Wednesday, August 1, 2012

පුංචි පුතා

                 අවුරුදු කීපයකට කලින් අපිට තිබුණා community based medical learning (CBML)  කියලා වැඩසටහනක් කතරගම, හම්බන්තොට වගේ ප්‍රදේශවල. අපට හුරු පුරුදු ශික්‌ෂණ රෝහලෙන් බැහැර වෙලා දුර බැහැර පළාත්වල රෝහල්වල ක්‍රියා පටිපාටිය හඳුනා ගැනීම මෙහි අරමුණ වුණා. 
අධ්‍යයන කටයුතුවලින් බැහැර වුණ වෙලාවට වුණත්, අපට විවේකයක්‌ නො තිබුණේ, මුළු batch එකෙන් ම විනෝදාත්මක, එකමුතු ම clinical group  එක වූ අපේ කණ්‌ඩායම (බැච් එකේ අනිත් අය කියන විදියට  group C ගැට්ට ) එකතු වෙලා විනෝද වෙන්න විවිධ දේ කළ නිසා.(වැඩිපුරම වුණේ විනෝද වුණ එක තමයි නියමිත වෙලාවටත් කලින් රෝහල් වලින් අතුරුදහන් වෙලා)

                  මේ සති දෙක ජීවිතේට ම අමතක නො වෙන්න සිතේ සටහන් වුණේ, යාල, කිරින්ද වෙරළ, ලුණුගම්වෙහෙර, තිස්‌ස වැව ආදී තැන්වලින් ලැබූ වින්දනය නිසා පමණක්‌ නම් නො වේ. තරමක වෙනස්‌ සමාජ පසුබිමක්‌ තුළ මුණ ගැසුණ නොයෙක්‌ රෝගීන් ගැන මතක සටහන් ද ඊට ඉවහල් වුණා.


                  මේ කාල සීමාව ඇතුළත එක්‌තරා රැඳවුම් මධ්‍යස්‌ථානයකට යැමට අපට ඉඩ සැලසුණා. මෙහි සිටින රැඳවියන් අයාල ආඥා පනත යටතේ වරදකරුවන් වී උසාවි නියෝගවලට අනුව රඳවනු ලැබූවන්. ඔවුන් අතරින් වැඩි කොටසක්‌, කිසියම් හෝ මානසික ආබාධයකින් පීඩා විඳිනු ලැබූවන්. ඉතා ම සීමිත පහසුකම් යටතේ තිබූ එහි සිටියොත්, පියවි සිහියෙන් සිටින්නවුන් ගේ වුව, මනස විකෘති වනු ඇතැයි අපට සිතුණා. 


                  එහි කාන්තාවන් රඳවා සිටිනු ලැබූ ස්‌ථානය තරම් මගේ සිත සසල කළ වෙනත් ස්‌ථානයක්‌ නො වූ තරම්. එම කාන්තාවන්ට අමතරව ඔවුන් සමහරක ගේ දරුවන් ද එහි සිටියා. ඔවුන් අතරින් අප සියලු දෙනා ගේ ම අවධානය දිනා ගන්නට එක්‌ බිළිඳෙක්‌ සමත් වුණා. සැප පහසුකම් අඩුකම සහ නිසි පෝෂණයක්‌ නො ලැබීම නිසා මැළවුණ ස්‌වභාවයෙන් සිටි  දරුවන් අතර මේ දරුවා ඉටි රුවක්‌ මෙන් කැපී පෙනුණා. "සුද්දෙක්‌ ගෙ ළමයෙක්‌ වගේ" අප අතරින් යමකුට කියෑවුණා. අප දකින අවස්‌ථාවේ ඔහුව එහි රැඳවි කාන්තාවක විසින් නහවමිනුයි සිටියේ. "ඒ අම්මා ද?" අපිට ප්‍රශ්නයක්‌ පැන නැඟුණා. ඇගේ ස්‌වභාවය නම් බිළිඳාට වඩා හාත්පසින් ම වෙනස්‌.


 "ඒ ඉන්නේ අම්ම ද?" අසල සිටි පාලිකාවක ගෙන් මා ඇසුවේ නිකමට වගේ.


