Saturday, July 21, 2012

මහරජ ගැමුණු


පුරන් වී ගිය සිංහල සිනමා කෙතෙහි ඉඳහිට මතු වූ, සරුසාර වී කරල් කිහිපයක් ලෙසින් බිහිවූ අතලොස්සක් සිනමාපට, තවත් දැවැන්ත නිර්මාණයක් පිළිගන්නට පෙර මග බලමින් තිබිණි. 
සිංහල නාට්‍ය  ටෙලිනාට්‍ය කලාවේ, සිනමාවේ දැවැන්තයෙකු වූ ජයන්ත චන්ද්‍රසිරි , හෙළ ඉතිහාසයේ දැවැන්තයෙකු වූ ගැමුණු රජු හෙළ සිනමාවට කැඳවන්නට සූදානම් විය. 
තුමිඳු දොඩම්තැන්න ගැමුණු මහරජ ලෙස කිරුලු පළඳිද්දී, ජැක්සන් ඇන්තනී එළාර වනු වස් හිස මුඩු කළේය. 






එහෙත්, 
එය එතෙකින් නැවතින. 


ජයන්ත චන්ද්‍රසිරිගේ වචන වලින්ම පවසතොත් " මහරජ ගැමුණු " චිත්‍රපටය තවමත් ඔහු පමණක් දු‍ටු චිත්‍රපටයක් වශයෙන් ඔහුගේ මතක ගබඩාවේ අති විශාල පුළුල් තිරයේ පමණක් ධාවනය වෙමින් පවතීයි. 


එහෙත්,නැවතුන චිත්‍රපටයට ඔහු අතින් සම්පූර්ණයෙන් අසාධාරනයක් සිදූ නොවූ බව මා හට පසුගිය සහ්ටියේ පසක් විය. ඒ, ගුණසේන පොත්හල තුළදී මා හට අහම්බෙන් හමු වූ "මහරජ ගැමුණු" නිසාය.




සාමාන්‍යයෙන් මම ඕනෑම පොතක් එක හුස්මට කියවා අවසන් කරමි.ආහාර ගන්නා අවස්ථා, බස් රථයේ ගමන් කිරීම ඒ සඳහා මා හට බාධාවක් වන්නේ නැත. එහෙත් , "මහරජ ගැමුණු" අවසන් කිරීමට මා හට දින 5ක කාලයක් ගත විය. එය විශාල පොතක් නොවේ. මුල් පි‍ටු 2,3 කියවන විටම මට හැඟුණ හැඟීමක් නිසාය. එනම්, මෙය හදිසියේ කියවා අවසන් කළ යුතු පොතක් නොව නිදහසේ හිඳගෙන චිත්ත රූපත් සමග, ඒ චරිත හා ජීවත් වෙමින් කියවිය යුතු නවකතාවක් බවයි.


ජයන්ත චන්ද්‍රසිරි යනු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු නිසාදෝ , මුළු නවකතාවම තිරපිටපතක් තරමටම චිත්ත රූප මවයි.


"පිරිත් ඇහැන නො ඇසෙන දුරක දුරක සිට විහාර සංකීර්ණය වෙතට ගමන් ගන්නා ජවාධික සුදු අසුන් සිවු දෙනෙකු යෙදූ අශ්ව රථයත් ඒ පසුපස හැල්මේ යන ආරක්ෂකයන් පිරිසත්, එය පසුපසින් නොයෙකුත් බඩු භාණ්ඩ ‍රැගෙන ගමන් ගන්නා අනෙක් අශ්ව රථයත්, දුරට විහිදුණු මාර්ගයේ තැනින් තැන දූලි වලා නංවයි.
රන්මිණි කිකිණි දැලෙන් සරසන ලද පළමු අශ්ව රථය තුළ වන, තරමක් උස පර්යංකයක සිටින්නී තරුණ අභිශවෙර (විහාරමහා දේවියය්) කුමරියයි."


ඒ නවකතාව ආරම්භයේම වන විස්තරයක් පමණි. ග්‍රන්ථය පුරාවටම මෙවන් වූ අවස්ථා බොහොමයකි.


"ඔවුහු කිසිවිටෙක කඩුවක් තබා තමන් භාවිත කළ කෝ‍ටු කැබැල්ලක්වත් ඔහේ බිම දමා නොගියහ. 
එහෙත් දැන් එවැන්නක් දක්නට ලැබෙයි. ඇය දැන් සෙවිල්ලෙන් අංගංපිටියේ එහාට යයි, මෙහාට යයි, අනතුරුව එය එහාට මෙහාට දිව යාමක් බවට පත් වෙයි. එහෙත් කිසිවක් අමුතුවෙන් වටහා ගැනීමට ඇය සමත් නොවෙයි. 
නැත, ඈ යමක් දු‍ටුවාය. සීතලට පෑගුණු වැලි පදාසය තෙත් වී ඇත්තේ රුධිරයෙන් බව වටහා ගත්තාය. වැලි අතර සැඟවී තිබෙන හී දණ්ඩක් දේකක්......
රෝහිණි මහ හඬින් මොර දුන්නාය.


ළදරු නන්දි මිත්‍ර ගැස්සී අවදි විය. ඔහු නිදි කරවන්නට ඉතාම අසීරු දරුවෙකි. එසේම නින්දට පත් කළ විට අවදි කරවන්නටද අසීරු දරුවෙකි."


