Wednesday, July 18, 2012

මංගල ඡායාරූපය


   ටික් ටික් යන අනුකරණයෙන් ඔරලෝසු ක‍ටු නගන හඬ අයේෂා ට ඇසෙන්නට පටන් ගෙන බොහෝ වේලාවක් ගත වී ගොසිනි. එහෙත් නින්ද ඇය කරා මේ වන විටත් පැමිණ නැත. සුසර ගේ මුවින් සිහින් ගෙරවිල්ලක් ඇසේ. ඔහු දෙස බැලූ ඇයගේ මුවගටද සුසුමක්  නැගෙන්නේ නිතැතිනි. පාරේ දැල්වෙන විදුලි බුබුලෙන් නික්මෙන ආලෝකය ජනේල තිරයෙහි හිඩැස් අතරින් කාමරයට පෙරී එයි. එම ආලෝකයෙන්  සුසරගේ මුහුණෙහි මැවී ඇති සෙවනැලි ඇගේ සිතට ගෙන එන්නේ අමතක කරන්නට කැමති ඒ අතීතයයි.


ඒ මීට වසර දෙකකට පමණ පෙර දිනයකි. හදිසියේම ඔවුනට ඔවුනගේ දෑස් හමු විය. සිය නව සේවාස්ථානයේ සියයක් දෙනා අතුරින් හමුවූ සුසර ගේ රුව ඈ සෙවූ රුව විය. ඇගේ රුව ඔහු සෙවූ රුව විය.

"ඔයා හරි වාසනාවන්තයි, සුසර හරි හොඳයි... අනිත් එක හෙන හැන්ඩියානෙ"
ලක්මාලිගේ වදන් වල මෙන්ම දෙනෙතෙහිද ගැබ් වූ ඊර්ෂ්‍යාව අයේෂා නොදු‍ටුවා නොවේ. සුසරගේ කඩවසම් රුව තමා සතු කර ගැනීමට ලක්මාලි වසරක පමණ සිටම මාන බලමින් සිටි බව කාර්යාලය තුළ ඈ පැමිනෙණ විටත් පැතිරී තිබූ ඕපාදූප වලින් එකක් විය.

සිතෙහි පිළිසිඳගත් සෙනෙහසේ බීජය අස්වැන්නක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.
"අයේෂාට වඩා සුසර ලස්සනයි" ඇතැමෙක් තැනින් තැන දැක්වූ අදහස් සවන් වැකුණු අයේෂාගේ සිත ආඩම්බරයෙන් බර වූවා පමණය. ඊර්ෂ්‍යාවක සේයාවක් හෝ ඇගේ සිතෙහි ‍රැඳී නොතිබුණි.

එහෙත් සියල්ල කණපිට හැරී තිබුණේ නිමේෂයකිනි. ඒ අවාසනාවන්ත උදෑසන සිහිවන විටද ඇගේ සිත තවමත්  බියෙන් හැකිලී යයි. හිරු ඇහැරී හෝරා කිහිපයක් වුවද , ඒ වනතුරුත් හිරු එළිය බිඳකුදු පොළොව සිපගෙන තිබුණේ නැත.මූසල රිදී පැහැයක් ගත් වලාකුළු අහස අරා පැතිරී තිබුණේ දැන් දැන් එන මහා වැස්සක ලකුණු කියා පාමිණි. වියලි කොළ සර සර හඬින් කොන්ක්‍රීට් පොළොව මත ඇදී ගියේය.
ඇගේ නොඉවසිලිමත් දෑස කාර්යාලයේ පළමු මහලේ සිට පාර වෙත නිරතුරුව දිව ගියේ සුසරගේ නුපුරුදු ප්‍රමාදයට හේතු දැකගන්නා අටියෙනි. හොරාවකටත් වඩා ප්‍රමාද විය. සුසරගේ දුරකතනයද ක්‍රියා විරහිත වී තිබිණි.

"සුසර ඇක්සිඩන්ට් වෙලා" කවුදෝ පැමිණ දුන් පණිවුඩය ඈට ඇසුණේ සිහිනයෙන් මෙනි.

ඔහුගේ පාදයක් කිහිප පළකින්ම බිඳී ගොස් තිබුණි. මුහුණේ දකුණු පැත්තම වසා දමා තිබූ වෙළුම් පටි දු‍ටු ඇය සිහිසුන් වූවාය. සැනෙකින් ක්‍රියාත්මක වූ රෝහල් කාර්යමණ්ඩලය නිසා අභ්‍යන්තර ලේ ගැලීමකින් අවසන් වන්නට තිබූ සුසරගේ ජීවිතය බේරී තිබිණි.

