Monday, August 13, 2012

ටී පණස් හය ද... පෑණ ද...?

(මේ ලිපිය කලින් මම විදුසර පුවත්පතට ලියූවක්. ඒ නිසා දින වකවානු වෙනස්)



යුද්ධය ඉවර වෙලා මාස හයකුත් ගෙවිලා ඉවරයි. ඒත් තැනින් තැන විසිරුණ ත්‍රස්‌තවාදීන් ගේ සිරුරුවල රූපවාහිනී රූප තවමත් හිතේ හොල්මන් කරනවා. යුද්ධය ඉවර වුණත් ඒ යුද්ධයේ අතුරු කතා නම් බොහොමයි. යුද්ධය තිබුණ කාලේ රෝහල් ශල්‍ය වාට්‌ටුවල අතුරු සිදුරු නැති ව පිරිලා හිටිය ඉරි ඉරි සරම් කමිස ඇඳපු සෙබළු දැන් පිට වෙලා ගිහින්. 

ඒත් විකලාංග වාට්‌ටුවෙ නම් තවමත් කිහිප දෙනෙක්‌ ඉතුරු වෙලා ඉන්නවා. බොහොම දෙනෙක්‌ ගෙ අතක්‌ හරි කකුලක්‌ හරි අහිමි වී ගිහින්. ඒ සඳහා වැඩිදුර ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින මේ හමුදා සෙබළුන් නිසා වාට්‌ටුවේ පාළුවක්‌ නම් නෑ. 
හැම වෙලාවෙ ම ඔවුන් ගේ දුරකථනවලින් හරි කුඩා ගුවන් විදුලි යන්ත්‍රවලින් හරි ඇසුණ ගීත නිසා. ඒ කිසි ම කෙනෙක්‌ අහිමි වුණ අතක්‌ කකුලක්‌ ගැන දුක්‌ වෙනවා පෙනුණෙ නෑ. හිත ඇතුළෙ දුකක්‌ තිබුණත්, හමුදාවෙ දී ලබපු මනා පුහුණුවත්, ඊටත් වඩා, අවුරුදු 30ක යුද්ධයේ නිමාව නිසා හිතේ ඇති වන සතුටත් ඒ දුක තුනී කරලා දානවා ඇති. වාට්‌ටුවේ හිටපු කැප්ටන් නලින් ඇරෙන්න අනෙක්‌ හැම සෙබළෙක්‌ට ම අවුරුදු 25ට වඩා අඩුයි. ඒ වගේ තරුණ වයසෙ දී අතක්‌ පයක්‌ අහිමි වෙනවා කියන්නේ අපිට නම් හිතන්න වත් බැරි දෙයක්‌.

මේ සෙබළුන් අතර මට විශේෂයක්‌ පෙනුණ පුද්ගලයෙක්‌ හිටියා. හමේ තද කළු පැහැයත් එක්‌ක වඩාත් කැපිල පෙනුණ සිනහවක්‌ හැම වෙලාවෙ ම ඔහු ගෙ මුවග තිබුණා. එක්‌ අතක්‌ හෝ පයක්‌ අහිමි වුණ අනෙක්‌ සෙබළුන් අතර ඔහු ගෙ මට පෙනුණ විශේෂත්වය තමයි බැලු බැල්මට අත් සහ පාදවල ආබාධයක්‌ දකින්න නො ලැබීම. ඒ නිසා ම ඔහුත් එක්‌ක කතා කරන්න හිතේ කැමැත්තක්‌ ගොඩනැඟුණා.

සුපුරුදු ලෙන්ගතු හිනාවෙන් ඔහු මාව පිළිගත්තා. මම ඔහු ගෙ ඇඳ ඉහපත් වාර්තාව දිහා බැලුවෙ වයස දැනගන්න. අවුරුදු 20යි. "කොහොම ද මල්ලි? මොකද කරන්නෙ?" කතාව පටන් ගන්නට මම අර ඇන්දා.