මෙම නවකතාව පුරාවටම කතුවරයා සිංහල බෞද්ධ සභ්‍යත්වය වටා ගෙතුණු ගැමුණු කුමරුගේ/රජුගේ මානුශීය භාවය සහ, දැහැමි බව පෙන්නුම් කරන්නට උත්සාහ කරයි. එහෙත් ඔහු ඒ දැහැමි බව නිසා, ස්වකීය රටට , දැයට සිදුවෙමින් තිබෙන හානිය නොදු‍ටුවා සේ සිටින්නෙකු නම් නොවේ.


කාවන්තිස්ස රජ්ජුරුවෝ අසුන් සිවු දෙනෙකු ‍රැහැන් පටවලින් ඇද නවත්වාගන්නා ආකාරයෙන් තම කෝපාවේගය මැඬ පවත්වාගත්හ.
"මොකද?"
"පිහිටි රටට වෙළඳාමේ ගිය අපේ වැසියන් සියල්ලන්ම ඝාතනය කරලා !" ගාමිණි අභය, රජුට සියලු ආචාර දක්වා අනතුරුව කීවේය,
"රාජ සභාව ඒ ගැන දන්නවා. මේ සාකච්ඡාව ඒ පිළිබඳවමයි...." කාවන්තිස්ස රජු සන්සුන්ව කීවේය. එහෙත් ඔහු ඊළඟ ටික කීවේ සන්සුන්ව නොවේ.
"....ඔබට මා යළිත් රජ කුමරකුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය ඉගැන්විය යුතුද? මගේ ප්‍රශ්නය එයයි"
"රටේ අහිංසක මිනිසුන් මැස්සන්, මදුරුවන් සේ ඝාතනය කෙරෙන කොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක් වී තිබෙනකොට අප රාජ්‍ය තාන්ත්‍රික සිරිත් විරිත් පමණක් ආරක්ෂා කිරීමේ ඵලය කුමක්ද?"
"කට" කාවන්තිස්ස රජතුමා ගුගුලේය.


දු‍ටුගැමුණු මහ රජතුමාගේ බල පරාක්‍රමය විදහා පෙන්වනවාටත් වඩා, සාමාන්‍ය මනුෂ්‍යකු ලෙස ඔහුගේ ඇති උසස් ගති ගුණ වර්ණවත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. 
මෑණියන් කෙරෙහි ඇති මහා ආදරය ,ගැමුණු - තිස්ස දෙසොයුරන් අතර ඇති සොයුරු දම, භික්ෂූන් වහන්සේලා විෂයෙහි ඔහු තුළ ඇති ගෞරවය මෙන්ම කතී (රන් මැණිකා) සමග ඇති ප්‍රේමයද, මනාව මෙයින් ඉස්මතු වේ. 
ඒ සඳහා උදහරණ එකින් එක ගෙන පෙන්වනවාට වඩා ඔබ විසින්ම මෙය කියවා වටහාගැනීම සුදුසුය.


පොත කියවා අවසන් කල පසු මට සිතුන බොහෝ දේ විය. 
සිය ප්‍රථම නවකතාවෙදීම ජයන්ත චන්ද්‍රසිරි අති සාර්ථක වී ඇත.
මෙවන් වූ උසස් නිර්මාණයක් චිත්‍රපටයක් ලෙස බිහි නොවූයේ හෙළ සිනමාවෙහි ආවාසනාවටය.
එය නිර්මාණය වූවා නම් එය එය එතෙක් මෙතෙක් සිංහල සිනමාවට දායාද වූ අති දැවැන්තම නිර්මාණය වනවාට සැක නැත.
එහෙත්, එය කිසියම් දිනයක චිත්‍රපටයට නගන්නේ නම්,එය අනිවාර්යයෙන් විශාල වියදමක් දරා නිශ්පාදනය කළ යුතුය.බෙන්හර්, ඇපොකැලිප්ටෝ,බ්‍රේව්හාට් වැනි නිර්මාණ සේම විශාල නළු නිලියන් පිරිසකගේ මෙන්ම, අලි ඇතුන් සහ අශ්වයන්ද අවශ්‍ය තරම් සොයාගත යුතුය. 
එවැන්නක් සිදු නොවන්නේ නම්, "මහ රජ ගැමුණු" නවකතාවට පමණක් සීමා වේවා.....


තරමක් වේදනා බර ස්වභාවයකට ආසන්නව මුත් මෙවර මෛත්‍රී පූර්වක මන්දස්මිතයක් පැවතියේ එළාර මුහුණේය. ‍තෝමරය ගලවා දමන්නැයි ඔහු ඉතා පැහැදිලි හඬකින් ඉල්ලා සිටියේය.
එහෙත් එසේ කළ සැනින් ඔහු මරණයට පත් වේ යැයි සිතූ ගාමිණි ඒ සඳහා පැකිලුණේය.

එළාර වෙතට නැඹුරු වීමට මොහොතකට පෙර අවට සිසාරා බැලූ ගාමුණි රජු එක හස්ත සංඣාවකින්ම මහජන ඝෝෂාවන් නතර කළේය.
"....එක අණයි..." එළාර කීවේය. 
ගාමිණි අභයට එය පැහැදිලිව ඇසුණේ නැත. එළාර රජු වෙතට නැඹුරු වූ ගාමිණි අභය ඔහු පරෙස්සමින් වත්තම් කොට තම උකුලට ගත්තේය.
"....එක අණයි, සියල්ල නිහඬයි"එළාර සෙමින් එහෙත් පැහැදිලිව කීවේය. ගාමිණි අභය මුහුණට මඳ සිනාවක් නැගිනි.


".... ඔබ හරිම ලස්සන මනුෂ්‍යයෙක්"

ගාමිණි අභය මදක් විළියෙන් රත් වුණු මුහුණින්ද, හොඳටම තෙත් වූ දෙනෙතින්ද එළාර දෙස බලා සිටියේය.



