වංචාකාරයෙකුට නිදැල්ලේ යන්නට ඉඩ දුනිමි.

       වේලාව ප.ව. 1 ට පමණ වන්නට ඇත. මීගමුව රෝහල අසල නැවැත්වූ බසයට ගොඩ වූවන් අතර මගීන් කිහිප දෙනෙක්, වතුර බෝතල් වෙළෙන්දෙක් සහ ෆයිල් කවරයක් අතින් ගත් පුද්ගලයෙක් වූහ. සුපුරුදු ශබ්දයෙන් වතුර වෙලෙන්දා බස් රථයේ පි‍ටුපසට යමින් වතුර විකුණන්නට පටන් ගත්තේය. ෆයිල් කවරය අතින් ගත් පුද්ගලයා බසයේ ඉදිරියට වී කුමක්දෝ පවසන්නට විය. වතුර වෙළෙන්දාගේ හඬත්, බස් රථයේ රේඩියෝවේ හඬත් නිසා ඔහුගේ හඬ වියැකී ගියේ අපහසුවෙන් වදන් කිහිපයක් අල්ලා ගැනීමට පමණක් මා හට ඉඩ සලසමිණි.
ඒ අනුව ඔහු පවසන්නේ සිය පාදයේ ආබාධයක් පිළිබඳව බව වටහා ගැනීමට මා හට හැකි විය.
එහෙත් ඔහු ඒ විස්තරයත් සමග පෙන්වූ x ray කාඩ්පතෙහි සඳහන් වූ රූපය මා මෙතෙක් දැක ඇති සියලුම "කකුල්" වලට වඩා වෙනස්ය. (එවන් හැඩයක් ගන්නා කකුලක් හෝ කිසිදු අවයවයක් මිනිස් සිරුරේ පවතින බව මා මේ වනතෙක්ම නොදනිමි. )


විස්තරයෙන් අනතුරුව ඔහු බස් රථයේ සිටියවුන්ගෙන් මුදල් එකතු කරන්නට පටන් ගත්තේය. මා අසලට පැමිණි ඔහු හට මුදල් ලබා දෙනවා වෙනුවට මා කළේ ඔහු සතු වූ ෆයිල් කවරය ඉල්ලා සිටීමය.  අකමැත්තෙන් නමුත් ෆයිල් කවරයේ වූ කාඩ්පත් දෙකක් පමණක් ඔහු මා වෙත ලබා දුන්නේය.
"x ray එකත් දෙන්නකො" මම එයද ඉල්ලා ගතිමි.
සැබැවින්ම මා සිත තුළ පැවතියේ ඔහුව අභියෝගයට ලක් කිරීමේ උවමනාවක් නොව, ඔහු පවසන දෑ සත්‍ය නම් සෑහීමකට පත් විය හැකි තරමේ මුදලක් ඔහු වෙතට ලබා දීමය. එහෙත් ඔහු පවසන්නේ බොරුවක් නම් තඹ සතයක් වත් ලබා නොදෙන බවද මම ඒ වන විටද තීරණය කරගෙන සිටියෙමි.


මම " x ray " කාඩ් පත හොඳින් විමසා බැලීමි. සැබැවින්ම එය මිනිස් සිරුරේ කුමණ අංගයක්වත් පෙන්නුම් කරන්නක් නොවේ. එමෙන්ම එක්ස් කිරණ පිටපතක් ලබා ගැනීමේදී රෝගියාට අදාල අංකය එහිම සටහන් කරනු ලබයි.නමුත් මෙහි එවැන්නක් සටහන් කර තිබුණේ නෑත. තිබුණේ මාකර් පෑනකින් සටහන් කර ඇති අංකයක් පමණි.එසේ සටහන් කරන රෝහල් පවතිනවාද යන්න මම නොදනිමි.
මගේ නොදන්නා කමට එය එසේ තිබේවා. එහෙත් එම එක්ස් කිරණ පිටපතෙහි අඩංගු වූයේ මිනිස් සිරුරේ අංගයක් නොවන බව නම් මම හොඳාකාරවම දනිමි. බොහෝ විට එය වැරදුන පිටපතක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.


ඉන් අනතුරුවය මා රෝග නිර්න කාඩ්පත බැලුවේ. එහි අඩංගු රෝග නිර්නය දු‍ටු මට සිනහ පහල වූයේ නිතැතින්මය. එය දියේ ගිලීම නිසා බියට පත්ව කතා කිරීම ප්‍රතික්ෂේප කළ රෝගියෙකුට නිකුත් කළ කාඩ්පතකි.දින තුනක් වැනි කාලයක් තුළ ඔහු වාට්‍ටුවෙන් යවා තිබුණි. සතියකට පමණක් එක්තරා ඖෂධයක් ලබා දී තිබුණි. එහි දිනය ලෙස සටහන් වූ 2010 යම් කිසිවෙකු විසින් පරෙස්සමෙන්, එහෙත් ලැජ්ජාවකින් තොරවම 2011 ලෙස වෙනස් කර තිබුණි.


මගේ අවධානය ඊළඟට යොමු වූයේ ඔහු විසින් මවෙත ලබා දුන් අනෙක් කාඩ්පත කෙරෙහිය. එය රජයේ රෝහල් වල සායන වලින් බෙහෙත් ලබාගැනීමට නිකුත් කර ඇති කාඩ්පතක් විය. එහි මුලින්ම සටහන් වූ දින දෙකෙහි එක්තරා ඖෂධයක් සතියක කාලයකට බැගින් ලබා දී තිබුණි. එය ආමාශයික ප්‍රදාහයට (ගැස්ට්‍රයිටිස්) ලබා දෙන ඖෂධයකි.
එහි ඖෂධ ලබාදුන් දින සටහන්ව තිබුණේ මෙලෙසිනි.
09 /06 /2011
16 /06 /2011
17 /20 /2011
04 /18 /2011
ඒ කාඩ්පතට අනුව 18 වන මාසයක් සහ 20 වන මාසයක් ඇත. :-)



එහි මුල් දින දෙක සටහන් වී තිබුණේ බොහෝ වෛද්‍යවරුන්ට හිමි අවලස්සන අපැහැදිලි අකුරෙනි. අනෙක් දින දෙක අකුරු අපිළිවෙල කිරීමට ආයාසයෙන් දැරූ උත්සාහයකින් ලියවී තිබිණි.
එමෙන්ම මෙහි මුල් දින දෙකෙහි බෙහෙත් ලබා දී තිබුණේ සති 1ක කාල සීමාවකටය. එය 1/52 ලෙසින් සුපුරුදු ලෙස සටහන් කර තිබිණි. එහෙත් ඊලඟ දින දෙකෙහි ඖෂධ ලබා දී තිබූයේ 1/82 ටය. ඒ වෛද්‍යවරයාගේ අකුරු අනුකරණය කරන්නට යාමෙන් 5 සහ 8 පැටලුණු අවස්ථාවකි.