මාස කිහිපයකට පසුව සුසර රෝහලෙන් පිටතට පැමිණියේ කිහිලි කරුවක ආධාරයෙනි. ඉන් මිදීමට ඔහුට බොහෝ කලක් ගත විය. එහෙත් අනතුරෙන් විකෘති වූ මුහුණේ දකුණු පස කිසි දිනෙක යථා තත්වයට පත් වූයේ නැත.

පෙරදා ඔහුගේ කඩවසම් බව දෙස හැරි හැරී බැලූ අය දැන් බලන්නේ ඔහුගේ විකෘති මුහුණ දෙස බව අයේෂා  මෙන්ම සුසර ද හොඳින් දැන සිටියේය.
"කවුරු කොහොම හිතුවත් ඔයා මගෙ. අපි බඳිමු" අයේෂා ගේ තීරණය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු විය.ඈ ඉදිරියේ කිසි දිනෙක කඳුලක් නොහැලූ ඔහු එදින කුඩා දරුවකු මෙන් ඉකිබිඳ හඬ වැලපුනේය.

"පව් අනේ සුසර.... ඉස්සර කොච්චර හැන්ඩ්සම් ද. ඒත් දැන් බලන්නකො මූණෙ පැත්තක් ගන්න දෙයක් නෑනෙ." ලක්මාලි කිසිවෙකු සමග පැවසූයේ තමටත් ඇසෙන්නට බව වටහාගන්නට තරම් අයේෂා ඒ වන විට මුහුකුරා ගොස් සිටියාය. එහෙත් සුසර කෙරෙහි වූ තමාගේ ආදරය අන් සියල්ලටම වඩා බලවත් බව තරයේම ඇදහූ ඇය සිතෙහි උපදින දුක් බර සිතිවිලි වලට සිත තුළම මියැදෙන්නට ඉඩ දුන්නාය.

සියල්ල හොඳින් සිදු වුවද සුසර තමා පිළිබඳව දුක් වන බව ඈ හට වැටහුනේ වරක් දෙවරක් නොවේ.
"මගෙ පෙනුම ගැන ඔයාට ලැජ්ජද?" ඔහු ඍජුවම එසේ අසනවා නම් ඒ පිළිබඳව ප්‍රතික්ෂේප කොට ඔහු සැනසීමට ඈ හට පුළුවන් කම තිබුණි. එහෙත් ඒ පිළිබඳව ඔහු කිසි දිනෙක ඇගෙන් නෑසුවේය.

නින්දෙන්ම සුසර අනෙක් ඇළයට හැරේ. මුවින් නික්මුණ සිහින් ගෙරවීම මඳකට නැවතේ. ඔහුගේ මුහුණේ ස්වභාවය ඇයට මැවි මැවී දිස් වේ. ඇද වී ගිය මුවත් , කිසි දින මැකිය නොහැකි තරමේ තුවාල කැළැල්ද මුහුණේ දකුණු පසට ගෙන දී තිබුණේ ඒ දකින කිසිවෙකුට ඔහුගේ පෙර වූ ස්වභාවය පිළිබඳව සිතා ගන්නටවත් නොහැකි ලෙසකිනි. සම් බද්ධයකින් පසුව ද ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ උත්සාහය එතරම් සාර්ථක නොවූ බව කියා පෑවේය. 

"හෙට ලක්මාලිගෙ වෙඩින් එකට නොගිහින් ඉන්න තියනවා නම් හොඳයි"ඇගේ සිත ඇයටම කොඳුරයි. 

එහෙත් "To Mr & Mrs Susara Arukgoda" යනුවෙන් සඳහන් කොට තිබූ විවාහ ඇරයුම් පත ලක්මාලි විසින්ම තමා අතට දුන්නා නොවේද. තම යෝජිත සැමියා පිළිබඳව ලක්මාලිගේ පුරසාරම් තවමත් ඈ හට ඇසෙනවා බඳුය. 

"එයා හරි හැන්ඩ්සම්. අමුතුම සුදු පාටක් තියෙන්නෙ. අපේ අම්මා කියනවා නලුවෙක් වගේ කියලා...."