60 comments:

  1. මම මේ පොත කියවල නෑ. අරන් කියවල බලන්න ඕන.
    ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ ටෙලි නාට්‍ය නම් මම බලල තියෙනව. ඔය වට්ටෝරු කතාවලට වැඩිය ඒව හරි වෙනස්. මම ගොඩක් කැමතියි ඒ කතාවලට. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනව, ඔය නවකතාවල ලියල තියෙන ඒව කියවල අපිට චිත්ත රූප මවාගන්න පුළුවන් වුනාට ඒ චිත්ත රූප ඒ විදියට සිනමාවට නගන්න තරම් තාක්‍ෂණයක්, මුදලක් අපිට තියනවද කියල.

    ReplyDelete
  2. ඒක ඇත්ත. ඒක නිසා තමයි මම කිවුවෙ හරියට හදන්නෙ නැත්නම් කවදාවත් හදන්න එපා කියලා. ඒත් කවදාහරි හදනවා කියලා ඔහු කියනවා.
    ඒ මොනවා වුණත් කේමදාසයන්ගේ සංගීතය නැති එක නම් ලොකු අඩුවක් වේවි.

    ජයන්ත චන්ද්‍රසිරි කියන නිර්මාපකයා මම දැනගත්තෙ දඬුබස්නාමානයෙන්. එදා ඉඳන් ඔහුගෙ හැම ටෙලිනාට්‍යක්ම මම බැලුවා. එක නාට්‍යයක් වත් නොබලන කාලෙකත් මම ඔහුගෙ "සතරදෙනෙක් සෙන්පතියෝ" බැලුවා.

    ReplyDelete
    Replies
    1. මම ඔය පොත දැකලවත් නැති නිසාත්, කියෙව්වෙ සිඳුගෙ විචාරය විතරක් නිසාත් පොත ගැන යමක් කියන්න යන්නෙ නෑ. නමුත් සිඳූ වගේම DDTත් කිව්වා වගේ තාක්ෂණය සහ බජට් එක නැත්නම් ඕක පොතක් විදියටම තියෙන එක හොඳයි.

      හොලිවුඩ් චිත්‍රපටි නිතරමබලන කෙනෙක් අපේ චිත්‍රපටෛයක් බලන කොට ඒ තාක්ෂන අඩුපාඩුවකැපිලා පේනවා. දවසක් මම දැක්කා අපේ චිත්‍ර පටියක රිය අනතුරක්. ඒක කලේ රෑ අපි දිහාට එන කාර් එකක හෙඩ්ලයිට් දෙකක් පෙන්නලා එක පාරට කැමරාව කර කැවීමෙන්, අර හෙඩ්ලයිට් දෙක පෙරලෙනවා වගෙ පේන්න. මට ඇතිවුනේ අපේ සිනමාව ගැන අනුකම්පාවක්. සමහරවිට ඊට වැඩි යමක් කරන්න මුදල් නැතිව ඇති.

      ඊට වඩා නරකද ඒ කෑල්ල නොකර හිටියානම්?

      henryblogwalker the Dude

      Delete
    2. ඒක ඇත්ත. ඒ අතින් බලද්දි අපි ඉන්නෙ ගොඩාක් ප්‍රාථමික මට්ටමක. නළු නිළියන් විශාල පිරිසක් හැසිරවීම අතින් හොඳ මට්ටමක තිබුණ කුස - පබා වලත් තාක්ෂණික ප්‍රශ්න නම් අනන්තවත් තිබුණා.

      Delete
    3. අපේ චිත්‍රපටිවලට තියන වෙලඳ පොල ඉතාම සිමිතයි , ලංකාව ඇතුලෙවත් හරි හමන් සිනමා කර්මාන්තයක් නෑ , ඒ නිසා බොහොමයක් දේවල් වලට වියදම් කරන්න හැකියාවක් නැ , ඒ තියා අපේ සිනමා පටවල ගතික රූපරාමු පවා යොදා ගන්නේ හරිම අඩුවෙන් (ඒ නිසා රූපය නිද්‍රාශිලියි ) මොකද අදාල උපකරණ හයර් කිරීම පවා අවම කරලයි කරන්න බලන්නේ , කොටින්ම ලංකාවේ චිත්‍රපටි නෙවෙයි ගොඩක් කරන්න වෙලා තියන්නේ බජට් පටි , ලංකාවේ චිත්‍රපටියක මේකින් සහ විදෙස් රටක (හොලිවුඩ් ඕනි නැ , බොලිවුඩ් වුනත් ඇති ) මේකින් එකයි බැලුවා නම් පැහැදිලි වෙනසක් දකින්න තියෙයි . රිය අනතුරක් නම් "ලිස්සිමේ න්‍යායෙන් " ගොඩ දාගන්න පුලුවන් බොරු වැඩ කරන්න ගිහින් නාගන්නේ නැතුව :)

      Delete
    4. ඇත්ත බුවා, වෙළඳ පොල සිමිත වුනත් අර ලක්‍ෂ නවසීය ගානක් වියදම් කරල කකුල් පෙන්නන්න කැමති නිෂ්පාදකයොත් ඉන්නව නේ මේ රටේ. එයාල හරක් ද? මේ වගේ දේකට එච්චර මුදල් කන්දරාවක් වැය කළා නම් අඩුතරමෙ පාඩු වුනත් හොඳ වැඩක් කළා කියල සැනසෙන්න වුනත් බැරිය. දැන් හදපු සුපර් බඩුව පාඩු මදිවට අහන අහන එකා බනිනවනේ.
      මමත් සිංහල ෆිල්ම් නම් බලන්නෙ නැති තරමයි. සමහර ඒව (ටීවී එකේ හරි) දැක්කමත් දුක හිතෙනව. අපිට තාක්‍ෂණය නැතිකම නිසා නෙවි, තියෙන තරමින්වත් වැඩක් ගන්න දන්නෙ නැති එක ගැන. වැඩියක් එවුන් හිතන් ඉන්නෙ කැමර් එක ඉස්සරහ ජෝගි නටන එක සිනමාව කියල. තව සමහර අධ්‍යක්‍ෂකලට කතාවෙ මැදට යනකොට අමතක වෙනව මේකට තිර පිටපතක් තියෙනව කියල. මොනව මොනව හරි ඔබල පෙන්නනව. මේ මිනිස්සු ලෝකෙ අනිත් රටවල තියන සිනමාව ගැන අහලවත් නැත්ද මන්ද?