"නෑ... එයා ගේ අම්මා නෑ. දැන් බලාගන්නේ මෙයා තමයි." ඇගේ පිළිතුර අප සියලු දෙනා ම කුතුහලයට පත් කළා. "අම්මට මොකද වෙලා තියෙන්නේ?" තොරතුරු දැන ගැනීමට අප වට වුණා. ඇය කතාව මුල සිට ම පටන් ගත්තා.


"එයාව මෙහාට එව්වෙ උසාවියෙන්. පාරෙ හිටිය නිසා පොඩි මානසික ආබාධයකුත් තිබුණා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණේ නෑ.


දවසක්‌ අම්මට අසනීප වෙලා දරුවත් එක්‌ක ම #### ඉස්‌පිරිතාලෙ නැවැත්තුවා. එතකොට බබාට මාස තුනක්‌ විතර. කොහොම හරි අසනීපෙ වැඩි වෙලා අම්මාව  ##### ඉස්‌පිරිතාලෙට මාරු කරලා යවලා. ඒත් එක්‌ක දරුවව යවලා නෑ. ඒ වෙනුවට දරුවව ආපහු මෙහාට එව්වා. ඒත් අම්මට ඒක ගැන එච්චරට ම තේරුමක්‌ නෑ. අම්මා හිතුවෙ දරුවා නැති වෙලා කියලා. ඒ ගැන හිතලා මානසික ආබාධය තවත් වැඩි වුණා. දරුවා හොයන්න යන්නයි හැම වෙලාවෙ ම උත්සාහ කරලා තියෙන්නේ. අන්තිමට කවුරුත් ම දන්නේ නැතුව ඉස්‌පිරිතාලෙන් පැනලා ගිහින්. දැන් මාස ගාණක්‌ ගියා. ඒත් මොකුත් ම ආරංචියක්‌ නෑ."


ගොඩක්‌ දුක හිතෙන කතාවක්‌.. අහිමි වෙලා ගිය දරු සෙනෙහස විතරක්‌ ම හිතේ තියාගෙන, ඒ අහිංසක අම්මා තවමත් පාරක්‌ පාරක්‌ ගානේ පුංචි පුතාව හොයනවා ඇති. ඒත් ඒ මොනවත් ම දන්නේ නැති පුංචි පුතා රෝස කැකුළත් වගේ හිනා වෙනවා.


"බබාට දෙන්නේ පිටිකිරි ද?" අපේ යාළුවකුට ප්‍රශ්නයක්‌ මතු වෙලා.


"ඔව්. අම්මා ඉස්‌පිරිතාලෙන් පැනලා ගියාට පස්‌සේ පිටි කිරි විතරයි දුන්නේ"


Exclusive breast feeding  වෛද්‍යවරුන් ගේ ප්‍රියතම මාතෘකාවක්‌. .


ළදරුවාට මාස 6ක්‌ වන තුරු මවු කිරි පමණක්‌ ම ලබා දීම ඉන් අදහස්‌ වෙනවා. ඒත් මේ දරුවාට මාස ගණනක්‌ තිස්‌සේ මවු කිරි බිඳුවක්‌ හෝ ලැබී තිබුණේ නෑ. මවු කිරි සමග සසඳා බැලීමේ දී පිටි කිරිවල ළදරුවන්ට ඇති නුසුදුසුකම්වලින් මගේ සිත පිරිලා ගියා.

  • නිසි සමබර පෝෂ්‍ය පදාර්ථ සියල්ල ම එහි නො තිබීම,
  • ජීර්ණය හා අවශෝෂණය අපහසු වීම,
  • මව සහ දරුවා අතර මානසික බැඳීම අඩු වීම

ඒත් පෙර කළ පිනකට දෝ මේ පුංචි දරුවාට නම් කිසිදු බලපෑමක්‌ වූ බව නම් පෙනෙන්නට නැහැ. සුරතල් සිනාවක්‌ මුවට නඟාගෙන ඔහු වතුර බේසමත් එක්‌ක දඟ කරනවා.


දැනට නම් මෙහි සිටින පාලිකාවන් ගේ සහ රැඳවියන් ගේ රැකවරණය ඔහුට ලැබෙනවා. එහෙත් අනාගතයේ දී මොනවා වෙයි ද? 
රැඳවුම් මධ්‍යස්‌ථානයේ තාප්පයෙන් එහා තියන ලෝකය, මවු පිය රැකවරණයක්‌ නැති මේ පුංචි පුතාව කොහොම පිළිගනීවි ද? අපි ආපහු ආවේ හිතේ ලොකු බරක්‌ තියාගෙන .............!