"එයා එච්චර ලස්සන නම් අපරාදෙ ඔයා වගේ කෙනෙක් බඳින්න යන්නෙ" ලක්මාලිගේ ක්‍රියාකලාපය හොඳින්ම දැන සිටි සුසරගේ මිතුරු අනූෂ පැවසුවේ ලක්මාලි නිහඬ කරවීමේ උවමනාව නිසාමය.

සියල්ල මතක් වන විට සිහින් ඉකිගැසීමකින් උගුර හිර වනවා බඳු හැඟීමක් අයේෂා ට දැනේ.ඈ ඇ‍ඳෙන් බැස ගොස් විදුලි බුබුල දල්වයි. කණ්ණාඩි මේසය මත වූ වතුරු වීදුරුවත් ගෙන ඈසාලයට පිය මනින්නේ නින්ද තමා අසලකටවත් නො එන බව දන්නා නිසාය. 

සාලයේ කෙළවරක තබා ඇති ඔවුන් දෙදෙනාගේ විවාහ ඡායාරූපය අයේෂාගේ නෙත ගැටේ. 
ජීවිතයේ පළමුවරට එය දු‍ටුවා සේ ඈ එදෙස බලා සිටියි. 
සුසරගේ මූණෙ දකුණු පැත්තත් වම් පැත්ත වගේම වුණා නම්... ඈට සිතේ. 

ඒ සිතිවිල්ලත් සමගම ඈ සිය අතින් ඔහුගේ ඡායා රූපයේ දකුණු පස වසා ඉතිරි අර්ධය දෙස බලා සිටින්නට වේ. 

තමාට පි‍ටුපසින් ඇසෙන සුසුම් හඬකින් ඇය පියවි සිහියට එළඹේ. 

සුසාර ඈට පි‍ටුපසින් සිටගෙන ඈ දෙස බලා සිටියි. 

ඔහුගේ දෙනෙතේ කඳුලකි. 

ඈ වහා නැගිට සිටියි. 

එහෙත් සුසර වඩා ඉක්මන්ය. 

ඔහු හැරී ආපසු නිදන කාමරයට ගමන් කරයි. 

කිසිවක් සිතා ගත නොහැකි අයේෂා එතැනම ගල් වී බලා සිටියි. 

නිදන කාමරය දෙසින් වීදුරුවක් බි‍ඳෙන හඬක් ඇසේ................

42 comments:

  1. මට නං කතාව තේරුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් වගේ නේද? අමිල මෙහෙ ආව දවසෙම ටියුබ් ලයිට් කතාවක් තිබුණ එක අපරාදෙ.

      Delete
  2. අද කතාව නම් සුපිරි සිඳූ කතාවෙ තේමාව ගොඩක් සංවේදී සිදු වීමක්, ඒක තවත් සංවේදීව දැනෙන විදිහට කතාවත් වචනත් අපූරුවට හසුරවල තියනව.
    කතාවෙ රස වින්දනයට අමතරව තිරණයක් ගැනීමේදී තිබිය යුතු ස්ථීර බව ගැන අපූරුවට උගන්වනවා. ආදරයේ නාමයෙන් කැප වීමක් කලත් ආපහු ඒ ගැන පසුතැවෙන්න නරකයි ඒකෙන් කැපවීම නොකර හිටියාටත් වඩා දුකක් ඇති වෙන්න පුලුවන් නේද?
    අපූරුයි සිදූ. මම නම් මේ කතාව ගොඩක් රසවින්දා!

    ReplyDelete
    Replies
    1. ගිමන් නිවන්නා එක්ක සම්පුර්ණයෙන් මඑකඟයි.. නමුත් මේ ඔයාගේ උපරිමය නෙවෙයි අක්කේ..
      නාට්‍යානුරුපී සිදුවීම් පෙළක්!!
      ජය වේවා!!

      Delete
    2. අන්න හරි ගිමන්. ආදරයෙ නාමයෙන් කැපකිරීම් කරනවා නම් ඒ ගැන කවදාවත් පසු තැවෙන්න බෑ. ඒ කැපකිරීම ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් වෙන්නත් පුලුවන්.

      ‍රැංගෝ මල්ලි- තව හොඳට ලියන්න උත්සාහ කරන්නම් මල්ලි. එහෙම කිවුවට ස්තූතියි.

      Delete
  3. Replies
    1. ස්තූතියි හිරු

      Delete
  4. අන්තිම වැකිය..? ඒකෙන් කිව්වේ මෑන් කණ්නාඩිය බින්ඳා කියලද කියලයි මට තේරුනේ නැත්තේ... මොකද වෙඩින් පොටෝව තිබුනේ ඔය කියන හැටියට සාලෙනේ... ඒ හුටපටස් එක හැර අනිත් හැම ටිකම ගොනාට වගේ තේරුනා...