      Delete
    5. මම සුපර් සික්ස් බලලා නැති නිසා 100%ක් ඒ ගැන කියන්න අමාරුයි නමුත් මම තෙරුම් ගත්ත විදිහට නම් ඉතාම දුර්වල කථාවක් සහ තිර රචනයක් එක්ක සමහර සිනමාත්මක කාරණා වෙනුවෙන් හොඳින් වියදම් කරල තියනවා , උදාහරණයක් විදිහට මම රූපවාහිනියෙන් දැක්ක සමහර ගීත වල රූප භාවිතය සැහෙන සාර්ථකයි , නමුත් ගීතය අසාර්ථකයි ඒ නිසා වියදම් කලාටම වැඩක් නෑ , මේ ලඟදි TEZZ කියල හින්දි චිත්‍රපටියක් බැලුවා වියදම කෝටි 60ක් , ට්‍රේලර් එක බැලුවාම බලන්නම හිතෙනවා ඒත් මෙලෝ රහක් නැති ජරාවක් , මම හිතන්නේ හදපු එකාට කෝටි 50ක් විතරම පාඩුයි , දුටු ගැමුණු වගේ කථාවක් යම් තරමකින් හෝ කරන්න කොටී 15+ වත් යයි ,විදෙස් වෙලඳ පොලකට ඔබා ගන්න හැකියාවක් නැතුව මම හිතන්නේ නැ ලේසියෙන් කෙනෙක් වැඩේට අතගහයි කියලා , එහෙම නැති වුනොත් අබාගේ මට්ටමෙන් උඩට යන්න අමාරු වෙයි

      Delete
  3. මම හිතුවෙ චිත්‍රපටිය හැදීගෙන යනවා කියල :(
    චිත්‍රපටියක් හදනවා කියල දැනන් හිටියත් මෙහෙම පොතක් තියනව කියල දැනන් හිටියෙත් නෑ.
    සිදූ ලස්සනට පොත් ගැන විස්තර කරල තියනව. දැන් ඉතිං කොහෙන් හරි හොයාගෙන කියවන්නම වෙනව.

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි කියවන්න. සරසවි, ගුණසේන වගේ තියනව, අනෙත් පොත් කඩ ගැන නම් මම දන්නෙ නෑ. රු 480 යි.

      Delete
  4. මම නම් තවම ඔය පොත කියවල නැහැ යාලු..කියවල බලන්නම්කෝ හ්ම්ම්.. :)

    ReplyDelete
    Replies
    1. කියවලා ඔයාගෙ අදහස කියන්නකො යාලු

      Delete
  5. මේ කතාව ඒ කාලේ ඉරිදා දිවයින පත්තරේ ගියා. මම ඒ නිසාම හැම ඉරිදාටම පත්තරේ අරන් ඔය පිටුව ෆයිල් කරලා තියාගත්තා. පොත නම් තාම ගන්න බැරි උනා. මොකක්දෝ මන්දා මහා අමුතුම සිතුවිල්ලක් එක්ක කියවපු කතාවක්. මම කියවපු හොඳම ඉතිහාස කතා වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. දිවයින පත්තරේ ඒක ගියා කියලා මම දැනගත්තෙ මේ පොතෙන්. හොඳ වෙලාවට මම එහෙම දැක්කෙ නැත්තෙ. එහෙම වුණා නම් ඊළඟ සතිය එනකම් මම ඉවසන්නෙ කොහොමද.

      Delete
  6. චිත්‍රපටියේ වැඩ යනවාය කියලයි මාත් හිතන් හිටියේ , ජයන්ත කලින් චිත්‍රපටි දෙකෙන් "සිනමාව" කියන්නේ මොකක්ද කියන දේ ප්‍රේක්ෂකයට පෙන්වුවා , ටෙලි මාධ්‍යයේ ප්‍රභල තාවය ඔහුගේ නිර්මාණවලින් හැර අනෙකකින් දකින්න නොලැබුනු තරම් . ප්‍රිය කරන කලාකරුවෙක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. මම ටෙලි නාට්‍ය ක්ෂේතය , සිනමාව විතරක් නෙමේ, ඔහු වෙළඳ දැන්වීම් කලාව වගේම වේදිකා නාට්‍ය වලිනුත් තම ප්‍රතිභාව පෙන්නුවා.
      චිත්‍රපටයේ වැඩ නැවතුනේ නිශ්පාදකයන්ගේ ගැටලු නිසා. ඔහු පවසන විදියට අශෝක සේරසිංහ සහ, විමල් වීරවංශ එය නිශ්පාදනය සඳහා ගොඩාක් උත්සාහ කළාලු. කෙසේ වෙතත් කවදා හෝ මහජන මූල්‍ය ව්‍යාපෘතියක් විදියට හෝ මෙය නිශ්පාදනය වන බව ඔහු පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.