(මේ දරුවා කොච්චර ලස්සනද කියනවා නම් එයාව වඩාගෙන ගත්තු ඡායා රූපයක් මගෙ යාළුවෙක් දුරකතන තිරයට දාගෙන හිටියා මෑතක් වන තුරුම)

53 comments:

  1. සුද්දෙක්ගේ ළමයෙක් කිව්වාම මතක් වුනේ "භේරුණ්ඩ පක්ෂියා" film එක

    ReplyDelete
    Replies
    1. මම බලලා නෑ ඒක. නමුත් අහලා තියනවා මතකයි. මතකය අලුත් කරගත්තා දැන් හොයලා

      Delete
  2. මේ වගේ පොඩ්ඩන්ගේ අනාගතය ගැන හිතන්නත් බයයි සිඳු..
    දෙමව්පියන්ගේ වැරදි තීරණ නිසා අතරමං වෙන ළමා ජීවිත...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රූ. ඒත් මෙතන තියෙන්නෙ කාගෙ වරදද කියල මට තේරෙන්නෙ නෑ. ඒ දරුවගෙ තාත්තා ගෙ වෙන්නත් පුළුවන්. රෝහල් බලධාරින් ගෙ වෙන්නත් පුළුවන්. ආයතන ප්‍රධානින්ගෙ වරද වෙන්නත් පුලුවන්...... ඒ සේරටමත් වඩා කාලයට ගැලපෙන විදියට නීති කෙ‍ටුම්පත් සම්පාදනය නොවීම කියලයි මට හිතෙන්නෙ. මේ පණත අදට ගැලපෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්.

      Delete
  3. ඇත්තටම අපි ජීවත්වෙන සමාජෙ මේ වගේ සිද්ධි කොච්චර වෙනවද? ඔයාල එහේ නොගියනම් ඔයාටවත්, අද අපිටවත් ඒ සිද්ධිය දැනගන්න වෙන්නෙත් නෑ. අපරාදෙ ලස්සනට ජීවත්වෙන්න පුළුවන් මිනිස්සුන්ට ඇයි මෙහෙම වෙන්නෙ කියල, අවාසනාවන්ත ජීවිත. අනේ මන්දා මොනව කියන්නද කියල.

    ReplyDelete
    Replies
    1. එතන ඉන්න ගොඩක් අය හරිම පව්. පරණ ගරා වැ‍ටුණ ගොඩනැගිලි කීපෙක ඉන්නවා විශාල පිරිසක්. ඇත්තමයි හොඳ සිහියකින් ඉන්න අයගෙත් සිහිය විකල් වෙනවා අනිවාර්යෙන් එතෙන්ට ගියාම

      Delete
  4. මොනවා කියන්න ද කියලා හිතා ගන්ඩ බෑ සිඳු...

    ReplyDelete
    Replies
    1. මොනව කියන්නද මධුරංග. මෙහෙම තැන් තියනවා කියලා දැනගන්න.

      Delete
  5. :( :( මොනවා කියන්නද මන්ද අප්ප..:(

    ReplyDelete
    Replies
    1. මධුරංගට කිවුව දේම තමයි ඔයාටත් කියන්න තියෙන්නෙ හිරු.

      Delete
  6. ඒ ලස්සන පොඩි එකාගේ අනාගතය ලස්සන වෙන එකක් නෑ කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි. මම හිතන්නෙත් නෑ එහෙම වෙයි කියලා. මේ දරුවො ලොකු වෙද්දි ඒ සම්බන්ධවත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් තියනවා කිවුවා. ඒත් මට මතක නෑ ඒක මොකද්ද කියල.

      Delete
  7. හරිම සංවේදී කතාවක් සිදූ, වෙනස් කරනවනම් කොච්චර දේවල් තියෙනවද ලෝකේ වෙනස් කරන්න....අපේ PBU එකෙත් ඉන්නවා දාලා ගියපු පොඩි උන් දෙන්නෙක්ම. එක්කෙනෙක්ට නම් hydrocephalus. මොනවා කරන්නද system එකේ හැටි තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි නිරෝගීව ඉන්න අම්මලා තාත්තලා ළඟ ඉන්න ඕනා නේද අක්කෙ? PBU ඉන්න අනිත් බබාලගෙ අම්මලා තාත්තලා හැමෝම එයාලට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරද්දි, ඒ බබාලා දෙන්න එහෙම ඉන්න එක මොන තරම් පව්ද. hudrocephalus බබා ගැන නම්.... අනේ මන්දා...