    කතාව හොඳයි... ඒ වගේම හැම වෙලේම මිනිස්සු තමන්ගේ හිතට අනුව වැඩ කරනවාට වඩා අන් අයගේ කියුම් වලින් තමන්ගේ හිතන රාමුව සකස් කරන්නට යාම නිසා කොයිතරම් අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලත් හිතුනා... විටෙක නිවැරදිම තීරණය ගන්න කෙනෙක් ආයේ විටෙක ඒ තීරණයම අභියෝගයට ලක් කරනවා... මං ඔය මිනිස්සු ඕනවට වඩා හිතනවට අකමැතිත් ඕකයි... මිනිස්සු කියන ජාතිය හිතන්න ගත්තම ඒ තමා ලෝක විනාසෙට හේතුව...

    ReplyDelete
    Replies
    1. මටත් එකපාරටම හිතුනේ අල්මාරියේ කණ්නාඩිය බිඳපු සීන් එකක් :පී

      Delete
    2. මොකක් බින්දත් මොකද අයියෙ. ඒක කැමති කෙනෙක්ට කැමති විදියකට හිතා ගන්න දුන්නා. සුසර දුක හිතුනා වෙන්න පුළුවන්. තරහ ගියා වෙන්න පුළුවන්. ක්ෂණික ආවේගයක් වෙන්න පුළුවන්. සිය දිවි නසාගන්න හිතුනා වෙන්නත් පුළුවන්.

      //මිනිස්සු කියන ජාතිය හිතන්න ගත්තම ඒ තමා ලෝක විනාසෙට හේතුව...//
      මම හරි කැමතියි ඒ වාක්‍යයට.

      Delete
  5. අන්තිමට මොකද උනේ? මෑන් කණ්නාඩිය බින්දද, නෑත්තම් ජනේලෙ වීදුරු බිදගෙන මාරයගෙ හෝරාව කියවන්න කියල හිතාගෙන පාරට පෑන්නද?

    ReplyDelete
    Replies
    1. මාරයගෙ හෝරාව කියවන්න හිතුවද දන්නෙ නෑ, අත්දැකීම් වලින් ඉගෙන ගන්න ජීවිතේ දුක සතුට සමබරයි කියල

      Delete
  6. Replies
    1. Thank you very much TG. I'll try my best

      Delete
  7. මට කතාවේ අන්තිම ටික තේරුනේ නෑ ...
    ගමන් මහන්සියයි පාඩම් කරලා තෙහෙට්ටුවයි නිසා වෙන්ටෑ..
    ඒ කියන්නේ අර ගෑල්ලමයා සුසරට කැමති නෑ කියන එක ද...

    ReplyDelete
    Replies
    1. මොන ගෑල්ලමයද අනේ එයා වයිෆ්..වයිපරේ...

      Delete
    2. මේ ළමයාට නම් හොඳටම තෙහෙට්‍ටුයි වගේ තමයි. කොහෙද අනේ ගෑල්ලමෙක් සුසරට අකමැති වුණේ. ඔය කියන්නෙ කිරිල්ලි. අහගන්නකො. ආයෙ නිවාඩු පාඩුව කියවලා බලන්නකො ඔයා වෙලාව තියෙන වෙලාවක.

      Delete
  8. ලස්සනයි, හැබැයි අන්තිම ටික ටිකක් තේරුණා මදි වගේ. ඒ ටික මීට වඩා වෙනස් විදියකට ආවා නම් කතාව මීටත් වඩා ලස්සන වේවි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට අන්තිම ටික ටිකක් අවුල් වගේ තමයි. අනේ මන්දා හිතේ මැවුණ චිත්ත රූප ටිකක් වචන වලට ගොනු කළා. ස්තූතියි ලහිරු.