ඒවාත් අතෙහි තබාගෙන කුමක් කරම්දෝයි සිතමින් පසු වන විට ඔහු නැවතත් මා වෙත පැමිණියේය.එහිදී ඇති වූ දෙබස මෙබඳු විය


"ඔයාගෙ අසනීපෙ මොකද්ද?"


"මාව ගහෙන් වැටිලා කකුල කැඩුණා.
ඒ නිසා වැඩ කරන්න බෑ,ඒ බේත් වලට ලොකු වියදමක් යනව..."


"ඒත් මේ කාඩ් එකේ එහෙම එකක් නෑනෙ. ඇයි බොරු කියන්නෙ? මේක වතුරෙ ගිලෙන්න ගිය කෙනෙක්ගෙ එකක්නෙ"


"නෑ නෑ... ඕක තමයි ඉස්පිරිතාලෙන් දුන්නෙ"


"බොරු කියන්න එපා"


"මම මොනාටද බොරු කියන්නෙ? මට ඕවා තමයි ඉස්පිරිතාලෙන් දුන්න්නෙ"


බසයෙහි වූ අනෙක් මගීන් ද මා දෙස බලනු මට දිස් විය. එසේ හෙයින් එක්ස් කිරණ කාඩ්පත පිළිබඳව හෝ බොරු දින සටහන් කර ඇති සායන කාඩ් පත පිළිබඳව ඔහුගෙන් මම අසන්නට උත්සාහ නොකළෙමි. ඇසුවත් ඔහු දිගින් දිගටම බොරු පවසන බවද මම දැන සිටියෙමි. එසේ හෙයින් අවසාන වතාවටත් "බොරු නොකියා මේ ටික අරන් යන්න" යයි පැවසූ මම ඔහු අත හැර දැමීමට තීරණය කළෙමි.


එහෙත් නැවත් වතාවක් මා හට කතා කිරීමට සිත් වූයේ ඔහුගේ අතෙහි ඇති ෆයිල් කවරයේ වූ අනෙක දු‍ටු විටයි. එය ඇඳ ඉහපත් වාර්තාවකි. එය කිසිසේත්ම රෝගියා අතට පත් කරන්නේ නැත.


"මේක කොහෙන්ද ඔයාට?"


"මට වාට්‍ටුවෙන් දුන්නෙ"


"බොරු කියන්න එපා ,මේක ලෙඩ්ඩුන්ට ගෙදර ගෙනියන්න දෙන්නෙ නෑ"


"නෑ නෑ මට දුන්නා"


"මේක ඉස්පිරිතාලෙ රෙකෝඩ් රූම් දානවා. එහෙම ලෙඩ්ඩුන්ට දෙන්නෙ නෑ"


මගේ මතය නම් ඔහු එය වාට්‍ටුවකින් සොරකම් කොට ඇති බවයි.


මගෙන් වෙනත් වචනයකට ඉඩ නොලද ඔහු බසයෙන් බැස ගියේය. මමද මුවින් නොබැන බලා සිටියෙමි. පොලිසියට හෝ දන්වා ඔහුගේ දරු පවුලක් අනාත කිරීමට මට අවශ්‍යතාවයක් නැත.


එහෙත් ඒ මිනිසාට මුදල් ලබා දුන්නේද කෝටිපතියන් නොවේ. මනුස්සකම හඳුනන තවත් අහිංසක මිනිසුන්මය. එවන් හදවත් ඇත්තන් මුලා කර ලබාගන්නා මෙම මුදල් ඔහුට වගතුවක් ගෙනදෙන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.




මෙම සිදුවීමෙහි සත්‍යය මම වදනිකිනුදු එහා මෙහා නොකළෙමි. මේ සැබැවින්ම ඊයේ දිනයේ මා මුහුණ දුන් සිදු වීමකි. මෙවන් වූ මිනිසුන් දහස් ගණන් අප අතරම වාසය කරති. ඔවුන් විෂයෙහි ඔබ ක්‍රියා කරන්නේ කෙසේද යන්න ඔබම තීරණය කරන්න.


(තවත් පුංචි සටහනක් තැබීමට මට සිත් වේ. ඒ මේ කතාව ඇසූ මගේ මිතුරෙකු පැවසූවකි. "ඔයා මේක අනිත් අයට කියලා සල්ලි දෙන්න එපා කියන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාට පවක්. මිනිස්සු සල්ලි දෙන්නෙ තමන්ගෙ කැමැත්තෙන්. ඒක දානයක්. ඒක වලක්වලා ඔයා කරන්නෙ පවක්. ඒ ඔහුගේ මතයයි. මම නම් එතරම් හොඳින් බණ දහම් නොදනිමි.


මේ බව ඇසූ තවත් මිතුරෙකු පැවසූයේ මෙවැන්නකි. "ඔහොම බස් වල ඕනා තරම් වෙනවා. කුඩු කාරයෙක් වත් නම් ඒ මිනිහා. ඔයාට පිහියකින් හරි ඇනලා දිවුවා නම් ඔහොම කට ගහගෙන යන්න ගිහින්......" සැබැවින්ම ඒ පිළිබඳව නම් මා ඒ වෙලෙහි නොසිතුවෙමි.)




Comments

  1. අනේ මන්දා ලංකාවේ වෙන දේවල්. මේ වගේ දේවල් නිසා වෙන්නේ ඇත්තට අසරණ මිනිස්සුන්වත් මේ මිම්මෙන්ම මනින එක

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලි. ඇත්තටම සල්ලි නැති මිනිස්සු ඉන්නවා. ඇත්තටම ලෙඩ අය ඉන්නවා. ඒ මිනිස්සු පව් මේ වගේ අය නිසා. ඒත් මම හිතා ගත්තා ආයෙ නම් මෙහෙම බලන්න යන්නෙ නෑ කියලා. මොකද අපේ හිතයි කලකිරෙන්නෙ.මේ වෙනකම් මම බස් එකේ ලෙඩ කිවුව හැමෝටම සල්ලි දීලා තියනවා. මේ පුද්ගලයාගෙන් මට කාඩ් ටික ඉල්ලගන්න හිතුනෙ එක්ස් රේ එක කකුලක් නෙමේ කියල දැකපු නිසා.