      Delete
  8. අනේ මන්දා මොනවා කියන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. මොකුත් කිවුවෙ නැත්ත ඇවිත් කියවලා හරි යන්න. අපිට මේ ක්‍රම වෙනස් කරන්න බෑනෙ.

      Delete
  9. ලඟටම ගිය එකේ අඟුනකොලපැලැස්ස පැත්තෙ ගියෙ නැද්ද...?

    ReplyDelete
    Replies
    1. සර් මට දුන්නෙ අඟුනකොලපැලැස්ස නෙමේ..... බකමූණ !! අඟුනකොලපැලැස්ස දුන්නෙ මට මතක විදියට ස*ත් එ****හ ට. තවමත් හිනා යනවා ඒක මතක් වෙද්දි..... සියඹලාණ්ඩුව, ඇඹිලිපිටිය, කයිට්ස්..... අනිත් නම් මතක් වෙන්නෙත් නෑ.

      Delete
  10. ඒ පොඩි එකාගේ අනාගතෙත් ලස්සන එකක් වෙනවනම් කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙයිද කියන එක සැකයි නේද?

      Delete
  11. ඒ ළමයගේ අනාගතේ කොහොම වෙයිද? අපේ රටේ තාමත් අනාථ දරුවෙකුට තියන තැන ගැන හිතනකොට මේ ළමයගේ අනාගතේ

    ReplyDelete
    Replies
    1. අනාථ දරුවො අනාථම තමයි ගොඩක් වෙලාවට. හරිම අහම්බෙන් තමයි යන පාර වෙනස් වෙන්නෙ

      Delete
  12. ඒ අම්මා ගැන දුකයි මොන මානසික රෝගයක් තිබුනත් තමන්ගේ දරුවාගේ කැක්කුම දැනෙනවා. අම්මව හොයල දරුවාව බාර දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට මොනවා වෙලාද දන්නෙ නෑ..... මේක දැන් අවුරුදු තුනකට කලින් සිද්ධ වුණ දෙයක්.

      Delete
  13. මේ වගේම බන්ධනාගාරවල අම්මලා සමගත් පුංචි දරුවෝ ඉන්නවා.. ඒ දරුවෝ මොන වරදක් කලාටද ? මේ වගේ දේවල් දකින්න සිදුවීමත් අපේ කරුම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඒ දරුවන්ට අත්දකින්න ලැබෙන පරිසරය හිතන්න. හොඳ ආදර්ශ නැති තරම් නේද?

      Delete
  14. දැන් දැන් අනාත නිවාස වල වෙනවයි කියන සිදුවීම් එක්ක මේ වගේ දරුවන්ගේ අනාගතේ ගැන ලොකු බයක් තමයි දැනෙන්නේ.. මිනිස්සුන්ගේ අද්යාත්මික පිරිහීමට පිළියම් නොදී ආගමික නායකයෝ බල යුද්දයක යෙදිලා..

    ReplyDelete
  15. හ්ම්.... දුක තමා.අර අම්මත් කොහේ හරි ගිහින් විදව විදව ඇති.අනාත නිවාසෙක අද කාලෙ කිසිම රැකවරණයක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූ. ඒ අම්මා තවම පුතාව හොයනවද දැන්නෙ නෑ. මේක අනාත නිවාසයක් නෙමේ නිසූ. ‍රැඳවුම් මධ්‍යස්ථානයක්. ටිකක් විතර මුල්ලේරියාව වගේ

      Delete
  16. අයාල ආඥා පනත යටතේ රඳවන ලද රැඳවියන් ඒතත්වයට වැටුනේ සමාජමය වරදකින්ද එහෙමත් නැත්නම් උපන් මොහොතේ ඇතිවන මානසික විකෘති තතවයක්ද කියලා නොතේරුනත් යම් අයුරකින් මනා සිහියෙන් සිටින කාන්තාවක දරුවකු බිහිකිරීමේදී යම් මානසික විකෘති තාවයකට පත්වන බව ඉගෙන ගෙන තියෙනවා.