      Delete
  7. පොත් කඩ වලදී පොත කිහිපවරක්ම ඇස ගැටුනත් මිලදී ගන්න සිතා තිබුනේ නැහැ..
    ස්තුතියි සිදූ..කියවූ වටිනා අත්දැකීමක් අපි එක්ක බෙදාගත්තාට..

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිහාස කතා කියවන්න කැමති නම් අරන් කියවන්න රූ. අනිවාර්යෙන් ඔයා කැමති වෙයි.

      Delete
  8. ඔය තිර කතාව ඉස්සර දිවයින පත්තරේ කොටස් වශයෙන් පළ උනා.මමත් නොවරදවාම කියවපු එකක් තමයි 'මහරජ ගැමුණු' කතාව.චිත්‍රපටය හැදෙන්නේ නැත්තේ ඇයි කියලා නම් දන්නේ නැහැ හැබැයි ඒක නොවෙන එක නම් කණගාටුවට කරුණක්..!!

    එතුමගේ නාට්‍ය (දඩුබස්නාමානය,අකාල සන්ධ්‍යා,රැජන,වෙද හාමිනේ..) ඔක්කොම වගේ හොදයි.

    ReplyDelete
    Replies
    1. තවමත් මගෙ ප්‍රියතම නාට්‍යය දඬුබස්නාමානය. විශිෂ්ඨ අධ්‍යක්ෂණය, රඟ පෑම්, සංගීතය... කියලා වැඩක් නෑ. ඊළඟට මම කැමති සතර දෙනෙක් සෙන්පතියෝ. වෙද හාමිනේ ගැන ඒ තරම් මතකයක් නෑ, ඒ අපි පොඩි කාලෙ නිසා.

      Delete
    2. වෙද හාමිනේ බැලුවෙ අපි පොඩි කාලෙ. කමල් අද්දරආරච්චි හිටියෙ ලෙඩාට. මට මතකයි කතාව පටන් ගන්න දවසෙ අර උත්සවයක් තියන ශාලාවෙන් ඇවිත් කමල් ලේ වමනෙ දාන සීන් එකක් පෙන්වනව. තව පරණ කාරෙකකින් ඔය වෙද ගෙදරට එනව පෙන්වනව. අනෙක ඒ වෙද ගෙදර හිටපු නිතරම හක්ක පනින ලෙඩෙක්ගෙ හක්ක පැනල දඟලන දර්ශනය පුංචි අපිට හරි විහිළුවක් වුනා.

      Delete
  9. විස්තර දැක්කම කියවන්නට ආස හිතුනා.. චන්ද්‍රසිරි මහතා ඉතා විශිෂ්ට අන්දමට රචනා කරලා තියනවා වාගේ.. චිත්‍රපටය හැදුනේ නැත්තේ අපරාදේ. ඔහු මීට කලින් කළ චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍යත් අති විශිෂ්ට නිර්මාණ..
    ආ... කියන්න බැරි උනානේ ලිපිය කියවන්න පටන් ගන්නකොටම නම් හිතුනේ අර මර්වින් ඇමතිතුමා ගැමුණු රජුට රඟපාන එක ගැනදෝ ලියන්න යන්නේ කියලා.. :P ඒත් පටන් ගන්නකොට තිබුණ "සරුසාර වී කරල් කිහිපයක්" කියන වචන දැක්කම හිතුනා ඒක නම් කීයටවත් වෙන්න බෑ කියලා... :D

    ReplyDelete
    Replies
    1. ඔන්න මගෙයි යාළුවෙක්ගෙයි දුරකතන සංවාදයක්
      "මොකද කරන්නෙ?"
      "පොතක් කියවනවා"
      "මොකද්ද පොත?"
      "මහරජ ගැමුණු"
      "හෑ...? මර්වින් සිල්වා ගැන පොතකුත් ගහලද?"
      "!@#$%"

      ඒ චිත්‍රපට වලට වඩා මේකට ලොකු වෙහෙසක් වියදමක් දරන්න වෙනව අයියෙ.හැදුනොත් නම් ඒක සිංහල සිනමාවෙ තරු සලකුණක් වේවි

      Delete
  10. Replies
    1. හා හා.... පාඩම් කරල. ඊට පස්සෙ

      Delete
  11. ලංකාවේ සිටින ටෙලි නාට්‍ය වගේම සිනමා අධ්‍යක්ෂවරුන් අතරින් ප්‍රමුඛයෙක් විදිහට ජයන්ත චන්ද්‍රසිරි නැගී ඉන්නවා කියන එක අවිවාදිතයි. වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ වගේ නාට්‍යත් අග්නිදාහය වගේ චිත්‍රපටි තුළිනුත් ඔහු පෙන්නුවේ අපේ දේ. ගරිල්ලා මාකටින් ගැන වෙනමම කතා කරන්න ඕනේ.

    ඔහු වගේ නිර්මාණකරුවෙක් හරහා දුටුගැමුණු චිත්‍රපටිය තැනෙනවා නම් ඒ කතාවට ලොකු සාධාරණයක් බලාපොරොත්තු වෙන්න තිබුණා. ඒත් ඉතින් ඒක නොවෙනවා කියන්නේ මහින්දාගමනය, විජය කුවේණි වගේ චිත්‍රපටි හැදුව ඇත්තන්ට ඉතිහාස කතා සිනමාවට නැගීම සින්න වෙන එක :(

    ReplyDelete
    Replies
    1. මම සිනමා ශාලා වල බලලා තියන සිංහල චිත්‍රපට වලින් අයියෝ සල්ලි කියල හිතුන එක චිත්‍රපටයක් තියනවා. ඒ මහින්දාගමනය. මතක් වෙද්දිත් ඇයි ඒක බැලුවෙ කියල හිතෙනවා. හොඳ වෙලවට විජය කුවේණි බැලුවෙ නෑ.