      Delete
  2. බස් වල හිඟා කන ( ඇත්තට හරි බොරුවට හරි ) මිනිස්සු ගැන මම දකින්නේ මෙහෙම

    බොරුවට වුනත් හිඟා කන්න තරම් ඒ මිනිස්සු ඒ තැනනට ඇද වැටෙන්න මොකක් නමුත් ලොකු හේතුවක් ඇති . තමන්ගේ ආත්ම ගෞරවය පැත්තක දාලා බොරු කියන්න තරම් ජීවිතේ විසාල ඇද වැටීමක් වෙන්න ඕනේ . අපි එහෙම නොකරන්නේ ඒ වගේ සෝදාපාලුවීමක් අපේ ජීවිත වල නැති නිසා .ඔය කිව්ව හේතුව නිසා ඔය මිනිස්සු වංචාකාරයො වුනත් මම නම් ඒ ගැන ගොඩක් ඇනලිසිස් කරන්න යන්නේ නෑ . තියෙනවනම් කීයක් හරි දෙනවා නැත්නම් නිකන් ඉන්නවා . දෙන්නේත් පින් කියන සාධකය පදනම් කරන් නෙවේ

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන විදියට හිතන්න පුළුවන්නම් හොඳයි, ඒත් මේ වගෙ මහා පරිමානයෙන් කියන බොරු වලට අහිංසක මිනිස්සු අහු වෙනකොට මට සාමාන්‍ය විදියට ඉන්න අමාරුයි.

      Delete
  3. පින ගැනනම් මමත් හරියට කියන්න දන්නෙ නෑ සිදූ... ඒත් අර දෙවනි කෙනා කියපු කථාව නම් ඇත්ත

    *************

    ඔය වගේ අනන්තවත් දේ වෙනවා.. එකපාරක් පන්සලක මියගිය වකුගඩු රෝගියෙකුගෙ වාර්ථා පෙන්නල මුදල් එකතුකරල තිබ්බ.. එදා ඒ පන්සලට පැමිනිච්ච අදාල රෝගියගෙ අක්ක දැකල තමයි ඒ කට්ටිය පොලිසියට අල්ලල දීල තියෙන්නෙ...

    පොඩි මිනිස්සු විතරක් නෙවෙයි ඔය දේවල් මහා පරිමානෙන් වෑන් රථ වලින් ත්‍රීවීල් වලින් ස්පීකර් බැඳගෙන ගිහින් කරනවා.. ඒකෙන් වෙන්නෙ ඇත්තටම පිහිටක් ඉල්ලන කෙනෙකුටවත් උදව්වක් නොලැබෙන එක

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව නම් ඇත්ත. ඒකනෙ මම මේ ගැන මේ වෙනකම් අම්මලාට නොකිවුවෙ. ඒත් ඉතින් ඒ නංගි බ්ලොග් එක කියවනකම් විතරයි. ඊට පස්සෙ ගෙදර සේරම වට වෙලා මේක කියවයි.

      Delete
    2. ඒකනෙ ඒකනෙ,මම බ්ලොගේ ලියන බව මම මලයාටවත් කියලා නැත්තේ.. එතකොට ඕන දෙයක් ලියන්න පුළුවන්. එහෙම නැතිනම් වෙන්නේ සිඳු කිව්වා වගේ ගෙදර සේරම වට වෙලා මේක කියවන්න ගන්න එක තමා.. හී හී

      Delete
    3. ආ... ඒ උදව්ව මම කරල දෙන්නම්.lol

      Delete
  4. අපේ ලොකු ලොක්කෝ ගහන ගැහිලි වලට මේවත් ගැහිල්ලක්ද. මොනා උනත් මනුස්සයා බස් එකේ ඇවිදින් හිඟා කන්නේ කීයක් හරි හොයාගෙන බඩට කාලා ඉන්න නෙව. :)

    මට හිතෙන විදිහට මම් කියන්නේ මේ මනුස්සයා කරන බොරු වල මේ මනුස්සයාට කවදාහරි පඩිසන් දෙයි. ඒත් සල්ලි දෙන අපි හොද හිතින් දෙන නිසා අපට පවක් වෙන්නේ නෑ. නමුත් මේ මනුස්සයා හොරෙක් වග දැන දැනත් සල්ලි දෙන්න ගියොත් අපි පවක් කරගත්තා වෙනවා.

    ඔන්න සිඳු ආයෙම ඒ මනුස්සයාට සල්ලි දෙනවා නෙමේ හරි ද. දැන් දන්නවා නේ ඒකා හොරෙක් විත්තිය. :)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ඇස් පනාපිට ලොකු ලොක්කෝ නම් කරන්නෙ මීට වඩා මහා පරිමාන වංචා , දූෂණ තමයි.

      Delete
  5. ඕක මමත් අත්දැක්ක දෙයක්.....මමත් මේ ලඟදි ලිපියක් ලිව්වා ඔයිට සමාන කාරණයක් ගැන..හැබැයි ඒ අන්ධ මනුස්සයා ඇත්තද බොරුද කරන්නේ කියල මම හොයන්න ගියේ නෑ...මොකද අපේ ඔළුවට ඉස්සරලා හදවත ඉස්සර වෙන නිසා....

    ReplyDelete
    Replies
    1. ඒකෙ ලින්ක් එක එවන්නකො. අන්න හරි, ගොඩක් වෙලාවට ඔලුවට වඩා හදවත ඉස්සර වෙනවා මගෙත් ගොඩක් වෙලාවට. ඒත් එදා නම් ඊටත් වඩා කට ඉස්සර වුණාද කොහෙද

      Delete
  6. වංචාවට විරුද්ධ වීම අගය කල යුතුයි තමා. ඒ වගේම තමන්ගෙ ආරක්ශාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ.
    බස් වල සල්ලි එකතු කරන්න එන මිනිස්සු ඔය වගේ තමා. හොඳ චෙතනාවෙන් කියක් හරි දුන්නට වරදක් නෑ. ඒත් ඔය වගේ අය වැඩි හරියක් ඒ දෙන සල්ලි වලින් හොඳ දේවල්ම පමණක් කරනව කියන එක නම් හිතන්න බෑ. ගොඩක් අය ඔහොම සල්ලි එකතු කරන්නෙ මත්ද්‍රව්‍ය සඳහා.
    මම හිතන විදිහට ලිපියත් සිඳූ කරල තියන දෙයත් ගොඩක් ආදර්ශමත්!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ගිමන්. හොඳ දේකට නම්, ළමයින්ට උගන්නන්න කන්න බොන්න දෙන්න නම් ඒත් කමක් නෑ. ඒවත් අරන් ගිහින් කුඩු ගහනවා නම්, අරක්කු බොනවා නම්, ඒකෙ පවත් අපිටම තමයි.

      Delete
  7. මේවගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා, ඇයි දන්නේ නැහැග

    ReplyDelete
    Replies
    1. ඇයි කියන එකට නම් උත්තර තියනව ලහිරු. එකක් රස්සාවක් නැති කම, තිබුනත් කරන්න අකමැති කම. අනිත් එක රස්සවාකට වඩා ලේසියෙන් හම්බ කරන්න පුළුවන්කම.
      අනිත් එක ඇත්තටම ළමයින්ට ආදරෙන් කන්න බොන්න උගන්නන්න ඕනා කම,. එහෙමත් නැත්නම් ගිමන් කිවුවා වගේ මත්ද්‍රව්‍ය වලට.

      Delete
  8. මං ඔය ගැන ලියන්න හිතං හිටියා... මතක් උන එක හොඳා...