      Delete
  9. ඇත්තටම එහෙම තීරණයක් ගත්ත නම් පසු තැවීම තේරුමක් නැහැ . බින්දේ මොකක්ද කියල සැහෙන පර්ශ්නයක්නේ . හරි ළමයි ..කන්නාඩිය නැත්නම් වතුර වීදුරුව ..ඇයි කාමරේ මගුල් පින්තුරේ කොපියක් තිබ්බ වෙන්න බැරිද . නැත්නම් වඩා සම්භාව්‍ය විදිහට සැමියාට මගුල් පින්තුරේ පොලවේ ගහනවා කියල හිතෙන විදිහ සංකේතාත්මකව දැක්ක වෙන්න බැරිද . D

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න බින්දි අක්කා ලස්සනට හිතලා. සංඛේතාත්මකව මගුල් පින්තූරෙ පොලොවෙ ගහන එක නම් මම වත් හිතුවෙ නෑ. ලස්සන අදහසක් එකතු කළා අක්කෙ ඔයා.

      Delete
  10. ම්ම්ම්....අන්තිම අපිටම හිතා ගන්න ඉඩ තිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මොකද වුණේ කියලා හිතාගන්නකෝ.

      Delete
  11. හිතට වදින කතාවක්.මගෙ ජීවිතයට බොහොම සමීපයි. හැබැයි මගෙ මූහුණේ තිබුණු කැලැල් මේ වෙනකොට නෑ ඩොක්ටර්ස්ලට පින්සිද්ද වෙන්න :).
    අනේ අක්කි හඹා යාම ඉක්මනට ලියමුකෝ මම කමෙන්ට් දැම්මේ නැතිවට මොබයිල් එකෙන් ඇවිත් වරද්දන්නේ නැතිව කියවනවා කොහෙද මේ ඉස්කෝලේ වැඩත් එක්ක :P

    ReplyDelete
    Replies
    1. මල්ලිව ඇක්සිඩන්ට් වුණාද? :-(
      හා හා... ඒවා මේ ඉස්කෝලෙ යන පොඩි උන්ට කියවන්න හොඳ ළමා කතා නෙමේ. නව යොවුන් නව කතාවකුත් නෙමේ. ගිහින් පොතක් පතක් බලාගන්න.
      (ඉක්මනින් දාන්නම් මල්ලි)

      Delete
  12. ඔයා ලියපු හොඳම කතාව මේක කියලයි මටත් හිතුණේ. මිනිසුන්ගේ අභ්‍යන්තර චිත්ත සන්ථානයන් හොඳින් විග්‍රහ වෙන කතාවක්.මිනිසුන් තුල සැඟවෙලා තියෙන උතුම් ආදරය, තෘෂ්ණාව, ඊර්ෂ්‍යව,ක්‍රෝධය,කේන්තිය... මෙකී නොකී ගොඩාක් දේවල් මේ කතාවෙ චරිත අපට විස්තර කරනවා. කතාවෙ අන්තිම ටිකත් සුපිරියී. කියවන කෙනාටම වුනදේත් හිතාගන්න ඉඩ තියලා...!

    ReplyDelete
    Replies
    1. තොටියා අයියගෙ මේ දිරිමත් කරන කමෙන්ට්ස් ඉස්සරහට නැති වෙයිද කියලා දුකක් තියනවා. පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  13. තොටියා කිව්ව දේමයි මාත් කියන්නෙ...ඒත් අර අන්තිමට බිඳුන වීදුරුව..?

    ReplyDelete
    Replies
    1. බිඳුන වීදුරුව මොකක් වුනා නම්ද ඔයා කැමති ෂොඩූ?

      Delete
  14. ම්..ආදරයේදි ගොඩක් අය අසරණ වෙන්නෙ ඒ ආදරය තමන් ඉන්න පරිසරයත් එක්ක බද්ධ කරන්න එකතු කරන්න ගිහාම..
    මේ නොනවතින ගැටුම සිඳු ලස්සනට සිත්තම් කරලා තියනවා කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි කොච්චර ආදරය කළත් සමහර අවස්ථාවල අපි නොදැනුවත්වම අපේ අතින් සන්සන්දනය වීම් සිද්ධ වෙනවා. අවට පරිසරය කොහොම බලපායිද කියන සිතිවිල්ල නිසා අපි අතින් අනිත් අයට අසාධාරන කම් වෙනව. සිත් රිදීම් ඇති වෙනවා. ඒවා අවම කරගන්නවා නම් තමයි හොඳ.