    උපන් මොහොතේ පටන් යම් මානසිකආබාධයකට ගොදුරු වූවෙක් නම් ඒ තැන්නතා අපයෝජනයට ලක්ක රන මානසික විකෘති තාවයෙන් පෙලෙන්නා ද රෝගියෙක් මිස වෙන කවුරුද?

    ඒත් අර පුංචි දරුවා ඇතිතටම තරමක් වැඩිහිටියෙක් වුණාම මේ සමාජයම පිළිකුල් කරාවි.

    ReplyDelete
    Replies
    1. මම මේ පනත ගැන වැඩියෙම දන්නෙ නෑ. මම හිතන විදියට එක්තරා යුගයක සිද්ධ වුණ යම් යම් සිදුවීම් පාලනය කරන්න වෙන්න ඇහ්ටි.
      ඒත් ඒක දටත් ක්‍රියාත්මක වෙනවා මේ වගේ.
      ඇත්ත ඒ කාන්තාව මොන විදියකින් මානසික විකෘතිතාවකට පත් වුණත්, මේ විදියෙ තත්වෙකට පත් නොවෙන්න නම් පිළියම් යොදන්න තිබුණා.

      Delete
  17. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජසම්පත් කොහොම වෙතත් මල්ලි, ඉන්න හිටින්න තැනක් ලැබුණ නම් හොඳටම ඇති ඒ බබාට

      Delete
  18. වැරැද්ද කාගෙ වුනත් දුක් විඳින්නෙ නොදරුවො :(

    අපිටත් ඔය කියන ජාතියෙ අධ්‍යාපනික චාරිකා ගොඩක් තිබුනා පළවෙනි අවුරුද්දෙ. ඒ ට්‍රිප් ටික නම් හැමදාටම මතක තියේවි.

    ReplyDelete
    Replies
    1. අපේ කණ්ඩායමත් එක්ක ගිය මේ වගේ ඒවා නම් අමතක වෙන්නෙ නෑ, ජීවිතේටවත්. මේ වගේ යාළුවො ටිකක් නම් කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි. ඊළඟ පෝස්ට් එකෙත් ඉන්නෙ මෙයාලාම තමයි

      Delete
  19. දරුවව අනිත් ඉස්පිරිතාලෙට නොයවා අම්මව විතරක් යවලා වෙච්ච පලවෙනි වැ‍රැද්දට අමතරව අර අම්මා දරුවා ගැන හොයද්දි ඔය දරුවව පෙන්නන්න ක්‍රමයක් තිබුනෙම නැත්ද අප්පා?
    දැන් උනත් ඔය අම්මව හොයන්න කවුද උනන්දු වෙන්නෙ, නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට වෙන්නෙ එක ප්‍රශ්නයක් දිහා එක කෝණෙකින් විතරක් බැලීමනෙ. ඒක තමයි ඉතින් හේතුව dude

      Delete
  20. මට මතකයි කලින් කියෙව්වා වගේ...............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් විදුසර ට ලිවුවා තමයි. ඒක ලියලා නෑ නේද මම මෙතන වෙනදා වගේ?

      Delete
  21. Naththalata Rohalawala carool yana kandayamata ek wuna mamath kepa wathawakma... Mulleriyawa, Angodadi dutu dewal harima dukbarai.. me tharamma awasihiyen duk vinidinna wenne ai minis athmayakata...

    Manasika Rogi ammala kiri daruwo nalawana heti dekka...

    koi tharam manasika dubalath thibunath daru senehasa e hemadetama wada prabalai.......

    ReplyDelete
    Replies
    1. හරියටම හරි තරු. මම මුල්ලේරියාවට ගිහින් නෑ. ඒත් අහලා තියනවා ඒ ගැන. අන්ගොඩ ගැන නම් මම පෝස්ට් දෙකක් විතර දාලාත් තියනවා. පුදුමාකාර කතා තියෙනවා ඒ වටා.