    ReplyDelete
    Replies
    1. අයියා ලියන්න. අපි බලාගෙන් ඉන්නෙ ඔයා මොනවා හරි ලියනකම් තමයි.

      Delete
  9. මිනිස්සු ඔහොම වංචාවල් කරන්නේ වෙන දෙයක් කරන්න තියෙන කම්මැලිකමට මිසක් වෙන දේකට නෙමෙයි.හම්බ කරං කන්ඩ ඕනෙනං ඒ අවශ්‍යතාවලට ඇතිවෙන්ඩ හම්බ කරගන්ඩ රස්සාවල් තියෙනවා.බොරුනං මාරයා අයියගෙං අහලා බලන්ඩ.

    ඔහොම මිනිස්සු හින්දා වෙන්නේ ඇත්තටම අවශ්‍යතාවකට (ශල්‍යකර්මයකට ) සල්ලි ටිකක් හොයාගන්ඩ එන මිනිස්සුංවත් හොරු ගානට වැටෙන එක.

    ඔය බෞද්ධ ඈයින්ගේනං තියෙන්නේ මහා ආත්මාර්ථකාමී හැඟීමක්.අපිට දානයක් දෙන්ඩ ඇහැක්වෙනවනං එච්චරයි.ඊට පස්සෙ අරූට හෙණ ගැහුවත් කමක් නෑ.කවුද දන්නෙ ඒ යකා සල්ලි හොයාගෙන කුඩු ගහලා ගෙදර ගෑනිටයි ළමයින්ටයි වද දෙනවද කියලා.

    මාවෝ සේතුං කියපු මේ කියමනට මම හරි කැමතියි,

    මිනිහෙක්ට මාළුවෙක් දෙන්ඩ එපා.ඔහු ඒක කාලා ආයෙත් ඉල්ලාවි.ඔහුට බිලීපිත්තක් දෙන්ඩ.ඔහු මාළු බාගෙන කන්න පටන් ගනී.

    ඇත්ත අපිට හැමෝටම බිලී පිති දෙන්ඩ බෑ තමයි.ඒත් පිනට කන්ඩ පුරුදු කරන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට නුවණින් තමන්ගේ ආගම අදහනවා නම් එහෙම වෙන්නෙ නෑ. හැම දීමක්ම දානයක් වෙන්නෙත් නෑ. හැම දානයක්ක්ම පිනක් වෙන්නෙත් නෑ මම හිතන විදියට.
      දැන් තමයි මතක් වුණේ, මේක කිවුව යාලුවා නම් බෞද්ධ නෙමේ. හැබැයි බෞද්ධ ආගමේ අඩංගු හරවත් ධර්ම කරුණු අපිටත් වඩා හොඳින් දන්න කෙනෙක්.

      Delete
    2. මෙහෙමයි, දිනුක කියනවා වගේ මහා ආත්මාර්ථකාමී හැඟීමෙන් දන් දෙන්නේ ධර්මය ගැන දන්න සැබෑ බෞද්ධයෝ කියල නම් මම නම් හිතන්නේ නෑ. ධර්මය ගැන දන්න බෞද්ධයා දන්නවා පිනක් කර ගන්න ඕනි නම් කරන්න ඕනි බස් එකට නගින නගින මිනිහට දන් දෙන එක නෙමෙයි කියන එක. පින කියන එකේ ප්‍රභල කම තීරණය වෙන්න සාධක කීපයක්ම තියනවනේ. සිදූ ඒ කෙනා කරන්නේ බොරුවක් වංචාවක් කියල දැනගත්ත වෙලාවේ හිතට ආවේ තරහක් නම් ඊට පස්සේ මේ මිනිහට අනිත් මිනිස්සු රැවටිලා මුදල් දෙනවා කියන එක ගැනත් ඇතිඋනේ තරහක් නම් ඒ සිතුවිල්ලෙන් අනිත් මිනිස්සුන්ගෙන් ඒ මිනිහට ලැබෙන මුදල අහිමි කලයුතුයි කියල නම් ඔයා වැඩකලේ, සිදූ ඔයාට උනේ පවක්මයි. මොකද ඔයා ඒ ක්‍රියාව කරලා තියෙන්නේ ද්වේශ කියන අකුසල චිත්තයත් එක්ක. හැබැයි ඔයා ඒ මිනිහගේ වංචාවට අනිත් මිනිස්සු අහු වෙනවා අනිත් මිනිස්සු එකෙන් බේර ගන්න ඕනි කියන අනුකම්පා සහගත සිතුවිල්ල පමණක් ඇතුව ඒ ක්‍රියාව කලා නම් ඔයාට ඇති වෙන්නේ පිනක්. මේ මම දන්න විදිහට පොඩි පැහැදිලි කිරීමක්. මම වැරදිනම් මාරයියේ මාව නිවැරදි කරන්න. "චේතනා භික්කවේ කම්මන් වදාමි" කියලයි අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ.

      Delete
    3. මේ නම් මම පව් කළා කිවුව යාළුවාම තමයි. :-/
      පරිස්සමෙන් ඇනෝ කමෙන්ට්ස් දාන්නෙ!
      I'm watching you :p

      Delete
  10. කොච්චර ඔහොම මිනිස්සු ඇත්ද..අනේ මන්දා..බොරු කරලා සල්ලි අරන් මොන හිතකින් ඒවා පාවිච්චි කරනවද.. :/

    ReplyDelete
    Replies
    1. එක හිතින්ම ඔය පාවිච්චි කරන්නෙ. :-)

      Delete
  11. බස් වල වැඩිපුරම සල්ලි ඉල්ලන්න එන්නෙ ඔය වගේ බොරුකාර මිනිස්සු කියලයි මට නම් හිතෙන්නෙ..කවුද කිව්ව එක හිඟන්නෙකුගෙ බෑන්ක් එකවුන්ට් එකේ ලක්ශ 40 ක් තිබ්බලු.එයා තුවාල උන කකුලක් රෙදිපටි ඔතාගෙනලු හිඟා කන්නෙ..හවසට ගෙදර ගිහින් කකුල ලිහල රෙදිපටි ටික විසිකරල..හොඳට නාගෙන අලුත්ම කාර් එකෙන් එලියට යනවලු බාර් වලට බොන්න......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒක හොඳ බිස්නස් එකක්. මහාචාර්ය නන්දසේන රත්නපාලගෙ ඒ වගේ විස්තර ඕනා තරම් තියනවා.
      දැන් බස් රථ වල , කෝච්චියෙ හිඟා කෑම තහනම් ද කොහෙද. ඒ නිසා තමයි මේ විදියට එන්නෙ නිකම් සල්ලි ඉල්ලන්නෙ නැතිව.