"phone එකෙන් ටී.වී. බැලුවා අක්‌කේ. මෙතෙන්ට චැනල් 12ක්‌ පේනවා හොඳට"

"ඇයි මල්ලි මේ වාට්‌ටුවෙ නැවතිල ඉන්නේ?" සාමාන්‍ය ප්‍රශ්න කීපයකට පස්‌සෙ මම ඇහුවා.

"මේ අත හින්දා .." ඔහු දකුණු අත ඔසවා මට පෙන්නුවා. සිදු වී ඇති දේ එවිටයි මම දැනගත්තෙ.

ඒ wrist drop නමින් වෛද්‍ය විද්‍යාවෙ හඳුන්වන තත්ත්වයක්‌ මෙහි දී සිදු වන්නේ, අතේ ඇති ස්‌නායුවකට (අරීය ස්‌නායුව - radial nerve) හානි වීම නිසා මැණික්‌ කටුව අසලින් අත ඉහළට ඔසවන්නට නොහැකි වීම. පොළොවට සමාන්තරව දෑත දිගු කළොත් අරීය ස්‌නායුවට හානි වී ඇති අතේ මැණික්‌ කටුවට පහළින් පිහිටි කොටස එල්ලා වැටීමක්‌ මෙහි දී නිරීක්‍ෂණය කරන්න පුළුවන්. අතේ එම කොටස ඔසවා තැබීමට (Extend) අවශ්‍ය වන මාංශ පේශිවලට සපයන්නේ එම ස්‌නායුව වීමයි මෙයට හේතුව. එම නිසා මේ රෝගීන් ගේ ග්‍රහණ හැකියාව තරමක්‌ දුරට අඩු වෙනවා. (අත මැණික්‌ කටුවෙන් නමා (Flex) යමක්‌ තදින් ග්‍රහණය කිරීමට උත්සාහ කරන්න. සාමාන්‍ය ග්‍රහණයකට වඩා එය දුර්වල ග්‍රහණයක්‌ බව ඔබට දැනේවි) කෙසේ වෙතත් මේ සඳහා ප්‍රතිකර්මයක්‌ ලෙස විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් විසින්, අත මැණික්‌ කටුවෙන් ඔසවා තබන්නට ශල්‍යකර්මයක්‌ සිදු කරනවා. එමගින් ඔවුන් ගේ ග්‍රහණය කිරීමේ හැකියාව වැඩි කිරීමක්‌ සිදු වෙනවා.

"මොකද මල්ලී අතට වුණේ?"

"බුලට්‌ එකක්‌ වැදුණා අක්‌කේ"

"ඉතින් කවද ද අත හදන surgery  එක කරන්නේ?"

"අනිද්දා කරනවා කියලා තමයි කිවුවෙ......."

"ඒක හොඳයි ඊට පස්‌සේ කරදරයක්‌ නැතුව වැඩ ටික කරගන්න පුළුවන් වෙයි නෙ"

"දැනටත් එච්චර කරදරයක්‌ නෑ අක්‌කේ"

ඔහු ගේ පිළිතුර මට පුදුමයක්‌ වුණා.

"ඇයි එහෙම කියන්නේ?"

"මම හිතාගෙන ඉන්නේ ආයෙම වැඩට යන්න. ඒත් මට මුලින් වගේ තුවක්‌කුව පාවිච්චි කරන්න බෑ. මගේ කැමැත්ත තියෙන්නේ office එකේ වැඩ කරන්න. මම A/L කළ නිසා පුළුවන් වේවි office එකට යන්න.

"ඒත් ඔයා ගෙ අතින් ලියන දේවල් කරන්න අමාරු නැද්ද ඔයාට?"

"ලොකු අමාරුවක්‌ නෑ. ඇඟිලි හොඳට වැඩ කරනවා නෙ. මම හැම දා ම මොනවා හරි ලියනවා.....බයයි ලියන්න බැරි වෙයි කියලා"

"මොනව ද ලියන්නෙ හැම දා ම?" මම විමසුවා

"විශේෂයෙන් එක දෙයක්‌ නෙමේ....... හිතට එන දේවල් ලියනවා. කවි ලියනවා"

"කවිත් ලියන්න දන්නව ද?"