      Delete
  12. විජය කුවේණි චිත්‍රපටිය සාර්ථක නැද්ද? මම බලල නෑ.. මමත් හිතුවෙ චිත්‍රපටිය හැදෙනව කියලා. තුමිදු දොඩන්තැන්න සුවිශේෂී නළුවෙක්.. එතුමාගෙන් මම රංග කලා ගැන ඉගෙනගෙන තියනවා (බොහොම පොඩ්ඩක්) එතුමාගේ වේදිකා නාට්‍ය ප්රතිභාව දැකල තියෙනවා.. අපරාදෙ.. මං හිටියෙ චිත්‍රපටිය එළි දකිනකං. සිදූ ඔයා කියවල මටත් පොත දෙන්න.. ගොඩක් දවසකින් ලස්සන පොතක් කියෙව්වෙ නෑ..

    ReplyDelete
    Replies
    1. දැන්ද කියන්නෙ තුමිඳුගෙන් ඉගෙන ගත්තා කියලා? දන්නෙ නැද්ද ඒ මගෙ ප්‍රියතම සිංහල නලුවා කියලා?
      පොත නම් දෙන්නෙ නෑ, ගන්න කඩෙන්.!! ලොල්
      (මම පොත් ගනු දෙනු කරන්නෙ නෑනෙ. පොත් දීමෙන් පොතත් මිතුරාත් දෙකම නැති වේ.)

      Delete
  13. විජය කුවේනි වගෙ ඉතිහාසය ඩෙවල් කිරීමක් නෙවිද මේක?

    මම පොත ගැන දන්නෙත් මේක කියෙව්වහම

    ReplyDelete
    Replies
    1. නෑ, කිසිම ලෙසකින් ඉතිහාසය ඩෙවල් කිරීමක් නොවේ. ඉතිහාසය විකෘති කිරීමකුත් නොවේ. පැහැදිලිවම අපට අමතක වෙලා ගිය අපේ ඉතිහාසය, අපේ ප්‍රෞඪත්වය, අපේ සභ්‍යත්වය මතක් කරලා දීමක්. අපි මෙහෙම තෙල් දාලා බැදලා කන්නෙ අපේ උරුමය කියලා මතක් කරලා දීමක්

      Delete
  14. දැං ඉතිහාස කතා කාලයනේ.මල් සින්දු ආවා වගේ අපි දැං ඉතිහාස චිත්‍රපටි බලනවා.ජයන්ත චන්ද්‍රසිරි මේක හැදුවානං සමහර විට අර අනිත් ජංජාල අස්සේ නොපෙනී යන්ඩත් තිබ්බා.ඒ අතිං බලද්දි නොහැදිච්ච එක හොඳයි.ඔය අපේ ඈයෝ පැල් බැඳගෙන මෙලෝ රහක් නැති විජය කුවේනි බලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ඒක බලනවද කට්ටිය? මට බලන්න හිතෙන්නෙම නෑනෙ.Trailer එක පුරාවටම මම දැක්කෙ අධි රංගනයක් පමණයි නළු නිළියන්ගෙ

      Delete
  15. අඩේ අපේ ධනූ වෙන වැඩපොලකට ගියපු වෙලේ කට්ටිය ඔය පොත දුන්නා.
    දන්නවනම් මාත් ඕකෙන්ම කොපියක් ගන්නවා !!

    ReplyDelete
    Replies
    1. ඒක ලස්සනයි මධුරංග. කියවන්න නිවාඩු වෙලාවට

      Delete
  16. ජයන්ත චන්ද්‍රසිරි නිසා අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා, කුස පබා යන් පමණකට හොදයි, විජය කුවෙණි බලපු එක අපරාදේ ටිකට් වලටයි,කාපු අල පැකට් එකටයි ගිය සල්ලි මතක් වෙන්නේ,මට හොද නින්දකුත් ගියා බලපු වෙලේ

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරි නිසා අවුලක් වෙන එකක් නෑ ඩිලන් ප්‍රමාණවත් තරම් මුදල් ලැබේනවා නම් ඒකට අවශ්‍ය.
      කුස පබාත් ආදායම් වාර්තා තියලා දැන්. ඒ නිසා මේක හැදුවොත් අනිවාර්යෙන් ඒ වැය වෙන මුදල සොයා ගන්න පුළුවන් වෙයි

      Delete
  17. ම්ම්ම්ම්....අක්කගේ කතාවත් ලස්සනයි...(පොතේ කතාව) ඔයා වගේම මමත් දඬුබස්නාමානයට හරිම ආසයි...ඒකෙ තේමා ගීතය ඇහෙනවා ඇහෙනවා වගේ දැනුත්... ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරි විශිෂ්ට කලා කරුවෙක්.. කවදා හෝ චිත්‍රපටිය හැදෙනවා නම්.... එතෙක් බලා හිඳිමු!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අනූ. ඒක පුරාම තිබුණ සංගීතය අති විශිෂ්ඨයි. සතර දෙනෙක් සෙන්පතියෝ එකේ තේමා ගීතයත් අමුතුයි. ලස්සනයි.මෙතනින් අහලා බලන්න

      http://www.youtube.com/watch?v=TXuqRZZ70SM

      Delete
  18. එක අතකට එක සිනමාවට නොනැගූ එක හොඳයි.. එකට හේතුව නොකියා සිටීමත් ඇඟට ගුණයි මගේ..