      Delete
  12. ඔයා වැරදි සිදූ කෙනෙක්ගේ රැකියාවට ඔහොම බාධා කරන්න එපා.හරිම වැරදී අපේ රටේ ලොක්කගේ ඉදලා පොඩි එකාට යනකන්ම කරන්නේ වංචාව රැවටීම,අපිට හොරෙන් අපි රැවටෙන අමුතු රටක් මේක කියලා කියන්නේ..හික්ස්
    මෙන්න ඔය වගේ කතාවක් දැක්කා ඊයේ http://reargate.blogspot.it/2012/07/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කෙනෙක්හෙ රස්සාවට එහෙම බාධා කරන එක වැරදියි තමයි. lol

      Delete
  13. අපෝ දෑන් බස් වල සල්ලි එකතුකරන තරමක් ඉන්නෙ හොරු තමයි. දවසක් එක අයිය කෙනෙක් ඈවිත් ගිටාර් එක ප්ලේ කරල කියනව එයාට මෑනේජ්මන්ට් ඩිග්‍රියක් තියනවලු. තව වෑඩිදුර අධ්‍යාපනයට අවුරුදු දෙකකට රට යන්න සල්ලි මදි නිසා එයාට ආධාරයක් කරන්න කියනව. මමත් ඈතුලුව බස් එකේ හිටිය ගොඩක් දෙනා සතුටුදායක මට්ට්මේ කොලවලින් ඒ අයියට ආධාර කරා. ඉගනගන්න උදවු කරනඑක හොද දෙයක්නෙ. හෑබෑයි ඒක බොරුවක් නම් අන්න හම්බකරන්න මරු මෙතඬ් එක. ඒයාට අපි හිටපු බස් එකෙන්ම 1500 වඬා ලෑබුනා :D

    මට හිතෙන විදියටනම් සල්ලි ඉල්ලන කෙනා හොරෙක්ද ඈත්තට ඉල්ලන කෙනෙක්ද කියන එක එච්චර වෑදගත් නෑ. අපි දෙන්නෙ හොද හිතින්නම් එච්චරයි වෑදගත්. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නයිට් , එයා කිවුවෙ ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්. ඒත් එහෙම කෙනෙක් බස් එකේ සින්දු කියයි කියල හිතන්න නම් අමාරුයි. ලස්සනට සින්දු කියන කෙනෙක් සී ඩී එකක් ගහන්න සල්ලි එකතු කළා නම් ටිකක් පොසිබල්

      Delete
  14. මේකට මමත් දිග කමෙන්ට් එකක් දාන්න යන්නේ. සිඳුගෙ බ්ලොග් එකේ මම ලිපියක් ලියනවා වගේ වේඩි ද දන්නෙත් නෑ.. මටත් ඔයිට ගොඩාක් සමාන දෙයක් වෙලා තියනවා. බස් එකකට ගොඩ වෙච්චි අවු 70 විතර කෙනෙක් රෝග නිර්ණ කාඩ් එකක් පෙන්නමින් මෙහෙම කියනවා.. "මගේ හෘදය වස්තුවේ හිලක් තියනවා. ඒක ඔපරේශන් එකට මේ මාසෙ අග. ජනාධිපති අරමුදලෙන් කොටසක් ලැබුණා. තව පොඩ්ඩයි ඕන කරන්නේ. ඒක නොකරොත් මාව ජීවත් කරවන්න බෑ කියලා දොස්තරු කිව්වා. මට වැඩක් පලක් කරගන්න බෑ. මගේ නෝනා එකතැන් වෙලා.. ...." ආදී ලෙස ඇඬෙන විස්තරයක්. බස් එකේ ඉස්සරහා ඉන්න ගොඩක් අයත් සල්ලි කොළම තමා දුන්නේ.. මම ලඟට ටික ටික එනකොටයි මට Diagnose Card එක මොකක්ද කියලා කියවන්න හැකි වුනේ...ඒක දැකලා මට හිනා නොගියා විතරයි. ඒක අවූරුදු 2කට කලින් ක්ෂය රොගයට ප්‍රතිකාර ගනිපු කාඩ් එකක්. ඔහු පපුවේ හිලක් කියලා ඇගිල්ල තියලා පෙන්වන්නේ අර පෙනහළු පරික්ෂාවේ තොරතුරු කෙටියෙන් දක්වන්න වෛද්‍යවරු අඳින රූපසටහනේ මැද හිස්ව තියන හෘදය පිහිටි කොටසටයි..
    වයස්ගත් ඔහු ව0චාකාරයෙක් තමා. එත් ඔහු මේවිදියට හිඟන තත්වයට වැටෙන්නත් දුක්ඛිත කතාවක් ඇති කියා මට සිතුනා. ඒ නිසා රු 20 කොලයක් ඔහු දෙසට දිගු කළා. සුපුරුදු ස්තූති වාක්‍යයන් කියලා එය ගන්නවත් එක්කම මම හිමිහිට මෙහෙම කිව්වා.(මම ඉතා පහත් හඬින් මෙය කීවේ මුදල් දුන් අන් අයට ඇසුනොත් ඔහුට ඒ මොහොතේම පහරකෑමට සිදුවන බව දන්නා නිසායි)
    "සියෙ මම දොස්තර කෙනෙක්. ඔයා බොරුවනේ කරන්නේ. ඔය අවු 2කට කලින් ක්ෂය රෝගෙට බෙහෙත් ගත්තු කාඩ් එක නේද? අඩුම තරමේ නොමිලේ දෙන ඒ බෙහෙත් ටිකවත් මාස 6 නොකඩවා ගත්තද? සීයට ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වුනත් මේ විදියට මිනිස්සු මුළා කරන්න එපා. මෙතන ඉන්නෙත් කෝටිපතියො නෙමයිනේ"
    ඔහුගේ ඇස් උඩ ගියා. දහඩියත් දැම්මද මන්දා. ඔහු නිරුත්තරයි. මුදල් එකතු කිරීම පසෙකලා වහ වහා ඉදිරිපස දොර දෙසට පියමන් කළ ඔහු බසයෙන් අඩියට දෙකට බැස ගියා. මා සෙමින් ඔහුට කී දේ ඇසුනේ මගෙ අසුනේ සිටි කෙනාට පමණි.
    "අපරාදේ ඩොක්ටර්.ඇයි දැන දැනත් ඒ ව0චාකාරයට සල්ලිත් දුන්නේ? පොලීසියට අල්ලලා දෙන්නයි තිබුනේ"
    "එයාගෙ පෙනුමයි වයසයි දැක්කම මට එහෙම කරන්න හිතුනේ නෑ. ඔය විදියට සල්ලි හොයන තත්වයට ඇද වැටෙන්නත් මොනවාම හරි වෙලා ඇතිනේ. සමහරවිට ළමයි සලකන්නේ නැතිව ගෙදරින් දොට්ට දාලද දන්නෙත් නෑනෙ. ඇරත් මම කලබල කළා නම් ඒ මනුස්සයා මෙතන අනිත් අයගෙන් හොඳටම ගුටි කනවා"

    බලන්න සිඳුගෙ කතාවම වගේ නේද? ඔයාගෙ කතාවේ තියන 1/82 ගැන ඇහුවම නම් හොඳටම හිනා ගියා.. බොරුව උනත් කරන්න ඉගෙන ගන්න ඕන කියන්නේ ඕකයි

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වයසක අයත් එහෙම බොරු කියනව කියද්දි පුදුමත් හිතෙනව. දුකත් හිතෙනවා. අයියා කියන එක ඇත්ත, මෙහෙම අය හැමෝම පිටිපස්සෙ නොකියපු කතාවක් නම් තියනවා තමයි.