"පෙන්නන්න ද?" මගේ ආරාධනයක්‌ නැති ව ම ඔහු කුඩා කොපි පොතක්‌ අරගෙන මගේ අතට දුන්නා...... මම ඒ පිටු එකින් එක පෙරළුවා. අදහගන්න බැරි තරම් පැහැදිලි අකුරුවලින් කවි පද පේළි සිත්තම් වෙලා තිබුණා. wrist drop කෙනෙක්‌ ගෙ ලිවීමේ හැකියාවට සෘජුව ම බල නො පෑවත්, මේ හැම දෙයක්‌ ම රඳා පවතින්නෙ කෙනෙක්‌ ගෙ ආත්ම විශ්වාසය මත........ ඇත්තෙන් ම මේ වගේ ලොකු ආත්ම විශ්වාසයක්‌ තිබුණ හමුදා සෙබළුන් නිසා ම තමයි, අද අපි නැවතත් මෙහෙම හිනා වෙලා ඉන්නෙ.

තුවක්‌කුවක්‌ අරගෙන කැළෑවකට වෙලා යුද්ධ කරපු හමුදා සෙබළෙක්‌ ගෙ හිතේ මේ වගේ සුන්දර අදහස්‌ තියෙනව ද කියලා මට හිතුණා. විවිධ මාතෘකාවලින් කවි 20කට වඩා ලියවිලා....... මගේ මිතුරියත් එතෙන්ට ආවෙ ඒ මොහොතෙ. අපි දෙන්න ම කවි පොතත් අරන් වීදුරු ජනේලයක්‌ ළඟට ගියා. "මට පුදුමයි යුද්ධ කරන්න හැදුණ හිතක මේ වගේ අදහස්‌ තියෙන්නේ කොහොම ද කියලා....." මම කිවුවා. ඇය දුන්නේ අපූරු උත්තරයක්‌.

"මේ නම් යුද්ධ කරන්න ඉපදුණ කෙනෙක්‌ නෙමෙයි. මොකද්ද අවාසනාවකට ඒ අතට තුවක්‌කුවක්‌ ලැබුණට ටිකක්‌ පරක්‌කු වෙලා හරි මේ විදිහට පෑනක්‌ ලැබුණ එක නම් ලොකු වාසනාවක්‌"

34 comments:

  1. ගොඩාක් සංවේදී කතාවක්..

    ReplyDelete
  2. හරිම ලස්සන කතාවක්.. සමහර වෙලාවට තුවක්කුවට කරන්න බැරි දේ පෑනකට කරන්න පුළුවන්..

    ReplyDelete
  3. සිඳු මේ කතාවෙ ලින්ක් එක මම මගෙ දූට යවනවා. කතාවට මම කොච්චර කැමතිද කියන එක කියන්න ඊට වඩා දෙයක් තියෙනවද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  4. අපූරුයි.අර ඔබ ඔබේ කැමරා ඇස කියල බ්ලොග් එකේ දාල තියන පින්තූර හරිමම හරිම අපූරුයි,මම ඒ දිහා බලාගෙනම හිටියා..නියමයි.
    ඔබට ජය!

    ReplyDelete
  5. ඇඩෙනවා නෙහ්...

    නි


    යි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. සිඳු ,
    සොත්ති කියන්නෙත් ඕකමද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. ආමි එකට යන්නත් පින තියෙන්න ඕනා කීලයි මටනං හිතෙන්නේ..
    මට යන්න බැරි උනානේ..
    ඉහි ඉහි..

    ReplyDelete
  8. පෑන අවිය කරගත්ත කෙනාට තුවක්කුව කජ්ජක් නෙවෙයිලුනෙ! :)

    ෴සිද්ධිය෴

    ReplyDelete
  9. කවි වලිනුත් වෙඩි තියන්න පුළුවන්ලුනේ... ඒ නිසා ලොකු ගැටලුවක් වෙන එකක් නෑ...

    ReplyDelete
  10. එහෙම අය මටත් හම්බ වෙලා තියෙනවා. මට මතකයි දවසක් අතට ස්ප්ලින්ට් එකක් දාලා පෑනක් අතට දුන්නාම හමුදාවෙ සොහොයුරෙක්ගෙ මූනෙ මැවුනු හිනාව. මාස 9කට පස්සෙ එදා තමයි එයා මැදිරිගිරියෙ ඉන්න අම්මට ලියුමක් ලිව්වේ.