      Delete
  22. ආ.. ඔයාලගෙ ගෘප් එක මාරයිනේ... අපිත් ඔයවගේ ඇපොයින්මන්ට් දෙකක් කළා. පොඩි පොඩි ෆන් ගත්තත් හැබැයි ඔයාලගේ තරම්ම ෆන් ගෲප් එකක් නම් සෙට් වුනේ නෑ.. :(
    කතාව ගැන කියනවා නම් ඇත්තටම දුක හිතෙන කතාවක්. අර ළමයින්ගේ අනාගතේ???
    පින්තූර ටික දැක්කාම දෙයක් හිතුණා කියන්න. නොකියනවදෝ කියලත් හිතිලා ඔන්න ඔහේ කියලම දානව කියලා හිතුණා.. දැන් මේ බ්ලොග් අවකාශෙත් ටිකෙක් ටික ජරාජීර්ණ වෙමින් යන නිසා (කිරිල්ලිට වෙච්චි අකරතැබ්බේ දැක්කනේ) තමන්ගේ කණ්ඩායම් ෆොටෝ ලිපියකට දාන්න කලින් මම වුණා නම් දෙපාරක් හිතනවා..

    ReplyDelete
    Replies
    1. ගෲප් එක ගැන නම් කියල වැඩක් නෑ අයියෙ. අවසාන අවුරුද්දෙ ගෲප් එක කැඩුණා. ඒත් ඒ ‍ෆිට් එක නම් තවම තියෙනව. 3 වෙනි අවුරුද්ද පටන් අරන් ටික කාලයක් යනකම් පොඩි පොඩි ගැ‍ටුම් තිබුණා.ඒත් අන්තිමට හිතාගන්න බැරි විදියට හැමෝම බැඳුන. ගෲප් සී ගැට්ටෙ වැඩ තියනවා මූණු පොතේ ඕනා තරම්.
      අයියා කිවුව දේ හරි. මම වැඩියෙ හිතුවෙ නෑ තමයි. ඔන්න අයින් කළා.

      Delete
    2. ඒ ටික අයින් කරපු එක හොඳයි.....බිමවාඩිවෙලා ඉන්න සරණාගතයො ටිකක් බෝට්ටුවක නැඟලා යනවා වගේ බලන අයට හිතෙන්න ඉඩ තිබුනා

      Delete
    3. යන්තම් ඇති සර් අපිට සරණාගතයො කියලා හරි කිවුවා. ඉස්සර බනින වචනෙ නොකියා..... ;-)
      ඒ තිබුණ බෝට්‍ටුව රන්මිහිතැන්නෙ. බිම වාඩි වෙලා හිටියෙ වැඩහිටි කන්දෙ

      Delete
  23. අනේ පව් ඒ අම්ම...ලමය ලොකු උනාට පස්සෙ කොච්චර දුක හිතේවිද...

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි පින්තූරෙ වෙනස් කළා නේද? ඒක හොඳයි. ඒත් අවධානෙන් ඉන්න, මොනව නොවෙන්න පුළුවන්ද.

      ඔව් ඒ බබා ඇත්ත කතාව දැනගත්තු දවසක ගොඩක් දුක හිතෙයි

      Delete
  24. හරිම වටින බ්ලොග් එකක්.