      Delete
    2. නොදන්නකම හෝ දුප්පත්කම නෙවෙයි, ඕක ස්ංවිධානාත්මක මාෆියා බිස්නස් එකක්. තනිවම විරුද්ධ වෙන්න යන්නෙ පරිස්සමට. දැලි පිහි පාරකින් ඉවරවෙන්න ඉඩ තියනවා.

      Delete
  15. ඔය වගේ දේවල් කරාට කමක් නැහැ...
    හැබැයි පරිස්සමිං....
    දිගටම ඔය වගේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවානං අඩුම ගානේ කරාටි පංතියකටවත් යන්න...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි.... අංගම්පොර හොඳ නැද්ද?

      Delete
  16. මටත් හිතුනෙ සිඳුට මොනවා හරි කරදරයක් වුනා නම් කියලා තමයි..
    හිඟන්නො කියන්නෙ වෙනම සමාජ සංස්කෘතියක්...දැන් ඒක පිළිලයක් වෙලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හැම රටකටම පොදු සමාජ ප්‍රශ්නයක්

      Delete
  17. සිඳු, මමත් දැකලා තියෙනවා සමහර මිනිස්සු බඩේ ප්ලාස්ටර් එකක් අලවාගෙන ඒක යටින් සේලයින් බටයක් දාලා ඒක පොඩී කුප්පියකට දාලා පෙන්න පෙන්න හිඟා කනවා. අර ඔපරේෂන් එක කරලා කුණු ලේ වලට ඕව ෆ්ලෝ එකක්ලු ඒ දාලා තියෙන්නෙ. මිනිස්සුත් සල්ලි දෙනවා. ඇත්තම කිව්වොත් හුඟ දෙනෙක් සල්ලි දෙන්නෙ නොදුන්නොත් බනී කියලා බයට.

    මම හිඟන්නන්ට සල්ලි දෙන්නෙ හිඟන්නො අප තුල ඇති කරන වරදකාරී හැඟීමෙන් මිදෙන්න. ඒ අයගෙ ලොකුම ආයුධය අපේ වරදකාරී හැඟීම. ඒකෙන් එයාලා හරියට අයුතු ප්‍රයෝජන ගන්නවා වගේම අපිත් අහුවෙනවා.

    සමහර දවස්වලට මගේ අතේ හිඟන්නගෙ අතේ තියෙන මුදලවත් නැති වෙච්ච දවසුත් තියෙනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ් හරි මම හිතන්නෙත්. අපේ වරදකාරී හැඟීමෙන් ඔවුන් ප්‍රයෝජන ගන්නවා.

      Delete
  18. මේක එක්කතරා ආකාරය අනුකම්පාව උපදවා ගන්න කරන උපක්‍රමයක් ඒ නිසා අපිවගේ අය අහු වෙනවා. මම යාචකයාගේ මූන දිහා බලල යම්කිසි නිගමනයකට එනවා බොරු කාරයෙක්ද නැද්ද කියලා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයට පුරුදු වූවෙක්ද මත්පැනට පුරුදු වූවෙක්ද කියලා නිගමනයක් කරලා තමයි ආදාරය කරන්නේ.

    හැබැයි මේවගේ අය ගැන දැනගත්තානම් නිහඬ ව ඉන්න එක වඩාත් ගුණදායකයි

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක් තමයි. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ගොඩක් අයව හොයන්න පුළුවන්නෙ මූණ බලලා

      Delete
  19. ගොඩාක් දෙනෙක් සල්ලි දෙද්දී හොරෙක්ද වන්චකාරයෙක්ද කියල බලන්නේ නැහැ.එහෙම බලල ඒ වගේ මිනිස්සුත් එක්ක කතාවට ගිහින් ලජ්ජා වෙන්නේ කැමති නැති නිසා අර මිනිස්සුත් එහෙම දේවල් කිසි බයක් නැතුව කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මම කරලා තියෙන්නෙ ලැජ්ජා වෙන්න ඕන දෙයක්ද මන්දා. lol

      Delete
  20. මිනිස්සුන්ගේ මිනිසත්කම වැරදි විදියට පාවිච්චි කරන එක තරම් කැත වැඩක් තවත් නැහැ. පව් ඒවාට සල්ලි දෙන අහිංසක මිනිස්සු. ඔයා හරි, ඒ වගේ අය පොලිසියට අල්ලලා දෙන එකත් කරන්න හොඳ දෙයක් නෙමෙයි මට හිතෙන විදියට. Who breaks a butterfly upon a wheel?

    අර දිනේ දාලා දීල තියෙන්නේ ඇමරිකන් කාරයෙක්ද කොහෙද :) මෙහෙ අය දිනේ දාන්නේ දවස මැදට දාල නේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දිනේ දාන්නෙත් ඔහොම නේද?

      Delete
    2. හොඳට බලන්න සයුරි, ඒකෙ මාසයක් නෑ කොහෙවත්. දෙකම දිනද කොහෙද.

      17 /20 /2011
      04 /18 /2011

      Delete
  21. මේ කතාව හිත අනුකම්පාවෙන් වගේම එක්තරා විදියක (තරහක්? පිළිකුලක් ) මොකක්දෝ මිශ්‍ර හැඟීමකින් හිත පිරෙව්වා. තොටියා කරපු දේ තමා හරි. කීවත් වගේ ඔය වගේ අය එක්ක කතා කරනකොට ප්‍රවේශම් උනොත් හොඳයි.

    මේ වගේ වැරදි කොහොම නැති කරන්ටද කියන එක නම් තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මගෙ කට ටිකක් වැඩියි (සමහර වෙලාවට) තොටියා අයියා වගේ කළා නම් තමයි හොඳම දේ. අහ්, ඒක නෙමේ, සාදරයෙන් පිළිගන්නව ලෝකයේ කොනට.

      Delete
  22. ඔයාගේ කතාවත් කියෙව්වා...තොටිය අයියගේ කතාවත් කියෙව්වා... ඔය දේවල් ගැන දැනීමක් නැති අය ඉතින් සල්ලි කොහොමත් දෙනවමනේ...

    එහෙම බොරු කියල හොයා ගන්න සල්ලි වලින් ඒ මිනිස්සුන්ට වගතුවක් තියෙයිද ඉතින්?

    ReplyDelete
    Replies
    1. ඒ මොනවා වුනත් එදා වේල හරි හම්බෙනවා ඇතිනෙ නැති කමට සල්ලි එකතු කරනවා නම්. නේද?