    ReplyDelete
  11. ඇත්තටම නිල ඇඳුමෙන් වැසුනු ගිණි අවි දෑදත හුරුවුණු සුන්දර හදවත් ඇති අය ක්‍රියාන්විත සේවයේ හිටියා. සමහර වෙලාවට හතර පෝයට සිල්ගත්, බණ භාවනා කරපු අයත් හිටියා. හැබැයි සෙබලෙකුගේගිණි අවියට වඩා පෑන බලවත් කරන්න පුළුවන්

    ReplyDelete
  12. මේක නම් මගේ හිත ගොඩාක් ඇදී ගිය පෝස්ට් එකක්. ඒවාගේම අර අවසන් වදන් පෙල..! කොතරම් ගැඹුරක් ඒ වචන ටික තුළ තියනවාද? සොල්දාදුවන් වුනත් ඔවුනුත් මනුෂ්‍යයන්.
    මේ කතාවට කෙලින්ම අදාල නොවුනත් මට මේක කියවද්දි මතකයට ආවා ඉස්සර කඩ්ඩ සාහිත්‍ය ඉගෙන ගන්න කාලේ තිබුනු Thඑ Man He Killed poem එකේ පහත පේලි ටික
    "Yes; quaint and curious war is!
    You shoot a fellow down
    You'd treat, if met where any bar is,
    Or help to half a crown"

    ReplyDelete
  13. හ්ම්ම් පෑන හිමි අත් දෙකක් අනිත් අය වෙනුවෙන් තුවක්කුව අතට අරගෙන..

    ReplyDelete
  14. සංවේධී කතාවක් ,පෑන බලවත් කියනවා නේ තුවක්කුවට වඩා

    ReplyDelete
  15. ගොඩක් සංවේදි හිතට දැනුන කතාවක් අක්කේ...

    ReplyDelete
  16. //ඒ අතට තුවක්‌කුවක්‌ ලැබුණට ටිකක්‌ පරක්‌කු වෙලා හරි මේ විදිහට පෑනක්‌ ලැබුණ එක නම් ලොකු වාසනාවක්//
    පෑන ආයුධයකට වඩා බලවත්ලු..
    සංවේදී කතාවක්.. හොඳ නිර්මාණයක්.. :)

    ReplyDelete
  17. ඒ යුද්ද්ධයේ ශාරීරික තුවාල වලට වඩා මානසික තුවාල දරුණු බව දැන් පෙනෙනවා. සමහරු අපරාධ කල්ලි වල සමහරු ස්ත්‍රී දුෂනවල. මේ ආබාධ වලටත් පිළියම් යෙදීම අවශ්‍යයි..

    ReplyDelete
  18. හිතට වැදුන කතාවක් !!!

    ReplyDelete
  19. හොද ලිපියක්. අපි නොහිතන අය ගාව නොහිතන දක්ෂතා තියෙනවා.

    ReplyDelete
  20. ඔහුගේ අනාගත ජීවිතය සතුටින් පිරේවා...

    ReplyDelete
  21. හැමදාම වගේ සිඳූ ලියන දේවල් කියවද්දි සායනික ජිවතේ මතක් වෙනව. යුද්දෙ දරුණුවටම ගිය කාලෙ නිසා අපේ රෝහලෙත් රණවිරුවන් සඳහා වෙන කරල තිබුන වාට්ටුව පිරී ඉතිරී ගිහින් තිබුනා. බඩවැල් සම්බන්ද ශල්‍යකර්ම වලට ප්‍රසිද්ධියක් තියන ශල්‍යවෛද්‍ය ඒකකයක් නිසාදෝ එවැනි අබාද ඇති අය තමයි ගොඩක් හිටියෙ. රෝහලේ හිටිය දරුණුම ආබාධ ඇති අය වැඩියෙන්ම හිටිය වාට්ටුව වුනත් ඒකට ගියහම ඒ බවක් තේරුණේ නෑ. කෙඳිරිගෑම් විලාප වෙනුවට සිනහව විනෝදය විහිලු තහලු තමයි. පුදුම දරා ගැනීමේ ශක්තියක්. අපි ඒ හැම කෙනෙක් එක්කම වගේ කතා කලා ගිනි අවි අතට ගත්තත් සමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්සුන්ට වඩා හිතේ තෙතමනය, මනුස්සකම ඒ හැම කෙනෙක් ළඟම තියනවා කියල තේරුනේ එයාලගෙ අත්දැකීම අපිත් එක්ක බෙදා ගනිද්දි.
    ගිනි අවිය නිසා තෙහෙට්ටු වුන හිත සුවපත් කරන්න පෑන හොඳ උදව් කාරයෙක් ඔවුන්ට.