    පසුගිය දවසක මට ගල්කිස්ස ඒ එස් පී ඔෆීස් එකට යන්න වුනා. මගෙ යාළුවෙක් එක්ක.
    එවෙලේ තමයි මට මේ සිදුවීමට මුහුන දෙන්න වුනේ.
    පොලිසියට ඇතුල් වෙන තැනම තිබ්බ කවුන්ටර් එකකින් අස්සේ යකඩ කූඩු වල මිනිස්සු හිර කරලා හිටියා. පෙනුන විදියට අපරාදකාරයෝ. ඒ පොලිසියට යන ඕනෙම කෙනෙක් දකින දෙයක්.
    මෙන්න එතනම අම්මා කෙනෙකුයි පොඩි මාස කිහිපයක ළමෙකුයි ඉන්නවා. ළමයාට ඇඳුමක්වත් නෑ.
    ඒක බලන්න තරම් දුකයි. ලංකාවේ පොලිසියෙන් ප්‍රශ්න කරන්නත් භයයිනේ. ඒත් මට දැන් එතනින් යන්නත් බෑ. අර ළමයාමයි මගේ ඔළුවේ.
    පස්සේ ඔක්කොම ගට්ස් අරගෙන මම එතන හිටපු නිළධාරියෙකුට කතා කලා. ඔහු මම ප්‍රශ්න කරපු මූඩ් එකත් එක්කම දෙපාරක් විතර මම දිහා බලල එතන හිටපු අනිත් නිළධාරින්ගෙන් ප්‍රශ්න කලා. ඒ අය කවුරුත් ඒ ළමයාව එයිට කලින් දැකලා නෑ වගේ උඩ බිම බලනවා. එවෙලේ නම් මගේ තරහා ගැන කියන්න වචන ඕනේ නෑනේ.
    හරියට අර මාස කිහිපයක ළමයා ලොකු හොරකමක් කලා වගේ එහෙම වද හිංසා වලට ලක් කරලා වගේ මට හිතුනේ.( පස්සේ දැනගත්තා කුඩු සම්බන්දව අම්මා අත් අඩංගුවට අරගෙන බව.) ඒ මොනවා වුනත් වරදකරුවෝ ගැන නෙමෙයි මේ කතාව. ළමයින් එහෙම හිර කරන්න ගේන නීතිය මොකද්ද? ඊටත් වඩා ඇඳුමක්වත් නෑ. මගේ ප්‍රශ්න කිරීම හමුවේ විතරමයි කට්ටියට මතක් වුනේ ඒ ඔක්කොම. (අන්තිමට මම මැදිහත් වෙලා මගේ රියදුරා මඟින් ඔහුට ඇඳුම් සපයා දුන්නා.)
    ඒත් මම එදා ගෙදර ආවේ හරිම දුකින්. කවුරුත් කරන වැරදි හින්දා ඒ අහිංසක පොඩි එවුන් මොනවා කරන්නද? නීතිය කියන්නේ ඒකද? මට හිතෙන්නේ අපේරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ලොකු අවුලක් තියෙනවා. එහෙම නැත්නම් අපි මනුස්සකම ගැන කියෙව්වට ඒක වචනයක් විතරක් වෙලා. මේ වගේ දේවල් අහද්දි මට හිතෙන්නේ ඒක විතරමයි

    ReplyDelete
    Replies
    1. අසරණ මිනිස්සු තවත් අසරණ කරන තැනක් තමයි මම දකින විදියට අපේ ගොඩක් පොලිස් ස්ථාන. ඔයා ඒ වෙලාවෙ ඒ දේ නොකළා නම් කවුරුත්ම නොකරන්න තිබුණා. අඩුම තරමෙ කාන්තා පොලිස් නිලධාරිනියකටවත් ඒ වගේ දෙයක් නොහිතුන එක හිතාගන්නත් අමාරුයි.

      මතක් වුණා දවසක් පොලිසියකදි වුන දෙයක්. යාළුවො එක්ක දවසක් මුහුදු වෙරලෙ සෙල්ලම් කරන්න ගියා අපි. (මේ කියන යාළුවොම තමයි) අපි නොහිතුව විදියට අපි ගිය වාහනයක් හොරු කඩලා ඒකෙ තිබුණ බෑග් වල තිබුන දේවල් අරන් තිබුණා. ඒ නිසා අපි ළඟම පොලිසියට ගියා පැමිණිල්ලක් කරන්න. සෙල්ලම් කර කර හිටිය සරල ඇඳුම් පිටින්මයි හැමෝම හිටියෙ.(ටී ෂර්ට්, ඩෙනිම්)
      ගිහින් පොලිසියෙ ඇතුළට එබුණා.
      මෙන්න ඉතිරි සිද්ධිය.

      පොලිස් නිලධාරියා- "ඇයි ඇයි, මොක්ද? කොහෙද එබෙන්නෙ? මොකද මෙච්චර කට්ටියක්? කොහෙ කියල හිතුවද මේ?"

      අපේ එක්කෙනෙක්- "අපි #### ඉස්පිරිතාලෙ ඉගෙන ගන්න දොස්තරලා..."

      පො.නි.- "ආ... එන්න එන්න සර්, ඉඳගන්න. එන්න මැඩම් ඉඳගන්න"

      ඔන්න ඕකයි අපේ රටේ පොලිසි ගොඩක තත්වෙ.

      Delete
  25. කියවගෙන යද්දි දුක හිතුනා..බබා අම්ම එක්කම යැව්ව නම් අම්මගේ අසනීපෙ වගේම මානසික රෝගයත් ක්‍රිමානුකුලව අඩුකරගන්න තිබ්බ කියලා හිතෙනවා...දරුවගේ අනාගතේ සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අම්මගේ අසනිපෙ හොද වෙලා දරුවා ළගට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මේ වෙද්දි ඒ දරුවාගෙ අනාගතේ තීරනය වෙලා ඇති මල්ලි

      Delete