      Delete
  23. ඔච්චර දේවල් කියන්න ගිහින් බේරුනා මදැයි.ඇත්ත අපේ හිතේ තියෙන්නෙ පිනට දෙන පරමාර්තෙනම් කාට දුන්නත් කමක් නෑ.ඒත් අපි පිනට කියලා වුනත් හොරෙක්ට දෙන්නෙ මොකටද නේදදාපේ රටේ ඇති තරම් හිඟා නොකා දුක් විදින මිනිස්සු ඉන්නවානෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. මොකක් හරි වුණා නම් එහෙම මේ ලිපිය ලියන්න වෙන්නෙ "වංචාකාරයෙක් මට පිහියෙන් ඇන්නේය" කියලා තමයි.

      Delete
  24. අපොයි
    හරිම අනතුරුදායක වැඩක් . මටත් ඉස්සර ඔයවගේ වැඩ කරන්න හය්ය තිබුනා . හැබැයි ඉතින් සිදු TG කිව්වා වගේ මිනිහෙක් බොරුවක් කියල හරි අනික් ය ඉස්සරහ බාල්දු වෙන තත්වයට වැටීම ගැන නම් මට අනුකම්පායි. පින් තකා නම් නෙමේ . හැබැයි බොරුවක් වුනත් හරියට කරනවා නම් බැරිය . ව්‍යාපාරයක් විදිහටත් හිඟාකන නිසා අනේ මන්ද මේවට මක් කරන්නද කියල . කලකට උඩදී මන් සියෙක්ට රුපියල් පහක් දීලා එකෙන් මට දමල ගැහුවනෙ .

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේම අපේ අප්පච්චිටත් වුණා. ඒත් රුපියල් 5කට. ඒ වෙලාවෙ අප්පච්චි හරියටම කාර් එක නවත්තන් හිටියා ලිප්ටන් වටරවුමෙ. වැඩියෙ වාහන නෑ, ගොඩාක් ‍රැ වෙලා. පාරෙ අයිනෙ හිටිය හිඟන ගෑණු කෙනෙක් ඇවිත් වීදුරුවට තට්‍ටු කර කර සල්ලි ඉල්ලුවා.ඒ වෙලාවෙ අත පොවේන දුරක තිබුන රු 5ක් දුන්නා අප්පච්චි. ඉක්මනින් දෙන්නත් ඕනනෙ. ඒ එක්කම ඒක අතට අරන් බලපු ඒ ගැණු කෙනා "අපිටත් වඩා හිඟන්නොනෙ, " කියලා ආපහු ඒකෙන් කාර් එකටම ගැහුවා. අප්පච්චි ශොක් වුනා.මට නම් හිනා ගියා.

      Delete
  25. හ්ම්...බාගෙට බාගයක් ඔහොම අය....

    ReplyDelete
    Replies
    1. ඔව් තරුවො, ගොඩාක් අය.

      Delete
  26. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ නොමිළෙ කරන හෘද සැත්කමට, රෝහලේ නමත්, වෛද්‍යවරයගෙ නමත් විකුණමින්, ඒ සඳහා ලක්ෂ ගානක් අවශ්‍ය බව කියමින් නම්බුකාර ලෙස හිඟා කන අය කොළඹ අවට ඕනෙ තරම්. ඒ වගේම කාලෙකට උඩදි වාර්තා වුණා, පිළිකා රෝගියෙකුගෙ බෙහෙත් ගෙනත් දෙන්නම්යයි ඇයව රවටා, කාඩ්පත ලබාගෙන, ඒක පෙන්නමින් හිඟා කෑව මිනිහෙක් ගැන පුවතකුත්. පිළිකාවකින් පෙළෙන ඒ කාන්තාවට අවශ්‍ය බෙහෙත්වත් ලබා ගැනීමට නොහැකි වෙලා තිබුණා ඒ හින්දා.
    දෙන්නට කැමැත්තෙන් ඉන්න මිනිස්සුන්ට දෙන්නට තැන් ඕනෙ තරම් තියෙනවා. ඒ හින්දා, ඔහොම දෙයක් වැළැක්වුවායයි කියලා මුකුත් අපරාධයක් වෙන්නෙ නෑ. ඇත්තටමනම් හිත හොඳ මනුස්සයෙක් රැවටීමට ලක් වීමෙන් වැළකෙනවා ඒවා එළිකිරීමෙන්. අපි කැමතිද බොරුකාරයෙකුට රැවටෙන්න? නැහැනෙ.
    මම කලිනුත් කිව්වා වගේ, දීමේ සිත ඇත්නම්, දීමට අවස්ථා සහ දිය යුතු පුද්ගලයින්/ ආයතන මේ රටේ ඇති තරම් තියෙනවා. එහෙම එකේ ඔහොම වංචාකාරයින්ට රැවටිය යුතු නැහැ. ඒකෙන් අර අවශ්‍යතා ඇති කෙනෙකුට දීමට ඇති අවස්ථාවත් අහිමි වෙනවා.

    ReplyDelete
    Replies
    1. අක්කගෙ අදහසට මම ගොඩක් කැමතියි. අක්කා කියන එක හරි, දවසක් අපි ෆැකල්ටි ඉන්න කාලෙත්, නුගේගොඩ හන්දියෙන් බස් එකට නැගුණ කෙනෙක් ඔලුවෙ තියන sebaceous cyst එකක් පෙන්න පෙන්න කිවුවා ඒක ඔප‍රැෂන් කරන්න ලක්ෂ දෙකක් ඕනා කියලා. මා එක්ක තව යාළුවො දෙතුන් දෙනෙක් හිටියත් එදා නම් අපි මොකුත් කියන්න ගියෙ නෑ.

      Delete
  27. අනේ නංගො මෙහෙම මිනිස්සු අනන්තවත් හමුවෙනවා. ඉස්සරනම් ප්‍රශ්ණ කරත් දැන් නුදුටුවා සේ ඉන්න සිදු වෙනවා මොකද මේ මිනිස්සු ඇතැම්විට ඔවුන්ගේ ව්‍යාපාරයට හානි කරනවා කියලා අපිට හානි කරන්න පුළුවන් නිසා. මම පුද්ගලිකව කියනවා මම දොස්තර කෙනෙක්. මේකට ප්‍රතිකර්මයක් හරියට කරගන්න ඔයාලට ඕනෑ උපදෙසක් ඕනෑ නම් දෙන්නම් කියලා. හුඟක් අය මග ඇරලා යනවා. මේ මිනිස්සුන්ගේ බඩට පහර ගහන්නේ මොකටද කියලත් දැන් හිතෙනවා. මේවා ජීවන ක්‍රම වෙලා අවසන්.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ, මේකෙන් පස්සෙ මමත් හිතා ගත්තා, මේක තේරුමක් නෑ කියලා ඒ මිනිස්සුන්ගෙ හොර අල්ලන්න ගිහින්. ඒවා දැන් රස්සා වෙලා ඉවරයි තමයි.