    ReplyDelete
    Replies
    1. කියන්න කියන්න. මොනවා කිවුවොත් කඩු පොලු අමෝරාගෙන් එන්නෙ නෑ කවුරුත්. (ජයන්ත චන්ද්‍රසිරි දක්ෂ අධ්‍යක්ෂකයෙක් නෙමේ නොකියා ඕන එකක් කියන්න)

      Delete
  19. පොත කියවා නැති නිසා පොත ගැන යමක් කියන්නෙ නැහැ. ඒත් ජයන්ත චන්ද්‍රසිරි, තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිනමාකරුවන් ලියන පොතපත බෙහෙවින්ම
    සිනමාත්මකයි. ඔවුන් භාෂාවෙන් සිනමා සිත්තම මනසේ අඳිනවා. ඒ නිසා ආයෙ ඒ තිරචනය නොකිව්වත් හිතාගන්න පුළුවන්. මෙහෙම අතිවිහිස්ඨයන් ලියන පොතපත බ්ලොග් ලියන අය නිතර කියවනවා නම් හොඳයි කියල මට හිතෙන්නෙ.
    සිඳූ ලියල තියෙන විචාරාත්මක අදහසට එකඟයි. මෙවැනි සිනමාවක් අවශය පහසුකම් නොමැතිව කළානම් එය දුටුගැමුණු චරිතයට කරන වැරැද්දක් වේවි.

    ReplyDelete
    Replies
    1. අයියා පොත කියවලා බලන්න. ඔය අදහස තහවුරු වෙයි.

      Delete
  20. මහ රජ ගැමුණු පොත මම කියෙව්වෙ දැනට හරියටම අවුරුද්දකට පෙර. ඒ කියන්නෙ ගිය ජූලි මාසෙදි නිවාඩුවේ අඩක් ඉවර කරලා ආපහු එනකොට බෑග් එකක් පිරෙන්න ගෙනාපු පොත් තොගයේ තිබිච්ච එක පොතක් ලෙස.

    දේශීය සටන් කලාවත්, ඉතිහාසමය අවස්ථාවන් මෙසේ විය යුතුව තිබුනැයි කරනා ලද ශූරමය උපකල්පනයන් වලින් පරිපූර්ණ වූ මේ පොත කියවීමෙන් ලද ආශ්වාදය අවශේෂ වී ගියේ මෙතරම් ප්‍රසාංගික වූ නව කාතාවකින් චිත්‍රපටය නිර්මාණය වූ වා නම් එය කොතරම් ආශ්චර්යක් වන්නට තිබුනේද යන සිතිවිල්ලත් සමගය.......!

    කවදා හෝ මෙමෙ චිත්‍රපටිය පරිපූර්ණ වී සුවහසක් රසික ජනයාගේ මනදොල සරණ රසාලිප්ත සුභාවිතයක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි දුමී අයියෙ, අති ශූර උපකල්පනයන් සහිතයි මහරජ ගැමුණු.
      ඒ වගේම, ඉතිහාස කතා වලදී තිබෙන ,ගැමුණු රජතුමාට අපහාස වන අන්දමේ පුෂ්චි පුංචි කරුණු (උදා - "දුෂ්ඨ" ගාමිණී යන නම, විහාර මහා දේවියට එළාර රජුගේ සෙනෙවියාගෙ හිස සිඳ ඒ මත සිටිමට දොළ දුක් පහල වූවා යන කරුණ, දෙසොයුරන් අතර සටන ....) ඉතා සියුම්ව විග්‍රහ කරලා ඔවුන් නිදොස් කොට තිබෙනවා.

      Delete
  21. මට නම් ඔය මතෘකාව ගැන කිසිම අවබෝධයක් නැහැ..ඒත් ඉතිහාසය ගැන දැන ගන්න ආශයි..ලංකාවට ආවාම පොත ගන්න ඕනෙ..ස්තූතියි සිඳු.:)

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි, අපේ ඉතිහාසය දැනගන්න. ඔයාට ආඩම්බර හිතෙයි. මම ඇත්තෙන්ම ආඩම්බරයි මගෙ රටේ ඉතිහාසය ගැන.

      Delete
  22. දුටුගැමුණු චරිතය විවිධ ග්‍රන්ථ නිර්මාන හරහා එලියට ඇවිත් තියනවා. විශේෂයෙන්ම රෝහිණී නවකථාව වැනි පොතක එදවස සමස්ථ සමාජයම විදිවිද දකින්නට උත්සාහ කර තිබීම පශංසනීයි.
    ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මෙම ග්‍රන්ථය දුටු ගැමුණු චරිතය ගැන පූර්ව නිර්මාණ බොහෝමයකගේ අදහස් සංකලනය කොට බිහි වූ අපූරුම නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මට කියන්න ඕනා වුණ ඒත් නොකියවුණ , ඔයාගෙ අතින් කියවුණ දේ.... පූර්ව නිර්මාණ බොහොමයක අඩංගු කරුණු තවත් ලස්ස්න කරලා එකම කතාවකට අරන් තියෙනවා.

      Delete
  23. මගෙත් ඉතාම ප්‍රියකරන පොතක්. අර පෙරහැරින් ඇවිත් කුමාරයාව මාලිගයට රැගෙන යන කොටස හරිම සංවේදියි. මට නම් කඳුළු එනවාමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම හිතන්නෙ ඒ කඳුලු එන්නෙ ආඩම්බර කමක් එක්ක ගැමුණු කුමාරයා ගැන.
      කතී ගෙ තාත්තා මග දිගට සිහි නැතිව වැටි වැටී එනවා මැවිලා පේනවා

      Delete
  24. මේ චිත්‍රපටය හැදෙනවානම් කොයි තරම් හොඳද? ඒක නැවතිලා තියෙන්නේ ඇයි? ජැක්සන් ඇන්තනි හිස මුඩු කලේ ඒකයි එහෙනම්. මේ උපුටා ගෙන තියන කොටස් වලින්ම පේනවා ඒක ලස්සන පොතක් බව...