      Delete
  15. හරිම අපූර්වත්වයෙන් යුතු කෙටි කතාවක්. සියලු සිදුවිම් දම්වැලක පුරුක් ආකාරයෙන් ගොනගා තියෙනවා. ඒ අත්දැකිම් ප්‍රකාශ කිරිමට යොදන භාෂාවෙන් කර ඇති හැඩ ගැන්විම කියවන්නා තුම සිනමා රූපී සිතුවිල්ලක් අඳිනවා. හොඳ අත්දැකීමක්තුල ගොඩ නගන කතාවක් නියමයි. අවසානය කියවන්නාට කැමති ආකාරයකින් ගොනු කර ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. දයානන්ද අයියගෙ අදහසක් දකින්න බලාගෙන හිටියෙ. ඒ අදහස මේ වගේ වුණ එක ගැන සතු‍ටුයි. :-)

      Delete
  16. හැම මනුස්සයෙකුගේම මුණ මේ වගේ තමයි.. එකේ පියවි ඇහැට නොපෙනෙන පිරුපි පැත්තක් තියෙනවා. එක පෙනෙන්න ගන්නේ විවාහ උනාට ටික කලකට පස්සෙයි.. අන්න එතකොට අවශ්‍ය ප්‍රමාණයට මයිත්‍රීය මුදිතාව ගොඩ නැගල නැති උනාම තමයි නිදි නැති රාත්රියවල් පටන් ගන්නේ,.. ඊට පස්සේ ඉතින් නීතිඥ මහත්තුරු පෝසත් වෙනවා.නියම තේමාව. සත්‍යය තිත්තයි..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ අමුතුම දර්ශනයක් අදත්. සරත් අයියගෙ කමෙන්ට්ස් වල තියන සමබර බවට මම කැමතියි. වෙලාවකට හිනා යනව. වෙලාවකට දුක හිතෙනව. වෙලාවකට තවත් හිතන්න දෙයක් එකතු කරනව

      Delete
  17. හ්ම්....ලස්සනයි...

    ReplyDelete
  18. ඔය විදිහට මුහුණෙ පැත්තක් කුඩාකල අනතුරක් නිසා විකෘති වුණු කෙනෙක්ව මම දැනගෙන හිටියා. පෙණුමෙ අඩුව පුරවන්නට මෙන් ඔහු බොහොම විනෝදශීලීව හිටියා.
    මම හිතාගත්තෙ අවසානෙට සුසර සියදිවි හානි කරගන්නට තැත් කරාය කියල. :) ඊලඟ කොටසින් තොටියගෙ ක්ලිනික් එකට යවන්න වෙනවා එහෙමනම්.

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ කාලෙ වෙද්දි තොටියා ඒ තො‍ටුපලෙන් ගිහින් තියෙය් අක්කෙ. මම මේ කතාව ලිවුවෙත් පාරෙ දැකපු මනුස්සයෙක් නිසා. කාගෙ කවුද කියල මම දන්නෙ නෑ. බස් එකක් එනකම් හිටගෙන හිටිය එයා

      Delete
    2. යාළුවො කියන්නේ නම් තොටියා යන්න ඉන්න තොටුපොළට Internet signal අහුවුනේ නැතිනම් ටික දවසකින් තොටියවත් ඒ ක්ලිනික් එකටම refer කරලා හරවලා එවන්න වෙයි කියලයි.. :P

      Delete
  19. හපොයි ඇයි වීදුරු බිඳුන සද්දෙ මොකක්ද කියලා හිතාගන්න ඔච්චර අමාරු? මම නම් හිතුවෙ තමන්ගෙ මූණ නිතර දකින නිදන කාමාරයේ තියෙන අල්මරියෙ හෝ කන්නාඩි මේසයේ කන්නාඩිය කියලා. එයා බාත් රූම් එකට ගියානම් තවත්ලේසියි. මොකද මිනිහෙක් වැඩිපුර තමන්ගෙ මූණ බලන්නෙ ‍රැවුල කපනකොට බාත් රූම් එකේ තියෙන කන්නාඩියෙන් නිසා.
    ලස්සනට ලියලා තියෙනවා සිඳූ!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ මැවුනෙ ඒකමයි මේක ලියද්දි. කණ්ණාඩි මේසෙ උඩ තියන මල් පෝච්චිය අරන් එයා කණ්ණාඩිය බි‍ඳෙන්න ගහනවා

      Delete
  20. කන්ණාඩිය බින්දා කියලත් හිතෙනවා.....
    ජනේලේ තඩාගෙන එළියට පැන්න කියලත් හිතෙනවා.....

    තවත් ලස්සනට ලියන්න අක්කේ. ඔයා දක්ෂයි. ඔයාට පුලුවන්. මම අක්කට සුබ පතනවා!!!!!

    ReplyDelete