      Delete
  28. මම සීමාවසික කාලෙ දවසක් හවස 2.30 වෙනතුරු ටිකට් කපපු රෝගීන්ගෙ ගෙදර ගෙනියන්න දෙන Diagnosis card ලියලා යන්තම් දවල්ට කන්න කැන්ටිමට යනකොට ඒකෙ කෑම ඉවරවෙලා....තව යාලුවෙක් එක්ක සලාකා එකට ගියා කන්න ටිකක් හොයගෙන...මෙන්න බොලේ අපි නොකා නොබී දුක් විඳගෙන ලියපු කාඩ් එකක් පෙන්න පෙන්නා අපේම වට්ටුවෙන් මොහොතකට කලින් ටිකට් කපපු ලෙඩෙක් සලාකා එක ලඟ බොරු කෝටියක් කියලා පාරෙ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා....රතු කට්ට කොච්චර උඩ ගියාද කියනවානම් ඌට දෙකක් කියලා උගෙ අතේ තිබුනු කාඩ් එකත් උදුරගෙන අපි ආයෙ අවා

    ReplyDelete
    Replies
    1. සර්ගෙන් ඒ මනුස්සයාටත් ටොක්කක් කන්න වුණාද දන්නෙ නෑ නේද? :D
      හිතා ගන්න පුළුවන් ඒ මනුස්සයට හිතුන විදිය සහ සර් ගෙ reaction එක

      Delete
    2. I think the previous comment (before the modification) was more apt

      Delete
    3. Oh, I wanted to modify that before you catch me. :-(
      Although I typed it without thinking much, later on I felt that it is not much good to comment like that. So, I changed it a bit.
      (but, both comments convey the same idea.)

      Delete
  29. Replies
    1. අනේ මන්දා තමයි මල්ලි. ( බ්ලොග් කියව කියව ඉන්නෙ, පාඩම් කරන්නේ නැද්ද?)

      Delete
  30. සමහරු මේ දේ කරන්නේ ඇත්තටම. හුගක් අය බොරුවට. නමුත් මේ බොරුවට කරන දේට ආධාර අනුබල දීමත් වැරැද්දක් තමයි. මුදල් දීම හෝ නොදීම වලක්වන්න ගියොත් වෙන්නේ යම් කෙනෙකුට උදව් කරන්න ඉන්න කෙනෙක් ආයේ කාටවත් ඒවගේ උදව්වක් නොකරන තරමටම පසුබාන එක. අනිත් දෙය ඔවැනි දේ කරන බොහෝ උදවිය සංවිධානාත්මකයි. මම හොදටම දන්න කල්ලියක් ඉන්නවා කුරුණෑගල අසනීප මනුෂ්‍යයන් පොළබවාගෙන හොර පිටපත් වාර්ථා සකස්කරලා මේ ආකාරයෙන් මුදල් හොයන. ඉතිං එවැනි අයගෙන් අනතුරක් වෙන්න වෙයි.

    මගේ අදහස නම් සමහර දේවල් තියනවා හාරාඅවුස්සන්න හොඳ නැති. ඒ දේවල් හරියට අසූචි ගොඩවල් වගේ. ඇත්ත දැක දැකත් ඒ දේවල් හාරන්න ගියොත් වෙන්නේ තව තවත් ගඳ පැතිරෙන එකයි හාරන කෙනාම ගඳ ගහන්න ගන්න එකයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි එහෙනම් මාව ගඳගහනවද ?

      Delete
  31. මට මග ඇරිලා මේ පොස්ට් එක.. වෙන්න බැරි දෙයක්.. මොකද මම මේ බ්ලොග් එක නොවරදවා කියවන නිසා. (මට නොගැලපෙන ලව් ස්ටොරිය පවා !! ) නන්දසේන රතනපාල මහත්තයාගේ ශ්‍රී ලංකාවේ යාචකයා කියන පොත කියෙවුවොත් දැනගන්න පුළුවන් හොරකම් වල මහත .. බන කීවාට මමත් ඉතින් දෙල දානවා. ගිය පාර නිවාඩුවට ඇවිත් ඉන්නකොට කාගිල්ස් එක ළඟ අම්ම කෙනෙක් මස් එකේ යන්න කියලා රුපියල් විස්සක් ඉල්ලුවා. මම අතේ තිබුන රුපියල් සීයක් දුන්න.. එයා යන්න ගියා.. ඔන්න ඊට පස්සේ මම ආපහු එතනින් යනකොට මට දුව පෙන්නනවා. අන්න තාත්තී අර ආච්චි ආයිත් එතනම ඉන්නවා ! තාත්තී හරියට රැවටෙනවා " අයියෝ.. !!" මේක අපිට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අපි ‍රැවටෙන අවස්ථා කොච්චර නම් තියනවද? හිඟන්නන්ට විතරක්ම නෙමේ.
      මොකද්ද අයියෙ ලව් ස්ටෝරියෙ නොගැලපීම? මම කිවුවනෙ වයස ප්‍රශ්නයක් නෑ කියල.

      Delete
  32. Congratulations! I am very happy to see that you have a wider audience to enjoy and appreciate your writing. Though I have seen your English writing when you were learning English Literature this is the first time I read your Sinhala writing. It's beautiful and one is tempted to read more. I am visiting it again soon. Wish you luck.

    ReplyDelete
    Replies
    1. I was delighted to see your comment my dear teacher. Thank you very much. Now I have two of my teachers who read my blog. From my alma mater and from the medical school. Additionally both of them are people I respect a lot.what else i need to be satisfied with this blog.

      With your comment about English literature, I felt like starting writing again in English. But I don't think I have such a polished language now

      Delete
  33. හ්ම්!! කොහෙන් පටන් ගන්ඩද මන්ද...දැන් මාස හය හතකට උඩදි මමත් ඔය වගෙම චන්ඩි වැඩක් කළා...
    බොරැල්ල හන්දියෙද කලින් වතාවක මගෙ යාලුවෙකුගෙ ෆෝන් එකක් හොරකම් කරන්ඩ ගිහින් හොරෙක් අහුවුණා... ඒ වතාවෙ ෆෝන් එක හෙමින් බිම දාල මිනිහ මාරු වුණා.. ඒත් මට මුණ මතක තිබුණ... ඊට සතියකට විතර පස්සෙ බස් එකට නගින්ඩ හදන ගෑණූ කෙනෙක්ගෙ ෆෝන් එකක් ගන්න හදද්දි මං කෑ ගැහුව...
    මිනිහ මට බැන බැන ගියා....
    මං ගෙදර ඇත්තංගෙං නොසෑහෙන්ඩ බැනුං ඇහුව වැඩේට
    ඒත් මට කෑ ගහන්නෙ නැතුව බැරි වුණා ඒ වෙලාවෙ...

    ReplyDelete

Post a Comment