    ආ..මම එක පාරට දැක්කේ සල්මන් ඛාන් කොන්ඩේ බැඳලා ඉන්නවා වගේ :)

    ReplyDelete
    Replies
    1. හැදෙනවා නම් හොඳයි සයුරි. නිශ්පාදකයන්ගේ ගැටලු තියෙන්නෙ. ඔයා හිතන්නෙ කීයක් යද මේ වගේ එකක් හදන්න. ඒත් මම මුලිනුත් කිවුවා වගේ මහ ජනතාව එක්ක එකතු වෙලා හරි මේක හදනවා කියලා ඔහු පවසනවා කවදා හෝ
      ඔව් ඔව්, ඒකට තමයි හිස මුඩු කළේ.
      මම ආසම නෑ සලමන් ඛාන් ට. එයාට කියන්න එපා මම එහෙම කිවුවා කියලා, දුක හිතෙයි.
      මේ ඉන්නෙ මගෙ ප්‍රියතම නළුවා ලංකාවෙ.

      Delete
  25. මම ආසම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්... ගරිල්ලා මාකටිං ෆිල්ම් එක මෙයාගේ කියලා යන්තම් මතකයක් තියෙනවා ලාවට...

    උපුටාගෙන තියෙන කොටස් නම් ඇත්තටම පුදුම ලස්සනට චිත්ත රූප මවනවා.දඬුබස්නාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍ය ඕනම කාලෙක බලන්න පුළුවන් තරම් ලස්සනට කරලා තියෙනවා.දෙවරක් තුන්වරක් එය නැරඹුවත් ආයේ බලන්න හිතෙන තරම් සාර්ථකව කරලා තියෙනවා.මේ වගේ හැකියාවන් සෑහෙන්න වටිනවා.සතර දෙනෙක් සෙන්පතියො වෙන්නැති අන්තිම ටෙලිනාට්‍යය...

    බොහෝම වටිනවා මෙහෙම දෙයක් ගැන දැනුවත් කලාට... හොයාගෙන කියවන්න ආසාවක් ආවා හැබැයි තව ටික කාලෙකින්...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ගරිල්ලා මාකටින්, අග්නි දාහය ඔහුගෙ. ඒක පුදුම චිත්‍රපටයක්. ඒ වගේම ඔහුගෙ චිත්‍රපට වල සංගීතය (කේමදාසයන්) සහ රඟපාන නළු නිළියො අති දක්ෂයන්. ජැක්සන්, බුද්ධදාස විතානච්චි, කමල්, ශ්‍රියන්ත ආදීන් කැපිලා පේනවා. කමල් ඇරුණාම මේ නළු නිළියන් භෝ දෙනෙක් වේදිකාවෙන් පන්නරය ලැබූ අය. (කමල් බොහෝ ක්ෂේත්‍රයන්හි දක්ෂයෙක්)ජයන්ත චන්ද්‍රසිරි ත් වේදිකාවේ සොයා ගැනීමක්.

      Delete
  26. මට මතක්‌ වුනේ නාලාගිරි දමනය!! චිත්ත රුප මැවෙන ආකාරයට සිද්ධි විස්තර කරන්න පුළුවන් ලේඛකයෝ අදත් ඉන්න බවට නියම සාක්ෂියක්!
    අර කිව්වත් වගේ කරනවා නම් හරියට කරන්න ඕන. විජය කුවේණි කියලා එකක් කරලා තියෙනවා, මෙලෝ රහක් නෑ. ඒ වගේ එකක් කලොත් නම් ඉතින් විජයට වෙච්ච දේ ම ගැමුණුටත් වෙන්න බැරි නෑ!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලි. අනිවාර්යෙන් කරනවා නම් හරියට කරන්න ඕනා,

      Delete
  27. මගේ වීරයා දුටුගැමුණු මහ රජතුමායි. "මහරජ ඝැමුණු" මම හරිම ආසාවෙන් කියවපු පොතක්.රට ජාතිය ආගම ගැන පුදුමාකාර විදියේ ආදරයක් ඇතිකරනවා.මගේ ප්‍රාර්ථනාව මේ චිත්‍රපටය ඉක්මනින් අපේ දරුවන්ට දැක බලාගන්නට ලැබේවා!යි යනුයි.ඉර සඳ පවතින තෙක් මගේ රට ජාතිය ආගම යහතින් පවතීවා!

    ReplyDelete
    Replies
    1. මෙච්චර වටින කමෙන්ට් එකක් දැම්ම කෙනාගෙ නම වත් දන්නෙ නැති එක ගැන දුකයි. ස්තූතියි

      Delete
  28. මට මේ පොත තාම ගන්න නම් බැරි උනා..ඒත් මට අහම්බෙන් දිවයින පත්තරේ ඒ දවස් වල පලවුන මේ කතාවේ online edition ඒක කියවන්න ලැබුණ..මේ සාහිත්‍ය මාසේ මං කොහොම හරි මේ පොත ගන්නවා..කොග්ගල නිලමේ පොතට පස්සේ මං කියවපු , අපේ රට ගැන හැගීමක්, ආදරයක් එන එකම පොත..

    ReplyDelete
  29. කොග්ගල නිලමේ පොත ඔයා කියවල ඇති කියල මං විශ්වාස කරනවා..ඒකෙ pdf file ඒක අවශ්‍ය නම් කියන්න..

    ReplyDelete