    ReplyDelete
  22. රටට ආර්ථිකය ශක්තිමත් කරන්න උරදෙන්න පුළුවන් තරුණ ජීවිත විශාල ප්‍රමාණයකුත්, ජීවත් වෙන සොල්දාදුවන්ට තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙත් මේ දශක තුනක කාලකණ්ණි යුද්ධය නිසා අහිමි වුණා. ඒ වගේම තෝරාගැනීමක් අහිමි වීම නිසා තමන්ට ගැලපෙන හොඳම වෘත්තිය අහිමි වීමත් එක විදියක ඛේදවාචකයක්. ඔබේ සංවේදී ලිවීම තුළින් ඒ සත්‍යය නැවතත් අපූරුවට සිත්තම් කරලා.

    ReplyDelete
  23. හමුදා සෙබළු කියන අය අපි හිතනවට වඩා වෙනස් කියලා තේරෙන්නෙ මේ වගේ අත්දැකීම් වලින් තමා.
    අක්කගෙ ලිපි කියවන්නේ අක්කා විදුසරේ ලියන කාලේ ඉදලා(මේ ලිපියත් කලින් කියවලා තියෙනවා)දිගටම ලියන්න...

    ReplyDelete
  24. මාතා චිත්‍රපටියේ එන රූප රාමු කීපයක්ම මතක් වුණා...

    ReplyDelete
  25. ඒගොල්ලෝ ලඟත් සැඟවුන දක්ෂතා තියනවා...එයාල තමයි ඇත්තටම අපේ රට බේරගත්තු වීරයෝ...
    සංවේදී කතාවක්..

    ReplyDelete
  26. මේ කතාව මට මතකයි... මම අවුරුදු 5ක් විතර විදුසර පත්තරේ ගත්තා... ඒ ලිපි පෙළ දිගටම ලිව්වෙ ඔයාද? හරිම සංවේදී ලිපියක්...

    ReplyDelete
  27. මටත් මේ වගේම අපූරු පුද්ගලයෙක් මුණ ගැහුණා... යුධ හමුදාවේ දක්ෂ වෙඩික්කාරයෙක්ව ඉඳල දකුණු අත නැති උණාට පස්සෙ දේශකයෙක් උණ මේජර් කෙනෙක්... අත නැති වීම දේවාශිර්වාදයක් විදියටයි එතුමා දකින්නෙ... මගේ බ්ලොග් පිටුවෙ ඉදිරියෙදි ඔහු ගැන ලියන්න ඕ‍න....

    ReplyDelete
  28. සිඳූට ඒ පොතේ තිවුන කවිපේළියක්වත් මතක නැද්ද අපිත් එක්ක බෙදාගන්න..
    මේ වගේ සුන්දර හිත් තියන තාක් කල් මේ ලෝකේ මල් පිපේවි..කුරුළු ගී ඇසේවි...

    ReplyDelete
  29. Very sensitive story. I think you are fortunate to meet people who need your help and hope that you use those opportunities to show the humanity we planted in all you girls back there.(especially during our discussions)

    ReplyDelete
  30. ගොඩාක් ලස්සනට ලියල තියනවා

    ReplyDelete
  31. අදද කොහෙදෝ මුලින්ම ආවේ.... අපූරුයි...

    ReplyDelete