට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔයා කියන එක ඇත්ත. අවධානයෙන් යන්න ඕන්න. නොදන්න අය තනියම යන්න නම් හොඳ නෑ තමයි.

      Delete
  21. යන්න ආසයි මෙතනට සිදු. හුඟක් රසවත් විස්තරයක්. පින්තූරවලින් පෙනෙන විදිහට කන්නෙළිය වගෙයි. වැසි වනයක්නෙ ඉතින්. :-)
    මෙතනට යන්නත් අවසර ගන්න එහෙම ඕනද? කැලේ දන්න කෙනෙක් එක්ක යන්න ඕන කියල තියෙන නිසා, එහෙම ගයිඩ් කෙනෙක් ලබා දෙන තැනක් එහෙම තියෙනවද? මග වාහනේ දාලා යන්න ආරක්ෂා සහිත තැනක් තියනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම අවසරයක් ගන්න ඕනා නම් නෑ අක්කෙ. දන්න කෙනෙක් එක්ක යන එක අනිවාර්යෙන් කරන්න ඕනා. ගයිඩ් කෙනෙක් ගන්න තැනක් නම් නෑ, නිතරම එක එක්කෙනා යන එන කැලයක් නෙමේ නිසා. වාහනේ ආරක්ෂාවට අපේ නම් රියදුරා හිටියා. විශ්වාසවන්ත ගෙදරක වගේ තමයි දාලා යන්න වෙන්නෙ. ඒ වගේ පහසුකම් නෑ අක්කෙ

      Delete
  22. ඔන්න මන් ආසම වර්ගයේ පොස්ටුවක්...ට්‍රය් කරලා බලන්න ඕන යන්න ඒ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා රෙහානි. අද නේද ආවෙ මේ පැත්තෙ? යන්න ට්‍රයි කරන්නකො ඔයා. ආයෙ යන්න හිතෙයි

      Delete